රටක් වටිනා තරුණ ඡන්ද

  👤  3897 readers have read this article !
2017-01-11

1931 වසරේ මෙරටට සර්වජන ඡන්ද බලය හිමි විය. ඒ අනුව අපි අවුරුදු 85කට වැඩි කලක් කතිරයේ සැබෑ බලය අත්විඳ ඇත්තෙමු.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට හිමිවිය යුතු ඡන්ද බලය ප්‍රායෝගිකව හිමිවන්නේ වයස අවුරුදු 18, මාස 6ක්වත් ඉක්මවූ බොහෝවිට අවුරුදු 19 ඉක්මවූ තරුණ තරුණියන්ට පමණි. මින් තරුණ පරපුරට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය 'අහිමි වීමක්' සිදු වන බවට චෝදනා නැඟේ.

මැතිවරණයක් පැවැත්වීමට දින ප්‍රසිද්ධ කරන අවස්ථාවකදී වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම දෙනා ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කරගත හැකි වන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්නැයි ඉල්ලමින් තරුණ - තරුණියන් දෙලක්‍ෂ හැත්තෑ පන්දහසක් අස්සන් කළ පෙත්සමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇත.

මේ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අදාළ පනත සංශෝධනය කිරීමට කොමිසමේ අවධානය යොමු වූ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
වත්මන් පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් 225න් වයස අවුරුදු 35ට අඩු නියෝජනය 14 දෙනකුට සීමා වී තිබේ. ඒ අතරින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන පවුල්වලට සම්බන්ධ නොවන අය සිටින්නේ තිදෙනකු බව මැතිවරණ කොමිසමේ වාර්තාවල දැක්වේ.

කාරණා කිහිපයක් නිසා තීරණාත්මක මැතිවරණයක් වූ ඉකුත් ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා තරුණ ඡන්ද විශාල බලපෑමක් කළ බව දේශපාලන විචාරකයන්ගේ මතය විය. විශේෂයෙන් නව මාධ්‍ය තුළින් තරුණ තරුණියන් සුවිශේෂී දේශපාලන සංවාදයක නිරත වූ බව පෙනෙන්නට තිබිණි. එවැනි පසුබිමක අවුරුදු 18 සපිරුණු සැලකිය යුතු තරුණ - තරුණියන් පිරිසකට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව අහිමිවීම කනගාටුදායකය.

තරුණ - තරුණියන් පිරිසකගේ ඉල්ලීමකට අවධානය යොමු කරමින් මැතිවරණ කොමිසම ඔවුන්ට අවස්ථාව ලබා දීමට සලකා බැලීම සර්වජන ඡන්ද බලයේ වටිනාකම තවත් ඉහළ නැංවීමක් ලෙස සැලකිය හැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්