මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුව සයිටම් ප්‍රශ්නයෙන් ලිස්සා යනවා

  👤  7278 readers have read this article !
2017-03-10

පාර්ලිමේන්තු වාර්තා ජේ.ටී ද සිල්වා, උදේනි සමන් කුමාර

මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුව සයිටම් ප්‍රශ්නයෙන් ලිස්සා යනවා

 මෛත්‍රි - රනිල් ආණ්ඩුව 'සයිටම්' ප්‍රශ්නයේදී ආඳ මාළු ඉරටුවෙන් කනවා වගේ ලිස්සා යනවා' යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අද අපි සාකච්ඡා කරන්නේ රටේ බරපතළ අවධානය යොමුව ඇති ප්‍රශ්නයක්. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය, වෛද්‍ය පීඨ සිසුන් උද්ඝෝෂණය කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කරනවා. මේ අර්බුදයේ බර වගකීම වෛද්‍යවරුන්ට හෝ සිසුන්ට පවරන්න එපා. මේක ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ අදියර තුනක් තිබුණා. ඒ සෑම අවස්ථාවකම ප්‍රශ්නය තව තවත් උග්‍ර වුණා. බී.ඕ.අයි. ආයතනයට වංචනිකව කරුණු ඉදිරිපත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගැනීම ලැබී ඇති බව ප්‍රථමයෙන් ප්‍රකාශ කළා. එය අසත්‍යයක්.

අගමැති මෙහිදී ගොළුවා කසාය බීවා වගේ නොසිට තම අදහස ප්‍රකාශ කළ යුතුයි. හිටපු ජනාධිපති මහින්ද කිව්ව කතා කියමින් යනවා. මෙය ඇති කරන්න කටයුතු කළ මහින්ද අද වෙනත් කතා කියනවා. එතුමා අද ඇවිත් කෙළින් කතා කරාවි යැයි මා හිතනවා.

උපාධි ආයතන පිළිගැනීමේ බලය තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට. නමුත් ඒ බලය අධ්‍යාපන ලේකම්ට පවරා ගත්තා.ඒක වංචනික ක්‍රියාවක්. එස්.බී. තමයි මේ වැඩේ කළේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ ගැන වගකීමෙන් ක්‍රියා කළා. විශේෂඥවරු 10ක් ඒකමතිකව මෙය පිළිගත නොහැකි බවට නිර්දේශ කළා. ඒ වාර්තාව දත් ‍ෙදාස්තර ප්‍රතික්ෂේප කළා. වෛද්‍ය සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ඒක අධිකරණයට ගෙන ගියා.
සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල: ඒ වාර්තාව අධිකරණය ප්‍රතික්ෂේප කළා.

අනුර දිසානායක: නඩුව අධිකරණයට ගෙන ගියේ සෞඛ්‍ය ඇමැති. ලේලි සයිටම් එකේ. මාමණ්ඩිගෙයි ලේලිගෙයි ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් කරන්න එපා. මේ මුළු ක්‍රියාවලියම වංචනිකයි. මේක හොර උපාධි කඩයක්. නීත්‍යනුකූල නොවන ආයතනයක්. නිදහස් අධ්‍යාපනය නිසා අපේ දරුවන්ට ඉදිරියට යන්න ‍ෙදාර ඇරුණා. එස්.බී. අද කොහෙද ඉන්නේ. පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලය නිසා ඔබ ඉදිරියට ආවේ. නැත්නම් තවමත් හඟුරන්කෙත බුලත් විට කමින් ඉන්නවා. ඒක අමතක කරන්න එපා. තමුන්නාන්සේලා විශ්වවිද්‍යාලවලට දරුවො ඇතුළත් කර ගත්තේ නැහැ. මේ වසරෙත් 23,000ක් ළමයි අරගෙන නැහැ. මේ දරුවන් දරුවෝ නොවේද? මාස 19ක් ළමයි විභාග ප්‍රතිඵලවලින් වේළෙනවා. ලැයිස්තු එවන්නේ මාස 19කට පස්සේ. කෝ උනන්දුව? උසස් පෙළ ලියලා මාස 19ක් ගෙදර තියනවා. ළමයි පළි නැහැ. ඇමැති මේකට වගකියන්න ඕන.


දිනේෂ් මන්ත්‍රිවරයා ගෙනියන්න පොලිසිය කැඳෙව්වේ නිලධාරීන්ගේ අංක, තරු, බෙල්ට් ගලවලා. මන්ත්‍රිගෙ ඇඟ සීරෙයි කියලා. ශිෂ්‍යයන්ට ගහනවා, ඔළු පළනවා, වතුර ගහනවා, තුවාල කරනවා. ඒ දරුවන්ට සලකන හැටි. 'සයිටම්' ආයතනයට ඩොක්ටර්ල හදන්නත් බැහැ. ඇක්ටර්ලා හදන්නත් බැහැ කියා. සමීර සේනාරත්නට වෙඩි තැබීමත් ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්. සාගල ඇමැතිවරයා ඊයේ මෙහි ප්‍රකාශ කළා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්න නියමිත බව. ඊයේ එම පුද්ගලයන් දෙදෙනා අධිකරණයට පැමිණි විට ඔවුන් භාර ගෙන නැහැ. යන්න ඇරියා. මේක ආණ්ඩුවේ නාටකයක්.

ඩලස් - කතානායක උණුසුම් කතාබහක

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාට පාර්ලිමේන්තුව තහනම් කර තිබෙන කාලය සඳහා වැඩ බලන නායක වශයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා පත් කරන ලෙස කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් කතානායකවරයාට ඒ අවස්ථාවේ තීරණයක් ලබාදිය නොහැකි බව ප්‍රකාශ වීමත් සමඟ සභාව තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

කතානායක: දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රිතුමාට පාර්ලිමේන්තුව තහනම් කර ඇති බැවින් එතුමාගේ කාර්යභාරය ඉටුකිරීම සඳහා වැඩ බලන නායක ලෙස ඩලස් අලහප්පෙරුම ගරු මන්ත්‍රිතුමා පත් කරන ලෙස මගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක, නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කර මම තීරණයක් දෙන්නම්. මම එතුමා මුණගැසී මේ ගැන සාකච්ඡා කරනවා. මට තනිවම මේ ගැන තීරණයක් දෙන්න බැහැ.

ඩලස් අලහප්පෙරුම: දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපේ කණ්ඩායමේ නායකයා. මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්‍ෂය හැරුණු කොට වැඩිම මන්ත්‍රි සංඛ්‍යාවක් ඉන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ. අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉල්ලීමක් මේක. ඔබතුමා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමාගේ සේවය අත්හිටුවූ නිසයි අපි මේ ඉල්ලීම කරන්නේ.
කතානායක: එතුමා දිගින් දිගටම බාධා කළ නිසයි මට ඒ තීරණය ගන්න සිදුවුණේ.

ඩලස් අලහප්පෙරුම: ඔබතුමාට තිබෙන අයිතිය අපි පිළිගන්නවා. හැබැයි තීරණයට අපි එකඟ නැහැ.

ලක්‍ෂ්මන් කිරිඇල්ල: දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා එන්නෙ නැත්තෙ එක දවසයි. එතුමගෙ බෙල්ල කපන්න හදනවා.

විමල් වීරවංශ: අපේ කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් හැටියට පිළිගන්න බැරි බව ඔබතුමා කී නිසා තමයි ඊයේ මේ තත්ත්වය ඇති වුණේ. ඔබතුමාගේ තීන්දුව ගැන මගේ අදහස ප්‍රකාශ කරන්න ඔබතුමා ඉඩදුන්නේ නැහැ.

කතානායක: මම දැන් තීන්දුව දීලා ඉවරයි. ඒ ගැන කතා කරන්න ඉඩ දෙන්න බැහැ මන්ත්‍රිතුමා. කරුණාකර වාඩිවෙන්න.

අගමැති: එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකතුමා ජනාධිපතිතුමා. පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා අපේ නිමල් සිරිපාල ද සිල්වා. ඇයි සන්ධානයේ නායකයා හමුවෙලා මේ ප්‍රශ්නය විසඳගන්න බැරි. කරුණාකරලා ගිහින් ජනාධිපතිතුමා හමුවෙන්න. එතුමා ලංකාවට ඇවිල්ලා ඉන්නේ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමාට ඒකාබද්ධ විපක්‍ෂයේ නායකකම දෙන්න අපි විරුද්ධ නැහැ. අපි කවුරුත් එකඟවෙලා තමයි අපි එතුමාට ඔය නායකකම දුන්නේ.

ඩලස් අලහප්පෙරුම: ඒකාබද්ධ විපක්‍ෂයේ තිබුණු එකම පාලම ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව ගලවා දැමුවද කියන සැකය අපට ඇති වෙනවා. හීන් බබා සීයා වෙන්න හදන්න එපා.

කතානායක: සන්ධානයේ නියෝජිතයන් පත් කිරීමට මට අයිතියක් නැහැ. මම නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා මුණගැහිලා මේ ගැන සාකච්ඡා කරනවා.
අගමැති: පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන්න පුළුවන්.

කතානායක: ඔව්. පක්‍ෂ නායක රැස්වීමේදී මේ ගැන කතා කරලා තීරණයක් ගෙන දන්වන්නම්.

අගමැති: හෙට තියෙන්නේ මන්ත්‍රිවරුන්ගේ පෞද්ගලික යෝජනා. ඇයි දිනේෂ් ගුණවර්ධන මහතාව ඉවත් කරන්න හදන්නේ?

ඩලස් අලහප්පෙරුම: අගමැතිතුමා හීං බබා සීයා වෙන්න එපා. හීං බබා සීයයි අගමැතිතුමයි සභානායකතුමයි අතර වෙනසක් තිබිය යුතුයි. දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුව තහනම් කළ නිසා අපට 23 (2) ප්‍රශ්න සහ පක්‍ෂ නායක රැස්වීම් අහිමි වෙනවා.

කතානායක: සැකයක් ඇති කරගන්න එපා. මම නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කරලා කියන්නම්. පක්‍ෂ නායකයන් පත්කිරීම මට අයිති කාර්යයක් නොවේ.
ඩලස් අලහප්පෙරුම: අපේ ප්‍රශ්නවලට මැදිහත් වීමට නිල විපක්‍ෂයක් නැහැ. මේ ගැන තීන්දුව තියෙන්නේ ඔබතුමා අතේ.

අගමැති: විමල් වීරවංශ මන්ත්‍රිතුමාගේ කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් නෙවේ. මේක ව්‍යාජ ව්‍යාපාරයක්. මොකක්ද මේ කරන්නේ? අපි ආවේ මේ වල් කතා අහන්න නොවේ.
විමල් වීරවංශ: මට කාරණා දෙකක් කියන්න ඉඩ දෙන්න.

කතානායක: දැන් ඒකට වෙලාව නැහැ.

විමල් වීරවංශ: 'මවු කිරිවල ලුණු රහ බලන්න යන්න එපා' කියලා විතරයි මට කියන්න තියෙන්නේ.

පසුගිය ආණ්ඩුව කාලයෙත්
අපි බය නැතිව අවශ්‍ය දේට
කතා කළා

පසුගිය ආණ්ඩුව කාලයේ සමහරු බයට කතා නොකළ බව කීවත්, අපි කතා කළ යුතු දේට කතා කළා" යැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා පැවැසීය.
මම දන්නවා චීනයේ කියැංජින්් විශ්වවිද්‍යාලයේ ලංකාවේ ළමයි 1000කට වැඩිය ඉගෙන ගන්නවා. උපාධි පාඨමාලා සඳහා අලුත් අදහසක් රටට ගෙනා යුතුයි. ප්‍රමිතියක් නිර්මාණය කළ යුතුයි.

විශාල පිරිසක් ඉහළ අධ්‍යාපනය අවශ්‍යතාවෙන් පෙළෙනවා. දැනට රටේ 1000කට වෛද්‍යවරු ඉන්නේ 6යි. ශල්‍යකර්ම ලැයිස්තුවේ මාස ගණන් ඉන්න වෙනවා. සල්ලි තියෙනවා නම් එක් දිනකින් පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්ම කරගන්න පුළුවනි. අපේ රටේ හොඳ සෞඛ්‍ය සේවාවක් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් එහි ප්‍රතිලාභ සාමාන්‍ය පොඩි මිනිහාට ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්. මොකද ඔහුට ශල්‍යකර්මය සඳහා මාස ගණන් පොරොත්තු ලේඛනවල රැඳී ඉන්න සිදුවෙනවා.

වෛද්‍ය සභාව ඩෝසර් කරලා හරි
සයිටම් ක්‍රියාත්මක කරන්නයි හදන්නෙ

"මේ රටේ වෛද්‍ය විද්‍යාව ගැන වගකීම තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දුට නොව රජයටයි. වෛද්‍ය සභාව ඩෝසර් කරල හරි 'සයිටම්' ආයතනය ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. වරදාන, වරප්‍රසාද කුට්ටි වෙනුවෙන් මේ අපරාධය කරන්න එපා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

අපේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය මුදලට විකුණනවට අපි විරුද්ධයි. එස්. බී. දිසානායක ඇමැතිතුමා කියනවා ඕ ර්ණී ධ් අනුමැතිය තිබෙනවා කියා. ඒක වැරැදියි. සෞඛ්‍ය අමාත්‍යාංශය පූර්ව අනුමැතිය ලබා නැහැ. තවමත් නැහැ.

නෙවිල් ප්‍රනාන්දු 2013 පෙබරවාරි 27 කඩුවෙල අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් දී තිබෙනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලැබී ඇති බව. සෞඛ්‍ය අමාත්‍යාශය කිසිම අනුමැතියක් ලබාදීලා නැහැ. ආයෝජන මණ්ඩලයටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටත් බොරු කර තිබෙනවා.

පළමු නඩුවේදී "සයිටම්" එකේ සායනික පුහුණුව ඉල්ලා ශිෂ්‍යයකු නඩු පැවරුවා. නඩු තීන්දුවට දිනකට පෙර සායනික පුහුණුව දෙන්න එකඟවෙලා නඩුව සමථයකට ආවා. නඩු තීන්දුවට මුවා වෙලා මඟඅරින්න ඉඩ දෙන්න බැහැ. "සයිටම්" ආයතනය නීත්‍යනුකුල නම් අපට පෙන්නන්න. වටේ යන්න එපා. තමුන්නාන්සේලා අපේ රටේ දරුවන්ගෙ අධ්‍යාපනය විනාශ කරනවා. නෙවිල් ප්‍රනාන්දුගේ ලාභය මිලියන 1000කින් වැඩි කරගෙන තියෙනවා. මෙවන් ලාභයක් ලබාගත් අනෙක් ආයතනය පර්පචුවෙල් ටෙෂරීස්.

දෙවැන්න මේක. වෛද්‍ය සභාව ඩෝසර් කරල හරි මේක කරන්න හදන්නෙ. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ගැන වගකීම තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දුට නෙවේ රජයට. වරදාන, වරප්‍රසාද කුට්ටි වෙනුවෙන් මේ අපරාධය කරන්න එපා.

ළමයින්ගේ ප්‍රමිතිය බැලීම සඳහා
විභාගයක් පැවැත්වීමට
වෛද්‍ය සභාව එකඟ වුණා

'සයිටම්' ආයතනයේ ළමයින්ගේ ප්‍රමිතිය බැලීම සඳහා විභාගයක් පැවැත්වීමට වෛද්‍ය සභාව එකඟ වුණා' යැයි උසස් අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවැසීය.
මේකෙ ප්‍රමිතිය ගැන කතා කරනවා. මම කතා කළා ළමයින්ගෙ ප්‍රමිතිය ගැන බලන්න විභාගයට වාඩි කරන්න. ඒකට වෛද්‍ය සභාව කැමැති වුණා. මේකට විරුද්ධ දේශපාලනය නිසා. අපි තමයි නිදහස් අධ්‍යාපනය ගෙනාවේ. අපේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා.

අනුර දිසානායක: නිදහස් අධ්‍යාපන පනත ගෙනාවේ 1946. එක්සත් ජාතික පක්‍ෂය පිහිටෙව්වේ 1947. බොරු කියන්න එපා.

ලක්‍ෂ්මන් කිරිඇල්ල: එතුමා දිගටම අපේ පක්‍ෂයේ හිටියේ. මම කියන්නෙ දරුවො අතරමං කරන්න එපා. නඩු තීන්දුව කියවන්න. ඒක කියවලා නෑ. කොතලාවල ආරක්‍ෂක පීඨයේ වෛද්‍ය පීඨය පටන් ගත්තා. ඉස්පිරිතාලයක් තිබුණේ නැහැ. වෛද්‍ය සභාව පිළිගත්තා හිටපු ආරක්‍ෂක ලේකම්ට බයේ. හිටපු ජනාධිපතිතුමා ලක්‍ෂ 600ක් දුන්නා. ශිෂ්‍යත්ව 10ක් දුන්නා. දැන් මොකද කියන්නේ?

මේ ප්‍රශ්නයේදී
උසස් අධ්‍යාපන ඇමැති
පැත්තක් නොගෙන ඉන්න

"සයිටම්" ප්‍රශ්නයේදී උසස් අධ්‍යාපන ඇමැතිවරයා එක් පැත්තක් නොගෙන මධ්‍යස්ථව හිඳිමින් කටයුතු කළ යුතුව ඇතැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
අද මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයො පාරට බැහැල සටන් කරනවා. බොහෝ අය මෙහි දේශපාලන කාරණා දන්නෙ නැහැ. පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධ අධ්‍යාපන ආයතන නීත්‍යනුකූලව නියාමනය කෙරෙන වැඩ පිළිවෙළක් රටට තිබිය යුතුයි. 'සයිටම්' ලියාපදිංචිය ගැන ප්‍රශ්න තියෙනවා. තවමත් වෛද්‍ය උපාධි ලබා දෙන්න 'සයිටම්' එකට අවසර ලැබී නැහැ.

මම කියන්න කැමැතියි මේ සියල්ල වුණේ පසුගිය ආණ්ඩු කාලෙ. මේක එක්සත් ජාතික පක්ෂය කරපු අපරාධයක් නොවේ. එදා මේවට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. අපට විරුද්ධ වෙන්න ඉඩ දුන්නෙත් නැහැ.

දැන් වාසු කියනවා 'සයිටම්' එකට නඩු දානවලු. ඇයි එදා නඩු නොදැම්මේ. දැන් බොරුවට බුරනවා. තමන්ගේ පහසුව විතරක් බලන්න එපා. උසස් අධ්‍යාපන ඇමැති හරි මැද ඉන්න. පැත්තක් ගන්න එපා. දරුව මරන්න හදන්න එපා. අප කවුරුත් එකතුව හදා ගනිමු.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ
ආරක්ෂාව ගැන අවධානය යොමුකර තිබෙනවා

"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ගැන අපි අවධානය යොමු කරල තියෙනවා. එදා චන්ද්‍රිකාගෙ ආරක්ෂාව අඩු කළා වගේ අඩු කර නැහැ"යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9දා) පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇති ආරක්ෂක නිලධාරීන් යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටියාද නැද්ද? යන්න සොයා බැලිය යුතු බවද අගමැතිවරයා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක නඟන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දුන් අවස්ථාවේ අගමැතිවරයා එසේ පැවැසීය.

නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක - හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් සඳහා මූලික වැටුපෙන් 1/3ක් ගෙවා නැති බව මන්ත්‍රිතුමා කියනවා. ඇමැති හා අගමැති ආරක්ෂක කොට්ඨාසවලින් තමයි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ලබා දෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කාලෙ යෝග්‍යතා පරීක්ෂණ නොපවත්වා මේ දීමනාව ලබාදී තිබුණා.

මේ නිලධාරීන් යෝග්‍යතා පුහුණුව ලබා නැත්නම් ඒ දීමනාව ලැබෙන්නෙ නැහැ. ඔවුන් යෝග්‍යතා පුහුණුව ලබා ඇද්ද යන්න සොයා බලනවා.

විමලවීර දිසානායක - මාස දහයක් තිස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආරක්ෂාව ලබාදෙන පොලිස් නිලධාරීන්ට මේ දීමනාව ගෙවල නැහැ.

වෛද්‍ය විද්‍යාව මුදලට
විකුණන්න දෙන්න බෑ

"සයිටම්" වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකර, වෛද්‍ය විද්‍යාව මුදලට විකිණෙන තත්ත්වයකට පත් කිරීමට ඉඩ දිය යුතු නැතැයි" දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රීදරන් පැවැසීය.

"සයිටම්" ආයතනය පවත්වාගෙන යන ආකාරය ගැන අපට බලන්න වෙනවා. විශ්වවිද්‍යල සිසුන් සයිටම් ආයතනයට විරුද්ධ වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විද්වතුන් මේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධයි.

අප රටේ වෛද්‍ය පීඨ අටක් තියෙනවා. ඇයි ඒක 16ක් කරන්න බැරි? ඇයි අපි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්නේ? රජයේ වෛද්‍ය විද්‍යාල ඇති කරන්න බැරි ඇයි?
අපට හෙදියන් අඩුයි. හෙදියන් පුහුණු කිරීම වැනි කටයුතු 'සයිටම්' වැනි ආයතනයකින් සිදු කළ හැකියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon