තනතුර අනතුරේ

  👤  4947 readers have read this article !
2017-03-02

"ආණ්ඩුවේ මණ්ඩලේ කචල්ද?"

ඒ මේ දිනවල මඟතොට හමුවන මිනිසුන් එකිනෙකාගෙන් විමසන ප්‍රශ්නය.

"ආණ්ඩුව කියන්නේ කොයි ආණ්ඩුවද?"

ඔළුව උලක් වෙන මේ ප්‍රශ්නය අසන්නේ සමහරුය.

"ජනාධිපතිගේ ආණ්ඩුවද? අගමැතිගේ ආණ්ඩුවද?"

ප්‍රශ්නය තවත් පැහැදිලි කර අහන අය අහන්නේ එහෙමය.

"වැඩිකල් යන පාටක් නෑ නේද?"

එහෙම වැඩියෙන්ම අහන්නේ, ජනවාරි 08 වැනිදා මෛත්‍රි වෙනුවෙන් ඡන්දය දුන් අයය.

"මෙහෙම ගිහිල්ලා මොනවා වෙයිද?"

එහෙම අහන්නේ මොනවා හෝ වෙන බව තේරෙන එහෙත් මොනවා වනු ඇත්දැයි නොතේරෙන මිනිසුන්ය.

මේ ආකාරයේ ප්‍රශ්න මිනිස්සු එකිනෙකාගෙන් අහන්නේ නිකම්ම නිකම් හේතු නිසා නොවේ. එහෙම අහන්න හේතු ආණ්ඩුව පැත්තෙන්ම ඇති වී තිබෙන නිසාය.
"වැරැදිකරුවන්ට උපරිම දඬුවම්! බැඳුම්කරය යට ගහන්නේ නෑ! බෙල්ලන්විල නාහිමිට ජනපති පිළිතුරු දෙයි"

මේ 2017 ජනවාරි මස 26 වැනිදා එක් දිනපතා පත්තරයක වූ ප්‍රධාන පුවතය. එහිම තවත් තැනක ඇත්තේ "අර්ජුන්ට රෙදි ඇඳගෙන නම් මහ බැංකු රැස්වීමට එන්න බැහැ!" යැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා කරන ලද ප්‍රකාශයක්ය.

මහ බැංකු බැඳුම්කර කුප්‍රකට හොරකමේ වැරැදිකරුවන්ට දඬුවම් දීම යනු අන්කවරකුටත් නොව අගමැති රනිල්ට එරෙහිව අවි ලෙළ වීමය. අර්ජුන් මහේන්ද්‍රන් යනු කලක සිට අගමැති රනිල්ගේ කල්‍යාණ මිත්‍රයෙක්ය. ඉතිහාසයේ පළමුවැනි වතාවට, මහ බැංකුව අගමැතිගේ විෂය පථය යටතට ගැසට් කර ගත්තේද මේ කල්‍යාණ මිත්‍රයාට මහ බැංකු අධිපති තනතුර ලබාදීමටය. ජනාධිපතිම පත් කළ මහ බැංකු බැඳුම්කර මගඩිය ගැන සොයන කොමිසමෙන් හිටපු ජනපතිගේ නමින් ඊට අදාළ ගැසට් නිවේදනයක් හිතාමතාම නිකුත් කර තිබීම ගැන හෙළි වූයේද මේ අතරතුරය. දැන් මහ බැංකුවේ ඇතැම් ලොක්කන් හා මුදල් ඇමැති රවි කරුණානායක අහන්නේ, තමන්ගේ "අමුඩයේ කැත කළේ කවුදැයි?" කියාය.

"හොරණ ටයර් කම්හලට ඉඩම් දීම අත්හිටුවයි - ඇමැති රාජිත කියයි"

මේ ප්‍රවෘත්තිය පළකොට ඇත්තේද ඉහත දැක්වූ දිනයට අයත් පුවත්පතේමය. නන්දන ලොකුවිතානට ටයර් කම්හලක් දාන්න මේ ඉඩම් දුන්නේ අගමැති රනිල්ගේ එකඟතාව මත ඇමැති මලික්ය. එයට මුල්ගල් තබන්නටද ගියේ අගමැති රනිල්ය. ජනපති මෛත්‍රි නැවැත්තුවේ එහෙව් ව්‍යාපෘතියක්ය. එයද රනිල්ගේ කනට ගැසීමක් මිස ඔළුව අතගෑමක් නොවන්නේය.

"සමලිංගික සේවන වගන්තිය ජනපති නියමයෙන් ඉවතට"

මේ පුවත පළකර ඇත්තේ 2017 ජනවාරි 18 වැනිදා නිකුත් වූ සිංහල දිනපතා පුවත්පතක මුල් පිටුවේය. මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ගෙන ආවේ ආචාර්ය හර්ෂ ද සිල්වාය. ඔහු එය ගෙන ආවේ අගමැති රනිල්ගේ එකඟතාව මත බව පැහැදිලිය. අන්තිමට වෙන්නේ ජනපති නියමයෙන් ඒකද විසිකිරීමට සිදුවීමය.
2016.12.26. නිකුත් වූ තවත් දිනපතා සිංහල පුවත්පතක මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂය ලෙස සඳහන්ව ඇත්තේ මෙසේය.

"සුපිරි ඇමැති පනතට ශ්‍රී ලනිපය - ජවිපෙය හා ඒකාබද්ධය නෑ"

මේ සුපිරි ඇමැති වන්නට ගියේ අන් කවරකුවත් නොව අගමැති රනිල්ය. විදේශ ආයෝජකයන් වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවලට හෝ මිනිසුන්ට අයිති ඉඩම් දඩබඩ ගාලා පවරා ගන්නත් ඒ සම්බන්ධ අධිකරණය හමුවේ අභියෝග කිරීමෙන් වළකන "මුක්තිය" හිමිකර ගන්නත් මේ පනත ගෙන ආවේ රනිල්ය. දැන් ඒකද ලත් තැනම ලොප් වී ඇත්තේ "සුපිරි ඇමැති" වීමට සැරසුණු අගමැතිට සුපිරි ප්‍රහාරයක් එල්ල කරමින්ය.

ආණ්ඩුවේ මෛත්‍රි පිලෙන්, රනිල් පිලට මේ එල්ල වන ප්‍රහාරයට එතරම්ම ප්‍රතිප්‍රහාර රනිල් පිලෙන් මෛත්‍රි පිලට එල්ල වන්නේ නැත. පී හැරිසන් - ඩඩ්ලි සිරිසේන අතර වූ "වී අර්බුදයේ" දී හැරිසන්ට එරෙහිව ඩඩ්ලි ප්‍රහාර එල්ල කරද්දී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කීවේ "ජනාධිපතිගේ සහෝදරයා වූ පළියට කිසිවකුට අමාත්‍යවරුන් විවේචනය කළ නොහැකි" බවය. ඉඳහිට මේ අන්දමේ සිහින් කෙඳිරියක් නඟනු විනා එතරම් සැර ප්‍රතිචාර රනිල්ගේ පිලෙන් මෛත්‍රි පිලට එල්ල නොවන්නේ රනිල් සිල් අරගෙන සිටින නිසාද? නැති නම් රනිල් ඉන්නේ තම තනතුර පිළිබඳ අනතුරක වන නිසාද?

2017.01.12 නිකුත් වූ දිනපතා සිංහල පුවත්පතක, පළවී තිබුණේ ජාතික හෙළ උරුමයට සම්බන්ධ "ජාතික සංඝ සභාවේ" ප්‍රවෘත්ති සාකච්ඡාවක වාර්තාවක්ය.
"ජනාධිපතිවරයා ඇවිළෙන ගිනි සමනය කරන විට අගමැතිවරයා එය අවුළුවන ආකාරයෙන් වැඩ කරන බව පෙනෙනවා" යන්න එහි ශීර්ෂ පාඨය වේ. ඇත්තටම ජනපතිගේ පිල අද රටට පෙන්වන්නට වෙර දරන්නේ මේ පින්තූරයයි. එහෙත් තවමත් රනිල් සිටින්නේ පාදයක් පසුපසට ගෙන සිදුකරන ආරක්‍ෂණවාදී පිතිහරඹයකය.
මෛත්‍රි මෙන් රනිල්ද සැරසෙන්නේ 2020 ජනාධිපති වීමටය. 2015දී එක පිලක වූ මේ දෙදෙනා 2020දී මුණ ගැසීමට යන්නේ එකිනෙකාට එරෙහිව පිල් දෙකක සිටගෙනය. මෛත්‍රි හදන්නේ දැන් තියාම රනිල්ව "බ්ලාස්ට්" කර පිටිය තමන්ගේ අතට ගන්නටය. මේ ඉත්තන් අදින්නේ දාම් පෙතේ "රජ ඉත්තාව" කපන්න බලාගෙනය.

"රජ ඉත්තා" වූ රනිල් කපා දමා ඊළඟට මෛත්‍රිට කරන්නට ඇත්තේ කුමක්ද? මොනවා කරන්නත් ඔහුට පාර්ලිමේන්තුවේ 113කට වැඩි බලය වුවමනාය. රනිල් ඉවත් කර එජාපයේම වෙනත් අයකු අගමැති කරන්නට මෛත්‍රි සැරසෙන බව කනින් කොනින් කියැවෙන්නේ මේ අතරතුරය. සමහරු කියන්නේ ඒ සඳහා මෛත්‍රි තෝරාගෙන ඇත්තේ කතානායක කරු ජයසූරිය කියාය. තවත් සමහරු කියන්නේ එහෙම නැති නම්, චමල් රාජපක්‍ෂ වැනි අයකු තෝරාගනු ඇතැයි කියාය. තවත් සමහරු කියන්නේ දිනේෂ් ගුණවර්ධන වැනි අයකු ගැනද මෛත්‍රි සිතමින් සිටින බවය. රනිල් ඉවත් කර තමාට හරියන අගමැති කෙනෙක් මේ කවුරුන් අතරින් පත්කර ගත්තත් වැදගත් වන්නේ ආසන 113කට වැඩි බලයක් පාර්ලිමේන්තුව තුළ ගොඩනඟන්නට මෛත්‍රිට හැකිවනු ඇද්ද යන්නය.

රනිල් "ජොලියේ" ඉන්නේ 113 හැදීම ජනපති මෛත්‍රිට ලේසි නැති බව දන්නා නිසාය. මෛත්‍රිට 113 හදන්නට නම් මහින්දගේ නායකත්වය යටතේ සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවට ආ 95 දෙනාගේම සහාය ඒ සඳහා වුවමනාය. 95න් පනස්දෙකක්ම තාමත් ඉන්නේ මහින්දගේ නායකත්වය යටතේය. මහින්දව අතහැර, ඒ පනස්දෙකේම සහාය ලබාගැනීම මෛත්‍රි සිතන තරම් ලේසි නොවන බව දන්නේ රනිල්ය. විජය කුමාරතුංගගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද විශේෂ උත්සවයට චන්ද්‍රිකා, රනිල්ව ගෙන්වන්නේද මෛත්‍රිගේ මේ "ගේම්" එකට තමන් නැති බව පෙන්වන්නටය.

මෛත්‍රි ඉන්නේ රනිල්ගෙත් චන්ද්‍රිකාත් මහින්දගෙත් අතර හිරවීය. චන්ද්‍රිකාට ඇති මහජන බලයක් නැත. එහෙත් මහින්ද සතුව එදාට වඩා අද මහජන බලයක් ඇතිය. රනිල් ජවිපෙ නායකයන් ලවා කොච්චර මහින්දට ගැස්සෙව්වත් ඒක නම් අඩු වී නැත. මේ හින්දා මෛත්‍රි කළ යුත්තේ මෑත අමනාපකම් අතහැර මහින්ද හා මෛත්‍රි අතර පැවැති අෑත මනාපකම්වලට නැවැත පණ දීමය. එහෙම කළොත් නම් සන්ධානයේ 95ට කරු හෝ කවුරුන් හෝ එජාපයෙන් අරගෙන එන 20ක පමණ පිරිස එකතු කර රනිල්ගෙන් තොර ආණ්ඩුවක් හදන්න මෛත්‍රිට පුළුවන් වන්නේය. එහෙත් මෛත්‍රි වටේ සිටින විදේශ තානාපති කාර්යාලවල සමහර ඉත්තන්, ඒකට නම් ඔහුට ඉඩ නොදෙන බව කාටත් වඩා හොඳින් වටහාගෙන සිටින්නේ රනිල්ය. දැන් බලාගෙන ගියාම, රනිල්ගේ ආරක්‍ෂාව සැලසී ඇත්තේ මෛත්‍රිගේ "රාජපක්‍ෂ විරෝධයට" පින්සිදු වන්නටය.

එහෙත්, මෛත්‍රි කියන්නේ අමුතුම දේශපාලන සත්ත්වයෙක්ය. එළියෙන් පෙනෙන දෙයින් ඔහුගේ ඇතුළ මැන ගැනීම ලේසි නැත. ඔහුම වරක් පැවැසුවේ, වමට සිග්නල් දමා දකුණට හැරුණු තමන්ට, දකුණට සිග්නල් දමා වමට හැරෙන්නට පුළුවන් බවය. කොහොම සිග්නල් දමා කොහොම හැරෙන්නත් රාජපක්‍ෂ "ෆෝබියාව" සනීප කර ගන්නට මෛත්‍රිට සිදුවන්නේය. එහෙම නොවුණහොත් මෛත්‍රිට සිදුවන්නේ "හැරමිටිය නැති වූ අන්ධයාගේ" ඉරණමට ලක්වීමය. රනිල්ටද වුවමනා වන්නේ මෛත්‍රි ඒ ඉරණමට ඇද හෙළීමටය.

බණ්ඩාරනායක පවුල යටතට නැවැත ශ්‍රී ලනිපය හිමිකර ගැනීමට මාන බලන චන්ද්‍රිකාටද ඕනෑ වී ඇත්තේ මෛත්‍රි ඒ ඉරණමට ඇද වැට්ටවීමටය.
රනිල්ද චන්ද්‍රිකාද, මහින්දද යන තුනෙන් එකක් තෝරා ගන්නට සිදුවීමේදී 2015දී මෛත්‍රිට තෝරාගන්නට සිදුවූයේ රනිල් බව සැබෑය. එහෙත් දැන් මෛත්‍රි හිතන්නේ 2020 ගැනය. 2015ට ගැළපෙන මනසින් 2020ට මුහුණ දෙන්නට බැරි බව ජනපති මෛත්‍රි වැටහිය යුතුය.

හැම අඳුරකම යකෙක් පෙනෙන්නේ බියසුල්ලාටය. 2015දී පැවැති අඳුරේ යකෙක් නොදුටු මෛත්‍රි ඉදිරියේ වන අඳුරේද "රාජපක්‍ෂ යකෙක්" නොදකින්නේ නම්, 2020දී ජයග්‍රාහකයා ඔහුය. නැති නම් සිදුවන්නේ ජනපති මෛත්‍රිගේ 2020 සිහිනය, "ගොළුවකු දුටු සිහිනයක්" බවට පත්වීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon