ඔව්වා මොනවද සැලෝ

  👤  7810 readers have read this article !
2017-03-08

පැරකුම්බා පිරිවෙනෙන් ඉගිළුණු සැලළිහිණියා කැලණියට යන්ඩ පිටත් වුණේ උදේ හතටත් කලින්. හැබැයි බොරැල්ල, පෑලියගොඩ පහුවෙනකනුත් සැලළිහිණියාට යන්ඩ වුණේ පාරේ බස් එකේ නිසා දහය වෙද්දීත් සැලළිහිණියා හිටියේ හතරේ කණුව ගාව.

බලන් ඉඳල බැරිම තැන තොටගමුවේ හාමුදුරුවෝ සැලළිහිණියාට කෝල් එකක් ගත්තා.

'කොහෙද බං දරුවො ඉන්නේ... තාම මඟද?' හාමුදුරුවෝ ඇහුවා.

'එහෙමයි හාමුදුරුවෝ... පාරේ හරියට තදබද වෙලා. අඩියක් යාගන්ඩ බෑ. වෙනදාටත් වඩා ට්‍රැෆික්.' සැලළිහිණියා එක අතකින් අප්‍රිකාවේ වානරයන් අතර ටාසන් වගේ ජනෙල් පොල්ලේ කතිර නැටුම නටන ගමන් එක උරිස්සකට ෆෝන් එක හිර කරගෙන උත්තර දුන්නා.

'ඇයි මොකද, පාරේ මුකුත් කලබලයක්ද?' හාමුදුරුවෝ හිතේ සැකේට ඇහුවා.

'මෙහෙමයි හාමුදුරුවෝ... මේක කොහොම කියන්ඩ ද කියලා තේරෙන්නෙ නෑ..' සැලළිහිණියා තෙපරබාන විදිහෙන් ඊළඟට කියන්න හදන්නේ මොකක් නමුත් අබග්ග කතාවක් බව හාමුදුරුවන්ට තේරුණා.

'මොකෝ දරුවෝ, ප්‍රශ්නයක් නම් කියපං.. උඹ හොඳින් නේද?' හාමුදුරුවෝ ඇහුවා.

'නෑ... හාමුදුරුවනේ, මට නම් ප්‍රශ්නයක් නෑ. ඒත්... ඒත්... පාර දිගටම මඟුල් ගෙවල් අපේ හාමුදුරුවනේ'

'මොකක් කිව්වා?'

'එහෙමයි හාමුදුරුවෝ... පාර දිගටම ගෙයක් ගෙයක් ගාණේ මඟුල් ගෙවල්'

'අද නැකැත් දවසකුත් නෙමෙයිනේ බොලං... එහෙව් එකේ කෝමෙයි මඟුල් ගෙවල්? ඇරත් ගෙයක් ගෙයක් ගාණේ?'

'එහෙමයි හාමුදුරුවෝ.. ගෙයක් ගෙයක් ගාණේ මඟුල් ගෙවල්... මේක ඔබ වහන්සේට කොහොම තේරුම් කරන්ඩද කියලා මට තේරෙන් නෑ... වට් සැප් එකක්වත් ගහල එවන්ඩ හාමුදුරුවෝ ඔව්ව බලන එකක් යෑ'

'මට ඔය විච්චූර්ණ තේරෙන්නේ නෑ බොල... කියන එකක් කටින් කියපන්.

'මෙහෙම බැලුවම පාර දිගටම ගෙවල්වල මඟුල් ගෙවල් අපේ හාමුදුරුවනේ... ගෙවල්වල ගෑනු මිනිස්සු මඟුල් ඇඳුමෙන් සැරසිලා ඉන්නේ.. බැඳපු නැති කෙනෙක් නෑ අපේ හාමුදුරුවනේ'

'හ්ම්ම්... මේක එසේ මෙසේ සංගදියක් නෙවෙයි බොල... රටේම මිනිස්සු එක දවසේ කසාද බැඳලා කියන්නේ.. හ්ම්ම්... නන්නූර්තුනෛයාර් ඇමැතුමාටයි උලකුඩල බිසවටයි ළමයෙක් හම්බෙන්ඩ මෙච්චර කලක් බලාන ඉඳපු එකේ තව දවසක් බලාන හිටියයි කියලා වෙනසක් වෙන්නෙ නැති වෙයි... විභීෂණටත් රාම රාවණා යුද්දෙන් පස්සෙ ආයේ වැඩකුත් කියලා නෑනේ... ඔහේ ටිකක් නිවාඩු ගත්තදෙන්... උඹ මෙහෙම කරපං දරුවෝ... ඔය ඉන්න තැනකින් යකඩ අස්සයා පිටින් දැන් බැහැපන්. බැහැලා ඔය අහල පහළ ගෙවල් දෙක තුනකට එබිකන් කොරල, කතා බස් කරල විස්තර අහගනින්... අහගෙන මට කියපං.. තේරුණයි?

'එහෙයි අපෙ හාමුදුරුවනේ' සැලළිහිණියා එහෙම කියාගෙන ෆෝන් එක කට් කරගෙනම ෆුට්බෝඩ් එකෙන් බිමට පැන්නා.

ෆුට්බෝඩ් එකෙන් පැනපු තැනම බිම පෙට්ටි කඩේ මාළු පාන් අක්කා දවල් බත් පැකට්වලට දාන්න ඊයේ රෑ උයපු කුකුල් මස් රෝස්ට් කරනවා. හෙමීට මාළු පාන් අක්කා ළඟට කිට්ටු වුණු සැලළිහිණියා බෝම යටහත් පාත්ව එකත්පස්ව ඉඳගෙන සම්මත ලීලාවෙන් ආචාර පැවැත්තුවා.

'මාළු පාන් අක්කෙ ගුඩ් මෝනිං'

'මල්ලී දවල් කෑම ගන්නවා නම් එකොළහෙන් පස්සේ.'

සැලළිහිණියාගේ සාහිත්‍යමය ආචාරයට මාළු පාන් අක්කා බොහොම උපයෝගිතාමය විදියට සමාචාර පැවැත්තුවා.

'අක්කා මොකෝ මේ අද මේ ඇඳුමෙන්?' සැලළිහිණියා බෝම සංචර විනීත නිහතමානී ස්වරයෙන් ඇහුවා.

'මොකක්? මාළුපාන් අක්කට සැලළිහිණි ශ්‍රැතිය අනුනාද වුණේ නෑ.

'නෑ... මේ.. මං බැලුවේ අක්කේ අද උදේ පන්සලෙන් ආපු ගමන් මඟ දිගටම හැමෝම මගු... නෑ මං කිව්වේ හරි අමුතු විදියට ලස්සනට ඇදලා... ඒකයි අක්කගෙන් ඇහුවේ'
'උඹ මොනා කියනවද කියල මට නං තේරෙන්නේ නෑ මල්ලියේ මොකද්ද කියහන් ඔය අමුතු ඇඳුම?'

මාළු පාන් අක්කා උත්තර දෙනවත් එක්කම කඩේ පිටිපස්සේ ‍ෙදාරපළුව ඇරගෙන යුරෝපීය විදියට මඟුල් ඇඳුමක් ඇඳගත්ත මහා අමුතු සතෙක් ඇතුළට ආව. පුරුදු කාරයෙක් වගේ ගේ ඇතුළට ආපු අමුතු සතා, කෙළින්ම මාළු පාන් අක්කගේ කාමර කෑල්ලෙන් එබිකන් කරල බලලා, මාළු පාන් අක්කගෙ සල්ලි පෙට්ටිය අතට ගත්තා. තත්ත්පර පහක් විතර ඒ දිහා කෑදර බැල්මෙන් බලන් හිටපු අමුතු සතා එකපාරම පෙට්ටිය දෙකට කඩලා ඇතුළේ තිබ්බ සල්ලි ටික ගිජු විදියට කාලා කාබාසිනියා කරලා දාන හැටි සැලළිහිණියා කට ඇරගත් බැල්මෙන් බලාගෙන හිටියා.

'මොකෝ මල්ලියේ මේ බයබිරාන්ත වෙලා වගේ ගේ දිහා බලාන ඉන්නේ... උඹට මුකුත් අවුලක්ද?'

මාළු පාන් අක්කා ඇහුවා.

'පොඩ්ඩක් ඔහොම ඉන්ඩ කෝ අක්කේ...' සැලළිහිණියාට අදහසක් ආවා. කෙළින්ම කඩේ ඉස්සරහට ගියපු සැලළිහිණියා ඉස්සරහ එල්ලලා තිබ්බ භාග කණ්ණාඩිය අතට අරන් මාළු පාන් අක්කගෙ මූණ ඉස්සරහින් ඇල්ලුවා.

'බලන්ඩකො අක්කේ වෙනසක් පේනවද කියලා'

'මොන? ඇයි බං මල්ලියේ චීත්තෙ ඉරිලවත්ද?'

'අනේ මන්ද අක්කේ මටත් තේරෙන්නේ නෑ. නෑ වැඩිය හිතන්ඩ එපා... මං මේ නිකං ඇහුවේ... ඒක නෙමෙයි අක්කේ, සිමියොන් අයියා නැතිවෙලා මේ මාසෙට අවුරුද්දක් නේද?'

'ඔව් මල්ලියේ අවුරුද්දේ දානේ ලබන සතියේ නෙවෙයි ඊට පස්සේ සතියේ... වරෙන් බත් කටක් කාලා යන්න'
'හා අක්කේ... එන්නංකෝ එහෙනම්.'

සැලළිහිණියා පාරට බැස්සේ හරිම තෝන්තු හිතකින්. තමන් බස්සෙකෙන් බහිනකොට මාළු පාන් අක්කා උඩරට ඔසරිය ඇඳලා මාල හතක් දමාගෙන ඉන්නවා තමන් දැකපු බවට සැලළිහිණියාට සීයෙට දාහක් විශ්වාසයි. ඒ වගේම තමන් කඩේ ඇතුළේ කතා කර කර හිටපු ටිකට සූට් බූට් ගහපු අමුතු සතෙක් ගෙට පැනලා මාළු පාන් අක්කගේ සබ්බ සකලමනාවම කාල දාපු බව තමන් ඇස් දෙකෙන්ම දැකපු බවත් සැලළිහිණියාට විශ්වාසයි. ඒත් මාළු පාන් අක්කට තමන් ඇඳන් හිටපු ඇඳුම ගැනවත්, ගෙට පැනපු සතා ගැනවත් කිසිම නිච්චියක් නැති බවත් සැලළිහිණියාට කරපු කතාවෙන් හොඳටම පැහැදිලියි. අනෙක් මිනිස්සුත් ඒ වගේද කියල බලන්ඩ සැලළිහිණියාට එකපාර ආසාවක් ආව.

මාළු පාන් අක්කගේ කඩේට ඉස්සරහ පාරෙන් පැත්තේ ඉන්නේ ත්‍රීවීල් සමන්... ත්‍රීවීල් සමන් කිව්වම බජාර් එකේ නොදන්න කෙනෙක් නෑ ඉතිං. ට්‍රැෆික් එකේ හයර් දුවන්න බැරි නිසා ත්‍රීවීල් සමන් හිටියේ ත්‍රීවීල් එකේ පිටිපස්ස සීට් එකට වෙලා ෆේස්බුක් යන ගමන්. ඕක ඉතිං අමුතු දර්ශනයක් හෙම නෙවෙයි.

ප්‍රශ්නෙකට තිබුණේ ත්‍රීවීල් සමන් අද සීට් එකේ උන්නේ තනියෙම නොවෙන එක.

'සමන් අයියා.. කෝමද කාලෙකින්.'

සැලළිහිණියා ත්‍රීවීල් සමන්ට කතා කළාට ඇස්දෙක තිබුණේ එහා පැත්තේ වාඩිවෙලා හිටපු ඉස්තිරි පරාණේ දිහාවට. සුදුපාට ඉන්දියන් සාරියක් ඇඳලා, මූණට වේල් එකක් දාලා, අතේ මල් බොකේ එකක් තියාගෙන ත්‍රීවීල් සමන් දිහා බොහොම කෑදර බැල්මකින් බලාගෙන හිටපු මේ පරාණකාරි කවුද කියලා සැලළිහිණියාට දැනගන්ඩ ඕනෑ.
හැබැයි ත්‍රීවීල් සමන් ඒ පරාණකාරි තියා අඩු වශයෙන් තමන් අද ඇඳගෙන ඉන්නේ වෙනදාට අඳින කොට කලිසමයි ටීෂර්ට් එකයි වෙනුවට උඩරට මුල් ඇඳුම බව වත් මීටර් නැති බව සැලලිහිණියාට විශ්වාසයි.

'ඉන්නවා මල්ලි. දන් නැද්ද ඉතිං'

'සමන් අයියා එහෙම කියද්දී එහා පැත්තෙ හිටපු ඉස්තිරි පරාණේ සැලළිහිණියා දිහා බලල හිනාවක් වුණා. ඇත්තටම කියනවා නම් හිනා වෙන්ඩ උත්සාහ කළා. මොකද හිනාවෙන් බාගයක් වැහෙන්න කට දෙපැත්තෙන් පල්ලෙහාට දික්වුණු උල් දත් දෙක තිබ්බ නිසා.

'සමන් අයියේ මොකෝ මේ ට්‍රැෆික් එක අද මේ තරම්.'

'ආ මේකනෙ මල්ලි.. අර ප්‍රසිද්ධ ගායකයා නායකරත්න දන්නවනේ'

'ඔව්... ඔව්'

මිනිහ බැඳලලුනේ මල්ලි'

'? නෑ!' සැලළිහිණියාට හුස්ම ටික හිරවෙන්ඩ ආවා.

'ඒ වුණාට සමන් අයියේ නිවුස්වල ගියේ මිනිහ මැරිලා කියලනේ. සැලළිහිණියා සැකෙන් වගේ ඇහුවා.

'එහෙම තමා මල්ලි අපටත් හිතාගන්න බෑ. කට්ටියක් කියනවා මිනිහ මැරිලලු. තව කට්ටියක් කියනවා මිනිහ බැඳලාලු. අපි දන්නෙ නෑ කවුරු ඇත්ත කියනවාද, කවුරු බොරු කියනවද කියලා. හැබැයි මල්ලි අද උදේ ඉඳන් සමහරු නායකරත්නව කරේ තියාගෙන මඟුල් පෙරහරවල් යනවා. තව කට්ටියක් නායකරත්නගේ අවමඟුල් පෙරහරවල් යනවා. ඒකයි ඔය පාර දිගට ට්‍රැෆික්.

සමන් අයියගේ පැහැදිලි කිරීම කරන අතරේ එහා පැත්තේ වාඩිවෙලා උන්නු ඉස්තිරි පරාණේ සමන් අයියගේ බෙල්ල හිරකරලා ලේ බොමින් උන්නු බව සමන් අයියට වගේ වගක් නෑ.

'අම්මට සිරි' දන්නා සාහිත්‍ය සේරම කන් දෙකෙන් වාෂ්ප වෙලා සැලළිහිණියට උත්තරයක් විදියට කියාගන්ඩ ඉතුරු වුණේ ඔච්චරයි.

මේක තමන්ට තේරුම් ගන්න පුළුවන් වැඩක් නෙවෙයි කියල දැනටමත් සැලළිහිණියාට මීටර් වෙලා ඉවරයි. ආපු ගමනත් මඟ හිටපු එකේ, කොයික කරන්නත් කලින් රාහුල හාමුදුරුවන්ට කියල ඉන්නවා කියල හිතපු සැලළිහිණියා රාහුල හාමුදුරුවන්ට ස්පීඩ් ඩයල් කළා.

සැලලිහිණියා හිතපු තරමෙන් බාගෙක කලබලයක් හාමුදුරුවන්ට තිබුණේ නෑ. බෝම ඉවසිල්ලෙන් සැලළිහිණියාගේ යාං හෑල්ල අහගෙන හිටපු හාමුදුරුවෝ මෙහෙම කිව්වා.
'බොලං දරුවෝ.. ඕක එච්චර හිතන්ඩ කාරණාවක් නෙවෙයි. මේ රටේ මිනිස්සු අවුරුදු දාස් ගාණක තිස්සේ ඉඳන් කළේ අනුන්ගේ මඟුල් හොයපු එක විතරමයි. වීරයෝ, දුෂ්ටයෝ, මඟුල්, අවමඟුල්, මේ සේරම මිනිස්සුන්ට පිටින් ආනයනය කරන්ඩ වෙලා. හැබැයි අනුන්ගේ මඟුල් හොයන තමන්ම තමන්ගේ ජීවිතේ සින්නක්කර කසාද බැඳිලා ඉන්න දුක්කම්කටොළු ඒ මිනිස්සුන්ට පේන්නේ නෑ. තමන්ගේ ජීවිතේ ලේ උරා බොන සහකාර කරදර පේන්නේ නෑ. තමන් හිතෙන් මළගෙයක හිටියට මොකද රටට ලෝකෙට පේන්න උන් අඳින්නේ ඉස්තරම්ම මඟුල් ඇඳුම්. හැබැයි ටික කාලයක් යද්දී උන්ටම පැටලෙනවා ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා.

උඹ ඔව්වට කලබල වෙන්ඩ එපා. උඹ ඊළඟ යකඩ අස්සහු ආවම උගේ පිටේ නැඟල කැලණියට ගිහිල්ලා මං දීපු සන්දේශය භාර දීපන් විභීෂණට.
බොහෝම නිවී සැනසුණු ස්වරයෙන් කියපු රාහුල හාමුදුරුවෝ ෆෝන් එක කට් කළා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon