සන්ධානය සමඟ ඇති සියලු දේශපාලන බැඳීම් අත්හරින බැවින් ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්න

  👤  6076 readers have read this article !
2017-02-23

සන්ධානය සමඟ ඇති සියලු දේශපාලන
බැඳීම් අත්හරින බැවින් ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්න

කතානායකතුමනි,

මීට මාස කිහිපයකට පෙරාතුව, මම හිතන්නේ අවුරුද්දක වාගේ කාලය. ඔබතුමාට මම ලිඛිතව භාරදුන්නා ජාතික නිදහස් පෙරමුණ හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රිවරු පස්දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ තිබෙන සියලු දේශපාලන බැඳීම් අත්හැරලා ස්වාධීනව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ කණ්ඩායමක් හැටියට කටයුතු කරන බව ලිඛිතව දැනුම් දුන්නා. ඒ පිළිබඳ ඔබතුමා එජනිස ප්‍රධානීන්ගෙනුත් විමසලා ඔබතුමාගේ තීරණේ දැනුම් දෙන බව පසුගිය කාලේ ප්‍රකාශයට පත්කරලා තිබුණා. මේක තවමත් ඔබතුමා දැනුම් දී නැහැ. එසේ වීමෙන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු හැටියටත් මන්ත්‍රි කණ්ඩායමක් හැටියටත් අපට හිමි අයිතිවාසිකම් අහිමි වෙලා තිබෙනවා.

ඉතින් මම ඉතාම කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර මම ඒ ලිඛිතව කරපු දැනුම්දීම අනුව සන්ධානයෙන් ඉවත්වෙලා තිබෙනවා. ස්වාධීනව විපක්‍ෂ කණ්ඩායමක් හැටියට වැඩ කරන බව දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව අප පිළිගෙන අපට මේ සභා ගර්භය තුළ හිමි අනන්‍ය අයිතිවාසිකම් ලබාදීම සඳහා ඉතා කඩිනමින් පියවර ගන්න කියා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

කතානායක කරු ජයසූරිය

මම ඒ ලිපිය ලැබුණු වහාම සන්ධාන නායකත්වය දැනුවත් කළා. මට ලිපියක් ලැබුණා. සන්ධාන නායකත්වයෙන් කිව්වා ඒ අය දැනුවත් කළේ නැහැ කියලා. තමුන්නාන්සේලා කරුණාකර ලිඛිතව දැනුවත් කරන්න.

විමල් වීරවංශ

ගරු කතානායකතුමනි, ඔබතුමාට එවන ලද ලිපියේ පිටපතක් මටත් ලැබුණා. මම දැනුවත් කළේ නැහැ කියලා නොවෙයි ඒ ලිපියේ තියෙන්නේ. එහෙම වෙන්වීම පිළිගන්නෙ නැහැ කියලා. මෙහෙමනේ... මම කියනවා වෙන් වුණා කියලා. ඒ ගොල්ලෝ පිළිගන්නේ නැහැ කිව්වට මට වැඩක් නැහැ. ඒක අනුව තීරණ ගන්න ඔබතුමා කටයුතු කළ යුතු නැහැ.

කතානායක

ඔබතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැහැ කියලා කියනවා.

විමල් වීරවංශ

දෙයියනේ! මේ පාර්ලිමේන්තුවේ කියන එක ප්‍රසිද්ධියේ නෙවෙයි නම් අප්‍රසිද්ධියේද?

කතානායක

දැන් කියන්න.

විමල් වීරවංශ

මම මුලිනුත් කිව්වා. ලියුම දීලත් කිව්වා. එහෙම නම් දැන් මුළු රටටම ඇහෙන්න කියනවා. අද සිට නෙවෙයි, මීට පෙර සිට එක්සත් නිදහස් ජනතා සන්ධානය සමඟ තිබෙන්නා වූ සියලු දේශපාලන බැඳීම් අත්හරින ලදී. ඒ අනුව විපක්‍ෂයේ ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමක් හැටියට අප පිළිගනු මැනවි. "ආමෙන්" කියල කියන්නත් ඕනෑද ගරු කතානායකතුමනි.

කතානායක

නැහැ. නැහැ. ඔය ඇති ඔය ඇති. ඔහොම කිව්වාම ඇති. වැඩිය කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම සන්ධානය සඟ සාකච්ඡා කර පිළිතුරක් දෙන්නම්.

විමල් වීරවංශ

මා ඔබතුමාට ප්‍රකාශ කළානෙ. සන්ධානයෙන් අහන්න දෙයක් නැහැ.

කතානායක

මගේ වැඩේ කරන්න මට ඉඩ දෙන්න.

විමල් වීරවංශ

ඒක වැරැදියි ගරු කතානායකතුමනි.

කතානායක

මට කතා කරන්න අයිතියක් තිබෙනවනේ.

විමල් වීරවංශ

මා දැන් කීපාරක් කිව්වද දෙයියනේ.

කතානායක

දෙයියන්ට කියන්න අවශ්‍ය නැහැ. මේ සභාවට කියන්න. දෙවියන්ට කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. මටත් නීති උපදෙස් ගන්න වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ අදහස ඉදිරිපත් කළා. ඔබතුමා ඔබතුමාගෙ අදහස කිව්වා. මම මගේ අදහස දෙන්නම්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

විමල් වීරවංශ මන්ත්‍රිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටස්කරුවෙක් නොවේ. එම නිසා එතුමාට ස්වාධීනව කටයුතු කරන්න අයිතිය දෙනවාට කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නෙ නැහැ.

ජනවාර්ගික වශයෙන් සිදුවූ අසාධාරණය නිසා දෙමළ තරුණයන් සන්නද්ධ අරගලයකට පිවිසුණා

දෙමළ ජනතාවට ජනවාර්ගික වශයෙන් සිදුවූ අසාධාරණකම් නිසා දෙමළ තරුණයන් සන්නද්ධ අරගලයකට පිවිසුණු බව, විපක්ෂ නායක ආර්. සම්පන්දන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවැසීය.

මේ බව අද ජාත්‍යන්තරයේ අවධානයට යොමුවී ඇතැයි සභාව කල් තබන ලද අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ආර්. සම්පන්දන් රට තුළ ප්‍රචණ්ඩත්වය වැඩිවීම නිසා දෙමළ ජනතාවගෙන් සියයට පනහක පමණ පිරිසක් රට අතහැර ගියා. 1983 ඇතිවූ ප්‍රචණ්ඩත්වයත් සමඟ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමේ ප්‍රයත්නයක් ඇතිවුණා.

නොයෙක් දේශපාලන පක්ෂ අතර මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීමේ ප්‍රයත්නයක් පැවතුණා. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් ඇති කර ක්‍රියාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් මම කිසිවක් සඳහන් කරන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ ජීවත් වූ සිංහල, දෙමළ, මුස්ලිම් හෝ බර්ගර් යන සියලුම ජනතාව තම ජාතිය, ආගම හෝ අනෙකුත් වෙනස්කම් නොතකමින් නිදහස ලබා ගැනීම සඳහා තම උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කළා.

යටත් විජිත පාලනයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබී මේ වන විට වසර හැත්තෑවක් ගතවී තිබෙනවා. නිදහස ලබාගෙන කෙටි කාලයකින් ඇතිවූ ජනවාර්ගික අරගල හේතු කොටගෙන මේ රටේ ජනතාවට අත්විඳීමට සිදුවූයේ ඉතා කටුක අත්දැකීම්වලට බව කියන්න ඕනෑ.

දෙමළ ජනතාවට එරෙහිව ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය වඩාත් දරුණු වූයේ ඔවුන්ට මේ රටේ සමාන පුරවැසියන් ලෙස ජීවත්වීමට අවශ්‍ය දේශපාලන විසඳුම් ඉල්ලා සිටීමෙන් පසුව බව පෙන්වා දිය යුතුයි.

මෙම අරගලයට දේශපාලන විසඳුමක් ලැබෙන තෙක් දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ඕනෑම මොහොතක ඇතිවීමේ අවදානමක් පවතිනවා.

රජයේ ඉඩම් තක්සේරු මිල හොඳටම වැඩියි

"රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඉඩම් තක්සේරු කරන මිල අධිකයි. සාමාන්‍ය ව්‍යාපාරිකයකුට ඒ මිලට ඉඩම් ලබාගෙන ව්‍යාපාර කරන්න බැහැ. මේ තත්ත්වය නිසා විදේශ ආයෝජකයන්ගේ පැමිණීම පවා අඩුවෙනවා" යැයි ඉඩම් ඇමැති ජෝන් අමරතුංග ප්‍රකාශ කරයි.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඉඩම් ගැන විස්තර අපට දෙන්නෙ නැහැ. ප්‍රාදේශීය ලේකම්වරුන් පවා ඒ විස්තර අපට දෙන්නෙ නැහැ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පත් කර ඇති අධ්‍යක්ෂවරුනුත් කරන්නෙ ඒ වැඩේමයි. එම නිසා ඉඩම් ප්‍රශ්න විස¼දා ගැනීම සඳහා යෝජනා දෙකක් ක්‍රියාත්මක කරනවා. අගමැතිතුමා ඒවා යෝජනා කර තිබෙනවා. ඒ අනුව ඉඩම් පනත සංශෝධනය කිරීමටත්, ඉඩම් ගබඩා පනත නමින් නව පනතක් ඉදිරිපත් කිරීමටත් අගමැතිතුමා යෝජනා කර තිබෙනවා.
එම යෝජනා නීතිපතිවරයාට දැනුම්දීමෙන් පසු පනත් සකස් කිරීම සඳහා යවා තිබෙනවා.

රට පුරා හැම තැනකම තිබෙන රජයේ ඉඩම් හඳුනාගෙන එකම අධ්‍යක්ෂ මණ්ඩලයකින් පාලනය වන එක් ආයතනයක් ඇති කිරීමෙන් සාධාරණ ක්‍රමයකට ආයෝජකයන්ට ඉඩම් ලබාදීමට පුළුවන්.

ස්වර්ණ භූමි හා ජයභූමි ඉඩම් හිමි අයට සින්නක්කර ඔප්පු ලබාදිය යුතු බව රජය පිළිගෙන තිබෙනවා. එම පනත් ක්‍රියාත්මක වන විට දැනට විවිධ ඉඩම් බලපත්‍ර හිමි අයට සින්නක්කර ඔප්පු ලබාදීමට හැකි වෙනවා.

හිංසනයෙන් තොර රටක්
නිර්මාණය කළ යුතු යුගය
දැන් ආරම්භ වී තිබෙනවා

ජාත්‍යන්තරය සමඟ යහපත් සබඳතා ඇති, පෙර පැවැති හිංසනයන්ගෙන් තොර රටක් නිර්මාණය කළ යුතු යුගය දැන් ආරම්භ වී තිබෙන බව, විදේශ කටයුතු පිළිබඳ ඇමැති මංගල සමරවීර පැවැසීය.

නොබෙදුණු ඒකීය ශ්‍රී ලංකාවක් තුළ කටයුතු කිරීමේ වැදගත්කම අවබෝධ කරගත් විපක්‍ෂ නායකයකු අපට සිටිනවා. යුද්ධය ඉතිහාසයේ එක් පිටුවකට සීමා වූවා. අපේ රට නැවැත වරක් ව්‍යාකූලත්වයට පා නඟන කිසිම කටයුත්තකට රජය පෙලඹෙන්නේ නැති බවට සහතික වෙනවා. අපේ රටේ ජනතාවට යුද ගැටුම්වල අත්දැකීම් තිබෙනවා.

සියලු දෙනාම එකතුවී ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම වැදගත්. සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින් අපි ඉදිරියට යනවා. අපිට ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාව අපි මඟහැරිය යුතු නැහැ. අන්තවාදී බලවේගවලට මේ මොහොතේ ඉඩක් ලබාදිය යුතු නැහැ.

ත්‍රස්තවාදය වැළැක්වීමට දැනට ඇති නීති ඉවත් කර නව නීති ගෙන ඒමට අපි කටයුතු කරනවා. ප්‍රතිසන්ධානය සඳහා ගත යුතු පියවර අපි ගන්නවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon