'වකුගඩු' සුවපත් කිරීම

  👤  3995 readers have read this article !
2017-03-09

ජගත් වකුගඩු දිනය අදට යෙදී ඇත. 'යහපත් දිවි පෙවෙතක් තුළින් නිරෝගී වකුගඩු' මෙවර තේමාවය. අන් කවරදාකටත් වඩා 'වකුගඩු දිනය' ලංකාවට වැදගත් වේ. ඒ අන් කිසිවක් නිසා නොව, දරුණු ලෙස වකුගඩු රෝගය මෙරට පැතිරයමින් තිබෙන හෙයිනි.

90 දශකයේ මුල් භාගයේදී පළමුවෙන්ම වකුගඩු රෝගියකු හමුවූයේ උතුරුමැද පළාතෙනි. බදුල්ල, මොනරාගල, අම්පාර, කුරුණෑගල, මාතලේ, මුලතිව්, ත්‍රිකුණාමලය, මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවලින්ද වකුගඩු රෝගීන් පිළිබඳව වාර්තා වන්නට විය. මේ වන විට රජයේ රෝහල්වලට වාර්ෂිකව ඇතුළත් කරන වකුගඩු රෝගීන් සංඛ්‍යාව 20,000කට ආසන්න බව අනාවරණය වී ඇත.

රෝහල්වලට ඇතුළත් කළ මේ රෝගීන් සංඛ්‍යාවෙන් වාර්ෂිකව 2,000ක් පමණ මරණයට පත්වෙති.

දැනට නිදන්ගත වකුගඩු රෝගීන් (ඛ්ම්ච්) 5,000ක් පමණද ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තා වේ.

නිදන්ගත නොවන වකුගඩු රෝගයට වඩාත්ම බලපා ඇතැයි සැක කෙරෙන්නේ ආසනික් හා කැඩ්මියම් අහිතකර මට්ටමින් මිනිස් සිරුරට ඇතුළු වීමය. ජලයේ ෆ්ලෝරයිඩ් හා කැල්සියම් වැඩි වීමද වකුගඩු රෝගයට මුල් වී ඇතැයි විශ්වාස කෙරේ.

එහෙත් වකුගඩු ආසාදනයට පත්වීමේ රෝග නිදානය ස්ථිරවම මෙතෙක් සොයා ගෙන නැත.

කෘෂි ප්‍රදේශවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වීම හේතුවෙන් කෘෂි රසායනවල බලපෑමක් මේ රෝගයට ඇතැයි අනුමාන කෙරේ. පිරිසුදු ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකිරීම, මද්‍යසාර, දුම්කොළ භාවිතය රෝගයට හේතුකාරක ලෙස සැලැකේ. විශේෂයෙන් කෘෂි රසායන අධික ලෙස යෙදීම හා නොසැලකිලිමත් ලෙස පරිහරණය කිරීම 'වකුගඩු' රෝගයට බලපා ඇති බව විශේෂඥ මතයයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බළකාය වකුගඩු රෝගයට පිළියම් සෙවීම සඳහා කැපවී සිටී. හොඳම ප්‍රතිකාර ලබාදීමත්, ප්‍රතිකාර ලබාදීම තහවුරු කිරීමත්, අදාළ අංශ සම්බන්ධීකරණයක් තුළින් වකුගඩු රෝගය මර්දනයට කටයුතු කිරීමත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ පරිසර ආරක්ෂණය, දේශීය ක්‍රමයට ආහාර නිෂ්පාදනය හා රෝග මර්දනයට පියවර ගැනීම මඟින් දිගුකාලීනව වකුගඩු රෝගයට මුහුණ දිය හැකි බවයි.

ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රචාරණ කටයුතුවලට වෙන් කළ මුදල් යොදවා වකුගඩු රෝගය මර්දනයට අරමුදලක්ද පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිටුවනු ලැබුවේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවය.

වෘක්කවේද කාන්දු පෙරීමේ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයට අනුව විවිධ හේතුන් මත මියයන අයගේ වකුගඩු ලබාගනිමින් රෝගීන් සුවපත් කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත. මොළයේ මරණය සිදුවී සක්‍රිය වකුගඩු සහිතව වාර්ෂිකව මිහිදන් කරන සංඛ්‍යාව 750ක් පමණ වන අතර ඔවුන්ගෙන් වකුගඩු ලබා ගෙන රෝගීන්ට බද්ධ කිරීම මේ වන විට රජයේ රෝහල්වලදී සාර්ථකව සිදු කෙරෙන බව දැනගන්නට ඇත.

වකුගඩු රෝගය නිවාරණය කිරීම පහසු කටයුත්තක් නොවන්නේ රෝග නිදානය පවා නිශ්චිත නැති නිසාය. අවදානම් දිස්ත්‍රික්ක එකොළහක්ද ඒ ඒ දිස්ත්‍රික්ක අතරින් අවදානම් කලාප 14ක්ද මේ වන විට නම් කර තිබීමෙන් ජගත් වකුගඩු දිනයේ අවධාරණය කර ගත යුත්තේ අපි කොතරම් අවදානමකට මුහුණ දී සිටිනවාද යන්නය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon