කොළඹ උද්ඝෝෂණ හා නාස්තිවන මිනිස් පැය

  👤  2888 readers have read this article !
2017-03-14

දෛනික ජන ජීවිතයට හා ආර්ථීකයට දැඩි බලපෑමක් එල්ල කිරීම හේතුවෙන් කොළඹ නගරයේ දිනපතා පැවැත්වෙන උද්ඝෝෂණ සම්බන්ධයෙන් යම් නීතිමය පියවරක් ගැනීමට ආණ්ඩුව සූදානම් වන පුවතක් ඉකුත් සති අන්තයේ පුවත්පතක මුල් පිටුවේ පළවී තිබිණි.

නීති සම්පාදනය කරන තුරු කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ සතියකට එකකට සීමා කිරීමට ක්‍රමවේදයක් සකසන බවද එහි සඳහන් විය.

උද්ඝෝෂණ සීමා කිරීමට නීති සැකසීම හෝ සතියකට එක් උද්ඝෝෂණයකට පමණක් ඉඩ දීම කෙතරම් ප්‍රායෝගිකද යන්න ප්‍රශ්නයක් වුවද නිතර නිතර කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණ, විරෝධතා, පා ගමන් නිසා මහජනතාව දැඩි දුෂ්කරතාවනට පත්වන අතර අපතේ යන මිනිස් පැය ගණන නිසා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බව බොරුවක් නොවේ.

වැඩ වර්ජන, උද්ඝෝෂණ, පෙළපාළි මේ රටට අලුත් දේවල් නොවේ. කොළඹ නගරය කවදත් එවැනි ජනරාශිවලට තෝතැන්නකි. අනෙක ජනරාශින්ට නීතියෙන් තහනමක්ද නැත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර ඇත. අයුතු ජනරාශිය දඩමීමා කරගෙන පාලකයෝ වැඩ වර්ජනවලට, උද්ඝෝෂණවලට හා පෙළපාළිවලට ප්‍රහාර එල්ල කරති. වෙඩි තැබීම නිසා මරණ පවා සිදුවූ අවස්ථා ඕනෑ තරම්ය.

උද්ඝෝෂණ, විරෝධතා මැඩපැවැත්වීමට කාලයක් හදිසි නීතිය යොදාගත්තේය. එහෙත් අද හදිසි නීතියක් රටේ නැත.

එහෙත් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර ඇති හෝ පොලිසිය විසින් ඇතුළු වීමට අවසර ලබා නොදෙන කලාපවලට ඇතුළු වීමට යන උද්ඝෝෂකයන්ට පොලිසිය කඳුළු ගෑස්, ජල හා බැටන් ප්‍රහාර එල්ල කරයි. බලහත්කාරයෙන් අදාළ කලාපවලට ඇතුළු වීමට යෑම කිසිසේත් කළ යුතු නැත. ඇතැම් උද්ඝෝෂකයන්ට අවශ්‍ය ගැටුමක් අවුළුවා ගැනීමද කියන සැකය පවා ඇතිවන අවස්ථා තිබේ. එවැනි අනවශ්‍ය ගැටුම්වලින් සිදුවන්නේ 'සටන' ශක්තිමත් වීම නොව දුර්වල වීමය.

පසුගිය මාර්තු 8 වැනිදා සිවු දිගින් කොළඹට පැමිණි සයිටම් විරෝධී පා ගමන නිසා කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග පැය කිහිපයක්ම අවහිර වී තිබිණි. විරෝධතා පැවැත්වෙන්නේ පොදු ප්‍රශ්නයකට වේවා, ජාතික ප්‍රශ්නයකට වේවා සීමිත පිරිසකගේ ප්‍රශ්නයකට වේවා ඉන් අන් කිසිවකුට ප්‍රශ්නයක් ඇති විය යුතු නැත. විරෝධතාවකදී පෙළපාළියකදී නොව පෙරහරක් පැවැත්වුවද යම් අපහසුතාවක් පොදු ජනතාවට විඳීමට සිදුවීම වැළැක්විය නොහැකිය. එසේ නොවේ යැයි කීම නරුමකමකි.

පසුගිය වසරේ මාස දෙකක කාලයක් තුළ පමණක් කොළඹ නගරයේ පැවැති උද්ඝෝෂණ හා පෙළපාළි සංඛ්‍යාව 50කට ආසන්න බව දැනගන්නට ඇත. මේ වසරේ ගෙවුණු මාස දෙක තුළ පමණක් රාජකාරි දින 20ක් කොළඹ නගරයේ උද්ඝෝෂණ හා පෙළපාළි නිසා අපතේ ගොස් තිබේ. ඇතැම් විරෝධතාවන්ට කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල වූවා මිස වෙඩි ප්‍රහාර හෝ මැර ප්‍රහාර එල්ල වූයේ නැත. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ අර්බුදයක් වන තරමට විරෝධතා, පෙළපාළි, උද්ඝෝෂණ හා වැඩ වර්ජන පැවැත්වෙන්නේද ඒ නිසා විය යුතුය.

උද්ඝෝෂණ, විරෝධතා, වැඩ වර්ජන, පෙළපාළි පැවැත්වීම කිසිවකුට වාරණය කළ නොහැකිය. එහෙත් ඕනෑම දෙයක් කරන ක්‍රමයක් ඇත. ඒ බව විරෝධතාකරුවන් අවබෝධ කරගත යුත්තේ අවසානයේ විපාක විඳින සියලු දෙනා පොදුවේ නිසාය. බොහෝ විට බොහෝ දෙනා තේරුම් නොගන්නා කටුක සත්‍යයද එයමය. සියල්ලන් උත්සාහ කරන්නේ තනි තනිව නැඟීටසිටීමට මිස සමාජයක් ලෙස ගොඩනැගීමට නොවේ. සාමූහික සටන් තුළ ඇත්තේද බොහෝ විට පටු පරමාර්ථයන්ය. නොඑසේ නම් මාර්ග අවහිර කරමින් සහෝදර ජනතාව දුෂ්කරතාවට පත් කරමින් ආර්ථිකයට හානි සිදුවන ලෙස කටයුතු කරන්නේ නැත.

පාලකයන්ට 'නීති' සම්පාදනයට ඉඩ නොතබා විරෝධතා දැක්වීමේ අයිතිය අප සුරක්ෂිත කරගත යුතුය. ඒ සඳහා සබුද්ධිකව සිතා බලා වැඩ කිරීම අවශ්‍යය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon