විධායක ජනාධිපති හුටපටය

  👤  5018 readers have read this article !
2017-01-19

'1994 සිට මේ දක්වා අඛණ්ඩව අප පක්‍ෂය විසින් රටටත් ජනතාවටත් පොරොන්දු වූ පරිදි 1978 සිට පැවැති විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථාමය වශයෙන් වෙනස් කිරීමට අප හට නොහැකි විය. වසර 20ක් තිස්සේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට නොහැකි වීම අප ලද බලවත් පරාජයකි. එය තවදුරටත් ප්‍රමාද කළ නොහැකිය.

ඉකුත් ජනාධිපතිවරණයට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිගේ 'මෛත්‍රි පාලනයක්...' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එසේ සඳහන් වූයේ 'ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක්'යන ශීර්ෂය යටතේය. 'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම'යන අනු ශීර්ෂය යටතේ එහි වැඩිදුරටත් සඳහන් වූයේ ජනමත විචාරණයට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය 'වෙනස්' කරන බව මිස 'අහෝසි' කරන බව නොවේ. පසුගිය සඳුදා කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අතුරලියේ රතන හාමුදුරුවන්'මෛත්‍රි පාලනයක්' ප්‍රකාශනය අතේ තබාගෙන පැවැසුවේ උන්වහන්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවාටත් විරුද්ධ බවය.

'මෛත්‍රි පාලනයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විධායක ජනාධිපති ක්‍රමය 'අහෝසි' කිරීම වෙනුවට 'වෙනස්' කිරීම යනුවෙන් ලියා ඇත්තේ වැරැදීමකින් නොවන බව පැහැදිලිය. එය 'ගල් ලෙන බිඳගෙන' අවසන් මොහොතේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා සමඟ එක්වූ හෙළ උරුමයේ බලපෑමෙන් සිදුවූ බව ප්‍රසිද්ධ රහසකි. මෛත්‍රි පාලනයක්... හි 1978 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් ගැන මිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ගැන කිසිවක් සඳහන් වී නැත. 18 වැනි සංශෝධනය අහෝසි කරන බව නම් එහි විශේෂයෙන් සඳහන් කර තිබුණේය.

'මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කර ක්‍රියාත්මක කිරීමෙන් පසු මේ රජය හිට්ලර්ව අකුරටම අනුගමනය කළා වනු ඇත. ඒ මඟින් මේ රජය පාර්ලිමේන්තු ක්‍රමය විහිළුවකට ලක්කර; හිට්ලර් කළාක් මෙන්ම, පාර්ලිමේන්තු ක්‍රමයේ ආධාරයෙන්ම ඒකාධිපතියකු බිහි කිරීමට ක්‍රියාකර ඇති බව පෙන්වා දෙන්න කැමැතියි.' 1978 අගෝස්තු 28 වැනිදා පාර්ලිමේන්තුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් එවක විපක්‍ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක එලෙස කියා තිබිණි. ශ්‍රී ල.නි.ප. ය., '1978 ව්‍යවස්ථාව' ගැන දරන ස්ථාවරය එතුමියගේ ප්‍රකාශයෙන් පැහැදිලිය. මේ ව්‍යවස්ථාවේ මූලිකාංගය වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ශ්‍රී ල.නි.ප.ය මෙන්ම ලංකා සම සමාජ පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂ මුල සිටම කියා සිටි බව ඇත්තය. එහෙත් මේ පක්‍ෂ එදා මෙදාතුර ඍජුව හෝ වක්‍රව හෝ කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය ආරක්‍ෂා කිරීමය. පුදුමයට කාරණය වන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘවරයා වන එක්සත් ජාතික පක්‍ෂය එය අහෝසි කිරීමට යෝජනා කිරීමය. ඊටත් වඩා පුදුමය නම් 1978 ඔවුන් නිර්මාණය කළ 'ව්‍යවස්ථාව' වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට යෝජනා කිරීමය.

ඉකුත් ජනාධිපතිවරණයේදී 'පොදු අපේක්‍ෂකයා' දිනවීමට ඇප කැපවූ රතනලා, චම්පිකලා, පමණක් නොව මහින්දට දරදිය ඇද්ද එස්.බී.ලා, ඩිලාන්ලා ආඩම්බරයෙන් කියන කතාව ඇත්තය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව හෝ නව ව්‍යවස්ථාව හදන බව හෝ 'මෛත්‍රි පාලනයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොතැනකවත් ලියැවී නැත. ඒ බව කියා ඇත්තේ එ.ජා.ප. ය. ඉකුත් මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ පංචවිධ ක්‍රියාවලිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේය. එහෙම බැලුවාම විධායක ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ජනවරම ලැබී ඇත්තේ එ.ජා.ප.යටය. අලුත් ව්‍යවස්ථාවක් හදන්න ආණ්ඩුවට ජනවරමක් නැතැයි මහින්ද පාර්ශ්වය කරන කතාවේ කිසිදු පදනමක් නැත. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් ලබාගෙන සිටින්නේ එ.ජා.ප.ය ය. 'මෛත්‍රි පාලනයක්...' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 'වචන' කෙලෙස පාවිච්චි කර තිබුණත් ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ 81.52%ක් වූ ඡන්ද දායක ජනතාවගෙන් පැහැදිලි බහුතරය වන 51.28%ක් ඡන්දය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මිස පවත්වාගෙන යෑමට නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. අනෙක; මෛත්‍රිට ලැබුණු ඡන්දවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් එ.ජා.ප. ඡන්දය. එ.ජා.ප.යේ ස්ථාවරය විධායකය අහෝසි කිරීමය. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමය. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමක් තිබුණත් මෛත්‍රි ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වේ විධායක ක්‍රමයට තිත තබන බවය. ජනාධිපතිවරණයෙන් පසුවද මෛත්‍රි ඒ බව වරින් වර පැවැසීය. 'විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමයි මේ අලුත් ව්‍යවස්ථාව ගේන්නෙ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. ඒක තමයි ජනවාරි 8 වැනිදා පොරොන්දුව. ජනාධිපතිතුමා සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේ ලබා දීපු පොරොන්දුව.' මෛත්‍රි එක්ක ආණ්ඩුවෙන් එළියට බැස්ස රාජිත අදත් කියන්නේ එහෙමය.

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මුල සිටම දැරූ ස්ථාවරය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවය. 'පොදු අපේක්‍ෂක' යෝජනාවද ඔවුන්ගේය. නිර්පාක්‍ෂික. පොදු අපේක්‍ෂකයකු විධායක ජනාධිපති ධුරයට පත්කර ගැනීමෙන් අනතුරුව විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීම සෝභිත හාමුදුරුවන්ගේ අරමුණ විය.

'අපි නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයා නිර්මාණය කරන්නේ අති විශේෂ වැඩ කොටසකට. ඒ වටේ තමයි ජනතාව එකතු වෙන්නේ. එතකොට මාස 6ක් යනකොට පත්වෙන ජනාධිපති අදාළ ප්‍රතිසංස්කරණ සිදු කරලා පාර්ලිමේන්තුවට බලය පවරා ඉවතට යා යුතුයි. නැත්නම් එය ජනබලය බලාගනීවි'

'2014 මාර්තු 9 රාවය'

වික්ටර් අයිවන් කිහිප වාරයක් පැහැදිලිව සඳහන් කර තිබුණේ මේ සැලැසුම ලස්සන වුණත් ප්‍රායෝගික නැති බවය. පොදු අපේක්‍ෂකයා ජයග්‍රහණය කළහොත් ඉන් අනතුරුව කළ යුත්තේ කුමක්ද? යන්න ගැන පැහැදිලි වැඩපිළිවෙළක් සෝභිත හාමුදුරුවන්ට හෝ සංවිධානයට හෝ අන් කිසිවකුට තිබුණේ නැත. දින සියයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලද්දේ එ.ජා.ප.ය විසිනි. එවැනි වැඩපිළිවෙළක් ගැන 'මෛත්‍රි පාලනයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ නැත. 'දින සියයේ' අරමුණ වුණේ මහ මැතිවරණයට ලකුණු දා ගැනීම මිස අනෙකක් නොවේ. අවසානයේ සිදුවූයේ ආණ්ඩුවට එල්ල වූ බැඳුම්කර වංචා චෝදනාවෙන් දින සියයේ රැස් කරගත් ලකුණු කපා ගැනීමය. දස අවුරුදු රාජපක්‍ෂ පාලනය යටතේ ජරාජීර්ණව තිබූ පාර්ලිමේන්තුවකින් දේශපාලන ප්‍රතිසංස්කරණය සඳහා සහාය ලැබේ යැයි සිතීම පවා විකාර අදහසක් විය. මහින්ද පාර්ශ්වය මේ ප්‍රගතිගාමී වැඩපිළිවෙළට හරස් වන බව පෙනී ගිය වහාම කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. එහිදී මෛත්‍රි කළේද හොර ගල් ඇහිලීමය. මෛත්‍රි පාලනයක් වැඩපිළිවෙළට වඩා ඔහුට ආත්මීය බැඳීමක් ශ්‍රී ල.නි.ප.ය සමඟ තිබීම ඊට හේතුව විය හැකිය. නිර්පාක්‍ෂික ජනාධිපති අද ප්‍රතිගාමීන්ගේ තක්කඩින්ගේ, දූෂිතයන්ගේ හා අවස්ථාවාදීන්ගේ සිරකරුවකු බවට පත්ව සිටී.

විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන ගැන ලියූ ලිපියක රනිල් මෙසේ ලියා ඇත.

'මා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ නැත. මා විරුද්ධ වන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් රටට හඳුන්වා දෙන ලදුව රටේ අද දක්වා ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමයටය. එක්කෝ මේ ක්‍රමය ප්‍රතිශෝධනයකට ලක් කළ යුතුය. නැතිනම් සුදුසු වෙනත් ක්‍රමයකට මාරු විය යුතුය. එහෙත් මේ ක්‍රමය ප්‍රතිශෝධන කිරීම හෝ වෙනස් කිරීම ප්‍රභාකරන් පරාජය කරනවාට වඩා දුෂ්කර හා සංකීර්ණ අභියෝගයකි.'

එහෙත් මහින්ද රාජපක්‍ෂ පාලනය කිරීම වෙනුවෙන් පෙනී සිටි නායකයන්ටද මේ 'ක්‍රමය' වෙනස් කිරීමේ බලවත් වුවමනාවක් තිබෙන බව පෙනෙන්නට නැත. ඔවුන්ට ඒ සඳහා අවංක වුවමනාවක් ද නැත. අගමැති රනිල් ප්‍රමුඛ එ.ජා.ප.ය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් අද පෙනී සිටින්නේ එ.ජා.ප.ය අතේ විධායක බලතල නැති නිසා මිස අන් කාරණයක් නිසා නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ විධායක අගමැති ධුරයක් නිර්මාණය කර ගැනීමටය. නව ව්‍යවස්ථාවක් හැදීමේ වැඩපිළිවෙළද සීමිත පිරිසකගේ සිතැඟි අනුව සිදුවන්නක් බව පෙනේ. ජන කණ්ඩායම්වල පුළුල් මත නියෝජනයන් ඒ සඳහා සහභාගි කර ගැනීමේ වුවමනාවක් ඔවුන්ට නැත. එසේ කීම වැරැදි නැත්තේ ආණ්ඩුවේ දෙවසරක පාලන කාලය තුළ මජර ක්‍රමය වෙනස් කිරීමේ දිශාවට ස්ථිරව පියවර කිහිපයක් හෝ තැබීමට අසමත් වීම නිසාය. ඇත්ත වශයෙන්ම නිල් - කොළ - රතු භේදයකින් තොරව මේ පාලක පන්තිය අන්ත දූෂිතය. ඔවුන්ට ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ වුවමනාවක් නැත. ප්‍රතිසංස්කරණවලට මේ පිරිස කැමැති වන්නේ බලය ලබා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස පමණි. ඒ බව ගෙවුණු දශක තුන හතර තුළ ඕනෑවටවත් වඩා ඔප්පු වී ඇත.

ශ්‍රී ල.නි.ප.ය 1994 අවුරුද්දේ බලය ඉල්ලා ගත්තේ 17 අවුරුදු එ.ජා.ප. පාලනය ඔළුවෙන් සිටුවා රට දෙපයින් සිටුවන බවට පොරොන්දු වෙමිනි. එහෙත් 20 වසරක ඔවුන්ගේ පාලනය තුළ ඔවුන් කළේ ඔළුවෙන් සිටුවා තිබූ රට බෙල්ලෙන් එල්ලීමය. 80 දශකයේ මුල සිට එ.ජා.ප.යත් ශ්‍රී ල.නි.ප.යත් ඔවුන්ට දර දිය ඇද්ද ජ.වි.පෙ., ල.ස.ස.ප ඇතුළු ඊනියා වාමාංශික පක්‍ෂ එකතුව රඟ දැක්වූ මේ මජර නාඩගම අලුතෙන් රඟ දැක්වීමට ශ්‍රී ල.නි.ප.ය යළි වේශ නිරූපණ කරමින් සිටී. ශ්‍රී ල.නි.ප.ය විධායකය අහෝසි කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් හැදීමට හෝ පොරොන්දු වී නැති බවත් 2020 ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කිරීම නාඩගමේ පූර්ව ප්‍රචාරක පටයකි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය පවසන ආකාරයට 2015 ජනවාරි 8 වැනිදා රාජපක්‍ෂ පාලනය පෙරළා දමා අලුත් පාලනයක් පත්කර ගැනීමේ ප්‍රධාන අරමුණු දෙකක් තිබිණි. මහජන මුදල් සහ සම්පත් වංචා කළ දූෂිතයෝ සහ විවිධ අපරාධවලට වගකිවයුත්තන් නොපමාව නීතිය ඉදිරිපිටට පමුණුවා දඬුවම් කිරීම ඉන් පළමුවැන්නය.

දෙවැන්න වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වශයෙන් සැබෑ ලෙස බලය බෙදා හැරෙන පාර්ලිමේන්තුවාදී නව ආණ්ඩු ක්‍රමයක් ඇති කර ගැනීමය. එහෙත් මේ දේශපාලන න්‍යායට වෙනස් න්‍යාය පත්‍රයක් ආණ්ඩුවට තිබෙන බව පෙනේ. ඊට අදාළ සාකච්ඡා පාර්ලිමේන්තුවේදී නොව පෙර පැවැති ආණ්ඩුවල මෙන්ම 'මන්දිර' තුළ සිදුකෙරිණි. කැබිනට් මණ්ඩලය තුළ නොව තීරණ ගන්නේ (කුස්සි) කැබිනට්ටුවේදීය. තිත්ත වුණත් ඇත්ත ඒකය. නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයකු ජනාධිපති ධුරයට පත් කළද වෙනසක් සිදුවී නැත්තේ මේ ඊනියා දේශපාලනය නිසාය.

ගෙවී ගිය දෙවසරක කාලයේදී ජයග්‍රහණ කිහිපයක් ජනතාවට හිමි විය. ඒවා ආණ්ඩුව විසින් ලබාදුන් ජයග්‍රහණ නොව රාජපක්‍ෂ පාලනය පරාජය කිරීම තුළින් හිමිවූ ජයග්‍රහණය. ඒවාට ආණ්ඩුව ලකුණු දමා ගැනීමට යෑම විහිළුවකි. සිරවී සිටින ණය උගුලෙන් මෙන්ම මේ ව්‍යවස්ථා මර උගුලෙන් රට ගලවා නොගෙන මේ වැටී ඇති නරා වළෙන් ගොඩ ඒමට නොහැකිය. එහෙත් දේශපාලනඥයන්ගේ 'ප්‍රොපගැන්ඩා'වලින් සිදුවන්නේ නරාවළේ පතුලට රට තව තවත් අදීයෑම පමණි. ප්‍රොපගැන්ඩා හා පොලිටිකල් තෝරා බේරා ගැනීමට සබුද්ධික විය යුත්තේ ඒ නිසාය.

සුරවී

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්