වීරමන්ත්‍රි ආදර්ශය

  👤  7654 readers have read this article !
2017-01-10

හිටපු විනිසුරු සී.ජී. වීරමන්ත්‍රි පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි 05) අභාවප්‍රාප්ත විය. නීති විශාරදයකු ලෙස ජාතික සහ ජාත්‍යන්තර තලයේ මහත් ගෞරවයට බඳුන් වූ විනිසුරු වීරමන්ත්‍රි නෙදර්ලන්තයේ හේග් නුවර මුළු දෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවරයකු ලෙස 1990 - 2000 දක්වා වූ දශකයක කාලයක් සේවය කළේය. ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපතිවරයා ලෙස 1997 දී තෝරා ගනු ලැබූ ඔහු අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර අධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු ලෙසද කටයුතු කළේය.

ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධරයකු වූ වීරමන්ත්‍රි එංගලන්තයේ ලන්ඩන් නුවර කිංග්ස් කොලීජියෙන් නීතිවේදී උපාධිය දිනාගත්තේය. 1967 දී මෙරට
ශේ‍ර්ෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත් වන විට ඔහුගේ වයස අවුරුදු 41කි. එතරම් අඩු වයසින් ශේ්‍රෂ්ඨාධිකරණයට පත් කරනු ලැබුව ද නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා නිරතුරුව බර තැබූ විනිසුරුවරයකු ලෙස ගෞරවය දිනාගැනීමට හෙතෙම සමත් විය.

අනතුරුව ලොව ප්‍රකට හා ප්‍රමුඛ අධ්‍යාපන ආයතන වන ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ්, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ඇතුළු විශ්වවිද්‍යාලයන්හි නීතිය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වීරමන්ත්‍රි කළ සේවය බොහෝ විද්වතුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

විනිසුරු වීරමන්ත්‍රි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපක්ෂපාතී විනිසුරුවරයෙක් විය. ජාත්‍යන්තර අධිකරණයේදී ඔහු හමුවේ විභාග වුණු නඩු අතර මහත් ආන්දෝලනයකට ලක්වූ සිද්ධීන් ගණනාවකි. ස්කොට්ලන්තයේ ලොකර්බි ප්‍රදේශයේදී පෑන් අෑම් ගුවන් සේවයට අයත් යානයක් ලිබියානු ප්‍රහාරකයන් බවට සැක කෙරෙන පිරිස් විසින් පුපුරුවා හැරීම පිළිබඳ නඩු විභාගය එවැන්නකි. ඊට පෙර නාඋරු දේශය අන්තර් ජාතික භාරකාර මණ්ඩලයක් යටතේ පාලනය වෙමින් පවතිද්දී එරට ෆොස්ෆේට් නිධි විනාශ වීම පිළිබඳ ව විමසා බැලූ ජාත්‍යන්තර කොමිසමේ සභාපතිවරයා වූයේ ද වීරමන්ත්‍රි මහතාය. ඒ සංකීර්ණ විමර්ශනයන්හි දී ඔහු ප්‍රකට කළ අභීත සහ ස්වාධීන බව නීති විශාරදයෝ අදත් ගෞරවයෙන් සිහි කරති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයට වසර 40ක් පිරීම නිමිත්තෙන්, විද්‍යා තාක්ෂණික දියුණුව සහ මානව හිමිකම් පිළිබඳව 1990 දී විනිසුරු වීරමන්ත්‍රි සංස්කරණය කළ විද්වත් කෘතිය, ලොව පුරා බොහෝ විශ්වවිද්‍යාලයන්හි නීති ශිෂ්‍යයෝ අදත් අත්පොතක් ලෙස පරිශීලනය කරති.
"එකම ලෝකයක් වෙත විනිසුරු වීරමන්ත්‍රිගේ මතකයන්" නමින් ඔහු කාණ්ඩ 3කින් පළ කළ කෘතියේ අවසන් කොටස 2014දී මුද්‍රණයෙන් එළිදකින විට ඔහුගේ වයස අවුරුදු 88කි.

මෙරට නීති සහ අධිකරණ ක්‍ෂේත්‍රයේ ගෞරවය මේ වන විට බෙහෙවින් පිරිහීමට බඳුන් වී ඇති බව මෑතක කෙරුණු අධ්‍යයන ගණනාවකින් පැහැදිලි වී තිබේ. එය මහත් ඛේදවාචකයකි. රටේ යහපාලනයට බාධාවකි. ඉන් මිදීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත. එහෙත් දේශපාලන, සමාජ හා ආර්ථික සාධක නිසා ශ්‍රී ලංකාව වැනි රටවල නීති සහ අධිකරණ පද්ධතියේ මතුව ඇති පිරිහීමට වැට බැඳිය නොහැකි යැයි අදාළ ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් තර්ක ගොඩනඟනු දක්නට ලැබේ.

වීරමන්ත්‍රි වැනි නීති විශාරදයෝ ගණනාවක් මෙරටින් බිහිවූහ. හොඳ කියවීමක ද ගැඹුරු අධ්‍යයනයක ද නිරතව සිටි ඔවුහු ශාස්ත්‍රවන්තයන් ලෙස ලොව පුරා ගෞරවයට පාත්‍ර වූහ. ජාත්‍යන්තර අධිකරණයේ පවා උසස් තනතුරු දැරූහ.

මතුවී ඇති දුර්වලතා තවදුරටත් එලෙසම පවත්වා ගෙන යෑම නොකළ යුතුය. ඕනෑම විද්වත් සභාවක ගෞරවාන්විතව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම ද ස්වාධීන විනිසුරුවරුන් ලෙස ක්‍රියාකිරීම සඳහා වූ ධෛර්යයද ගොඩනැඟිය හැකි අයුරු සී.ජී. වීරමන්ත්‍රීගෙන් ඉගෙන ගන්නට යැයි අපි නීති සහ අධිකරණ ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන්ට යෝජනා කරන්නෙමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon