ජනපති සිවිල් සංවිධානවලට සපථ කළේ මොනවාද?

  👤  4145 readers have read this article !
2017-02-12

පාර්ලිමේන්තු සැසිවාරය නිසා ගෙවී ගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. අඟහරුවාදා එම රැස්වීම දීර්ඝ වේලාවක් පැවැත්විණි. කැබිනට් සන්දේශ 30කට පමණ එහිදී අනුමැතිය හිමි විය. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට පාර්ලිමේන්තුව පසුගිය අගෝස්තු 23දා අනුමත කරන ලද පනතට සංශෝධනයක් එක් කෙරිණි. කිසියම් පුද්ගලයකු හෝ සංවිධානයක් සමඟ ගිවිසුමකට එළැඹීමේ හැකියාව ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය පළ විය. අගමැතිවරයාගේ යෝජනාවක් වූ එය සංශෝධන කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍ය අකිලගේ යෝජනාවක් අනුව ගුරු උපදේශකවරුන්ගේ සේවය විධිමත් කිරීමට "ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය" යනුවෙන් නව සේවාවක් ස්ථාපිත කිරීමට නියමිතය. එමෙන්ම විදුහල්පතිවරුන්ගේ සේවය අගයමින් ඔවුන්ට ලබා දෙන දීමනා වැඩි කිරීමටද තීරණය කෙරිණි. විදුහල්පතිවරයකුට ගෙවන රුපියල් 750ක දීමනාව 6500 දක්වාද 600 දීමනාව 4000 දක්වාද 450 දීමනාව 3000 දක්වාද 300 දීමනාව 2500 දක්වාද ඉහළ නැංවීමට තීරණය කෙරිණි.

විෂය අංක 12 ලෙස මල් වගාව වැඩිදියුණු කිරීමේ යෝජනාවක් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම ඉදිරිපත් කළේය. "ඕක කාන්තාවන් සම්බන්ධ කරගෙන විතරද කරන්න බලාපොරොත්තු වෙන්නේ" ජනාධිපතිවරයා විමසීය. එහෙත් එම විහිළුව ඇමැතිවරයාට තේරුණේ නැත. ඒ නිසා ජනාධිපතිවරයා "මේකට තෝරා ගන්න වයස් සීමාවක් තියෙනවද?" යි යළි විමසුවේය. "නෑ ඕනෑම වයසක අයට සහභාගි වෙන්න පුළුවන්" ඇමැතිවරයා කීවේය.

සහල් මිල ඉහළ යෑම සම්බන්ධවද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු විය. මිල අඩු කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ග පිළිබඳ ජනාධිපතිවරයාට එතරම් පැහැදීමක් තිබුණේ නැත. "මේ වී මෝල් හිමියන්ට කිසිම බුරුලක් දෙන්න එපා. මගේ සහෝදරයාට මෝල් තිබුණා කියලා මට හාල් කිලෝවක්වත් දීලා නැහැ. හාල් හංගන අයට විරුද්ධව කටයුතු කරන්න ඕන. පාඩු වුණත් රජයෙන් හරි හාල් ගෙනල්ලා ජනතාවට දෙන්න ඕන" ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම සහල් සඳහා ස්ථාවර මිලක් පැනවීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

නව බදු පනතක් ගෙන ඒමට රවි කරුණානායක ගෙන ආ යෝජනාවක් නිසා කැබිනට් මණ්ඩලය තුළ උස් හ¾ඩින් අදහස් ප්‍රකාශ වන්නට විය.

"අලුත් බදු පනතක් ගේනව නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ක කතාකරන්න. එහෙම නොකර කලිනුත් බදු පනතක් ගෙනල්ලා විරෝධතා නිසා අකුළා ගන්න සිදු වුණා. මේවට එකඟ වෙන්න බැහැ. විපක්ෂයට ආයුධ දෙන්න එපා". දයාසිරි විරෝධය පළ කළේය. "ඔයාගෙ අයියත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්. තේරුමක් නැතුව විරුද්ධ වෙන්න එපා" රවි කීවේය. "අයියා මට කෝල් කරලා බනිනවා ඔයාලගේ ආණ්ඩුවේ ඇමැති සාකච්ඡාවකටවත් එන්නෙ නැහැ කියලා. ඒ අයත් එක්ක සාකච්ඡා කරලා මේව ගේන්න" දයාසිරි තරයේ කියා සිටියේය. මෙම සංවාදයට අගමැතිවරයාටද මැදිහත් වීමට සිදු වුණේය. "හරි එහෙම නම් සති දෙකක් කල් දෙන්න. අපි මේක සාකච්ඡා කරලා ගෙන එමු." ඔහු කීවේය.

නැවත පදිංචි කිරීමේ බළකායක් ගොඩනැඟීමට ආණ්ඩුව කටයුතු කළේය. ඊට බදුර්දීන්, ස්වාමිනාදන් ඇතුළු පිරිසක් ඇතුළත් වෙති. "එම කමිටුවට මාත් ඇතුළු කරගන්න" හකීම් යෝජනා කළේය. ඊට රිෂාඩ් බදුර්දීන් විරෝධය පළ කළේය. "ඔයා නුවර කෙනෙක්. ඔයා මේ කමිටුවට අවශ්‍ය නැහැ." ඔහු කීවේය.

මාර්ග ඉදිකිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය ගැනීම සඳහා වූ යෝජනාවක්ද රවි ගෙන ආවේය. එහෙත් ඊට බැංකු විෂය අයත් කබීර් හෂීම් විරුද්ධ වූයේය. "මේක පොඩි මිනිසුන්ගේ සතෙන් සතේ එකතු කරලා ගොඩනඟපු ආයතනයක්. මේකෙ සල්ලි නිකන් ලියවිල්ලකට නිදහස් කරන්න දෙන්න බැහැ." කබීර් කීවේය. මේ ගැන තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලයට නොහැකි විය. තව තවත් විරෝධතා නැඟී එන්නට වූයෙන් එය ඉදිරියේදී සාකච්ඡාවට ගන්නා බව අගමැතිවරයා දැනුම් දුන්නේය.

ජනවාරි 8දා පෙරළියට සම්බන්ධ වූ සිවිල් සංවිධාන 49ක නියෝජිතයෝ පිරිසක් බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා මුණ ගැසුණහ. ආණ්ඩුව නියෝජනය කරමින් අර්ජුනද ඊට එක්ව සිටියේය. දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, තිලක් කාරියවසම් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ. නව ආණ්ඩු ක්‍රමය ඉක්මන් කිරීම, බලය බෙදීම ඔස්සේ සංහිඳියාව ඇති කිරීම, නව මැතිවරණ ක්‍රමය, විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම ආදී කරුණු රැසක් ගැන එහිදී සිවිල් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කළහ. "මම දීපු පොරොන්දු ඉටු කරන බව නැවතත් සපථ කරනවා. ඒකෙන් කිසි ලෙසකින්වත් මම ඉවත් වන්නේ නැහැ" එහිදී ජනාධිපතිවරයා කීවේය.

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලවේගයෙන් සම්මත කොට ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සිවිල් සංවිධාන ඉස්මතු කරද්දී "මම ඒ නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ලබන සතියේ ඉල්ලා තිබෙනවා. ඒ අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ස¼දහා අවශ්‍ය පියවර නොපමාව ගන්නවා" ජනාධිපතිවරයා අවධාරණය කළේය. අල්ලස් දූෂණ වංචා සම්බන්ධව ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ඉස්මතු විය. "පොලිස්පතිතුමාටත්, එෆ්. සී අයි. ඩී. එකටත් මේ සඳහා උපදෙස් දී තිබෙනවා" ජනාධිපතිවරයා කියද්දී සිවිල් සංවිධාන නියෝජිතයන් ඒ පිළිබඳව සිදු කෙරෙන කාර්යයන් පිළිබඳ සෑහීමට පත්වන බව සඳහන් කළහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉරිදා පොළොන්නරුවේ ලක්ෂ උයන පිහිටි සිය මහ ගෙදරට ගියේය. එහිදී ගම්මුන් සමඟ සුපුරුදු ළෙන්ගතුකමින් කතා බහ කළ ඔහු දවල් කෑමට ඥාතියකුගේ නිවෙසකට ගියේය. එම නිවෙස වට කර අලුත් තාප්පයක් බැඳ තිබිණි. "අපේ තාත්තලා ඒ දවස්වල වැටට ඉන්දුවෙත් ඔෟෂධ වශයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් ශාක. දැන් ඒවා වෙනස් වෙලා" එය දුටු ජනාධිපතිවරයා හැඟීම්බරව කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ත්‍රිත්ව විද්‍යාලයේ ත්‍යාග ප්‍රදාන උත්සවයකට යෑමට සූදානමින් බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයට පැමිණියේය. එහිදී ඔහුට එජාප මැති ඇමැතිවරු කිහිප දෙනකුද මුණගැසුණේය.

'මේ රටේ ජනමාධ්‍යවලටයි විපක්ෂයටයි සයිටම් නඩු තීන්දුව ඇර දැන් වෙන කිසිම දෙයක් නැහැ. මේ තීන්දුව විශ්වවිද්‍යාලයට යන්න නොලැබෙන ලක්ෂ ගණනක සිසුන්ගේ ජයක්. මේක බිහිකරපු මහින්ද රාජපක්ෂලත් දැන් ඒක හොඳ නැහැ කියලා කියනවා. මහින්දගේ මොළේ ‍ෙදාස්තර කෙනකුට පෙන්නන්න කියලා එස්.බී. හොඳ උත්තරයක් දුන්නා' කිරිඇල්ල කීවේය. 'වෛද්‍ය සභාව උසාවි තීන්දුවට හිස නවනවාද පටු දේශපාලන උද්ඝෝෂණවලට යට වෙනවද කියලා රටම බලා ඉන්නවා.' දයා ගමගේ සඳහන් කළේය. 'වෛද්‍ය සභාවේ සභාපති කාලෙ ෆොන්සේකයි මමයි පැය ගණනක් කතා කළා. ඕස්ට්‍රේලියාවේ උපාධිය ගන්න ලක්ෂ 600ක් වැය වෙනවා. ලංකාවේ 96යි. සයිටම් ළමයින්ට නම්‍යශීලී වෙලා ප්‍රශ්නය විස¼දා ගනිමු කිව්වා. කාලෝ ඒකට කැමැති වුණේ නැහැ. දැන් සයිටම් ළමයි උසාවි ගිහින් ඒක දිනා ගත්තා.' කිරිඇල්ල යළිත් කීවේය. 'කොතලාවල ආරක්ෂක පීඨයෙන් සල්ලිවලට වෛද්‍ය උපාධිය දෙනවට කවුරුවත් කෑගහන්නෙ නැහැ. ඒ කාලේ ගෝඨට බයේ ‍ෙදාස්තරලයි දේශපාලකයොයි ජනමාධ්‍යයි සද්ද කළේ නැහැ' දයා ගමගේ තවත් කතාවක් මතු කළේය. 'මේ රටේ හැම උපාධියක්ම පෞද්ගලික අංශය දෙනවා. රටේ ආර්ථිකය දුර්වල නිසා විභාග පාස් වෙන හැමෝටම විශ්වවිද්‍යාල වරම් දෙන්න බැරි එකේ අනෙක් ළමයි ඔක්කොම පොල් කඩන්න යන්න කියලද මේ විරුද්ධ වෙන අය කියන්නෙ.' වජිර කීවේය. 'වෛද්‍ය සභාවේ තීන්දුව රටේ නීතියට අභියෝග නොකරන එකක් විය යුතුයි කියල අපි හිතනවා. ඇමැතිවරයාට හා ආණ්ඩුවට වෛද්‍ය සභාවේ තීන්දුව වගේම රටේ නීතිය හා උසාවි නියෝග ක්‍රියාත්මක කිරීමේ වගකීමක් තිබෙනවා. නැත්නම් උසාවියෙන් ආණ්ඩුවට ප්‍රශ්න ඒවි! අගමැතිවරයා අවධාරණය කළේය.

'රන්ජන්ට ඉඩම් අමාත්‍යාංශය වෙනුවෙන් පාර්ලිමේතුවේ උත්තර දීමට අවස්ථාව දීමෙන් ස්ථාවර නියෝගවලට හානි වෙනවාද' වජිර රනිල්ගෙන් විමසුවේය. 'නෑ කතානායකතුමා එතැනදී නියෝගයක් නෙවෙයි තීරණයක් දුන්නෙ. අපි ඒකට හිස නැමුවා.' රනිල් උත්තර දුන්නේය. 'පත්තරවල වැරැදි ප්‍රවෘත්ති පළ කළාම ටීවීවලත් ඒවා උදේට කියවනවා. පත්තරවල නිවැරැදි කළාම ටීවීවලත් නිවැරැදි කරන්න කියලා අගමැතිතුමා කළ කතාව ඉතා වැදගත්.' පී. හැරිසන් කීවේය. 'පර්පචුවල් ට්‍රෙෂරීස් එකට මහ බැංකුව සීමා දැම්මා කියලා මහ බැංකු අධිපති කියා තිබෙනවා. ඒක මාස දෙක තුනකට කලින් ගත් තීන්දුවක්. මහ බැංකුව පිළුණු ප්‍රවෘත්ති එළියට දැමීම පුදුමයක්' රවි කීවේය.

හිටපු ජනපති මහින්ද නිදහස් දින උත්සව රැසකටම සහභාගි වූයේය. ඒ කුරුණෑගලදීය. එදින සවස ඔහු පුත්තලම බලා පිටත්ව ගියේ සනත් නිශාන්ත මන්ත්‍රිවරයාගේ ඉල්ලීමකට අනුවයි. මහින්ද සමඟ බිරිය ශිරන්ති සහ පුතුන් තිදෙනාද එක්ව සිටියහ. ඔවුන් එහි ගියේ නිවාඩුවක් ගත කරනු රිසියෙන්ය. අනන්තය හෝටලය ඔවුන්ගේ නවාතැන්පොළ වූයේය.

නිවාඩුවකට පැමිණියද හිටපු ජනපතිවරයාට පසුවදා උදෑසන පුත්තලමේ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් මුණ ගැසීමට සිතුණේය. සනත් නිශාන්ත මන්ත්‍රිවරයා හතර අතට කතා කරමින් ඊට නියෝජිතයන් සහභාගි කරවීමට ඉමහත් පරිශ්‍රමයක් දැරුවේය. වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ රට හමුවේ ඇති අභියෝග පිළිබඳ එම නියෝජිතයෝ තම නායකයා දැනුවත් කළහ. මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ඕනෑම පාර්ශ්වයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට තමන් සූදානම් බව ඔවුහු අවධාරණය කළහ.

එදින සවස පසුගියදා රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියංකර ජයරත්න පැමිණ මහින්ද හමුවිය. "අපිත් එක්ක එකතු වෙලා බැහැල වැඩ කරමු." මහින්ද පියංකරට ආරාධනා කළේය.

"අලුතෙන් එන්න දෙයක් නෑ සර්. මම කොහොමත් සර් එක්කනේ" පියංකර කීවේය. ඒකත් ඇත්ත තමයි පියංකර කොහොමත් අපිත් එක්කනෙ ඉන්නේ." මහින්ද කීවේ එවැනි කතාවකි. "මම ආණ්ඩුවෙන් එළියට බැහැපු වෙලාවෙ ඉඳලා මට ගහනවා. මගේ විතරක් නෙවෙයි මගේ දුව ගැනත් දැන් හොයන්න පටන් අරන්. මගේ නිවැරැදි බව ඔප්පුවෙන නිසා මම නම් ඒකට කැමැතියි." පියංකර සඳහන් කළේය. "කොහොමත් මේ ආණ්ඩුව පළිගන්නට උපන් ආණ්ඩුවක්. ඔයාට ගහන්නෙ මුල්ම වෙඩිමුරය තියලා ආණ්ඩුවෙන් එළියට බැහැපු නිසයි. සැලෙන්න එපා. ඕනෑ දේකට අපි ඉන්නවා. අපිට ඕව අලුත් දේවල් නෙවෙයි." මහින්ද එසේ පියංකර දිරිමත් කළේය.

පියංකර පිටත්ව ගිය පසු මහින්ද හමුවට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ නියොමාල් පෙරේරා පැමිණ මහින්ද හමුවූයේය. මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ ඔහු පෙනී සිටියේ මෛත්‍රි වාදියකු ලෙසින්ය. මාස කිහිපයක් තිස්සේ නිහඬව සිටි ඔහුට මහින්ද "දැන් ඔහොම හිටියා ඇති නියොමාල්, අපි එකතු වෙලා වැඩ කරමු" යැයි ආරාධනා කළේය. මහින්ද එසේ කියන විට වටපිට බැලූ නියොමාල් සනත් නිශාන්ත නිසා එකපාරටම මහින්දට යමක් කියන්නට අදිමදි කරන්නට විය. නියොමාල් සහ සනත් නිශාන්ත එක පක්ෂයේ සිටියද සිත් අමනාපයෙන් සිටි දෙදෙනෙක් වූහ. "නියොමාල් ඇමැතිතුමා එනවට මගේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ සර්. එතුමාට ඕන ආසනයකින් තරග කරන්න දෙන්නත් මම ලෑස්තියි." නියොමාල් අපහසුතාවට පත්ව සිටින බව තේරුම්ගත් සනත් නිශාන්ත කොළ එළියක් එසේ දැල්වීය.
"ඔන්න ඕවා අල්ලලා දාමු. මුලින් අපි ආණ්ඩුවක් පිහිටවමු"

සිනාසෙමින් එසේ පැවසූ මහින්ද ඔවුන් දෙදෙනා සමඟ දේශපාලන සාකච්ඡාවක නිරත වූහ. සඳුදා පුත්තලමේ සිටි තවත් ඇමැතිවරයකු වූ දයාශි්‍රත තිසේරා පැමිණ මහින්ද හමුවූයේය. ඔහු පසුගිය කාලයේ වැඩ කළේ මෛත්‍රි වෙනුවෙන්ය.

සඳුදා මහින්ද මදුරන්කුලිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වූයේය. ඒ වයඹ පළාත් සභා මන්ත්‍රි මොහොමඩ් රියාස්ගේ සහෝදරයාගේය. ඔහු කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක්ද වෙයි.

විවාහ උත්සවය පැවැති රියාස්ගේ නිවෙසට ඒ වනවිට මුස්ලිම් ජාතිකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

"සර් තමයි අපට හැමදාම උදවු කළේ. අපේ ගම්වල පාරවල්, ලයිට් සේරොම තියෙන්නෙ සර් නිසා. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ අපට කන්නවත් නැහැ." ඔවුහු මහින්දට මැසිවිලි නඟන්නට වූහ.

එදින කල්පිටියේ මොහොට්ටිපුරම් දූපතට ගිය මහින්ද රාත්‍රි නතර වූයේ ඩච් බේ රිසෝට් හිය. පසුදා කල්පිටියේ ඩොල්පින් මසුන් නැරඹීමට මහින්ද බෝට්ටුවකින් පිටත්ව ගියේය. මහින්ද කල්පිටියට පැමිණ ඇති බව දැනගත් එහි ධීවර පිරිසක් ධීවර අමාත්‍යාංශයෙන් තමන්ට අසාධාරණකම් සිදුවන බව සැල කර සිටියහ. "සර් අපිට ඉස්සරහට මේ රස්සාව කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. ලයිලා සහ සුරුක්කු දැල්වලින් මාළු අල්ලන්න අවසර දෙන්න යනවා"

"එහෙම වුණොත් ඩොල්ෆින් මාළු නැතිවම යයි. මේ අය ඩයිනමයිට් දාලා මාළු අල්ලනවා", "මේක ලොකු ප්‍රශ්නයක් සර්. අපට මේක විසඳලා දෙන්න" ධීවරයෝ එවැනි දුක්ගැනවිලි රැසක්ම මහින්දට ඉදිරිපත් කළහ. "මම ඕක දන්නවා. අපේ කාලයේ නම් ඕවා පාලනය කරලයි තිබුණේ. මම මේ ගැන මොනව හරි කරන්නම්" මහින්ද පොරොන්දු වූයේය.

"මේ ගැන හොයාල බලලා පාර්ලිමේන්තුවේ කතා කරන්න. ආණ්ඩුවට පීඩනේ දාලා කොහොම හරි මේ අසාධාරණේ නතර කරන්න." මහින්ද සනත් නිශාන්තට කීවේය.
"සර් ආවෙ නිවාඩුවට. හැබැයි යන්නෙ පුත්තලමෙ සේරොම දේශපාලන නායකයො ටික සාක්කුවේ දමාගෙන" පුත්තලම ගමන නිමා වෙත්ම සනත් නිශාන්ත කියත්ම මහින්ද සිනාසෙන්නට විය.

නවම් පොහෝදා මහින්ද සිටියේ තංගල්ල කාල්ටන් නිවෙසේ පැවැති ධර්ම දේශනය ඇතුළු ආගමික කටයුතුවලට සහභාගි වෙමින්ය. සවස වටරග්ගොඩ පන්සලේ බෝධිඝරය විවෘත කිරීමටද නියමිතව සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ ගොවි බලවේගය "ප්‍රගතිශීලී ගොවිජන වෘත්තීය සංගමය" ලෙස ලියාපදිංචි කිරීමට මහින්ද උපදෙස් දී තිබිණි. එස්.එම්. චන්ද්‍රසේන ඊට මුල්වී සිටියි. ඒ අනුව ඔවුහු දිස්ත්‍රික් මට්ටමින් ගොවි වෘත්තීය සමිති ගොඩනඟමින් සිටිති. පළමු ගොවි සම්මේලනය මාර්තු 19 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. පෙරළියක ඇරඹුම ජනහමු මාලාවේ මීළඟ අදියර මාර්තු 11 වැනිදා අම්බලන්තොටදී පැවැත්වීමට දැන් සිටම නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කටයුතු කරමින් සිටියි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවක් සඳුදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර එම සාකච්ඡාව සිදුවිය. ඒ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදීය. එහෙත් එජාප - ශ්‍රී ලනිප විරසකය නිසා මාස ගණනාවක් තිස්සේ පක්ෂ දෙක වෙන වෙනම එම සාකච්ඡාව පැවැත්වූහ. ශ්‍රී ලනිප ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම රැස්වූයේ නිමල් සිරිපාලගේ ප්‍රධානත්වයෙන්ය. මේ විරසකය දිගින් දිගටම පවත්වා ගැනීම නුසුදුසු නිසා දෙපිරිසම එකතු කොට සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එළැඹුණු පාර්ලිමේන්තු සතියේදී කටයුතු කළ යුතු ආකාරය එහි න්‍යාය පත්‍රය විය. එහෙත් ජනාධිපතිවරයා සිටි නිසා රටේ පවතින සහල් ප්‍රශ්නය, සමෘද්ධි දීමනා ගෙවීම්වලට අදාළ ප්‍රශ්නය ආදී කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු විය. පක්ෂ දෙකම ආණ්ඩුව තුළ එක ස්ථාවරයක සිටීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. ආණ්ඩුව විවේචනය කිරීමේදී සැලකිලිමත් විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේ එසේ නොකළහොත් එහි වාසිය විපක්ෂය ගනු ඇති බව පවසමින්ය. පක්ෂ දෙකේ සාමූහිකව රැස්වීම් තිබ්බම අපි දෙගොල්ලටම විනයක් ඇති වේවි! නැත්නම් ටී.වී. කැමරා දැක්කම කටට එන එන එක කියවීමත් නතර වේවි' වජිර අබේවර්ධන කීවේය.

මහ ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙහිදී එජාප මැති ඇමැතිලාගෙන් පළ වූයේ දැඩි විරෝධයකි. ඔවුන් සාමූහික ආණ්ඩුවක් බව අමතක කොට කටයුතු කරන බවට එජාපය චෝදනා කළේය. 'පළාත් සභාවලට වැඩි බලතල එජාපය ඉල්ලනවා. ඒ අය බලතල පාවිච්චි කරනවා. මීළඟ මැතිවරණයෙන් එජාප මහ ඇමැතිවරයකු පත් වුණොත් අද එජාපය කරන චෝදනාව මට ශ්‍රී ලනිප අයගෙනුත් අහන්න වෙනවා.' ජනාධිපතිවරයා කීවේය. නැඟෙනහිර මහ ඇමැති නසීර් අහමඩ් "උද්දච්ච" හැසිරීමකින් යුතු බවට මෙහිදී රිෂාඩ් බදුර්දීන් චෝදනා කළේය. ඔහු සමඟ සහයෝගයෙන් කටයුතු කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද ඔහු ප්‍රකාශ කෙළේය. 'දැන් තමයි නියම සම්මුතිවාදය පටන් ගන්නෙ' රවි කීවේය. 'මේ වගේ රැස්වීමක් හැම මාසයේම තියෙනවා නම් හොඳයි' දයා ගමගේ කීවේය. 'අවශ්‍ය වෙලාවට විතරක් තියමු. නැත්නම් පක්ෂ දෙකේ දේශපාලන රහස් කලවම් වෙලා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්' ඊට රනිල් උත්තර දුන්නේ එහෙමයි.

කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පැතිර යන ආරංචි පිළිබඳ මැති ඇමැතිවරු රැසක් ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළහ. එවැන්නක් ළඟදී සිදු නොවන බව ජනාධිපතිවරයා ඔවුන්ට ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර දෙසතියකට ඉහතදී පැවැති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වී තිබුණේ නැත. ආර්ථික කළමනාකරණය, සයිටම් ප්‍රශ්නය, එජාප මැති ඇමැතිවරුන්ට අධිකරණ ක්‍රියාදාමයන් අනුගමනය නොකිරීම ආදී හේතුන් මත ඇමැතිවරුන්ගේ විෂය පථ වෙනස් කිරීම කෙරෙහි එහිදී සාකච්ඡා වී තිබිණි. එහෙම ඉවත් කොට පත් කිරීමට වෙනත් අය නොමැති බවත් එය ආණ්ඩුව පිහිටුවීමේදී ගත් තීරණයන්ට පටහැනි බවත් මෙහිදී එජාප පාර්ශ්වයේ අදහස වී තිබිණි. ඒ අනුව ඇමැති මණ්ඩලයේ කිහිප දෙනකුගේ විෂයන් සංශෝධනය මාස කිහිපයකට පමණක් කල් දමා ඇත. ජනාධිපතිවරයා කැමැති වෙලාවක කැබිනට් සංශෝධනයක් සිදු විය හැකි බවට මහින්ද අමරවීර ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව පසුගිය සතියේ රාත්‍රියක අමරවීර ඇමැතූ මෛත්‍රි කැබිනට් සංශෝධනයක් කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් ඒ පිළිබඳ පළවන අදහස් නිවැරැදි කරන ලෙසත් දැන්වීය. ඒ අනුව බදාදා උතුරේ ධීවරයන් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් දැන්ම කැබිනට් සංශෝධනයක් සිදු නොවනු ඇති බව අමරවීර ප්‍රකාශ කළේය.

දිවුලපිටිය පස් කැපීම, සයිටම් ප්‍රශ්නය ආදිය උණුසුම් මාතෘකා වූ නිසා පසුගිය සතිය පුරාම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදායන් රැක ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට කතානායක කරු ජයසූරියට සිදු වුණේය. ඒ පිළිබඳ ජනමාධ්‍යවලද පුළුල් අවධානයකට ලක් විය. ස්ථාවර නියෝග ආරක්ෂා කරන ලෙස සභාවට පැවැසීම අගමැතිට හෝ සභානායකවරයාට නියෝග පැනවීමක් හෝ අවවාද කිරීමක් නොවන බව ඔහු බදාදා නිවේදනය කළේය.

ඉන්දියාව හා චීනය කලාපයේ නැඟී එන බලවතුන්ය. ඒ නිසාම දෙරටම එකිනෙකා කෙරේ අනුගමනය කරන්නේ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් නොවේ. ගෙවුණු සතියේ එම දෙරටම උත්සව දෙකක් මෙරටදී සංවිධානය කොට තිබිණි. එම උත්සව දෙකේම ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ කතානායකවරයාය.

ඉන්දියානු අධ්‍යාපන ප්‍රදර්ශනයක් දෙදිනක් පුරා කොළඹදී පැවැත්විණි. එම ප්‍රදර්ශනය විවෘත කරමින් කතානායකවරයා ඉන්දියාව ශ්‍රී ලාංකේය සිසුන්ට එම රටේ අධ්‍යාපන අවස්ථා විවෘත කිරීම අගය කළ අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ වෙනුවෙන් එම සහාය වැදගත් වන බවද කීවේය.

ශ්‍රී ලංකා - චීන මිතුදමේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන තානාපති කාර්යාලය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කළ උත්සවයක් බදාදා ආකේඩ් පරිශ්‍රයේදී පැවැත්විණි. එම පරිශ්‍රය ඒකාලෝක කළ විචිත්‍රවත් චීන ලන්තෑරුම් ප්‍රදර්ශනය විවෘත කිරීමට කතානායකවරයා එක් වූයේ චම්පික රණවක ඇමැතිවරයා සමඟින්ය. චීන තානාපතිවරයාද ඊට එක් විය.

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවට එක් වූ පළමු නේපාල බිලියනපතියා වන බිනෝද් චෞද්රි ලියන ලද කෘතියක් පසුගියදා කොළඹදී එළිදැක්විණි. අගමැති රනිල්, විජයදාස, ජී. එල්. ඇතුළු පිරිසක් සහභාගි වූ එහිදී සිය දිගුකාලීන මිතුරකු වූ බිනෝද්ට කතානායකවරයා සුබ පැතුවේ ඔහු ලෝකයේ සාර්ථක වීම අගය කරමින්ය.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ්, ශ්‍රී ලංකාවේ කැනේඩියා මහ කොමසාරිස් ශෙලී වයිටින් මහත්මිය ආදී විදෙස් නියෝජිතයන් කිහිප දෙනෙක්ම හමුවී සාකච්ඡා කිරීමටද කතානායකවරයාට අවස්ථාව ලැබුණේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සංහිඳියා කාර්යාංශයේ කටයුතුවල නිරත වී සිටියි. සංහිඳියාව ගැන බෞද්ධ දහම් පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සඳුදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඇය බදාදා සවස කොටුව පිහිටි සංහිඳියා කාර්යාංශයේදී විදේශ තනාපතිවරු මුණ ගැසුණාය. ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීමට තමන් ගන්නා උත්සාහය ඇය එහිදී ඉදිරිපත් කළාය. ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් එම අවස්ථාවට තානාපතිවරු සහභාගි වී සිටියහ. උතුරු - නැඟෙනහිර කරන සංවර්ධන කාර්යයන් පිළිබඳවද එහිදී හිටපු ජනාධිපතිනිය තනාපතිවරුන් දැනුවත් කළාය.

නිවාස විෂය පිළිබඳ විද්වත් ජාතික උපදේශක සභාවේ පළමු රැස්වීම බදාදා පෙරවරුවේ සජිත් ප්‍රේමදාස නිවාස ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූහ. ඩබ්ලිව්. ඩී. අයිලප්පෙරුම, සුසිල් සිරිවර්ධන ඇතුළු 18 දෙනෙක් ඊට සහභාගි වූහ. නාගරීකරණය වෙමින් පවතින යුගයක ඇති විය යුතු නිවාසකරණය පිළිබඳ නව දැක්ම, ජනාවාස නිර්මාණයේදී භූගෝලීය හා ආර්ථික ප්‍රවණතා මත පදනම්ව වැඩසටහන් සම්පාදනය, විදෙස් රටවල උසස් තාක්ෂණය මෙරටට උචිත පරිදි යොදා ගැනීම, යල්පැනගිය තාක්ෂණය වෙනුවට ජනතාව අනුමත කරන උචිත තාක්ෂණ ක්‍රමවේද වෙත යොමු වීම හා ඉඩම් සකසුරුවම් ලෙස භාවිත කළ හැකි පරිදි සහාධිපත්‍ය නිවාස ක්‍රම නගරයෙන් බැහැරට රැගෙන යෑම වැනි කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

නිවාස 70කින් සමන්විතව ඉදිකිරීමට යෝජිත 'ඩී.එස්. සේනානායක ගම' සඳහා මුල්ගල තැබීම සජිත් අතින් සිදුවූයේ පසුගිය 69 වැනි නිදහස් දිනයේය. එය ලබන වසරේ 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් විවෘත කිරීමට අපේක්ෂා කෙරේ. 'ඩී.එස්. සේනානායක මැතිතුමා පළමු නිදහස් සටන දිනා දුන්නා. තිස් වසරක යුද්ධය නිමා කරමින් රණවිරුවන් සටන දිනා දුන්නා. දැන් අපි දුප්පත්කමින් රට මුදා ගැනීමේ තුන්වැනි නිදහස් සටනට අවතීර්ණ වී සිටිනවා' එහිදී සජිත් ප්‍රේමදාස කීවේය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නඩු තීන්දුවක් ලබාදීමෙන් අනතුරුව එම ආයතනයට තිබූ විරෝධය තව තවත් උත්සන්න වීමට පටන්ගත්තේය. සයිටම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළැකී සිටි බොහෝ පිරිසක් ඒ සම්බන්ධයෙන් කතා කරන්නට පටන්ගත්හ.

ඒ පිළිබඳව සියලුම සංවිධාන සමඟ සාකච්ඡා කිරීමටද කටයුතු කරන බව ජවිපෙ කියා සිටියේය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව පසුගිය සඳුදා ජවිපෙ නායක අනුර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී වෛද්‍ය සංගමයේ නියෝජිතයන් හමුවූහ. මීට පෙර වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තම සංගමය මැදිහත් වූ බවද ඇතැම් අවස්ථාවලදී නඩුවලට පවා පෙනී සිටි බවද වෛද්‍ය සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. 'අභියාචනාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක්කරන්න පෙත්සමක් ගොනු කළ යුතුව තිබෙනවා. අපිට දැනගන්න තියෙන විදියට සමහර නීතිඥයන්ට සයිටම් ආයතනයෙන් මුදල් ලැබිලා තියෙනවා. මේ නඩුවට පෙනී ඉන්න එපා කියලා' වෛද්‍ය සංගමයේ නියෝජිතයෙක් කියා සිටියේය. කෙසේ වෙනත් දෙපාර්ශ්වයම ඒකාබද්ධව කරන අරගලයක් සඳහා ඉදිරියේදී සාකච්ඡා කිරීමට එකඟව එදින සාකච්ඡාව අවසන් විය.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක්ද පසුගිය 07 වැනිදා ජවිපෙ මන්ත්‍රි බිමල් රත්නායක හමුවී සයිටම් ආයතනය සම්බන්ධයෙන් විරෝධතා ක්‍රියාමාර්ගවලට එක්වන බව දන්වා සිටියේය. 'ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු 1,600ක් පමණ ඉන්නවා. එයින් 1,100ක් පමණ අපේ සංගමය නියෝජනය කරනවා. ඇත්තටම අපි ඉතාම කම්පනයට පත්වුණා මේ තීන්දුව නිසා. වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන තීරණය කරන වෛද්‍ය සභාවේ මතය ආණ්ඩුව පිළිගන්නේ නැත්නම් අපේ රටේ තත්ත්වය මොකක්ද?' විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියේය.

ලංකා ඛනිජවැලි සමාගමේ සභාපති ලෙස කටයුතු කළේ අශෝක පීරිස්ය. ලංකා ඛනිජවැලි සමාගම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනයක් සඳහා අශෝක පීරිස් කැඳවා තිබිණි. එහිදී කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඛනිජවැලි සමාගමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය මඟින් 'කැණීම් බලපත්‍රයක් දීම ප්‍රතික්ෂේප කොට ඇති බවය. නමුත් පෞද්ගලික ආයතනයක් සඳහා කැණීම් බලපත්‍රයක් ලබාදී ඇති බවද අනාවරණය විය. කැණීම් බලපත්‍රයක් නොමැති නම් ඛනිජවැලි සංස්ථාව පාඩු ලබනවා. එතකොට ආණ්ඩුව පාඩු ලබන ආයතනයක් කියලා මේක විකුණලා දාන්න පුළුවන්' අශෝක පීරිස් කමිටුවට පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් පසුගිය 7 වැනිදා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්, පරිසර අමාත්‍යාංශය, භූ විද්‍යා පතල් කාර්යාංශයේ සභාපති, ඛනිජවැලි සමාගමේ නිසි බලධාරියා සහ මහාචාර්ය මණ්ඩලයක් ඇතුළු පිරිස සමඟ කෝප් කමිටුව ඛනිජවැලි සමාගම දියුණු කිරීමේ වැඩසටහනක් සකස් කිරීමට කරුණු සාකච්ඡා කළහ. ඒ අනුව රජය යටතේ ඛනිජවැලි සමාගම දියුණු කිරීමේ වැඩපිළිවෙළ මාසයක් ඇතුළත සකස් කිරීම එකඟතාවකට පැමිණ තිබිණි. කෙසේ වෙතත් අශෝක පීරිස් නැවත ඛනිජවැලි සමාගමට සේවයට වාර්තා කරන විට ඔහු වෙනුවට ඊට බලධාරියෙක් පත්කොට ඇති බව දැනගන්නට ලැබිණි. නව නිසි බලධාරියා ලෙස මෛත්‍රි ගුණරත්න පත්කර ඇති බව පසුව වාර්තා විය.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය අඟහරුවාදා ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස් විය.
කාලීන දේශපාලන කරුණු මෙන්ම 2017 ජනවාරි 10දා සිට රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින තම පක්ෂ නායකයා වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳවද එහිදී සාකච්ඡාවට භාජන විය.

"සිදුවුණා කියලා තවමත් ඔප්පු වෙලා නැති වාහන අවභාවිතයකට අනුබල දීම කියන චෝදනාවක් වර නඟලා ඉදිරිපත් කරලා දැන් මාසයකට අධික කාලයක් විමල් වීරවංශ සහෝදරයා සිරගත කරගෙන ඉන්නවා. අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවක් කරලා ඒ ගනුදෙනුවෙන් එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදු කරපු පාඩුව රුපියල් බිලියන 159ක් බව විගණකාධිපතිවරයගේ වාර්තාවේ සඳහන්. ඒ පාඩුව දිනෙන් දින පැටව් ගහනවා. අද වන විට ඉන් සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 1000කට අධිකයි.

ඒ විතරක් නෙවෙයි 2016 අගෝස්තු 1දා මහ බැංකුව නිකුත් කළ අභ්‍යන්තර විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසිවලට පිටින් රුපියල් හය කෝටි අසූ ලක්ෂයක් වියදම් කරලා තිබෙනවා කියා. ඒත් ඔහුත් ඔහුට උපදෙස් දුන් අගමැතිවරයාත් නිදැල්ලේ සිටිනවා. ඒ වගේම, විමල් සහෝදරයා වාහන අවභාවිතාවකට අනුබල දී තිබුණා නම් පළමුව අත්අඩංගුවට ගත යුතුව ඇත්තේ, ඒ කියන විදියට වාහන අවභාවිත සිදු කරපු දැන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන එවකට නිවාස අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ එවකට ඉන්ජිනේරු සංස්ථාවේ සභාපති ධුරය දැරූ වත්මන් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ආශු මාරසිංහ යන අයවයි.

මේ අනුව දැන් රට හමුවේ ඉතාමත් පැහැදිලියි. විමල් වීරවංශ සහෝදරයා අත්අඩංගුවට ගත්තේ දේශපාලන වශයෙන් පළිගැනීමට කියලා නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර පෙන්වා දුන්නේය.

"මේ තත්ත්වය දැන් රටම දන්නවා. ඒ නිසා 'දේශපාලන දඩයම නවතනු! විමල් වීරවංශ වහා නිදහස් කරනු! කියන සටන් පාඨය සමඟ විශාල ජනතාවක් එක්ව සිටිනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්, ජාතික සංවිධානවල නායකයන් පමණක් නෙවෙයි. විමල් සහෝදරයාට ආදරය කරන විශාල පිරිසක් පාරට බහින්න සූදානමින් ඉන්නවා. ඔවුන්ගේ ඉල්ලීම්වලට කන් දීලා අපට පොදු ජන විරෝධතා මාලාවක් සංවිධානය කිරීමට සිදුව තිබෙනවා" නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක සඳහන් කළේය.
ඒ අනුව අද (12දා) ගම්පහ සීදුව නගරයෙන් ඇරඹෙන "දේශපාලන දඩයම නවතනු! - විමල් වීරවංශ වහා නිදහස් කරනු!" යන පොදු ජන විරෝධතා මාලාව 14දා නුවරඑළිය නගරයටත් 15දා කඩුවෙල නගරයටත් 16දා අනුරාධපුර නගරයටත් 17දා රත්නපුරය නගරයටත් 18දා නාත්තණ්ඩිය නගරයටත් විහිද යනු ඇත. එසේම 18දා සීනිගම දේවාලයේ මිරිස් ඇඹරීමක් හා පොල් ගැසීමක් ගාලු ජනතාව සංවිධානය කර ඇත්තේ විමල් සිරගත කොට ඇති ආණ්ඩුවට එරෙහිවය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා පැවැත්වුණේ දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්ය. ඒ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 4දීය. ගාල්ලේදී සහ අම්බලන්තොටදී පැවැත්වෙන පෙරළියක ඇරඹුම ජනහමු පිළිබඳ මෙන්ම රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය ගැනද මෙහිදී සාකච්ඡා විය.
"පස් ජාවාරම හින්දා 48 දෙනෙක් මැරිලා තියෙනවා කියලා මුලින්ම කිව්වේ මම. ඒ මැරුණු අය සේරම මිනුවන්ගොඩ ආසනේ මිනිස්සු. අපි මේකෙ බරපතළකම දැනන් හිටියා. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ ගැන කියලා බලපත්‍ර දීම නතර කරලයි තිබුණේ. බොරුවට අපට චෝදනා කළත් දැන් ආයෙත් බලපත්‍ර හෝල් සේල් ගාණට දෙන්න අරන් තියෙන්නෙත් මේ ආණ්ඩුවමයි." ප්‍රසන්න රණතුංග කීවේය.

"මේවා ගැන සේරම ලියවිලි අපි ගාව තිබෙනවා. රන්ජන්ට ඕන වෙලා තියෙන්නේ ගුවන් තොටුපළේ පස් කොන්ත්‍රාත්තුව එයාගෙ කෙනකුට දෙන්න. ඒ නිසයි මේවා කරන්නේ" ඉන්දික අනුරුද්ධ කීවේය. "පස් කැපිලි ගැන බොරුවට කෑගැහුවට රන්ජන් රාමනායක කියන්නෙ දිස්ත්‍රික්කයේ තියා ආසනේවත් හතරමායිම් අඳුරන්නේ නැති කෙනෙක්. අඩුගානේ එයා තමන් ඉන්න ආණ්ඩුවේ අමාත්‍යාංශ තියෙන තැනවත් දන්නේ නැහැ. දැක්කනේ එයා මලික් සමරවික්‍රමට ලියුම යවලා තියෙන්නේ සිරිකොතට. අපි දැනගෙන හිටියේ නැහැ සිරිකොතේ අමාත්‍යාංශයක් තියෙනව කියලා"
ප්‍රසන්න කීවේ අනෙක් අයද සිනා ගන්වමින්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon