පාසලෙත් එච්.අයි.වී !

  👤  8464 readers have read this article !
2017-03-15

පාසල් සිසුන්ට තවත් අලකලංචියකි. කළුතර, අලුත්ගම ප්‍රදේශයේ පාසලක බාලවයස්කාර සිසුන් දෙදෙනකු එච්.අයි.වී. ඩ්ධ්ඍ ආසාදිතයන් බව හඳුනාගෙන ඇත. අවුරුදු 16 සහ 14 වයසේ පසුවන මේ සිසුන් දෙදෙනා හඳුනාගෙන ඇත්තේ කළුතර ළමා හා කාන්තා කාර්යාංශයෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුවය. සිසුන් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ රූපලාවණ්‍ය ශිල්පියකු හා තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පොලිසිය දැනට හෙළි කර ගෙන ඇති තොරතුරුවලට අනුව එක් දරුවකුගේ මව සහ පියා පිටරටක රැකියාවල නියුක්තව සිටිති. අනෙක් දරුවාගේ මවුපියන් මෙරට විසුවද දරුවා ගැන සොයා බලා නැති බව පෙනේ.

උපන්දා සිට පහ වසර ශිෂ්‍යත්ව විභාගය දක්වා දරුවාට සමීපව සිටින මවුපියෝ විශේෂයෙන් මවුවරු දරුවකුගේ හිරිමල් යෞවනයේදී ඔවුන්ගෙන් දුරස් වෙති. පවුල නම් ඒකකය විසුරුණු ස්වභාවයක් ගන්නා වර්තමාන සමාජයේ ගැහැනු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද මංමුළා වීමට ඇත්තේ වැඩි ඉඩකඩකි.

මුහුණ දී සිටින ආර්ථික පීඩනය හමුවේ මවත් පියාත් දෙදෙනාම රැකියා කිරීම, දෙදෙනාගෙන් අයකු හෝ දෙදෙනාම හෝ පිටරට රැකියාවකට යෑම සුලබ කාරණයක් වී ඇත. ඒ ගැන මවුපියන්ටම ‍ෙදාස් කියා පලක් නැත. මුදල් අත නොමැතිව දරුවන්ගේ වුවමනා එපාකම් ඉටුකිරීම මවුපියන්ට දුෂ්කර කරුණකි. එහෙත් මවුපිය රැකවරණය හා ආදරය දරුවන්ට අහිමි වීමෙන් මතුව ඇති ප්‍රශ්නවල බරපතළකම මේ සිද්ධියෙන්ම පැහැදිලිවේ. මවුපිය රැකවරණය යටතේ සිටියද බොහෝ දරුවන්ට මවුපිය ඇසුර ලැබෙනවාද යන්න ප්‍රශ්නයක් වී තිබේ. අපයෝජනවලට ගොදුරුවන දරුවන් බහුතරය මවුපියන්ගේ රැකවරණය යටතේ සිටියවුන්ය.

හික්කඩුව, උණවටුන වැනි සංචාරක කලාපයන්ට සීමාව තිබූ එච්.අයි.වී. හා ලිංගාශ්‍රත රෝග බෝ වූ දරුවන් මේ වන විට වෙනත් ප්‍රදේශවලින්ද වාර්තා වීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි කාරණයකි. මත්ද්‍රව්‍ය භාවිතයේදී එන්නත් කටු හරහාද, අනාරක්ෂිතව කෙරෙන ද්වි ලිංගික හා සමලිංගික සේවනය නිසාද ලිංගික රෝග පැතිර යමින් පවතී. බරපතළ කාරණය වන්නේ බාලවයස්කාර පාසල් දරුවන් ඊට ගොදුරු වෙමින් පැවැතීමය.

පාසල් නොයන හෝ පාසල් හැරගිය දරුවන් පමණක් නොව පාසල් යන දරුවන් පවා අද මත්ද්‍රව්‍යවලට හා ලිංගික අපචාරවලට ලක් වෙමින් තිබෙන්නේ වැඩිහිටි රැකවරණය, සමාජ ආරක්ෂාව නොලැබීම මෙන්ම නොදැනුවත්කම නිසාය. ලිංගාශි්‍රත රෝග ගැන පාසල් වියේ දරුවන් තුළ ඇත්තේ අඩු දැනුමකි. ඒ පිළිබඳ පාසල් අධ්‍යාපනයෙන් ලැබෙන දැනුම ප්‍රමාණවත් නැත. ඊනියා සුචරිතවාදීන්ගේ අඥාන මැදිහත් වීම් නිසා පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට බලධාරීන් වරින්වර ගත් උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය.

එහෙත් මේ වන විට පාසල් අධ්‍යාපනයට යම් ප්‍රමාණයකට ලිංගික අධ්‍යාපනයට අදාළ කරුණු එක් කර ඇත. එය පැසසුම්කටයුතුය. ඇතැම් පිරිස් 'ලිංගික' වචනය 'අසභ්‍ය' යැයි සිතති. එහෙත් අසභ්‍ය දේ ඉතා බරපතළ ආකාරයට සමාජය තුළ සිදුවෙමින් පවතී. අලුත්ගම පාසල් සිසුන් දෙදෙනාගේ සිද්ධිය එවැන්නක් නොවේද?

කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව දිවයිනේ සියලුම පාසල් දරුවන් මෙන්ම ඔවුන්ගේ මවුපියන් ලිංගාශි්‍රත රෝග පිළිබඳව දැනුවත් කළ යුතුය. 'ඒඩ්ස්' රෝගය අන් සියලු ලිංගාශි්‍රත රෝගවලට වඩා භයානකය. එය මරණීය වයිරසයකි. බහුල වශයෙන් රට පුරා පැතිර යන ඒඩ්ස් පිළිබඳ අලුත් වටයකින් ජනතාව දැනුවත් කළ යුත්තේ පාසල් වයසේ දරුවන්ට මෙවැනි ඉරණමක් අත්වීම රටේ අනාගතයම අඳුරු කිරීමක් වන නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon