මැති-ඇමැති සුපිරි රිය ‍දොලදුක

  👤  2672 readers have read this article !
2017-03-10

1994දී එජාප ආණ්ඩුව පරාජය කර බලය ලබා ගත් ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මැතිවරණ සටනේදී කියා සිටියේ බලයට පැමිණි පසු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයන්ට ලබාදෙන්නේ අඩු මිල සරල වාහනයක් බවය. ඒ පොරොන්දුව වඩාත් බලවත් වූයේ එජාපයේ දාහත් අවුරුදු පාලන කාලය තුළ සුපිරි වාහන හිමිකරුවන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පමණක් නොව පළාත් සභා මන්ත්‍රිවරුන් පවා පත්ව සිටීම නිසාය. පොදු පෙරමුණු ආණ්ඩුවේ සෙසු පොරොන්දු මෙන්ම නිලවාහන පොරොන්දුවද කාලයේ වැලි තලාවෙන් වසා දැමිණි.

කාරණය අනෙකකි.
පෙරේදා බොහෝ පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂය වූයේ 'ඇමැතිවරුන් එකොළහකට වාහන ගන්න කෝටි 53ක් ලබාදෙන ලෙස ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය. මැති-ඇමැතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තු මෙලෙස ඉදිරිපත් කළ පළමුවැනි අවස්ථාව මෙය නොවේ. ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා 2016 වසරේ පිළිවෙළින් රුපියල් කෝටි 118ක හා කෝටි 79ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කළේය. මින් එක් ඇස්තමේන්තුවක් අගමැතිවරයා විසින් අත්හිටවනු ලැබිණි. 2016 මැයි ගංවතුරත්, සාලාව ක¼දවුර පිපිරීමත් නිසා අවතැන් වූ හා අසරණ වූ ජනතාවට සහන සැලසීමට මුදල් අවශ්‍ය වීම ඊට හේතුව ලෙස දැක්විණි.

ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා 53,79,62,790ක මුදලක් යළි ඉල්ලා ඇත්තේ 'සාලාව' අනතුරෙන් හා ගංවතුර උවදුරෙන් අවතැන් වූවන්ට සහන සලසා අවසන් කිරීමෙන් පසුවද යන්න ප්‍රශ්නයකි. අඩුම ගණනේ කෑගල්ලේ සාමසර, කොස්ලන්ද, මීරියබැද්ද හා කෑගල්ල කළුපහන කඳු නායයෑම්වලින් අවතැන් වූවන්ගේ ප්‍රශ්නය තවමත් මුළුමනින්ම විසඳී නැත. උතුරේ යුද්ධයෙන් අවතැන් වූවන්ගේ ප්‍රශ්නයටද තවදුරටත් පිළියම් කළ යුතුය.

මැති ඇමැතිවරුන්ගේ අලුත් වාහන ‍දාළදුක සංසිඳුවීමට රුපියල් කෝටි ගණන් වැය කිරීමට තිබේ නම් අවතැන් වූ, අනාථ වූ, ජනතාවගේ හිසට සෙවණක් දෙන්න හිතට නිවනක් ඇති කිරීමට ඒ මුදල් වැය කිරීමට බැරිකමක් ආණ්ඩුවට තිබිය නොහැකිය. පසුගිය ආණ්ඩු කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය විශාල වාහන සංචිතයක් නඩත්තු කළේය. අමාත්‍යාංශ ඇතුළු රජයේ බොහෝ ආයතනවලටද ඕනෑ තරම් වාහන ලබාදී තිබිණි. නිවාස අමාත්‍යාංශයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු ඇමැති විමල් වීරවංශ මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. නවීන වාහන රජයට ඕනෑ තරම් තිබියදී, ගත්ත ණය ගෙවමින්, ණයට අරගෙන වියදම් කරමින් අලුතෙන්ම වාහන ආනයනය කරන්නේ කුමකටදැයි යන්න ප්‍රශ්නයකි. වරෙක ඇමැතිවරයකු ප්‍රකාශ කර තිබුණේ ඊට පෙර සිටි ඇමැතිවරයා පාවිච්චි කළ වාහනය තමන්ට පාවිච්චි කළ නොහැකි බවය. වටිනා වාහනයක් තමන්ට නොලැබීම රටේ කීර්තිනාමයට නොගැළපෙන බව තවත් ඇමැතිවරයකු කියා තිබිණි. මෙවැනි කතා ඇසෙන විට ඒවාට පිළිතුරු දිය යුත්තේ කොයි මුඛයෙන්දැයි ප්‍රශ්නයක් සබුද්ධික ජනතාවට මතුවීම නොවැළැක්විය හැකිය.

රට පොහොසත් නම් ජනතාව සමෘද්ධිමත් නම් මැති-ඇමැතිවරුන් කෝටි ගණනක වාහන පාවිච්චි කිරීම කිසිවකුට ප්‍රශ්නයක් වන්නේ නැත. රට ණය උගුලක පැටලී සිටින බව කියන ආණ්ඩුවම මෙවැනි වැඩවලට අනුමැතිය දීම තේරුම් ගැනීමට යෑම දෙකොන පූට්ටු වන වැඩකි. මේ වියදම් කරන්නේ රට රටවලින් ණයට ගත් මුදල් හා ජනතාවගේ බදු මුදල්ය. මැති-ඇමැතිවරුන්ට ජනතාවට සේවය කිරීමට බර කරත්තයෙන් යා නොහැකිය. නවීන වාහනයක් ඔවුන්ට ලබා දිය යුතුය. එහි විවාදයක් නැත. එහෙත් ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධාකාර ප්‍රශ්න රැසකට රට මුහුණ දී සිටින අවස්ථාවක කෝටි 53ක් වැයකර 'වාහන' ගෙන්වා ගැනීම සඳහා අනුමතිය දීමට කවරකු හෝ කටයුතු කිරීම ජනතාවට කරන ද්‍රෝහිකමකි.

මෑතකදී පාර්ලිමේන්තුවට යෝජනාවක් කර තිබුණේ රුපියල් කෝටි 243ක් වැයකර මන්ත්‍රිවරුන් වෙනුවෙන් කුලියට වාහන ගැනීමටය. කුලියට ගත්තද අත්පිට මුදලට ගත්තද මේ වාහනවලට රියැදුරන්, ඉන්ධන හා නඩත්තුව අවශ්‍යය. මේ සියල්ලටම මුදල් අවශ්‍යය. සල්ලි ගස්වලින් කඩාගන්න තිබේ නම් ප්‍රශ්නයක් නැත. සල්ලි ගස් කෙසේ වෙතත් සල්ලි වැඩි වැඩියෙන් උපයන කිසිවක් මේ රටේ රාජ්‍ය අංශය නොකරයි. නිෂ්පාදන ආර්ථිකයක් රටට සම්පාදනය කළ යුතුය. ඒ කිසිවක් නොකර මැති ඇමැතිවරුන්ට කෝටි ගණනක මිලක් ගෙවා 'සුපිරි වාහන' ගෙන්වීම සිහිබුද්ධිය ඇතිව ගත් තීරණයක් විය නොහැකිය. මෙවැනි තීරණ ගන්නා, ඒ තීරණ අනුමත කරන දේශපාලනඥයන් ගැන ජනතාව කටයුතු කළ යුත්තේ සිහි බුද්ධියෙනි. අවශ්‍ය වන්නේ එයයි. නොඑසේ නම් රට පෙරට නොව වළපල්ලටම ඇදී යනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon