ගොවියාට අසාධාරණයක් නොවන පරිදි පාරිභෝගිකයාට උපරිම සහන ලබා දෙනවා

  👤  4046 readers have read this article !
2017-02-09

පාර්ලිමේන්තු වාර්තා
දයා පෙරේරා / ජේ.ටී. ද සිල්වා

ගොවියාට අසාධාරණයක් නොවන පරිදි පාරිභෝගිකයාට උපරිම සහන ලබා දෙනවා

ගොවියාට අසාධාරණයක් නොවන පරිදි සහල් මිල අවම සීමාවක පවත්වා ගනිමින් පාරිභෝගිකයාට උපරිම සහනය සැලසීමට රජය සෑම උත්සාහයක්ම දරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (8දා) පැවැසීය.

අගමැතිවරයා එසේ පැවැසුවේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රි සී. බී. රත්නායක සහල් මිල සම්බන්ධයෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

2014 යල කන්නයේදී එවකට පැවැති රජය වී ඇටයක්වත් මිලදී ගත්තේ නැහැ. එහෙත් මේ රජය බලයට පත්වීමෙන් පසු 2014 - 15 මහ කන්නයේදී වී මෙට්රික් ටොන් 160,000ක්ද, යල කන්නයේදී වී මෙට්රික් ටොන් 175,000ක්ද මිලදී ගෙන තිබෙනවා.

එම කාලයේදී කීරි සම්බා සහ සම්බා වී කිලෝ එකකට රුපියල් 50ක්ද, නාඩුවලට රුපියල් 45ක්ද වශයෙන් සහතික මිලක් ලබා දුන්නා.

2015 - 2016 මහ කන්නය සහ 2016 යල කන්නයේදී කීරි සම්බා වී කිලෝවකට රුපියල් 50ක්ද, සම්බා වී කිලෝවකට රුපියල් 41ක්ද, නාඩු වී කිලෝවකට රුපියල් 38ක්ද ගෙවා තිබෙනවා.

දැනට රටේ විශාල නියඟයක් තියෙනවා. ඒ නිසා වී නිෂ්පාදනය සියයට 30ක්, 40ක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ නිසා සම්පූර්ණ නිෂ්පාදනය අපට ලංකාවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මාස තුනක කාලයකට සහල් මෙට්රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට රජය තීරණය කළා. එහිදී පෞද්ගලික අංශයේ සියලුම සහල් ආනයනකරුවන්ට අවස්ථාව දුන්නා. මෙහිදී කලින් පනවා තිබූ සියයට 15ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කළා.

2017 ජනවාරි 28 වන විට ක්‍රියාත්මක වන පරිදි එම බද්ද රුපියල් 5ක් අඩු කළා. දැනට 2017 ජනවාරි 7 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා නාඩු සහල් මෙට්රික් ටොන් 2003ක්ද, කැකුළු හාල් මෙ.ටොන් 24,053ක්ද, සම්බා මෙ.ටො. 23,756ක් සහ අනෙකුත් සහල් මෙ.ටොන් 1,440ක් වශයෙන් මෙට්රික් ටොන් 51,019ක් ආනයනයට කටයුතු කර තිබෙනවා.

තවත් මෙට්රික් ටොන් 100ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා. එම සහල් ඉදිරි කාලයේදී වෙළෙඳපොළට මුදා හැරීමෙන් පසු තවදුරටත් සහල් මිල අඩු වෙනවා. නියඟය නිසා සහල් මිල වැඩි වුණත් රජයේ මෙම ක්‍රියාමාර්ග නිසා ඉදිරි කාලයේදී සහල් මිල තවත් අඩු වෙනවා. සහල් මිල වැඩි වීම ගැන රජයේ කනගාටුව පළ කරනවා. මීට අමතරව වී අලෙවි මණ්ඩලය සතොසට වී මෙට්රික් ටොන් 30,000ක් ලබා දීමටත්, මෙම වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට යෑමත් සමඟ තවදුරටත් සහල් මිල අඩු වීමට බලපෑමක් වෙනවා.

ගොවියාට අසාධාරණයක් නොවන පරිදි සහල් මිල අවම සීමාවක පවත්වා ගනිමින් පාරිභෝගිකයාට උපරිම සහනය සැලසීමට රජය මඟින් සෑම උත්සාහයක්ම දරනවා.
විශේෂ කාර්ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහ කන්නයේ ගොයම් කැපීම දැන් ආරම්භ වෙලා. නාඩු සහල් රුපියල් 72කටද, සම්බා රුපියල් 80කටද ගැනීම සඳහා දැන් වෙළෙඳපොළේ තිබෙනවා.

අගමැති තව හාල් ටොන් ලක්ෂයක් ලංකාවට ගෙන ඒමට පෞද්ගලික අංශය කටයුතු කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනයවූ අයවෙනුවෙන් වන්දි ලබාදීමට කටයුතු කරනවා

වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය රජය යටතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (8දා) ප්‍රකාශ කෙළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ අනුව මියගිය රැඳවියන් සඳහා රුපියල් ලක්ෂ පහ බැගින්ද, තුවාල ලැබූවන් සඳහා රුපියල් ලක්ෂය බැගින්ද වන්දි ලබා දීමට යෝජනා වී ඇති බව අගමැතිවරයා කීවේය.

2012 නොවැම්බර් 9 වැනිදා සිදුවූ එම ඝාතන සිද්ධිය යටගැසීමට රජයට කිසිදු වුවමනාවක් නැතැයිද අගමැතිවරයා සඳහන් කෙළේය.

වැලිකඩ බන්ධනාගාරයේදී 2012 නොවැම්බර් 9 වැනිදා සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව හා නිර්දේශ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සභාගත කරන ලදී.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත් කළ මෙම ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඉල්ලීමක්ද කෙළේය.

අවිගත් සැලැසුම් සහගත කල්ලියක් 2012 වසරේ නොවැම්බර් 9 වැනි දින බන්ධනාගාරයට ගොස් රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් 40කට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා අගමැතිවරයාට ප්‍රශ්නයක් යොමු කරමින් විමසුවේය.

මුද්‍රිත මාධ්‍යයේ පළවූ අසත්‍ය පුවත් විද්‍යුත් මාධ්‍යයෙන්ද ප්‍රචාරය කළොත්  එය නිවැරැදි කර විද්‍යුත් මාධ්‍යයෙන්ද ප්‍රචාරය කළ යුතුයි

මුද්‍රිත මාධ්‍යයෙහි පළවන අසත්‍ය වාර්තාවක්, විද්‍යුත් මාධ්‍යයකින් ප්‍රචාරය කළහොත්, ඒ පිළිබඳ මුද්‍රිත මාධ්‍යයෙහි පළ කෙරෙන නිවැරැදි කිරීම, විද්‍යුත් මාධ්‍ය මඟින්ද ප්‍රචාරය කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (8දා) පැවැසීය.

අගමැතිවරයා මෙසේද කීය,

ගරු කතානායකතුමනි,

මට එක වරප්‍රසාද ප්‍රශ්නයක් තිබෙනවා. ඊයේ 'මව්බිම' පත්තරේ දාලා තිබෙන වාර්තාව සම්පූර්ණ වාර්තාවක් නොවෙයි. එම වාර්තාවෙන් කොටසක් පමණයි දාලා තිබෙන්නේ. ඔබතුමා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 136 යටතේ තීරණයක් දුන්නා. ඒ තීරණය පිළිඅරගෙන වැඩකටයුතු කළා. විශේෂයෙන්ම, රන්ජන් රාමනායක මැතිතුමා, එම අවස්ථාවේදී අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නැතිව, වෙනත් වචන කිහිපයක් කිව්ව නිසයි. එහෙත් මම මෙම ගරු සභාවේ අවධානයට යොමු කර සිටින්නේ 'මව්බිම' පත්තරේ පළවූ වාර්තාව සත්‍ය වාර්තාව නෙවෙයි කියලයි. ගරු කතානායකතුමනි, එය මම ඔබතුමාට යොමු කරනවා.

ගරු කතානායකතුමනි,

තවත් එක කාරණයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් වුණාම එය පත්තරයක පළමු වැනි පිටුවේ පළ වුණාම අපි ඒ අදාළ මාධ්‍ය නම් කරනවා ඒක නිවැරැදි කරන්න කියලා. ඊළඟ දවසේ උදේ වරුවේම විද්‍යුත් මාධ්‍යයෙන් එය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ප්‍රශ්නය විතරක් නොවෙයි. සාමාන්‍යයෙන් ඕනෑම මුද්‍රිත මාධ්‍යයක යන වාර්තාවක් විද්‍යුත් මාධ්‍යයෙන් උදේ වරුවේ වාර්තා කරනවා. නමුත් අපි පසුව ඒ ගැන නිවැරැදි කිරීමක් කළාම ඒකත් විද්‍යුත් මාධ්‍යයේ යන්න ඕනෑ. නැත්නම් ඒක අසාධාරණයක් වෙනවා. මොකද 5,000ක් පමණ පිරිසක් පත්තරේ කියවනවා. ලක්ෂ ගණනාවක් රූපවාහිනය නරඹනවා.

කතානායක,
ගරු අගමැතිතුමනි,

මමත් පැහැදිලි කරන්න ඕනෑ. මොකද එම අවස්ථාවේදී ඔබතුමා මගෙන් ඉල්ලීමක් කළා රන්ජන් රාමනායක මැතිතුමාට පැහැදිලි කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒ අවස්ථාව මම එතුමාට ලබා දුන්නා. ගරු ඇමැතිතුමා පැහැදිලි කළාට පසුව මම එතුමාට අවස්ථාව ලබා දුන්නා.

රනිල් වික්‍රමසිංහ,
ගරු කතානායකතුමනි,

ඔබතුමාගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්නයක් නැහැ. මේක හරියට ආවේ නැහැ. අනෙක අපි අලුතින් අරගන්න වෙයි මේ මාධ්‍යයේ මුද්‍රිත මාධ්‍යයෙන් විද්‍යුත් මාධ්‍යයට දැම්මොත් විද්‍යුත් මාධ්‍යයෙනුත් එවැනි නිවැරැදි කිරීම් කරන්න ඕනෑ කියලා.

කතානායක,

හොඳයි, ගරු අගමැතිතුමනි, මම ඒ ගැන අවධානය යොමු කරන්නම්.

මුදල් අමාත්‍යාංශයේ නිසි කළමනාකරණයක් තිබුණා නම් බදු ගෙවන්න වෙන්නේ නෑ

අපි යථාර්ථය පිළිගන්න ඕනෑ. මොකක්ද? අපි ණය වෙලා නොවේ, ණය කරලා. එදා රාජපක්‍ෂ පාලනයේ හම්බන්තොට වරාය හදනකොට සැලැස්මක් නොතිබුණා වගේ අද පුල්මුඩේ ඛනිජවැලි හා කහටගහ පතල විකුණන්න යනකොටත් සැලැස්මක් නැහැ.

දැන් හිඟුරාන සීනි කම්හල අෑවර කිරීමට තීරණ අරන් තිබෙනවා. දේපළ කොපමණ තිබේද කියා දන්නෙ නැහැ. යන්ත්‍ර යකඩවලට කපා විකුණනවා. මිලියන ගණනක් තවම ගෙවා නැහැ. පවරන ලද ඉඩම් සම්බන්ධ ලේඛන නැහැ. කහටගහ පතල සම්බන්ධයෙන් ද එහෙමයි.

රිෂාඩ් බදුර්දින් ඇමැතිතුමාලගෙ කාර්ය තමයි, අමාත්‍යාංශයට ගැසට් කරන ලද ආයතන ටික ඇමැතිකම අවසාන වන විට අවසන් කිරීම. තමාට සම්බන්ධ ඕස්ට්‍රේලියාවේ කෙනකුටම කහටගහ පතල දෙන්න කියලා එක්තරා ඇමැති කෙනකුගෙ පුතෙක් කියනවලු. තනිව ආණ්ඩු පිහිටුවා තමන්ගේ පක්ෂෙඅයට ආයතන විකුණන්න බලයක් ජනතාව දීලා නැහැ.

ලෝකෙ වටිනාම ස්වාභාවික සම්පත් ප්‍රමාණය පුල්මුඩේ විකුණන්න යනවා.

මේ රට සංවර්ධනය කර තිබුණේ ණය අරගෙන

'ඉඩම් විදේශිකයන්ට දෙනවිට පාර්ලිමේන්තුව දැනුවත් කළයුතු වුවත් එදා ෂැංග්‍රිලා හෝටලයට පාර්ලිමේන්තුව දැනුවත් නොකර ඉඩම් දුන්නා' යැයි එක්සත්
ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම පැවැසීය.

අපි ජනතාවගෙන් බලය ඉල්ලුවේ රට ගැන හිතලා ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා මේ රට පාලනය කිරීමටයි. රාජ්‍ය ආදායම කඩා වැටුණු ණය බරක් ඇති රටක් තමයි අපි භාරගත්තේ.

මේ රට සංවර්ධනය කර තිබුණේ ණය අරගෙන. අපේ වගකීම මේ රට රාජ්‍ය ආදායම ඉහළ රටක් බවට පත් කිරීමයි.

ණය අරගෙන ක්‍රියාත්මක කරපු කිසිම ව්‍යාපෘතියකින් ඒ ලබාගත් ණය ගෙවීමට පුළුවන් වුණේ නැහැ. අපට අද සිදුවෙලා තිබෙන්නේ ඒ අපරාධ හදන්නයි.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලට අපි බදු පනවනවා

"අත්‍යවශ්‍ය භාණ්ඩවලට වඩා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලට අපි හැමවිටම බදු පනවනවා" යැයි මුදල් ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවැසීය.
විදේශීය ආයෝජකයන්ට මෙරට ආයෝජනයේදී ඉඩම් සම්බන්ධව තිබෙන බාධාවන් අපි අයින් කරනවා. ඒ අනුව අනූ නව අවුරුදු ලීසිං බදු ක්‍රමයට විදේශිකයන්ට ඉඩම් ලබාගත හැකි වනවා.

ඩියුටි ෆ්‍රී සාප්පුවලින් මිලදී ගන්නා මත්පැන්වල බදු ප්‍රමාණය නිවැරැදි කිරීමක් කර තිබෙනවා. එමඟින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩිකර ගැනීමට පුළුවන් වී තිබෙනවා.

රටට නව ආදායම් මාර්ග අවශ්‍යයි. ඒත් ජනතාවට බරක් නොවන ආකාරයට අපි ඒ ආදායම් උපයනවා. ඒ නිසා අප ගැන විශ්වාසය තබාගන්න.

වැටී තිබුණු ආර්ථිකය අපි දැන් හරිගස්සගෙන යමින් තිබෙනවා. මහාමාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය දියුණු කරනවා වගේම දුගී දුප්පත්කම අඩු කරන්නත් අපි කටයුතු කළා. මේ වෙලාවේ අපි ආයෝජකයන්ට ආරාධනා කරනවා. කරුණා කරල පෙරට එන්න කියල. අපි ඔවුන්ට සහන ලබාදීල තියෙනවා.

ශ්‍රී ලන්කන් ආයතනයේ පාඩුවත් අපි මේ වන විට අඩුකරගෙනයි යන්නේ. අපි මේවා කරන්නේ මූල්‍ය විනයක් ඇතිවයි. අපි කටයුතු කරන්නේ රටේ සෑම කෙනෙක්ම සමබරව සංවර්ධනය කිරීමට බව කියන්න ඕන.

විදේශ ආයෝජකයන් ගෙන්නන්න බැරි වූ නිසා රුපියල හොඳටම පහළ වැටිලා

'විදේශ ආයෝජකයන් මේ රටට ගේන්න නොහැකි වූ නිසා රුපියල කිසි දවසක නොතිබුණු ආකාරයට පහළ වැටිලා' යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.

මේ රට අද දෙතුන් දෙනෙක් පාලනය කරන්නේ. අගමැති වික්‍රමසිංහ ප්‍රධාන දෙතුන් දෙනකුට ඕන ආකාරයටයි මේ ආයෝජන ලබාදෙන්නේ.

මේ රටේ දේශීය ව්‍යවසායකයන්ට ආයෝජනයට අස්ථාව නොදී ඇයි විදේශීය ආයෝජකයන්ට මේ රටේ ඉඩම් කල්බදු ක්‍රමයට ලබාදී බදු සහන ලබා දෙන්නේ? මහජනතාවට බදු පිට බදු ගහනවා. පිටුපස පේළිවලට වෙලා කෑ ගැහුවාට ඇමැතිකම් ලැබෙන්නේ නැහැ. ඇමැතිකමක් ලබාගන්න ඕන නම් එන්ජින් එක පස්සට හයිකර ගත්තු ෆොක්ස්වැගන් එකක් වගේ වෙන්න ඉගෙන ගන්න.

නලීන් බණ්ඩාර ජයමහ      

ෂැංග්‍රිලා හෝටලයට ඉඩම් ලබා දෙන කොට තමුන්නාන්සේලා කොහේද හිටියේ

විමල් වීරවංශ

මේ රටේ ඉඩම් දේශීය ආයෝජකයන්ට ලබාගැනීමට ඉඩ නොතබා විදේශිකයන්ට ලබාදීමට සහ මේ පනතට සහයෝගය දෙන්න එපා. මෙතැන ඉන්නවා පස්සට ගැහුවම ඉස්සරහ දත් ගැලවිලා විසිවෙන අය.

විදේශිකයන්ට ඉඩම් සින්නක්කර අත්පත් කරගැනීමට තිබෙන අවස්ථාව පසුගිය රජය අහිමි කළා. සංචාරක ආකර්ෂණය සහිත ඉඩම් විදේශිකයන් විවිධ ක්‍රම මඟින් අයිතිකරගෙන තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon