ගාලු මුව‍ෙදාර සිට මිරිජ්ජවිලට

  👤  3989 readers have read this article !
2017-01-09

හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන කලාපයට අගමැති රනිල් වික්‍රමසිංහ අතින් මුල් ගල් තැබීම ඉකුත් සෙනසුරාදා සිදුවිය. යෝජිත ආයෝජන කලාපයට ඉඩම් ලබාගැනීමටත්, හම්බන්තොට වරාය චීනයට බදුදීමටත් එරෙහිව මෙම මුල්ගල තැබීමේ උත්සව භූමිය අසලට එක්රැස්වූ විරෝධතාකරුවන් පිරිස කලහකාරී ලෙස හැසිරීම නිසා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

උත්සව භූමිය අසල උද්ඝෝෂණ නොපවත්වන ලෙස අධිකරණ නියෝගය ලබාදී තිබුණද විරෝධතාකරුවන් අදාළ නියෝගයට පිටුපා පොලිස් මාර්ග බාධක බිඳදමමින් උත්සව භූමිය දෙසට පැමිණීම නිසා ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව පැවැසේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'මහින්ද පාර්ශ්වය' සංවිධානය කර තිබූ මේ විරෝධතාවට බස් රථවලින්ද ගිහි පැවිදි පිරිස් කැඳවාගෙන විත් තිබූ බව වාර්තාවල දැක්විණි.

මහජනතාවගේ දෛනික ජීවිතයට බාධා නොවන ආකාරයට උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි පැවැත්වීමේ අයිතිය පුරවැසියන්ට තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත. එහෙත් මෙරට පාලකයන් එදා මෙදා තුර බොහෝ විට මේ පුරවැසි අයිතියට ඉඩදී බලා සිට නැත.

මෑත ඉතිහාස මතකය අවදි කළොත් දෘශ්‍යාබාධිතයන්ගේ විරෝධතාවකට කොළඹදී පහරදීමේ සිට පිරිසුදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වෙඩි තැබීම දක්වා වූ සිද්ධීන් රැසකි. විශ්වවිද්‍යාල සිසු උද්ඝෝෂණවලට කඳුළු ගෑස්, ජල හා බැටන් ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍යකරණය වී තිබේ.උද්ඝෝෂණවලට, පාගමන්වලට හා විරෝධතාවලට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීමට පාලකයෝ කාලයක සිට පුරුදුව සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වය සංවිධානය කර තිබූ හම්බන්තොට උද්ඝෝෂණයට එරෙහිවද බලධාරීන් කල්තියා වාරණ නියෝගයක් අධිකරණයෙන් ලබාගෙන තිබිණි. ඉකුත් සෙනසුරාදා මිරිජ්ජවිල පැවැත්වුණේ අගමැති හා රාජ්‍ය තාන්ත්‍රිකයන්ද සහභාගි වූ උත්සවයක් නිසා ඊට බාධා වන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම නතර කිරීම සඳහා පියවර ගැනීමට විරුද්ධ විය නොහැකිය.

විරෝධතාවට අදාළ කාරණය කෙතරම් දෝෂ සහගත වුවද අධිකරණය යම් නියෝගයක් ලබාදී ඇත්නම් රාජ්‍ය නායකයා වුවද ඊට අවනත විය යුතුය. නොඑසේ නම් එය අධිකරණයට කරන අපහාසයකි. නීතිය හෑල්ලු කිරීමකි. අවනීතියට උඩගෙඩි දීමක් ඉන් සිදුවේ. අනෙක විරෝධතාකරුවන්ට උත්සව භූමිය අසලට නොයා උද්ඝෝෂණය පැවැත්වීමට බාධාවක් තිබී නැත. අවශ්‍ය වන්නේ විරෝධය දැක්වීමයි. ඒ තුළින් අවශේෂ පිරිස් දැනුම්වත් කිරීමය. එසේ නොමැතිව අගමැතිවරයා සහභාගි වන උත්සවවලට කඩාවැදීමට හෝ ඒ අසලට පැමිණීමට කිසිවිටෙක ආරක්ෂක අංශ ඉඩ දෙන්නේ නැත. ඒ බව දැන දැනත් අධිකරණ නියෝගය කුණු කූඩයට දමා හිටපු කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඇතුළු ගිහි - පැවිදි පිරිස මෙලෙස හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් මේ කර්මාන්තපුරය අරඹන බව ආණ්ඩුව පවසයි. එහෙත් ශ්‍රී ලනිපයේ මහින්ද පාර්ශ්වය, ජවිපෙ ඇතුළු විපක්ෂයේ පිරිසක් පවසන්නේ වරාය සහ අදාළ ප්‍රදේශවල ඉඩම් චීනයට විකිණීමට යන බවය. ආණ්ඩුව පවසන ආකාරයට වරාය ඇතුළු ඉඩම් බදුදීමක් මිස විකිණීමක් කිසිසේත් සිදු වන්නේ නැත. චීනය සමඟ අස්සන් කරන ගිවිසුමේ කොන්දේසි රටට හෙළිකරන ලෙස විපක්ෂය ඉල්ලා සිටී. අදාළ ගිවිසුම අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් තවම කිසිදු ගිවිසුමක් සකස් කර නැති බවත් රටට හානිකර කොන්දේසි මත ගිවිසුමක් අස්සන් කිරීමට තමන් සූදානම් නැති බවත්ය. රටේ ඉඩම් පිටරැටියන්ට කුණු කොල්ලයට විකිණීමට ආණ්ඩුව කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති හා අගමැති එලෙස ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දෙද්දී පවත්වන උද්ඝෝෂණවල විරෝධතාවල ඇත්තේ පටු දේශපාලන වුවමනාවන් බව පෙනෙන්නට තිබේ. 'පෝට් සිටි' ඉදිකිරීම නතර කරන බව කියමින් බලයට පැමිණි මේ ආණ්ඩුව එය ඉදිකිරීම නතර කළේ නැත. එහෙත් ඊට එරෙහිව කොළඹ ගාලුමුව‍ෙදාර පසුගිය කාලයේ පැවැති උද්ඝෝෂණවලට හම්බන්තොට මිරිජ්ජවිලට ගිය කීදෙනකු පැමිණියා දැයි ප්‍රශ්නයකි. රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවද විනිවිදභාවයකින් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මීටත් වඩා අවුල් ඇති වනු නිසැකය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon