ආණ්ඩුව ඩොලර් සොයන මෙහෙයුමක

  👤  4037 readers have read this article !
2017-03-05

අමාත්‍ය මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එහිදී කැබිනට් පත්‍රිකා 25කට පමණ අනුමැතිය හිමි වූහ. අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ට තරවටුවක් කළේය. ඇමැතිවරුන්ගේ නම් ප්‍රකාශ නොකළද බොහෝ ඇමැතිවරුන් ජනාධිපතිවරයාගේ දෝෂදර්ශනයට ලක් වී තිබිණි. "ඇමැතිවරු මොකටද සයිටම් එක පැත්ත ගන්නේ. ඔවුන් ඉන්න ඕන සයිටම් එක පැත්ත ගන්න නොවෙයි. නිදහස් අධ්‍යාපනයේ පැත්ත ගැනීමටයි. අපි සයිටම් එකට කඩේ යන්න ඕන නැහැ. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගන්න, විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනඟන්න කටයුතු කළ යුතුයි. ඇයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එක්ක අපට හිටගන්න බැරි." ජනාධිපතිවරයා දැඩි ස්වරයෙන් අවධාරණය කළේය.

විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් 350ක අවම වැටුප් සීමාවක් පැනවීමට 2016 අයවැයෙන් යෝජනා කළේය. 2015 අයවැයෙන් ඩොලර් 300ක අවම වැටුපක් ද යෝජනා කර තිබිණි. එලෙස ඩොලර් 350ක අවම වැටුපක් යෝජනා කිරීම නිසා ඇතිවන ගැටලු සහගත තත්ත්වය නිසා එම අවම වැටුප පහත දැමීමට විදේශ රැකියා ඇමැතිනි තලතා මෙවර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනාවාය. "ඩොලර් 350 සීමාව නිසා ලැබෙන රැකියා අවස්ථා අඩු වෙලා. මේක විදේශ විනිමයටත් ප්‍රශ්නයක් වෙනවා. මේ මුදල අඩු කරන්න ඕන." ඇය කීවාය. "දුගීකම නැති කරන්න පිරිසක් ත්‍රීවීල් එළවනවා. තවත් පිරිසක් රට රැකියාවලට යනවා. රට රැකියාවලට යන දුප්පත් අයට සීමා ඇති කිරීම සුදුසු නැහැ. මම ඒකට විරුද්ධයි" අමුණුගමද තලතාට සහායට අදහස් දැක්වීය. එහෙත් එම යෝජනාව ස්ථීර වූයේ නැත. ඉදිරියේදී සාකච්ඡා කිරීමට කල් තබනු ලැබුවේය.

පාතාල ක්‍රියාකාරකම් ගැනද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු විය." පසුගිය මහින්දගේ කාලෙත් මේ වගේ ඝාතන වුණා. දැන් ඒවා ආයෙත් සිදු වෙන්න ඉඩ දෙන්න බැහැ. පොලිසියට මේවගෙන් ජනතාව මුදව ගන්න වගකීමක් තිබෙනවා. මේ වෙන කොට මිනිස්සු ආණ්ඩුවටයි ඇඟිල්ල දිගු කරන්නේ" රාජිත කීවේය. ඒ පිළිබ¼ද බොහෝ දෙනක් විවිධ අදහස් ඉදිරිපත් කළ අතර පාතාලය මර්දනය කිරීමේ කටයුතු පොලිසිය ඔස්සේ සිදු කිරීම සඳහා අමාත්‍ය සාගලට වගකීම් පවරනු ලැබුවේය.

මේ අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, විරෝධතා ආදිය කෙරේද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූයේය. "සියලුම ඇමැතිවරු තම තමන්ගේ අමාත්‍යාංශවල වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරන්න. වෘත්තීය සමිති එක්ක සමීපව කටයුතු කරන්න. කම්කරු ශක්තිය රජය එක්ක තියා ගන්න ඕන. වර්ජන, පෙළපාළි ඇති වෙන්නෙ ඇයි කියලත් බලන්න ඕන" ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීම කළේ ඇමැතිවරුන්ට දුන් නියෝගයක් ලෙසින්ය.

සංචාරක අමාත්‍ය ජෝන් සහ වනජීවී අමාත්‍ය ගාමිණි අතරද වාදයක් ආරම්භ විය. ඊට ඇමැතිවරු සිනාසෙන්නට වූයෙන් කතා බහ දුර දිග ගියේ නැත. "අපේ අමාත්‍යාංශය සංචාරක ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දෙනවා. වන අභය භූමි සංචාරක පාරාදීස වෙලා. සංචාරක කටයුතුවලට අපේ අමාත්‍යාංශයත් සම්බන්ධ කර ගන්න" ගාමිණී ජයවික්‍රම කීවේය. "එහෙනම් ඒකෙ ගෞරවය ඔබතුමා තියා ගන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න" කතාබහ අවසන් කරමින් ඇමැති ජෝන් කීවේය.
ශ්‍රී ලනිපයට බ්‍රහස්පතින්දා විශේෂ දවසක් විය. ඒ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව පැවැත්වුණු නිසාය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මධ්‍යම කාරක සභාවේදී සමස්ත ලංකා කාරක සභාවේ න්‍යාය පත්‍රය අනුමත කිරීම සිදුවිය. මේ සඳහා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්නද පැමිණි සිටියේය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ¤දී සවස පැවැතියේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාවයි. ඒ සඳහා ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිනියද සහභාගි වී සිටියාය. මේ වසරේ අවසන් කාර්තුවේදී පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ කිහිපයක් පිළිබඳ ඉඟි පළවිය. මෙහිදී ජනාධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලනිප ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවත් පිටකොන්දක් ඇති අය සමඟ පමණක් ඉදිරියට යන බවත් අවධාරණය කළේය.
මේ රැස්වීම් සඳහා ඒකාබද්ධ විපක්ෂයටද ආරාධනා කොට තිබිණි. ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට බදාදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම රැස්වූහ. ඔවුන්ගේ ඒකමතික තීන්දුව අනුව එම කාරක සභා සඳහා සහභාගි නොවීමට තීරණය විය. හිටපු ජනපති මහින්ද එම මන්ත්‍රි හමුවට පැමිණියේ තරමක් ප්‍රමාද වීමෙන් පසුවයි. "ඔයාල සාකච්ඡා කරල එහෙම තීන්දුවක් ගත්ත එක හොඳයි. අපේ පළාත් පාලන නියෝජිතයන් කිසිවකුටත් ඊට ආරාධනා කරල තිබුණෙත් නැහැ. ඒක වැරැදියි. අපට ඒ අය අමතක කරන්න බැහැ. හැමදාම පක්ෂය වෙනුවෙන් ඒ අය දරදිය ඇද්දා, ඒ හින්දා ඔය අයත් ඒකට සහභාගි නොවන්න තීරණය කිරීම හොඳයි" මහින්ද එහිදී කීවේය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මෙරිල් පෙරේරාගේ පියාගේ අවමංගල්‍ය කටයුතු සඳහා හිටපු ජනපති මහින්ද ද සහභාගි විය. එම අවස්ථාවට සහභාගි වී සිටි පාර්ලිමේන්තු හා පළත් සභා මන්ත්‍රිවරුන් කිහිප දෙනකු සමඟ සුහද කතාබහක නිරත වීමට මහින්දට අවස්ථාව උදා විය. 'ආණ්ඩුව හදන්නෙ බැඳුම්කර මගඩියෙ වරදත් සර්ගෙ පිට දාන්න' ප්‍රසන්න මහින්දට කීවේය. 'මම හිතාගෙන හිටියේ ජනවාරි 8න් පස්සෙ ජනාධිපතිකමයි, මුදල් ඇමැතිකමයි දෙකම නැති වුණා කියලා. ඔය කියන විදියට තාමත් මම මුදල් ඇමැති' මහින්ද දුන්නේ එවැනි පිළිතුරකි. 'හැබැයි සර් දැන් මිනිස්සු ඇත්ත දන්නවා. මිනිස්සු ඕව විශ්වාස කරන්නෙ නැහැ' සිසිර ජයකොඩි කීවේය.' මෙයාල කියන බොරුවල හැටියට මිනිස්සු ඕව විශ්වාස කරයියැ. ඕකට විරුද්ධව නඩු දාන්නයි මම ඉන්නෙ' මහින්ද ඉදිරි ක්‍රියාමාර්ග ගැන සඳහන් කළේය. අනතුරුව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් දෙසට හැරුණු මහින්ද පළාත් සභාවේ වැඩ කටයුතු ගැන විමසීමක් කළේය. 'අපි පොඩි ගේමක් දෙන්නයි ගියේ. සර් එපා කිව්ව නිසා පාඩුවේ හිටියා' පළාත් සභා මන්ත්‍රි ආනන්ද හරිශ්චන්ද්‍ර තම නායකයාට කීවේය.' අපි එජාපයට පොඩි වාසියක්වත් දෙන්න හොඳ නැහැ. දැන් ඉන්න මහ ඇමැතිවරු ශ්‍රී ලනිප අයනෙ. ඒකයි මම එපා කිව්වෙ' මහින්ද සඳහන් කෙළේය.

බ්‍රහස්පතින්දා උදෑසනින්ම අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට පැමිණියේ විශේෂ හමුවීම් කිහිපයක් වෙනුවෙන්ය. එම සාකච්ඡා අතර එජාප මැති ඇමැති පිරිසක් සමඟ සුහද සාකච්ඡාවක නිරත වීමටද අගමැතිවරයාට හැකිවිය.
"ජනාධිපති කොමිසමෙන් හොඳ හොඳ සෙල්ලම් එළියට එනවා. මහින්දගෙ කාලෙ 2005 ඉඳලම අමුතු ක්‍රමවලටයි බැඳුම්කර නිකුත් කරලා තියෙන්නෙ" එම සුහද කතාබහට කිරිඇල්ල මුල පිරුවේ එලෙසින්ය.

"හැම අවුරුද්දෙම මුලින් කළ යුතු දේ එයාලා අවුරුද්ද අන්තිමටයි කරලා තියෙන්නේ. වසරක් ඇරඹෙන කොට මේ වසරේ කොච්චර බැඳුම්කර නිකුත් කරනවද කියලා කියන්න ඕන. ඒත් ඒ කාලෙ ඉඳලම වසර අගයි ගැසට් නිකුත් කරලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය වැරැදි බව ආර්ථික විශේෂඥ මතයයි" දයා ගමගේ පැහැදිලි කළේය.
"බැඳුම්කර ගැන මේ ආණ්ඩුවට වැරැදි පටවන්න මහින්දයි එයාගෙ නඩයයි නොකළ දෙයක් නෑ. දැන් තමයි බැඳුම්කරවලින් ඒ අය කරන මගඩි එළියට එන්නේ" රවි කීවේ එවැනි කතාවකි. "වැරැදි කරල නැත්නම් උසාවි යන්න කියලා කියපු කතාවට ඒ අය හිරවෙලා" කිරිඇල්ල කීවේය. "එයාලගෙ කාලෙ ඒවට මහින්ද සම්බන්ධ නැත්තම් දැන් උසාවි ගිහිං ඔප්පු කළ හැකියි. එයා අස්සන් කළාද නැත්තම් ගෝලයො හොරාට අස්සන ගැහුවද කියලත් උසාවියෙදි ඔප්පු වේවි" රවි වැඩිදුරටත් කීවේය. "නව ව්‍යවස්ථාව ගැන කියපු බොරු කතාවලට ඔබතුමා කොළොන්නාවෙදි නියම උත්තරයක් දුන්නා" හැරිසන් කීවේ එම කතාබහ වෙනතකට යොමු කරමින්ය. "නව ව්‍යවස්ථාවෙන් කිසිම පළාත් සභාවකට බෙදුම්වාදය ගැන කතා කිරීමට පවා තහනම් කරනවා." අගමැතිවරයා කීවේය. "නව ව්‍යවස්ථාව කොයි කාලෙ වගේ එනවද කියලා මිනිස්සු ප්‍රශ්න කරනවා." වජිර අගමැතිවරයාගෙන් විමසා සිටියේය. "ඒක ගේන්නයි අපි හදන්නෙ. රටට හානිවෙන කිසිදෙයක් ඒකෙ නැහැ. අනුකමිටුවල කාර්ය දැන් ඉවරයි. අනුකමිටුවලදී පක්ෂ හා සංවිධාන විවිධ ස්ථාවර කියලා තියෙනවා. ඒ පරස්පරතා සමබර කරලා නිශ්චිත තැනකට එන්න ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන සතියේ ඉඳලා කටයුතු කරනවා" අගමැතිවරයා පැහැදිලි කළේය. "ජනමත විමසුමකට යන දේවල් නව ව්‍යවස්ථාවේ ඇතුළත් කරන්නේ නෑ කියලා ශ්‍රී ලනිප සමහරු කියනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ ජනපතිට හේත්තු වෙච්ච අය විකාර කියනවා කියලා රාජිත ඒකට හොඳ උත්තරයක් දීලා තිබුණා." කිරිඇල්ල කීවේය. "ජනාධිපති ධුරය නැති කරනවද, ජනමත විමසුමකට යනවද, සෙනෙට් එකක් පිහිටුවනවද, ඡන්ද ක්‍රමය වෙනස් කරනවද කියලා දැන්ම කියන්න කල් වැඩියි. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් දෙන්නෙ වාර්තාවක් මිසක් අවසන් පනත නෙවෙයි. අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට දමලා සම්මත කරගන්නවා." අගමැතිවරයා කරුණු පැහැදිලි කළේ එලෙසින්ය. "රටේ ආර්ථිකය අස්ථාවර කරන්න මහින්දල ගෙනාපු ටෙම්පල්ටන් අරමුදල පිටරටට අදිනවා. ඩොලරය 170ට විතර නග්ගල ආණ්ඩුව අසීරුතාවට ගේන්නයි බැලුවෙ. ඒත් ඩොලරය 150 රඳවා ගන්න සමත් වුණා" මුදල් ඇමැති තවත් කරුණක් ඉස්මතු කළේය. "මේ රටේ විදේශ සංචිත හැමදාම ර¼දා පැවතුණේ අනුන්ගේ සල්ලිවලිනුයි. දැන් අපට ඩොලර් මිලට ගන්න වෙනවා. අපේ ආර්ථික තත්ත්වය දැන් කෘත්‍රිම නැහැ. ඒ නිසා ආර්ථිකය ගැන පැහැදිලි තීන්දු ගන්න පුළුවන්" අගමැතිවරයා සඳහන් කළේ අනාගත ආර්ථික සැලසුම ගැනයි. "ඔව්. ඉස්සර දිගුකාලීන ණය හා ටෙම්පල්ටන් වගේ සල්ලිවලිනුයි මහින්දලාගෙ කාලෙ සංචිත දිව්වෙ. දැන් සෘජු විදේශ ආයෝජන හරහා සංචිත ශක්තිමත් කළ හැකියි"
මුදල් ඇමැති සඳහන් කළේ අගමැතිගේ කතාව ඉදිරියට ගෙන යමින්ය.

"මේ පාර ජිනීවාවලිනුත් අපට ප්‍රශ්න නෑ. කොන්දේසි ඉල්ලීම් නෑ. මේ රජය යන පාර හරි බව ලෝකයම පිළිගන්නවා. ඒක දැන් ආර්ථික ජයග්‍රහණයටත් විශාල ශක්තියක් වේවි." පී. හැරිසන් කීවේය. "විශ්වවිද්‍යාලවල වධකාගාර පවත්වලා පටු දේශපාලනයට සිසුන් යට කර ගැනීමේ වධකාගාර 5ක් නුවර තියෙනවා. රටපුරා තව තියෙනවා. ඒ සෙල්ලම්වලට ඉඩ නොතැබීම පොලිසියේ වගකීමක්" කිරිඇල්ල ප්‍රකාශ කළේය.
කතානායක කරු ජයසූරියගේ ඇරැයුමින් යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225 දෙනෙක් පාර්ලිමේන්තුවට පැමිණියහ. ඒ දිනක වැඩමුළුවක් සඳහාය. යොවුන් පාර්ලිමේන්තු සංකල්පය ඇරැඹීමෙන් පසු පළමුවරට තමන්ට එවැනි අවස්ථාවකට සම්බන්ධ වීමට ලැබීම ගැන එම යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයෝ කතානායකවරයාට කෘතඥතාව පළ කළහ. 'නායකයකුට අවසාන ගැඹුරුම ගනුදෙනුව තියෙන්න ඕන තම හෘද ය සාක්ෂිය සමඟයි. මරණ වංචකයේ හෝ තමන් කළ දේ හෘදය සාක්ෂියට අනුව විමසා බලන්න සිදුවෙනවා' කරු ජයසූරිය ඔවුන්ට පැවැසුවේය.

කොළඹ ආනන්දයෙන් බිහිවී මෙරට මෙන්ම විදේශ රටවලද සේවය කරන ඉන්ජිනේරුවන්ගේ වාර්ෂික සමුළුව සෙනසුරාදා කොළඹදී පැවැත්විණි.
එහිදී ආදි ආනන්දයෝ පාසල් සමය පිළිබඳ ‍ෙදාඩමළු වූහ. කතානායක කරු ජයසූරිය ආදි ආනන්දයකු ලෙස එම සමුළුවට එක්වූයේ විශේෂ ආරාධිතයකු ලෙසින්ය. ඉන්ජිනේරුවන් බිහිකරලීමට පදනම දැමූ පී. ද එස්. කුලරත්න, එල්.එච්. මෙත්තානන්ද, කරුණානන්ද වැනි ගුරුභවතුන්ගේ මතකයද මෙහිදී ආදි ශිෂ්‍යයෝ සිහිපත් කළහ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම සහ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කිරීම පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු වූයේ කතානායකවරයාගේ සහභාගිත්වයෙනි. නිහඬව වුවත් ජාතික ධනය සුරැකීම සඳහා ප්‍රසම්පාදන කොමිෂන් සභාව ඉටු කරන වැදගත් කාර්යභාරය මෙහිදී කතානායකවරයාගේ ඇගැයීමට ලක්විය.

පෙබරවාරි 28 වැනිදා අගවිනිසුරු කේ. ශ්‍රී පවන් විශ්‍රාම ගියේය. ඒ අනුව පුරප්පාඩු වූ අගවිනිසුරු ධුරය සඳහා සුදුස්සකු නිර්දේශ කිරීමේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට භාර විය. ශේ‍ර්ෂ්ඨාධිකරණයේ සිටි ජේ‍යෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනා අතරින් වඩාත් සුදුසුකම් ලද විනිසුරුවරයා නව අගවිනිසුරු ලෙස නිර්දේශ කිරීම සඳුදා රාත්‍රියේ සිදුවිය. ඒ කතානායක නිල නිවෙසේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුවයි. ප්‍රියසාද් ඩෙප්ගේ නම ඒකමතික අනුමැතිය සහිතව ජනාධිපතිවරයාට දැනුම් දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය පියවර ගත්තේය.

හිටපු ඇමැති බැසිල් පසුගිය සෙනසුරාදා දිවයිනට පැමිණියේ මාස කිහිපයකට පසුවයි. ඔහු පිළිගැනීමට අලුයම 3.55ට පමණ ප්‍රසන්න, පවිත්‍රා, ලොකුගේ ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළට ගියහ. පැමිණ සිටි පිරිස සමඟ නාරාහේන්පිට අභයාරාමයට ගිය බැසිල් එහිදී ආගමික වතාවත්වල නිරත වූයේය. අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින විමල් වීරවංශ බැලීමට ගියේය. 'මේවා හොඳ අද්දැකීම්. ඉවසගෙන ඉන්න. අපි මොනව හරි කරන්න බලමු' බැසිල් විමල් සනසන්නට කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ප්‍රගති සමාලෝචන රැස්වීමක් සති අන්තයේදී ලොහාන් රත්වත්තේ මන්ත්‍රිවරයාගේ මහනුවර පිහිටි නිවෙසේදී සිදු කෙරුණේ පසුගිය සෙනසුරාදාය. මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට බැසිල්, ජී.එල්. ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ. සාමාජිකයන් බඳවා ගැනීම අප්‍රේල් වන විට අවසන් කිරීම සඳහා වූ වැඩපිළිවෙළක්ද එහිදී සකස් කර ගැනිණි.
රැස්වීමෙන් අනතුරුව මහින්ද හා බැසිල් ලොහාන්ගේ නිවෙසේදී රහස් සාකච්ඡාවක් පැවැත්විණි. පැයකට අධික කාලයක් එම සාකච්ඡාව සිදුවුවද එහිදී කතිකා වූ දේවල් කිසිවක් හෙළිදරව් කෙරුණේ නැත.

විදෙස් ලේකම්ගෙන් කොළ එළියක්
තරංජිත් සිං සන්ධු - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ලැබුණු ඇරැයුමක් මත ඉන්දීය විදේශ ලේකම් සුබ්‍රමනියම් ජයශංකර් හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ඉකුත් සතියේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට හිමිවිය. මෙරට සම්පත් පමණක් උපයෝගි කර ගනිමින් තිස්සමහාරාමයේ ඉදිකරන 'ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ගම්මානය' ගැනද සජිත් එහිදී සිහිපත් කළේය. 'අපේ රටේ පවුල් ලක්ෂ 25ක් විතර කුමන හෝ ආකාරයේ නිවාස ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. ඒ අය වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන ඉදිරි වැඩසටහන්වලදී දැනට වඩා වැඩි දායකත්වයක් ඉන්දීය රජයෙන් ලබා දිය හැකි නම් අගය කරනවා' යි සජිත් කියද්දී ඉන්දීය විදෙස් ලේකම්වරයා කීවේ 'ඊට අනුග්‍රහය, ශක්තිය ලබා දෙන්න අපි කැමැතියි' කියාය.

සඳුදා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වනජීවී නිලධාරීන් හා ප්‍රදේශයේ ගව හිමියන්ගේ සංවිධානය අතර මත ගැටුමක් ඇති වූයේ වනජීවී දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වන බිම්වල ගවයන් ගාල් කිරීම තහනම් කිරීම නිසාය. මෙහිදී සජිත් කීවේ 'අපි වනජීවීන්, වනයේ ගහ කොළ රැක ගන්නවා වගේම කිරි ගොවීන්ගේ ගව සම්පත රැක දෙන්නත් ඕනෑ. ඒ අය රටේ කිරි නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය ගැනත් අපේ සැලකිල්ල යොමු කරන්න ඕනෑ. හරකුන්ට තණ බිම් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තුරු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමාගේත් අවසරය ඇතිව තව මාස 4ක් ඒ අයට ඉඩ දෙමු' කියාය. මෙහිදී ඇතැම් වනජීවී නිලධාරීන් විවිධ විරෝධතා මතු කළත් කිරි ගොවීන්ට එකී සහනය ලබා දීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය. සජිත් මේ පිළිබඳව ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා දැනුවත් කිරීමටද පියවර ගත්තේය.

ජවිපෙ දේශපාලන මණ්ඩලය බදාදා රැස්වූයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදීය. සයිටම් ගැටලුව, බැඳුම්කර ගැසට් නිවේදනය, අප්‍රේල් විරු සමරුව ආදී මාතෘකා කිහිපයක් කෙරෙහි එහි පුළුල් අවධානයක් යොමුවී තිබිණි. "සයිටම් ප්‍රශ්නය ගැන රටේ ලොකු අවධානයක් යොමු වුණත් ජනාධිපතිවරයා ඒ ගැන කිසිවක් කියන්නෙ නෑ. තීරණයක් ගන්න පුළුවන් කෙනා විධියට ඒ වෙලාවෙ තිබුණු විරෝධය යටපත් කරන්න මවුපියෝ ගෙන්නල සාකච්ඡා කළා විතරයි. දැන් ජනාධිපතිවරයා සද්දයක් නැහැ" ජනාධිපතිවරයාට එම චෝදනාව නැඟුවේ ටිල්වින්ය "මේ ප්‍රශ්නයට ජනාධිපතිවරයා මැදිහත් නොවීම ගැන වෛද්‍යවරුන්ගේ ලොකු විරෝධයක් තිබෙනවා" විජිත හේරත් කීවේය. "ලංකාවෙ පළමුවැනි වතාවට වෛද්‍යවරුන්ගේ සටනකට පෞද්ගලික අංශ සේවකයන් කළුපටි බැන්දා. කෑම පැයේ උද්ඝෝෂණ කළා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ විතරක් නෙවෙයි රජයේ සේවකයොත් මේ සටනට සහාය පළ කළා. ඒ නිසා මේක දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් හැදිලා තිබෙනවා" ලාල් කාන්ත සයිටම් විරෝධී සටන පිළිබඳ විස්තර කළේ එලෙසින්ය.

මහින්ද රාජපක්ෂ නමින් බැඳුම්කර සම්බන්ධව නිකුත් කොට තිබෙන ගැසට් පත්‍රය පිළිබඳ ජවිපෙ නායකයන්ගේ වැඩි අවධානයක් යොමුවූයේ කෝප් සභාපති හඳුන්නෙත්තිද ඊට වගකිවයුතු බවට ඇතැම් අය අදහස් දැරීම නිසාය. "ඇත්තටම මොකක්ද මේ ගැසට් නිවේදන කතාව..?" විජිත හේරත් හඳුන්නෙත්තිගෙන් විමසා සිටියේය. "මහින්ද රාජපක්ෂ නමින් ගැසට් නිවේදනය නිකුත් වෙලා තියෙන්නෙ 2016 දෙසැම්බර් 24. බැලූ බැල්මට ඒකෙ අවුලක් තියෙනව කියලා පේනවා. නමුත් ඇත්ත තත්ත්වය ඔහු මුදල් ඇමැති වෙලා ඉන්න කාලෙ ගත්ත තීරණ ගැසට් වෙන්නෙ ඔහුගේ නමින්. ඒකයි මෙතැන වෙලා තියෙන්නෙ. සමහරු අහනව කෝප් කමිටුවේ සභාපති මේක දැක්කෙ නැද්ද කියලා. අපි කෝප් වාර්තාව නිකුත් කළාට පස්සේ තමයි ගැසට් නිවේදනය ආවේ" හඳුන්නෙත්ති ඒ ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

"ආණ්ඩුව මේ ගැසට් නිවේදනය පාවිච්චි කරලා ප්‍රශ්නය වෙන පැත්තකට යොමු කරන්න උත්සාහ කරනවා. ඒකෙන් වෙන්නෙ හත්පොළේ ගාගන්න එකක්. හොරකම වහන්න ගිහිං හොරකම තවත් හෙළිදරව් වෙන එකයි වෙලා තියෙන්නෙ" අනුර කුමාරගේ අදහස වූයේ එයයි.
ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් විරු සමරුව සංවිධාන කරන්නේ 71 අරගලයෙන් මියගිය සිය සාමාජික සාමාජිකාවන් සිහිකිරීමටය. මෙවර එම අප්‍රේල් විරු සමරුව සතියක් පුරා පැවැත්වීමට එම පක්ෂයේ අවධානය යොමුවී තිබේ.

එම සතිය තුළ සෑම දිස්ත්‍රික්කයකම සමරු වැඩසටහන් සංවිධානය කරලා පක්ෂයේ සාමාජිකයන්, හිතවතුන් 71 අරගලයට සම්බන්ධ විරුවන්ගෙ නෑදෑ හිතවතුන් සම්බන්ධ කරගන්න වැඩසටහනක් හැදුවොත් ඒක හැම දෙනාටම ලොකු ආස්වාදයක් වේවි!" එලෙස යෝජනා කළේ ටිල්වින් සිල්වාය. "ඔව් ඒක හොඳ අදහසක්. ජාතික සමරුවකට අමතර දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කළාම හැම කෙනෙක්ටම වාගේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අරගලය ගැන අද්දැකීම් තියෙන සාමාජිකයන් සම්බන්ධ කරගෙන අත්දැකීම් බෙදාගන්න අවස්ථාවක් හදන්න පුළුවන් නම් අලුතෙන් පක්ෂයට සම්බන්ධ වෙන අයට වඩාත් වැදගත් සමරුවක් වේවි!" විජිත හේරත් යෝජනා කර සිටියේය. ඒ අනුව අප්‍රේල් සමරු සතියක් නම් කිරීමටත් එම සතිය පුරා සමරු වැඩසටහන් මාලාවක් දිවයින පුරා පැවැත්වීමටත් දේශපාලන මණ්ඩලය තීරණය කළ අතර දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඊට අදාළ ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ වගකීම ප්‍රචාරක ලේකම් විජිත හේරත්ට භාරවිය.
මොනරාගල, බඩල්කුඹුර, මාලිගාතැන්න මහා විද්‍යාලයේ ඉදිකළ දෙමහල් ගොඩනැඟිල්ල පසුගියදා විවෘත කෙරුණේ අධ්‍යාපන ඇමැති අකිලගේ සහභාගිත්වයෙන්ය. ඇමැති මද්දුමබණ්ඩාර ඊට එක්වූයේ උත්සව සභාවේ වැඩකටයුතු කෙරෙන අතරයි. විජයමුනි සොයිසාගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වීම මද්දුමබණ්ඩාරගේ ප්‍රමාදයට හේතු විය. 'අපි මඟුල් ගෙදර එනකොට අපේ මනමාල මහත්තයා වෙන අයගේ මඟුල් ගෙවල්වල ගිහිල්ලා' ඇමැති අකිල සිනාමුසුව පවසද්දී මද්දුමබණ්ඩාර ද ඉලව්වට මඟුලට නැති හිතවත්කම මොකටද මල්ලි'යැයි පිළිතුරු දුන්නේය. මද්දුමබණ්ඩාර සහ සොයිසලා දේශපාලනය නිසාම බොහෝ කාලයක සිට සිටියේ පසමිතුරන් ලෙසින්ය. ඒත් දැන් ඔවුන් එකම පැත්තේය.

පසුගිය සති අන්තයේ බඩල්කුඹුර කැම්රෝ හෝටලයේදී එජාප ක්‍රියාකාරි හමුවක් පැවැත්විණි. ඒ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්ය. 'සර් දැන් ජනාධිපතිතුමා ශ්‍රී ලනිප ජනාධිපති වෙලා. අපට එක හැන්දකින් සලකද්දි ශ්‍රී ලනිපයට ලොකු හැන්දකින් සලකනවා. මේක අපට දරාගන්න බැහැ' පාක්ෂිකයෙක් ඇමැතිවරයාට ප්‍රකාශ කෙළේය.' පාක්ෂිකයන් අතර නොසන්සුන්තාවක් ඇති වෙතැයි සිතු ඇමැතිවරයා' එතුමා ශ්‍රී ලනිපයත් බැලැන්ස් කරගන්න ඕනනෙ. ඒක විසඳපු ගමන් අපේ පාක්ෂිකයන්ටත් ලොකු හැන්දකින් බෙදාවි!' යැයි කීවේය.

දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක් නව දේශපාලන සන්ධානයක් ගොඩනැංවීමට කතිකා කළේ මාස කිහිපයක පටන්ය. දැන් එය සාර්ථක කර ගන්නට ඔවුන්ට හැකි වී තිබේ. 'දෙමළ ප්‍රගතිශීලී සන්ධානය' ඔවුන්ගේ නව දේශපාලන බලවේගයයි. මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධා ක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් මූලිකත්වය ගෙන පසුගිය සඳුදා මැතිවරණ කොමිසමට ගියහ. ඒ තම දේශපාලන පක්ෂය ලියාපදිංචි කරන ලෙස ඉල්ලා සිටීමටයි.
මේ වන විට බන්ධනාගාරයේ 55 වැනි දිනය ගෙවන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට මාර්තු 7 වැනිදාට යෙදෙන සිය 47 වැනි උපන් දිනය ගෙවීමට සිදුව ඇත්තේද මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ සිරමැදිරියකට වී බව දැන් පැහැදිලිය. ඒ ඔහුට ඇප ඉල්ලා මහාධිකරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන ඇප අයැදුම්පත විභාගයට ගැනීම ඇරැඹෙන්නේද මාර්තු 8 වැනිදා නිසාය.

පසුගිය සතියේදී පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව කතානායකවරයා දැනුම් දී තිබුණේ විමල් වීරවංශ මහතා සාමාජිකත්වය දරන කාරක සභාවලට පමණක් බන්ධනාගාරයේ සිට පැමිණීමට ඉඩකඩ සලසා දිය හැකි බව වුවද මෙම අධිකරණ නියෝගය අනුව විමල් වීරවංශ මන්ත්‍රිවරයාට පාර්ලිමේන්තුවේ සියලු කාරක සභා සඳහා සහභාගි වීමේ ඉඩකඩ ලැබී තිබේ.

'රටට ඕනෙ වම' නමැති කෘතිය ලියා අවසන්ව තිබුණත් සිරගත දිවිය අවසන් වන තෙක් සිරගත දිවිය ගැන ලියැවෙන කෘතිය ලියමින් සිටින බව විමල් වීරවංශ පවසා සිටියේ තම සුවදුක් විමසීමට පැමිණ සිටි ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, වීරකුමාර දිසානායක හා මොහොමඩ් මුසම්මිල් යන අයටය. එසේම 'සිරගත සිතුවම්' ප්‍රදර්ශනයට වුවමනා චිත්‍ර ඇඳීමද මේ දිනවල සිදුකරන බව ඔහු පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon