අගමැති විරෝධයට හර්ෂගෙන් ට්විටර් මෙහෙයුමක්

  👤  4348 readers have read this article !
2017-02-19

නීතිඥයකු ලෙස කටයුතු කළ රාමනාදන් කන්නන් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීම මේ දිනවල නීති ක්‍ෂේත්‍රයේ අවධානයට ලක්ව ඇත. එම පත් කිරීම පසුගියදා සිදු කළේ ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින්ය.
අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ නීතිපති දෙපාර්තමේන්තුව සතු කාර්යයක් ජනපතිවරයා විසින් සිදු කිරීමෙන් ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් චෝදනා කෙළේය. එවැනි චෝදනා හමුවේ බදාදා පැවැති ජාතික නීති සමුළුවට සහභාගි වූ ජනාධිපතිවරයා තමන් එම පත්වීම කළේ නීතිඥ සංගමයේ ලිඛිත ඉල්ලීමක් අනුව බවද ප්‍රකාශ කෙළේය.

මේ අතර හිටපු අගවිනිසුරුවරකු වන මොහාන් පීරිස් ඉවත් කෙළේ තමාගේ විධායක බලය උපයෝගී කර ගනිමින් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේ වරකාපොළදී බ්‍රහස්පතින්දා පැවැති උත්සවයකට සහභාගි වෙමින්ය. ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් දිනවල තමන් හමු වූ හිටපු අගවිනිසුරුවරයා සර් කියන දෙයක් කරන්නම් යැයි පැවැසූ බවත් ඒ අනුව ඔහු ඉවත් කිරීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කෙළේය.
කැබිනට් මණ්ඩල රැස්වීම මෙවර පැවැත්වුවද ඊට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමැතිවරු රැසක් සහභාගි නොවූහ. අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

රටේ උද්ගත වී තිබෙන දේශපාලන කරුණු කිහිපයක් ගැනද එහිදී අවධානය යොමු විය. හාල් මිල අඩු කිරීමට අපි කටයුතු කරන අතර ඒවාට බාධා කරමින් කඩාකප්පල් කරන්න පිරිසකුත් ඉන්නවා. රජය කියන විධියට සහල් නැහැ කියලා ජනතාව චෝදනා කරන්නෙ එම නිසා' හැරිසන් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. 'මේ ගැන අදාළ පාර්ශ්ව කැඳවලා තීරණ ගන්නවා. ජනතාව පීඩාවට පත් කරන්න ඉඩ දෙන්න බැහැ' ජනාධිපතිවරයා එහිදී අවධාරණය කෙළේය.' හාල් විතරක් නෙවේ පොල්වල මිලත් වැඩියි. මේකට විසඳුමක් දෙන්න ඕන' තවත් ඇමැතිවරයෙක් පෙන්වා දුන්නේය. ඒ අනුව පොල් තෙල් ආනයනය කිරීමටද අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු විය. 'මම නීතියට ඇඟිලි ගහනවා, ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියලා ඇතැම් අය ප්‍රචාර ගෙන යනවා. ඒ අය බලය තියෙද්දි නීතිය පාවිච්චි කළේ කොහොමද කියලා මම දන්නවා. මම බලය අතහැරියා මිසක් ඒවා ර¼දවා ගන්න කටයුතු කළේ නැහැ' ජනාධිපතිවරයා කියත්ම ඇමැතිවරු නිශ්ශබ්දව එය අනුමත කළහ.

මෙහිදී කැබිනට් පත්‍රිකා 20කට පමණ අනුමැතිය පළ කෙරිණි. රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර දේශපාලන පළිගැනීම් සම්බන්ධ අභියාචනා සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවද ඒ අතර විය. ලැබූ පැමිණිලි 31,666ක් අතරින් 25,000කට පමණ අවශ්‍ය නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. කැබිනට් මණ්ඩලයේ අවසන් නිගමනය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශවලට තම තීරණ ක්‍රියාත්මක කිරීමේ ගැටලු මතු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධ ගැටලු 693ක් ගැන වැඩිදුර කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පරිපාලන නිලධාරියකු වූ ඩබ්ලිව්. ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබීය. අප්‍රේල් 16 වැනිදා වන විට අදාළ විමර්ශන අවසන් කිරීමට නියමිතය.

මේ අතර ආණ්ඩුවේ සම කොටස්කරුවා වන එක්සත් ජනතා නිදහස් සන්ධානය වත්මන් දේශපාලන අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීමට තීරණය කොට තිබේ. ඒ අනුව ලබන සිකුරාදා සන්ධානයේ විධායක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මූලිකත්වයෙන් රැස්වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස ඕස්ට්‍රේලියා රජයේ ඇරැයුමෙන් එරට බලා පිටත්ව ගියේ පසුගිය සිකුරාදාය. මෙවර ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයකු ඕස්ට්‍රේලියාවේ නිල චාරිකාවක යෙදෙන්නේ 1954දී ජෝන් කොතලාවල අගමැතිවරයාට පසුවයි. අර්ජුන, විජිතමුනි, දයාසිරි, හර්ෂ මෙන්ම මහාචාර්ය මෛත්‍රිද ඒ චාරිකාවට එක්වූහ. අගමැතිවරයාගේ පළමු නිල කාර්ය වූයේ වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය හමුවීමයි. අගමැති රනිල් වික්‍රමසිංහට ඩීකින් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලැබිණි. එදින ශ්‍රී ලාංකික සිසුන් 28 දෙනකු ඇතුළු තුන්සිය දෙනකුට උපාධි ප්‍රදානය කරනු ලැබීය. දිගුකාලීන දේශපාලන කැපවීම්, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී දැක්වූ දායකත්වය ආදිය වෙනුවෙන් එම සම්මාන ආචාර්ය උපාධිය ලැබිණි. කුලපති මහාචාර්ය ජෝන් ස්ටැන්හෝප් එම ආචාර්ය උපාධිය පිරිනැමුවේය. කෙසේ වෙතත් පෞද්ගලික හෝ රාජකාරි කටයුතුවලදී එම උපාධිය යොදා නොගන්නා ලෙස උත්සවය නිමා වීමත් සමඟ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකට ආචාර්ය රනිල් වික්‍රමසිංහ දැනුම් දුන්නේය.

අගමැතිවරයා පසුදා කැම්බරාහි පිහිටි පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පිළිගත්තේ ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් විසින්ය. ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියක්ද වික්‍රමසිංහ අගමැතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබිණි. දෙරට අතර ක්‍රීඩා, ආර්ථික හා අධ්‍යාපන සහයෝගිතාවට අදාළ ගිවිසුම් කිහිපයකටද අස්සන් තැබීම සිදුවූයේ එහිදීය. අගමැතිවරු දෙදෙනා එහිදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකටද සහභාගි වූහ. ශ්‍රී ලාංකික සිසුන්ට ඕස්ට්‍රේලියාවේදී අධ්‍යාපන අවස්ථා වැඩි වශයෙන් ලබාදීමටද අධ්‍යාපන හා ආර්ථිකය නැංවීමටද තම රජය කැමැති බව එහිදී ඕස්ට්‍රේලියා අගමැතිවරයා සඳහන් කළේය. යුද්ධය හෝ ආර්ථික හේතු මත ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව ගොස් සිටින අයට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසිය හැකි බව මෙහිදී අගමැති රනිල් කීවේය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනද මෙහිදී මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. "ඔව් අපිත් සෙනෙට් සභාවක් පිහිටුවන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒකට ඕස්ට්‍රේලියාවෙන් ආදර්ශ ගන්නවා. හැබැයි අපි බොරු වළවල්වල වැටෙන්න සූදානම් නැහැ." අගමැතිවරයා සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ සෙනෙට් සභාව නිසා එරට ඇතිවී තිබෙන ඇතැම් දේශපාලන අවස්ථාවරභාවයන්ද සැලකිල්ලට ගනිමින්ය.

සිවු දින නිල චාරිකාව අතර අගමැති රනිල්ට හිතවත් ඇමැතිවරුන් කිහිපදෙනකුගෙන් දුරකතන ඇමතුම් කිහිපයක් ලැබිණි. "මම සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු හමුවුණා. වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයට මේ ළමයින්ට මුහුණ දෙන්න පසුබිම හැදීම වැදගත් බව ඔවුන් කිව්වා. මම සයිටම් එකටත් ඒ යෝජනාව දැම්මා. ඒකට ඒ අය සූදානම්. ඒකට වෛද්‍ය සභාවේ කැමැත්ත ගන්න කියලා මම පීඨාධිපතිවරයාට කිව්වා. ඒත් වෛද්‍ය සභාවත්, වෛද්‍ය සංගමයත් උසාවි තීන්දුව ඉක්මවා කටයුතු කරනවා කියන චෝදනාව එන්න පුළුවන්. ළමයි බඳවාගන්න එක නතර කරන්න කියලා මම යෝජනා කළාම ඒකට සයිටම් එක එකඟ වුණා. සයිටම් හරහා ආණ්ඩුව පෙරළන්න සමහරු දඟලනවා." කිරිඇල්ල දිගු හෑල්ලක් කීවේය.

සහල් ප්‍රශ්නය ගැන රනිල්ට කීවේ හැරිසන්ය. "රජයේ වී තොග මෝල් 450කට නිකුත් කළා. ඒ වී හාල් කරලා වෙළෙඳපොළට දමලා මිල අඩුකරලා පෙන්නුවහම අනෙක් වී තොග නිකුත් කරන බව මම කිව්වා." ඔහු කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහට ඕස්ට්‍රේලියාවේදී පිරිසක් විරෝධය පළ කරන්නට සූදානම් වූහ. එහෙත් එය එතරම් දුරදිග ගියේ නැත. ඕස්ට්‍රේලියා රජය මැදිහත් වී එය නතර කළේය. සිංහල සහ දමිළ අය තම සීමාව ඉක්මවා විරෝධතා කළත් දුසිම් ගණනකගේ විරෝධතාවලින් බලපෑමක් රජයට නොවන බව නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා තම ට්විටර් ගිණුමේ සඳහන් කොට තිබුණේ විරෝධතාකරුවන් කිහිපදෙනකුගේ ඡායාරූපයක්ද පළ කරමින්ය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව මෙවර පැවැත්වුණේ සඳුදාය. ඒ හිටපු ජනපති මහින්දට විදේශ සංචාරයකට සහභාගි වීමට නියමිතව තිබූ නිසාය. විජේරාම මාවතේ නිල නිවෙසේදී පැවැති ඊට ප්‍රසන්න එනවාත් සමඟම "ප්‍රසන්න දැන් මාර චණ්ඩියෙක් වෙලානෙ" යැයි දිනේෂ් කීවේ අන්‍යයන්ද සිනා ගන්වමින්ය.
"නෑ, නෑ. ඒක චණ්ඩි වැඩක් නෙවේ" ප්‍රසන්නද සිනාසෙමින්ම උත්තර දුන්නේය. මිනුවන්ගොඩ සතිපොළ විවෘත කිරීමේ සමරු ඵලකයේ නම සඳහන් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න, රුවන් සහෝදරවරුන් අතර ඇති වූ කතාබහට ඒ වනවිට විශේෂ අවධානයක් මාධ්‍යවල යොමු වී තිබිණි. සහෝදරයන් සමඟ අනවශ්‍ය ලෙස ගැටුම් ඇතිකර නොගන්නා ලෙස හිටපු ජනපති මහින්දත් ප්‍රසන්නට අවවාද කර තිබිණි. කෙසේ වෙතත් සිදුවුණු දේවල් ප්‍රසන්න කීවේය.

"මේව මහින්ද මහත්තයගෙ කාලෙ සල්ලි වෙන් කරලා හදපුවා. ඉතිං ඒවා විවෘත කරන්න ඕන එයාලට ඕන විදියට නෙවෙයි. අපට ඕන විදියට." ප්‍රසන්න පැහැදිලි කළේය. "ඒක නම් ඇත්ත තමයි. මෙයාලා විවෘත කරන්නෙ අපි හදපුවා." පවිත්‍රාද ප්‍රසන්නට එකඟ වෙමින් කීවාය. "මෙයා ඒක විවෘත කළාම රුවන් ලොකු ලොකු දේවල් කියලා තිබුණා. මම නම් ප්‍රසන්නට කිව්වා ඕවට උත්තර දෙන්න යන්න එපා කියලා." මහින්ද කීවේය.

"මට මල්ලි එක්ක ගැටුමක් නැහැ. මට ගැටුම තියෙන්නෙ ආණ්ඩුව එක්ක. මල්ලි මැදට ආවට මට කරන්න දෙයක් නැහැ." ප්‍රසන්න නැවතත් කීවේය. "විවෘත කළත් කමක් නැහැ අඩු ගානෙ හදපු එකේ ගෞරවයවත් තියෙනව නම්" යැයි උදය කියද්දී ප්‍රසන්න "අපි හදපු තව ගොඩක් දේවල් විවෘත කරන්න තියෙනවා" යැයි පැවැසීය.
පක්ෂ නායකයන්ගේ සාකච්ජාව ආරම්භ වූයේ එම අතුරු කතාවෙන් අනතුරුවයි. ගාල්ලේදී පවත්වන "පෙරළියක ඇරැඹුම" රැලිය ගැන එහිදී මුලින්ම අවධානයට යොමු වූයේය. එහි සංවිධාන කටයුතු මහින්දානන්ද හා ඩලස් පැහැදිලි කළහ. මාර්තු 25 වැනිදා හබරාදුවේදී එම දෙවැනි රැලිය පැවැත්වෙයි. "දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමත් එම රැලියේ සටන් පාඨයක් කර ගන්න" මහින්ද යෝජනා කළේය.

"එදා කාන්තාවන්ට ලොකුම ප්‍රශ්නය වෙලා තිබුණෙ යුද්ධය. ඔබතුමා ඒ ශාපයෙන් කාන්තාවන් වගේම රටත් බේරාගත්තා. දැන් කුස්සියේ යුද්ධයත් ඊට වඩා ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා කාන්තාවෝ ආණ්ඩුවත් එක්ක ලොකු වෛරයකින් ඉන්නෙ" පවිත්‍රා කීවාය. මේ අතර ඩලස් හා බන්දුල ජීවන වියදම ඉහළ ගොස් ඇති අයුරු විග්‍රහා කළහ. "මාර්තු 8 කාන්තා දිනයේදී ආණ්ඩු විරෝධී කාන්තා උද්ඝෝෂණ රට පුරා පැවැත්විය යුතුයි" පවිත්‍රා යෝජනා කළාය.

"රට පුරා උද්ඝෝෂණ තියන්නෙ නැතුව අපි ඒ සේරම කොළඹ ගෙනැල්ලා කොළඹ ලොකු උද්ඝෝෂණයක් එදාට කරමු" මහින්ද යෝජනා කළේ එවැන්නකි. එය සියලු දෙනා අනුමත කළ අතර සංවිධාන කටයුතු පවිත්‍රාට භාර කෙරිණි. කාන්ති කොඩිකාර සහ අශෝකා ලංකාතිලකද එහි සංවිධාන කටයුතු වෙනුවෙන් නම් කරනු ලැබූහ.
ඒකාබද්ධ විපක්ෂය ඊළඟට අවධානය යොමු කළේ මැයි රැලිය සම්බන්ධයෙන්ය. ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂවල සහභාගිත්වයෙන් එක් මැයි රැලියක් පැවැත්වීමට මෙහිදී පක්ෂ නායකයෝ එකඟ වූහ. පක්ෂ නායකයන්ගෙන් සමන්විත සංවිධායක කමිටුවක්ද එහිදී පත්කරගනු ලැබූහ. මැයි දිනය සැමරුම සම්බන්ධයෙන් වෘත්තීය සමිති හා අනෙකුත් පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් හැදීමටද එහිදී තීරණය කරනු ලැබූහ.

"මැයි දින සැමරුමට අපි දැනටමත් ගෝල්ෆේස් පිට්ටනිය ඉල්ලා තිබෙනවා." මහාචාර්ය ජී.එල්. කීවේය. "මේ ආණ්ඩුව කරන වැඩවලට විරුද්ධ අය දාන්න දැන් ගෝල්ෆේස් පිට්ටනියත් මදි වීගෙන යන්නේ" මහින්ද කීවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අඟහරුවාදා සිංගප්පූරුවට ගියේය. ඒ පෞද්ගලික සංචාරයක් සඳහා සහභාගි වීමේ අරමුණෙන්ය. ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ, පෞද්ගලික ලේකම් උදිත් ලොකු බණ්ඩාරද ඊට එක් වූහ. පෞද්ගලික සංචාරයක් වුවද ඔහු එහිදී එරට ඉහළ පෙළේ දේශපාලනඥයන් ඇතුළු කිහිප දෙනකුද මුණගැසී සාකච්ඡා කරන බව කියැවේ.

අනුරාධපුර විලච්චිය ඇලපත්ගම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සමාජ මෙහෙවරෙහි සන්ධිස්ථානයකි. යුද්ධයේ ගොදුරක්ව පැවැතුණු ඒ ගම අතැර ජනතාව නොගියේ උන්වහන්සේ පිහිට වූ නිසාය. කුවේණියගේ පරපුරකින් පැවත එන බවට විශ්වාස කෙරෙන ඇලපත්ගම අංගම්පොර සටන් කලාවටද රජ කාලයේ සිට ප්‍රසිද්ධ ගමකි. නමුත් ත්‍රස්ත තර්ජන වන අලි තර්ජන හා නියං තත්ත්වයන් හේතුවෙන් දුෂ්කර තත්ත්වයට පත්වූ එම ගමෙහි නිවාස ව්‍යාපෘතියක් සෝභිත හිමි ගොඩනැංවීය. එය අවසන් කිරීමට පෙර උන් වහන්සේ අපවත් වූ නිසා ඒ බර කරට ගන්නේ කතානායක කරු ජයසූරියයි. එහි ප්‍රගතිය විමසීමට පසුගිය සති අන්තයේ කතානායකවරයා ඇලපත්ගමට ගියේය. සෝභිත හිමියන් නැතත් කතානායකවරයා පැමිණ තමන් ගැන සොයා බැලීම ගැන සංවේදී වූ ජනතාව කඳුළු පිරි දෙනෙතින් යුතුව එහි සතුට ප්‍රකාශ කළහ.

ඉන් අනතුරුව කතානායකවරයා පිටත්ව ගියේ ශ්‍රී ලංකා පිළිකා සරණ සංගමය විසින් මිහින්තලේ කුරුන්දකුලමේ ඉදිකර පවත්වාගෙන යන පිළිකා සරණ සත්කාරක පියස දෙවැනි අදියර විවෘත කිරීමේ උත්සවය සඳහාය. පිළිකා රෝගයෙන් අසරණ වූ රෝගීන් රැක බලා ගනිමින් ඔවුන්ට අවශ්‍ය ආහාර, ඔෟෂධ මෙන්ම හෙද සත්කාරද නොමිලේ සපයන එම මධ්‍යස්ථානය ආරම්භ කළේ තරුණ වෛද්‍යවරයකු වන සමාධි රාජපක්ෂගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්ය. පිළිකා රෝගයෙන් මිය ගිය තම දෙටු දියණිය වෙනුවෙන් තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් පිළිකා සරණ සංගමය සමඟ එක්ව පිහිටුවා ඇති පිළිකා සරණ භාරය තුළින් කටයුතු රැසක් මේ වන විටත් අරඹා ඇති බවත් 0112 -363211 අංකය ඔස්සේ අරඹා ඇති පිළිකා සරණ උපකාරක ඇමතුම් සේවයට මේ වන විටත් සැලකිය යුතු ඇමතුම් සංඛ්‍යාවක් දෛනිකව ලැබෙන බවත් එහිදී කතානායකවරයා සඳහන් කළේය.

රාමඤ්ඤ මහා නිකායේ අනු නායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අසනීප තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ අනුරාධපුර ආයුර්වේද මහ රෝහලේය. උන් වහන්සේ නායකයන් සමඟි කරවමින් එජාප ආණ්ඩුවක් පිහිටුවීමට ඉමහත් කාර්යභාරයක් කළ හිමි නමකි. තරමක් සුවය ලබා සිටි උන් වහන්සේ සමඟ පැයකට අධික කාලයක් කතාබහ කරමින් සිටි කතානායක කරු ජයසූරිය "මම ළඟදීම ඔබ වහන්සේ බලන්න ආයෙත් එනවා. එතකොට සම්පූර්ණ සුවය ලබා තිබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා" යැයි පැවැසීය.

කූඹි කැලේ කපා ආර්. අයි. ටී. අලස් විදුහල්පතිතුමන් ගොඩනැඟූ ඩී. එස්. සේනානායක විදුහලට වසර 50ක් සපිරීම නිසා උත්සව මාලාවක්ම සංවිධානය කොට තිබිණි. බදාදා පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ කතානායකවරයාය. "සේනාසී" අධ්‍යාපනික ප්‍රදර්ශනය එහිදී විවෘත කෙරුණේ ඔහු අතින්ය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ප්‍රංශයේ හිටපු අගමැතිවරයකු මෙන්ම එරට ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයාද වන ලෝරල් ෆේබිස් පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරිය හමු වූයේය. ඔහු වෙනුවෙන් සිංහල කෑම ඇතුළත් දිවා භෝජනයක් පිරිනැමීමටද කතානායකවරයා පියවර ගත්තේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තම සැමියා වෙනුවෙන් සංවිධානය කෙරුණු ගුණ සමරු කිහිපයකට සහභාගි වූවාය. ඒ වෙනුවෙන් ඇය අලුත් වැඩකට අතගසා ඇත. ඒ විජය ගැන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින්ය. එය ලබන සිකුරාදා බිෂොප් විද්‍යාල ශ්‍රවණාගාරයේදී ජනපති, අගමැති ඇතුළු පිරිසට ප්‍රදර්ශනය කිරීමටද සැලසුම් කර ඇත.

ඒ අතර ජාතික සංහිඳියා වැඩසටහන්වලද ඇය නිරතව සිටින්නීය. ඇයගේ පාලන කාලයේ ජාතික සමඟිය ගැන කියන්නට ගෙනෙන ලද සුදු නෙලුම වැනි වැඩසටහනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සඳහා ගෙන ඒමේ අවශ්‍යතාව ඇය එම සම්මන්ත්‍රණවලදී පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඇරැයුමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා සඳුදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත විය. 'ජාත්‍යන්තර වරායවල්, ගුවන් තොටුපොළවල් හැදුවට රෝහල්වල අඩුපාඩු නම් තවමත් එහෙමමයි' සජිත් කීවේය. දිස්ත්‍රික්කයේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී රෝග නිර්ණය පහසු කරගැනීම සඳහා එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන ලෙස සජිත් කළ ඉල්ලීමට වහා ප්‍රතිචාර දක්වමින් රාජිත කීවේ, 'රුපියල් ලකෂ 3,000ක් වටිනා අලුත්ම එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රයක් මම හම්බන්තොටට දෙන්නම්' කියාය. දිස්ත්‍රික්කයේ රෝහල්වල ප්‍රතිකාර කටයුතු මෙන්ම රෝග නිවාරණ කටයුතු ඉහළ නැංවීම සඳහා අරමුදලක් ස්ථාපනය කර එය නිරතුරුව අධීක්ෂණය කිරීමට සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපනය කෙරිණි. මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර අමාත්‍යවරුන් දෙපොළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා ප්‍රධානීන් සමඟ හම්බන්තොට මාගම් රුහුණු පුර පරිපාලන සංකීර්ණයේදී විශේෂ රැස්වීමකටද සහභාගි විය.

2010දී වියට්නාමයේ පැවැති 14 වැනි කනිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 3,000 බාධක දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් ඩබ්ලිව්. පී.ඊ.එල්. නිලක්ෂි ක්‍රීඩිකාවට තිස්සමහාරාම, දෙබරවැව, රෝහණපුර ඉදිකළ නව නිවෙස සජිත් අතින් විවෘත කෙරුණේ ඉකුත් සති අන්තයේදීය. දෙබරවැව ජාතික පාසලට වසර 80ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සව මාලාවට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ නිලක්ෂි ක්‍රීඩිකාවද දෙබරවැව ජාතික පාසලේ ආදි සිසුවියක වීම හේතුවෙනි. මෙම නිවෙසේ ඉදිකිරීම් කටයුතු නිම කර ගැනීම සඳහා සජිත් 'ජනසුවය' පදනමින් රුපියල් ලක්ෂ පහක් පරිත්‍යාග කර තිබූ අතර වෙනත් දානපතියන් විසින් ලබා දුන් මුදල් හා ද්‍රව්‍යමය ආධාරද ඇය වෙත යොමු කර දීමට කටයුතු කර තිබිණි. නිලක්ෂි පාසල් මට්ටමින්, අන්තර් පාඨශාලා, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් දිනාගත් පදක්කම් රාශියක් පරීක්ෂා කර බලමින් සිට සජිත් 'මේව මෙහෙම දාලා තියන්න එපා. ඔක්කොම ලස්සනට, පිළිවෙළට තියන්න පුළුවන් විදියේ සේප්පුවක් හදවන්න. මම ඒකට යන වියදම දෙන්නම්' කීවේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ සම්මේලනය පැවැත්වුණේ ඉරිදාය. පක්ෂ නායක හකීම්ට අවශ්‍ය අයුරින් තනතුරු වෙනස් කිරීම් සිදු කිරීමට එම සම්මේලනය උපයෝගි කර ගනු ලැබීය. මහ ලේකම් ධුරය දැරූ එම්. ටී. හසන් අලි වෙනුවට මන්සූර් කාදර් පත් කරනු ලැබීය. සභාපති ලෙස කටයුතු කළ බසීර් සේගුදාවුද් එම ධුරයෙන් ඉවත් කොට හසන් අලිට ලබා දීමට යෝජනා කළද හසන් අලි එය ප්‍රතික්ෂේප කිරීමට සූදානමින් සිටි නිසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එම සම්මේලනයට පවා සහභාගි වූයේ නැත. මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරුණු එම්. ටී. හසන් අලි ඉදිරියේදී හකීම්ට විරුද්ධව තව දුරටත් නැඟී සිටිනු ඇති බවත් එය මුස්ලිම් කොංග්‍රසයේ දෙකඩ වීමකට හේතු විය හැකි බවත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය සිකුරාදා (10දා) ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 50 වැනි සංවත්සර උත්සවය පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය. ආදි සිසුන් වූ උදය, ෂෙහාන්, චන්දිම ගමගේ, ජේ.සී. අලවතුවල ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ. සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ මුල්දින කවරය තැපැල් ඇමැති ජනාධිපතිවරයා අතට පත් කළේය. " මාව මතක් වෙන්න ඔබතුමා මේක තියාගන්න" ජනපතිවරයා එය උදයට තිළිණ කළේය. උදය සිනාමුසුව එය භාර ගනිද්දී යාබද අසුනේ සිටි මුජිබර් රහුමාන් "ඕක නොදුන්නත් උදය නිතරම සර්ව මතක් කරනවානේ" යි කීවේය.

බ්‍රහස්පතින්දා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ්, වාසු, ඩලස්, උදය, ප්‍රසන්න, අනුරුද්ධ යන මන්ත්‍රිවරු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මුණගැසුණහ. "ඔබතුමා කවදද අපිට පුංචි ඡන්දෙ දෙන්නෙ" වාසු විමසුවේය. "පිච් එක මට දුන්නොත් මැච් එක ගහන හැටි මම දන්නවා. තවම සීමා නිර්ණය ගැසට් එක ගහලා නැහැ. ඉතිං කොහොමද අපි මැතිවරණ තියන්නෙ" මහින්ද දේශප්‍රිය ප්‍රශ්නයකින්ම පිළිතුරු දුන්නේය. "දැන් සීමා නිර්ණය ගැටලු නැති පළාත් පාලන ආයතන 132ක් තියෙනවනේ. ඒවායේ මැතිවරණ පවත්වන්න කොමිසම කටයුතු නොකරන්නේ ඇයි...?" ඩලස් ප්‍රශ්න කළේය. "සීමා නිර්ණය අපට තිබෙන එක ගැටලුවක් විතරයි. ඊළඟට ඇමැතිතුමා ආයතන නිල වශයෙන් පිහිටුවන්න ඕනෑ. ඒ දෙකම කළත් පනතේ අඩුපාඩු 58ක් තිබෙනවා.

ඒවා නිවැරැදි කරන තුරු අපට ඡන්දයක් පවත්වන්න බෑ." මහින්ද දේශප්‍රිය කියද්දී "ඕක කියන්න මේ තරම් කල් බලා සිටියේ ඇයි..?" උදය, මහින්ද දේශප්‍රියගෙන් විමසුවේය. "නෑ අපි ජනපති ලේකම්, අගමැති ලේකම්, පළාත් පාලන ලේකම් යන සියලුම දෙනාට මේක ලිඛිතව දැනුම් දුන්නා. නමුත් ඒ සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ." ඔහු උත්තර දුන්නේය. "අවසානයේ අවශ්‍ය සංශෝධන කරන්නෙ මන්ත්‍රිවරු විදියට අපි. ඒ නිසා 225 දෙනාටම ඒ ලිපියේ පිටපතක් එවන්න. අපි ඒක කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කරන්නම්. මට දැන් තේරෙන විදියට මේ අවුරුද්දෙත් ඡන්දයක් නැහැ" උදය කීවේය.

"කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීම මත පළාත් සභා පනත සංශෝධනය කරලා ඒ ඡන්දයත් අවුරුද්දකින් කල් දාන්න හදනවා කියලා කියන්නේ ඇත්තද..?" ප්‍රසන්නද කතාබහට එක්විය. එවිට දේශප්‍රිය උදය දෙසට හැරෙමින් "මෙතුමා මැතිවරණ නීතිය ගැන විශාරදයෙක්නෙ. මම දන්නා විදියට නම් මැතිවරණ කල් දාන පනතකින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙනවා" කීවේය. "පුංචි ඡන්දය කල් දැමීම නීති විරෝධියි කියලා අධිකරණයට ගිහින් වසර එකහමාරක් වෙනවා. තවම නඩුව අහනවා. ඒ නිසා අවුරුද්දකින් කල් දැම්මොත් උසාවි ගිහින් වැඩක් නැහැ. නඩුව ඉවර වෙන්නත් කලින් අවුරුද්ද ඉවර වේවි." උදය කීවේය. "අශෝක පීරිස් කියල තියෙනවා ප්‍රධාන පක්ෂ දෙකටම මැතිවරණය පවත්වන්න වුවමනාවක් නෑ කියලා. ඔබ තුමාටත් කාගෙන් හරි බලපෑමක් තියෙනවාද..?" ඩලස් විමසුවේය. ඊට ශබ්ද නඟා සිනාසුණු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිශ්චල ගැඹුරු මුහුද යට ප්‍රචණ්ඩ දියවැල් නැතුවා නොවේ." යැයි උත්තර දුන්නේය.

"අපූරු පණිවුඩයක්. ඕක ඔබතුමා මාධ්‍ය හරහා ජනතාවට කියන්න. එතකොට කොමිසම විත්තිකාරයා කරනවා වෙනුවට අපිට ජනතා අධිකරණය ඉදිරියේ ආණ්ඩුව විත්තිකාරයා කරලා කොමිසම සාක්ෂිකාරයා කරන්න පුළුවන්" වාසු කීවේ එවැනි කතාවකි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ පැමිණියේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරයි. තමන්ට පැනනැඟී ඇති ගැටලු කිහිපයක් ගැන එහිදී මන්ත්‍රිවරයා කතානායක කරු ජයසූරියගේ අවධානය යොමු කළේය. ඒ දුරකතනය ඔස්සේය.

"කොහොමද මන්ත්‍රිතුමා පහසුකම් තිබෙනවාද?" කතානායකතුමා විමල්ගේ ඇමතුම පිළිගනිමින් විමසීය. "මොන පහසුකම්ද කතානායකතුමා, අපි ඉන්න වාට්ටුවේ 40කට වඩා සිරකරුවෝ ඉන්නවා. ඒ සියලු දෙනාටම තිබෙන්නේ එක ටොයිලට් එකක් විතරයි. කාටත් නාන්න තියෙන්නේ එක වතුර ටැංකියක් විතරයි."

එලෙස දෙදෙනා අතර සුව දුක් විමසීමෙන් පසුව පාර්ලිමේන්තු සැසිවාරයට අමතරව ආංශික කාරක සභා සහ වෙනත් කාරක සභා අවස්ථා සඳහා සහභාගි වීමට අවස්ථාව දෙන ලෙසද ඒවා පැවැත්වෙන දින හා වේලාවන් තමන්ට දන්වන ලෙසද ඔහු ඉල්ලුවේය. ඒ පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීන්දුවත් ගන්නා බව එහිදී කතානායකවරයා සඳහන් කොට තිබිණි.

පසුගිය ආණ්ඩුව 2007දී ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුමක් අස්සන් කළේය. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීම මතයි. දස වරසක් බල පැවැත්වෙන එම ගිවිසුම 2017දී අවසන් වීමට නියමිතව තිබේ. මේ ගිවිසුම මඟින් ඉන්දීය සාගර ප්‍රදේශයට පැමිණෙන ඇමෙරිකා නවුකා සහ යුද භටයන් සඳහා ආහාර, නවාතැන් ඇතුළු පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබේ. එම ගිවිසුමෙන් ඉවත් නොවී තවදුරටත් එය දිගු කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ජවිපෙට ආරංචියක් ලැබී තිබිණි. මෙරට විදේශ අමාත්‍යාංශයේ එම උත්සාහය ගැන විජිත හේරත්ට ලැබුණු තොරතුරු පිළිබඳ ජවිපෙ නායකයන්ගේ දැඩි අවධානයක් යොමු වී ඇත. "මේ ආරක්ෂක ගිවිසුම කාටත් හොරෙන් තමයි අස්සන් කළේ. ගිවිසුම ලැබුණට පස්සේ අපි ඒ ගැන පාර්ලිමේන්තුවේදී කතා කළා. ඒත් ගිවිසුම ගැන රාජපක්ෂ ආණ්ඩුව ගත්ත පියවර ඒ විදියටම කරගෙන ගියා. බටහිර ගැති ආණ්ඩුවක් කියලා ඒ ආණ්ඩුවට කියපු මේ ආණ්ඩුවේ අය දැන් ගිවිසුම අලුත් කරන්න හදනවා" විජිත හේරත් කීවේය. "ඒ ආණ්ඩුවේ හිටපු අයමනේ දැන් මේ ආණ්ඩුවෙත් ඉන්නේ. ඒ නිසා ක්‍රියා මාර්ගවල වෙනසක් නැහැ. කොහොම වුණත් මේ ගිවිසුම ගැන නැවතත් රටේ සංවාදයක් හදන්න ඕන" බිමල් රත්නායක කීවේය.

සයිටම් අර්බුදය පිළිබඳ ජවිපෙ ඉදිරි පෙළේ ක්‍රියාකාරිකයන්ගේ හමුවකදී අවධානයක් යොමු වූයේය. "ආණ්ඩුව දැන් බොරු කමිටු දාලා සයිටම් ප්‍රශ්නය වෙන පැත්තකට ගෙනයන්න හදනවා. අනෙක් එක තමයි ආණ්ඩුව එක එක දේවල් කරලා මේ ප්‍රශ්නය කල් දාන්න හදනවා. ජනාධිපති සෘජු උත්තරයක් දෙන්න බැරිව ඉන්නවා" වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. "ආණ්ඩුව නඩු තීන්දුව ගැන උද්දාමයෙන් කතා කරනවා. අනෙක් හැම නීතියකටම ගරු කරන ඇමැතිවරු සයිටම් නඩු තීන්දුවට දණගහලා ආචාර කරනවා, පෞද්ගලික අධ්‍යාපනය ගැන කතා කරන්න ආණ්ඩුවෙ බැරිකම නිසා" විජිත හේරත් කීවේය. "ආණ්ඩුවක් වුණාම දරුවන්ට අධ්‍යාපන පහසුකම් හදන්න ඕන. ජනතාවට සෞඛ්‍ය පහසුකම් දෙන්න ඕන. හැමදෙයක්ම පෞද්ගලික අංශය කරනවා නම් ආණ්ඩුවක් වුවමනා නැහැ" ලාල් කාන්ත කීවේ එවැනි කතාවකි.

මේ අතර බදාදා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයෝ් හමුවූහ. මේ අවස්ථාවට සිසු ජන ව්‍යාපාරය නියෝජනය කරමින් වෛදය පීඨ ක්‍රියාකාරී කමිටුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු නායකයන් සහභාගි වූ අතර ලාල් කාන්ත ඇතුළු වෘත්තීය සමිති නායකයන් පිරිසක් වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් එක් වූහ. "ආණ්ඩුව විවිධ දේවල් මේ වෙනුවෙන් කරන්න උත්සාහ කරනවා. නමුත් අපේ තීරණය තමයි සයිටම් නීති විරෝධී උපාධි ආයතනය වසා දමන්න ඕන කියන කාරණය. ඒ වගේම දැනට අධ්‍යාපනය හදාරන සයිටම් සිසුන්ට වෛද්‍ය සභාව හදන ක්‍රමවේදයක් මඟින් යම් සාධාරණයක් ඉටු විය යුතුය කියන කරුණ අපි අවධාරණය කරන්න ඕන" ලාල් කාන්ත පැහැදිලි කළේය. එමෙන්ම සයිටම් විරෝධී ජාතික ව්‍යාපාරයට වෘත්තීය සමිති ව්‍යාපාරය, සිසු සමිති ව්‍යාපාර සමඟ එක්වන බවද ඔහු කීවේය.

පසුගිය සතියේ මිනුවන්ගොඩ ආසනය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ උඩුගම්පොළ සතිපොළ සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග සහ රුවන් රණතුංග යන සහෝදරයන් අතර ඇතිව තිබුණු ගැටුම නිසාය.
මහින්ද රාජපක්ෂ මහතා එම සති අන්තයේ සිටියේ තංගල්ලේය. මාධ්‍ය හරහා ප්‍රසන්න - රුවන් ගැටුම දැනගත් වහාම මහින්ද දුරකතනයෙන් ප්‍රසන්න ඇමැතුවේය.
'මොකක්ද ප්‍රසන්න මේ ගැටුම' මහින්ද ඇසුවේය.

'මේ උඩුගම්පොළ සතිපොළ ගැනනේ සර්. මේක හැදුවේ ඔබතුමාගෙ කාලේ. මේක හදන්න මුල් වුණ අයගේ නම් සමරු ඵලකයෙන් කපා දාන්න හදනවා. ඒවට ඉඩ තියන්න බෑනේ සර්' ප්‍රසන්න ගැටුමට හේතු වූ කරුණු කාරණා මහින්දට පැහැදිලි කෙළේය.
'ඒකත් ඇත්ත තමයි. ඒ වුණත් මල්ලිට විරුද්ධව මොකුත් කියන්න යන්න එපා' මහින්ද ප්‍රසන්නට අවවාද කළේය.
'නෑ සර් මම මොකුත් කියන්නේ නෑ' ප්‍රසන්න කීවේය.

'ප්‍රසන්න ගැන කවුරුත් දන්නවනේ. මේවා හින්දා සහෝදරයෝ නැති කර ගන්න ඕනේ නෑ' මහින්ද උපදෙස් දුන්නේය.
'මට මල්ලි එක්ක ප්‍රශ්නයක් නෑ සර්. මට ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුව එක්ක' ප්‍රසන්න පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon