කැබිනට් මණ්ඩලයේදී රවිට දැඩි විරෝධතා

  👤  4496 readers have read this article !
2017-02-26

කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ එදින පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් වූ නිසාය. ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට අගමැතිවරයා සහභාගි වූයේ සති දෙකකට පසුවය. කැබිනට් පත්‍රිකා 26කට පමණ මෙහිදී අනුමැතිය හිමි වූයේය. මෙවර කැබිනට් මණ්ඩලය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේය. රවි කරුණානායක මුදල් ඇමැතිවරයා ඉලක්ක කරමින් කරුණු රැසක් සම්බන්ධව ඇමැතිවරු චෝදනා කිරීම ඊට හේතුවයි.

එහි පළමු වැන්න වූයේ කබීර් හෂීම් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්ය. පසුගිය පාලන සමයේ බදු පදනම මත ලබා ගන්නට කටයුතු කළ ඒ 350/900 ගුවන් යානා 4ක් සම්බන්ධ ගනුදෙනුව අවලංගු කිරීමට වත්මන් රජය තීරණය කළේය. වෙළෙඳ පොළේ ඇ.ඩො. 950,000ක මාසික වාරිකයක් ගෙවා එම ගුවන් යානා ලබා ගැනීමට අවස්ථාව තිබියදී "එයාර්කැප්" සමාගමට ඇ. ඩො. 1425,000ක් ගෙවීමේ එකඟතාව මත ඒවා ගැනීමට එකඟ වී ඇති බවත් එම ගිවිසුම අවලංගු නොකළේ නම් ඉදිරි වසර 12 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇ.ඩො. මිලියන 205කට අධික පාඩුවක් වන බව එමඟින් පෙන්වා දී තිබිණි. එම ගිවිසුම අවලංගු කිරීමට එයාර්කැප් සමාගම ඩො. මි. 154ක් ඉල්ලා තිබිණි. එහෙත් එම මුදල ඩො. මි. 75-85 අතර දක්වා අඩුකර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය මීට පෙර තීරණය කොට තිබිණි. ඒත් එයාර්කැප් සමාගම සමඟ සාකච්ඡාවේදී ඔවුන් අවසන් වරට දන්වා ඇත්තේ ඩො. මි. 98ක් ගෙවන ලෙසයි.

එසේ තිබියදී තම අනුදැනුමෙන් තොරව ඊට වඩා අධික මුදලක් ගෙවීමට කටයුතු කිරීම ගැන කබීර් හෂීම්ගේ දුක්ගැනවිල්ල වූයේය. පසුගිය ජනවාරි 2දා සිට මුදල් අමාත්‍යාංශය විසින් කොටස් වශයෙන් එම වන්දි මුදල් ගෙවීම ආරම්භ කොට තිබිණි. කබීර් හෂීම් ඇමැතිවරයා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට තිබුණේ මතු ආරක්ෂාවක් ගැන සිතා බවටද එහිදී කසුකුසුවක් ඇති වූයේය. අනුමත මුදලට වඩා මුදල් ගෙවීම පිළිබඳ ඔහු කලකිරීමෙන් යුතුව චෝදනා කළේය. එහෙත් මුදල් ඇමැතිගේ හෝ මුදල් අමාත්‍යාංශයේ නම සඳහන් නොකිරීමට ඔහු පරිස්සම් විය. තම කටයුතුවලට අනවශ්‍ය විදියට ඇඟිලි ගසන බව ඔහු දීර්ඝ ලෙස පැහැදිලි කළේය.
"මෙහෙම ගෙවීම් කළාම අවසානෙට අපිටම තමයි මේවට වගකියන්න වෙන්නේ" කබීර් කීවේය. කබීර්ගේ සහායට නවීන්, සුසිල් ඇතුළු ඇමැතිවරු පිරිසක්ද අදහස් දක්වන්නට වූහ. මේ සඳහා මැදිහත් වූ ජනාධිපති සිරිසේන මේ සම්බන්ධව තවදුරටත් සෙවීමට අනුකමිටුවක් පත් කරන බව සඳහන් කිරීමෙන් එම උණුසුම් කතා බහ අවසන් කෙරිණි.

දයාසිරි ජයසේකර මෙහිදී මුදල් ඇමැතිවරයාගේ ක්‍රියාකාලාපය අලළා දැඩි ලෙස චෝදනා කළේය. "අපි දැන් ආණ්ඩුවක් ලෙස වැඩ කරනවා. නමුත් ඒවා රටට යන්නේ නැහැ. ඒ ගැන කියන දෙයක් තේරෙන්නෙත් නැහැ. තේරෙන්න කියන්නෙත් නැහැ." ඔහු කීවේය. "මම කිහිප විටක්ම ආර්ථික තත්ත්වය, ණය බර ගැන කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළා. පත්‍රිකා බෙදුවා. කරුණු විග්‍රහ කළා. මේවා තේරෙන්නෙ නැත්නම් මට කරන්න දෙයක් නැහැ." රවි සඳහන් කළේය. "ණය බර, අර බර මේ බර කිව්වට මේක තේරෙන්නේ නැහැ. මේ නිසා ආණ්ඩුව අපහසුතාවට පත් වෙනවා" දයාසිරි නැවත කීවේය. එතැනින් නොනැවතුණු ඔහු " මම මේ තේරුම් කරලා දෙන්නේ ඔයාගෙ වැරැදි. ඔයාගෙ ගැහිලි ගැන මුළු රටම දන්නවා. මගේ කට අවුස්සා ගන්න එපා. ඔයාගෙ වැඩ හින්දා තමයි ආණ්ඩුවට චෝදනා එන්නේ. මේ රටේ වෙන ප්‍රශ්නවලට ඔයා තමයි වගකියන්න ඕන. අපි ජනාධිපතිතුමා වෙනුවෙන් හුඟක් කැපවීම් කරලයි මෙතැන ඉන්නේ. මෙහෙම ගියොත් අපට තවත් දේවල් කියන්නත් වෙනවා." දයාසිරි දිගින් දිගටම රවිට චෝදනා කළේය. එහෙත් ඊට ජනපති මැදිහත් වූයේ නැත.

වාහන එකලස් කිරීම සඳහා බදු සහන ලබා දීමට රවි කරුණානායක මීට පෙර කැබිනට් මණ්ඩලයට අවස්ථා ගණනාවකදී කැබිනට් පත්‍රිකා ගෙනාවේය. විරෝධතා නිසා එය ඉවත් කර ගැනීමට ඔහුට සිදු වූයේය. මෙවරද ඔහු වාහන එකලස් කිරීම සඳහා වූ බදු සහන ඇතුළත් පත්‍රිකාව පිළිබඳ මතක් කළේය. එහිදී කැබිනට් මණ්ඩලය තුළ ආධිපත්‍යය පතුරුවමින් ඉතා වේගවත් ලෙස කතා කරමින් චම්පික රවිගේ යෝජනාවට විරෝධය පළ කළේය. එය කැබිනට් කාමරයෙන් පිටතටද ඇසී තිබුණේ ගාලගෝට්ටියක් ලෙසින්ය. "මේක හිතවතුන්ට වරප්‍රසාද දෙන යෝජනාවක්. මේවට ඉඩ දෙන්න බැහැ." තවත් ඇමැති කෙනෙක් යෝජනා කරද්දී "මේක තවත් පැත්ත පළාතකට ගේන්න එපා. වහාම ඉල්ලා අස්කර ගන්න" ජනාධිපතිවරයා නියෝග කළේය.

හාල් මිල සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූයේය. "හාල් මිල පාලනය කළාට පාලන මිලට හාල් නැහැ කියලා චෝදනා ඒම නතර වෙලා නැහැ. මොකද්ද රිෂාඩ් මේ වෙලා තියෙන්නේ" ජනාධිපතිවරයා විමසුවේය. "කළු කඩකාරයෝ තමයි මේවා කරන්නෙ" රිෂාඩ් කියන විට "අපි වැටලීම් කරනවා" යැයි හැරිසන්ද උත්තර දුන්නේය. "ඔය කියන කතාවලින් වැඩක් නැහැ. පාලන මිලට හාල් ලැබෙන්න සලස්වන්න" ජනාධිපතිවරයා අවධාරණය කළේය. වන අලින්ගෙන් සිදුවන ජීවිත හා දේපළ හානිවලට ගෙවන වන්දි මුදල් වැඩි කරන ලෙසට යෝජනාවක් ගෙනාවේ විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාය. "මේක ප්‍රශ්නයක් තමයි, ඔය අලි ටික බැඳලම දමන්න බැරිද ඇමැතිතුමා" ජනාධිපතිවරයා විමසුවේ විහිළුවක් ලෙසින්ය. දිගු වේලාවක් ගාලගෝට්ටියක් වූ කැබිනට් මණ්ඩලයට මඳ අස්වැසිල්ලක් ලැබුණේ එම අවස්ථාවේදීය. "එහෙම කරන්න බැහැනෙ ජනාධිපතිතුමා, දැන් අලි ඔක්කොම ඉන්නේ මේ පැත්තෙනෙ" ශ්‍රී ලනිප නියෝජනය කරන ඇමැතිවරයෙක් සිනා හඬ මධ්‍යයේ කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාර්තු 8 පැවැත්වෙන කාන්තා උද්ඝෝෂණය ගැන එම මන්ත්‍රි කණ්ඩායම දැනුවත් කිරීමට පළාත් සභා මන්ත්‍රිවරියන් වන අශෝකා ලංකාතිලක සහ කෝකිලා හර්ෂණී ද ඊට සහභාගි වීම විශේෂත්වයක් ගත්තේය. විහාරමහාදේවි උද්‍යානයේදී හෝ හයිඩ් පිටියේදී උද්ඝෝෂණය පැවැත්වීමේ සූදානම පිළිබඳ එම මන්ත්‍රිවරියෝ දෙපළ කරුණු පැහැදිලි කළහ. 'දැන් ජනතාවට ජීවත් වීමට අමාරු තත්ත්වයක් උදා වෙලා.

එම නිසා ඉහළ යන බඩු මිල, ජීවන වියදම ජාතික ආරක්ෂාව ගැනත් අවධානය යොමු කරන්න' මහින්ද කීවේ කාන්තාවන්ගේ දැනුවත් කිරීමෙන් අනතුරුවයි. 'කොහොමත් දැන් ගෙවල්වල වේල් තුනම උයන්නෙ නැහැ. ඒ නිසා තමයි කොස් කොළ, කේ‍රා්ටන් කොළ කන්න කියන්නෙ' ප්‍රසන්න කීවේය. 'කාන්තා බලවේගය ඉතා තීරණාත්මකයි. පවුලක ගොඩක් තීරණ ගන්නෙ කාන්තාව. ඒ නිසා කාන්තාවගෙ තීන්දු අනාගතයටත් බලපානව'. ඩලස් ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව පැවැත්විණි. මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති එහිදී පළමුව අවධානය යොමු කෙරුණේ හබරාදුවේදී ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතා ජන රැලිය සම්බන්ධයෙනි. 'නුගේගොඩ රැස්වීම ඉතාමත් හොඳට වගේම විනයානුකූලවත් තිබ්බා. ඒ තත්ත්වය හබරාදුවේදීත් ආරක්ෂා කරගන්න වෙනවා. 'මහින්ද උපදෙස් දුන්නේ එලෙසින්ය. 'අපි ප්‍රශ්නයක් නොවෙන්න වගබලා ගන්නවා.' විරෝධතා රැලියේ සංවිධාන කටයුතු භාර මහින්දානන්ද උත්තර දුන්නේය. 'අපි දැන් ඉන්නෙ විපක්ෂයේ. ඒ හින්දා විනය ගැනම බල බලා උද්ඝෝෂණ රැලි කරන්න බැහැ' ප්‍රසන්න කීවේ එවැනි කතාවකි.

පක්ෂ නායක රැස්වීමේදී ඊළඟට අවධානය යොමු කෙරුණේ මැයි රැලිය ගැනයි. 'ගෝල්ෆේස් පිට්ටනිය අපට දෙන්න ආණ්ඩුව කැමැති බවක් පේනවා. විරුද්ධ පිරිසකුත් ඉන්නවා. ඒත් පුළුවන් නම් කරල බලපල්ලා කියනවා වගේ ඒක අපට දෙන්න පුළුවන්. කෝකටත් අපි සූදානම් ශරීරයෙන් ඉන්න වෙනවා' මහින්ද රහසක් හෙළි කළේය. 'අපි ගෝල්ෆේස් එකේ මැයි රැලිය තියනවා නම් ළඟ තැනක ඉඳලා පෙළපාළිය යන්න ඕන. පෙළපාළියෙන් ගොඩක් දුර යන්න වුණොත් මිනිස්සු රැස්වීමට නොඉඳ යන්න පුළුවන්' ප්‍රසන්න තවත් පැත්තක් පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අවසන් කොට සනත් නිශාන්තද කැටුව විජේරාම නිල නිවෙසට ගියේය. මහින්ද සමඟ හදිස්සියේ කිසිවකුටත් නොදන්වා ඔහු පාර්ලිමේන්තුවේ සිට පැමිණියේ කිසිවකුටත් නොදක්වමින්ය. ඒ නිසා ඔහු පිළිබඳ ආරක්ෂක අංශ මෙන්ම පවුලේ සාමාජිකයෝද කලබලයෙන් විපරම් කරන්නට වූහ. මහින්ද නිල නිවෙසට පැමිණෙන විට එහි නාමල් සිටියේය. 'ඔයා කිව්වද ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම නොවිය යුතු දෙයක් කියලා' නාමල් දුටු මහින්ද විමසා සිටියේය. 'ඔව් මම කිව්වා' නාමල් පියාට දුන්නේ ඍජු පිළිතුරකි. 'සර් එදා ඉඳලම නාමල් මන්ත්‍රිතුමා කිව්වේ ෆොන්සේකා වගේ කෙනෙක් හිරේ දාල චරිතයක් කරන්න ඕන නෑ කියලා. ඔහු ඒක ආණ්ඩුවෙ ඉද්දිත් කිව්වා. දැන් විපක්ෂයේ ඉද්දිත් කිව්වා.' මහින්ද සමඟ සිටි සනත් නිශාන්ත නාමල් වෙනුවෙන් මැදිහත් විය. 'ඔව් ඒක ඇත්ත තමයි. මට නාමල් වගේම ගෝඨාභයත් ඕක කිව්වා. මට ජනාධිපති ලෙස හිතුමතේට වැඩ කරන්න බැහැ. ඒක හමුදා අධිකරණයක තීන්දුවක්. පවුලෙ කෙනෙක් ඉල්ලීමක් කළොත් විතරයි මට මැදිහත් වෙන්න පුළුවන්. අනෝමාගෙන් ඒ ගැන ලියුමක් ගන්න සෑහෙන්න කාලයක් ගියා. ඒකයි පරක්කු වුණේ' මහින්ද අතීත කතාවක් මතක් කළේය.

පසුගිය සති කිහිපය තුළ අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා දකුණට ගියේය. සිකුරාදා සහ සඳුදාද උත්සව රැසකට එසේ සහභාගි වූයේය. ඇල්පිටිය අමුගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම ශාලාවක් විවෘත කිරීම ඇතුළු ආගමික උත්සවයකටද ඔහු සහභාගි වූයේය. ජනාධිපතිවරයා කොළඹ සිට ගුවන් යානයෙන් පැමිණියේ ගයන්ත සමඟින්ය. ඔහු පිළිගැනීමට දකුණේ මහ ඇමැති ශාන් බලා සිටියේය. ෂාන් ඔවුන් පිළිගන්නවාත් සමඟ "ගයන්ත ඔයා ෂාන්ට කියන්න මට මේ පැත්තෙන් නවතින්න ගෙයක් හොයන්න කියලා. මොකද මම පසුගිය ටිකේම ඉන්නෙ දකුණෙ" ජනාධිපතිවරයා කීවේ සියලු දෙනාගේ සිනා හඬ මධ්‍යයේය.

ගෙවී ගිය සතිය ශ්‍රී ල.නි.ප. සියලු දෙනාගේම අවධානයට ලක් වූයේය. ඒ එහි ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් සමඟින්ය. ජනපති මෛත්‍රි මෙන්ම හිටපු අගමැති දි.මු. ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ. බදාදා දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැය දෙකකට අධික වේලාවක් පැවැත්වුණේය. මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතිය මුලින් සලකා බැලුණු අතර තරුණ හා භික්ෂු ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා සෑහීමකට පත්වුණේය. "වැඩ නොකරන සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකයන් පත් කරන්න මම පසුබට වෙන්නේ නැහැ. ඡන්ද දිනන්න මම දන්නවා. සෙනඟ පෙන්නුවම මැතිවරණ දිනන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක විහිළුවක්" ජනපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ල.නි.ප තරුණ හා කාන්තා සමුළු මාර්තු මාසයේදී පවත්වා අවසන් කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. "ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානමින් ඉන්න. මම ඡන්දවලට බය නැහැ. තමුන්නාන්සේලාට තිබෙන්නෙ ඊට සහාය දෙන්නයි" ජනාධිපතිවරයා කීවේය.
ශ්‍රී ල.නි.ප. විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව පැවැත්වීමට දින නියම කර ගැනීමද මෙහිදී සිදුවිය. ඒ අනුව එම කටයුතු මාර්තු 2 වැනිදා පදනම් ආයතනයේදී සිදුකිරීමට නියමිතය. ප්‍රධාන තනතුරුවල වෙනසක් සිදු නොවුවත් ඇතැම් තනතුරුවල වෙනසක් සිදුවන බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

ආසන සංවිධායකවරුන් සඳහා ලබාදෙන ලක්ෂ 5ක විමධ්‍යගත අරමුදල් නිසි ලෙස නොලැබෙන බවටත් මෙහිදී ආසන සංවිධායකවරු මැසිවිලි නැඟූහ. ඒ අනුව එම මුදල් නිසි ලෙස බෙදාදීම සඳහා චක්‍ර ලේඛයක් නිකුත් කරන ලෙස මහ ලේකම්වරයාට ජනපති උපදෙස් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සඳුදා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේය. පාර්ලිමේන්තු දිනවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ඇතැම් ප්‍රදේශවල යොදාගෙන තිබූ බවට මෙහිදී කතාබහක් ඇති විය. එමඟින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා ඇති වන නිසා එම දිනවල සම්බන්ධීකරණ රැස්වීම් නොපැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඇමැති වජිරට උපදෙස් ලැබුණේය. පළාත් පාලන ආයතනවල බලය පවරා ගැනීමක් සිදු කොට නැතත් බස්නාහිර මහ ඇමැති ඉසුර එවැනි චෝදනාවක් කරන බවට මෙහිදී මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ඉදිරිපත් විය. 'ශ්‍රී ලනිප ඇතැම් අයගෙ ක්‍රියාකලාප ගැන ජනාධිපතිතුමාත් දැනුවත් කළා' මුජිබර් රහුමාන් කීවේය. 'මම කටයුතු කළේ නාගරික සංවර්ධන පනතට අනුව. 'චම්පික කීවේ එවැනි කතාවකි.

කුඩා දේශපාලන පක්ෂවල නියෝජිත පිරිසක් සඳුදා අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් මුණ ගැසී පළාත් පාලන ඡන්දය ගැන කතා කළහ.
ඔවුහු කරුණු රැසක් සම්බන්ධව අගමැතිවරයාගේ අවධානය යොමු කළහ. දැනට තිබෙන නීතිය අනුව සමානුපාතික හා කොට්ඨාස මිශ්‍ර ක්‍රමයට මැතිවරණ පැවැත්වුවහොත් ගැටලු ඇති වන බව ඔවුන්ගේ අදහස විය. දැනට සිටින පළාත් පාලන සභිකයන් සංඛ්‍යාව දහස් ගණනකින් එනම් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් ඉහළ යෑමත් මේ නිසා ගොඩනැඟිලි ප්‍රමාණවත් නොවන බවත් විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔවුහු කීහ. දැනට කොට්ඨාස ක්‍රමයට සියයට 70%ක් තෝරා පත් කළත් සුළු පක්ෂවලට තිබෙන අවම ප්‍රතිශතය 5% නිසා එම පක්ෂවලට නියෝජනයක් ලැබෙන්නෙ නැති බවත් කීවේය. එම ප්‍රමාණය කොට්ඨාසවලින් 60%ක් සහ සමානුපාතික ක්‍රමයට 40%ක් ලෙසත් 5% සීමාව 2%-3% දක්වා අඩු කරන ලෙසත් ඔවුන්ගේ යෝජනා වූයේය. 'මට ඔයාල කියන එක තේරෙනවා. ඒත් මේක තනියම කරන්න බැහැ. අනෙක් අයත් එක්කත් සාකච්ඡා කරන්නම් මේ ප්‍රශ්න ගැන' අගමැතිවරයා එසේ පිළිතුරු දුන්නේය. සුමන්දිරන්, හකීම්, ඩග්ලස්, මනෝ, සිරිතුංග ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයෝ ඊට සහභාගි වී සිටියහ.

සාක් කලාපීය කතානායකවරුන්ගේ සමුළුව 18 සිට 20 දක්වා තෙදිනක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී පැවැත්විණි. කලාපයට බලපාන කාලගුණ වෙනස්වීම්, කෘෂිකර්ම ප්‍රවණතා, සංවර්ධනය, සෞඛ්‍ය ගැටලු ආදිය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. එහිදී කලාපීය කාලගුණ වෙනස්වීම් සම්බන්ධ සැසියේ සභාපති ධුරය ශ්‍රී ලංකාවේ කතානායක කරු ජයසූරියට හිමි වූයේය. කලාපයේ පරිණත රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඉහළ පිළිගැනීමක් සමුළුවේදී හිමිවූයේ කරු ජයසූරියටයි. මෑත කාලයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළින් ගොඩනැංවූ අන්තර් ජාතික පාර්ලිමේන්තු සබඳතා කලාපය තුළ තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ වගකීම භාර කෙරුණේද ඔහුටයි. ඒ අනුව මීළඟ සාක් කලාපීය කතානායක සමුළුව එළැඹෙන ඔක්තෝබර් මාසයේදී කොළඹදී පැවැත්වීමට සමුළුවේ අනුමැතිය පළ විය. ඉන්දියාව සමඟ පවතින විරසකයන් නිසා පාකිස්තානය ඉන්දියාවේ පැවැති සමුළුවට සහභාගි නොවුණද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගි වන බව දැනටමත් දැනුම් දී තිබේ. සාක් කලාපීය කතානායක සමුළුව නිම කර ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සබඳතා ප්‍රවර්ධනය කිරීමෙහිලා වැදගත් දායකත්වයක් ලබාදීමට කතානායකවරයාට හැකි වූයේ ගෙවී ගිය සතියේ ඇමෙරිකා කොංග්‍රස් සාමාජිකයන් ‍ෙදාළොස් දෙනකු මෙරටට පැමිණි හෙයින්ය. ඔවුන් සියලු දෙනාම නිල නිවෙසට කැඳවාගෙන ගිය කතානායකවරයා ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා සුබවාදී චිත්‍රයක් ඔවුන් තුළ ඇති කිරීමට ක්‍රියා කළේය.

ගෙවී ගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන්මඟ පිළිබඳ පුළුල් විග්‍රහයක් කරමින් ආසියාවේ පැරැණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව ස්වකීය පාර්ලිමේන්තු ක්‍රමයේ 70 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ රැසක් සමඟින් බව ඔහු පෙන්වා දුන්නේය. ස්වාධීන කොමිෂන් සභා, ආංශික කාරක සභා ආදිය පිළිබඳ කතානායකවරයා දැක්වූ අදහස් කොංග්‍රස් නියෝජිතයන් තුළ වඩාත් උනන්දුවක් ඇති කළේය. වර්තමානයේ සියලු ජාතීන් සතු අයිතීන් තහවුරු කරමින් සංහිඳියාව හා මානව හිමිකම් ප්‍රවර්ධනය කරන ආකාරය පෙන්වා දුන් කතානායකවරයා මානව හිමිකම් කඩවීම් සම්බන්ධ අතීත හෝ වර්තමාන චෝදනා විභාග කිරීමට හැකි ශක්තිමත් ස්වාධීන අධිකරණයක් තිබෙන බවද සඳහන් කළේය. ඇතැම් පාර්ශ්වයන් යෝජනා කොට තිබෙන පරිදි විදෙස් විනිසුරුවරුන් සහිත අධිකරණයක් ජනතාව නොඉවසන බවද කතානායකවරයා අවධාරණ කළේය.

චීන කොමියුනිට් පක්ෂයේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවකට බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයට ගිය අගමැති වික්‍රමසිංහට එජාප මැති ඇමැති පිරිසක් මුණ ගැසුණි. 'ඕස්ට්‍රේලියා සංචාරය සාර්ථක වුණත් සිංහල, දෙමළ අය දෙතුන් දෙනෙක් ඩිකින් විශ්වවිද්‍යාලය ළඟ අසාර්ථක පිකට් එකක් කරලා රටේ මූණේ දැලි ගෑවා' කිරිඇල්ල එම කතාබහට ආරම්භයක් දුන්නේය. 'ගම්මන්පිලයි ලොකු බණ්ඩාරයි එකතු වෙලා ඒ පහත් විරෝධතාව සංවිධානය කළා කියල ආරංචියි' වජිර ඒ ගැන හෙළිදරව්වක් කළේය. 'කුණු - කුණු එකතු වෙනවා වගේ අන්තවාදීන්ට අන්තවාදීන් එකතු වෙනවා. මේ විරෝධතාව ගැන ඕස්ට්‍රේලියාවම පුදුම වෙනවා කියලා ඒ විශ්වවිද්‍යායේ අය මට කීවා. මේ අන්තවාදීන් දෙගොල්ලන්ගේ සම්බන්ධයකුත් එතැනදී තහවුරු වුණා.' අගමැතිවරයා අවධාරණය කළේය. 'දෙමළ නීතිඥයකු විනිශ්චයකරුවකු ලෙස පත් කිරීම ගැන විපක්ෂය කෑ ගසනවා. ඒ කාලේ මහින්දල පත් කරපුවා ශිරානි බණ්ඩාරනායකගෙ නිල නිවෙස ඉදිරිපිට බෑන්ඩ් ගහල, රතිඤ්ඤා පත්තු කරපුවා දැන් සමහරුන්ට මතක නැහැ.' කිරිඇල්ල තවත් කතාවක් කීවේය. 'මේ පත්වීමේදී සුදුසුකම් ගැන බලන්න වෙනවා. නීතිඥයෙක් විනිශ්චයකාරවරු ලෙස පත් කළ හැකියි.

දෙමළ විනිශ්චයකාරවරු අඩුයි. ඒ අඩුවයි ජනාධිපතිතුමා සියලු දෙනා එක්ක කතා කරලා අනුමැතිය අරන් පුරවල තියෙන්නෙ.' අගමැතිවරයා කීවේය. 'අන්තිම සති දෙකේ මේ රටේ කොටස් වෙළෙඳපොළේ හා බැඳුම්කරවල ආයෝජනය කරලා තිබුණු රුපියල් බිලියන 18ක් විදේශ ආයෝජකයෝ ආපසු අරන් ගියා කියල පළවුණු ප්‍රවෘත්තියේ ඇත්ත මොකද්දැයි වජිර අගමැතිගෙන් පැවැසුවේය. 'ඒ ප්‍රවෘත්තිය වැරැදියි. කබ්රාල්ලා ගෙනාපු ටෙම්පල්ටන් අරමුදලේ සල්ලි ටිකකුයි ගියේ. ඔය ගියාය කියන මුදල එච්චර ලොකු මුදලක් නොවෙයි' අගමැති උත්තර දුන්නේ එලෙසින්ය. 'හොංකොංවල ඉඳලයි මේ අරමුදල ක්‍රියාත්මක වෙන්නෙ. ළඟදී ඇමෙරිකාවෙ පොලී අනුපාතය 0.25% කින් වැඩි කළ නිසයි ඒවා ගෙනිහින් තිබෙන්නෙ. ළඟදී තවත් ගෙනියන්න පුළුවන්. ඒක මේ රටේ ආර්ථික පිළිවෙතේ වරදක් නෙවෙයි.' මුදල් ඇමැති රවි තවදුරටත් පැහැදිලි කළේ එම අරමුදල ලෝක විශ්‍රාමිකයන්, දේශපාලකයන් සහ මාෆියාකාරයන්ගෙ මුදල්වලින් ගොඩනංවන ලද්දක් බවද සඳහන් කරමින්ය.

ධීවර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අඟහරුවාදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණේය. ඒ ඇමැති අමරවීරගේ ප්‍රධානත්වයෙනි. "මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ආණ්ඩුව යටතේ ධීවර ක්ෂේත්‍රයට කොපමණ ආයෝජන ඇවිත් තිබෙනවාද..?" ඇමැතිවරයා විමසුවද ඊට නිලධාරීන්ගෙන් කිසිදු අදහසක් ඉදිරිපත් වූයේ නැත. මෙය ඇමැතිවරයාගේ උදහසට හේතු වූයේය. "අල්ලන මාළු ටික ගණන් කරන්න, විකුණන්න විතරක් නිලධාරීන් අවශ්‍ය නැහැ. ඒක සුළු සේවකයකුට වුණත් කරන්න පුළුවන්. මට ආයෝජකයො අවශ්‍යයි. ඒ සඳහා නිලධාරීන් කටයුතු කරන්න. එහෙම නැති නිලධාරීන් අවශ්‍ය නැහැ. වැඩ කරන්න බැරිනම් අයින් කරන්න පෙර කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. ආයෝජකයො රැසක් මාත් එක්ක කතා කළා. සමහර නිලධාරීන් කොමිස් ඉල්ලනවලු. ඔවුන්ට ආයෝජන කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා. වෙනත් රටවල ආයෝජන කරනවා"

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැඟිල්ලක් මාස 10ක් තිස්සේ කුලී ගෙවමින් වෙන් කරගෙන ඇතත් තවමත් එය භාවිත කරන්නේ නැත. එය කුලියට ගෙන ඇත්තේ වසර 5ක් සඳහාය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම ඉඩම් අමාත්‍යාංශ අනුකාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය. එහි සභාපති විජිත හේරත් විසින් අඟහරුවාදා ඒ පිළිබඳ විමසීමකට කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා තිබිණි. "මේ ගොඩනැඟිල්ලේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. මේක හදල තියෙන්නෙ සාප්පු සංකීර්ණයක් දමන්න. අමාත්‍යාංශ කාර්යාලයක් ලෙස වෙනස් කරන්න මිලියන ගණනක ටෙන්ඩර් එකක් දමන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි වාහන පාර්ක් එකක්වත් එක හැටියක නැහැ" නිලධාරීහු පෙන්වා දුන්හ. මාසයකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් දැනටමත් බදු ගෙවන බවද එහිදී නිලධාරීහු සඳහන් කළහ.

සූරියවැව ප්‍රදේශයේ සිදුවන පස් කැපීමේ ජාවාරමක් පිළිබඳ විමසීමටද එදින පරිසර අධිකාරිය භූවිද්‍යා හා පතල් කාර්යාංශය, මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල ප්‍රධානීන් එදින කමිටුවට කැඳවා තිබිණි. අවසර ලබාදී ඇති පස් ප්‍රමාණයට වඩා ලක්ෂ එකහමාරකට වැඩි කියුබ් ප්‍රමාණයක් කපා ඇති බව එහිදී හෙළිවිය.
පස් කියුබ් එකකින් රජයට ලැබෙන්නේ රුපියල් 20ක් පමණි. සූරියවැව පස් කැපිල්ල වහාම නතර කරන ලෙස දන්වන ලෙසත් මාර්තු 10 වනවිට ඒ පිළිබඳ වාර්තාවක් යොමු කරන ලෙසත් විජිත හේරත් දැන්වීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරුණු 19 වැනි උදා ගම්මානය වන "ජයවිජයගම" පිහිටා ඇත්තේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ විල්ගමුවට නුදුරුවය. ඇමැතිනි තලතා අතුකෝරළය. රංජිත් අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මේ අවස්ථාවට සහභාගි වූහ. සජිත් කීවේ රෝහිණී දක්වන විශාල උනන්දුව නිසාම ඉදිරියේදී තවත් ගම්මාන කිහිපයක්ම තැනීමට ඇයට උපකාර කරන බවයි. මේ අතර මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස සජිත් වෙත කැඳවාගෙන ආවේ උපතින්ම දෑස් නොමැති කුඩා දැරියක් සමඟ පැමිණ සිටි මවකි. ඉතා අඩු ආදායම්ලාභී පවුලක ඒ සිඟිත්තිය වහාම අගනුවර අක්ෂි වෛද්‍යවරයකු වෙත යොමුකළ සජිත් ඊළඟට නිවාස අධිකාරියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේ විල්ගමුව, බුලත්අත්තාඔය, හෙට්ටිපොළ පිහිටි මෙම අසරණ පවුලට අයත් දැනට වැඩ නිමකර ගත නොහැකිව ඇති නිවෙසේ වැඩ සම්පූර්ණයෙන්ම නිමකර දෙන ලෙසය. උත්සවය ඉතා අලංකාර ලෙස සංවිධානය කර තිබුණත් ඊට දින දෙකකට පසු සජිත් ඇමතූ රෝහිණී කවිරත්න කීවේ "ගම්මානය විවෘත කරනකොට ගහපු අර ලස්සන පුවරුව කවුදෝ කඩා දාලා" කියාය. සජිත් කීවේ "අපි කරන වැඩ බෝඩ් ලෑලි කඩල බිඳලා මකන්න බෑ. ඒවා මිනිස්සුන්ගෙ හදවත්වල පතුලෙම තැන්පත් වෙලා තියෙනවා. ඔය වගේ බොළඳ වැඩවලට සැලෙන්න එපා" කියාය.

ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශංකර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු මෙරට දේශපාලන පක්ෂ රැසක නායකයන් වෙන වෙනම මුණ ගැසී සාකච්ඡා කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානයද ඉමහත් බලාපොරොත්තු ඇතිව ඔහු පක්ෂ වූයේ උතුරු නැඟෙනහිරට වෙනම වරප්‍රසාද දිනා ගැනීම වෙනුවෙන්ය. උතුර සහ නැඟෙනහිර එකතු කිරීම එහි ප්‍රමුඛ පියවරක් විය. එහෙත් ඒ සඳහා ඉන්දියාව මැදිහත් නොවන බව ජයශංකර් ඔවුන්ට දැන්වීය. මේ තත්ත්වය නිසා තමිල්නාඩුව ඔස්සේ ඉන්දීය මධ්‍යම රජය හා එක්ව ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් අනුකම්පාව ලබා ගැනීමේ අවශ්‍යතාව මේ දිනවල එම පක්ෂය තුළ සාකච්ඡා වෙමින් පවතී.

මුස්ලිම් දේශපාලනඥයෝ පිරිසක් මුස්ලිම් පක්ෂ එකතු කර ගනිමින් අලුත් වැඩකට සූදානම් වෙති. ඒ නව දේශපාලන සන්ධානයක් බිහි කරමින්ය. 'ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් සන්ධානය' ලෙස එය නම් කිරීමට මේ වන විටත් තීරණය කොට ඇත. බසීර් සේගුදාවුද් මේ සඳහා මුල් වී ක්‍රියා කරයි. රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක්ද මේ වන විටත් ඊට එක් වී සිටියි. එහෙත් රවුෆ් හකීම් ඊට එක් නොවන බව දන්වා තිබේ. මුස්ලිම් ජනතාවගේ දේශපාලන හා අනෙකුත් ඉල්ලීම් දිනා ගැනීම සන්ධානයක් ලෙස එක්වීමේ අභිලාශය වී ඇත.

දින 50කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින විමල් වීරවංශ එහි සිට ලියූ පළමු පොත "රටට ඕනෑ වම" ලෙස නම් කොට ඇත. එම කෘතිය මුද්‍රණය කිරීම සඳහා පිටතට යැවීමට බන්ධනාගාර අනුමැතිය ද ඉල්ලා තිබේ. එමෙන්ම දෙවැනි ග්‍රන්ථයේද පිටු 200ක් පමණ මේ වනවිට ලියා අවසන් කොට ඇත. ඔහු පොත් ලිවීමෙන් සෑහීමකට පත් නොවී චිත්‍ර ඇඳීමටද පෙලඹී සිටියි. ඉදිරියේදී එම චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක් කිරීම ඔහුගේ අරමුණයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon