මහින්ද පවරා ගත් උතුර-නැඟෙනහිර ඉඩම් යළි ජනතාවට පවරා දෙනවා

  👤  7385 readers have read this article !
2017-02-24

මහින්ද පවරා ගත් උතුර-නැඟෙනහිර ඉඩම් යළි ජනතාවට පවරා දෙනවා

මහින්ද රාජපක්ෂ මහත්තයා විසින් පවරාගත් උතුර-නැඟෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම්, අපි ඒ ජනතාව වෙත නැවත ලබාදෙන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු සහ ඉඩම් ඇමැති ජෝන් අමරතුංග පාර්ලිමේන්තුවේදී පැවැසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමට සහ මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී වන්දි ගෙවීම සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රවල ඇතුළත් නියෝග පිළිබඳ යෝජනා අනුමත කර ගැනීමට අපේක්ෂා කරනවා.

අධිවේගී මාර්ග සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී මහ නගර සභා ප්‍රදේශවල, නගර සභා ප්‍රදේශවල සහ ප්‍රාදේශීය සභා ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගැනීමේදී දැනට ලබාදෙන වන්දි මුදල වැඩි කිරීමට මේ යෝජනා මඟින් ඉල්ලා සිටිනවා.

අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු ඒ සඳහා අත්පත් කරගන්නා ඉඩම් සඳහා ලබාදෙන වන්දි මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා මේ මාර්ග ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වෙනවා. එම ප්‍රමාදය වළක්වා, ඉඩම් සඳහා ලබාදෙන වන්දි මුදල වැඩිකර ලබාදීමටත්, එමඟින් මාර්ග ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමටත් අපේක්ෂා කරනවා.

ඉඩම් ජනතාවට ලබාදීමේදී අපි ගැටලුවලට මුහුණ පානවා. සමහර ප්‍රාදේශීය ලේකම්වරු ඉඩම් පිළිබඳ තොරතුරු ලබාදෙන්නේ නැහැ. සඟවනවා. සමහරු සත්‍ය තොරතුරු ලබා දෙනවා. ඇතැම් නිලධාරීන්ගෙන්ද අපට ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීම අපහසු වී තිබෙනවා.

ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතුවලදී වන්දි ගෙවීම් සඳහා කොමිටි දෙකක් පත්කර තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේදී වන්දි ගෙවීම් සහ මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා කඩිනමින් ඉඩම් අත්පත් කරගැනීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට සංශෝධන ඉදිරිපත් කරනවා.

මෙම සංශෝධන මඟින් මහ නගර සභා ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගැනීමේදී ගෙවන ලද රුපියල් ලක්ෂ 5, මිලියනයක් දක්වාත් සුළු නගර සභා ප්‍රදේශවල ඉඩම් සඳහා ගෙවූ රුපියල් ලක්ෂ 3 වෙනුවට හත්ලක්ෂ පනස් දහසක් දක්වාත් වැඩි කිරීමට යෝජනා කරනවා.

ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ඉඩම්වලට ගෙවූ රුපියල් 150,000ක මුදල ලක්ෂ 5 දක්වාත් වැඩි කිරීමට මෙමඟින් යෝජනා කරනවා.

 

අගමැතිගේ පොලිසියට ජනපතිගේ හමුදාව බිලිගන්න ඉඩදෙන්න එපා

"අගමැතිතුමාගෙ පොලිසියට ජනාධිපතිතුමාගෙ හමුදාව බිලිගන්න ඉඩ දෙන්න එපා කියල ජනාධිපතිතුමාට කියන්නැයි" පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

"මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට, විවිධ බලපෑම් කරනවා. මීට වඩා හොඳ තැනක් ලබාදෙන බව පවසා අවශ්‍ය ප්‍රකාශ ලබාගන්න හදනවා. එක් නිලධාරියකු රාත්‍රි ඔහුගේ නිවෙසට රැගෙන ගොස් ඔහුට කන්න බොන්න දීලා නාවලා තියෙනවා. ඔහුට හිරිහැර කරලා තියෙනවා."

මහින්ද අමරවීර

යුද්ධෙ කාලෙ අපේ රණවිරුවන්ගෙන් සියයට දශමයක්වත් වැරැදි කරල නැහැ. එහෙම වැරැද්දක් කරල තියෙනව නම් එවැනි අය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි.
මාධ්‍යවේදීන්ට පහර දීපු, මරාදාපු කෙනෙක් ඉන්නවානම් එවැනි අයට දඬුවම් දීමට මේ රටේ කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ.

පොලිසිය හමුදාවෙ අයට පහරදීම සම්බන්ධයෙන් මන්ත්‍රිතුමා සඳහන් කළ කරුණු පිළිබඳ මම ජනාධිපතිතුමා දැනුවත් කරනවා. නිරපරාදේ එවැනි හිරිහැරවලට ලක්වන අය සම්බන්ධයෙන් අපි පෙනී සිටිනවා. එසේ හිරිහැරවලට ලක්වූ අයටත් ඒ පිළිබඳ පැමිණිලි කරන්න පුළුවන්.

 

විමල් සන්ධානයෙන් ඉවත්වීමට එවන ලිපිය ගැන තීන්දුවක් ගන්න අපි සූදානම්

විමල් වීරවංශ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීම සඳහා ඉල්ලීමක් කරමින් ලිපියක් එවන ඕනෑම වෙලාවක ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවැසීය.

වීරවංශ මන්ත්‍රිතුමා, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී එතුමාගේ පක්ෂයේ මන්ත්‍රිවරු සමඟ ස්වාධීනව කටයුතු කරන බැවින් එසේ ස්වාධීනව කටයුතු කිරීමට කතානායකතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම මා වෙත ඉදිරිපත් කරන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හැටියට මම ඔබතුමාට කියනවා එම ඉල්ලීම ඉදිරිපත් කරන්න කියලා.

විමල් වීරවංශ

ගරු ඇමැතිතුමා, මම ඒ ලිපිය දැන් සකස් කළා. අද මම එය ඔබතුමා වෙත එවනවා.

මහින්ද අමරවීර

ලිපිය ලැබුණාම ඒ ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරන්න අපි විශාල වැඩකොටසක් කරගෙන යනවා. මේ බොහෝ දෙනකු ලක්ෂ ගණන් ඡන්ද ලබාගෙන ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දවලින්. වෙන්වෙලා ගියාට පස්සෙ තමයි වෙන්නෙ මොකක්ද කියලා දැකගන්න පුළුවන් වෙන්නෙ.

 

විදුලිබල ඇමැතිගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

වර්ෂාව අඩුවීම හේතුකොට ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ධාරිතාව ඊයේ වන විට සියයට 9.5 දක්වා පහත වැටී ඇති බැවින් මේ තත්ත්වය දිගින් දිගටම පැවැතුණහොත් අප්‍රේල් 21 වැනිදා පමණ වන විට ජල විදුලි නිෂ්පාදනය මුළුමනින්ම නවතා දැමීමට සිදුවනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවැසීය.

'එවැනි පසුබිමක් තුළ මේ ස්වාභාවික ව්‍යසනය කළමනාකරණය කරන්න ඕනෑ. කප්පාදුවකින් තොරව සහ පාරිභෝගිකයන්ට අමතර බරක් නොදැනෙන අයුරින් කටයුතු කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා'යි පැවැසූ ඇමැතිවරයා මෙසේද කීය.

'මෙම කටයුතුවලදී රාජ්‍ය මැදිහත්වීම වගේම මහජනතාවගෙන්ද විශේෂ යුතුකම් කොටසක් මේ ආපදා අවස්ථාවේ ඉටුවිය යුතුමයි.

මේ තත්ත්වය යටතේ මහජනතාව වෙත ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙය ස්වාභාවික ආපදා අවස්ථාවක් බව හඳුනාගෙන පාට, පක්ෂ, භේදයකින් තොරව මෙම අභියෝගය ජය ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස මේ මොහොතේ ඉල්ලා සිටිනවා.'

 

විමල්ගේ ජා.නි. පෙරමුණ වෙනම පක්ෂයක් ලෙස සලකන්න බැහැ

"විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ ජාතික නිදහස් පෙරමුණ වෙනම පක්ෂයක් ලෙස සලකන්න බැහැ"යි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් නොවේ කියා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා කියනවා. සන්ධානයෙන් ඉවත් වෙනවා නම් ස්වාධීන සාමාජිකයෙක් ලෙස සලකන්න වෙනවා. වෙනම පක්ෂයක් හැටියට සලකන්න බැහැ. ස්වාධීනව වාඩි වුණොත් ඒක අපට වළක්වන්න බැහැ.

මහින්ද රාජපක්ෂගෙ නායකත්වය යටතේ තවදුරටත් යන්න බැහැ කියා පිළිගැනීම ගැන විමල් වීරවංශ මන්ත්‍රිවරයාට මා ස්තුතිවන්ත වෙනවා යැයිද අගමැතිවරයා කීය.
අගමැතිවරයා එසේ පැවැසුවේ පාර්ලිමේන්තුවේ වෙනම, ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමක් ලෙස ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රිවරු පස්දෙනා පිළිගන්නා ලෙස 2016 අප්‍රේල් 05 වැනිදාත් තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ හැන්සාඩ් වාර්තා උපුටා දක්වමින් කරන ලද විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව ඇතිවූ සංවාදයට එක්වෙමිනි.

විමල් වීරවංශ

වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස මා මීට පෙර ඉල්ලා සිටි බව 2016 ජූලි 05 වැනිදා හැන්සාඩ් වාර්තාවේ මෙහෙම සඳහන් වෙනවා. (වාර්තාව කියවයි)
කතානායකතුමනි, ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදයට කැපවූ නායකයෙකි.

කතානායක කරු ජයසූරිය

අවශ්‍ය පියවර ගැනීමට සාකච්ඡා කරනවා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ආකාරයටයි පාර්ලිමේන්තුව පිළිගන්නෙ. තරග කළේ මොන පක්ෂයෙන්ද කියා තීරණය කරන්න වෙනවා. ඒක වැදගත්.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන (එජනිස)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂයක් හැටියට විමල් වීරවංශ මන්ත්‍රිතුමාගෙ පක්ෂය නැහැ. කොමියුනිස්ට් පක්ෂය හා ජාතික නිදහස් පෙරමුණ එජනිස ව්‍යවස්ථාව යටතේ තිබෙන පක්ෂ නොවේ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි නලින් බණ්ඩාර (එජාප)

වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්න කියන්නේ ස්ථාවර නියෝග 23-2 යටතේ ප්‍රශ්න අහන්නයි.

විමල් වීරවංශ

අප ස්වාධීන පක්ෂයක්. මැතිවරණ කොමසාරිස් පිළිගත් පක්ෂයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂය සමඟ අප කරන අරගලය, විරෝධය නවත්වන්නෙ නැහැ.

සභානායක

ඒ විදියටම කරනවා කියන්නෙ මේගොල්ලො අයින් වෙලා නැහැ.

නියෝජ්‍ය ඇමැති

අජිත් පී. පෙරේරා

විමල් වීරවංශ මන්ත්‍රිතුමාගෙ පක්ෂය සන්ධානයේ පක්ෂයක්ව තිබුණේ නැහැ. පසුගිය ඡන්දෙට ඉල්ලුවෙත් නැහැ. ඒත් මන්ත්‍රිවරයා ස්වාධීන මන්ත්‍රිවරු ලෙස පිළිගන්න සිදුවෙනවා.

විමල් වීරවංශ

මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලන කටයුතු කිරීමට පක්ෂයක් හැටියට අපට තිබෙන අයිතිය අහිමි කරන්න බැහැ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර (එජනිස)

මා සන්ධානයෙන් තරග කළා. මීට පෙර ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වෙනම පක්ෂ ලෙස සභාව නියෝජනය කළා. මේ ප්‍රශ්නය සරලව බලන්න එපා. අපේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න.

 

ඉඩම්වලට දෙන වන්දි ගැන දැනුවත් නොකිරීම හේතුවෙන් මිනිස්සු පාරට බහිනවා

ස්ථිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් රජයට තිබිය යුතුයි. වන්දි ගැන සාධාරණ දැනුවත් කිරීම් නැති නිසා මිනිස්සු පාරට බහිනවා" යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් (ජවිපෙ) පැවැසීය.

අධිවේගී මාර්ගයේ ඉඩම්වලට වන්දි ගෙවීම තීරණය කරන්නෙ ආර්.ඩී.ඒ. නිලධාරීන්. කවුරුත් අධිවේගී මාර්ගවලට විරුද්ධ නැහැ. නමුත් ඉඩමට නිවෙසට නියම වන්දියක් ලැබෙන්නෙ නැහැ.

ඉඩමක් අහිමිවන පුද්ගලයාට විකල්ප ඉඩමක් ලබාගැනීමේ අයිතියක් තියෙනවා. මේක ඇතුළෙ සාකච්ඡා කර වැඩක් නැහැ. එළියට ගිහින් මහ පොළොවේ සාකච්ඡා තියන්න. මහජනතාව දැනුවත් කිරීමක් මේ වනතුරු සිදුවී නැහැ. වන්දි මුදල ගැන සාධාරණ දැනුවත් කිරීමක් නැති නිසා මිනිස්සු පාරට බහිනවා.

කුරුවිට එරත්න විදුලි බලාගාරයට ඉඩම් පවරා ගත්තෙ කොහොමද? විධිමත් ක්‍රමවේදයට ඒක සිදුවී නැහැ. රජයට ස්ථිරසාර ඉඩම් කළමනාකරණ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. රටේ සංවර්ධනයයි ඇමැතිවරුන්ගේ බෑනාගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නොව පැහැදිලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයි.

මහාමාර්ග ඇමැති

ලක්ෂ්මන් කිරිඇල්ල
කුඹුරු ඉඩම්වලට වටිනාකම වගෙ තුන්ගුණයක් ලැබෙනවා.

 

රට බෙදනවාට අපි කවුරුත් කැමැති නැහැ

"රට බෙදනවාට අප කවුරුත් කැමති නැහැ. එහෙත් රාජ්‍ය කිරීමේ බලය විවිධ ජන කොටස් අතර බෙදා ගත යුතුයි" පත් කළ මන්ත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (එජාප) පැවැසීය.

එදා එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයෙන් තමන්ට ඕනෑ ව්‍යවස්ථාව හැදුවා. 72 හා 78 කරන්නට බැරිවූ දේ එනම් සියලු දෙනාගේ එකඟත්වයෙන් ව්‍යවස්ථාවක් හැදීමේ ස්වර්ණමය අවස්ථාව අපට ලැබී තිබෙනවා. ජනාධිපතිතුමා වරින් වර උතුරට යනවා. උතුර නැඟෙනහිර වෙන් කර උතුරු නැඟෙනහිරට වීසා අරගෙන යන්න එතුමාට ඕනෑද. පළාත් නවයේම අගමැති හැටියට ඉන්න අගමැතිතුමා පළාත් හතක අගමැති වෙන්න කැමැතිද? ව්‍යවස්ථා මර උගුලක් කියා අවස්ථාවාදීන් අසත්‍ය පතුරුවනවා.

අන්තවාදී කොටස් මෙරට රාජ්‍ය බලයට වෙනත් ජන කොටස් සම්බන්ධ කරගන්න කැමැති නැහැ. මෙවැනි අවස්ථාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ රට බෙදනවාට අප කවුරුත් කැමැති නැහැ. එහෙත් රාජ්‍ය කිරීමේ බලය විවිධ ජන කොටස් අතර බෙදාගත යුතුයි. එමඟින් පමණයි මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙ.

 

මැති සබයේ ගින්න නිවා දැමූ සේවකයාට කතානායකගෙන් ඇගයීමක්

පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවීමට ගිය ගින්න වළක්වා ගත් සේවකයාගේ නුවණැති ක්‍රියාව කතානායක කරු ජයසූරිය ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී ඇගයීමට ලක් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන එම සේවකයාගේ ක්‍රියාව අගයමින් එවැනි සේවකයන්ට හිමි පිළිගැනීම හා ගෞරවය ලබාදිය යුතු බවට කරන ලද ප්‍රකාශයෙන් පසු කතානායකවරයා සිය ඇගයීම සභාවට දැන්වීය.

දිනේෂ් ගුණවර්ධන

පුවත්පතක තිබෙනවා සේවකයාගේ නුවණින් පාර්ලිමේන්තු සභාගැබේ ගින්නක් වැළකෙයි කියා. දැන් අපි දන්නවා මේ සිද්ධිය පාර්ලිමේන්තු සභා ගැබේ මෙතැනයි වෙලා තිබෙන්නේ කියා.

මෙතැන ගිනිගෙන තිබෙනවා. (අත දිගහැර පෙන්වයි) සේවකයකුගේ මැදිහත්වීමෙන් මේ ගින්න නතර කර තිබෙනවා. මෙවැනි සේවකයන්ගේ ක්‍රියාමාර්ග නිසා අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ගින්නක් නැතිව රැස්වෙන්න පුළුවන් වුණා. එවැනි ක්‍රියාමාර්ග අපි අගය කරනවා. සේවා තත්ත්වය කුමක් වුවත්, කම්කරුවකු වේවා, මහලේකම් වේවා මේ කටයුතු කරනකොට අගය කිරීමක් තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් මේ සේවකයා ගින්න නඟීවි කියන කාරණය තේරුම්ගෙන තම ජීවිතය පරදුවට තබා කටයුතු කළාම අපේ යුතුකමක් හා වගකීමක් තිබෙනවා එවැනි සේවකයන්ට හිමි පිළිගැනීම, ගෞරවය ලබාදීමට. ගරු කතානායකතුමනි. එවැනි කිසිම වෙලාවක ඔබතුමා විරුද්ධ වෙන්නෙ නැහැ.
කතානායක

මම අද උදේට එතුමා හමුවෙලා කතා කරන්න බැලුවත් කතා කරන්න බැරිවුණා. අපි එය අගයනවා ගරු මන්ත්‍රිතුමා

දිනේෂ් ගුණවර්ධන

එම ප්‍රකාශය කිරීම ගැන මම ඉතාම අගය කරනවා. නමුත් ඔබතුමා යටතේ සිටින නිලධාරීන්ගේ එවැනි හැසිරීමක් නොමැතිවීම පාර්ලිමේන්තුව අද මුහුණ දෙන කනගාටුදායක තත්ත්වය ගැන සඳහන් කරන්න කැමැතියි.

 

අනූනව අවුරුද්දේ බද්දට ඉඩම් දෙනවා නම් තුනෙන් දෙකේ ඡන්දයෙන් අනුමැතිය ගත යුතුයි

මේ රටේ ඉඩම් අනූනව අවුරුද්දේ බද්දකට ලබා දෙනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයකින් අනුමැතියක් ලබාගත යුතුව ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

අධිවේගී මාර්ග සඳහා පවරා ගනු ලබන ඉඩම් සඳහා, එම ඉඩම් අයිතිකරුවනට සාධාරණ වන්දි මුදලක් ලබාදිය යුතුයි. දැනට ගෙවන මුදල ප්‍රමාණවත් නැහැ.
දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී, වන්දි මුදල් කලින් ගෙවා අවසන් නොකර, ඉඩම් අත්පත් කරගෙන තිබුණා. මේ ඉඩම් පවරා ගැනීමේ කටයුතු නිසි ක්‍රමවේදයකට සිදුකළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු එවැනි මාර්ගවල අවශ්‍යතාව පෙනී ගොස් තිබෙනවා. එදා හඳුන්වාදුන් අධිවේගී මාර්ග ක්‍රමය නිසා ජනතාවගේ ගමන් බිමන් සඳහාත් රටේ ආර්ථික කටයුතුවලදීත් වැදගත් වී තිබෙනවා.

පාර්ලිමේන්තුව මාර්තු මස 7 වැනිදා
පස්වරු 1.00ට යළි රැස් වෙයි.

දයා පෙරේරා / ජේ. ටී. ද සිල්වා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon