මුදල් ඇමැතිට විරුද්ධව ශ්‍රීලනිප කැරැල්ලක්

  👤  4302 readers have read this article !
2017-03-12

කැබිනට් මණ්ඩල රැස්වීම ගෙවී ගිය සතියේදී පැවැත්වුණේ නැත. ජනපති මෛත්‍රිපාල විදේශ සංචාරයක නිරත වී සිටීම ඊට හේතු විය. හම්බන්තොට වරාය ඇතුළු ආයෝජන කලාපය සම්බන්ධ ගිවිසුම ගැන එදින සාකච්ඡාවට ගැනීමට සැලසුම් කොට තිබිණි. ජනාධිපතිවරයා නොමැති අවස්ථාවක එවැනි ගිවිසුමක් පිළිබඳ තීරණයකට ඒම සුදුසු නැති බවට ශ්‍රී ලනිප අගමැතිවරු පෙන්වාදීම නිසා කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වීමට තීරණය කොට තිබිණි.

ඉන්දියානු සාගර කලාපයේ රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ සඳුදාය. සුකර්නො හට්ටා ගුවන්තොටුපොළෙන් ඉන්දුනීසියාවට ගිය ජනාධිපතිවරයා එදින එරට සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමුවිය. 'මාතෘ භූමියට එරෙහි අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා' එහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ඉන්දියානු සාගර කලාපයේ රාජ්‍ය නායක සමුළුව පැවැත්වුණේ අඟහරුවාදාය. ඒ ජකාර්තා නුවරදීය. බදාදා ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩොඩෝ හමුවී සාකච්ඡාවක් කිරීමටද මෛත්‍රිපාල සිරිසේනට හැකි විය. ඒ මර්ඩෙකා මන්දිරයේදීය. දෙරට අතර ගිවිසුම් දෙකකටද එහිදී අස්සන් තැබූහ.

බදාදා පාර්ලිමේන්තුව රැස්වූයේ විවිධ ගාලගෝට්ටි මධ්‍යයේය. එහෙත් ඒ අතර අගමැතිවරයා එජාප මැති ඇමැතිවරුන් පිරිසක් සමඟ දේශපාලන අල්ලාප සල්ලාපයක යෙදෙන්නට ද කාලය වෙන් කරගත්තේය.

'පාර්ලිමේන්තුවෙ ඉන්නෙ පක්ෂ 6යි. වීරවංශ ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ඒ නිසා ස්වාධීන වෙන්න බැහැ කියලා කතානායකතුමා තීන්දුවක් දුන්නම ඊට එකඟ නොවී පාර්ලිමේන්තුව කඩාකප්පල් කරනවා. ඒවට ඉඩ දෙන්න බැහැ. දිනේෂ්ගේ හැසිරීම පුදුමයි. විමල්ගෙ තනියට ආවෙ දිනේෂ් විතරයි. වීරවංශ අහෝසි වුණා. දිනේෂ් තමන්ගෙ ප්‍රතිරූපය නැති කර ගත්තා. පසු පෙළ මන්ත්‍රිලවත් නොකියන වචන කීම පුදුමයි.' කිරිඇල්ල පෙන්වා දුන්නේය. 'වීරවංශ මෙතෙක් පොරවාගෙන හිටපු බොරු සිංහ හම දිනේෂ් ඇඳගත්තා' යැයි රන්ජන් කී විට ඇමැතිවරයා පැවැසුවේ ඔව් එයා වීරවංශ අභිභවලා එයාට ඕන දේ කරගත් බවකි. ජී.එම්.ඕ. එකයි, සිසුනුයි, ජවිපෙයි,පෙරටුගාමීනුයි කියන්නෙ සුළු පිරිසක්. එයාල සයිටම් එකට විරුද්ධව දවස ගාණෙ පෙළපාළි යනවා. උසාවි නියෝග පවා පිළි නොගන්න තත්ත්වයට පත්වෙලා. විරෝධතාවලට වෙනමම තැන් නියම කරන ක්‍රමවේදය ඉක්මන් කරන්න වෙනවා' කිරිඇල්ල යළි වෙනත් මාතෘකාවක් ඇදගත්තේය. 'සතියකට එක් වරක් විතරක් විරෝධතා කරන්න ඉඩදීම මුලින් කරන්න වෙනවා' දයා ගමගේ යෝජනා කෙළේය. 'ජනමාධ්‍යවලටත් මෙතැනදී ලොකු වගකීමක් තිබෙනවා' යැයි මතක් කළේ ගයන්තය.

'ඉස්සර පාතාලෙ මරාගත්තෙ කුඩුවලට හා ගිනි අවිවලට. ඒත් දැන් පස් හා වැලිවලට මරා ගන්නවා. මේකට ඉක්මනින් තිත තියන්න වෙනවා' රන්ජන් කීවේ අගමැතිවරයාටය. 'මම පොලිසිය එක්ක මේ ගැන කතා කළා. අලුත් නීති ගේනවා. එස්.ටී.එෆ්. හා බුද්ධි අංශත් වැඩේට යොමු කරනවා' අගමැතිවරයා ඊට දුන්නේ එවැනි පිළිතුරකි.

'අගමැතිතුමයි, ජනාධිපතිතුමයි හයිබි්‍රඩ් අධිකරණයට විරුද්ධ වීම ජනතාව අගය කරනවා' දයා ගමගේ කීවේය. 'හයිබි්‍රඩ් අධිකරණයක් මේ රටට ප්‍රායෝගික නෑ. අපේ ව්‍යවස්ථාව යටතේ ජනමත විමසුමක් නැතිව හයිබි්‍රඩ් ඇති කරන්නත් බැහැ. සාධාරණ ලෙස බලය බෙදාගන්න ජනතාව කැමැතියි. ටී.එන්.ඒ. එකවත් හයිබි්‍රඩ් ඉල්ලන්නෙ නැහැ' අගමැතිවරයා කරුණු පැහැදිලි කළේය' එතකොට සත්‍ය කොමිසමයි සංහිඳියා කොමිසමයි ගෙන්නෙ නැද්ද?' හැරිසන් එම ප්‍රශ්නය යොමු කළේ අගමැතිවරයාටය. ඒ කොමිෂන් ගේනවා. හමුදාවත් ඒ වැඩේට ඉතා කැමැතියි. සත්‍ය හෙළි වුණාම එක එක්කෙනාගෙ කොන්ත්‍රාත් මත වැරැදි කරපු කිහිප දෙනෙක් හැර හමුදාවෙ අනෙක් සියලු දෙනාම පිරිසුදුවනවා' අගමැතිවරයා දුන්නේ එවැනි පිළිතුරකි. 'සැප්තැම්බර්වලට ආණ්ඩුව ඉවරයි කියලා ඒකාබද්ධ විපක්ෂයේ අය කියනවා. සැප්තැම්බර්වලදී ඒකාබද්ධ විපක්ෂය ඉවරයි. වැරැදි කරපු හොරු හිරේ යෑමත් ඔය කාලයේ පටන් ගනීවි කියලා රාජිත හොඳ අනාවැකියක් කියල තිබෙනවා' යැයි රවි කීවේය. 'අවස්ථාවාදීව වගකීමක් නැතිව හැසිරෙන ජනමාධ්‍ය කිහිපයක් කියන දේ ජනතාව ඇහුව නම් මහින්ද පරදින්නේ නැහැ' ගයන්ත කීවේය. 'ඇමෙරිකාව එක්ක අපි ආරක්ෂක ගිවිසුමක් අලුත් කරන්න යනවා කියලා විපක්ෂය වලිගය පාගාගෙන තව බොරුවක් රටට කියනවා' දයා ගමගේ කීවේ අගමැතිවරයාගේ අවධානය ඊට යොමු කරමින්ය. 'ඇමෙරිකාව එක්ක ලංකාවට ආරක්ෂක ගිවිසුමක් නැහැ. ඇක්සා ගිවිසුම විතරයි තියෙන්නෙ. අවි ආයුධ ඇතුළු යුද උපකරණ අපට අවශ්‍ය නම් තොග මිලට ගන්න ඒ මඟින් අවස්ථාව සැලසෙයි. අපි වගේ රටවල් ඒ වරප්‍රසාදය යටතේ යුද උපකරණ ගන්නව නම් රටට වාසියි' අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

හිටපු ජනපති මහින්ද ඉරිදා අගලවත්ත, කලුවැද්දාව විහාරස්ථානයේ ආගමික කටයුත්තකට සහභාගි විය. ඔහුට එහිදී වඩාත් කතා බහ කිරීමට සිදු වූයේ දේශපාලන ක්‍රියාකාරකම් ගැනයි. 'ශ්‍රී ලනිපය කියන්නෙ ජයග්‍රහණයෙන් වගේම පරාජයෙනුත් පන්නරය ලබපු පක්ෂයක්. මමත් ජයග්‍රහණය වගේම පරාජයත් හොඳට අත්විඳලා තියෙනවා. අපට ඕවා අලුත් දේවල් නෙවෙයි' මහින්ද කීවේය. මෙහිදී මහින්ද අතීත කතාවක්ද සිහිපත් කරන්නට විය. '1977 දී අපි එක පෙළට ආසන පරදින කොට අෑත හිටපු යූ.ඇන්.පී. කාරයො මට ටිකෙන් ටික ළං වුණා. මට හිතුණා එන පොට හොඳ නැහැ කියලා. මට හයියක් ආවෙ වෙල්ගම යෝධයෙක් වගේ වාහනෙන් බැහැලා එතැනට එනව දැක්කමයි. මමත් වීරය වගේ වෙල්ගමගෙ වාහනේ නැඟල උපක්‍රමශීලීව පසු බැහැලා අන්තිමට නැවතුණේ මොන්ටි ගොපල්ලවගෙ ගෙදර. අපි එහෙමයි පක්ෂය ආරක්ෂා කෙළේ' මහින්ද එසේ කියන විට වෙල්ගම කීවේ 'පක්ෂය රැකපු අපට දැන් සලකන්නෙ මෙහෙමයි. දැන් නම් සර් ආසන සංවිධාකයකකම් නැතත් කමක් නෑ' යනුවෙන්ය. ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා දින සැමරුම් උත්සවය බදාදා පැවැත්වුණේ විහාරමහාදේවි උද්‍යානයේදීය. ඊට පැමිණි මන්ත්‍රිවරු පිරිස අසුන් ගත්තේ වේදිකාවෙන් පහළය. 'ඔබතුමාල ඔහොම යට ඉන්න එපා. උඩට එන්න' පවිත්‍රා ඔවුන්ට ආරාධනා කළාය, කමක් නෑ. මන්ත්‍රිතුමිය ඔයාල හැමදාම යට ඉන්නවනෙ. අද උඩ ඉන්න' ප්‍රසන්න කීවේ සිනාසෙමින්ය. 'පවිත්‍රා අද කාන්තා දින වේදිකාවට අරන් තියෙන්නේ හැට පැනපු පිරිමි විතරයි' වේදිකාව මත සිට වටපිට බලද්දී දිනේෂ්, වාසු ඇතුළු පිරිස දුටු හිටපු ජනපති මහින්ද කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමට කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පෙබරවාරි 22දාය. කතානායක කරු ජයසූරිය ඒ පිළිබඳ තීරණය ප්‍රකාශ කළේ බදාදාය. 2014දී රවුෆ් හකීම් කළ එවැනි ඉල්ලීමක්ද ප්‍රතික්ෂේප වූ බවට වන පූර්වාදර්ශයක් පෙන්වා දුන් කතානායකවරයා විමල්ගේ ඉල්ලීම ඉටු කළ නොහැකි වග දැන්වීය. "එක් පිළිගත් පක්ෂයකින් තේරී පත්වූ පසුව කිහිප දෙනකුට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩදීම තුළින් පක්ෂ නායකයන් විශාල පිරිසක් බිහි වීමෙන් පාර්ලිමේන්තු ක්‍රමය කඩා වැටෙනවා" එහිදී කතානායකවරයා සඳහන් කළේය. එහෙත් ඊට විමල් විරුද්ධ වූ අතර දිනේෂ්ද විරෝධයට එක් වී ආවේගශීලීව අදහස් දැක්වීය. මේ හේතු නිසා දෙවරක්ම සභාව කල් දැමීමට සිදුවිය. එතැනින්ද ගාලගෝට්ටිය සමථයකට පත් නොවීය. ඒ නිසා මන්ත්‍රිවරුන් පිරිසකගේද අදහස් සැලකිල්ලට ගනිමින් දිනේෂ් ගුණවර්ධන සභා ගර්භයෙන් ඉවත් කිරීම සඳහා නියෝග කළද එය අසාර්ථක විය. කතානායකගේ නම් කිරීම පරිදි සභා නායක කිරිඇල්ල සතියක පාර්ලිමේන්තු තහනමක් දිනෙෂ් ගුණවර්ධනට පැනවීමේ යෝජනාවක් ගෙනාවේය. ඊට පක්ෂව ඡන්ද 85ක්ද විපක්ෂව 22ක්ද ලැබිණි. ජවිපෙ ඇතුළු 3 දෙනෙක් ඡන්දය නොදුන්හ. නොපැමිණි සංඛ්‍යාව 114කි. "මේ පාර්ලිමේන්තුවේ මේ වගේ දේවල් වීම වළක්වන්න අපි සෑහෙන්න උත්සාහ කළා. අලුත් ආචාරධර්ම පද්ධතියක් හැදුවා. ස්ථාවර නියෝග හැදුවා. සජීවී විකාශයක් ආරම්භ කරලා ජනතාවට ආදර්ශවත් ලෙස හැසිරෙන්න කිව්වා. නමුත් මේ වගේ වෙලාවට හිතෙනවා ඒ ඔක්කොම ගඟට කපපු ඉනිද කියලා" සිය නිල කාමරයට පැමිණි කතානායකවරයා සඳහන් කළේය.

එවැනි තහනමක් ලද අට වැනි මන්ත්‍රිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනගේ නම පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වෙයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන්ගේ හමුවක් බ්‍රහස්පතින්දා රාත්‍රි ජාවත්ත මහගමසේකර මාවතේ පිහිටි මහින්ද අමරවීරගේ නිවෙසේදී පැවැත්විණි. ඉදිරි දේශපාලන කටයුතු රැසක් පිළිබඳ එහිදී අවධානය යොමු වී තිබේ. ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමද එක් මාතෘකාවක් විය. මේ මඟින් ආණ්ඩුව දැඩි ලෙස චෝදනාවට ලක්වී ඇති නිසා ජනාධිපති කොමිසම මඟින් ඊට සාධාරණ විසඳුමක ජනතා අපේක්ෂාව ගැන එහිදී සාකච්ඡා විය. හිටපු මහ බැංකු අධිපති බැඳුම්කර වෙන්දේසි කරන ස්ථානයට පැමණීම, ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව වෙන්දේසි කාලය දීර්ඝ කිරීම ආදිය මඟින් රජය අපකීර්තියට පත්වූ බව ඔවුන්ගේ අදහස විය. මේ සිද්ධියට සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කිරීම ගැන මුදල් ඇමැතිවරයාට ශ්‍රී ලනිප මැති ඇමැති පිරිස චෝදනා කළහ. ඔහු තවදුරටත් තනතුරේ තබා ගැනීම මඟින් ඇතිවන අහිතකර තත්ත්වය ජනාධිපතිවරයාට පෙන්වා දීමටත් ඒ අනුව මුදල් ඇමැති ධුරය වෙනත් අයකුට පැවැරීමටත් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටීමටද ඔවුහු එකඟතාවක් ඇති කර ගත්හ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම බදාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ය. මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කෙරෙහි දීර්ඝ ලෙස අවධානය යොමු වූ අතර දිස්ත්‍රික් හා කොට්ඨාස බල මණ්ඩල මෙන්ම ලක්වනිතා හා යොවුන් බල මණ්ඩල ප්‍රතිසංවිධාන කටයුතු 30 වැනිදාට පෙර අවසන් කරන ලෙසද අගමැතිවරයා උපදෙස් දුන්නේය. 'පක්ෂයත්, ආණ්ඩුවත් සමඟ එකට වැඩ කරන්න ඕන. මැයි දිනය කැම්බල් පිටියේ දී පැවැත්වීමටත් අදහස් කරනවා' එහිදී රනිල් වික්‍රමසිංහ කීවේය. එහෙත් එම අවස්ථාවේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැනත් විශේෂයෙන් ශ්‍රී ලනිප මැතිඇමැතිවරු ගැනත් චෝදනා මුඛයෙන් ඇතමෙක් අදහස් ප්‍රකාශ කළහ. පාලිත රංගේ, ලක්ෂ්මන් විජේමාන්න, අජිත් පී. පෙරේරාද ඒ අතර වූහ. රැකියා දස ලක්ෂයේ අපේක්ෂා ඉටු නොවීම ආදී කරුණු නිසා පාක්ෂිකයන් එක් කර ගැනීමේ අභියෝගය ගැනද ඔවුහු ප්‍රකාශ කළහ. එමෙන්ම වසර 20ක් තිස්සේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පාක්ෂිකයන්ට තවම සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වීම ගැනද එහිදී කියැවිණි.

'දැනටමත් රැකියා ඇති කරලීමේ මූලික කටයුතු සිදු කොට තිබෙනවා. කඩිනමින් ඒවා සිදු කිරීමට කාගේත් සහාය අවශ්‍යයි' එහිදී රනිල් වික්‍රමසිංහ කීවේය. මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා මහලේකම් කබීර්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණි. නියෝජ්‍ය මහ ලේකම් අකිලගේ ප්‍රධානත්වයෙන් දේශපාලන අංශ ප්‍රතිසංවිධානයට කමිටු පත් කෙරුණි. ඡන්ද පොළ නියෝජිතයන් ඇතුළු ජනතාව දැනුවත් කිරීමේ මූලික වගකීම ඔහුට භාර විය. එමෙන්ම පරිපාලන හා මාධ්‍ය කටයුතුවලටද තවත් කමිටු පත් කරනු ලැබීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවැරුණු 21 වැනි උදා ගම්මානය වන කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර 'වීදියබණ්ඩාරගම' විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිතයා වූයේ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාය. පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා සහ අගලවත්ත එජාප ප්‍රධාන සංවිධායක හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රි පී.ඩී. අබේරත්න එහි සිටි සෙසු ප්‍රධාන චරිත දෙක විය. එහිදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ජනතා සේවාවන් සිහිපත් කරමින් කතා කළ ගයන්ත මෙසේ කීය. 'සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා එක්ක වැඩ කරන එක ලේසි නෑ. රෑ 1ට විතර දුරකතනය නාද වුණොත් මං දන්නවා කාගෙන්ද කියලා. නින්ද යන්නෙ නැති ලෙඩකුත් තියෙනවා එතුමාට. වැඩ කරන්නමයි, ඉපදිලා තිබෙන්නේ. 'කොහොමද අර උදාගමේ වැඩ?' කියලා ඇහුවම නිදිමතේ මමත් මොකක් හරි කියනවා. ඒ ගමන කියනවා නෑ නෑ එතැන ගෙවල් 25න් 15යි හදලා තියෙන්නේ. වහල මට්ටමේ තවම 2යි. කපරාරු මෙච්චරයි කියලා. දැන් වාර්තා අතේ තියාගෙන තමයි පිළිතුරු දෙන්න වෙලා තියෙන්නේ. ඒ තරමට ප්‍රායෝගිකයි. කිසි කෙනකුට එතුමාගේ කනෙන් රිංගන්න බෑ. ජනාධිපති, අගමැති ආශීර්වාදය ඇතිව දුප්පත් ජනතාව වෙනුවෙන් කරන සේවය හදවතින්ම අගය කරනවා.

අඟහරුවාදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය කෝප් සභාවට කැඳවා තිබිණි. උපකුලපතිවරයා, කළමනාකරණ පීඨයේ පීඨාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් කමිටුවට කැඳවා තිබිණි. එහි විශේෂත්වයක් වූයේ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා විශ්වවිද්‍යාලයේ සිටියදී ඔහුට අධ්‍යාපනය ලබාදුන් ආචාර්යවරුන් සහ ඔහු සමඟ අධ්‍යාපනය ලබා මේ වන විට විශ්වවිද්‍යාල සේවයේ සිටින පිරිසකගෙන් විමර්ශනය සඳහා කරුණු විමසීමයි. 'මම ඉගෙන ගත්තු අයගෙන්ම මට ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා අද. ඔබතුමාලා අපිට උගන්වපු කරුණු මත තමයි අද මේ විදියට ප්‍රශ්න කරන්න දැනුම ලැබුණේ. ඒ වගේම මාත් එක්ක ඉගෙන ගත්ත පිරිසකුත් අද විශ්වවිද්‍යාල සේවයේ ඉන්නවා. ඒ ගැනත් සතුටුයි. අපි හැමෝම මේ විමර්ශනයට එකතු වුණු එක විශේෂත්වයක්ම තමයි' කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කියා සිටියේය.

මැලේසියාවේ පැවැති ධනාත්මක චින්තනය පිළිබඳ අධ්‍යාපන වැඩමුළුවක් සඳහා කාර්යාල කාර්ය සහායකයන් සහ රියැදුරන් පිරිසක් යවා ඇති බව විමර්ශනවලදී හෙළි විය. 'රියැදුරන්ට, කාර්යාල කාර්ය සහායකයන්ට අධ්‍යාපන වැඩමුළු කරන එක හොඳයි. නමුත් ධනාත්මක චින්තනය වගේ දේවල් ලංකාවේදීත් කරන්න පුළුවන්. මේවට අනවශ්‍ය විදියට මුදල් වියදම් කරන එක තමයි ගැටලුව වෙලා තියෙන්නේ' කෝප් සභාපතිවරයා කියා සිටියේය. මේ අතර විශ්වවිද්‍යාලයේ ඇතැම් පීඨවලට පුරප්පාඩු තිබියදී සිසුන් ඇතුළත් කර නොගැනීම පිළිබඳවත් සාකච්ඡා විය.

විමල් වීරවංශගේ උපන් දිනය යෙදී තිබුණේ අඟහරුවාදාටය. ඔහු අද වන විට දින 63ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියි. හිටපු ජනපති මහින්දගේ යෝජනාවක් අනුව විමල්ගේ උපන් දින සැමරුම සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේදීය. කේක් ගෙඩිය මාංචු කුට්ටමක ආකෘතියකින් සකස් කරන ලෙස උපදෙස් දී තිබුණේද මහින්දයි. විමල්ගේ බිරිය සහ දරු දෙදෙනාද එම අවස්ථාවට එක් වූහ. ප්‍රථම කේක් කැබැල්ල බිරියටද අනතුරුව විභූති සහ විමාශා දරුවන්ටද කැව්වේය. අනතුරුව මහින්ද, ඩලස්, ප්‍රසන්න ඇතුළු පිරිසටද කැව්වේය. 'හෑන්ඩ්කප් කේක් හරි රසයිනෙ' ප්‍රසන්න කේක් කෑල්ලක රස බලමින් කියද්දී 'මෙයාටත් හෑන්ඩ්කප් කේක් රස බලන්න හිතිලද කොහේදෝයි' සෙසු අය විහිළු කළහ. 'එන්න එන්න කට්ටියම ඇවිත් රස බලමු' යැයි විමල් විහිළුවකින් ආරාධනාවක් කෙළේය.

'ශ්‍රමික සුරැකුම' ජංගම වැඩසටහනක් බ්‍රහස්පතින්දා පදවි ශ්‍රීපුර කාර්යාලයේදී පැවැත්විණි. විදේශ රැකියා ඇමැතිනි තලතා සහ නියෝජ්‍ය ඇමැති මනුෂ ඊට සහභාගි වූහ.
මෙහිදී එජාප පළාත් පාලන නියෝජිත පිරිස ඇමැතිවරිය පෞද්ගලිකව හමුවී කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියහ. ඊට කැමැති වූ ඇමැතිවරිය එම අවස්ථාව දුන්නාය. එම සාකච්ඡාවෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණෙන ඇමැතිවරිය ගසක් යට තවත් කිහිප දෙනකු සමඟ කතාබහක නිරත මනුෂ දුටුවාය. මනුෂ කතා කරමින් සිටියේ එජනිස නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සමඟින්ය. එය දුටු තලතා "මම ඇතුළේ ඉඳන් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න හැටි කතා කළා. ඔයාල එළියට වෙලා අලුත් ආණ්ඩුවක් හදන හැටි ද කතා කළේ?" යැයි විමසුවාය. ඊට මනුෂ පිළිතුරු දුන්නේ සිනහවකින් පමණය.

පසුගිය සති අන්තයේ රංජිත් මද්දුමබණ්ඩාර සහ වජිර අබේවර්ධන ඇමැති දෙපළ සියඹලාණ්ඩුව සහ වැල්ලවාය ප්‍රදේශවල ව්‍යාපෘති රැසක් විවෘත කළහ.
වැල්ලවායේ පැවැති උත්සවයකදී මද්දුම බණ්ඩාරට කතාවකට ආරාධනයක් ලැබිණි. 'අපි දෙන්න වැඩ කරන්නෙ එකම ගොඩනැඟිල්ලෙ. ඒ තරමටම අපි දෙන්නා සමීපයි. කොච්චර සමීපද කියනවා නම් පරිපාලන ඇමැතිවරයා විදියට මගේ බඩු තමයි අපේ ස්වදේශ කටයුතු ඇමැතිතුමාගේ කඩේ විකුණන්නෙ' ඔහු කීවේය.

කුමාර වෙල්ගම මන්ත්‍රිවරයාගේ දේශපාලන දිවියට වසර 35ක් පිරීම නිමිත්තනේ උපහාර පිදීමේ උළෙලක් පසුගිය ඉරිදා මතුගම, අගලවත්තේදී පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. මහින්ද ඊට සහභාගි වෙමින් සිටියදී චමල් රාජපක්ෂද පසු පසින් පැමිණෙන බව සැලවිය. ඒ නිසා මහින්ද තම සහෝදරයා පැමිණෙන තුරු ටික වේලාවක් වේදිකාව පාමුල නතරව සිටියේය. ඒ අනුව තමන්ට පෙර වැඩිමල් සහෝදරයාට වේදිකාවට ගොඩවීමට මහින්ද අවස්ථාව දුන්නේ එලෙසින්ය.
මෙහිදී තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තනිවම හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වීමට කැමැත්තක් ඇති බව වෙල්ගම කීවේය. එම වේදිකාවේ නව පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. ඇල්. ද විය. ඔහු දෙසට හැරෙමින් තමන් පක්ෂ සභාපති සමඟ කතා කොට එම තීරණය ගන්නා බව කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon