දූපත, ලෝකය හා ජිනීවා

  👤  5253 readers have read this article !
2017-03-12

ශ්‍රී ලංකාව දිවයිනකි. එහෙත් තවදුරටත් දූපත් මානසිකත්වයකින් කටයුතු කිරීමට හැකියාවක් අපට නැත. තවදුරටත් යැයි සඳහන් කළේ ලෝකයේ රටවල් සමඟ අප ආරවුල් ඇති කර ගැනීමට අපේ මේ දූපත් මානසිකත්වයද හේතු වී ඇති නිසාය. 2015 ජනවාරියේ මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට පත්වන විට ජිනීවාහි නිර්මාණය වී තිබුණේ මෙරටට අවාසිදායක තත්ත්වයකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු තත්ත්වය රටට හිතකර ලෙස වෙනස් කර ගැනීමට සමත් වූහ. එහෙත් ඉන් කියවෙන්නේ සියයට සියයක්ම සාර්ථක බව නොවේ.

ජිනීවාහිදී ශ්‍රී ලංකාව සිරවීමකට ලක්වූයේ ශ්‍රී ලංකා රජයේ දෙබිඩි පිළිවෙත නිසාය. 2009 යුද්ධය අවසන් වීමත් සමඟ දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් රජය සමඟ ඒකාබද්ධ නිවේදනයට අස්සන් තැබීය. එහි සඳහන් වූයේ ජාත්‍යන්තර බැඳීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බවය. යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා තිරසර සාමයක් වෙනුවෙන් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් දිගින් දිගටම ජිනීවා මානව හිමිකම් කොමිසම ප්‍රශ්න කරන්නේ මේ ඒකාබද්ධ නිවේදනය අනුව යමිනි. 2009 වසරේ සිවිල් යුද්ධය අවසානයේ ශ්‍රී ලංකාව ධවල පත්‍රිකාව ඉදිරිපත් කළේ නැත. එවැනි ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සිවිල් යුද්ධවලට මුහුණ දෙන රටවල සම්ප්‍රදායකි. දකුණු අප්‍රිකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු ඔවුහු එවැනි වගවීමේ ක්‍රියාවලියක් අනුගමනය කළහ.

රාජපක්ෂ ආණ්ඩුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත් කිරීමට ගත් තීරණය විශිෂ්ටය. ඒකාබද්ධ ප්‍රකාශයේ කරුණු ඉටු නොකිරීම නිසා පත් කළ දරුස්මාන් කමිටුවට සමගාමීව ප්‍රතිසන්ධාන කොමිසම පිහිටු වුවද අවසානයේ සිදු වූයේ නටපු තොවිලෙකුත් නැති බෙරේ පළුවකුත් නැති ජාතියේ වැඩකි. දරුස්මාන් වාර්තාවත් ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා ඉටු කිරීමෙන් වැළැකිණි. අලි මදිවාට හරක් කීවා සේ රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ පිළිවෙතද නාය ගියේය.
මේ සියලු කියුම් කෙරුම්වල අවසාන ප්‍රතිඵලය වූයේ රට ලෝකය ඉදිරියේ කොන් වී යෑමය. එහෙත් මෛත්‍රි - රනිල් ආණ්ඩුව රටට අහිමි වූ ලෝක ජනමතය ආපසු හිමි කර ගැනීමට අඩු වැඩි වශයෙන් සමත් විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අසල්වැසි ඉන්දියාව සිය පළමු නිල සංචාරයට තෝරා ගත් අතර මෙරටට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා වූයේද ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිය.
ඉන් අනතුරුව එංගලන්තය, ඇමෙරිකාව, චීනය ඇතුළු ලෝකයේ ප්‍රමුඛ රටවල ජනාධිපතිවරයා සංචාරය කළේය. ප්‍රබල රටවල රාජ්‍ය නායකයෝ කිහිප දෙනෙක් මෙරටට සංචාර සඳහා පැමිණියහ.

ජනාධිපතිවරයා පසුගිය සතියේ ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වූයේ එරට පැවැති ඉන්දීය සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහාය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු එරට සංචාරයක නිරතව ඇත්තේ වසර 41කට පසුව වීමද විශේෂත්වයකි. එහිදී ජනාධිපතිවරයාව ඉහළම ගෞරව සම්මාන පිරිනමමින් උණුසුම්ව පිළිගැනීමට ඉන්දුනීසියා රජය පියවර ගෙන තිබිණි. දෙරටේ නායකයන් අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ශ්‍රී ලංකා - ඉන්දුනීසියා නිදහස් වෙළෙඳ ගිවිසුමකට එකඟතාව පළ කර ඇත.

කෘෂිකර්මාන්තයට මුල් තැන දෙන එහෙත් තාක්ෂණික දැනුමෙන්ද ඉහළ තැනක සිටින රටක් සමඟ සබඳතා තහවුරු කර ගැනීම දිගු කාලීනව රටට හිතකරය. කෘෂි දැනුමද මින් හුවමාරු කරගත හැකි වනු ඇත. සමුද්‍රීය හා ධීවර සහයෝගිතාව හා සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ගිවිසුම් දෙකකටද එහිදී අස්සන් තබා තිබිණි. නීති විරෝධීව මසුන් ඇල්ලීම වැළැක්වීම හා ධීවර කර්මාන්තය නැංවීම සඳහා ජාත්‍යන්තර සම්මුතිද මෙහිදී අස්සන් තබා තිබේ.

ඉන්දියාව ඇතුළු කලාපීය රටවල් සමඟ සබඳතා තහවුරු කරගනිමින් පලුදු වූ හිත් පිරියම් කරගනිමින් ශ්‍රී ලංකාව කටයුතු කළ යුත්තේ බටහිර කඳවුර තුලනයට ඉන් නොමඳ පිටිවහලක් ලැබෙන නිසාවෙනි. ඉන්දුනීසියාව වැනි රටවල් සමඟ නිවැරැදිව ගනුදෙනු කිරීමෙන් මහා බලවතුන් ලංකාවට කරන බලපෑම් කළමනාකරණය කර ගැනීමට හැකිවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon