බෝට්ටුව පෙරළීමෙන් මියගිය අයට ලක්ෂය බැගින් වන්දියක් රෝහල්වල සිටින අයට විසිදාහ බැගින්

  👤  4075 readers have read this article !
2017-02-22

දයා පෙරේරා / ජේ. ටී. ද සිල්වා

බෝට්ටුව පෙරළීමෙන් මියගිය අයට ලක්ෂය බැගින් වන්දියක්
රෝහල්වල සිටින අයට විසිදාහ බැගින්

බේරුවල මුහුදේ සිදුවූ බෝට්ටු අනතුරෙන් මියගිය එක් පුද්ගලයකු සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් සහ රෝහල් ගතකර සිටින එක් අයකු වෙනුවෙන් රුපියල් විසිදහසක මුදලක් ලබාදෙන බව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවැසීය.

මේ සඳහා කැබිනට් මන්ඩලයට ඊයේ තමා විසින් ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.
එම වන්දි මුදල් ගෙවීම අද (22දා) සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවැසීය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත (එජනිස) නඟන ලද රීති ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා එසේ සඳහන් කළේය.
පියල් නිශාන්ත - මගේ ආසනයේ අවාසනාවන්ත සිදුවීමක් වුණා. ඒ සිද්ධියෙන් විපතට පත්වූ අයට යම් වන්දි මුදලක් ලබාදෙන්න රජය කටයුතු කරන්නෙ නැද්ද? මේ අයට ජීවිත අහිමි වුණේ ආපදාවක් නිසයි.

අනුර ප්‍රියදර්ශන යාපා - "අපි වන්දි දෙන්න චක්‍රලේඛ කිසි දෙයක් බලන්නෙ නැහැ. මම අද උදේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් දාල වන්දි ලබා දෙන්න එම යෝජනාව සම්මත කරගත්තා. ඒ අනුව අපි මියගිය පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දෙනවා. රෝහල් ගතවී සිටින එක් අයකු සඳහා රුපියල් විසිදහසක් ලබා දෙනවා. ඒක හෙට ඉඳල දෙන්න අපි කටයුතු කරනවා."

වරාය නගර ව්‍යාපෘතියේ තොරතුරු
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෑ

වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කළ නමුත් එහි සම්පූර්ණ තොරතුරු පාර්ලිමේන්තුවට ලබාදී නැහැ. මේ ව්‍යාපෘතියට විශාල බදු සහන ලබාදී තිබෙනවා. ඒත් මේ ව්‍යාපෘතිය ගැන තොරතුරු කිසිවක් නිසි පරිදි පාර්ලිමේන්තුවට ලබාදී නැහැ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පැවැසීය.

මලික් සමරවික්‍රම

අවශ්‍ය නම් අලුත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි.

අනුර කුමාර දිසානායක

නොදන්නා ව්‍යාපෘතියකට අනුමැතිය දෙන්නෙ කොහොමද? එහෙම ව්‍යාපෘතියකට බදු සහන ඉල්ලීම වැරැදියි. බදු සහන අනුමත කිරීමට පෙර ව්‍යාපෘතිය ගැන තොරතුරු ලබාදිය යුතුයි.

නැත්නම් අපි මේ පනතට එකඟ නැහැ. ෆෝට් සිටි ව්‍යාපෘතිය අවුරුදු 31ක් ආදායම් බද්දෙන් නිදහස් කරනවා. එය කිසිසේත් සාධාරණ නැහැ. ව්‍යාපෘතිය නැවැතූ කාලය සමඟ බලනවිට අවුරුදු 32 1/2ක් කිසිම ආදායමක් නැහැ.

මලික් සමරවික්‍රම

මේක ගිය ආණ්ඩුව කරපු එකක්. ඒකෙන් අපට ඉවත් වෙන්න ක්‍රමයක් නැහැ. බිලියන ගණනක ආයෝජනයකට බදු සහන දීම සාමාන්‍ය දෙයක්.

අනුර කුමාර දිසානායක

මේ ආණ්ඩුව ආවාට පසුව හෙක්ටයාර් 269ක් දක්වා බිම් ප්‍රමාණය වැඩි කළා. නොදන්න ව්‍යාපෘතියකට ඇයි බදු සහන දෙන්නෙ?

මලික් සමරවික්‍රම

වැඩි වූයේ හෙක්ටයාර් 36යි. එයින් 28ක් ආණ්ඩුවට ලැබෙනවා. අටක් චීන සමාගමට ලැබෙනවා. අලුත් ගිවිසුම අනුව ආණ්ඩුවට අක්කර 153ක් ලැබෙනවා.

අනුර කුමාර දිසානායක

ෆෝට් සිටි හා කොම්පඤ්ඤවීදියේ ව්‍යාපෘති දෙක ගැන සම්පූර්ණ විස්තර දෙනතුරු බදු සහන ලබාදීම අනුමත කරන්න එපා.

තිරසර සංවර්ධන කෙටුම්පත ගැන
පළාත් සභා 9 අදහස් හතරක්

ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පළාත් සභා නවයෙන් අදහස් හතරක් පාර්ලිමේන්තුවට වාර්තා කර ඇත.

එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එක් එක් පළාත් සභාවට යොමු කිරීමෙන් අනතුරුව පළාත් සභාවලදී සලකා බලා වාර්තා කර ඇති අදහස් කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට ඊයේ (21දා) නිවේදනය කළේය.

ඒ අනුව උතුරු මැද පළාත් සභාව පනත් කෙටුම්පතට එකඟතාව පළකර ඇත.

මධ්‍යම, වයඹ, සබරගමුව, දකුණ, බස්නාහිර සහ උෟව යන පළාත් සභා හය එම පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව සංශෝධනවලට යටත්ව එම සභාවන්හි එකඟතාව පළකර තිබේ.

උතුරු පළාත් සභාව පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා එකඟවී නොමැත.

නැඟෙනහිර පළාත් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක වන තෙක් පනත් කෙටුම්පත සලකා බැලීම කල් තබන ලද බව දැනුම් දී ඇත.

එම පළාත් සභාවල අදහස් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ ඇමැතිවරයාට ද ආර්ථික සංවර්ධන ආංශික අධීක්‍ෂණ කාරක සභාවටද යොමු කරන බව කතානායකවරයා නිවේදනය කළේය.

ධීවර යාත්‍රාවල
මගී ප්‍රවාහනයට
අයිතියක් නෑ

ධීවර බෝට්ටුවල මගී ප්‍රවාහනයට කිසිම අයිතියක් නැහැ. එහෙම යනවා නම් ආරක්ෂිත කබා පැලඳිය යුතුයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා

නීත්‍යනුකූලව කටයුතු කරන ආකාරය සම්පූර්ණයෙන්ම දැනුවත් කර තිබෙනවා. යාත්‍රා හිමියන් නීති විරෝධී වැඩත් කරනවා.

රෝහිත අබේගුණවර්ධන

මේ දේව මෙහෙය අවුරුදු තිස් නවයක් තිස්සේ පවත්වනවා. ධීවර යාත්‍රාව මේ ගමනට ගෙන ගිය බව අයිතිකරුවා දන්නෙ නැහැ. නුසුදුසු පුද්ගලයෙක් යාත්‍රාව ගෙන ගොස් තිබෙන්නෙ. මෙවැනි දේ ගැන සානුකම්පිතව බලන්න.

පියල් නිශාන්ත

නැවත මෙවැනි දෙයකට ඉඩ තියන්න එපා.

මහින්ද අමරවීර

අවසරයකින් තොරව බෝට්ටු අයිතිකාරයන් නොදැන මේ ගමන ගියා නම් වගකීම භාර ගන්නෙ ධීවර අමාත්‍යාංශයද? මේ බෝට්ටුවක යන්න පුළුවන් හය දෙනාටයි. ඒ අයත් ආරක්ෂක කබා ගෙන යා යුතුයි. මේ ගමන ගිය අය ආරක්ෂක කබා ගෙන ගොස් නැහැ.

කමිටු රැස්වීමට සහභාගිවීම ගැන

ඊළඟ පක්‍ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නවා

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මන්ත්‍රිවරයාට ආංශික අධීක්‍ෂණ කමිටු රැස්වීම්වලට සහභාගිවීම සඳහා බන්ධනාගාරයේ සිට පැමිණීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ඊළඟ පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බව කතානායක කරු ජයසූරිය ඊයේ (21දා) පැවැසීය.

විමල් වීරවංශ - ගරු කතානායක තුමනි; පාර්ලිමේන්තුවේ ආංශික අධීක්‍ෂණ කමිටු රැස්වීම්වලට සහභාගිවීම සඳහා බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඔබතුමා වෙත ලිඛිතව ඉල්ලීමක් කළා. ඒ ගැන තීරණයක් මේ වන තෙක් ලැබී නැහැ. ඒ සඳහා අවසර ලබා දෙන්න.

කතානායක - මම ඒ ගැන සාකච්ඡා කරලා තීන්දුවක් දෙනවා.

විමල් වීරවංශ - කතානායකතුමනි; ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු 225 දෙනාගෙම නායකයා. මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසිකම් ලබාදීම ඔබතුමා සතුයි. මම වගේම අනාගතයේ බන්ධනාගාරගත වන අය වෙනුවෙන් තමයි, මට විතරක් නොවෙයි මේ ඉල්ලීම කරන්නේ.

කතානායක - මම මේ ගැන ඊළඟ පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරනවා. අනිවාර්යෙන්ම සාකච්ඡා කරලා කියන්නම්. පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කමිටුවලට එන්න බැහැ. හොඳයි මම මේ ගැන සාකච්ඡා කරනවා.

විමල් වීරවංශ - ගරු කතානායකතුමනි; ඔබතුමා අවශ්‍ය වෙලාවෙදී මේ ප්‍රශ්නය ගැන අවශ්‍ය තීන්දුවක් ලබා දෙන්නෙ නැත්නම්, ඔබතුමාගෙ කතානායකකම කොස් කොටන්නද කියලා අපට කියන්න සිද්ධ වෙනවා.

නාවලපිටිය විදුහලේ විදුහල්පති
ක්‍රීඩා උත්සවයට මට ආරාධනා කළේ නෑ

නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයට විදුහල්පතිතුමා මට කතා කළේ නැහැ. විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් ගෙන්නුවා. ඒක මට කරපු අසාධාරණයක්.

විදුහල්පතිවරයාට විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මම මේ ගැන ආණ්ඩුකාරතුමියටත් කිව්වා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක

එහෙම කරන්න දෙන්න පුළුවන්ද? ඉස්කෝලෙක ක්‍රීඩා උත්සවයකට ආරාධනා කළේ නැහැ කියලා විදුහල්පතිට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්නලු. කිසිසේත්ම එය අනුමත කළ නොහැකියි. ආණ්ඩුකාරතුමියට කිව්වා කියලත් කියනවා. මම දැක්කා එතුමියත් විදුහල්පතිවරුන්ට කතා කරන හැටි. එහෙම කතා කරන්න දෙන්න බැහැ.
ආනන්ද අලුත්ගමගේ - "අනේ මේ මොනවද මේ කියන්නේ? බොරුවට කෑගහන්න එපා."

අනුර කුමාර දිසානායක - "අයියෝ සභාපතිතුමා, මෙහෙම මිනිස්සුද ඉස්කෝලෙක ප්‍රධාන අමුත්තො හැටියට ගෙනියන්නේ? මෙහෙම අය ගෙන්නුවේ නැති එකට විදුහල්පතිට තෑගි දෙන්න ඕනෑ."
ආනන්ද අලුත්ගමගේ - "හරි... හරි... අපි දන්නව ඔයාගෙ කෙරුවාව"

අනුර කුමාර දිසානායක - "ඔය ඉතින්... ආයෙමත් කියන්න වෙනවා. මෙහෙම අයද ඉස්කෝලවල ප්‍රධාන අමුත්තෝ හැටියට ගේන්න කියන්නෙ. ඉස්කෝලවලට යනව නම් විනයක් තියෙන්න ඕනෑ. ළමයින්ට ආදර්ශයක් ගන්න පුළුවන් විදියට.

දෙමළ ජනතාවට ආරක්ෂාව ඇතැයි අගමැති ඕස්ට්‍රේලියාවේදී කියා ඇත්තේ බොරුවක්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට නිසි අරක්ෂාවක් තිබෙන බවට අගමැතිවරයා ඕස්ට්‍රේලියාවට ගොස් කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් පැවැසීය.

අද තමන්ගේ උපන් ගම්බිම් අහිමිවීම නිසා දෙමළ ජනතාවට පාරට බැහැලා උපවාස කරන්න සිදුවෙලා තියෙනවා. පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව දින දහ නවයක් තිස්සේ ඔවුන්ගේ ඉඩම් ලබා ගැනීම සඳහා උපවාසයේ යෙදී ඉන්නවා.

එක ජන කොටසකට පමණක් තමන්ගේ මුල් ගම්බිම්වලට යෑමට නොහැකි වී තිබෙනවා.

මේ ජනතාව ගැන ඇයි සිංහල නායකයන්ට හිතන්න බැරි?

කිලිනොච්චි ප්‍රදේශයේ තියෙන ඉඩම්වලින් සියයට 40ක් තියෙන්නේ හමුදාව අතේ. කිලිනොච්චිය මහා විද්‍යාලය සතු ඉඩමක්ද තියෙන්නේ හමුදාව අතේ.

අගමැතිවරයා ඕස්ට්‍රේලියාවට ගොස් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ආරක්ෂාව තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. අද තමන්ගේ උපන් ගම්බිම් අහිමි වෙලා පාරේ ජීවත් වීමට සිදුවී තිබෙන ජනතාවට කොහේද ආරක්ෂාව තියෙන්නේ කියලා අගමැතිවරයාගෙන් අහනවා.

අද අපගේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ උපන් ගම්බිම්.

අපනයන වෙළෙ¼දාම
ශීඝ්‍ර ලෙස පහත වැටිලා

රුපියල වැඩි වශයෙන්ම මස්තබාල්දු වුණේ පසුගිය වසර දෙකේදී බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි බන්දුල ගුණවර්ධන (එජනිස) පැවැසීය.

අප රටේ අපනයන වෙළෙ¼දාම ශීඝ්‍ර ලෙස පහත වැටිලා. මේ රජය බලයට පත්වූ පසු සියයට 2.6කින් අපනයන අඩුවෙලා. ආනයන වැඩි වෙලා. මෙය බරපතළ තත්ත්වයක්.
අද රුපියලේ අගය බරපතළ ලෙස පහත වැටිලා. මේ රජයේ ආර්ථික කළමනාකරණය දුර්වලයි. රුපියල වැඩි වශයෙන්ම මස්තබාල්දු වූ වසර දෙක පසුගිය වසර දෙකයි.

අපගේ විදේශ සංචිත ශීඝ්‍රයෙන් පහත වැටිලා අපේ රජය කාලෙ ශක්තිමත්ව තිබූ ආර්ථිකය වත්මන් රජය යටතේ විනාශ වෙමින් පවතිනවා.

මහ බැංකුවේ බැඳුම්කර මුදල් මංකොල්ලයත් රටේ ආර්ථිකය බිඳ වැටීමට හේතුවක් වී තිබෙනවා. විදෙස් ආයෝජන ගේනවා කී මේ රජය අද මොනවාද කියන්නෙ? ජාත්‍යන්තර දර්ශකවල පවා අපේ රට පහත වැටිලා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon