වීරයෝ සහ ද්‍රෝහියෝ

  👤  4664 readers have read this article !
2017-03-09

මේ දවස්වල දේශපාලන ලෝකයේ අහන්න ලැබෙන දේවල් දිහා බැලුවාම, සමහරුන් කියන්නේ ඔළුව මඤ්ඤං වෙනවා කියාය.

වීරයාද දුෂ්ටයාද එක තිරපිටපතකට අනුව සිටිය හැක්කේ චිත්‍රපටයකය. ආණ්ඩුවේ තිර පිටපතට අනුව වීරයා සිටින්නෙත් ද්‍රෝහියා හෙවත් දුෂ්ටයා සිටින්නෙත් ආණ්ඩුව ඇතුළේමය. ද්‍රෝහියා ද්‍රෝහියාගේ වැඩේ කරගෙන යන අතරේ ඊට එරෙහිව වීරයාද වීරයාගේ වැඩේ කරගෙන යන්නේ අරුම පුදුම ආකාරයකටය.

මීට කලින් ලංකාවේ ආණ්ඩු ඇතුළේ වීරයන් සහ ද්‍රෝහීන් එකම තිරපිටපතකට අනුව එකට සිටියේ නැත. මේ හින්දා මෙරට දේශපාලන ප්‍රේක්‍ෂකයන්ට, එකම ආණ්ඩුවක සිටින වීරයන් හා ද්‍රෝහීන් ගැන බල බලා සිටින්නට සිදුවීම ඔළුව මඤ්ඤං වීමට හේතු වන වැඩක්ය. කොහොම වුණත් වීරයෝ සහ ද්‍රෝහියෝ වෙන් වෙන පාටක් පේන්නේද නැත.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා නුවරට ගොඩ බැස්සේ සෙයිද් අල් හුසේන්ගේ සභාපතිත්වයෙන් යුත් මානව හිමිකම් කවුන්සිලය කොහොමෙන් හරි 'ෂේප්' කරගන්නටය. 'ෂේප්' කර ගැනීම සඳහා විදේශ ඇමැති කළේ ලංකාව තුට්ටු දෙකට ඇද වැට්ටවීමය. ඒ බව තේරෙන්නේ ඔහුගේ කතාවේ එන පහත දැක්වෙන කොටස උපුටා කියවීමෙන්ය.

'සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් වශයෙන් විවිධ විශ්වාසයන් සහ ඇදහීම් දරන අපි ස්ත්‍රී පුරුෂභාවය, කුලය හෝ වංසය නොතකා 1948දී අප ජාතියේ නිදහස වෙනුවෙන් සියලු දෙනා එකට ඒකරාශී වීමු. එය එසේ දිනාගත් නමුදු සියලු දෙනා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින පිරිපුන් මිනිසුන්ගෙන් යුත් ජාතියක් ලෙස අප රට ගොඩනඟමින් අපට ලබාගත හැකි උපරිමය කරා ළඟාවීමට අපි අපොහොසත් වීමු. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 69 මුළුල්ලේ අපි වේදනාව, හිංසනය අත්විඳිමින් අගනා ජීවිත අහිමි කර ගනිමින් හා සමාජ, ආර්ථික ප්‍රගතිය සඳහා වූ ඉඩ ප්‍රස්ථා අහිමි කර ගනිමින් දුෂ්කර ගමනක යෙදුනෙමු.

මෙය සත්‍ය වශයෙන්ම තවත් ඉදිරියට සිදු නොවිය යුතු ජාතිය ගොඩනැඟීම පිළිබඳ වැරැදී ගිය අත්හදා බැලීමකි. එම සත්‍යය පිළිගැනීමට අප සතුව ධෛර්යය තිබිය යුතු වනවා සේම එම යුගය නිමා කිරීමේ ශක්තියද අප සතු විය යුතුය.'

මංගල මේ කියන්නේ අවුරුදු 69ක් තිස්සේම අපට වැරැදුණු බවය. හරිගස්සා ගන්නට හදන්නේ දැන් බවය. මෙදා පාර නම් වැඩේ හරියටම කෙරෙන බවය.

මංගල කියන මේ අවුරුදු 69දී රට පාලනය කළේ එ.ජා.පය හා ශ්‍රී ල.නි.ප.ය මිස වෙනත් කවුරුවත් නොවේ. ඒ අවුරුදු 69ටම කරන්න බැරි වුණු වැඩේ මෙදා පාර නම් කොහොමෙන් හරි කරනවා යැයි කියා මංගල සපථ වන්නේ, එජාපයෙත්, ශ්‍රී ලනිපයෙත් හවුලින් ගොඩනැඟුණු ආණ්ඩුවක විදේශ ඇමැති හැටියට වැඩ කරන ගමන්ය.
ජිනීවාවලදී මංගල පොරොන්දු වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ යටතේ දඬුවම් ලබන කොටින්ට නිදහස් වීමට ඉඩ හිමි කර දෙන බවටය. එමෙන්ම අතුරුදන්වූ පුද්ගලයන් හා ඊට වගකිව යුතු අය (හමුදා සාමාජිකයන්) ගැන තොරතුරු හොයන සුපිරි බලතල සහිත කාර්යාලය ළඟදීම වැඩ අරඹන බවය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සහජීවනය දෝරේ ගලන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටද කටයුතු කරමින් සිටින බවය. මේවා මංගල කියන්නේ මුළු ලෝකයටමය. ඒ අස්සේ ජනාධිපති මෛත්‍රිපාල මෙහෙට කියන්නේ වෙන කතාවක්ය.

'ද්‍රෝහියෝ' හා 'වීරයෝ' එකම ආණ්ඩුවකදී එකම වෙලාවක එකට දකින්නට ලැබෙන්නේ ඒ අනුවය.

2017 මාර්තු 6 වැනි සඳුදා නිකුත් වූ දිනපතා පත්තරේක 'එන්.ජී.ඕ. පදයට මා නටන්නේ නෑ' යන හිසින් ප්‍රවෘත්තියක් තිබුණේ 'ජනාධිපති කියයි' යනුවෙන් යටින් සඳහන් කරමිනි. ඒ ප්‍රවෘත්තියේ තවදුරටත් කරුණු දක්වා තිබුණේ මෙසේය.

'රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය අයුරින් ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා (04දා) පැවැසීය.
එම සංවිධාන කියන අයුරින් හමුදාවට චෝදනා පත්‍ර ලබාදීමට තමන් සූදානම් නැතැයි කී ජනාධිපතිවරයා හමුදාවට, පොලිසියට මොන චෝදනා ආවත් ඒවා ප්‍රතික්ෂේප කර ඔවුන් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවද සඳහන් කෙළේය.'

එදිනම තවත් දිනපතා පුවත්පතක මේ පුවත වාර්තා කර තිබුණේ මෙසේය.

'ජාත්‍යන්තරයට ඕනෑ විදියට මම ආණ්ඩු කරන්නේ නෑ! - ජනාධිපති කියයි'

විදේශ සම්බන්ධතා ඇතිව මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය විදියට ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

එම සංවිධානවලට අවශ්‍ය ලෙස ත්‍රිවිධ හමුදාවලට විරුද්ධව නඩු ඇසීමට තමන් සූදානම් නැති බවද ජනාධිපතිවරයා කීවේය.'

මීට අමතරව, ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් යුද අපරාධ ගැන සෙවීමට දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය බව කියා සති 2ක් යෑමට පෙර එය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට කොන්දක් තිබුණු බව ජනාධිපතිවරයා කීවේ ශ්‍රී ලනිපයේ විධායක සභා රැස්වීමේදීය. කොන්දක් නැති අය සමඟ තවදුරටත් ඉදිරියට යන්න තමන් සූදානම් නැති බවද ඔහු කීවේ රැස්ව සිටි පිරිසගේ අත්පොලසන් හඬ මැදය.

ජනාධිපති මෛත්‍රි එන්.ජී.ඕ. කියන විදියට නටන්න සූදානම් නැතැයි කීවද ඔහුගේ විදේශ ඇමැති ජිනීවා ගියේ මෙරට එන්.ජී.ඕ.වල 'ගෝඩ් ෆාදර්' ලා සමඟය.
විදේශ ඇමැති ලෝකයට එකක් කියද්දී ජනාධිපති මෛත්‍රි මෙහාට තව එකක් කියන්නේ කවුරුන් හෝ ලියූ තිරපිටපතකට අනුවද? නොමැති නම් විදේශ ඇමැතිගේ ආණ්ඩුවට, ජනාධිපති මෛත්‍රි අයිති නැති නිසාවද්ද?

රණවිරුවන් එන්.ජී.ඕ.වලට ඕනෑ පරිදි හිර කරන්න තමන් ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රි කියන වෙලාව වෙන කොටද යුද හමුදා හා නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගණනාවක් ඉන්නේ හිරේය. යුද හමුදා බුද්ධි බළකා මේජර්වරයකු ඇතුළු රට බේරාගන්නට කැපවූ සාමාජිකයන් 5 දෙනකු හිරේ දාගෙන ඉන්නේ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදුන්නා යැයි කියන සිද්ධියකට අදාළවය. නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ සහ නායක සෙබළ ටී.ඇල්. උදයකුමාර හිරේ දාගෙන ඉන්නේ එල්.ටී.ටී.ඊ. මූල්‍ය ජාලයේ 11 දෙනකු අතුරුදන් කළ බවට චෝදනා නඟාය. මේ බුද්ධි බළකා සාමාජිකයන් යුද්ධ පවතින කාලයේ තම දිවි පරදුවට තබා රට බේරාගන්නට කැපවූවෝ වෙති. සී.අයි.ඩී. එකේ ශානි අබේසේකර යටතේ කටයුතු කරන අයි.පී. නිශාන්ත ද සිල්වා හෙවත් කන්දප්පා කොටි ගෝලීය ජාලයේ විනයාගම්ලාට වුවමනා පරිදි මේ වැඩේ කරගෙන යන්නේ කාගේවත් බාධාවකින් තොරවය.

සිද්ධ වෙන දේ එකකි. ජනපතිගේ කතාව තව එකකි. මංගලගේ කතාව තවත් එකකි. වෙන දේ, කියන දේ, හා කරන දේ අතර ඇත්තේ අහසට පොළොව වැනි වෙනසකි.
මේවා බලන් ඉන්න අයට හිතෙන්නේ ජනපතිගේ දේශප්‍රේමය, 'වඳ ගෑනිගේ දරු සෙනෙහේ වගෙයි' කියාය. එහෙම නැත්නම් හිතෙන්නේ 'මෛත්‍රි නමැති වළංකාරයාගේ හය මාසෙක වැඩ මංගල නමැති පොලුකාරයාගේ එක පාරින් ඉවරයි' කියාය. නිවැරැදි වන්නේ මේ දෙකෙන් කෝකදැයි කියා සිතන්නට තාමත් කාලය මදිය.
කොහොම වුණත් පරණ ජනකවි සිහියට නැඟෙන්නේ මේ වගේ වෙලාවල්වලදීය.

'උෟරා මඩ කළත් උෟ වපුල බිජු නැතී
බළලා කපු කටී උෟ වියන රෙදි නැතී
මීයා ලී කපයි උෟ හදන බඩු නැතී
නරියා සිංහ වෙස්ගත් පසුව රැවටෙතී

ආදිපාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon