මෙහෙම මිනිස්සුන්ටද ඡන්දෙ දෙන්නෙ..?

  👤  4877 readers have read this article !
2017-01-26

"මේ ගිවිසුමේ තියෙනවා ඡන්දෙන් දිනුවාට පස්සේ උතුරේ හමුදා සියයට 50ක් ඉවත් කරන බව. හමුදාවට වෙන් කරන මුදලින් සියයට 50ක් කපනව කියලා. උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනවා. මේ මොන අපරාධයක්ද..? මේවා කරන්නේ දෙමළ සන්ධානයේ වුවමනාවටයි. වැදගත්ම යෝජනාව 13 වැනි සංශෝධනයට එහා ගිය බලතල උතුරට දෙනවා කීම. උතුරට ඉඩම්, පොලිස් බලතල දෙනවා කියලයි මේ තියෙන්නේ. මේ හොර ගිවිසුමේ තියෙන ඊළඟ යෝජනාව තමයි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම. ඒ තුළින් ජනාධිපතිතුමා ප්‍රමුඛ රණවිරුවන් දංගෙඩියට යවන්න සිරිසේන එකඟ වෙලා තියෙනවා. මෙහෙම මිනිස්සුන්ට ඡන්දය දෙන්න වටිනවද..?"

එ.ජා.ප.යේ මහලේකම් ධුරය අතහැර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එකතු වී සෞඛ්‍ය ඇමැති ධුරය ලබාගත් තිස්ස අත්තනායක 2015 ජනවාරි 1 වැනිදා මහනුවරදී පැවැත්වුණු ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියේදී කළ කතාවෙන් කොටසකි මේ.

යුද්ධයෙන් "කොටි" පරාජය කර උතුරට 13 ප්ලස් දෙන බව කීවේ වෙන කවුරුත් නොවේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඊයේ පෙරේදා රැස්වීමකදී උදය ගම්මන්පිල කියා තිබුණේ මහින්ද කිසි දවසක 13 ප්ලස් කතාවක් කියා නැති බවය. කබරගොයි - තලගොයි න්‍යාය අපි දන්න නිසා ඒ ගැන වැඩි කතා වැඩක් නැත. මහින්දගේ මේ 13 ප්ලස් කතාවේ තේරුම තමයි 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ලබාදී ඇති බලතල තවත් වැඩි කරන බවය.

මොකක්ද මේ 13 වැනි සංශෝධනය කියන්නේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධන ආවේ 1987 ජූලි 27 වැනිදා අස්සන් කළ ඉන්දු _ ලංකා ගිවිසුම හරහාය. ඉන්දියාව ලංකාව එක්ක ගිවිසුමක් ගැසීමේ එකම අරමුණ 13 වැනි සංශෝධනය සිදුකර උතුරු හා නැඟෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම නොවේ. සමහරුන් ගිවිසුම සමඟ 13 වැනි සංශෝධනය පටලවා ගත්හ. "රට බෙදන" පළාත් සභා අපට එපා කියමින් ශ්‍රී ල.නි.ප.ය ඇතුළු පක්ෂ කිහිපයක් 1988 පළමුවැනි පළාත් සභා ඡන්දය වර්ජනය කළ අතර ජ.වි.පෙ. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට තරග කළ පිරිස පමණක් නොව ඡන්දය ලබාදෙන්නන් පවා "දේශද්‍රෝහීන්" ලෙස නම් කළේය.

ඉන්දු _ ලංකා ගිවිසුමත්, පළාත් සභා ක්‍රමයත් සිංහල මෙන්ම දෙමළ ජාතිවාදීන්ගේ හා අන්තවාදීන්ගේ විරෝධයට ලක්වූයේය. පළාත් සභාවලට පොලිස්, ඉඩම් ඇතුළු බලතල දීමෙන් රට බෙදී කෑලිවලට කැඩී යන බව දකුණේ අන්තවාදීන් කියද්දී උතුරේ අන්තවාදීන්ද පළාත් සභා ප්‍රතික්ෂේප කිරීම උත්ප්‍රාසජනක විය. ඇත්තටම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මේ වනතුරුත් දකුණේ ඇති විරෝධය ඉන්දියාවට හා "බලය" බෙදීමට එරෙහිව ආරම්භයේ සිටම පවතින්නකි.

පළාත් සභාවලින් රට බෙදුණේ නැත. ඊළාම් රාජ්‍යයක් ඉල්ලූ එල්.ටී.ටී.ඊ.ය කිසිදු දිනෙක පළාත් සභා පිළිගත්තේද නැත. ඔවුන් "පළාත් සභා" විසඳුම පිළිගෙන අවි බිම තැබූ සහෝදර සංවිධානවල සාමාජිකයන් "ද්‍රෝහීන්" ලෙස සලකා ඝාතනය කිරීමට පටන්ගත්තේය. උතුරු - නැඟෙනහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී බලය ලබාගත් ඡ්ර්ථීඅඹ්ජ් සංවිධානයේ පාලනය විනාශ කිරීමට කොටි පියවර ගත්තේය. පළාත් පොලිස් හමුදාව සමූහ ඝාතනයකට ලක් කළේය.

අවසානයේ මහ ඇමැති වර්ධරාජා පෙරුමාල්ට සිදුවූයේ ඉන්දියාවට පලායෑමටය. දකුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය - ජ.වි.පෙ කළෙත් ඒකමය. පළාත් සභා පිළිගත් පළාත් සභාවලට තරඟ කළ එ.ජා.ප, එක්සත් සමාජවාදී පෙරමුණ (ශ්‍රී ල.නි.ප. - කො.ප _ ල.ස.ස.ප හා න.ස.ස.ප) සාමාජිකයන් දේශද්‍රෝහීන් ලෙස නම්කර ඝාතනය කළේය. එහෙත් 88-89 මර්දනයෙන් පසු 1994දී යළි ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි ජ.වි.පෙ 1998 පැවැති තුන්වැනි පළාත් සභා ඡන්දයට ඉදිරිපත් විය. 1993 දෙවැනි පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වූ ශ්‍රී ල.නි.ප.යට බස්නාහිර මහ ඇමැති ධුරය හිමිවූ අතර දකුණු පළාත් සභාවේ බලය හිමිවූයේද ඔවුන්ටය. බස්නාහිර මහ ඇමැතිනිය ලෙස පත්වූ චන්ද්‍රිකා, මෙතෙක් පාවිච්චි කර නැති පොලිස් බලතල තමන් පාවිච්චි කරන බව කියා සිටියාය. පසුව ජනාධිපතිනිය ලෙස පත්වුවද පළාත් සභාවලට පොලිස් බලතල පාවිච්චි කිරීමට ඇය ඉඩ දුන්නේ නැත. එහෙත් උතුරට වැඩි බලයක් දෙන පැකේජයක් ගෙන ආවාය. නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කළාය. ඒ කිසිවක් පරිපාකයට ගියේ නැත.

අනතුරුව ජනාධිපති ධුරය හිමිකරගත් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ කිසිදු පළාත් සභාවකට ඉඩම් හා පොලිස් බලතල පාවිච්චි කිරීමට ඉඩ දීමට කිසිදු අදහසක් නැති බවය. මහින්ද 13 ප්ලස් කතාව කිව්වේ තෙවැනි ඊළාම් යුද්ධය ඇවිළී යද්දීය. යුද ජයග්‍රහණයෙන් පසුව විශේෂයෙන් අද මහින්ද හැසිරෙන ආකාරයෙන් පෙනෙන්නේ ඔහු 13 ප්ලස් කතාව කියා ඇත්තේ ඉන්දියාව සතුටු කිරීමට බවය. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු 13 ප්ලස් දීමේ අදහසක් ඇතැම් විට මහින්ද තුළ තිබුණාද විය හැකිය. එහෙත් අපේ දේශපාලනඥයන්ට වඩා වැදගත් "බලය" මිස රට නොවේ. ඔවුන් මවුබිම හා ජනතාව බේරාගන්න කතා කළත් හිතේ තිබෙන්නේ බලය හා මුදල් පමණි.

13 ප්ලස් කියන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට සපුරාදී ඇති බලතල තවත් වැඩිකරන බවය. වරෙක හිටපු ජනාධිපතිවරයකු වන ප්‍රේමදාස කියා තිබුණේ ඊළාම් නොව එල්ලාම් (සියල්ල) දීමට තමා සූදානම් බවය. එහෙත් පළාත් සභා ක්‍රියාත්මක වී මේ වනවිට තිස් අවුරුද්දක කාලයක් ගතවී තිබුණද තවමත් පළාත් සභාවලට ඇති පොලිස්, ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම ආණ්ඩුව ඔවුන්ට ඉඩ දෙන්නේ නැත. සමගාමී ලැයිස්තුව හරහා සියල්ල ඔවුන් විසින් පාලනය කරයි. තවමත් දකුණේ අන්තවාදීන් ජාතිවාදීන් කියන්නේ පළාත් සභා අහෝසි කළ යුතු බවය. නැතිනම් බලතල කප්පාදු කළ යුතු බවය.

ජී.එස්.පී. ප්ලස් සහනය යුරෝපා සංගමයෙන් ඉවත් කරගන්නේ මානව හිමිකම් රැකීම ඇතුළු සම්මුතීන් කිහිපයක් රජය කඩකිරීම නිසාය. පරිවාස කාලයකට යටත් කර යළි ජී.එස්.පී ප්ලස් ලබාදී ඇත්තේ යම් වර්ධනාත්මක පියවරක් ලංකා රජය ගෙන ඇති නිසා වුවද දකුණේ අන්තවාදීන් ජාතිවාදීන් පුන පුනා කියන්නේ රටට අහිතකර කොන්දේසි මත ජී. එස්. පී. ප්ලස් සහනය ලබාගෙන ඇති බවය. ඉන් එකක් වන්නේ 13 ප්ලස් ලබා දීමය. එනම් පළාත් සභාවලට වැඩි බලතල දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමට අධිරාජ්‍යවාදීන්ට හා දෙමළ ඩයස්පෝරාවට ප්‍රතිඥා දී ඇති බවය. 'රනිල්ගේ ව්‍යවස්ථා මර උගුල' කියලා විමල් වීරවංශ කියන්නේ ඒ නිසාය.

"එදා 1815 ඉංගී්‍රසින් සමඟ ඇතිකර ගත් ගිවිසුමෙන් අවුරුදු දෙසීයකට පසු 2015දී කුමන්ත්‍රණය යළි ක්‍රියාත්මක කිරීම ඇරැඹිලා. අපේ වගකීම හා යුතුකම තමයි මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය වහාම පරාජය කිරීම. 8 වැනිදා බුලත් කොළයට කතිරය ගහන්න ඕනෑ ඒ නිසයි".

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහනුවරදී 2015 ජනවාරි 5 දිනමිණ
මහින්ද ඉකුත් ජනාධිපතිවරණයේදී මහනුවරදී කිව්වේ එහෙමය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන, ජී. එස්. පී. ප්ලස් ලංකාවට ලැබීම ගැන කියන්නෙත් ඒ වගේ කතාවක්ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බලය උපරිමයෙන් බෙදාහරින්න ඕනෑ කියලා රනිල් අද කතා කළත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ කෙටුම්පතේ පිටපත් ගිනි තබා ගෝලයන් යකා නටන විට රනිල් සිටියේ මුකුත් නොපෙනෙන, මුකුත් නොඇසෙන, මුකුත් නොකියන අර වඳුරන් තුන්දෙනා වගේය. මහින්ද තුන් වැනි ඊළාම් යුද්ධයට මුහුණදී සිටිද්දී රනිල්ගේ ගෝලයෙක් පාර්ලිමේන්තුවේදී කිව්වේ ඕනෑ ගොනකුට යුද්ධ කළ හැකි බවය. තොප්පිගල කොටි කඳවුරක් නොව අමු කැලයක් බවය. ප්‍රභාකරන් එක්ක සාම ගිවිසුම ගැහැව්වේ විධායක ජනාධිපතිනියට නොකියා රහසේය. මේ සියල්ලට හේතුව බල අරගලයයි. බල තන්හාවයි.

තිස් අවුරුදු යුද්ධයකින් රටම පීඩා වින්දේය. එහෙත් අපේ සමාජය යුද්ධයෙන් කිසිදු පාඩමක් ඉගෙන ගෙන ඇති බවක් නොපෙනේ. උතුරේ "ජාතිවාදය" දඩමීමා කරගෙන බලය තර කර ගැනීමේ පටු වුවමනාවෙන් දේශපාලනඥයෝ දකුණේ ජාතිවාදය වපුරති.

ඇතැම්මු අසීමිත ලෙස දේශයට ප්‍රේම කරමින් සිටිති. තක්කඩින්ගේ අවසන් ගැලවුම දේශප්‍රේමය කියාද කතාවක් ඇත. එහෙත් ඊනියා දේශප්‍රේමයට මුවාවී බලය රැකගන්නත් බලය ලබාගන්නත් කුරුමානම් අල්ලන්නන්ට වාර්ගික ප්‍රශ්නයට හෙවත් උතුරේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය. එක්සත් නොවන්නේ නම් රටට අනාගතයක් නැත. එහෙත් එක්සත් විය යුත්තේ කවුරු කවුරුන්ද? ඒ ගැන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා 1986 පෙබරවාරි 23 වැනිදා ඉරිදා ශ්‍රී ලංකාදීපයට මෙසේ කියා තිබුණේය.

"පක්‍ෂ නායකයන්ට එකතු වීමට ඉඩක් මේ රටේ අද නැහැ සහෝදරයා... කරුණාකරලා කියන්න මට ජාතිභේදවාදීන් හා ඒ වාදය පිටුදකින අය අතර එකතුවක් කොහොමද ඇති වෙන්නේ කියලා? ඇත්තටම මෙතැන මුවමනා කරන්නේ එවැනි එක් වීමක් නොවෙයි. ජාති භේදවාදීන් සහ එවැනි පක්‍ෂ, කොන් කරන ආකාරයේ එකතු වීමක්".

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon