අනාගැනිල්ල සහ ඇනගැනිල්ල

  👤  6848 readers have read this article !
2017-02-23

මොනරා නටනකොට හෙලුවෙන් බව උෟ දන්නේ නැතැයි කියුවේ නච්ච ජාතකයේය. ආණ්ඩුවත් දැන් නටන්නේ මොනරාගේ නැටුමය. ආණ්ඩුවේ නැටුමෙන් පෙනෙන්නේ, හෙලුවේ පළුවකි. ඒ පළුව කාගේ හෙලුවේද?

මේ ආණ්ඩුවේ පළු දෙකක් තිබේ. එක පළුවක් අයිති විධායක ජනාධිපතිටය. අනෙක් පළුව අයිති අගමැතිටය. මේ පළු දෙකේ ගැළපීමක් වෙතැයි සමහරුන් සිතා සිටියත් සිදුවන දේවල්වලින් පෙනෙන්නේ ගැළපීමක් ඇත්තේම නැති බවය. ඒ බව මෑතකදී හොඳටම පෙනුණේ මෙතෙක් පැවති සම්ප්‍රදායට පිටින් ගිහින් නීතිඥවරයකුට මහාධිකරණ විනිසුරු ධුරයක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම තුළය.

රාමනාදන් මහතා

මඩකළපුවේ නීතිඥයකු ලෙස කටයුතු කළ රාමනාදන් කන්නන් මහතා ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරනු ලැබුවේය. ඒ ගැන කිපුණු අධිකරණ සේවා සංගමය ඒ පිළිබඳව තම විරෝධය පළ කළේ කාටත් දැනෙන ලෙසය. නීතිඥ සංගමයේ ඉල්ලීම මත තමන් මේ පත්වීම සිදු කළ බව කීවේ ජනාධිපතිවරයාය.
අධිකරණ සේවා සංගමය මේ ගැන අධිකරණ ඇමැතිගෙන් විමසූ විට ඇමැතිවරයා කියා තිබුණේ, එක්තරා දේශපාලන පක්ෂයක් රාමනාදන් කන්නන් මහතා මහාධිකරණයට පත් කරන්නැයි ඉල්ලා සිටි බවත් ඔහු එම ඉල්ලීමට එකඟ නොවූ බවය. විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා මේ කියන දේශපාලන පක්ෂයේ ඉල්ලීමට එකඟ නොවුණේ එහි ඇති බරපතළකම තේරුම් ගැනීමේ ඥානය ඔහු සතුව තිබූ නිසාය. එහෙම ඇමැතිවරුදෙතුන්දෙනකු හෝ ආණ්ඩුවේ සිටීම, කාටත් වඩා හොඳ වන්නේ ආණ්ඩුවටමය.

විජයදාස ඇමැතිගෙන් කරගන්නට බැරිවූ වැඩේ කරගන්නට මෙම 'එක්තරා දේශපාලන පක්ෂය' ඊළඟට ගියේ ජනාධිපති ළඟටය. නීතිඥ සංගමයේ සභාපතිගේ අස්සනින් යුත් ලියුමක්ද රැගෙන ගිය එකී පක්‍ෂය, ජනාධිපති හරහා තමන්ට වුවමනා පත්වීම ඉටුකර ගන්නට සමත් විය.

නඩුත් ආණ්ඩුවේ

එක එක පක්‍ෂවලට වුවමනා අයුරින් නඩුකාරයන් පත් කරගන්නට හැකිනම්, "නඩුත් ආණ්ඩුවේ - බඩුත් ආණ්ඩුවේ" යැයි කියනවා හැර වෙනත් කියන්නට දෙයක් මිනිස්සුන්ට ඉතිරි වන්නේ නැත. නීතිඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතාගෙන්, අධිකරණ සේවා සංගමය මේ ගැන විමසූ විට ඔහු කියා තිබුණේ මේ පත්වීමට නීතිඥ සංගමයේ සම්බන්ධයක් නැතැයි කියාය. එහෙත් පසුව හෙළි වුණේ නීතිඥ සංගමයේ විධායක සභාවේ සාකච්ඡා කිරීමකින් තොරව අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇත්තේ එහි සභාපතිවරයා විසින් බවය. මේ ජරමරය නිසා දැන් නීතිඥ සංගමයේ නිලවරණයද ඇත්තේ කල් දමලාය.

තමන්ට එල්ල වන ප්‍රභාරයෙන් ගැලවීමට ජනාධිපතිවරයා කීවේ නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි අදාළ පත්වීම තමන් සිදු කළ බවය. නීතිඥ සංගමය කියන්නේ තමන් එවැනි ඉල්ලීමක් සිදු නොකළ බවය. නීතිඥ සංගමය එවැනි ඉල්ලීමක් කළද ජනාධිපතිවරයාට ඒ අයුරින් මහාධිකරණ විනිසුරුවරුන් පත් කළ හැකිද? එය ව්‍යවස්ථාවට එකඟද? එසේ කළ හැකිනම් අධිකරණ සේවා කොමිසම තියෙන්නේ කුමකටද? මේ අවුලෙන් බේරෙන්න ජනාධිපතිවරයා ඊළඟට කීවේ හිටපු අගවිනිසුරුවරයකු වූ මොහාන් පීරිස් ඔහුගේ තනතුර රැක ගැනීම පිණිස තමන් හමුවී බැගෑපත්ව කළ ඉල්ලීමක් ගැනය. "සර් කියන ඕනෑම විදියකට මම වැඩ කරන්නම්" යැයි මොහාන් පීරිස් තමා හමුවී ප්‍රකාශ කළ බව කී ජනාධිපතිවරයා ඒ නිසාම තමන් ඔහුව ඉවත් කළ බව කීවේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් තමන්ට ඇති "කැක්කුම" කොතරම් දැයි පෙන්වා දෙමිනි.

බලකේන්ද්‍ර තුනක්

එහෙත්, එහිදීද ජනාධිපතිවරයා නොදැන සිටි කරුණ වූයේ අගවිනිසුරුවරයකු ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී නැති බවය. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවට අයිති වැඩක්, ජනාධිපතිවරයා තමන් විසින්ම කරන ලද බව ප්‍රසිද්ධියේම පිළිගත් විට, ව්‍යවස්ථාදායකය, විධායකය යනුවෙන් බල කේන්ද්‍ර දෙකක් ඇත්තේ කුමකටද, යන ප්‍රශ්නය මතුවන්නේ ඉබේටමය.

මේ ආණ්ඩුව බලයට ආ දිනයේ සිටම අපට පෙන්වන්නේ කකුල කටේ දාගැනිලිය. එහෙමත් නැත්නම් විහින් අනාගැනිලිය. අනාගැනිල්ලෙත් ඉවරයක් නැති බව පෙනෙන්නේ ඊට අදාළ ලැයිස්තුව පෙළගැස්වූ විටය.

මංගල ජිනීවා ගොස් විදෙස් විනිසුරුවරයන්ද සහිත යුද අපරාධ ගැන සොයන යාන්ත්‍රණයකට එකඟ විය. ජනාධිපති විදෙස් විනිසුරුවරුන් සහභාගි කර ගන්නා දෙමුහුන් අධිකරණයකට බෑ කීවේය. ඒ එක අනාගැනිල්ලකි.

රණවිරුවන්

නව ව්‍යවස්ථාව 2/3න් සම්මත කර ජනමත විමසුමට ගෙන එන බව මංගලලාද කිරිඇල්ලලාද පවසති. ජනාධිපතිගේ ගෝලයන් වන සුසිල් ප්‍රේමජයන්තලා, නිමල් සිරිපාලලා කියන්නේ ජනමත විමසුමකට භාජනවන ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බවය. ඒ වූකලී තවත් අනාගැනිල්ලකි.

"රණවිරුවන් උසාවි ගාණේ රැගෙන යෑමට තමන් ඉඩ නොදෙන බව" මහ හ¾ඩින් කියන්නේ ජනාධිපතිය. එහෙත්, ශ්‍රී ලංකා බුද්ධි බළකා රෙජිමේන්තුවේ එකම විධායක අධිකාරිවරයා ඇතුළු බුද්ධි බළකා සාමාජිකයන් 5ක් අත්අඩංගුවට ගෙන සිර ගත කළේ ඊයෙ පෙරේදාය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගිය බවට චෝදනා කරමින්ය. අදාළ චෝදනාව බුද්ධි අංශයට එල්ලවන්නේ සිදුවීම වූ දවසේ ඔවුන්ගේ ජංගම දුරකතන දෙහිවල ප්‍රදේශය අවට ක්‍රියාකාරීව පැවැතී තිබීම යන කරුණ පමණක් පදනම් කරගෙනය. ජනාධිපතිට මේ අය "රණවිරුවන්" ලෙස නොපෙනෙන්නේ කුමන හේතුවක් මතද යන්න පැහැදිලි නැත. කොහොම වුණත් ඒ සිදුවී ඇත්තේ තවත් අනාගැනිල්ලක්ය.

මීට අමතරව ලොතරැයි මිලද අනා ගත්තේය. හාල්වලට දැන් අනාගෙන ඇත්තේ යුද්ධ කරන කාලයේවත් සිදු නොවූ ආකාරයේ අනාගැනිල්ලක්ය. රුපියල ඩොලරයට සාපේක්‍ෂව 160 - 170 දක්වා කඩා වැටෙනු ඇතැයි වත්මන් මහ බැංකු අධිපති පවසන්නේ ආර්ථිකයේ සිදු කර ඇති අනාගැනිල්ලේ තරම පෙන්වමින්ය. චීනයට හම්බන්තොට වරාය විකුණා කීයක් හරි හොයාගන්න ගිය වැඩේ ඇත්තේත් අනාගෙනය. හම්බන්තොට අක්කර 15,000 කර්මාන්ත කලාපයත් ඇත්තේ ලත් තැනම ලොප්වීය.

කප් එක

වොක්ස්වැගන් අනාගැනිල්ල සහ මහ බැංකු බැඳුම්කර අනාගැනිල්ල ගැන අමුතුවෙන් කිව යුතු නැත. වැට් බද්ද දාන්න ගොස් අනාගත්තු අනාගැනිල්ල ගැනද අලුතෙන් කීමට වුවමනා නැත. ආණ්ඩුවක් මෙහෙම කෙටි කලක් තුළ මේ අන්දමට අනාගත්ත අනාගැනිල්ලක් මෑතකාලයේ දැක ගන්නට ලැබුණේම නැත. ඒ අතින් අනාගැනිල්ලේ "කප්" එක නම් මේ ආණ්ඩුවට ලබා දිය යුතුය. අධිකරණ සේවා සංගමය සමඟ හැප්පෙන්නට යන්නේද මේ අනාගැනිල්ලේම දිගුවක් ලෙසය.

අනාගන්නේ ජනාධිපති වුවත් අගමැති වුවත් ඇනගන්නේ රටය. ගොයම් කපන්ට බැරි මිනිහා දෑකැති පනස්අටක් ඉණේ ගසාගෙන පාරම්බෑවත් වැඩක් නැත. දැන් රටට සිදුවී ඇත්තේ ඒ ටිකය.

ආදිපාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්