විමල් වීරවංශගේ ඉල්ලීමට කතා නායක පිළිතුරු දෙයි

  👤  3828 readers have read this article !
2017-03-09

පාර්ලිමේන්තු වාර්තා ජේ.ටී ද සිල්වා, උදේනි සමන් කුමාර

විමල් වීරවංශගේ ඉල්ලීමට කතා නායක පිළිතුරු දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ පක්ෂය පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස පිළිගත නොහැකි බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (8දා) නිවේදනය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ සිය පක්ෂයේ මන්ත්‍රිවරුන් පස් දෙනා වෙනම පක්ෂයක් ලෙස සලකන ලෙස විමල් වීරවංශ මන්ත්‍රිවරයා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා විසින් 2017 පෙබරවාරි මස 22දා පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී එතුමා ඇතුළු මන්ත්‍රිවරුන් 5 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව විරුද්ධ පාර්ශ්වයේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් පිළිගන්නා ලෙස සතු කරනද ප්‍රශ්නය සම්බන්ධයෙන් මාගේ තීරණය මෙම ගරු සභාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

පාර්ලිමේන්තු සභාගැබේ දැඩි උණුසුමක් පැය තුනක කාලයක් කටයුතු ඇනහිටියි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඇතුළු මන්ත්‍රිවරු පස් දෙනාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස කරන ලද ඉල්ලීමට ඉඩ දිය නොහැකි බව, කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කිරීමත් සමඟ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු තුන්වරක් අත්හිටුවීමට සිදුවීම නිසා පැය තුනක පමණ කාලයක් සභාවේ කටයුතු ඇනහිටියේය.

දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ මන්ත්‍රිවරුන් නොනවත්වා ඝෝෂා කිරීම පාලනය කිරීමට කතානායකවරයා දැඩි වෙහෙසක් දැරුවද එය පාලනය කරගත නොහැකි වූ අවස්ථාවේ කතානායකවරයා විසින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා නම් කළේය.

විමල් වීරවංශ

කතානායකතුමනි, තමුන්නාන්සේගේ තීරණය ගැන මගේ අදහස් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මම ඔබතුමාගේ තීරණය අභියෝගයට ලක් කරනවා නොවෙයි.
කතානායක

මම මගේ තීරණය දැනුම් දුන්නා. එපමණයි. අද ඒ ගැන විවාද කරන්න බැහැ. වැදගත් කරුණු රාශියක් අද දිනට නියමිතව තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධන

ඔබතුමා ගරු මන්ත්‍රිතුමාට ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. විමල් වීරවංශ මන්ත්‍රිතුමා ස්වාධීන වීම ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. අපි මේවා ගැන කියන්න ජිනීවා යන්නේ නැහැ. ඔබතුමාම අවස්ථාව දෙන්න.

විමල් වීරවංශ

පාර්ලිමේන්තුව තුළ දැනට දේශපාලන පක්ෂ, පෙරමුණු, සන්ධාන තිබෙනවා. පක්ෂයක් යම් තීරණයක් ගතහොත් ඒ තීරණය අනුව ක්‍රියා කරන්න එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට අයිතියක් තියෙනවා.

දිනේෂ් ගුණවර්ධන

මේක වැරැදි නියෝගයක්. වීරවංශ මන්ත්‍රිතුමාගේ අදහස දැන ගත්තා. අපටත් අවශ්‍යයි එතුමාට ඉඩ දෙන්න.

කතානායක

මේ අවස්ථාවේ ඊට ඉඩදීමට බැහැ. අදට නියමිත කටයුතු තියෙනවා. දැන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. බුද්ධික පතිරණ මන්ත්‍රිතුමා කතා කරන්න.

දිනේෂ් ගුණවර්ධන

ඔබතුමා ඒකාධිපතියෙක් විදියට වැඩ කරන්න එපා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න.

(දිගින් දිගටම බාධා කරමින් මන්ත්‍රිවරයා කතා කරයි)

කතානායක

එක් එක් මන්ත්‍රිවරයාට හිමි අයිතීන් රැක දීමට මම කිසිසේත් පසුබට නොවෙමි. තවදුරටත් වාද විවාද අවශ්‍ය නැහැ. ගරු මන්ත්‍රිවරු වාඩි වෙන්න. සභාවේ වැඩ කරගෙන යෑමට ඉඩ දෙන්න.

විමල් වීරවංශ

කිසිම විවාදයක් නැහැ. මට ඔබතුමාගේ තීරණය ගැන අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල

කතානායකතුමා තීරණය සභාවට දැනුම් දුන්නා. තමුන්නාන්සේගේ තීරණය අවසන් තීරණයයි.

විමල් වීරවංශ

මට මගේ අදහස් දක්වන්න ඉඩ දෙන්න.

කතානායක

මට ලිඛිතව දන්වන්න. හරි අවසන් තීරණය දුන්නා. මේ අවස්ථාවේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන සහ පද්මශාන්ත ගුණසේකර යන මන්ත්‍රිවරු සභා ගැබට පිවිස කතානායක අසුන දක්වා ඉදිරියටම ගමන් කර නොනවත්වා ඝෝෂා කරන්නට වූ අතර කතානායකවරයා සභාවේ කටයුතු විනාඩි 10කට නවත්වනු ලැබීය.

සභාවේ කටයුතු කල් තැබූ පසු දිනේෂ් ගුණවර්ධන, රවි කරුණානායක, රවුෆ් හකීම් මන්ත්‍රිවරු සභා ගැබ මැදට පැමිණ සාකච්ඡා කරමින් සිටිනු දක්නට ලැබිණි. පස්වරු 1.18ට නැවත සභාව රැස් විය. පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටි කතානායකවරයා ඉදිරි කටයුතු කරගෙන යෑමට නිහඬ වන ලෙස ඉල්ලා සිටියේය.

විමල් වීරවංශ

ඔබතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේ බැරිනම් මට වෙන වෙලාවක්, දිනයක් ලබා දෙන්න.

කතානායක

මම වෙනත් දිනයක් දෙන්නම්. දැන් වාඩි වෙන්න.

දිනේෂ් ගුණවර්ධන

ඔබතුමා සභාව කල් තබන්න පෙර අද ගරු මන්ත්‍රිතුමාට අවස්ථාව ලබා දෙන බව කිව්වා.

කතානායක

ගරු මන්ත්‍රිතුමා ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක් විදියට වැඩ කරන්න. බාධා කරන්න එපා. වාඩිවෙන්න. මට ඔබතුමාට විරුද්ධව ස්ථාවර නියෝග අනුව ක්‍රියා කරන්න සිදුවෙනවා. ඔබතුමා ආණ්ඩු පක්ෂයේ සංවිධායක වශයෙන් සිටියදී මම තොරතුරු පනත ඉදිරිපත් කරන අවස්ථාවේ මට නැඟිටින්නවත් ඉඩ දුන්නේ නැහැ. ඒක මතකද. ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක් හැටියට වැඩ කරන්න.

දිනේෂ් ගුණවර්ධන

ඔබතුමා ජූනියර් මන්ත්‍රිවරයෙක් විදියට තීන්දු ගන්නවා. ලැජ්ජයි. ලැජ්ජයි.

කතානායක

තමුන්නාන්සේ ලැජ්ජා වෙන්න ඕන. ඔබතුමා ගෞරවනීය පාර්ලිමේන්තුවට අපහාස කරනවා. වාඩිවෙන්න. වාඩිවෙන්න.
මේ අවස්ථාවේ සභාවේ විශාල ඝෝෂා ඇති විය.

දිනේෂ් ගුණවර්ධන

කතානායකතුමනි මතුව තිබෙන ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 52කට බලපාන ප්‍රශ්නයක්. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පවතින රටක්.

මේ අවස්ථාවේ නැවතත් බාධා කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා සහ විමල් වීරවංශ මහතා සභා ගැබට පිවිසීමෙන් සභාව නොසන්සුන් විය.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි නැඟී සිට දිගින් දිගට බාධා කරන නිසා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාව නම් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අද දින පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වනතෙක් දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රිවරයාට සභාවෙන් පිටතට යන ලෙස දැනුම් දෙන බව ප්‍රකාශ කළ කතානායකවරයා නැවතත් සභාව කල් තැබුවේය. පස්වරු 2.45ට නැවතත් සභාවේ කටයුතු ආරම්භ කළ අතර ඒ අවස්ථාවේ නැවතත් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන් වූ බන්දුල ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර නැඟී සිට කතා කරන්නට වූහ.

කතානායක

පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ලද තීරණයට අනුව විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම පිළිබඳ මගේ මතය ප්‍රකාශ කළා.

දිනේෂ් ගුණවර්ධන

ඔබතුමා ඔබතුමාගේ තීරණය සාක්කුවේ තියාගෙන පක්ෂ නායකයෝ නටවන්න හදනවා. ඒකට ඉඩ දෙන්න බැහැ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය.

දිනේෂ් ගුණවර්ධන මහතා දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින් කතා කරන්නට වීම නිසා ඒ මහතා සභා ගර්භයෙන් ඉවතට ගෙන යන ලෙස වේත්‍රධාරී තැනට නියෝග කරමින් කතානායකවරයා සභාව කල් තැබුවේය. වේත්‍රධාරී අනිල් සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් දිනේෂ් ගුණවර්ධන මහතා අසලට පැමිණි අතර එකිනෙකා බැගින් පොලිස් නිලධාරීහු 19 දෙනකු සභාව තුළට පැමිණියහ. මේ අවස්ථාවේ මහජන එක්සත් පෙරමුණේ සිසිර විජේසිංහ මන්ත්‍රිවරයා සහ ශි්‍රයානි විජේවික්‍රම මන්ත්‍රිවරියද ඒකාබද්ධ විපක්ෂයේ සෙසු මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න රණතුංග, ජයන්ත සමරවීර, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක ආදී මන්ත්‍රිවරුද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා වටා සිටගෙන සිටියහ. ඔවුන්ගෙන් ඇතැමෙක් ජංගම දුරකතන මඟින් ඡායාරූප ගන්නා අන්දම පෙනිණි.

පොලිසිය සභා ගර්භයෙහි රැඳී සිටියද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පිටතට ගෙනයෑමට උත්සාහ කළේ නැත.

කල් තැබූ පාර්ලිමේන්තුව නැවත ආරම්භ වූ අතර පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය අමුතුවෙන් උගන්වන්නට සිදුවීම ගැන කනගාටුවන බව කතානායකවරයා පැවැසීය. මෙහිදී නැවතත් විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරු ඝෝෂා කරන්නට වූහ.

විමල් වීරවංශ

තමුන්නාන්සේ ආණ්ඩුවේ පඹයකු වෙන්න එපා.

කතානායක

මට පාර්ලිමේන්තුව කරගෙන යන්න ඉඩ දෙනවද නැද්ද. මහජන මුදල් නිකරුණේ විනාශ වෙන්න ඉඩ දෙන්න බැහැ. මම තීරණය වෙනස් කරන්නේ නැහැ.

රවුෆ් හකීම්

කතානායකවරයා යම් මන්ත්‍රිවරයකු නම් කළ පසු ඒ මන්ත්‍රිවරයා සභාවෙන් ඉවත් කළ යුතුයි. එසේ නොවුණොත් ගරු සභාව හෑල්ලුවට ලක් වෙනවා.

සරත් අමුණුගම

මේ අවස්ථාවේ ගරු මන්ත්‍රිවරයා ඉවත් කරන්නට උත්සාහ කළා නම් අනවශ්‍ය ගැටුමක් ඇතිවිය හැකිව තිබූ නිසා මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඡන්ද විමසීමකට යෑම සුදුසුයි. ඒ අනුව ඡන්ද විමසීම සිදුවිය.

ඡන්ද විමසීමෙන් යෝජනාව සම්මත වීමත් සමඟ දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු සභාවෙන් පිටත්ව ගියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ

අද මෙහි ඇතිවූ තත්ත්වය ගැන අපි කනගාටු වෙනවා. විමල් වීරවංශ මන්ත්‍රිතුමා මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රිවරයකු නොවේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරයෙක් ලෙස සලකා කටයුතු කරන ලෙස මා ඉල්ලනවා.

පරිසරය රැකගෙන සංවර්ධනය කරනවා

'ලොව පිළිගත් ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා පැවැසීය.
අපේ රජය ඉදිරි වසර 15 තුළ සිදු කරන සංවර්ධනය සඳහා වූ සැලසුම් අපි මෙම පනතට අනුව සකස් කරනවා. ලොව බොහෝ රටවල් සංවර්ධන ජයග්‍රහණ අත්කර ගෙන තිබෙන්නේ පරිසරය විනාශ කරගෙනයි. සමාජ සංස්කෘතීන් විනාශ කර ගෙනයි. නමුත් පරිසරයද සමාජයද රැක ගනිමින් රටේ සංවර්ධනය සැලසුම් කිරීම තිරසාර සංවර්ධනය ලෙස හඳුන්වනවා. අප මෙහිදී තිරසාර සංවර්ධන සභාවක් පිහිටුවනවා. ලොව පිළිගත් ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. මහජනතාවට මෙන්ම ගහ කොළ තුරුලතාවන්ට මෙන්මත් සකලවිධ සත්ත්වයන්ටත් පීඩාවක් නොවන පරිදි අපි රට සංවර්ධනය කරනවා.

තිරසාර සංවර්ධනයට අපේ රජය කැපවී කටයුතු කරනවා

තිරසාර සංවර්ධනය වෙනුවෙන් අපේ රජය කැපවී කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ජනාධිපතිතුමාත් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරනවා.
එම සංවර්ධනය ඇති කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය ගොඩනැඟීමටයි මේ පනත ගෙන එන්නේ.
මේක දීර්ඝකාලීන සැලැස්මක්. එය වසර 15ක් දක්වා ඉදිරියට ක්‍රියාත්මක වනවා.

කාර්මික අපද්‍රව්‍ය නිසා ජල මූලාශ්‍ර විනාශ වෙනවා

"කාර්මික අපද්‍රව්‍ය නිසා අපගේ ජල මූල විනාශ වෙනවා" යැයි නාගරික සංවර්ධන හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවැසුවාය.
"අප මේ වනවිට පාරිසරික ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. මධ්‍යම කඳුකරයෙන් ගලන ගංගා විශාල තෙත් බිම්, කඩොලාන සහිත අප රටේ ස්වාභාවික පරිසරය රැක ගැනීම පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතුයි.

කාර්මිකකරණය තුළ සිදුවන පාරිසරික හානි අවම කර ගැනීමට කටයුතු කළ යුතුයි. කාර්මික අපද්‍රව්‍ය නිසා අපගේ ජල මූල විනාශ වෙනවා. ඒ පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතුයි. දේශගුණික විපර්යාසයන් රැසකට අප මුහුණ දෙමින් සිටිනවා. තිරසාර සංවර්ධනයක් සිදු නොවූ නිසා අපි මේ තත්ත්වයට මුහුණ දෙනවා. තිරසාර සමතුලිත සංවර්ධනයක් ඇති කිරීම ඉතාම වැදගත්."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon