හොරුත් සමඟ...

  👤  3410 readers have read this article !
2017-03-13

ඉකුත් ඉරිදා 'මව්බිම' ප්‍රධාන පුවතින් අනාවරණය කර තිබුණේ ඇමැති මණ්ඩල සංශෝධනයක් කිරීම සඳහා ජනාධිපතිවරයා මේ දිනවල අමාත්‍යාංශ සියල්ල අධීක්ෂණය කරමින් සිටින බවය. කැබිනට් සංශෝධනයක් ගැන සාකච්ඡාවක් මතු වූයේ මාස ගණනක සිටය. එහෙත් බාලගිරි දෝෂය මෙන් එය දිනෙන් දින කල් ගියේය. අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව නම් ආණ්ඩුවට තෙවසරක් පිරෙන අගෝස්තුවට පෙර ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුවීම අනිවාර්ය බව පෙනේ.
ඉකුත් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන සිය "මෛත්‍රි පාලනයක්-ස්ථාවර රටක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 'මගේ දැක්ම' ශීර්ෂය යටතේ මෙසේ සඳහන් කර තිබිණි.

'දූෂණ හා වංචා සැමදාම සිදුවූ බව සත්‍යයකි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ දූෂණවල ප්‍රමාණය ඉතිහාසයේ කිසිදු දිනෙක සිදු වූ බවක් අසන්නට ලැබී නැත.'

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ලක්ෂ 62කට වැඩි ජනතාවක් ඡන්දය දුන්නේ දූෂණයට හා වංචාවට වැට බැඳ හොරුන්, වංචනිකයන් හා අපරාධකාරයන් අල්ලා දඬුවම් දීමටය. 2015 පැවැති අගෝස්තු මහ මැතිවරණයේදීද එ.ජා.ප.යට හා ජ.වි.පෙ.ට ඡන්දය දුන් බහුතර ජනතාවගේ පරම අපේක්ෂාව වූයේද හොරුන් දූෂිතයන් අල්ලා දඬුකඳේ ගැසීමය.

ආණ්ඩුවට තෙවසරක් පිරීමට තව ඇත්තේ මාස කිහිපයක් වුවද තවමත් හොරුන්, දූෂිතයන් අල්ලා දඬුවම් දීමට සමත් වී නැත. පරීක්ෂණ, විමර්ශන, ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම්, ඇප ලබාදීම් සිදුවුවද සියලු නඩු විභාග තවමත් ඇත්තේ අතරමඟය. මේ කාලය තුළ ලබාදුන්නේ භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට හා නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට අදාළ නඩු තීන්දු පමණි.

රාජපක්ෂ ආණ්ඩුවේ සිටි හොරුන්, දූෂිතයන් කොටු කිරීම කෙසේ වෙතත් මේ වන විට සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන්ට හා තනතුරුලාභීන්ටද විවිධ දූෂණ, වංචා චෝදනා එල්ල වෙමින් පවතී. 'හොරුන් ඇල්ලීමට පැමිණි ආණ්ඩුව හොරු විසින් අල්ලාගෙන' ඇතැයි විපක්ෂයේ ඇතැමුන් කියන්නේ ඒ නිසාය. ඒ කතාව කෙසේ වුවද යහපාලනයක් ඇති කිරීමට පැමිණි ආණ්ඩුවේ හොරුන්, දූෂිතයන් සිටිය නොහැකිය. විශේෂයෙන් මැති-ඇමැතිවරුන්ට දූෂණ වංචා චෝදනා එල්ල වන්නේ නම් එය උත්ප්‍රාසජනකය.

මේ මජර ක්‍රමය තුළ බලය දරන්නකුට දූෂිතයකු වංචනිකයකු නොවී සිටීම දුෂ්කර ව්‍යායාමයකි. ඇතැමුන් 'යහපාලනය' ගැන කතා කළද ඔවුන්ගේ ඒකායන අරමුණ කල දුටු කල වළ ඉහ ගැනීමය. එහෙත් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ජනවරම දී ඇත්තේ ජනතාවට ද්‍රෝහී වන එවැනි ආත්මාර්ථකාමීන් පලවා හැර සැබෑ ජනතා නියෝජිතයන් සමඟ රට පාලනය කිරීමටය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට් සංශෝධනයකට ලකලෑස්ති වෙන්නේ ඒ වගකීම ඉටුකිරීම තේරුම්ගෙන විය යුතුය. හවුල් ආණ්ඩුවේ ඇමැති මණ්ඩල සංශෝධනය කිසි විටෙකත් ප්‍රධාන පක්ෂ දෙක අතර භේදයකට තුඩුදිය යුතු නැත. එසේ වීමෙන් සිදුවන්නේ නැති ප්‍රශ්නයක් ඇති කරගැනීමකි. සියලුදෙනාම සිතා බැලිය යුත්තේ රටේ අනාගතය ගැනය.

2015 ජනවාරි හා අගෝස්තු ජනවරමට අනුව කවුරු කවුරුත් කටයුතු කරන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් මතු නොවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්