දේශප්‍රේමය හා යහපාලනය

  👤  3954 readers have read this article !
2017-02-02

'සෑම මිනිසකුම අර්බුදවලට මුහුණදීමට කැමැතිය. එහෙත් ඔහුගේ සැබෑ චරිතය හැඳිනීමට නම් ඔහුට බලය ලබාදිය යුතුය'

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන්ගේ මේ කතාව නම් සහතික ඇත්තය. බලය අතට ගත් පසු පිස්සු නැටූ පුද්ගලයන් ඉතිහාසයේ ඕනෑ තරම්ය. හිට්ලර්, ස්ටාලින්, පොල්පොට්, මාකෝස්, පිනෝෂේ, ඉඩිඅමීන්, ගඩාපි ලෝකයේ සිටි එවැනි කුප්‍රකට දේශපාලනඥයන්ය. තවමත් ජීවතුන් අතර සිටින රොබට් මුගාබේ බලයෙන් මත්වී සිම්බාබ්බේ නරකාදියක් බවට පත් කළ පුද්ගලයෙකි. මැන්ඩෙලා, මහත්මා ගාන්ධි, ශ්‍රිනේරු, හෝචිමින්, ලෙනින්, ට්‍රොට්ස්කි, චේ වැනි නායකයන් බලයෙන් මත්වී පිස්සු නැටුවේ නැත. ඔවුන් අතින් වැරැදි නොවුණා නොවේ.

ලංකාවේ දේශපාලන නායකයන් කවදත් අඩුවැඩි වශයෙන් කළේ පිස්සු නැටීමය. ලංකාව ආදර්ශයට ගෙන ලීක්වාන්යු සිංගප්පූරුව ගොඩනැඟුවද අපේ නායකයන්ගේ සිහිනය වූයේ මේ රට සිංගප්පූරුවක් කිරීමටය. පිස්සුවේ තරම ඉන් තේරුම්ගත හැකිය. අවසානයේ කාගෙ කාගෙත් සම්මාදමින් රට විසාලාවක් වූ බව නම් නොකිවමනාය. ධර්මිෂ්ඨ සමාජයක් හදන බවත්, ඇට අටක් දෙන බවක් කියමින් ජේ.ආර්. ජයවර්ධන කළේ 1977 ලැබුණු හයෙන් පහක 'බලය' සියතට ගෙන අවශ්‍ය ලෙස ඇඹීමය. විධායක ජනාධිපති ක්‍රමය යටතේ පිරිමි - ගැහැනු වෙනස ඇති කිරීම හැර අන් සියලු 'බලය' ජේ.ආර්. ලබාගත්තේය. තට්ටු මාරු දේශපාලනය නිසා රට විනාශ වුණු බව දුටු ජේ.ආර්. ආර්ථිකය විවෘත කර විධායක ජනාධිපති ධුරයක් ඇති කළේය. සමානුපාතික ඡන්ද ක්‍රමයක් ගෙනාවේය. එහෙත් ඉන් අවුරුදු 17 කට පසු විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීම මනාප බලු පොරය, බොනපාට්වාදී ජනාධිපතිවරු, අර්ධ පැසිස්ට් ආණ්ඩු ගැන කතා කිරීමට සිදුවූයේ ඇයි? 'බලය' අතට ගත් පසු නායකයන්ට මෙන්ම සෙස්සන්ටද මුල මැද අග තුනම අමතකවී යයි.

'අපේ මහඟුතම වස්තුව අපේ ජනතාව යනු මගේ විශ්වාසයයි. අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳම ආරක්‍ෂකයා වන්නේ මනා අවබෝධයකින් යුතු ජනතාවය.'
එසේ කියා ඇත්තේ හිටපු ජනාධිපතිවරයකු වන ආර්. ප්‍රේමදාසය.

ප්‍රේමදාස මහතාගේ කතාව ඇත්තකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටෙන්නේ සබුද්ධික ජනතාව අඩුවන තරමටය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටුණේ තර්කඥානය, විචාර බුද්ධිය නැති මිනිසුන් බහුල වීම නිසාය. ජේ.ආර්.ගෙන් පසු විධායක ජනාධිපති වූ ප්‍රේමදාස පාර්ලිමේන්තුව නොතකා හැර වැඩ කළේය. ජේ.ආර්. පාර්ලිමේන්තුව තමන්ට අවනත කර ගෙන වැඩ කළේය. මන්ත්‍රිවරුන්ගේ දින දාතම රහිත ඉල්ලා අස්වීම් ලිපි ජේ.ආර්.ගේ සාක්කුවේ තිබුණේය. 'දෝෂාභියෝගය' වෙලාවේ ප්‍රේමදාස කියා සිටියේ ජේ.ආර්. වගේ කළා නම් අද මට මෙවැනි කරදරයක් ඇති නොවන බවය. ජේ.ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරු නොකළ වැඩක් ජනාධිපති ධුරයට පත්වූ චන්ද්‍රිකා කළාය. ඒ මුදල් ඇමැති ධුරය තමන් අතේ තබා ගැනීමය. මුදල් බලය පාර්ලිමේන්තුව සතු වුවද පාර්ලිමේන්තුවට වග නොකියන ජනාධිපතිවරයා මුදල් ඇමැති ධුරය දැරීමෙන් පාර්ලිමේන්තුවට මුදල් කෙරෙහි ඇති වගකීම දුර්වල වේ.

චන්ද්‍රිකාගේ වැරැදි පුර්වාදර්ශය ජනාධිපති මහින්දද හිස් මුදුනින් ගත්තේය. මුදල් ඇමැති පදවිය තමන් යටතේ තබාගෙන සුපිරි ආර්ථික ඇමැතිවරයෙක් නිර්මාණය කළේය. ආර්ථික ඇමැතිගේ යෝජනාවක් පළාත් සභාවට යොමු කිරීමට තීරණය කිරීම නිසා අගවිනිසුරු ධුරය දැරූ ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවා මිස පස්ස බැලුවේ නැත.

මහජන මුදල් ආරක්‍ෂා කිරීම ජනාධිපතිවරයාට භාරදීම සේප්පුවේ යතුර හොරාට භාරදීම වැනි වැඩකි. ඒ වැඩේ 1994 සිට මේ රටේ සිදුවිය. 2000 රනිල් අගමැති වූ විට මුදල් ඇමැති ධුරය ජනාධිපතිගෙන් ගත්තේය. මේ ආණ්ඩුවේ මුදල් ඇමැති ධුරය ජනාධිපති දරන්නේ නැත. එහෙත් මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති භාණ්ඩාගාරය අගමැතිවරයා අතට ගෙන තිබේ. මලික් - චරිත - පාස්කරලිංගම් හා රනිල් අරලියගහ මන්දිරේ සිට ආණ්ඩුවේ සියලු වැදගත් තීරණ ගන්නා බව පැවැසේ. මේ චෝදනාව මහින්ද, චන්ද්‍රිකා, ප්‍රේමදාසටත් එල්ල විය. කිචන් කැබිනට් ක්‍රමය දිගටම පවත්වාගෙන යන බව මින් පෙනේ 'මිස්ට ක්ලීන්' ලෙස හැදින්වුණු රනිල්ගේ නම බැඳුම්කර සිද්ධිය. ඇතුළු වංචා දූෂණ චෝදනාවලට ගෑවී ඇත. බැඳුම්කරයට රනිල් කොටුවන්නේ අර්ජුන් මහේන්ද්‍රන් ඔහු විසින් සිංගප්පූරුවෙන් ආනයනය කළ ගජ මිතුරකු නිසාය. බඩු බනිස් වී ඇත.

අගමැති ධුරය ලබා ගැනීමෙන් පසු රනිල් ලිච්ඡවීවරුන්ගේ ක්‍රමය ගැන කතා කළත් ඔහුගේ කැපකිරීමෙන් පෙනෙන්නේ ඊට හාත්පසින් වෙනස් ක්‍රමයකට ඔහු කැමැති බවය. ලින්කන් කීවා සේ ඔහුගේ සැබෑ චරිතය මතුවන්නේ බලය වැඩි වන තරමටය. මහින්ද රාජපක්ෂද 2005 බලය ඉල්ලුවේ 'මම ඔබේ දරුවන්ගේ හිමිකරුවා නොව, තාවකාලික භාරකරු කියාය. එහෙත් 'බලය' හිමි වීමෙන් පසු ඔහු කටයුතු කළේ දරුවන්, ඥාතීන්, හිතවතුන් සතුටු කිරීමටය. මුළු රටේම හිමිකරුවා ලෙසය. 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් නොසිතූ ලෙස පරාජය වීමට බලපෑවේද මහින්ද චින්තනයට පිටුපා කටයුතු කිරීමය.

ශ්‍රී ල.නි.ප.යේ මහ ලේකම් ධුරයත්, සෞඛ්‍ය ඇමැති ධුරයත් අතහැර දමා විපක්ෂයේ පොදු අපේක්ෂයා වූයේ රාජපක්ෂ පාලනයේ දුෂ්ටකම් තවදුරටත් ඉවසිය නොහැකි බව කියමිනි. ජනාධිපතිවරණයෙන් ජය ගත වහාම හොරුන්ට පලා යෑමට ඉඩ නොදී ගුවන් තොටුපොළ වසා දමන බව ඔහු කීවේය.

'ආණ්ඩුවේ මැති - ඇමැතිවරු කියනවලු කොහොම හරි මොනවහරි කරල දිනනවා කියලා. මම මහින්ද මහත්තයටයි එයා වටේ ඉන්නා හොරු රැළටයි කියනවා කොහොම හරි කරල මේ පාර දිනන්න බැහැ. අපේ ජනතාව එක්ක එකතුවෙලා 8 වැනිදා මේ රටේ අලුත් ආණ්ඩුවක් හදනවා. ඒක වෙනස් කරන්න බැහැ. අපිව මර්දනය කරන්න ආවොත්, මැතිවරණයට බාධා කළොත් ඡන්ද පැත්තකට දාලා ජනතාවත් එක්ක පාරට බැහැලා සටන වෙන පැත්තකට හරවනවා. අපේ ජයග්‍රහණයට මුළු රටේ 65%කට වැඩිය එකතු වේවි.'

මේ මෛත්‍රි ජනාධිපතිවරණ වේදිකාවේ කළ කතාවකින් කොටසකි. 65% කෙසේ වෙතත් ලක්ෂ 62කට වඩා ඡන්ද ගැනීමට මෛත්‍රිට හැකි වූයේ 'දේශප්‍රේමය' ගැන කතා කර නොව හොරු, වංචා, දූෂණ, අපරාධ ගැන යහපාලනය ගැන කතා කිරීම නිසාය. එහෙත් මෛත්‍රි දන් දැන් ට්‍රැක් එක මාරු කිරීමට කල් බලන බව පෙනේ. රණවිරුවන් උසාවි දක්කාගෙන යෑම, එක්නැලිගොඩ නඩුවේ සැකකාර බුද්ධි අංශ නිලධාරීන් ඇප නොදී අත්අඩංගුවේ තබා ගෙන සිටීම, උඩුවේ ධම්මාලෝක හිමි ඇතුළු හිමිවරු අත්අඩංගුවට ගැනීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත, හාමුදුරුවන්ට පෙන්වන බව කීම, හාමුදුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලබා රට පාලනය කරන බව කීම, හිටපු නාවික හමුදාපති හා දැනට සිටින නාවික හමුදාපති සමඟ නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන්ට වැටී ඇති නඩු ගැන සාකච්ඡා කිරීම, බොදුබල සේනාව සමඟ සාකච්ඡා කිරීම, කවුරුවත් කියන විදියට රට පාලනය නොකරන බව කීම, කාටවත් නැවෙන්නේ නැති බව කීම වැනි 'කතන්දර' නිසා සබුද්ධික ජනතාව මෛත්‍රි ගැන ඉන්නේ සාංකාවෙනි. විචිකිච්චාවෙනි.

"ජාතික නායකයකු වන මහින්ද රාජපක්‍ෂ කෙසේ හෝ පරාජයට පත් කොට මෛත්‍රිපාල සිරිසේන නම් වූ දුර්වල නයකයා බලයට පත්කොට රට කෑලි කෑලිවලට බෙදා රට අස්ථාවර බවට පත් කිරීමට ඔවුන් මහා උත්සාහයක නිරත වී සිටිනවා.

ඔවුන්ගේ අපේක්‍ෂා ජය ගතහොත් යළි රට කෑලිවලට කැඩී යුද්ධයක් ඇතිවී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව විපතට පත්වේවි. එනිසා මේ විදේශීය කුමන්ත්‍රණයට කිසිසේත් ඉඩදිය යුතු නැත. එනිසා මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවා මෛත්‍රිපාල ඇතුළු විදේශ කුමන්ත්‍රණකාරයන් පරාජයට පත් කළ යුතුය."

2015 ජනවාරි 09 වැනිදා "දිනමින" පත්තරයට විතාරන්දෙණියේ වජිරවංශ හිමි කර තිබූ ප්‍රකාශය හා අද පළවන අදහස් උදහස් අතර සමානකමක් දක්නට ඇත.
පසුගිය 27 වැනිදා නුගේගොඩදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂ සංවිධානයෙ රැලියේදී මහින්ද කිව්වේද මෙහෙම කතාවකි.

"රටේ හොරකම රජවෙලා දූෂණය වැඩිවෙලා කියලා අපි නෙවෙයි කියන්නේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයයි. අද රණවිරුවන්ව දඩයම් කරනවා. රට නිදහස් කරපු රණවිරුවන් අයිතිවාසිකම් ඉල්ලනකොට මහ පාරේදී ගුටි දෙනවා. ඊට විරුද්ධව හාමුදරුවරු පාරට බැස්සම නඩු දානවා. රට බෙදන ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් හදලා දිවි පුදා අපි ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය පාවා දෙන්න සූදානම් වෙනවා."

එජාප මහ ලේකම්කම දාලා ආණ්ඩුවට එකතු වුණු තිස්ස අත්තනායක ජනාධිපතිවරණයේදී කිව්වේ රනිල් - මෛත්‍රි හොරා ගිවිසුමෙන් දෙමළ සන්ධානය සමඟ එකඟතාවක් තිබෙන බවය. ඔහු මෑතකදී කියා තිබුණේ මම එදා කියපු දේවල් අද සනාථ වෙමින් තිබෙන බවයි.

කොහොම වුණත් මෛත්‍රිව දැන් හදිස්සියේ "දේශප්‍රේමියෙක්" වීමට බැරිය. ජවිපෙ, හෙළ උරුමය අතේ තිබුණ දේශප්‍රේමී කොඩිය මහින්ද කලකට පෙර ඔහුගේ අතට ගත්තේය. ඒ කොඩිය මෛත්‍රි ගැනීමට පොර කෑවේ නම් කිසිදු තේරුමක් නැත. මහින්ද අතින් ඒ කොඩිය යළි ජවිපෙටවත්, හෙළ උරුමයටවත් ගන්න බැරිය. එහෙව් එකේ මෛත්‍රිට කොහොමටවත් බැරිය. එනිසා මෛත්‍රි කළ යුත්තේ මහින්ද සමඟ දේශප්‍රේමී තරගයට යෑම පසෙක තබා ජනාධිපතිවරණයේදී ගත් "යහපාලන" කොඩිය යළි අතට ගැනීමය.
එහෙම වුණොත් මහින්දගේ දේශප්‍රේමයද මෛත්‍රිගේ යහපාලනයද දිනන්නේ කියන එක කියන්න තවම කල් වැඩිය. එකක් කඩතොලු හදාගන්නට ගිහින් දෙකක් කඩතොලු හදාගන්න ඉඳුරුවේ ආචාරියාට වූදේ ගැන මෛත්‍රි කල්පනාවට ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon