සයිටම්, හාල් ජරමර අස්සේ ව්‍යවස්ථා බරකරත්ත

  👤  5225 readers have read this article !
2017-02-16

සියලු දෙනාම පාහේ මේ දිනවල එල්ලී සිටින්නේ, 'සයිටම්' වලිගයේය. එම වලිගයේ එල්ලී 'දෙව්ලොව' යෑම කාගෙ කාගේත් බලාපොරොත්තුව වී ඇති බව නම් ඉතා පැහැදිලිය.

'අලි මදිවට හරක්' යැයි කීවා සේ 'සයිටම් අවුල' මදිවාට දැන් 'හාල් අවුලක්'ද ඇතිවී ඇත.

ආණ්ඩුව හාල්වලට මිල පාලනයක් ගෙන ආවද දැන් ඒ පාලන මිලට තබා වැඩි මිලටත් මිලදී ගන්නට හාල් වෙළෙඳපොළේ ඇත්තේ නැත. 'මුන්ට දෙයියන්ගේ හාල් කැවිලාදැයි' මිනිසුන් අහන්නේ, ආණ්ඩුවේ ලොකු ලොක්කන් 'හාල් අඩු මිලට අද නොවේ හෙට' යනාදී ලෙසින් කියන අරුම පුදුම කතා අහලාය.

'සයිටම්' හා 'දෙයියන්ගේ හාල්' ජවනිකා ප්‍රේක්‍ෂක අවධානය හිමිකර ගෙන ඇත්තේ මඳ පමණින් නම්, ඒ හිස්තැන පුරවන්නට දැන් රන්ජන්ගේ 'උඹේ කටෙත් පස් - මගේ කටෙත් පස්' බයිස්කෝප් එක පෙන්වන්නට පටන් ගෙන ඇත.

මේ 'ජරමර අස්සේ' දැන් 'බරකරත්ත'ද එන්න පටන් ගෙන තිබේ.

ඒ පසුගිය 7 වැනිදා රාත්‍රියේ විදේශ ඇමැති මංගල සමරවීරගේ නිල නිවෙසේ සිටය.

විදේශ මාධ්‍ය වාර්තාකරුවන් පමණක් එදින රාත්‍රියේ තම නිල නිවෙසට කැඳවූ මංගල, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊට අදාළ ජනමත විචාරණය, යුද අපරාධ සෙවීමේ අධිකරණ යාන්ත්‍රණය හා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම ගැන බොහෝ කරුණු පවසන්නට විය.

'ඡ්යනපඥඵඵ ව්ඥඹඵ ඉඥපමඪජඥ' හි බී.කේ. බාලචන්ද්‍රන් මෙන්ම, 'ෆිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පතට දරීෂා බැස්ටියන් එය වාර්තා කර තිබුණේ මේ අයුරින්ය.

'යුද අපරාධ පිළිබඳ සොයා බලන වගවීමක් සහිත අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම සඳහාද සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සඳහාද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවේ ප්‍රමුඛත්වය ලැබී තිබෙනවා!'

මීට අමතරව ඉහත කී වාර්තාවන්හි සඳහන් වන්නේ 'නව ව්‍යවස්ථාව ගෙන ඒම ජනාධිපති සිරිසේනගේ මැතිවරණ පොරොන්දුවක්' වශයෙන්ද මංගල අවධාරණය කළ බවය.
'නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ 2/3ක ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරණයකට ඉදිරිපත් කරන' බවද ඔහු මෙහිදී පවසා ඇත. 'ආණ්ඩුවේ මෙම සහජීවනය ඇති කිරීමේ වැඩපිළිවෙළට ශ්‍රී ල.නි.ප.යේ හා ජ.වි.පෙ. සහාය හිමිවන බවත් මංගල ඉමහත් විශ්වාසයෙන් යුතුව මෙහිලා අවධාරණය කර ඇත.

මේ ගෙවී යන්නේ 2017 පෙබරවාරි මැදය. මේ මස අග වන විට මංගල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට යෑමට නියමිතය. 2015 ඔක්තෝබර් මස පැවැති එම කවුන්සිලයේ සැසි වාරයේදී, ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන එන ලද යෝජනාවට, ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එකඟ වූයේ කිසිදු සංශෝධනයක් හෝ ඊට ඉදිරිපත් නොකරමිනි.

මේ වසරේ ඔක්තෝබර් වන විට එකඟ වූ පරිදි වැඩ ටික කරන්නට දැන් ශ්‍රී ලංකා රජය බැඳීමකට ලක්ව ඇත. මංගල මේ විදෙස් මාධ්‍යකරුවන් අමතා ලොවටම ඇසෙන්නට කියන්නේ ඒ වැඩ ටික ඉතා ඉක්මනින් අකුරටම ඉටු කරන බවය. 'සයිටම් වළ' සහ 'හාල් මිල' මදිවට රන්ජන්ගේ 'උඹේ කටෙත් පස් - මගේ කටෙත් පස්' 'බයිස්කෝප්' එකේ දර්ශන දිහා කට ඇරගෙන බලන් ඉන්න රටකට, මංගලගේ මේ අනතුර එතරම් දැනුණේ නැත.

විදේශ ඇමැති මංගල සිදුකළ මේ ප්‍රකාශ ගැන පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේ 'වාහන අවභාවිතයට අනුබල දුන්නේය' යන චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශය. ඊට පිළිතුරු දුන් සභානායක කිරිඇල්ල කීවේ මංගල ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුවේ නිල මතය වන බවය.
නව ව්‍යවස්ථාව ඉදිරියේදී ගෙන එන බවත්, එය ජනමත විමසුමකට ලක්කරන බවත් සභානායක කිරිඇල්ල තවදුරටත් අවධාරණය කළේය.

විදේශ ඇමැති මංගල 2015 ඔක්තෝබර් මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඇමෙරිකාව ගෙන ආ යෝජනාව ගෙඩිය පිටින් වැලඳ ගත්තේ, අගමැති රනිල්ගේ උපදෙස් මත මිස ජනාධිපති සිරිසේනගේ උපදෙස් මත නොවේ.

මංගල ජිනීවාවලදී එකඟ වුණේ, දේශීය හා විදේශීය විනිසුරන් විසින් යුද අපරාධ ගැන නඩු අසන දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවන්නටය. එහෙත් ජනාධිපති සිරිසේන පසුව කියා සිටියේ විදෙස් විනිසුරුවරුන් නඩු අහන යාන්ත්‍රණයකට තමන් එකඟ නොවන බවය. එමඟින් හෙළි වූයේ මංගල 2015දී ඇමෙරිකානු යෝජනාවට එකඟවී ඇත්තේ රාජ්‍ය නායකයා වූ ජනාධිපති සිරිසේන දැනුවත් කර නොමැතිව බවය. ඔහු උපදෙස් ලබාගෙන ඇත්තේ අගමැති රනිල්ගෙන් පමණක් වන බවය.

අගමැති රනිල් දෙමළ බෙදුම්වාදීන් පිනවන්නට දෙවතාවක් හිතන නායකයෙක් නොවේය.

2002 අප්‍රේල් නිකුත් වූ ඊඪථඥඵ සඟරාවේ පළවී තිබූ රනිල්ගේ මේ ප්‍රකාශය කියැවූ විට එය හොඳටම තේරුම් ගත හැකිය.

'දේශපාලන විසඳුමක් සඳහා වන මාර්ගය ඉතාම දුෂ්කරයි. සාකච්ඡාවල බිඳ වැටීමක් වැනි දේකුත් සිද්ධ වෙන්න පුළුවන්. ඇමෙරිකාව කියන්නෙත් ඔය කතාව තමයි. අපේ රජය මුල ඉඳලම මේ ගැටලුවලට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියන ස්ථිර වචනයේ හිටියේ. අපට ඹ්.ඊ.ඊ.ඡ්. විරෝධී සන්නිය හැදුණේ නෑ. අපි හැම තිස්සේම කිව්වේ අපි ඹ්.ඊ.ඊ.ඡ්. එකත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් මේවා බේරුමක් කර ගන්න ඕනෑ කියන එකයි. අපි හැම විටම ප්‍රමුඛතාවක් දුන්නේ ඒ කාරණයටයි. සමහර විට ඔවුන් අපිව විශ්වාස කරන්නේ ඒ නිසා වෙන්න ඇති.

මේ යුද්දේ දිනන්න බැරි එකක් කියලා මම කිව්වේ 1986දී. ඔබ ලංකාවේ ඉතිහාසය අරගෙන බැලුවොත් වන්නිය කැලෑව මැද්දෙන් හමුදාවක් අවසාන වතාට ගිහින් තියෙන්නේ මීට අවුරුදු 500කට විතර ඉස්සර'

(පරිවර්තනය - බලය 2002 මැයි - පිටුව 20)

මෙහෙව් රනිල්ගෙන් උපදෙස් ගෙන ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවට අත ඉස්සූ මංගල දැන් හිරවී සිටින්නේ ජනාධිපති සිරිසේනගේ ජනවරමේ උගුලේය.

2015 ජනවාරි 8 තමන් ලබාගත් ජනවරම වෙනුවෙන් සිරිසේන ජනාධිපතිවරයා මහජනතාව හමුවේ තැබූ මැතිවරණ ප්‍රකාශනයේ, කරනවා යැයි කියන ව්‍යවස්ථා වෙනස ගැන කියන්නේ මෙසේය.

'පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික වෙමි.'

(මෛත්‍රි පාලනයක් - ස්ථාවර රටක්)

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්ති මොනවාද?

1978 සම්මත කරන ලද ව්‍යවස්ථාවේ 83 වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත සඳහන් විධිවිධාන සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය වේ.

1. රාජ්‍යයේ නම සඳහන් වන 1 වැනි වගන්තිය
2. රාජ්‍යයේ ඒකීයභාවය සඳහන් 2 වැනි වගන්තිය
3. ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත් එය අන්සතු කළ නොහැකි බවත් සඳහන් 3 වැනි වගන්තිය
4. ජාතික කොඩිය සඳහන් 6 වැනි වගන්තිය
5. ජාතික ගීය සඳහන් 7 වැනි වගන්තිය
6. ජනරජයේ ජාතික දිනය සඳහන් 8 වැනි වගන්තිය
7. ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බව සඳහන් 9 වැනි වගන්තිය
8. සිතීමේ නිදහස, හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස පිළිබඳ සඳහන් 10 වැනි වගන්තිය
9. වධහිංසාවලින් නිදහස් බව සඳහන් 11 වැනි වගන්තිය
10. ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන 30 (2) වන වගන්තිය
11. පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන 62 (2) වැනි වගන්තිය
12. ඉහත වගන්ති සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන 83 වැනි වගන්තිය
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බැඳී සිටින්නේ ජනාධිපතිවරණයේදී තමන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයට අදාළව තමන් ලද ජනවරමටය. එම ජනවරම ලැබී ඇත්තේ ඉහත දැක්වූ ජනමත විමසුමට භාජන කිරීම ව්‍යවස්ථාව තුළ අනිවාර්ය කර තිබෙන වගන්තිවලට අත නොතබන අන්දමේ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන්ය.

එහෙත් මංගලලාද, කිරිඇල්ලලාද ආණ්ඩුවේ නිල මතය ලෙස පවසන්නේ ජනමත විමසුමකට භාජන කරන අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවය. එමඟින් කියන්නේ ගෙන එනු ලබන නව ව්‍යවස්ථාව මඟින් ඉහත දැක්වූ ජනමත විමසුම අනිවාර්ය කර තිබෙන වගන්ති 12න් කිහිපයකටම හෝ සියල්ලටම වැඩේ දීමට නියමිතව තිබෙන බවය.

සම්මුතිවාදී ආණ්ඩුව යනුවෙන් නම් පටබැන්දද මේ ආණ්ඩුවේ බෙහෙතකටවත් සොයා ගැනීමට නැත්තේ මේ සම්මුතිවාදයමය. ඒ බව තවත් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ මෛත්‍රි පාර්ශ්වය නියෝජනය කරන අමාත්‍ය මහින්ද සමරසිංහ කියන මේ කතාව විමසූ විටය.

'අපි බොහොම පැහැදිලිව කියන්නේ, ෆෙඩරල් ක්‍රමයක් අපි පිළිගන්න සූදානම් නෑ. කිසිසේත්ම ඒකට අපි අත උස්සන්නේ නෑ. ඒකීය රටක් හැටියට ව්‍යවස්ථාවේ තියෙන වචනවලට විකල්ප වචන ගේන්නත් බෑ. බුද්ධාගමට දීලා තියෙන තැන කිසිසේත් වෙනස් කරන්න බෑ බලය බෙදාහැරීම ගැන කතා කිරීමේදී ජනමත විචාරණයකට යන්න අපි සූදානම් නෑ. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම ඒක තියෙනවා. ජනමත විචාරණයකට නොයා තුනෙන් දෙකකින් අපිට ව්‍යවස්ථා සංශෝධනයකට යන්න පුළුවන් නම් ඒකට යනවා කියලයි කියන්නේ.'

මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ඒ ගැන තවදුරටත් පැහැදිලි කරන්නේ මෙසේය.

'1987දී 13 සංශෝධනය ශේ්‍රෂ්ඨාධිකරණයට ගෙන ආවාම ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නවදෙනාගෙන් හතර දෙනෙකුම කීවේ මේක ව්‍යවස්ථාවට පටහැනියි කියලා. එක ඡන්දයකින් තමයි ඒක බේරුණේ. එක විනිසුරුවරයෙක් කීවේ විධායක ජනාධිපති ක්‍රමය තියෙන නිසා තමයි මේක ෆෙඩරල් නොවෙන්නේ කියලා. ඒවා දන්න නිසයි අපි ෆෙඩරල් ක්‍රමයට පාර කපන ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියන්නේ...'

(2017.02.01 - රිවිර)
ජනාධිපති මෛත්‍රිපාලගේ පිලේ සිටින මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පවසන කරුණු අනුව 13 වැනි සංශෝධනයෙන්ද රටේ ඒකීයභාවය බේරී ඇත්තේ අනූනවයයි දශම නවයෙන්ය. විනිසුරු 9 දෙනාගෙන් 4 දෙනෙක්ම 13 වැනි සංශෝධනය මඟින් රාජ්‍යයේ ඒකීයභාවය අහිමි වන බව කියද්දී එසේ නොවන බව කී ඉතිරි විනිසුරුවරු 05 දෙනාගෙන් එක් අයකු පවසන්නේ විධායක ජනාධිපති බලය පවතින නිසා ඒකීයභාවය අහිමි නොවන බවය. එදා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති බලයට සංශෝධනය ගෙන ආවේ නම් ඒ පස්වැනි විනිසුරුවරයා පමණක් නොව, විනිසුරුවරු 5 දෙනාම පවසනු ඇත්තේ එමඟින් ඒකීයභාවය අහෝසි කෙරී ඇති බවය.

විධායක ජනාධිපති බලයද අද 13 ගෙන එන ලද කාලයේ තිබූ තත්ත්වයෙන් ඇත්තේ නැත. 17 වැනි හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධන මඟින් ජනාධිපතිවරයා සතු විධායක බලයේ ඇතැම් බලතල දැන් ඇත්තේ වෙනත් අධිකාරයන් අතට ගොස්ය. යෝජිත නව ව්‍යවස්ථාව මඟින් තවදුරටත් විධායක ජනාධිපති බලය දුර්වල කරන ලදහොත්, රට අමුතුවෙන් ෆෙඩරල් කරන්නට අවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු සාමාජික ලෙස හැඳින්වෙන එජාප පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න පවසන කරුණු අනුවද වෙන්න යන්නේ කුමක්දැයි තේරුම්ගත හැකිය.

'මේ ව්‍යවස්ථාව 13 වැනි සංශෝධනයේ ඇත්දැකීම් ඇතිව එයට වඩා ඉදිරියට ගිය ව්‍යවස්ථාවක්'

(ජයම්පති වික්‍රමරත්න - රිවිර 2017.01.17)

13න් දශමයක් හෝ එහාට යෑම යනු රට ෆෙඩරල් වීමය. ආණ්ඩුකාරයා මඟින් තම බලය පළාත් සභාවට ඉහළින් යෙදවීමට ඇති හැකියාව ජනාධිපතිගෙන් ඉවත් කළ විට, සමගාමී ලැයිස්තුවද අහෝසි කළ විට 'ඒකීය' යන වචනය ව්‍යවස්ථාවේ නමට පමණක් ඇතුළත්ව තිබුණත්, ඇතුළතින් ඒ ව්‍යවස්ථාව ෆෙඩරල්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ අද සිටින ප්‍රවීණයකු ලෙස පිළිගැනෙන, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා රටක් කඩා වෙනම රටක් බිහිවිය හැකි අන්දම පෙන්වා දෙන්නේ මෙසේය.
'වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට පාදක වන ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සම්ප්‍රදායිකව සැලකෙන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක පැවැත්මත්, එහි ජීවත්වන ජනගහනයක් තිබීමත් ඒ භූමි ප්‍රදේශය පාලනය කරන ආණ්ඩුවක් පැවැතීමත්, වෙනත් රාජ්‍ය සමඟ සබඳතාවන් පවත්වා ගැනීමට සමත් වීමත් යන කාරණා වේ.'
(රාජ්‍යයන්හි අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ 1933 මොන්ටෙව්ඩියෝ ප්‍රඥප්තියේ 1 වැනි වගන්තියෙහි මේ කරුණු අන්තර්ගතව ඇත.)
නීතිඥ මනෝහර තවදුරටත් ඒ ගැන පවසන්නේ මෙසේය.
'බෙදුම්වාදීන් සිංහල හා මුස්ලිම් ජනයා උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල පදිංචි කිරීමට විරුද්ධ වන්නෙත් පුළුල් බලතල සහිත ප්‍රාන්ත ආණ්ඩුවක් ස්ථාපනය කිරීමට උත්සාහ ගන්නෙත්, ජාත්‍යන්තර ප්‍රජාවන් සමඟ නිරන්තර සබඳතාවන් ගොඩනඟා ගන්නෙත්, එකී ජාත්‍යන්තර ප්‍රජාව හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අභියෝග කරන්නෙත් ස්වකීය බෙදුම්වාදී අරමුණු සඵල කර ගැනීමටය.'
(මනෝහර ආර්. ද සිල්වා, බෙදුම්වාදීන්ගේ උපායමාර්ග හා ව්‍යවස්ථා සංශෝධන)
'ටික ටික කෑවොත් තල් ගසක් වුණත් ගිල දැමිය හැකිය' කියන්නේ දෙමළ ප්‍රස්ථා පිරුළකින්ය. පොලිස් හා ඉඩම් බලතල ව්‍යවස්ථාවේ සඳහන් අයුරින් ක්‍රියාත්මක වුවහොත් 13 යටතේ වුව රට ෆෙඩරල් කිරීම අසීරු නැත. ජනාධිපති බලයද දුර්වල කළහොත්, අමුතු ජනමත විචාරණ නැතිවම වැඩේ දිය හැකිය. බෙදුම්වාදීන් ඒකීය රාජ්‍ය 'තල් ගස' කමින් සිටින්නේ ටික ටිකය. ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිවරයා පවසන පරිදි 13න් එහාට යෑම යනු තල් ගස එහෙමපිටින්ම ගිල දැමීමය.
ගැලරියේ අත්පොළොසන් නැඟෙන්නේ 'සයිටම්' වලටය. නැතිනම් 'දෙවියන්ගේ හාල්' වලටය. එහෙමත් නැතිනම් 'උඹේ කටෙත් පස් - මගේ කටෙත් පස්' නම් වූ රන්ජන්ගේ බයිස්කෝප්වලටය. විපක්‍ෂය කරන්නේ ගැලරිය චූන් කරමින් වැල යන අතට මැස්ස ගැසීමය.
එහෙත්, කවුරු කවුරුත් වටහාගත යුතුව ඇත්තේ 'කොකා තමන්ට ඕනෑ මාළුවා එනතුරු මාළුවාගෙන් මාළුවා දෙස බලමින් සාගින්නේ සිටින' බවය. මංගල ජිනීවා යන්නේ 'කොකා'ට ඉවසීමෙන් සිට මාළුවා අල්ලා ගැනීමට අවශ්‍ය කාලය ලබා ගැනීමටය. අනුන්ගේ තනුවලට පාදය තබන විපක්‍ෂයට මේ බව නොතේරීම ලොකුම අවුලය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon