යළි ඇරැඹුමකට මහින්ද නිර්මාංස වෙයි

  👤  5781 readers have read this article !
2017-01-29

සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට අගමැතිවරයා ඇතුළු එ.ජා.ප. ඇමැතිවරු කිහිප දෙනෙක්ම සහභාගි වූයේ සතියකට පසුවයි. වී තොග මුදාහැර තිබියදීත් සහල් මිල අඩු නොවීම, මෙන්ම සහල් හිඟකම පිළිබඳත් මෙහිදී අවධානයට යොමු වූහ. 'සමහර මෝල් හිමියො වී ගත්තට ඒවා සහල් බවට පත් කොට වෙළෙඳපොළට මුදාහැරල නැහැ' හැරිසන් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. 'එහෙම වෙන්න දෙන්න බැහැ. නියම ප්‍රමාණයට සහල් වෙළෙඳපොළට දමනවද කියල අනිවාර්යයෙන් සොයල බලන්න, ඒ වගේම සහල් කිලෝව 76/=ට වඩා සතයක්වත් වැඩි කරන්න දෙන්න එපා. ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව වී සහල් බවට පත් කෙරෙමින් ඒවා නිසි පරිදි වෙළෙඳපොළට යන්නේද කියා සොයා බැලීමටත් එසේ නොවන්නේ නම් ඊට අවශ්‍ය පියවර ගැනීමටත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් හැරිසන්, බදුර්දීන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබීය.

ලොතරැයි පතක මිල යළි රුපියල් 20ට අඩු කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ගැන රවි කරුණානායක කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළේය. රුපියල් 40ට මිල වැඩි කිරීම නිසා ලොතරැයි මණ්ඩලයට ලැබෙන ලාභය ගැන වාර්තාවක්ද ඔහු ඉදිරිපත් කළේය.' රුපියල් 30ට වැඩි කරනවට මම විරුද්ධයි. ඒක කරන්න දෙන්න බැහැ. මේව වැඩිපුර අලෙවි කරන්නෙ ආබාධිත අය වගේ පිරිස්. මිල වැඩි කළොත් විපක්ෂය ඒ අය රජයට විරුද්ධව යොදා ගන්නත් ඉඩ තිබෙනවා. ජනාධිපති අරමුදලට මුදල් අඩු වුණත් කිසිසේත් ඒ යෝජනාවට ඉඩ දෙන්න බැහැ' ජනපතිවරයා කීවේය. එහිදී රවි කරුණානායක නිශ්ශබ්දව සිටියද අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී රුපියල් 40 සහ 20 ලොතරැයි පත් ගෙන එන බව කීවේය.

මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් රජයෙන් ගෙවිය යුතු මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා කිරිඇල්ල ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ගැනද මෙහිදී උණුසුම් ලෙස අදහස් ඉදිරිපත් විය.' මොහු නාමල් එක්ක හිටපු කොන්ත්‍රාත්කාරයෙක්. දැන් අපට ගිය ආණ්ඩුවෙ මුදල් නැතිව වෙන්කරපුවට මුදල් ගෙවන්න සිදුවෙලා' රාජිත කීවේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි මෙහිදී නම නොකියා චෝදනාවක් කළේය.' මහාමාර්ග කොන්ත්‍රාත්වලදී ආර්.එන්.ජී. සමාගමට එකවර රුපියල් මිලියන 400 - 500 චෙක් දෙනවා. පසුගිය ආණ්ඩුවට උදවු කළ අයෙක්. නුගේගොඩ රැලියට මෙවර ඔහු බස් ලබා දෙනවා. එවැනි අයකුට විශාල මුදලක් දුන්නත් අනෙක් අයට මිලියන 10 - 15 දෙන්නෙත් ඉතා අකැමැත්තෙන්. කොහොමද මේවා සිදුවන්නේ ඔහු ප්‍රශ්න කළේය. 'පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඔයා කියල තියෙනවා වෙන් කරපු රුපියල් බිලියන හයෙන් හතරක් කපල කියල, එම බිලියන හය වෙන්කළේ මුළු රටේම නිවාස ඉදිකිරීමේ වැඩවලට, නිවාස අමාත්‍යාංශයට වෙන් කළ බිලියන 2න් ඔයා වැඩ කරන්න' මෙහිදී අගමැතිවරයා නිවාස ඇමැති සජිත්ට අවධාරණය කළේය.

ශ්‍රී ල.නි.ප. හිටපු මැති ඇමැති පිරිසක් සහ ජනාධිපති අතර විශේෂ හමුවක් අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ෆීලික්ස්, හේමාල්, දයශ්‍රිත, පණ්ඩු, විජය දහනායක, මිල්රෝයි, අතාවුද ඇතුළු පිරිසක් ඊට එක් වී සිටියහ. ඔබතුමන්ලාට තනතුරු දීමක් නම් කළ නොහැකියි. සංස්ථා සභාපති තනතුරු දීම මදිපුංචිකමක්. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තනතුරක් දෙනව නම් දුම්වැටි, මත්පැන් පානය නොකරන කෙනෙක් වෙන්නත් ඕනෑ' ජනාධිපතිවරයා එහිදී කීවේ පණ්ඩු බණ්ඩාරනායක තනතුරක් ඉල්ලා සිටි අවස්ථාවේය.

ශාන්ත බණ්ඩාර, ලලිත් දිසානායක, එරික් වීරවර්ධන වැනි අයටත්, ජෝශප් මයිකල් ඇතුළු පිරිසට තනතුරු දී ඇති බව එහිදී හිටපු මැති ඇමැතිවරු ජනාධිපතිගේ අවධානයට ලක් කළහ.
'මහින්දගෙ කාලෙ වැඩිහිටි සංගම්වලට රුපියල් ලක්ෂ 20 දක්වා ආණ්ඩුවේ කොන්ත්‍රාත් දුන්නා. දැන් ඒක නවත්තලා. ඒ සමිතිවල විශ්‍රාම ගිය අය තමයි හිටියෙ. ඉන්ජිනේරු, වෛද්‍යවරු තමයි ඒවයේ වැඩ කළේ. ගුරුවරුත් හිටියා. ඒ අය යටතේ වැඩ හොඳට කෙරුණා. ඒක ක්‍රියාත්මක කරනවා නම් හොඳයි' ෆීලික්ස් පෙරේරා යෝජනා කළේය.

'එහෙම දෙන්න බැහැ. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩිහිටි සංගම්වල අයට මීට පෙර දීපු ලක්ෂ 50 ලක්ෂ 100 දක්වා වැඩි කරන්න මට හැකි වුණා.' දුමින්ද දිසානායක කීවේ එවැනි කතාවකි. 'මේ රටේ වැඩිහිටියො ලක්ෂ 26ක් ඉන්නවා. ජනගහනයෙන් 11%ක් වැඩිහිටියො. ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්න' හිටපු ඇමැතිවරු කීහ. 'ඔබතුමන්ලා සංවර්ධන කටයුතුවලට එක්වෙලා උදවු කරන්න. පුළුවන් විදියට මම උදවු කරන්නම්' එහිදී ජනපතිවරයා කීවේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සති කිහිපයක් තිස්සේ මාංස ආහාරයට ගැනීමෙන් වැළැකී සිටියි. ඔහු එලෙස පේවෙන්නේ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ආගමික කටයුත්තක් වෙනුවෙන්ය. කතරගම කැබිලිත්ත දේවාලය වැඳීම ඔහුගේ අරමුණයි. ඒ කටයුත්ත තවත් දින කිහිපයකින් ඉටු කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද හා ශ්‍රී ලනිප නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන්ගේ හමුවක් පසුගිය ඉරිදා (22දා) පැවැත්වුණේ විජේරාම මාවතේ පිහිටි මහින්දගේ නිල නිවෙසේදීය. එය ජනාධිපතිවරයාගේ අනු දැනුම ඇතිව සිදු වූවකි. මහින්ද හමුවීමට යොදා ගෙන තිබුණේ උදෑසන 8ට පමණය. ඊට පෙර මහ ඇමැතිවරු බස්නාහිර මහ ඇමැති ඉසුරගේ නිවෙසේදී මුණ ගැසී හිටපු නායකයා සමඟ කතා කළ යුතු දේවල් පිළිබඳ එකඟතාවක්ද ඇති කර ගත්හ. උතුරුමැද පේෂල ජයරත්න හැරුණු කොට සෙසු හය දෙනා එම සාකච්ඡාවට එක්වූහ. ප්‍රධාන ඇමැතිවරු මහින්ද පමණක් බලාපොරොත්තුවෙන් සිටියද ඊට මහාචාර්ය ජී.එල්., බන්දුල, ලොකුගේ, ප්‍රසන්න, මහින්ද යාපා, ජොන්ස්ටන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. 'සර් අපි හිතුවේ මේ සාකච්ඡාවට සර් විතරක් සහභාගි වෙයි කියලා. මොකද එහෙම වුණා නම් අපට පෞද්ගලිකව මේ සාකච්ඡාව කරන්න තිබුණ කියලයි මම හිතන්නෙ' එම පිරිස දුටු දකුණේ ෂාන් නොසතුට පළ කෙළේය. 'මාත් හිතුවෙ එහෙම හමුවෙන්න තමයි. කොහෙද මේ මාධ්‍යවල පැතිරෙන්න ගියානෙ මායි මහ ඇමැතිවරුයි ඩීල් එකක් තියෙනවා කියලා. ඒක එහෙම නෙවෙයි කියන සාක්ෂි හැටියටයි මම මේ අය කැඳෙව්වේ. 'එහෙම නේද බන්දුල' හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ එලෙසින්ය. බන්දුල ද 'ඔව් සර්' යැයි හිස වැනුවේය.

ශ්‍රී ලනිපය මේ වන විට අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒවා සාකච්ඡා මඟින් විස¼දා ගැනීමටයි ඔබතුමා හමුවෙන්න ආවේ' සාකච්ඡාවට ආරම්භයක් දෙමින් සරත් ඒකනායක කීවේය.

'ජනාධිපතිවරණයෙන් පස්සෙ විශ්‍රාම ගන්නයි මම හිතුවෙ. නමුත් මට දිගින් දිගටම ගහන්න පටන් ගත්තා. දරුවන්ගෙන් පලි ගන්නවා. අවුරුදු අසූ ගණනක් වෙන නැන්දම්මත් ප්‍රශ්න කරන්න ගෙනියනවා. හිතවතුන්ගෙන් පළි ගන්නවා. ඒ නිසා තමයි ආපසු දේශපාලනයට එන්න හිතුණෙ. එසේ කතාව ආරම්භ කළ මහින්ද දීර්ඝ අදහස් දැක්වීමක නිරත වූයේය. ආණ්ඩුව තුළ ශ්‍රී ලනිපයට සහ පාක්ෂිකයන්ට සිදුවන ආසාධාරණය, රටට සිදුවන අසාධාරණය පෙන්වීමට සාකච්ඡාව පුරාම ඔහු උත්සුක විය. 'පක්ෂයේ බෙදීමක් ඇති වුණොත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයට අවාසියක් සිදුවීම වැළැක්වීමට නම් මත ගැටුම් අමතක කොට එකතු වී කටයුතු කළ යුතුයි' ෂාන් යොජනා කෙළේ එවැන්නකි. 'එහෙම එකතු වෙන්නෙ කොහොමද? ඒකට අපේ පාක්ෂිකයො කැමැති නැහැ. එහෙම නම් ඔයාල ජනාධිපතිතුමාට කියල හංසයගෙන් ඉල්ලන්න' මහින්ද උත්තර දුන්නේ එලෙසින්ය. 'හංසයාගෙන් ඉල්ලන්න නම් අපි සාකච්ඡා කරන්න එන්නෙ නැහැ.

අපිට ඡන්දයක් දිනන්න පුළුවන්. හැබැයි ඒ එකතු වෙලා ඉල්ලුවොත් විතරයි' ෂාන් උත්තර දෙත්ම ඊට විරුද්ධව අදහස් දක්වමින් 'ඡන්දයක් දිනන්න විතරද ඔයාලට මහින්ද ඕන වෙන්නෙ. අපිට ඒකට එකඟ වෙන්න බැහැ. පාක්ෂිකයෝ කියනව අපිට ඕවට අහුවෙන්න එපා කියලා' යැයි ලොකුගේ කීවේය. 'පාක්ෂිකයො කියන්නෙ බලමණ්ඩලය නෙවෙයි මන්ත්‍රිතුමා. කැස්බෑව ආසනය ගත්තම ලක්ෂ දෙකක් විතර පාක්ෂිකයො ඉන්නවා. හැබැයි එතැනින් බල මණ්ඩලයට එන්නෙ පන්සියයක් විතරයි. ඒ අය කියන දේ පාක්ෂික මතය කියල පිළිගන්න බැහැ.' ෂාන් උත්තර දුන්නේ එලෙසින්ය. ඊට ප්‍රසන්න ද මැදිහත් විය. 'ඔයාලට මහින්ද මහත්තය මතක් වෙන්නෙ ඡන්දයක් කිට්ටු වුණාම විතරයි. මහින්දගෙ ෆොටෝ එක දාල පෝස්ටර් ගහලා ඡන්ද දිනනවා. දින්නට පස්සෙ මහින්ද අමතක කරලා රනිල් වික්‍රමසිංහට ජැක් ගහනවා. අපි ආයෙත් ඔය උගුලට අහු වෙන්නෙ නැහැ' ඔහු ආවේගශීලීව කීවේය. 'ගමේ මිනිස්සු මහින්ද මහත්තයට කැමැති වුණාට පොහොට්ටුවට කැමැති නැහැ' ඒකනායක කීවේ එවැනි කතාවකි. 'හැබැයි මහ ඇමැතිතුමා දැන් තත්ත්වය ඕක නෙවෙයි. ගමේ මිනිස්සු කියන්නෙ මෛත්‍රි මහත්තය එක්ක ආවොත් මහින්ද මහත්තයටවත් ඡන්දෙ දෙන්නෙ නැහැ කියලා' ප්‍රසන්න කීවේය. ප්‍රසන්නගේ අදහස්වලට විරුද්ධව මහීපාලත් ෂානුත් අදහස් දක්වන්නට වූහ.
මෙහිදී බන්දුල ගුණවර්ධන මහ ඇමැතිවරුන්ට පත්‍රිකාවක් බෙදුවේය. රජයේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනයක් එහි තිබිණි. බන්දුල ඒ ගැන විග්‍රහයක් කරන්නට සැරසුණත් මහ ඇමැතිවරු එවැන්නක් අනවශ්‍ය බව ප්‍රකාශ කළහ.

'අපි ඕව දන්නවා. අද ආවේ පක්ෂයේ අර්බුදය ගැන සාකච්ඡා කරන්න' ඉසුර කීවේය. ඊට මහින්ද උත්තර දුන්නේ 'ප්‍රශ්නය දන්නව නම් ඒකට විසඳුම එජාපය එක්ක දීග කෑම නෙවෙයි. මුලින් එජාපයෙන් ඉවත් වුණොත් ඊට පස්සෙ පක්ෂයේ සමඟිය ගැන කතා කරන්න පුළුවන්' යනුවෙන්ය. 'මෛත්‍රි මහත්තය තමයි පක්ෂය සමඟි කරවන්න නම්‍යශීලී වෙන්න ඕන. තාමත් එතුමා මහින්ද මහත්තයට බැන බැන යනවා. ඉතිං කොහොමද සමඟියක් හැදෙන්නෙ' ප්‍රසන්නද කීවේය.
පැය දෙකකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාව අසා සිටි මහින්ද යාපා 'මමත් කාලයක් රනිල් එක්ක වැඩ කළා. පළාත් පාලන මැතිවරණය දින්නොත් මෛත්‍රිටත් රනිල්ගෙ හැටි බලාගන්න පුළුවන්' යැයි කීවේය. 'තමුන්නාන්සෙලාගෙ ජනාධිපතිතුමාට පුළුවන්නෙ ඊළඟට එන මැතිවරණවල දී එජාපයත් එක්ක එකතු වෙලා හංසයගෙන් ඉල්ලන්න' මහින්ද සාකච්ඡාව හමාර කරන්න එසේ කියමින් නැඟී සිටින්නට විය. 'ඇයි සර් ඒ විදියට හිතන්නෙ. එහෙම ඉල්ලනව නම් අපි ඔබතුමා එක්ක සාකච්ඡා කරන්න එන්නෙ නෑනෙ' ෂාන් කීවේය. 'ඔබතුමා තමයි අපිව පළාත් සභාවට ගෙනාවෙ. මෙහෙම සාකච්ඡා කරන්න ආවෙ ඒ නිසා' උෟවේ චාමර කීවේය.
මේ සාකච්ඡාව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුවත් කිරීමටත් අවශ්‍ය වුණොත් යළි සාකච්ඡා කිරීමටත් එකඟතාවක් ඇති කර ගත්ත. සී.එස්.එන්. නාළිකාවේ හිටපු සභාපති රොහාන් වැලිවිට සාකච්ඡාවට අවසන් වෙත්ම මහ ඇමැතිවරුන්ට පත්‍රිකාවක් බෙදුවේය. නාළිකාව තහනම් කිරීමට ගෙන ඇති තීරණය අසාධාරණ බව එම ලිපියේ සඳහන් කොට තිබිණි. සාකච්ඡා අවස්ථාවට සහභාගි වී සිටියද ජොනී වචනයකුදු ප්‍රකාශ නොකිරීමට පරෙස්සම් වී සිටියේය.

මහ ඇමැතිවරුන් වෙනුවෙන් සූදානම් කර තිබූ උදෑසන ආහාර වේලට ආප්පද එක්කර තිබිණි. 'මහින්ද මහත්තය මේ පාරත් කට්ටියට ආප්ප දීල තියෙන්නෙ' ජොනී පැය දෙකකට පසුව මුව විවර කළේ කෑම මේසය අසලදීය. 'මෙයාලට අලුතෙන් ආප්ප දෙන්න දෙයක් නැහැ. මෙයාල කොහොමත් ඉතිං ආප්ප කාපු අයත් එක්කනෙ ඉන්නෙ' ප්‍රසන්න ද ඊට අදහස් එක් කෙළේය.

මහින්ද එක්ක කළ සාකච්ඡාව මෛත්‍රි දැන ගත්තේ මහ ඇමැතිවරුන් දුන් පණිවුඩවලිනි. ජනපති හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලබාම ෂාන්, සරත්, ධර්මසිරි, චාමර, ඉසුර හා පේෂල යන මහ ඇමැතිවරු හය දෙනා බදාදා එංගලන්තයට ගියහ. ඒ හඩර්ස්ෆීල්ඩ් (ඩ්භඤඤඥපඵටඪඥතඤ) සරසවියේ පැවැත්වෙන සමුළුවකට සහභාගි වීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන්ය.

ඩවොස් ආර්ථික සමුළුවකට සහභාගි වී මෙරටට පැමිණි අගමැතිවරයා එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළේ පසුගිය ඉරිදාය. ඊට ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්ද එක්ව සිටියේය. "බැඳුම්කර සිද්ධිය ගැන ශ්‍රී ල.නි.ප. අය ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටිනවා." එහිදී ජනාධිපති මෛත්‍රි කීවේය. "ප්‍රශ්නයක් නැහැ. මේ සිද්ධිය කල්දාන බවට ඇති චෝදනාවට මේක හොඳ උත්තරයක් වේවි" අගමැතිවරයා උත්තර දුන්නේ එලෙසින්ය. රට තුළ මේ වනවිට උද්ගත වී ඇති කරුණු කිහිපයක් පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා අගමැතිවරයා හා එ.ජා.ප. මැති ඇමැතිවරු පිරිසක් අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. "කෝප් වාර්තා කීයක් නම් පසුගිය අවුරුදු 20 ආවද..? කොයි ආණ්ඩුවද ඒවා නීතිපතිට යවලා පරීක්ෂණ කළේද..?" අගමැතිවරයා කීවේය. "බැඳුම්කරය ගැන විගණකාධිපතිගේ වාර්තාවේ එතුමාම කියලා තිබුණා තාක්ෂණික කරුණු ගැන දෝෂ තිබුණා කියා. ආණ්ඩුව මේ ගැන බලන්න ලෝක බැංකුවට භාර කළාම එයාලත් කියන්නේ ගැටලු තිබෙනවා කළ යුත්තේ මෙහෙමයි කියලත් ඔවුන් උපදෙස් දීලත් තියෙනවා." දයා ගමගේ විග්‍රහය කළේය.

එහිදී රවි කරුණානායක විගණකාධිපතිට අදාළව බෝම්බයක්ද පත්තු කළේය. "2008 ඉඳලා 2015 දක්වා බැඳුම්කර විස්තර ඉල්ලලා මම විගණකාධිපතිට හතර වතාවක් ලිව්වා. ඒත් මගේ ඉල්ලීමට අදාළ වාර්තාවක් එයා ජ.වි.පෙ.ට විතරක් දීපු එක හරිද..? හඳුන්නෙත්තිට විතරක් නෙවෙයි කෝප් එකේ සියලු දෙනාටත් හරි නම් ඒ වාර්තාව දෙන්න ඕන. මේ වාර්තාව සභාගත කළේ බිමල්. මේ වැඩ අනුමත කළ හැකිද?" ඔහු කීවේ ආවේගයකිනි. "බැඳුම්කර විවාදය විපක්ෂයේ සමහරු මඟ හැරියා. සමහරු ඩබල් ගේම් ගැහුවා. මහින්ද රාජපක්ෂ ආවෙත් නෑ." වජිර අබේවර්ධන කීවේ සිනා මැදය. "ජනාධිපති කොමිසමේ වාර්තාව එන්න අවුරුද්දක්වත් යාවි. වැඩේ පටන් ගන්නම මාසෙකට වඩා යනවා. ඒත් ජනාධිපතිතුමා හොඳ තීන්දුවක් ගත්තේ, කිරිඇල්ල කීවේය.

"බැඳුම්කර ගැන කතා කරන විපක්ෂයයි ජනමාධ්‍යයි 2005 ඉඳලා 2015 වෙනකම් රාජපක්ෂලාගේ බැඳුම්කර ගැන කතා නොකිරීම පුදුමයක්. අනික මේ රටේ විශාලම වංචාව ගිය රජය කාලේ එන්ට්‍රස්ට් සිකියුරිටි සමාගම අර්ථසාධක අරමුදලෙන් කෝටි සිය ගණනක වංචාවක් කරලා තියෙනවා. විශ්‍රාමිකයන්ගේ හා සමුූපකාර අරමුදලිනුත් ඔය රත්වත්තලා කළ මහා වංචා ගැන කෝප් එක ක්‍රියා නොකරන්නේ ඇයි..?" කබීර් තවදුරටත් විමසීය. "අගමැතිතුමා ඉවත්වෙනවා නම් ඒකාබද්ධයේ අය ශ්‍රී ල.නි.ප.යට එකතුවෙනවලු. ඒකාබද්ධ නඩය මාර හීන දකින්නේ." දයා ගමගේ කීවේ සිනා මැදය. "අද ග්‍රහ මාරුව අගමැතිතුමා කේන්දරය බැලුවේ නැද්ද..?" ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ සිනා මැදය. "මහින්දයි හොර නඩයයි නීතියෙන් බේරෙන්න ග්‍රහ ලෝකවල සහාය පැතුවට අගමැතිතුමා දිගට පෘථිවියේ ඉඳීවි" වජිර අබේවර්ධන කීවේද සිනා මැදය. "ග්‍රහ මාරුව හරි නම් තිබුණේ ඉරිදා. ජනාධිපති අගමැති හමුවෙලා සියල්ල විස¼දා ගත්තේ එදානේ." දයා ගමගේ කී විට අගමැති නළල රැලි ගැන්වීය. "මහින්ද මහත්තයා දැන් රට හිනස්සන ජෝක් දාන්නත් පටන් අරන්. නුගේගොඩ රැලියට නඟින්න හිටපු ආණ්ඩුවේ අයට එන්න එපා කිව්වලු. නන්නත්තාර වෙලා දැන් විකාර කියවනවා." රන්ජන් රාමනායක දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

"අය වැයේදී ආණ්ඩුව පෙරළනවා කිව්වා. මම රට ගියාමත් පෙරළනවා කිව්වා. මම නම් ආණ්ඩුව පෙරළන්න පුළුවන් නම් දවසක් කල් දාන්නේ නෑ. නුවර ඉඳලා ආපු පා ගමනට අපි කැම්බල් පිට්ටනිය දුන්නා. ගත්තේ නෑ. දැන් නුගේගොඩ හුංඩුවේ රැලි තියන්නේ ඇයි..? ඔය වේලාවට ඔතන කොහොමත් බඩු ගන්න ආපු අයයි ටියුෂන් ළමයි දහදාහකට වඩා ඉන්නවා." අගමැති කීවේ සිනා මැදය.

වසර දෙකකට ආසන්න කාලයක් දේශපාලන ලෝකය රත් කළ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ එකඟත්වය ලබා ගෙන නීතිපතිවරයා වෙත යොමු කිරීමට කතානායකවරයා ගත් තීන්දුව ගෙවුණු සතියේ දේශපාලන ක්‍ෂේත්‍රයේ අවධානයට යොමු වූයේය. කෝප් වාර්තාව විවාදයට ගැනුණු අඟහරුවාදා බොහෝ දෙනා අපේක්ෂා කළ ලෙසටම පාර්ලිමේන්තුව උණුසුම් විය. විවාදය ආරම්භයේදීම කතානායකවරයා දැනුම් දුන්නේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රිවරුන්ට පෞද්ගලික මඩ ගැසීම්වලින් තොරව වගකිව යුතු ලෙස විවාදයට එක්වන ලෙසය. විවාදය අවසානයේදීම තම සුවිශේෂී තීරණය ගැනීමට පෙර ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම විපක්ෂයේ ප්‍රධානීන් සමඟද අදහස් හුවමාරු කර ගත් කතානායකවරයා පුළුල් ජනතා අවධානයකට ලක්ව ඇති මෙම සිද්ධිය පාර්ලිමේන්තුව මඟින් නීතිපතිවරයාට යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. එහිදී සියලුම පාර්ශ්වයන් එම පියවර උචිත බව දක්වා කතානායකවරයා දිරිමත් කිරීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් එය නීතිපතිවරයාට යොමු කිරීමට කරු ජයසූරිය ගත් තීරණය පාර්ලිමේන්තුව පැත්තෙන් තැබූ ආදර්ශවත් ඉදිරි පියවරක් බව පක්ෂ විපක්ෂ කාගේත් අගය කිරීමට ලක් විය. මේ පිළිබඳ අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා කීවේ ඒකාබද්ධ විපක්ෂය මේ පියවර අගය කරන නමුත් නීතිපතිවරයාට නිශ්චිත කාලයක් නියම කිරීමද අපේක්ෂා කරන බවයි.

17 වැනි 'උදා ගම්මානය' වන යාපහුව මැතිවරණ කොට්ඨාසයේ පොල්පිතිගම, තම්බුව 'විජයබාගම' සජිත් අතින් ජනතා අයිතියට පැවරුණේ පසුගිය බදාදාය. මුල්ම උදාගම බිහිවුණු යාපහුව මැතිවරණ කොට්ඨාසයේදීම 'විජයබාගම' විවෘත කරමින් සජිත් කීවේ 'යාපහුවේ බඩල්ගමින් 'උදාගම් ව්‍යාපාරය' ආරම්භ කරපු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍රයා හැටියට මේ අලුත් ගම්මානය විවෘත කිරීමට ලැබීම දෛවෝපගතයි. ඒක මට විශාල සතුටක්' කියාය. අනතුරුව මෙම ගම්මානය පිහිටි ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කමක්ද සිහිපත් කළ සජිත් කීවේ 'සොළී ආක්‍රමණ හා ස්වාභාවික ආපදාවන් නිසා ජනතාව රජරටින් නිරිත දිගට සංක්‍රමණය වී පිහිටුවා ගත් යාපහුවේ රාජධානියේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ දෙටු පුත් විජයබාහු කුමාරයාගේ නමින් මේ ගම්මානය නම් කළා. මේ කුමාරයා 'හතරවැනි විජයබාහු' නමින් රජ වී රටේ ආර්ථික, සංස්කෘතික හා සමාජයීය පුනර්ජීවනය වෙනුවෙන් කළ සේවාව නිසා 'බෝසත් විජයබාහු' යන නමිනුත් හඳුන්වනවා' කියාය. මෙම උත්සවයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 400කට රුපියල් ලක්ෂ 410ක 'විසිරි නිවාස ණය' සහ ප්‍රදේශයේ තරුණයන් 250 දෙනකුට 'ශිල්ප සවිය' යටතේ රුපියල් ලක්ෂ 96ක වියදමින් වෘත්තීය උපකරණ කට්ටල් ලබා දුන් සජිත් විශේෂයෙන් සඳහන් කළේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය නිවාස වැඩපිළිවෙළට ලබා දෙන ශක්තිය ගැන හැමවිටම සිය කෘතවේදිත්වය පළ කරන බවයි.

ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රි, එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පසුගිය සතියේ සෞදි අරාබියේ සමුළුවක් සඳහා සහභාගි වූයේ එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනාවකට අනුවය. මේ අතර රියාද් නගරයේදී එතෙර අපි සංවිධානයේ විශේෂ සමුළුවක් සූදානම් කර තිබිණි. එම සමුළුවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගි වීම විශේෂත්වයක් විය. ඒ අතර හෙළ දෙරණ සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද, මැලේ සංවිධානය, මුස්ලිම් සංවිධානය සහ දෙමළ එකමුතුව යන සංවිධානවල සාමාජිකයන්ද එහි සිටින සුළු ව්‍යාපාරිකයෝ පිරිසක්ද වූහ. සමුළුවෙන් පසු පැමිණ සිටි පිරිස මන්ත්‍රිවරයා සමඟ සුහද කතාබහක නිරත වූහ.

"මන්ත්‍රිතුමා සෞදියේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 2ක් පමණ ඉන්නවා. වැඩිම විදේශ විනිමය යවන්නේ අපි. ඒත් අවු. 35කින් අපේ රටේ රාජ්‍ය නායකයෙක් සෞදියට ඇවිත් නැහැ. අපි ගැන හොයලා බලලා නැහැ. ඒ ගැන ලොකු කනගාටුවක් අපිට තියෙන්නේ" එක් අයෙක් පැවසීය. "අපේ රාජ්‍ය නායකයෙක් මේ රටට එවන්න. මෙහෙත් හොඳ ආයෝජකයෝ ඉන්නවා. කොමිස්වලට විතරක් ඉන්දියාවටයි චීනෙටයි යන්නේ නැතිව මෙහෙටත් එන්න කියන්න" තවත් ශ්‍රී ලාංකිකයෙක් මන්ත්‍රිවරයාගෙන් ඉල්ලීමක් කළේය. "ඒ වගේම සෞදියට ගෘහ සේවිකාවන් එවන්න එපා කියන්න. හෙදියන්, කළමනාකරුවන් වගේ වෘත්තීය හැකියාවන් තියෙන අයට මෙහෙ හොඳ ඉල්ලුමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ආයතනයකින් සහතිකයක් දීලා එව්වොත් හොඳ පඩියක් ගන්නත් පුළුවන්. වෙන රටවල අයට වැඩිය ලංකාවේ අයට හැකියාවක් තියෙන බව මේ රටේ ව්‍යාපාරිකයන් දන්නවා. ගෘහ සේවිකාවන් එවලා අපේ රට පහත් තත්ත්වයට පත්කරන්න එපා කියලා ඔබතුමා රටේ නායකයන්ට කියන්න" තවත් ශ්‍රී ලාංකිකයෙක් සංවේදීව ඉල්ලා සිටියේය.

රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින විමල් වීරවංශ අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණ කතාවක්ද කළේය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් යළි රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී හිතවත් මන්ත්‍රිවරු පැමිණ ඔහු සමඟ වචනයක් දෙකක්වත් කතා කිරීමට උනන්දු වූහ. එසේ කතාබස් කිරීමෙන් පසුව උදය ශාන්ත ගුණසේකර තම ජංගම දුරකතනයේ තිබූ කෙටි පණිවුඩයක් අනික් අයට යැවීය. එය ලියා තිබුණේ විමල්ගේ දියණිය වන විමාශාය. පියාට ලියූ එය උදය ශාන්ත සෙසු මන්ත්‍රිවරුන්ට පෙන්වීය. එම පණිවුඩය කියවා බලා සියලුදෙනාගේ නෙත් තෙත බරිත වූයේය. එම පණිවුඩය මෙසේය.

'එදා චූටි කාලේ අපි දෙන්නා 'අප්පච්චි කොහොමද' සින්දුව කියනකොට තාත්තා කියනවා 'සුළඟක් වී මම එනවා දුර අහසේ ඇවිදින්නට' කියලා. එදා ඒක මට එක සින්දුවක් විතරයි. ඒත් අද මට තේරෙනවා තාත්තා එදා කිව්වෙ මොකද්ද කියලා. තාත්තා හිරගෙදර හිරකරලා තිබ්බත් තාත්තාගේ ආදරය මේ සුළඟේ තියෙනවා. මම ඇස් රතු වෙනකන් අඬනකොට අන්න ඒ සුළඟ මාව සනසනවා. 'පණ වාගේ මගේ දූ මං රැක ගන්නේ' කියලා පොරොන්දු දුන්නත් මුල් දවස් ටිකේ මට හිතුණේ ඔයා ඒ පොරොන්දුව කැඩුවා කියලා. ඒත් අද මට තේරෙනවා තාත්තා මිනිසුන්ගේ හිත් හොරකම් කරලා මට රැකවරණය දුන්නා කියලා. තාත්තා මේ රටට, දැයට, ජාතියට වරදක් කරලා නෑ. ඒක හින්දා මගේ තාත්තාට දෙවි රැකවරණය තියෙනවා. ඒ රැකවරණය අපිටත් තියෙනවා. යුද්දෙ කාලේ ඔයා රට වෙනුවෙන් අයියවයි, මාවයි වුණත් කැප කරන්න සූදානමින් හිටියේ. චූටි කාලේ ඒක හින්දා මගේ පුංචි හිතේ තාත්තා ගැන පුංචි තරහක් ඇති නොවුණා නෙවෙයි. ඒත් තාත්තේ අද ඒ තරහා මුකුත් මගේ හිතේ නෑ. එහෙම කැපකිරීමක් අනාගතයේදී හෝ කරන්න වුණොත් කරන්න තාත්තේ. ඕනෑම දේකට ඇප වෙන්න මම සූදානම්. තාත්තා අද හිරේ ඉන්නේ මේ රටට ආදරය කරපු වරදට. මිනිසුන්ගේ හිත් හොරකම් කරපු වරදට. තාත්තේ ඒ වරද මුළු ජීවිතේ පුරාවටම කරන්න. ඒ වරද මාත් කරනවා. කවදාහරි දවසක මගේ ළමයිනුත් කරයි. මම හෙට ඉස්කෝලෙ ඇරිලා තාත්තාව බලන්න එන්නම්. හෙට බැරි වුණොත් අනිද්දා. එනකන් පරෙස්සමින් ඉන්න. බුදුසරණයි! දෙවිපිහිටයි! - චූටි දුව' යනුවෙන් සඳහන් අනුවේදනීය සටහනක් එහි විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය පිහිටුවීම සෙනසුරාදා සිදු කෙරුණේ නාවලදීය. දිවයිනේ අධිකරණ බල ප්‍රදේශ නියෝජනය කරමින් නීතිඥයෝ හයසීයකට අධික පිරිසක් ඊට සහභාගි වී සිටියහ. රට මුහුණ දෙන අභියෝග හමුවේ නීතිඥයන්ගේ කාර්යභාරය පිළිබඳ එහිදී පක්ෂ සභාපති මහාචාර්ය ජී. එල්. දේශනයක් සිදු කළහ.

ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට දීම, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දීම, එට්කා ගිවිසුම අස්සන් කිරීම ආදියත් ඒවයේ කොන්දේසිත් නිසා ආපසු හැරවිය නොහැකි අනතුරකට රට මුහුණපා ඇතැයි එහිදී ජී. එල්. පෙන්වා දුන්නේය. එහි අවසන් අවස්ථාවේ භෝජන සංග්‍රහයට හිටපු ජනපති මහින්දත් එක්ව සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon