ආණ්ඩුවේ වෙනස්කම් ගැන ජනපතිගෙන් ඉඟියක්

  👤  4730 readers have read this article !
2017-02-05

කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විය. එහිදී කැබිනට් පත්‍රිකා 14කට පමණ අනුමැතිය පළ කෙරිණි.

ඔෟෂධ මිල අඩු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනද මෙහිදී අවධානය යොමු වූයේය. "ඔෟෂධ මිල අඩුවීම ගොඩක් හොඳයි. ඒත් ආණ්ඩුව කරන මේ හොඳ වැඩ මාර්කට් වෙන්නෙ නැහැ. දැන්වීම් පළ කළාට ප්‍රමාණවත් නැහැ. අපිම මේක කියන්න ඕන" අමරවීර සඳහන් කළේය. "ඔව් ඒක හොඳ අදහසක්. ඇමැතිවරු අදහස් දක්වන විට ඒ වගේ දේවල් තමන්ගෙ විෂයක් විදියට හිතල කටයුතු කරන්න" ජනාධිපතිවරයාද ඊට කැමැත්ත දක්වමින් අදහස් දැක්වීය.

පසුගිය ආණ්ඩු කාලයේ ඉදිකරන ලද මාර්ග ව්‍යාපෘති 11ක් සඳහා මිලියන 800ක් වෙන් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. එහෙත් ඊට බොහෝ දෙනෙක් විරුද්ධව කතා කළහ. "මේව නියමිත ටෙන්ඩර් පටිපාටියක් මත කළාද කියල සොයා බලන්න ඕන. එහෙම නැතිව මුදල් ගෙවන්න බැහැ රාජිත කීවේය. "ඔව් මේවට ගෙවන්න කලින් තව කරන්න දේවල් තිබෙනවා" දයාසිරිත් විරෝධය පළ කළේය. මේවා නාමල් රාජපක්‍ෂලගෙ යාළුවන්ගෙ සමාගම්. නියමිත ටෙන්ඩර් කැඳවීම් කරල දීපු කොන්ත්‍රාත් නෙවෙයි" එසේ කීවේ එස්.බී.ය. "ඕවා ඔක්කොම 5% කෑලි" තවත් අයෙක් උස්හ¾ඩින් කෑ ගැසුවේය. "ඔයගොල්ලො ඒ පක්‍ෂයේ ඉන්න කොට මේවා හොඳයි. දැන් තමයි නරක් වෙලා තියෙන්නෙ" කිරිඇල්ල එසේ චෝදනා කළේ ශ්‍රී ලනිප ඇමතිවරුන්ටයි. "මේවායේ නීත්‍යානුකූලභාවය සොයා බලන්න නීතිපතිට යොමු කරමු. එතකන් සති දෙකකට මේ යෝජනාව කල්දැමීම හොඳයි" ජනාධිපතිවරයා යෝජනා කළේය.

රවි කරුණානායක ඇමැතිවරයා වාහන එකලස් කිරීමේ සමාගමකට බදු සහන දීමේ යෝජනාවක් ගෙනා අතර ඊටද ශ්‍රී ලනිප ඇමැතිවරුන්ගෙන් පළ වූයේ ලොකු විරෝධයකි. "මේවට 70%ක බදු සහන දෙන කොට වාහන ආනයන කරුවො අසීරුතාවට පත්වෙනවා" දයාසිරි කීවේය. "පවතින බදු නීතිය යටතේ ඕව කළා නම් ප්‍රශ්න ඇතිවන්නේ නැහැ" අමරවීර කීවේය. එම යෝජනාවට අනුමැතිය ලබා ගැනීමටද එහිදී හැකි වූයේ නැත. ප්‍රාදේශීය සභාවලට වෙන් කරන මුදල්වල අයිතිය සම්බන්ධයෙන් වාදයක පැටලුණේ කිරිඇල්ල සහ ෆයිසර්ය. අය වැයෙන් වෙන් කරන ලද මුදල් මාර්ග ඉදිකිරීමට යොදා ගැනීම සඳහා බෙදා ගැනීම ඔවුන් දෙපළගේ වාදයට හේතු විය. "පළාත් පාලන විෂයභාර ඇමැති මම. මේ මුදල් වියදම් කරන්න ඕන මට ඕන විදියට" ෆයිසර් කීවේය. "මහාමාර්ග ඇමැති විදියට මාර්ග ඉදිකිරීම් කරන්න ඕන මට ඕන විදියට. ඒවට ඔයාට ඇඟිල්ල ගහන්න බැහැ" කිරිඇල්ල චෝදනා කළේය. මේ වාද මධ්‍යයේ එම යෝජනාද කල් දැමීමට ජනාධිපතිවරයාට සිදු වූයේය. කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීමට චම්පික ඉදිරිපත් කළ යෝජනාවක්ද වැඩ බලන විදේශ ඇමැති හර්ෂ ඇතුළු පිරිසක් විරුද්ධ වීම නිසා පසුව ඒ පිළිබඳ අවධානය යොමු කිරීමටද තීරණය කරනු ලැබීය. මෙහිදී ජනාධිපතිවරයා රටේ ඇතිවී තිබෙන දේශපාලනය කැලඹිලි සම්බන්ධව සිහිපත් කළේය.

"මේක සමඟි ආණ්ඩුවක්. 2020 වෙනකන් හොල්ලන්න කාටවත් බැහැ. හොල්ලන්න දෙන්නෙත් නැහැ. මේක තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා" ජනාධිපතිවරයා කීවේය. එමෙන්ම ඉදිරියේදී ඇමැති මණ්ඩලයේ සිදු කෙරෙන ඇතැම් වෙනස්කම් පිළිබඳ ඇතිවී තිබෙන එකඟතා පිළිබඳ ජනාධිපතිවරයා ඉඟි කළේය. එමෙන්ම ජාතික ආණ්ඩුව ගැන කරන විවේචනවලදී ඇමැතිවරු ඇතුළු සියලු දෙනා කට පරෙස්සම් කරගත යුතු බවද ඔහු අවධාරණය කළේය. "රන්ජන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්ට කතා කළ ආකාරය වැරැදියි. මේවගෙන් රජයත් අපහසුතාවට පත් වෙනවා" ජෝන් අමරතුංග කීවේය.

ඒ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වන්නට විය. "11/2015 චක්‍රලේඛයට අනුව දුරකතනයෙන් උත්තර දෙන්න රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා. ප්‍රාදේශීය ලේකම්ට දුරකතනය විසන්ධි කරන්න අයිතියක් නැහැ" තවත් ඇමැතිවරයෙක් පැවැසීය. "ගම්පහ දිසාපති ජනාධිපති ලේකම්ට ලිපියක් යවලා. එයා අයිති ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට" වජිර කීවේය.

එවැනි පසුබිමක් තුළ ගම්පහ දිසාපති සුනිල් ජයරත්නට සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එල්.එස්. හේරත් මහත්මිය සම්බන්ධව කටයුතු කරන ලෙස දන්වා අගමැති කාර්යාලය විසින් අඟහරුවාදා සවස ලිපියක් යොමු කළේය. ගම්පහ දිසාපතිවරයා පසුගිය 28 වැනිදා දිවුලපිටිය සිදුවීමට අදාළව ජනාධිපති ලේකම්වරයාට යවා තිබූ ලිපියද අගමැති කාර්යාලය යැවූ ලිපියෙන් දෝෂදර්ශනයට ලක්වී තිබුණේය.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වාගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු "මවු සෞඛ්‍ය සමාජ" වැඩසටහනට ජනාධිපතිවරයාද සහභාගි විය. ඊට දකුණු පළාත නියෝජනය කරන බොහෝ මැති ඇමැතිවරුන් එක්ව සිටීමද විශේෂත්වයක් විය. ඔවුන් සියලු දෙනාට දිවා ආහාරය සූදානම් කොට තිබුණේ ගාල්ල "ලයිට් හවුස්" හෝටලයේදීය. ආහාර ගැනීමෙන් පසුව මැති ඇමැතිවරු සමඟ පැවැති සුහද කතාබහේදී ජනාධිපතිවරයා "ඔය ගොල්ලො දන්නවද මම දේශපාලනයට ආ හේතුව..?" විමසුවේය. එතැන සිටි බොහෝ දෙනාගෙන් ඊට පළවූයේ නිශ්ශබ්දතාවකි. ඒ අනුව ජනාධිපතිවරයා එම හේතුව පැහැදිලි කළේය.

"මම පොළොන්නරුව ඉස්කෝලෙ ප්‍රාථමික පන්තියේ ඉගෙන ගනිද්දී නිදහස් උත්සවයක් සංවිධානය කළා. ඒකෙදි නිදහස් ලංකාවෙ නායකයන් ලෙස ළමයින් හැඩගන්වලා තිබුණා. ඩී.එස්. සේනානායක, බණ්ඩාරනායක ආදී පිරිසක් ලෙස අපට රඟපාන්න වුණා. මම පෙනී සිටියේ බණ්ඩාරනායක මහත්තය විදියට. නැෂනල් එක අන්දවල සාටකයකුත් කරට දමලා පයිප්පයකුත් කටට දීලා තිබුණා. මාත් ඒක හොඳට කළා. මං ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයගෙ විස්තර, ඡායාරූප එකතු කළා. එදා පාසල් නිදහස් උත්සවය තමයි මට දේශපාලනයට එන්න හේතු වුණේ, ජනාධිපතිවරයා කීවේය. එය කිසිදු ශබ්දයක් නොමැතිව සෙසු අය අසා සිටියේ කතාන්දරයක් මෙන්ය. "සර් එදා ඩී.එස්.ට. ඇන්දනම් මොකද වෙන්නේ" ෂාන් විමසුවේ සියලු දෙනාගේ සිනා හඬ මැදය. "එහෙම වුණා නම් ඒකත් ගැටලුවක් තමයි" ජනපතිවරයා කියත්ම ගයන්ත කනට කරමින් වජිරට රහසක් කීවේය. "සර් මේ ගයන්ත කියන එක ඇහුවොත් පුදුම හිතේවි." වජිර කීවේ එම රහස හෙළි කරනු රිසියෙන්ය. "දැන් නම් ඉතිං ජනාධිපතිතුමා ඩී.එස්.ටයි, බණ්ඩාරනායකටයි දෙන්නටම ඇඳලලු"

ත්‍රස්තවාදී යුද සමයේ තම ඥාතීන් අතුරුදන් වී ඇති බව කියමින් පසුගියදා ඔවුන්ගේ ඥාතීහු වවුනියාවේදී උපවාසයක් කළහ. උපවාසය දින තුනක් තිස්සේ ක්‍රියාත්මක වෙද්දී රජය ඊට උනන්දුවෙන් මැදිහත් විය. ඒ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මඟින්ය. අතුරුදන් වූවන් පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ දෙසතියකින් පමණ විස්තර ලබා දෙන බවට එහිදී රාජ්‍ය ඇමැතිවරයා පොරොන්දු වීමත් සමඟ එම උපවාසය නතර කෙරිණි. එම පොරොන්දුව අනුව ලබන බ්‍රහස්පතින්දා පෙරවරුවේ එම ඥාතීන් පිරිසට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස රජය දන්වා තිබේ. රජය නියෝජනය කරමින් සාගල, විජයදාස සහ රුවන් මෙන්ම පොලිස්පති පූජිත්ද එම අවස්ථාවට සහභාගි වී කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

පක්ෂ විපක්ෂ දේශපාලන කරළිය දවසින් දවස නව පුවත්වලින් උණුසුම් වන්නේය. එවැනි කරුණු රැසක් පිළිබඳ අරලියගහ මන්දිරයේදී අගමැති වික්‍රමසිංහ සහ එජාප මැති ඇමැතිවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා සිදු වූහ. "මහින්ද රාජපක්ෂ ඔය සයිටම් එකට දස ලක්ෂ හයසීයක් දීලා තමයි පටන් ගත්තේ. අපි බලයට එන කොට තිබුණේ පොඩි නීති ප්‍රශ්නයක් විතරයි. වෛද්‍ය සභාව දැන් ප්‍රශ්න ඇද්‍ෙදාත් උසාවියත් එක්ක ඒක බේරා ගන්න වේවි" ඇමැති කිරිඇල්ල එම කතා බහට ප්‍රවේශයක් දුන්නේය. "අභියාචනාධිකරණ තීන්දුව සිසුන්ගේ ජයක්. මේක ආණ්ඩුවෙ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. කණ්ඩායම් දෙකක් කඹ ඇද්දා. එක පාර්ශ්වයක් උසාවි ගියා. උසාවි නියෝග පිළිපැදීම රජයේ වගකීමක්" අගමැතිවරයා ඒ පිළිබඳ දැක්වූයේ එබඳු ආකල්පයකි. "නුවර අධිවේගයේ දෙවැනි අදියර ලංකාවේ සමාගම්වලට දීම හොඳ දෙයක්. මේ අත්දැකීම් නිසා ඔවුන්ට විදෙස් කොන්ත්‍රාත් ලැබේවි"යැයි කීවේ දයා ගමගේය. "නුවර අධිවේගී මාර්ගය දළදා වඳින්න යන අයට.

සබරගමුව අධිවේගී මාර්ගය ශ්‍රී පාදය වඳින්න යන අයට. කුරුණෑගල, දඹුල්ල ශ්‍රී මහා බෝධිය වඳින්න යට අයට. මහින්ද වැඩ කළේ දකුණට විතරයි. 2019දී අපි නුවර අධිවේගී මාර්ගය විවෘත කරනවා" කිරිඇල්ල කීවේය. "ගෝල්ෆේස්, කැම්බල් වගේ ලොකු පිට්ටනි නොගෙන මහින්දගේ රැස්වීම නුගේගොඩ හුණ්ඩුවේ තියලා සද්ද දාන්න හැදුවත් ඒක හරි ගියේ නැහැ" වජිර ප්‍රකාශ කළේය. "මහින්දලා රටට ඉතිරි කරලා ගිය ප්‍රශ්න කන්දරාව ජනතාව දන්නවා. ආණ්ඩුව ඉන් මිදෙන්න කරගෙන යන වැඩපිළිවෙළත් මිනිස්සු දන්නවා.ඒ නිසා මේ වෙලාවේ ජනතාව දේශපාලන වශයෙන් රත් කරලා පාරට දාන්න බැහැ. ආණ්ඩුවේ කී දෙනෙක් නුගේගොඩ වේදිකාවට ආවද?" රනිල් සිනාසෙමින් විමසත්ම සෙසු අය හඬ නඟා සිනාසෙන්නට වූහ. "දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් හා රන්ජන්ගේ ප්‍රශ්නය ජනමාධ්‍ය විසින් වැනසුවා.

රන්ජන්ගේ රතු කට්ට පැන්නා වැඩියි" වජිර රන්ජන් දෙසට හැරෙමින්ම කීවේය. "මම ජනතාවගේ ප්‍රශ්නයක් කතා කළාම එතුමිය ආවේගශීලී වෙලා ඇමතුම කට් කළා. මම ඊට පස්සේ ආවේගශීලී වුණා නම් ජනතාව වෙනුවෙනුයි. පස් කැපීම දැන් නතර වෙලා. මට ඕන වුණෙත් ඒක තමයි" රන්ජන් පිළිතුරු දුන්නේ එලෙසින්ය. "මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන්න ක්‍රියා කරන්න යනවා කියලා ඒකාබද්දෙ අය අලුත් බිල්ලෙක් මවන්න හදනවා" දයා ගමගේ තවත් කරුණක් ඉස්මතු කළේ එලෙසින්ය. "මහින්දගෙයි ඔය ඒකාබද්ධ නඩයෙයි ප්‍රජා අයිතිය ජනතාව ඡන්ද දෙකකදී අහෝසි කරලා ඉවරයි." අගමැතිවරයා කීවේය. "විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවටයි වග කියන්නේ. එතුමා පත්තරවලට සාකච්ඡා දීලා ප්‍රශ්න හදනවා. පාර්ලිමේන්තුවට එන ඕනෑම වාර්තාවක් ගැන මැති ඇමැතිවරුන්ට ප්‍රශංසා වගේම විවේචන කරන්නත් පුළුවන්. මෙතෙක් කෝප් වාර්තාව විතරයි පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළේ. විගණකාධිපතිගේ විතරක් නෙවෙයි නීතිපතිගේ, පොලිස්පතිගේ උපදෙස් පවා පාර්ලිමේන්තු නියෝජිතයන්ට ප්‍රශංසාවට හා විවේචනයට බඳුන් කරන්න පුළුවන්" කිරිඇල්ල අවධාරණය කළේය.

ආණ්ඩුවේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ ගැන ජනතාව දැනුවත් කිරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටියි. ඒ සම්බන්ධයෙන් සඳුදා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණ රැසක් ගනු ලැබූහ. පෙබරවාරි 12දා මහියංගණය, හිරියාල, හිනිදුම, උඩුනුවර, මස්කෙළිය, දැරණියගල, ‍ෙදාම්පේ සහ සේරුවිල මැතිවරණ කොට්ඨාසවල ආසන සංවිධාන කැඳවා එම දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුවෙයි. අප්‍රේල් 5දා වන විට එම කටයුතු අවසන් කිරීමටද එහිදී තීරණය කරනු ලැබීය.

පසුගිය ජනවාරි මාසයේ අවසන් සිකුරාදා ඒකාබද්ධ විපක්ෂයට වැදගත් දවසක් විය. ඒ නුගේගොඩදී පැවැත්වූ "පෙරළියක ඇරඹුම" ජනරැලිය නිසාය. රැලියට සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සියලුදෙනාම පාහේ එදින උදෑසන පාර්ලිමේන්තුවේ දී මුණගැසුණහ. ඒ කලින් කතිකා කරගත් පරිදිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජනතාව සවස් වෙද්දී නුගේගොඩට පැමිණියහ. ඒ අතර මන්ත්‍රිවරු තම නායකයන් සමඟ පෙළපාළිවලින් රැස්වීම් භූමියට ඇතුළු වූහ. එලෙස පැමිණි ප්‍රසන්න රණතුංග වේදිකාවට ගොඩවුවද ඔහු සමඟ සිටි පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රිවරුන්ට වේදිකාවට සුළු වේලාවකට හෝ ගොඩවීමට අවකාශයක් ලැබුණේ නැත. ඒ ඊට අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසාය. "අර පහළ ඉන්න පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රිවරු සුළු වේලාවකටවත් වේදිකාවට ගන්න බැරිද..?" ප්‍රසන්න වේදිකාවේ සිටි රෝහිතගෙන් සහ කංචනගෙන් විමසීය. "ඒක කරන්න බැහැ. වේදිකාවේ ඉඩ නැහැ" රෝහිත පිළිතුරු දුන්නේය. "එහෙම කියලා හරියන්නේ නැහැ. මන්ත්‍රිතුමා පොඩි වෙලාවකට හරි ඒ අය වේදිකාවට ගොඩකර ගත්තොත් හොඳයි. ඒ අය තමයි ගම්වලින් සෙනඟ ගෙනාවේ. ගමේ සෙනඟට ආචාර කරන්න ඒ අයට අවස්ථාවක් දෙන්න." යළි ඉල්ලා සිටි ප්‍රසන්න ඊට අවස්ථාවක් ලැබේ යැයි තවත් ටික වේලාවක් බලා සිටියේය. යහපත් ප්‍රතිචාරයක් නොමැති තැන ඔහු "මට තේරෙනවා මල්ලි ඔයාලත් අපහසුතාවට පත්වෙලා ඉන්නවා කියලා. ඒ වුණත් ඒ අය පහළ ඉන්නකොට මම විතරක් වේදිකාව උඩට නැඟලා ඉන්න එක හොඳ නැහැ. හැබැයි ඔයාලත් මීට වඩා ඒ අය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මහින්ද මහත්තය පැරදුණු දවසෙ ඉඳලම ඔහු සමඟ ඉන්නේ මේ අය. ඒ ගැනත් අපි හිතන්න ඕන" යැයි කංචනට පවසමින් වේදිකාවෙන් බැස්සේය. රෝහිත වේදිකාවට කතා කළද ප්‍රසන්න නොගියේය. දිනේෂ්, වාසු, උදය, මහින්දානන්ද ඇතුළු පිරිසක්ද ඊට උත්සාහ කළද ව්‍යර්ථ විය.

වේදිකාවේ සිටි මහින්ද වේදිකාවෙන් පහළ ප්‍රසන්න රැඳී සිටිනු දුටුවේය. ඔහුට අතින් සංඥා කොට මහින්ද කතා කළද ප්‍රසන්න ද අතින් එය ප්‍රතික්ෂේප කළේය. සෙනසුරාදා වනවිට ප්‍රසන්න වේදිකාවට නොයෑම සමාජජාල වෙබ් අඩවිවල පුවතක් බවට පත්වී තිබිණි. මහින්ද දුරකතන ඔස්සේ ප්‍රසන්නගෙන් ඒ පිළිබඳ විමසීමක් කළේය. වෙබ් අඩවිවල පළවන ආකාරයේ මත ගැටුමක් වේදිකාවට ගොඩ නොවීමට හේතු නොවූ බවත් ඊට හේතුවත් එහිදී ප්‍රසන්න පැහැදිලි කළේය. "ඒක හරි, අපේ ඊළඟ රැස්වීමේදී මම අපේ අයට කියන්නම් ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා. ඒ අයත් අපේම මිනිස්සු" මහින්ද කීවේය.

නුගේගොඩ රැලිය ආවරණයට ගිය මාධ්‍යවේදීන්ටද විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. ඒ පිළිබඳ පසුවදා මාධ්‍ය හමුවක් පවත්වමින් සමාව ගැනීමට ඩලස් අලහප්පෙරුම කටයුතු කළේය. සඳුදා සවස හිටපු ජනපති මහින්ද දළදා වහන්සේ වැඳපුදා ගත්තේය. නියංගොඩ විජිතසිරි හිමියන්ද බැහැදුටු ඔහු දළදා මාලිගයට පැමිණ සිටි කුඩා දරුවකු වඩා ගත්තේය. එම දරුවා පැවිදි වීමට භික්ෂුන් වහන්සේ සමඟ පන්සලේ වත්පිළිවෙත් ඉගෙන ගන්නා අයෙකි. "තව ටික දවසකින් මහණ වුණාම වඩාගන්න බැහැනෙ" කියමින් මහින්ද එම දරුවා වඩාගෙන සුරතල් කළේය.

පසුදා උදෑසන කි.මී. 3ක් ගෙවා මහින්ද මිරිසවැටියට ගියේ පාගමනින්ය. උදෑසන ඔහු දුටු පාසල් ශිෂ්‍යයන් ඇතුළු ජනතාව පුදුමයට පත්වන්නට වූහ. පාසල් දරු දැරියෝ මහින්දගේ දෙපා වැඳ ආශිර්වාද ලබාගැනීම ඉතා සංවේදී දසුනක් වූයේය. "අද මෙහෙම නිදහසේ අනුරාධපුරයේ ඇවිදගෙන යනකොට පුදුමාකාර හැඟීමක් දැනෙනවා." මහින්ද හැඟුම්බරව එසේ කීවේ එස්.එම්. චන්ද්‍රසේනටය. තරමක් අසනීප තත්ත්වයෙන් පසුවන රාමඤ්ඤ නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියන් බැහැදැකීමට ද මහින්ද ගියේය. උන්වහන්සේ එ.ජා.ප. රජයක් පිහිටුවීමට ධෛර්යයෙන් කටයුතු කළ හිමි නමකි. "දැන් මගේ ප්‍රජා අයිතියත් අහෝසි කරන්න මේ යහපාලනය කටයුතු කරනවා" මහින්ද උන්වහන්සේට කීවේය. මහින්දට කිරිකොස් සමඟ වැව් මාළු පිළියෙල කොට පිළිගන්වන්නට එස්.එම්. බලා සිටියේ වෙනදා පුරුද්දටය. එහෙත් කැබිලිත්තේ පූජාවකට යෑමකට නියමිත නිසා මහින්ද එම ඇරයුම කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. "කිරිකොස් නම් කන්න ආසයි. ඒත් එන්න විදියක් නැහැ. ගෙනැල්ලවත් කමු." මහින්ද එස්.එම්.ට කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ රැස්වීම මෙවර පැවැත්වුණේ බ්‍රහස්පතින්දාය. හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේදී එය පැවැත්විණි. සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් හට ගෙන ඇති අර්බුදකාරී තත්ත්වය එහිදී සාකච්ඡාවට ගැනිණි. ඒකාබද්ධ විපක්ෂය ලෙස අදහස් ප්‍රකාශ කිරීමට පෙර වෛද්‍ය ශිෂ්‍යයන්, වෛද්‍ය සංගම්, වෛද්‍ය පීඨ ඇතුළු ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ ලබන සතියේදී සාකච්ඡා කිරීමට එහිදී කතිකා කර ගත්හ. එම සාකච්ඡාව ලබන සතියේදී පැවැත්වීමට නියමිත අතර සයිටම් සම්බන්්ධ ඒකාබද්ධ විපක්ෂයේ අදහස ඒ අනුව ප්‍රකාශ කිරීමට නියමිතය.

ජපන් රජය පිරිනමන උසස්ම සම්මානය වන 'උදාවන සූර්යා' සම්මානය සඳහා මෙවර ශ්‍රී ලංකාවේ කතානායක කරු ජයසූරියගේ නමද නිර්දේශ කොට තිබිණි. පිලිපීනයේ හිටපු අගමැති සීසර් එන්රික් විරාටා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වූ සෑම් කහම්බා, ඇමෙරිකා නියෝජිත මණ්ඩලයේ කතානායක ජෝන් බොයිනර්, පිලිපීන සෙනට් සභාවේ හිටපු සභාපති ෆ්‍රෑන්ක්ලින් ඩ්‍රිලන්, කොරියා ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හන් සුං ජු, උදාවන සූර්යා සම්මානය හිමි සෙසු අයයි. එම සම්මාන පසුගිය නොවැම්බර් 8 වැනිදා ජපන් රජ මාලිගයේදී පිරිනැමුණද ඊට සහභාගි වීමට කතානායක කරු ජයසූරියට හැකි වූයේ නැත. ඒ සිය කනිටු දියණිය ඒ වන විට මිය ගොස් සිටි නිසාය. එදින සම්මාන ප්‍රදානය කළ නොහැකි වුවද පසුගිය අඟහරුවාදා මෙරට පිහිටි ජපන් කාර්යාලයේදී ඒ වෙනුවෙන් පැවැත්වූ විශේෂ උත්සවයකදී එම සම්මානය කතානායකවරයාට පිරිනැමීමට ජපන් රජය කටයුතු කෙළේය. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා අඟහරුවාදා එම සම්මානය පිරිනැමුවේය. ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නියෝජනය කරමින් ගයන්ත, සුසිල්, නවීන්, ලසන්ත, හර්ෂ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

සම්මානය පිරිනැමීමට සැලකිය යුතු කාලයක් ජයසූරියගේ ක්‍රියාදාමයන් පිළිබඳ ජපන් රජය අධ්‍යයනය කළ බව එහිදී ජපන් තානාපතිවරයා සඳහන් කෙළේය. 1951දී සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී 'නහී වේරේන වේරාණි' පාඨය ජේ.ආර්. ප්‍රකාශ කළා මෙන් කරු ජයසූරියද එය සිහි ගන්වමින් දෙරටේ මිතුදම පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය.

බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයේ පල්ලත්තර හා පට්ටියවෙල ගම්මාන දෙක යා කරමින් කිරම ඔය හරහා ඉදිකරන ලද පාලම විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ නිවාස ඇමැති සජිත්ය. 'අවුරුදු ගාණක් තිස්සේ බලවත් ඇත්තන්ට කියල නොවඳිනා වැඳුම් වැන්දා මේ පාලම හදන්න කියලා. අපේ ඡන්ද දුන්නෙත් ඔබතුමාට නෙවෙයි. ඒත් අන්තිමට අපට පිහිට වුණේ ඔබතුමා විතරයි.' වියපත් මවක් සජිත්ගේ දෑත් අල්ලාගනිමින් කීවාය. 'ඔන්න අම්මේ අපි කොන් වෙච්ච ගම් තුන හතරක්ම යා කළා. අපි නම ගහගන්න ව්‍යාපෘති කළේ නැහැ. පොඩි මිනිහට වැඩක් වෙන දේවල්වලට මුල් තැන දුන්නා. විධායක ජනාධිපති කෙනෙක් දෙපාරක්ම බිහි කරපු ආසනයක මෙහෙම වැඩක්වත් කරගන්න බැරි වෙලා.' සජිත් උත්තර දුන්නේය. කුරුණෑගල පොල්පිතිගම 'විජයබාගම' විවෘත කිරීමේ උත්සවයේදී සහ හම්බන්තොට ඕකේවෙල සිමෙන්ති ප්‍රදානය කිරීමේ උත්සවයේදී කඩාකප්පල්කාරී වැඩ සිදුවී ඇති බවට නිවාස ඇමැති සජිත්ගේ කන වැකී තිබිණි. අමාත්‍යාංශයේ පැවැති අභ්‍යන්තර සාකච්ඡාවකදී කකුලෙන් අදින, වැඩ අවුල් කරන අවතාර සිටින බව ප්‍රකාශ කරමින් එම සිද්ධීන් අලළා පරීක්ෂණයක් කරන බව සජිත් සැල කෙළේය. 'මේ වැඩ අවුල් කරන අය තනතුරුවලින් ඉවත් කිරීම හැර වෙන කරන්න දෙයක් නැහැ' සජිත් තම නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක දෙසට හැරෙමින් කීවේය.

ද්‍රවිඩ ජාතික සන්ධානය ජනතා ආකර්ෂණය වඩාත් දිනා ගනිමින් ඉදිරියට යෑම සඳහා ආකර්ෂණීය චරිත ඊට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරමින් සිටියි. ඒ වෙනුවෙන් තරුණ පෙරමුණේ නිලයක් භාරදීම සඳහා ආරාධනා කොට ඇති තරුණිය ප්‍රවීනා රවිරාජ්ය. නීතිඥවරියක වන ඇය, ඝාතනය කෙරුණු ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ්ගේ දියණියයි. කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගැන්වීම් කටයුතු කරන සිය මව සමඟ සිටින ඇයට නුදුරු දිනයකදී ද්‍රවිඩ සන්ධානයේ සාමාජිකත්වය දීමට නියමිතය. ඇය මීළඟ මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමටද අපේක්‍ෂාවෙන් සිටින්නීය.

විමල් වීරවංශ නව මැගසින් බන්ධනාගාරයේ සිරකුටියක් තුළට වී පළමු සති දෙක නිමා වන විට තම ලේඛන දිවියේ 06 වැනි ග්‍රන්ථය ලියා අවසන් කිරීමට සමත් විය. එය පරිච්ඡේද 10කින් සමන්විත ජාතිකවාදය අලළා ලියැවුණු පර්යේෂණාත්මක කෘතියකි. දැන් ඔහු තම 'සිරගත දිවිය' අලළා ඔහුගේ 07 වැනි ග්‍රන්ථයද ලියමින් සිටියි. මේ අතර 'දේශපාලන දඩයම නවතනු! - විමල් වහා නිදහස් කරනු!" යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්‍ෂය, ජාතික සංවිධාන එකමුතුව සමඟ එක්ව ජාතික නිදහස් පෙරමුණ විසින් රට පුරා පොදුජන විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එහි පළමුවැන්න පසුගිය ජනවාරි 31 වැනිදා මහරගම නගරයේදී පැවැත්විණි. එහි විශේෂත්වය වූයේ ඒකාබද්ධ විපක්‍ෂයේ සහ ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය සහ ක්‍රියාකාරීන්ට අමතරව පොදු ජනතාවද විරෝධතාවට එක්වී ආණ්ඩුවට තම බලවත් විරෝධය දැක්වීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon