මෙන්න අනාගතයෙන් පුවත්

  👤  5885 readers have read this article !
2017-03-01

මේ වර්ෂ 2110 සැප්තැම්බර් මස පළමුවැනිදා සන්ධ්‍යා පුවත් සේවයයි
"සිය දරුවන්ටද අනෙක් දරුවන්ට මෙන්ම සාමාන්‍ය පාසල් ලබානොදී ඔවුන්ව විශේෂ වරප්‍රසාද සහිත පාසල්වලට ඇතුළත් කිරීමට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය සංගමය විසින් අද දින පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට පොලිසියෙන් එල්ල කරන ලද මල් ප්‍රහාරය වෘත්තිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙයි. අද දින කොටුව ගුවන්තොටුපොළ ඉදිරිපිට පවත්වන්නට යෙදුණු මෙම උද්ඝෝෂණයට, සේපාලික මල්, දාස්පෙතියා මල් කටරොඩුමල් ඇතුළු මල් වර්ග ගණනාවකින් පහරදීමට පොලිසිය ක්‍රියාකර තිබීම ප්‍රජාතන්ත්‍රවාදය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවයි සමස්ත ලංකා වෛද්‍ය සංගමය සිය නිල නිවේදනය මඟින් පවසා සිටින්නේ..."
අප සමඟ අදහස් දැක්වූ නියෝජිතයෙක් මෙසේ පවසා සිටියා...

"මෙය පැහැදිලිවම ජනමාධ්‍යවල පුළුල් අවධානයට ලක්විය යුතු කාරණයක්. දැන් බලන්න මේ වෛද්‍යවරු කියන්නේ මල් වගේ සුපිරිසුදු පිරිසක්. ඔවුන්ට පාතාල නායකයන්ට වගේ සැලකීම කොහෙත්ම අනුමත කරන්න බැහැ. දැන් අද අපි දකිනවා පාතාල නායකයන්ට ගෙල වටා මල් මාලා දමා බැඳ තබන ආකාරය. සත්තුන්ට වගේ. වෛද්‍යවරුන්ට මෙහෙම සලකන්නේ ඔවුන් මොන වරදක් කළාටද? ඔවුන් නිකරුණේ මිනිසුන්ගේ අතපය කපනවද? බෙහෙත් ගන්න එන කාන්තාවෝ දූෂණය කරනවද එහෙමත් නැතිනම් අත දරුවන්ට පයින් ගහන මාදිලියේ අසංවේදී වැඩ කරනවද? ඇයි මේ ආකාරයට එහෙමනම් පාතාල නායකයන්ට වගේ වෛද්‍යවරුන්ට සලකන්නේ.?"

මේ අතර වෛද්‍යවරුන්ගේ බර සැහැල්ලු කිරීම උදෙසා තමන්ට අවස්ථාවක් ලබානොදීම හේතුවෙන් කනස්සල්ලට පත් වෙනත් වෛද්‍ය මහතකු සිය වාහනය තුළදීම තමන්ට වෙඩි තබාගැනීමට ගත් උත්සාහයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් සමථයට පත් කරගනු ලැබුවා.
"ඒ සර් හරිම කරුණාවන්තයි. ඒ සර් දකිනවා ශිෂ්‍යයන් ලෙස අප විඳින දුක. ඒ නිසානෙ ඒ සර් අපේ බර සැහැල්ලු කරන්න උත්සාහ ගන්නේ. නමුත් මේ අධාර්මික පාලනය ඒකට ඉඩ දෙන්නේ නෑ. ඉතින් තව පොඩ්ඩෙන් ඒ සර් තමන්ටම වෙඩි තියාගන්නවා කාර් එක ඇතුළේ. ඇත්තටම අපේ ශිෂ්‍ය නියෝජිතයකු විසින් මේ සිද්ධිය නොදකින්න මේකත් මහ ඛේදවාචකයකින් තමයි අවසන් වන්නේ. අප මේ අවස්ථාව යොදා ගන්නවා ඒ සර්ගේ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන සිසුවියන්ගේ පස්සෙන්ම යමින් ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන නිතිපතා අවධානයෙන් ඉන්න අපේ සිසුවිරුවෝ ගැන. ඔවුන් නිසා නොවෙන්න අද මේ වගේ මහ ව්‍යසනයක් වැළකෙන්නේ නැහැ" යැයි වීර ශිෂ්‍ය පදනමේ කැඳවුම්කරු ලයන් වීරරත්න පවසා සිටියා.

මේ අතර රෝගාතුර වූ ජපාන අගමැතිවරයාට ප්‍රතිකාර පිණිස අඟුණකොළපැලැස්ස සුපිරි රෝහලට එතුමා ඇතුළත් කළ අවස්ථාවේදී නීති විරෝධී එතුමා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් පිරිමි හෙද සේවකයකු හට වසර තුනක බෝනස් වැටුප් දඬුවමක් නියම කිරීමට අලුත්කඩේ වෛද්‍ය විද්‍යාලය ඊයේ තීරණය කළ බව ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

"ඇත්තටම දුප්පත් රටවල නායකයන් පවා අපේ රටට පැමිණෙන්නේ මේ රටේ තිබෙන අති විශිෂ්ට සෞඛ්‍ය සේවාව ලෝකයේම ප්‍රසිද්ධ නිසයි. ජපානය වගේ දුප්පත් රටවල් පමණක් නොවෙයි බ්‍රසීලය, කෙන්යාව සහ සිම්බාබ්වේ වැනි ලොව ධනවත්ම රටවල් පවා අපෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගන්නේ හේතුවක් ඇතිවයි. ඒ හේතුව අපේ උසස් සේවාවත් අපේ වෛද්‍යවරුන් රෝගීන් වෙනුවෙන්ම කැපවී සේවය කිරීමවත් නොව, අපේ දැඩි විනය ගරුක සොබාවයයි. ඒ විනයෙන් මිදිලා කාටවත් තමන්ට ඕනෙ ඕනෙ දේවල් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් මේ රට ආයෙමත් සිංගප්පූරුවක් නැතිනම් මැලේසියාවක් වගේ අන්ත දුක්ඛිත මට්ටමකට ඇද වැටෙනවා සහතිකයි." යනුවෙන් නඩු තීන්දුව ලබාදුන් විනිසුරුවරයා දැඩිව අවවාද කර සිටියේය.

මේ අතර සෙල්ෆියක් වැනි සුළු වරදකට වසර තුනක බෝනස් වැටුපක් වැනි දැඩි දඬුවමක් ලබාදීම බලවත් අසාධාරණයක් බවත් යෝජිත පඩි වැඩි කිරීම අහෝසි නොකළොත් තමන් ඉහළ උසාවියක් මඟින් නිරවුල් කිරීමක් අපේක්‍ෂා කරන බවත් විත්තියේ නීතිඥවරයා මාධ්‍යයට පවසා සිටියා.

ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු බලෙන් පැහැරගෙන ගොස් සිංගප්පූරුවේ හෝටලයක රඳවා තබාගෙන වධහිංසා පැමිණවීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. සෞඛ්‍ය සේවාව සම්බන්ධව නව ප්‍රවණතා හඳුනාදීමේ වැඩමුළුවකට සහභාගි කරවීමු යැයි පවසා මෙම වෛද්‍යවරයා රවටාගත් පිරිස, ඔහුව බලෙන්ම සිංගප්පූරුවේ හෝටලයක ර¼දවා තබාගෙන ඔහුට නොයෙකුත් හිංසා පමුණුවා ඇති බවයි සඳහන් වන්නේ. අලුත්ම සාරි ඇතුළු ඇඳුම් පැලඳුම්, නවීන දුරකතන සහ ලැප්ටොප් පරිගණක වැනිදෑ යොදා ගනිමින් මෙම හිංසනය ක්‍රියාත්මක වී ඇති බවත්, ඊට අමතරව යම් යම් අවස්ථාවලදී හෝටලයෙන් බැහැරව ගෙන ගොස් විවිධ සම්බාහන ආයතනවලදී මෙවැනි ප්‍රසිද්ධ මාධ්‍යයක පැවැසිය නොහැකි තරම් වධ හිංසා පමුණුවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇත්ත වශයෙන්ම මෙය කනගාටුදායක තත්ත්වයක්. අපේ වෛද්‍යවරුන් මොනතරම් දැඩි කැපවීමකින්ද මේ සේවයේ නියැළෙන්නේ කියා රටම දන්නා අවස්ථාවක මේ සම්බන්ධයෙන් අටුවාටීකා පැවැසීමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් අප මෙය පාඩමක් කරගත යුතුයි. අපේ වෛද්‍ය සම්පත මේ ආකාරයට බලෙන් පැහැර ගැනීමේ කල් තබා හඳුනාගෙන පරාජය කරන්න ඒ වගේම මේ සිද්ධියෙන් සිත්තැවුලට කම්පාවට පත්වන්න එපා යැයි උක්ත වෛද්‍යවරයාගේ සමීප ඥාතීන්ට අප කියන්න වුවමනායි. 'අටලෝදහම කියන්නේ මේක තමයි" යනුවෙන් මාධ්‍යයට අදහස් දැක්වූයේ පූජ්‍ය මාවිල්ආරුවේ රතු එළිය ස්වාමීන් වහන්සේයි.

විශේෂ පුවත්
කඩුගන්නාවේ ප්‍රදේශයක කුලී පදනමට ලබාගත් නිවෙසක පවත්වාගෙන ගිය අනවසර පෙර පාසලක් වටලා සැකකාරියන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති බව වාර්තා වේ. මසකට රුපියල් දස දහස ගණනේ වියදම් කරමින් මාස තුනක පාඨමාලාවක් ලබාදෙන බව පවසමින් ජනතාව රැවටූ මෙම ආයතනය පිළිබඳ ජනතාව අතරින්ම ලැබුණු ඔත්තුවක් මත මෙම වැටලීම සිදු කළ බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

"ඇත්ත වශයෙන්ම අප මේ මොහොතේ ජනතාවට කිව යුතුයි ඔබේ දරුවා පෙර පාසලකට යැවීමේදී මීට වඩා පරික්‍ෂාකාරී වන්න කියා. මන්ද යත් අද රට පුරාම අනවසර පෙර පාසල් ගුරුවරුන්, ගුරුවරියන් සිටිනවා. ඔවුන්ට පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමේ කිසිදු පෙර සූදානමක් නැහැ. මෙවැනි අනවසර ආයතන මඟින් නිතරම පවසන දෙයක් තමයි, ඔවුන් කුඩා දරුවන්ගේ පෞරුෂය වර්ධනය කරන බව. අප ජනතාවගෙන් අහන්න කැමැතියි වසර දහතුනක් හෝඩියේ ගතකරලා තමයි දරුවන් පෙර පාසලට ඇතුළු වන්නේ. වසර දහතුනක් තිස්සේ හදාගන්න බැරිවුණු පෞරුෂය මේ පෙර පාසල් ගුරුවරු කොහොමද මාස තුනෙන් හදන්නේ. මේක පැහැදිලිවම ජාවාරමක්. මේ විදියට පුරුෂ වර්ධනය කරවන්න යැයි රවටා ලබාගත් කුඩා දරුවන්, ඊට පසුව ලිප්ටන් වටරවුම, කොටුව, වෝඩ් පෙදෙස වැනි ස්ථානවල සමූහ වශයෙන් සිඟමනේ යොදවන බවට අපට සැකකරන්නට හේතු සාධක තිබෙනවා. ඒ නිසා අම්මේ තාත්තේ, ඔබේ දරුවා ඔබ මහන්සි වී හදාවඩාගන්නේ කොහෙවත් ඉන්නා සිඟන්නන් හට හිඟා කෑම පහසුවීමට වඩාගෙන යන්න නෙවෙයි. ඔබේ දරුවා ගැන මීට වඩා අවධානයෙන් පසුවන්න කියා අප මේ මොහොතේ මවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සනධ්‍යා පුවත් මින් නිමයි.
යළිත් හමුවෙමු අනාගතයෙන් පුවත් සමඟින්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon