මුළු සමාජයටම ආදර්ශයක් වන විදියට පාර්ලිමේන්තුවේදී කටයුතු කරන්න

  👤  3773 readers have read this article !
2017-02-08

මුළු සමාජයටම ආදර්ශයක් වන විදියට පාර්ලිමේන්තුවේදී කටයුතු කරන්න

පාර්ලිමේන්තු වාර්තා දයා පෙරේරා / ජේ.ටී. ද සිල්වා

මහජන නියෝජිතයන් ලෙස අපගේ ජනතා කාර්යභාරය ආදර්ශවත් ලෙස ඉටු කිරීමට සිතට ගනිමින් එකිනෙකාට අපහාසකර ගැනීම්, චරිත ඝාතන සිදුකිරීම් වැනි දේවලට ඉඩ නොතබමින් මුළුමහත් සමාජයටම ආදර්ශවත් පාර්ලිමේන්තුවක් විදහා පෙන්වීමට කටයුතු කරන්නැයි කතානායක කරු ජයසූරිය ඊයේ (7දා) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදීම මන්ත්‍රිවරුන්ගේ අවධානයට යොමු කළේය.

පාර්ලිමේන්තුවේ කටයුතු හා විවාද සජීවී ලෙස රැස්වීම් පැවැත්වෙන මුළු කාලය තුළදීම පියෝ ටී.වී. 91 චැනලය ඔස්සේ මන්ත්‍රිවරුන් කතාකරන භාෂාවෙන්ම ශ්‍රවණය කරමින් නැරඹීමට අවස්ථාව ඊයේ හිමිකර දුන් බව නිවේදනය කරමින් කතානායකවරයා එසේ පැවැසීය.

ප්‍රශ්න අසන මන්ත්‍රිවරුන් මෙන්ම පිළිතුරු දෙන ඇමැතිවරුන් ද සභා ගර්භයට නියමිත වේලාවට පැමිණ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද කතානායකවරයා සිහිපත් කළේය.
කතානායකවරයාගේ එම නිවේදනයෙන් අවධානය යොමු කරන ලද සියල්ලම අඩ පැයක් ගතවෙන්නට පෙර සභා ගර්භයේදීම බිඳ වැටුණේ පරුෂ වචන, අසැබි හා පාර්ලිමේන්තුවට නොගැළපෙන වදනින් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ඇතිවූ උණුසුම් වාග් ප්‍රහාර හේතුවෙනි. වාචික පිළිතුරු සඳහා පැයක කාලය දෙපැයක් දක්වා දීර්ඝ වීමටත් එම උණුසුම් වාතාවරණය හේතු විය.

 

ළමයින් පාරේ ඇවිද්දැයි කියලා උසාවි තීන්දු වෙනස් කරන්න බැහැ

"ළමයි පාරේ ඇවිද්දැයි කියල උසාවි තීන්දුව වෙනස් කරන්න බැහැ. ශේ‍ර්ෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්න. උසාවි තීන්දුව මේ පාර්ලිමේන්තුවට වෙනස් කරන්න බැහැ" යි උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

"උසාවිය දින අටක් ප්‍රමිතිය ගැන සාකච්ඡා කරල තමයි මේ තීන්දුව දුන්නේ. පසුගිය ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දුට මිලියන 600ක් ලබාදීලා මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් ඒකට එකඟත්වය ලබාගෙන වෛද්‍ය සභාවේ සභාපතිකමට පත් කළා.

වෛද්‍ය රමේෂ් පතිරණ - මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට වෛද්‍ය සභාවේ සභාපතිකම දුන්නේ එතුමාගේ කැමැත්ත, සයිටම් එකට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදීමට සිතාගෙන බව කීම වැරැදියි. වෛද්‍ය සභාව එදා සිට මේ වන තෙක්ම සයිටම් ආයතනය පිළිගෙන නැහැ.

අනුර කුමාර දිසානායක - වෛද්‍ය උපාධියක් සයිටම් ආයතනයෙන් ලබාගත් ශිෂ්‍යාවක් අධිකරණයේ නඩුවක් පැවරුවා. විත්ති පක්ෂයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාත්, පැමිණිලිකාරියත් සයිටම් ආයතනය නීතිගත කිරීමට අධිකරණ නියෝගයක් ලබාගත්තා. සෞඛ්‍ය ඇමැතිවරයාගේ ලේලිත් සයිටම් ආයතනයේ ඉගෙනුම ලබනවා. ඒකයි මේ ප්‍රශ්නයේදී සෞඛ්‍ය ඇමැතිවරයා නිහඬව සිටියේ.

සභානායක - මේ ප්‍රශ්නය ඇතිකරපු එක්ක නෙවි. මිලියන 600ක් සයිටම් එකට ලබාදුන්නේ පසුගිය ආණ්ඩුවෙන්. නඩු තීන්දුවක් දැන් ලබාදීල තියෙනවා. ඒක පාර්ලිමේන්තුවට වෙනස් කරන්න බැහැ.

නඩු තීන්දුවක් වෙනස් කරන්න පුළුවන් තවත් නඩු තීන්දුවකින් තමයි. ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න. ඒකයි කරන්න තියෙන්නේ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, ස්ථාවර නියෝග 23(2) යටතේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් උසස් අධ්‍යාපන ඇමැතිවරයා එසේ සඳහන් කළේය.

 

බැඳුම්කර ගනුදෙනුවෙන් ආර්ථිකය විශාල පරිහානියකට පත් වෙලා

බැඳුම්කර ගනුදෙනුව නිසා මේ රටේ සහල් කිලෝව රුපියල් එකසිය තිහකට මිල ඉහළ ගොස් රට ආර්ථික වශයෙන් විශාල පරිහානියට පත්වී තිබෙනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පැවැසීය.

රටේ වාහන ප්‍රමාණය වැඩිවීම පාලනය කරන්න රජය කළේ කුමක්ද? රජය කළේ බදු වැඩි කිරීම. ලෑන්ඩ්කෘෘෂර් වාහනයක් ගෙන්වන කොට දෙකෝටි හැටපන් ලක්ෂයක් බදු වැඩි කළා.

සමහර වාහනවල බදු වැඩි කිරීම සියයට තුන්සීයකට තිබුණු එක තුන්සිය තිස්පහක් කළා.

මෙහෙම බදු වැඩි කරන අතරතුර පසුගිය සතියේ වෙහිකල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමට වාහන අමතර කොටස් ගෙන්වීමට කැබිනට් පත්‍රිකාවක් ගියා. සියයට තිහක් බදු ගහන ඒකෙන් මේ ආයතනයට සියයට 70ක් බදු සහනයක් ලබාදීමට යනවා.

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති- මේ ගැන නඩු තීන්දුවක් තියෙනවා. තවත් නඩු දෙකක් තියෙනවා. ඒ අනුව තමයි මේක කෙරෙන්නේ. ඒ නිසා බයවෙන්න ඕන නැහැ.
රෝහිත අබේගුණවර්ධන- සමහර කැබිනට් තීරණ ඇමැතිතුමාවත් නියෝජ්‍ය ඇමැතිතුමාවත් දන්නේ නැහැ. යහපාලන ආණ්ඩුවට මේ වගේ වැඩ සුදුසු නැහැ. කැබිනට් පත්‍රිකාව හැදෙනකොට වාහන ගෙනැවිල්ල ඉවරයි. වාහන 53ක් මේ විදියට එකලස් කරපුවා පානදුර වංචා විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගත්තා. මේ විදියට වාහන ගේන්න ඉඩ දීමෙන් ආණ්ඩුවට බිලියන හතළිහක් පාඩු වෙනවා. මුදල් ඇමැතිතුමා තමුන්නාන්සේලාට හොඳ නැති වුණාට අපට හොඳයි. මුදල් අමාත්‍යාංශයෙන් ලියුම් එවනවා අල්ලගත්ත වාහන නිදහස් කරන්න කියල.

නියෝජ්‍ය ඇමැති- අද මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයත්, මුදල් අමාත්‍යාංශයත් අතර සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ කැබිනට් පත්‍රිකාව අද අනුමත කළේ නැහැ.
රෝහිත අබේගුණවර්ධන- වාහන 2250ක් මේ ආකාරයට ගේන්න හදනවා. මේක ලොකු ජාවාරමක්. මේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුව බැඳුම්කර වංචාවයි. මේ ගනුදෙනු මේ වන කොට භාගයක් ගිහිල්ල ඉවරයි. අනිසි වාහන මේ රටට ගෙනැල්ල රට විනාශ වෙනවා.

 

රන්ජන් යවා ඇති ලිපිය බොරු බව ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා

"සිය දේශපාලන හිතවතුන්ට ගල් කැඩීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා යොමුකර ඇති ලිපිය බොරුවක් බව ඔප්පු කළහොත් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙනවා" යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ අභියෝගයක් කළේය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙම ලිපිය මඟින් කරනු ලැබ ඇති ඉල්ලීම පැහැදිලිව සඳහන්ව තිබෙනවා. කළු ගල් කැඩීමට අවසර ලබා දිය යුතු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක්ද මෙහි ඇතුළත් කර තිබෙනවා. මොවුන් පසුගිය මැතිවරණ කාලයේදී සහයෝගය ලබාදුන් පිරිසක් බවද එහි සඳහන්. මම මේ ලිපිය සභාගත කරනවා. ඉතා වගකීමෙන් යුතුවයි මේ ලිපිය සභාගත කරන්නේ.

 

මන්ත්‍රිවරයාගේ ලිපිය ව්‍යාජ එකක් නිසා ඉල්ලා අස්වෙන්න

"ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ ලිපිය ව්‍යාජ එක්ක බව ඔප්පු කර ඇති නිසා අභියෝගය භාර ගෙන මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි" සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පැවැසීය.

"කළුගල් කැඩීම සඳහා දේශපාලන හිතවතුන්ට බලය ලබාදීමට ඉල්ලීමක් කර නැහැ. කළුගල් කඩන තැනට ප්‍රවේශ මාර්ගයක් දෙන ලෙසයි ලිපියෙන් ඉල්ලා තිබෙන්නෙ. එය කබීර් හෂීම් ඇමැතිවරයාටයි ඉදිරිපත් කළේ" යැයි නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිතුමා ලිපිය ලියා ඇත්තේ කබීර් හෂීම් ඇමැතිතුමාටයි. සභාගත කර ඇත්තේ ව්‍යාජ ලිපියක්. මේ ගැන පරීක්‍ෂා කිරීමට රස පරීක්‍ෂකවරයාටත්, පොලිසියටත් යවන්න කතානායකතුමනි.

 

මාර්ග අනතුරු අවම කිරීමට රජයෙන් වැඩසටහන් රැසක්

මාර්ග අනතුරු අවම කර මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව ඉතාම වැදගත්. සෑම වර්ෂයකදීම මාර්ග හදිසි අනතුරු ලක්ෂ පහක් පමණ සිදු වෙනවා. ඒ නිසා මාර්ග අනතුරු වැළැක්වීමට විධිමත් පියවර ගත යුතුයි. ඒ අනුව මාර්ග සංඥා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සැකසීම මේ පනතේ අරමුණයි. මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි.
අනතුරුදායක දේ ප්‍රවාහනය කරන වාහනවල හතර පැත්තේම ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් සහිත විය යුතුයි. මාර්ග සංඥාවල සාර්ථකත්වය ලබා ගත හැක්කේ ඒ සම්බන්ධයෙන් මගී ජනතාව හා රියැදුරන් දැනුවත් කරලීමෙන්. අප ඒ සඳහා කටයුතු කරනවා.

අද රටේ මිලියන 6.8ක් රථවාහන තිබෙනවා. රථවාහන අනතුරු අවම කිරීමට මාර්ග පුළුල්වීම, මාර්ග සංවර්ධනය, රියැදුරන් දැනුවත් කරලීම වැදගත් වෙනවා. මාර්ග ආරක්‍ෂාව සඳහා ජනතාව දැනුවත් කරන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ජනමාධ්‍ය මඟින්ද දැනුවත් කිරීම් සිදු කරනවා.

රුපියලේ අගය අඩුවෙලා: බඩු මිල ඉහළ ගිහින් එහෙම තිබියදී බදු වැඩි කරනවා

ආණ්ඩුව පාපැදිකරුවන්ටත් මේ නියෝග මඟින් නියාමන පනවා, ජනතාව පිටට බර පටවනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පැවසීය.

මේ නියෝගවලින් විනයානුකූල රියැදුරන් බවට පත් කෙරෙනවා නම් එය අපි පිළිගන්නවා. මේ නීතිවලින් දඩ මුදල් අය කිරීමට ක්‍රියා කිරීමෙන් ජනතාව දඩවලට යටත් කිරීමක් ලෙස අප දකිනවා.

අද රටේ විදේශ ආයෝජන ප්‍රමාණය අඩුවෙලා. රුපියලේ අගය අඩුවෙලා. ජනතාවගේ බඩු මිල ඉහළ ගිහිල්ලා. එසේ තිබියදී ආණ්ඩුව කරන්නේ බදු අය කිරීමයි.
ආණ්ඩුව මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ රෙගුලාසි ලිහිල් කරමින් මහා ජාවාරම් කාරයන්ට සහන ලබා දෙනවා. මේ රෙගුලාසි යටතේ පාපැදිකරුවන්ට පවා නියාමන රාශියක් ඇතිකර තිබෙනවා.

මාර්ග තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් රජයට නැහැ. එසේ කරන්නේ නැතිව මහජනයා පීඩාවට ලක් කිරීමේ වැඩපිළිවෙළක් තමයි රජය ක්‍රියාත්මක කරන්නේ.
මුදල් ඇමැතිවරයා මෝටර් රථ ආනයනය කිරීමේදී බදු සහන සැලසීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යනවා. වාහන 800ක් මෙරටට ආනයනය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය ඒ වාහන රේගුවෙන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.

 

උෟවේ ප්‍රධාන ඇමැතිගේ මූල්‍ය අක්‍රමිකතා වාර්තා ගිණුම් කාරක සභාවට

උෟව පළාතේ ප්‍රධාන ඇමැතිවරයා සිදුකර ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ කරුණු රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත යොමුකරන ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි අමතා කතානායක කරු ජයසූරියට දැනුම් දුන්නේය.

උෟව පළාතේ වත්මන් ප්‍රධාන ඇමැතිවරයා විසින් උෟව පළාතේ පාසල් ශිෂ්‍යයන්ට පාසල් බෑග් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා නඟන ලද වාචික පිළිතුරු අපේක්‍ෂාකරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අවස්ථාවේ ඊට මැදිහත් වෙමින් කතානායකවරයා එසේ පැවැසීය.

පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා - පළාත් සභා ඇමැතිවරයා හැටියට 13 වැනි ව්‍යවස්ථාව යටතේ මට තිබෙන්නේ සීමිත බලයක්. මම පළාත් සභාවේ ලේකම්වරයා විමසා තොරතුරු ලබාගෙනයි සභාවට ඉදිරිපත් කරන්නේ. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මට නෛතික බලයක් නැහැ.

අනුර කුමාර දිසානායක - පාසල් ශිෂ්‍යයන්ට පාසල් බෑග් මිලදී ගෙන ඇති එක් ස්ථානයක් ඩ්‍රම්සෙට් නිෂ්පාදනය කරන තැනක්. තවත් ස්ථානයක් පුද්ගලයකු උයාපිහාගෙන ජීවත්වන ස්ථානයක ලිපිනයක්. මේ වගේ හිතවත් අයගේ ලිපිනයන් දීල තියෙනවා. අපි දන්නවා. ඇමැතිතුමා මේ ප්‍රශ්නයට ලබාදුන් පිළිතුරත්, විගණන පත්‍රිකාවේ ඇති තොරතුරුත් අතර වෙනස්කම් තිබෙනවා. මේ ගැන සොයා බලා මේ සභාවට දැනුම් දෙන්න.

ෆයිසර් මුස්තාපා - මම පළාත් සභාවේ ලේකම්ට මේ ගැන දන්වා තොරතුරු ලබාදෙන්නම්.

චමින්ද විජේසිරි - මේ විගණන වාර්තාව මම සභාගත කරනවා. මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන ප්‍රශ්නයකට පිළිතුරු ලැබෙන්න ඕනෑ.

බුද්ධික පතිරණ - ගරු මන්ත්‍රිතුමා මේ ප්‍රශ්නය රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කරන්න. අපි පළාත් සභාවේ ලේකම් එතැනට කැඳවන්නම්.

චමින්ද විජේසිරි - රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කරල තියෙන්නේ.

කතානායක - ඔව් මේ ගැන ජනාධිපති කොමිෂන් සභාව දැන් පරීක්‍ෂණ කරනවා. රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් පරීක්‍ෂණ පැවැත්විය හැකියි. දැන් ඇමැතිතුමාත් ඒ ගැන තොරතුරු මේ සභාවට ලබාදෙන බව සඳහන් කළා.

 

රියැදුරන් නීති කඩද්දී පොලිසිය අහක බලා ගන්නවා

"රියැදුරන් නීතිරීති උල්ලංඝනය කරමින් වාහන පදවද්දී පොලිසිය අහක බලා ගෙන සිටිනවා" යැයි ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා පැවැසීය.
මාර්ග අනතුරු නිසා අද දිනකට පුද්ගලයන් හත් දෙනකු මරණයට පත්වන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. අධික වේගයෙන් රිය පදවන රියැදුරන් නිසා සිදුවන අනතුරු සංඛ්‍යාව අද වැඩි වී තිබෙනවා.

අපට ආරක්ෂාකාරී මාර්ග පද්ධතියක් නැත්නම් අපේ ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් ඇතිවනවා. රියැදුරන් බොහෝ දෙනකු තුළ විනයක් නැහැ.

විදේශීය රටවල රියැදුරු බලපත්‍රයක් ලබාදීමේදී එම බලපත්‍රය ලබාදීමට පෙර හොඳින් පරීක්‍ෂා කරනවා. එවැනි පරීක්‍ෂණයක් සිදු නොවන නිසා අපේ රටේ රියැදුරන්ගෙන් මාර්ග අනතුරු සිදුවනවා පමණක් නොව රටේ ආර්ථිකයටත් බලපෑම් ඇතිවන තත්ත්වයක් උදාවී තිබෙනවා.

අද මේ රටේ අනතුරු සංඛ්‍යාව මාර්ග තදබදය අඩුවෙලා තිබෙනවාද කියා මම පොලිස්පතිතුමාගෙන් අහනවා. රියැදුරන් නීතිය ගැන නොසලකා රිය පැදවීමේදී පොලිසිය අහක බලා ගෙන ඉන්නවා. රියැදුරන් නීති රීති උල්ලංඝනය කිරීමේදී පොලිසිය අහකබලා ගෙන සිටීමෙන් ජනතාවගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වී තිබෙනවා.

 

ෆයිසර් මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද (08දා) දහවල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීම කොමිෂන් වාර්තාවේ ප්‍රගතිය, පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට තිබෙන හැකියාව ගැන මෙහිදී සාකච්ඡා වනු ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය වහා පවත්වන ලෙසට විපක්‍ෂය ආණ්ඩුවට දැඩි බලපෑමක් කරන අතර ලබන සිංහල අවුරුද්දට පෙර මැතිවරණය නොපවත්වන්නේ නම් පළාත් පාලන ආයතනවලට වරිපනම් නොගෙවීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රකාශ කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon