හොරු සමඟ හෙලුවෙන්

  👤  4479 readers have read this article !
2017-02-09

පසුගිය දවසක රෑ නවයට විතර 'මව්බිම'ට දුරකතන ඇමැතුමක් ආවේය.

'මම මේ නුවරින් කතා කරන්නෙ මහත්තයො

ඔය 'මව්බිම' කර්තෘ මණ්ඩලයද?

'ඔව්. කර්තෘ මණ්ඩලය තමයි.'

'මහත්තයලගෙ පත්තරේ දාල තියෙනව රුපියල් 70වට

හාල් කඩේ තියෙනව කියල. මට කියන්න පුළුවන්ද මහත්තයො එක කඩයක නමක්.'

'අපි දාල තියෙන්නෙ ආණ්ඩුව හාල්වලට පාලන මිලක් දාල ඒ ගාණට හාල් දෙනවා කියල. එතැනින් එහා වගකීමක් පත්තරේට ගන්න බැහැ.'

දුරකතනයට පිළිතුරු දුන් අපේ මාධ්‍ය සගයා කීවේය.

'හරි මහත්තයෝ එහෙනම් එයාලගෙන් අහල පත්තරේ දානවද ඔය ගාණට හාල් ගන්න පුළුවන් තැන් මොනවද කියලා.'

නුවරින් කතා කළ මනුස්සයා කීවේය

දුරකතන සංවාදය එතැනින් නිමා විය.

මේ නුවර මනුස්සයා විතරක් අහන කතාවක් නොවේය. රටේම මිනිස්සු අහන කතාවක්ය. හාල් මිල මිනිසුන්ට දරන්න බැරි තරමට ඉහළ ගොස් ඇත්තේය. ඒකාබද්ධ විපක්‍ෂයේ කට්ටිය නම් කියන්නේ මේ විදියට හාල් මිල ඉහළ ගිය කාලයක් ලංකා ඉතිහාසයේ නැති බවය. මහින්ද මහත්තයා රට සහලින් ස්වයංපෝෂිත කර තිබුණු බවද ඔවුන් කියා තිබුණේය. කුරුණෑගල පැත්තේ පන්සලක පැවැති උත්සවයකදී හාල් ගැන මහින්ද කියා තිබුණේ මෙවැනි කතාවකි.

'අපේ කාලේ මුතු සම්බා කීයද? දැන් මුතු සම්බා ගන්නත් බෑ. ඇයි දෙයියනේ කුඹුරු අක්කර හාරලක්‍ෂයක්

වගා කරන්න එපා කියල තහනම් කරන ආණ්ඩුවක් තියෙනවද? අපේ කාලේ පිටරට පටවන්න හාල් තිබුණා. දැන් කියන්නේ මෙච්චර වී ස්ටොක් කරන්න තැනක් නැහැ කියල. අන්තිමට වී ගිහින් දැම්මා මත්තල ගුවන් තොටුපොළට. ඒ මත්තල බාල්දු කරන්න.'

වී අලෙවි මණ්ඩලය දූෂිතයි කියල ඒකාබද්ධ විපක්‍ෂයත්

ජ.වි.පෙ.ත් එක දිගට චෝදනා කරද්දී ඇමැති හැරිසන් සහ වී අලෙවි මණ්ඩලයේ සභාපති කියන්නේ එහෙම

දූෂණයක් සිදුවී නැති බවය. ඔය කියන විදියට

දූෂණයක් සිදුවී ඇත්නම් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම හමුවට යෑමට සූදානම් බව ඔවුහු පවසති. මේ ඔක්කොම කතාත් හරිය. සහල් මිලත් හරිය. වෙළෙඳපොළේ සහල් මිල තවමත් අඩුවී නැත. වී ගොවියාට හොඳ මිලක්ද නැත. ආණ්ඩුව කියන මිලට හාල් තබා හාල් මැස්සෙක්වත් ගන්න බැරි බවත් එහෙමනම් ඒ මිලට ගන්න අරලියගහ මන්දිරයට යන්න වෙන බවත් ඒකාබද්ධ විපක්‍ෂය ඔළොක්කුවට මෙන් කියන්නේ ඒ නිසාය.

මෛත්‍රි පාලනයක් තුළින් ස්ථාවර රටක් හදන බව මෛත්‍රි ජනාධිපතිවරණයේදී කිව්වේය. මහ මැතිවරණයේදී රනිල් කිව්වේ මාස 60කින් අලුත් රටක් හදන්න පංච විධ සැලැස්මක් තිබෙන බවය.

'රටේ සිදුවූ මෙගා දූෂණ හා නාස්තිය තාවකාලික නවතාලීම මඟින් පමණක් පසුගිය වසර හය තිස්සේ සිදුවූ සංවර්ධනය මෙන් දස ගුණයක පමණ සංවර්ධනයක් රටට ලබාදීමටත් ජනතාවට සහන ලබාදීමටත්, ඔළුවෙන් සිටවූ සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපයින් සිටුවීමටත් මම කටයුතු කරමි' මෛත්‍රි ජනාධිපතිවරණයේදී පොරොන්දු වූයේ එහෙමය. මහ මැතිවරණයේදී රනිල් කිව්වේ ජනවාරි 8ට පෙර පැවැතියේ දුර්දාන්ත පවුල් පාලනයක් බවත් ආර්ථික ප්‍රතිලාභ බෙදා හදා ගන්නේ ගජමිතුරන් බවත්ය. ඒ අශීලාචාර සමය අවසන් කරමින් ජනවාරි 8 වැනිදා ජනතාව විසින් රාජපක්‍ෂ රෙජීමය පෙරළා දමනු ලැබූ බවද, රනිල් කීවේය. කතාව නම් මසුරන්ය. එහෙත් කතාව දෝලාවෙන් වුවද ගමන පයින්ය. රටේ වැඩ සිද්ධ වෙන්නේ රුයිතෙටය.

ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයාට වක්‍රව සහාය දුන් ජ.වි.පෙ. කියන විදියට හොරුන් අල්ලනවා කියල ආපු ආණ්ඩුවේ අද හොරු රජ වෙලාය. ගජ මිතුරන් වටකරගෙන රනිල් අරලියගහ මැඳුරේ ලිච්ඡවී පාලනයක් ගෙනයන්නේය. ඔවුහු සතුටින් රැස්වෙති. සතුටෙන් සාකච්ඡා කරති. සතුටෙන් විසිර යති. මහ බැංකුවේ බැඳුම්කර වංචාව මහ දවල් සිදුවූ මංකොල්ලයකට සමානය. දින සියය තුළ සූර සරදියෙල් අය-වැයක් රැගෙන ආ බව කියා ඇමැති රවි හත්පොළේම ගාගනිමින් සිටින්නේය.

1977 ජේ.ආර්.ලා බලය ගත්තේ සිරිමාවෝලාගේ 'හත් අවුරුදු ශාපය' ගැන කියලාය. පාන් පෝලිම්, හාල් පොලු, වැනි කුජීත වැඩ නිසා මිනිසුන්ට ශ්‍රී ල.නි.ප. ආණ්ඩුව තිත්ත වී තිබුණේය. එහෙත් අන්තිම වනතුරු හෙංචයියන් කිව්වේ මැතිනි අපට කියනවානම් පිදුරු වුණත් අපි කන්නම් කියාය. හඳෙන් හාල් ගෙනත් දෙන කතා මැතිනියද කීවාය. අවසානයේ 1977 මහ මැතිවරණයෙන් කට්ටියටම දවල් තරු පෙනුණේය. මහින්ද වටේද මෙවැනිම හෙංචයියෝ පිරිසක් සිටියහ. මහින්දට ජනාධිපතිකම නැති වුණේ ඒ කට්ටිය නිසාය. තාමත් ඔවුහු මහින්දව අන්දවමින් සිටිති. මේ දේවල් ගැන මෛත්‍රි වගේම රනිල් හොඳටම දන්නවාය. මෛත්‍රි තරුණ කාලේ මැතිනිය ළඟින්ම සිටියේය. ජේ.ආර්. මාමා කළ කී දෑ රනිල් බෑනා තරම් දන්න කෙනෙක් නැත.

ජේ.ආර්. 1977 කිව්වේ ධර්මිෂ්ඨ සමාජයක් හදන බවත් හැමෝටම ඇට අටක් දෙන බවත්ය. එ.ජා.ප.යේ අවුරුදු 17ක පාලනය අවසන් වූයේ ඇටකටු ගොඩවල් පිරුණු ලේ ගඳ ගහන කාලකණ්ණි සමාජයක් රටට උරුම කර දෙමිනි. සාහසික වුණත් කතාව ඇත්තය. හැබැයි ඒ කාලය තුළ රටේ සංවර්ධනයක් ඇති වුණේ නැතැයි කිව්වොත් එය බොරුවකි. එහෙත් සියල්ල ධවල භීෂණයටත් උතුරේ යුද්ධයටත් යටපත් වී ගියේය. ජේ.ආර්. - ප්‍රේමදාස දාහත් අවුරුදු පාලනයට රිචඩ් ද සොයිසා, ත්‍රීමා විතාරණ, සත්‍යපාල වන්නිගම, ඇඹිලිපිටිය සිසු දරුවන්, ප්‍රේමකීර්ති ද අල්විස්, විජය කුමාරතුංග ඇතුළු දස දහස් ගාණකගේ අඳුරු මතකයන්ගෙන් ගැලවී ගත නොහැකිය. චන්ද්‍රිකා - මහින්ද 1994 සිට විසි අවුරුද්දක් රට පාලනය කළහ. ලසන්ත වික්‍රමතුංග, රෝහණ කුමාර, ලලිත් කුගන්, තාජුදීන්, ත්‍රිමලේ සිසු දරුවන්, නිමලරාජන් ඇතුළු සිය ගණනකගේ අඳුරු මතකය අමතක වන්නේ නැත.

මෛත්‍රි - රනිල් පාලනය සුදු වෑන් සංස්කෘතිය අවසන් කළේය. එහෙත් ඔවුන්ද කළු වෑන්, ඩිෆෙන්ඩර් සංස්කෘතියකට මුල පුරා ඇතැයි ඇතැමුන් චෝදනා කළද හුදෙකලා සිද්ධියක් හෝ ප්‍රබන්ධයක් ඇරෙන්න සැලකිය යුතු දෙයක් තවමත් සිදුවී නැත්තේය. එහෙත් මෙහිදී එක් දෙයක් අමතක කළ යුතු නැත. 'කොයි යක්‍ෂයාත් අඩවිය හුරු වන තුරු සාන්තුවරයෙකි.

2015 අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් වැඩි බලයක් හිමිවූයේ එ.ජා.ප.යටය. එනිසා අගමැති ධුරය රනිල් දැරීම යුක්ති යුක්තය. ඔහුට 'පිං' අගමැති කියා කාටවත් කියන්න බැරිය. මෛත්‍රිට ජනාධිපති ධුරයට පත්වීමට එ.ජා.ප. ඡන්ද මහෝපකාරී වූ බව ඇත්තකි. හැබැයි එහෙමය කියා මෛත්‍රි එ.ජා.ප.යේ අතකොළුවක් කර ගැනීමට සිතීම වැරැදිය. රනිල්ට, මෛත්‍රිට නැති සුදුසුකම් තිබුණද උද්ධච්චයකු ලෙස හැසිරීමේ අයිතියක් නැත. ඔහු පාර්ලිමේන්තුවේදී ඇතැම් විට කටයුතු කරන්නේ ජෝකරයකු මෙන්ය. පාර්ලිමේන්තුවේ නීතිවලට ගරු කරන ලෙස අගමැතිතුමාට අවවාද කිරීමට කතා නායකවරයාට සිදු වීමෙන්ම තත්ත්වය කෙතරම් නරකද යන්න පැහැදිලිය.

මහින්ද කිව්වේ තමන් මැදමුලන බයියෙක් කියාය. එහෙම නම් රනිල් කොළඹ හතේ ටොයියෙකි. බයියන්ගේ පවුල් පාලනයට විරුද්ධව කතා කළ ටොයියන්ට 'ගජ මිතුරු' පාලනයක් ගෙන යෑමට මේ රටේ ඉඩක් නැත. එවැනි දේශපාලන ඉඩක් දීමට මේ රටේ සබුද්ධික ජනතාවට අවශ්‍යද නැත.

මහින්දගේ පාලන කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සිග්නල් කණු බවට පත් වූහ. ජේ.ආර්.ගේ කාලයේද එවැනි තත්ත්වයක් පැවැතියද දාතම රහිත ඉල්ලා අස්වීමේ ලිපි සාක්තුවේ දමා නොගෙනම මහින්ද ආණ්ඩු පක්‍ෂය හීලෑ කරගත්තේය. 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් පවා බිලිබා ගැනීමට මහින්ද දක්‍ෂයෙක් විය. ආණ්ඩුවට බලපෑම් කළ හැකි සියලු දේශපාලන පක්‍ෂ උපායශීලීව භේද කර බෙදා වෙන් කළේය.

යහපාලනය තිබෙන බව කිව්වද වර්තමාන පාර්ලිමේන්තුව තිබෙන්නේද අවුලකය. ශ්‍රී ල.නි.ප.ය ප්‍රමුඛව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් ආණ්ඩුවට හවුල් වී සිටියද මන්ත්‍රිවරුන් 50 කට අධික සංඛ්‍යාවක් ඉන්නේ විපක්‍ෂයේය. 'ඒකාබද්ධ විපක්‍ෂය' ලෙස ඔවුන් පෙනී සිටින්නේ නිල විපක්‍ෂය ලෙස ඔවුන්ව පාර්ලිමේන්තුව නොපිළිගන්නා නිසාය. විපක්‍ෂ නායක ධුරය හරි නම් හිමිවිය යුත්තේ මේ මන්ත්‍රි කණ්ඩායමටය එහෙත් එය ලබාදී ඇත්තේ දෙමළ සන්ධානයටය. ඔවුන්ගෙන් විපක්‍ෂයේ කාර්යභාරය ඉටු වන්නේ නැත. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකකම දී ඇත්තේ ජ.වි.පෙ.ටය. ටී.එන්.ඒ. හා ජ.වි.පෙ. අතර පාර්ලිමේන්තු කටයුතු ගැන කිසිදු සම්බන්ධයක් තිබෙන බවක් නම් පෙනෙන්නට නැත. ශ්‍රී ල.නි.ප.යේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රි කළ යුතුව තිබුණේ හවුල් ආණ්ඩුවට සියලු මන්ත්‍රිවරුන් එක්විය යුතු බව දැනුම් දීමය. ඊට එකඟ නොවන අයව නෙරපා දැමීමය. එසේ වූවා නම් පාර්ලිමේන්තුවේ මෙතරම් අවුලක් නිර්මාණය වන්නේ නැත. පවතින තත්ත්වය නම් යහපාලනය ලෙස සැලකිය නොහැකිය.

අපි කැමැති වේවා, නොවේවා ඒකාබද්ධ විපක්‍ෂය ලෙස පෙනී සිටින මහින්ද ඇතුළු මන්ත්‍රිවරුන් පිරිස තෝරා පත්කර එවා ඇත්තේ ලක්‍ෂ සංඛ්‍යාත ඡන්ද දායකයන්ය. ඒ අතර ජාතිවාදීන්, අන්තවාදීන්, අවස්ථාවාදීන්, අපරාධකාරයන්, තක්කඩින් සිටී නම් එහි වරද ඇත්තේ ඔවුන්ට 'මනාපය' පළ කළ ඡන්ද දායකයන් අතය.

වැරැදි ගණන් බැලීම්, වැරැදි තීරණ හා තීරණ ගැනීම පමා කිරීම නිසා මෛත්‍රි සිටින්නේ උගුලක හිර වෙලාය. 'ගෙදර ගියොත් අඹු නසී. මඟ හිටියොත් තෝ නසී' තත්ත්වයකය. ඇත්තෙන්ම ඔහුට සිදුව ඇත්තේ කලින් ආණ්ඩුවේ සිටි කම්බ හොරුන් සමඟ හෙලුවෙන් සිටීමටය. එහෙත් මෛත්‍රිට ඇඟිල්ල දික්කිරීමට රනිල්ට බැරිය. රනිල් සිටින්නේද ආණ්ඩුවේ හොරුන් වටකරගෙන හෙලුවෙනි. සබුද්ධික ජනතාවට මේ දෙදෙනාගේ හෙලුව හොඳින් ප්‍රදර්ශනය වෙමින් තිබේ. කරුමය වන්නේ තමන් සිටින්නේ හෙලුවෙන් බව මෛත්‍රි - රනිල් දෙදෙනාම තවම තේරුම් ගෙන නැතිකමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්