අධ්‍යාපනය; ඕස්ට්‍රේලියාව සහ අපි

  👤  3822 readers have read this article !
2017-02-17

දශක කිහිපයක දේශපාලනික දිවිය අගයමින් අගමැති රනිල් වික්‍රමසිංහට ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි. ඒ ඉකුත්දා යෙදුණු එතුමාගේ ඕස්ට්‍රේලියානු සංචාරයේදීය.කාරණය අනෙකකි.

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන අවස්ථාව අනාගතයේදී තවත් ඉහළ නැංවීමට එරට ආගමන සහ දේශසීමා ආරක්‍ෂක ඇමැතිවරයා පොරොන්දු වී ඇත. අධ්‍යාපනය සඳහා පැමිණෙන්නන්ට එංගලන්තය හා ඇමෙරිකාව ආගමන විගමන නීති ලිහිල් කර ඇති පරිදි ඕස්ට්‍රේලියාවද ඒ පිළිබඳ සැලකිලිමත් වීමේ ඇති වැදගත්කම එහිදී අගමැතිවරයා පෙන්වා දී තිබේ. දැනටත් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සැලකිය යුතු සංඛ්‍යාවක් එරට විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබමින් සිටිති. ලෝකයේ ජීවත් වීමට වඩාත් සුදුසු යැයි නම්කර ඇති රටවල් අතර ඕස්ට්‍රේලියාව තිබෙන්නේ මුල් තැනකය. ලක්‍ෂ ගණන් මුදල් වැයකර හෝ දරුවන්ව එරටට යැවීමට අපේ මවුපියන් වෙහෙසෙන්නේ ඒ නිසාය.

අගමැතිවරයා සිය සංචාරයේදී ප්‍රකාශ කර තිබුණේ දෙරට අතර පවතින මිත්‍රත්වය සිය වසකටත් වඩා පැරැණි බවය. ලංකාව අසීරු තත්ත්වයකට පත්වූ අවස්ථාවල ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවූ බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබිණි. ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කර තිබුණේද දෙරට ප්‍රතිවාදීන් ලෙස ක්‍රියා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී පමණක් බවය. ඕස්ට්‍රේලියානු රජයේ මේ හොඳ හිත මෙරට සුබ සිද්ධියට යොදා ගැනීමට පාලකයන් බුද්ධිමත් විය යුතුය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඕස්ට්‍රේලියාව අපට වැදගත් වන්නේ මෙරට අධ්‍යාපනය අර්බුදයකට මුහුණදී සිටින පසුබිමකය. විශ්වවිද්‍යාල මට්ටමේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන දැනටමත් මෙරට ක්‍රියාත්මක වන අතර පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරැඹීමටද යෝජනා වී ඇත. 80 දශකයේ මැද ආරම්භ කළ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය එල්ල වීම නිසා එය රජයට පවරා ගත් අතර මෑතකදී ආරම්භ කළ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයටද මේ වන විට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. එහෙත් ඇතැමුන් ප්‍රකාශ කරන්නේ ප්‍රමිතිගතව 'සයිටම්' පවත්වාගෙන යෑමට ඉඩදිය යුතු බවය.

ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ සම්බන්ධ වී විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමේ හැකියාව මෙරටට තිබේ. අගමැතිවරයාගේ ඕස්ට්‍රේලියා සංචාරයේදී එරට වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ අධ්‍යාපන ප්‍රවර්ධනයට ප්‍රාන්ත ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ලැබෙන බවය. දැනුම හා තාක්‍ෂණය සමඟ ආයෝජන ලංකාවට ලබාදෙන බව එහිදී අවධාරණය කර තිබිණි. විශේෂයෙන් උපාධි මට්ටමේ අධ්‍යාපන ආයතන ඇරැඹීම තුළින් ශ්‍රී ලංකාවේ අසල්වැසියන් වන බංග්ලාදේශය, නේපාලය වැනි රටවලටද අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට හැකිවනු ඇති බවට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන්ගේ විශ්වාසය පළ වී ඇත. ඉන්දියාව වැනි ආසියාතික රටවල විශ්වවිද්‍යාලවල ලංකාව ඇතුළු විදේශ රටවල ශිෂ්‍යයෝ ඉගෙනුම ලබමින් සිටිති. නේපාලය වැනි රටවල පවා පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන රැසක් පිහිටුවා තිබේ. පුළුල්ව සිතා බලා අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීමට කාලය පැමිණ ඇත.

50 දශකයේ අග භාගයේ විද්‍යාලංකාරය හා විදේ‍යාදය පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීමෙන් බණ්ඩාරනායක ආණ්ඩුව මෙරට සාමාන්‍ය පන්තියේ දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම ලබාදුන්නේය. එහෙත් විශ්වවිද්‍යාලවල ඉංගී්‍රසි ඇතුළු නව දැනුම ලබාගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර භාෂා හැදෑරීම අවශ්‍ය ප්‍රමුඛත්වය නොලැබීම නිසා මෙරට අධ්‍යාපනය බරපතළ පසුබෑමකට ලක්විය. ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ එක්වී විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන අරඹන්නේ නම්, ඒ රටවල දායකත්වය මෙරට පවතින අධ්‍යාපන ආයතනවලට ලබා ගන්නේ නම්, එය අනාගතයට යහපතක් මිස අයහපතක් වන්නේ නැත. නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනය ලැබීමේ නිදහසද අප ආරක්‍ෂා කරගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon