පළාත් අකැමැති නම් ආණ්ඩුව තනි ගමනක - රනිල් කියයි

  👤  7659 readers have read this article !
2017-01-08

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය වසරේ අවසන් සිකුරාදා තමන් සහභාගි වන හමුව පිළිබඳ මාධ්‍යයට නොපවසන ලෙස එකඟතාවක් ඇතිකරගත්හ. ඒ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සමඟ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය. එහිදී කතා කරන දේවල් මාධ්‍යයට හෙළි නොකිරීමට ඔවුහු එකඟතාවක් ඇතිකර ගත්හ.

ශී්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් එජාපයට සිදුකරන චෝදනා සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රිවරු ජනපතිගේ අවධානයට යොමු කළහ. ඒ අනුව ශී්‍රලනිප මැති ඇමැතිවරුන්ට එසේ නොකරන ලෙස අවවාද කිරීමටද ජනපතිවරයා එකඟ විය. හිටපු ජනපති සමඟ එක්ව ආණ්ඩුවක් නොහදන බව එහිදී ජනපතිවරයා අවධාරණය කළේ ඒ පිළිබඳ සමාජයේ ඇති මතය දුරු කරමින්ය.

ගෝඨාභය රාජපක්ෂ සමඟ ඩීල් එකක් පවතින්නේදැයි එහිදී මන්ත්‍රිවරු ඇසූ ප්‍රශ්නයකට ජනපති කියා ඇත්තේ කිසිම අවස්ථාවක තමා ඔහු ආරක්ෂා කිරීමට උපදෙස් ලබා නොදුන් බවයි. මෙවැනි සාකච්ඡාවක් මාසයකට වරක්වත් පැවැත්වීමේ අවශ්‍යතාවද මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක් විය.

කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි මේ වසරට ආරම්භ වූයේ අඟහරුවාදාය. ජනපති ලේකම් කාර්යාලයේදී පැවැති ඊට ඇමැතිවරු සියලු දෙනා පාහේ සහභාගි වී සිටියහ. සීමා නිර්ණය වාර්තාව භාර නොගැනීම සම්බන්ධයෙන් මෙහිදී ශී්‍රලනිප ඇමැතිවරු බොහෝ දෙනෙක් ඔහුට ‍ෙදාස් පවරන්නට විය. එම නිසා කැබිනට් මණ්ඩලය ඝෝෂාකාරී වූහ. "මේ නිසා ජනතාවගේ අප්‍රසාදය ආණ්ඩුවට පළ වෙනවා. හිතාමතා ඡන්දය කල්දමන බවට චෝදනා කරනවා" දයාසිරි, අමරවීර ඇතුළු පිරිසක් කීහ.

ඔෟෂධ අධිකාරියේ සභාපතිවරයාද මේ කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවා තිබිණි. ඔෟෂධ මිල 60% ක් පමණ අඩුවී ඇති බව ඇතුළු කරුණු රැසක් ඔහු ඇමැතිවරුන්ට ප්‍රකාශ කළේය. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී ජනපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අදහස වූහ.
වී අලෙවි මණ්ඩලය වී බෙදාදීම සම්බන්ධව කටයුතු කරන ආකාරය ගැනද මෙහිදී පී. හැරිසන්ට චෝදනා එල්ල විය. "මම මේක ටෙන්ඩර් කැඳවලා දුන්නෙ. ඩඩ්ලි සිරිසේන මහත්තය තමයි වැඩියෙන්ම වී ගත්තෙ. ලොකුම මෝල් හිමියො දස දෙනෙක් වී ගත්තා. ඒවා ස්ටොක් එකක් ලෙස තියාගෙන ඉන්නවද කියල බලන්න ඕනෑ" ඔහු පැවැසීය.

හාල් මිල තවදුරටත් වැඩි වන්නේ නම් සතොස හරහා හෝ රජයේ වී සහල් බවට පත් කොට බෙදා හැරිය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.
අපරාධ යුක්ති විනිශ්චය සභාවක් ස්ථාපිත කිරීමට අමුණුගම හා චම්පික කළ යෝජනාවද මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

"මේකෙ නීත්‍යනුකූල තත්ත්වය සොයා බැලිය යුතු යැයි ජනපති කළ ප්‍රකාශය නීතිපතිගේ සහ අධිකරණ ඇමැතිගේ අවධානයට හා නිරීක්ෂණයට යටත්ව එය සම්මත කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය. ඉදිරියේදී ජනාධිපති නීතිඥවරුන් තිදෙනකුගෙන් සමන්විතව දූෂණ වංචා සෙවීමට අධිකරණයක්ද ඇති කිරීමට රජය කටයුතු කරයි. සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කැබිනට් තීරණය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ පිළිබ½ද අනාවරණය කළේය.
හම්බන්තොට වරාය හා භූමිය චීන සමාගමකට පැවරීම සඳහා ගිිවිසුම පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීමටද මෙහිදී යෝජනා විය.

බලගතු ශී්‍ර ලංකාවක් වැඩසටහන පිළිබඳ අගමැතිවරයා යෝජනාවක් ගෙන ආවේය. ඒ එදින ඉදිරිපත්වූ 45 වැනි කැබිනට් පත්‍රිකාව ලෙසින්ය. එහෙත් එදින අනුමැතිය හිමි වූයේ යෝජනා 17කට පමණි.
ආණ්ඩුව නියෝජනය කරන ශී්‍රලනිප නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරුන්ට වෙන් වූ භෝජන සංග්‍රහයක් අඟහරුවාදා පැවැත්විණි. ඒ මහින්ද අමරවීරගේ නිවසේය. ඇමැතිවරයකු ලෙස සහභාගි වූයේ දුමින්ද දිසානායක පමණි.

"රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට තිබෙන ගැටලු සාකච්ඡාවකටයි මේ අයට එන්න කිව්වෙ. මමයි දුමින්දයි එන්නෙ ලේකම්වරු විදියටයි." ප.ව. 7.30ට පමණ එම හමුව අරඹමින් අමරවීර කරුණු පැහැදිලි කළේය. "ආණ්ඩුව ගැන මිනිස්සු කලකිරිල ඉන්නෙ. ජාතික සම්පත් විකුණල ආර්ථිකය පවත්වාගෙන යන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. මෙහෙම ගියොත් ආර්ථිකය බිංදුවට වැටෙනවා" නිමල් ලන්සා කීවේය.

ඔහු කතා කරන අතරතුර අමරවීරට ඇමතුමක් ආවේය. ඒ ජනාධිපති මෛත්‍රිගෙන්ය. එම අවස්ථාවට තමන්ද සහභාගි වන බව ඔහු කීවේය. ඒ අනුව සුළු වේලාවක් ගත වෙද්දී මෛත්‍රි එතැනට පැමිණියේය. ඒ එක් වාහනයකින් එක් ආරක්ෂක භටයකු සමඟින්ය. "සමහරු අපට ආණ්ඩුවෙන් යන්න කියනවා. ඉතිරි අවුරුදු තුන එජාප ආණ්ඩුවක් හදා ගෙන ඒ අය ඊළඟ මැතිවරණයට ලකුණු දමා ගන්න හදනවා" මනුෂ කීවේය.
"ආණ්ඩුවේ නියමිත භාගය අපට ලැබෙන්න ඕනෑ. අපිට හයියක් අවශ්‍යයි. අපිත් ජනතාවට වැඩ කළ යුතුයි" සුසන්ත පුංචි නිලමේ කීවේය. ඊට උත්තර දුන්නේ ජනපති මෛත්‍රිය.

"මහින්ද රාජපක්ෂ කලින්ම ජනාධිපතිවරණයට ගියේ මේ ආර්ථිකය කඩා වැටෙන බව දන්න නිසයි. මම ලියුම් ලියල ඉල්ලුවා මැතිවරණ පවත්වන්න එපා කියල. දැන් අපේ අරමුණ 2020 මැතිවරණය නෙවෙයි. එකතුවෙලා වැඩ කිරීම" ඔහු කීවේය.

"අපේ ආදායමෙන් ණය හා පොලී වාරික ගෙවීමට ඉතුරු වෙන්නෙ රුපියල් බිලියන 9 යි. ආදායම ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා" ලක්ෂ්මන් යාපා කීවේය. "දැන් වරාය දෙන ගිවිසුම හදලා ඉවරයි කියල කියනවා. අපි දන්නෙවත් නැහැ." වරාය නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටි මැසිවිලි නැඟුවේය.
"වරායට ආයතන දෙකක් ඉදිරිපත් වුණා. එක සමාගමක් හදපු තක්සේරු වටිනාකමටත් අඩුවෙන් තමයි ඉල්ලන්නෙ. මේක සින්නක්කර දෙන්නෙ නැහැ. 2016 ණය හා පොලී වාරික ලෙස රුපියල් කෝටි 864ක් ගෙවන්න වෙනවා. 2017 දී කෝටි 939ක්, 2018 දී 995ක්, 2019දී 1736ක් වශයෙන් ගෙවන්න තිබෙනවා. 2025 වනවිට කෝටි 34386ක් ගෙවන්න ඕනෑ. මේවට මුදල් නැහැ. ඒකයි මේ තීරණය ගත්තෙ" ජනාධිපතිවරයා පැහැදිලි කළේය. එම තත්ත්වය ජනතාවට පැහැදිලි කරන ලෙසද එහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. "දැන් හැමෝම ශී්‍රලනිප ආණ්ඩුවක් ගැන කතා කරනවා. එහෙම කරන්න නම් හැමෝම එකට ඉන්න ඕනෑ"

ජනාධිපතිවරයා කීවේය. මෙහිදී නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් තමන්ට ප්‍රමාණවත් බලයක් නැති බව කීහ. වැඩ කරන්න විදියක් නැති බව කීහ. එහිදී ජනපති පිළිතුරු දුන්නේ ඔය ප්‍රශ්නය එජාප පසුපෙළ මන්ත්‍රිවරුන්ටත් තිබෙනවා කියමින්ය. මේ අතර විල්පත්තුව සම්බන්ධයෙන් ජනපති ගත් ක්‍රියාමාර්ගයද බොහෝ දෙනකුගේ පැසසුමට ලක්විය. "ඒ අයට මන්නාරමේ ඉඩම් දෙන්න ඕනෑ. මම ඒවා ක්‍රියාත්මක කරනවද කියලත් අවධානයෙන් ඉන්නවා. එකට හිටියොත් අපට මීට වඩා ඍජු තීරණ ගන්න පුළුවන්" ජනපතිවරයා කීවේය. මේ අතර ශී්‍රලනිප අය එකතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණු අතර එහි වගකීම දුමින්දටත්, අමරවීරටත් භාර කෙරුණේය.

ඩඩ්ලිට හා නාමල්ට ඇමැතිකම දෙන්න කැමති ඇමැති

නව වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණේ බදාදා පෙරවරුවේය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එහිදී 2017 වසර සඳහා නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම පළමුව සිදු කෙරිණි. පසුගිය වසරේ සිටි නිලධාරි මණ්ඩලය එලෙසම මේ වසර සඳහා අනුමත කරන ලදී. ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පක්ෂයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක් වූයේය. ඒ අනුව එම කටයුතු මෙහෙයවීමට මහ ලේකම් කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකට භාර කෙරිණි. පක්ෂය ලෙසත් ආණ්ඩුවක් ලෙසත් කරනු ලබන වැඩ පිළිබඳ පුළුල් ලෙස මහජනතාව අතර ප්‍රචාරයක් දිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි. එම කටයුතු ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සිදු කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමටද මෙහිදී යෝජනා වූයේය.

පසුගිය වසරේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගි වීම දුර්වල අයගේ නාම ලේඛනයක් එහිදී අගමැතිවරයා ඉදිරිපත් කෙළේය. මින් ඉදිරියට සියයට හතළිහකට අඩුවෙන් රැස්වීම්වලට සහභාගි නොවන අයගේ සාමාජිකත්වය අහෝසි කරන බවද ඔහු පැවැසීය. පැමිණීම දුර්වල සාමාජිකයන්ට ඒ පිළිබ¼ද ලිඛිතව දන්වා යැවීමට මහ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. බ්‍රහස්පතින්දා පෙරවරුවේ රාජකාරි වැඩ කිහිපයක් සඳහා පාර්ලිමේන්තුවට යෑමට අගමැති රනිල් වික්‍රමසිංහ සූදානම් විය. එසේ සූදානමින් අරලියගහ මන්දිරයට ගිය ඔහුට එහිදී පක්ෂයේ මැති ඇමැති පිරිසක් මුණ ගැසුණේය. සුහද කතාබහක් එහිදී සිදු කෙරුණද ඒ සියල්ලෙහි ගැබ් වී තිබුණේ දේශපාලන කාරණාය. "බලගතු ශී්‍ර ලංකාවක් කියන අපේ සැලැස්ම එළිදැක්වූවා. ජනාධිපති කාලෙ මහින්ද නොකළ දේවල් අපි කළාම එයා ඊළඟ ඡන්දෙදි අනාථ වෙනවා. රට ගිනි තියන්නෙ ඒකයි" අගමැතිවරයා කීවේය. "හම්බන්තොට සංවර්ධනයට පක්ෂ හාමුදුරුවොයි, ජනතාවයි 7 වැනිදා හම්බන්තොට එන්න අහනවා" එතැන සිටි ඇමැතිවරු කිහිප දෙනෙක්ම ප්‍රකාශ කළහ. "ස්වේච්ඡාවෙන් එනව නම් ප්‍රශ්නයක් නැහැ. එපා කියන්න බැහැ. හැබැයි සාමය රකින්න ඕනෑ" ඒ අනුව මහ පාරෙන්, ගුවනින් මෙන්ම මුහුදෙන්ද එම ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට අවස්ථාව දීමට ඔවුහු තීරණය කළහ. "සමහරු අධිවේගී මාර්ගවලටත් විරුද්ධයි. ඔබ තුමාටත් කට්ටියක් හූ කිව්වා නේද?"යි නවීන් විමසුවේ කිරිඇල්ලගෙන්ය. "මහින්ද මේකට මුල්ගල තැබුවා විතරයි. අපි වන්දි ගෙවල සාධාරණය ඉටු කරනවා. මට හූ කිව්වට වැඩක් නැහැ. දළදාව වඳින්න දකුණේ අය යන පාර හදන්න දායක වීමයි අවශ්‍ය වෙන්නෙ. හූ පාරක් කෑවම ඇඟට පොඩි හයියකුත් එනවා" කිරිඇල්ල පිළිතුරු දුන්නේ සෙසු අය ඊට සිනාසෙද්දීය.

"මහින්ද ආණ්ඩුවට අභියෝග කළා. අපි ඒක භාර ගන්නවා. හම්බන්තොටින් දෙන්නෙ අක්කර දෙදහසකටත් අඩු ප්‍රමාණයක්. මොනරාගලින් අට දාහයි. මාතරින් පන්දාහයි. හම්බන්තොට ඉඩම් නැති වුණත් අපට ප්‍රශ්නයක් නැහැ" අගමැතිවරයා සඳහන් කළේය. "කම්හල්වලට දෙන ඉඩම් වලින් සියයට අනූපහක් රජයේ ඒවා. ඉල්ලනවා නම් අක්කර විසි පන්දාහක් දෙන්න ඕන කියල රාජිත හොඳ කතාවක් කිව්වා" හැරිසන් කීවේය. "විපක්ෂය මෙච්චර දඟලන්නේ අපි කරන මේ වැඩේ එච්චරටම හොඳ නිසයි. මේක සාර්ථක වුණාම එයාල ඉවර වෙන නිසයි එයාලා දඟලන්නෙ" අගමැති කීවේය.

"සංවර්ධන පනත අපි සංශෝධන එක්ක ගේනවා. පළාත් සභාවලටත් මේ සංවර්ධනයට හවුල් වෙන්නැයි අපි ඉල්ලනවා. බැරි නම් මධ්‍යම රජයට තනියම වැඩ ටික කරන්න වේවි. පළාත් සභා කකුලෙන් ඇද්ද කියල සංවර්ධන වැඩ වේගවත් නොකර බෑ" අගමැතිවරයා අවධාරණය කළේය. "2017 ආණ්ඩුව පෙරළනව කියල මහින්ද කියන කතාවට ඔබතුමා හොඳ පිළිතුරක් දුන්නා. ඔබතුමා ඉන්න වෙලාවක ආණ්ඩුව පෙරළනව කියල දැන් මහින්ද කියනවා" දයා ගමගේ කීවේය. "ආණ්ඩුවක් පෙරළන්න පුළුවන් නම් කවුද කල් වරන්නෙ"යැයි අගමැති ඊට පිළිතුරු දෙත්ම සියල්ලෝම හඩ නඟා සිනාසෙන්නට වූහ.

"සීමා නිර්ණය වාර්තාව තවමත් එක තැන පල්වෙන්නෙ ඇයි" දැයි නවීන් කළ විමසීමට "ඒ වාර්තාවේ තවමත් සුළු අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු ගැන කියලා ඔය කමිටුවේ සභාපති මට ලියුමකුත් එවල තියෙනවා. මම ඒක පක්ෂ නායක රැස්වීමට දාලා කාගෙත් එකඟතාව ආවාම එජාපයත් ඒකට අස්සන් කරනවා" යයි පිළිතුරු දුන්නේ අගමැතිවරයාය. "සහල් ප්‍රශ්නය ඉවර වේවි, අපි දැන් රජයේ වී නිකුත් කරනවා. මම වී වලින් කොමිස් ගැහුවේ නැහැ. වැඩිම වී තොගය දීල තියෙන්නෙ ඩඩ්ලි සිරිසේනට. එයා ඉහළම මිලට ඉල්ලුවම අපි දුන්නා. ඒත් සියලුම වී තොග තනි කෙනකුට දෙන්න බැහැ. මම වී වලින් ගැහුවා කියලා ඔප්පු කළොත් ඩඩ්ලිලාලට නාමල් කරුණාරත්නලාට ඇමැතිකම දීල මම ගෙදර යනවා" පී. හැරිසන් දිගු විස්තරයක් කළේය.

ජනවාරි 1 වැනිදා මහින්ද උදෑසනින්ම ප්‍රසන්න රණතුංගට දුරකතන ඇමැතුමක් දුන්නේය. ඒ ප්‍රසන්නගේ 50 වැනි උපන් දිනය එදිනට යෙදී තිබූ නිසාය. 'ප්‍රසන්න හාෆ් සෙන්චරියක් ගැහුව නේද' මහින්ද ඔහුට උපන් දිනයටත් නව වසරටත් සුබ පතමින් කීවේය. ඊට සිනාසී පිළිතුරු දුන් ප්‍රසන්න මහින්දගෙන් ඇසුවේ 'අවුරුද්ද කොහොමද සර්?' යනුවෙනි. 'හොඳයි වරදක් නෑ. මට මේ පාර වැඩිපුරම කතා කළේ ආණ්ඩුවට ගිහිල්ල ඉන්න අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු' මහින්ද පිළිතුරු දුන්නේය. '2017දී ආණ්ඩු පෙරළනව කියල සර් කියපු හින්දා අපේ මිනිස්සු හරිම උදේ‍යාගයකින් ඉන්නෙ' ප්‍රසන්න කීවේය. 'කියල නිකං ඉන්නෙ නෑ, අපි පෙරළලම පෙන්නමු' මහින්ද සිනාසෙමින් අවධාරණය කළේය.

හිටපු ජනපති මහින්ද පළමු වැනිදා මාතර ගියේය. ඒ දකුණු පළාත් අමාත්‍ය වීරසුමන වීරසිංහ සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගාවලියේ ආරාධිත අමුත්තකු ලෙසින්ය. සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයෙන් පසුව වීරසුමන ඇමැතිවරයා මහින්ද ඇතුළු පිරිස තේ පානයට මාතර තානායමට එක්ක ගියහ. ඔහු සමඟ රොෂාන් රණසිංහ, පියල් නිශාන්ත, ඩලස්, මහින්ද යාපා, කංචන ඇතුළු පිරිසක්ද වූහ.

'සර් ආණ්ඩුව පෙරළනවයි කියල කියපු කතාව හින්දා යහපාලකයො හොඳටම බය වෙලා,' පියල් නිශාන්ත කීවේය. 'මට මේ අවුරුද්දෙ වෙනදාට වැඩිය කට්ටිය සුබ පැතුවා. රජයේ නිලධාරීන්, හමුදාවේ නිලධාරීන් ගොඩක් සුබ පැතුවා' මහින්ද කීවේ සිනාසෙමින්ය. 'එහෙම සුබපතන්න ඇත්තේ ආණ්ඩුව පෙරළනව කියල දැනිලා වෙන්න ඇති' මහින්ද යාපා කීවේය. 'ඔව් ආණ්ඩුවත් එක්ක ඉන්න කට්ටිය තමයි වැඩිපුරම කතා කළේ' මහින්ද කීවේය. 'කවුද සර් ඒ' යැයි පියල් නිශාන්ත විමසුවද මහින්ද ඊට පිළිතුරු දුන්නේ නැත.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අඟහරුවාදා සවස විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති මහින්දගේ නිල නිවෙසේදී පැවැත්විණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට පැමිණ සිටියහ. වාසුදේවගේ උපන් දිනය යෙදී තිබුණේ එදිනයි. ඒ වෙනුවෙන් උපන් දින කේක් ගෙඩියක්ද සූදානම් කර තිබිණි. ඒ මහින්ද විසිනි. මහින්දගේ ආරාධනයෙන් සියලු දෙනාගේ අත්පොළොසන් මැද කේක් කැපූ වාසු සියලු දෙනාටම කේක් කවන්නට විය. වාසු පවිත්‍රාට කේක් කැවීමට සූදානම් වී මහින්ද දෙස බලා 'මාමා තරහ වෙයිද දන්නෙ නෑ'යැයි විමසුවේය. වාසු මාමා කීවේ ජෝන් සෙනෙවිරත්නටය. එය ඇසුණු තිස්ස 'මාමා කෙසේ වෙතත් මහත්තය නම් තරහ වෙයිද දන්නෙ නැහැ' යැයි කීවේය.

පක්ෂ නායක රැස්වීමේදී කතා බහට ලක් වූයේ වත්මන් දේශපාලන තත්ත්වයයි. 'ආණ්ඩුව පෙරළනව කියන කතාවට දැන් ආණ්ඩුව හෙල්ලිලා' දිනේෂ් කීවේය. "රනිල් කියල තියෙනව එයා රට ගියාම ආණ්ඩුව පෙරළන්න කියල' ජොනී කීවේය. මහින්ද ඊට පිළිතුරු දුන්නේ 'මට එයා හිටියත් එකයි, නැතත් එකයි, මම පිටිපස්සෙන් පිහියෙන් අනින්නෙ නැහැ. මම ආණ්ඩුව පෙරළන්නෙ හොරෙන් නෙවෙයි ප්‍රසිද්ධියෙ' යනුවෙනි. 'හැරවුමක ඇරැඹුම කියල රට වටේම අලුත් පක්ෂයෙන් පෝස්ටරයක් ගහල තිබුණා. ඒක හොඳට නැඟල ගියා' ජොනී කීවේය. 'ජේ.වී.පී. එක විතරයි මීට පෙර රට පුරා පෝස්ටර් ගැහුවේ. දැන් අපිත් ඒ වැඩේ කරනව' මහාචාර්ය ජී. එල්. සඳහන් කළේය. 'හම්බන්තොට වරාය විකුණන්න හදන්නෙ විෂය භාර ඇමැතිටත් හොරෙන්' දිනේෂ් පැවැසීය. ඊට වාසු එක්වූයේ 'විෂය භාර ඇමැති දැනගෙන නෑ වගේ රඟපානවා. නැත්නම් ඇත්තටම දන්නෙ නෑ' යැයි කියමින්ය. 'හම්බන්තොට මිනිස්සු කීයටවත් ඔය ඉඩම් විකුණන්න දෙන්නෙ නැහැ. ආණ්ඩුවට ඔය වැඩේ ලෙහෙසි වෙන්නෙ නැහැ. සමහරු මම චීනෙට විරුද්ධයි කියල පෙන්වන්න හදනවා. මම මේ රටේ ජාතික සම්පත් කාට විකුණුවත් විරුද්ධයි' මහින්ද කීවේය.
ෆයිසර් මුස්තාපාගේ ක්‍රියාකලාපය ගැනද මෙහිදී විවේචනාත්මකව අදහස් ඉදිරිපත් වූයේය. ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ගැනද මෙහිදී අවධානයට ලක් වූහ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළ යුතු ආකාරය ගැන මෙහිදී මහාචාර්ය ජී. එල්. පීරිස් මන්ත්‍රිවරුන් දැනුවත් කළේය. ඒ ක්‍රියාමාර්ග පිළිබඳ අත්පත්‍රිකාවක්ද ඔවුන් අතර බෙදා දෙනු ලැබුවේය. සෑම පළාතකටම වෙනම පොලිස් ඒකකයක්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් සභා යටතට ගැනීම, රජය හා පළාත් සභා අතර සමගාමී ලැයිස්තුව තවදුරටත් ක්‍රියාත්මක කිරීම, ශේ‍ර්ෂ්ඨාධිකරණය හැර වෙනත් අධිකරණයක් ස්ථාපිත කිරීම ආදී කරුණු රැසකට විරෝධය දක්වමින් එම අත්පත්‍රිකාව බෙදා දී තිබුණේය.

හිටපු ජනාධිපති මහින්ද බත්තරමුල්ල නෙලුම් මාවත කාර්යාලයේදී නව වසරට වැඩ ආරම්භ කළේ බදාදාය. එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරු රැසක් සහභාගි වී සිටියහ. එහිදී පැමිණ සිටි පිරිසක් සමඟ සුහද කතාබහක නිරත වීමටද හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිණි.

'මේ අවුරුද්දෙ අපට ගොඩක් වැඩ තිබෙනවා. සමාජයේ සෑම තරාතිරමකම අය අපේ පක්ෂයට එකතු වෙනවා' ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. කීවේ ඒ මහින්දගේ ආකර්ෂණය නිසා බවද සිහිපත් කරමින්ය. 'අලුත් පක්ෂය නිසා ආණ්ඩුවෙ ඉන්න දෙගොල්ලොම කලබල වෙලා. අපි මැතිවරණ තිබ්බා. ඒ අය කල්දමනවා.

මැතිවරණ කල් දමනවා කියන්නෙ පරාජයට පාර කපා ගැනීමක්' මහින්ද අවධාරණය කළේය. 'මේ අය ආණ්ඩුව ගත්තට කිසිම දැක්මක් තිබුණෙ නැහැ. හොඳට රට කරගෙන යෑම තමයි ඒ අයට තිබුණු ඊර්ෂ්‍යාව. ඔන්න දැන් දිට්ඨධම්මවේදනීය කර්මය පලදීගෙන එනවා' යැයි ලොකුගේ කීවේය. 'ජේ.ආර්' මේ ව්‍යවස්ථාව හැදුවේ මේ වගේ කොන්දේසි ආණ්ඩුවක් හදාගන්න නෙවෙයි. මේක එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ ආරක්ෂාවට හදාගත් ආණ්ඩුවක්. දැන් රටම අනතුරේ. එදා විකට නළුවන් අපව හිනැස්සුවා. දැන් ආණ්ඩුවේ දෙගොල්ලොම ඊටත් වඩා හොඳට අපව හිනස්සන විදියට වැඩ කරනවා.' කුමාරසිරි හෙට්ටිගේ කීවේය. 'දේශපාලනය කරන කොට සමහරුන්ට වරදිනවා. සමහරුන් අපේ ළඟ ඉඳලා ගිහින් අපට ‍ෙදාස් කියනවා. ඒගොල්ලො නායකයොත් සතුටු කරන්න එපායැ. ඒවා එච්චර ගණන් ගන්න හොඳ නැහැ. රට ගැන හිතන අය මොන පක්ෂයක හිටියත් අපට එකතු වෙන්න බාධාවක් නැහැනෙ' මහින්ද කීවේය.

කතානායක නව වසරේ සැලසුම් හෙළි කරයි

කතානායක කරු ජයසූරිය මහතා පසුගිය 3 වැනිදා අඟහරුවාදා සන්ධ්‍යාවෙහි ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත් අතර පසුදින මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේය. එමෙන්ම දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නාහිමි සහ නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ද පස්වරුවෙහි බැහැ දැකීමට කතානායකවරයා කටයුතු කළේය.

සිය බිරිය වෛද්‍ය වසන්තා ජයසූරිය මහත්මියගේ උපන්දිනයද ජනවාරි 03 දිනට යෙදී තිබූ බැවින් සිය පවුලේ සාමාජිකයන් සමඟ කතානායකවරයා මහනුවර බලා ගියේ පෞද්ගලික ගමනක් වුවද, දළදා වැඳ අස්ගිරි මහ විහාරයට ගිය ඔහු මාධ්‍යවේදීන්ගේ ඇස ගැටිණි. කතානායකවරයා සහ මහ නාහිමිවරු අතර පැවැති කතාබහට නිමිත්ත වූයේ කුමක්දැයි දැන ගැනීමට මාධ්‍යවේදීහු යුහුසුළු වූහ.
තම පවුලේ සාමාජිකයන්ද කැටුව පැමිණියේ පෞද්ගලික ආගමික වතාවත් ඉටුකිරීමේ ගමනක් මිස නිල කටයුත්තක් සඳහා නොවන බව කතානායකවරයා මාධ්‍යවේදීන්ට පැහැදිලි කළේය.

කෙසේ වුවද මහ නාහිමිවරු විමසා සිටි කාලීන වශයෙන් වැදගත් සංසිද්ධි පිළිබඳ කරුණු පැහැදිලි කළ බව මාධ්‍යවේදීන්ට කී කතානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් වන වසරක් ලෙස 2017 නව වසර පිළිබඳ සුබවාදී බලාපොරොත්තු පළ කළේය. මෙහිදී විපක්‍ෂයටද සැලකිය යුතු බලයක් ලැබෙන ආංශික කාරක සභා ක්‍රමයේ ප්‍රගතිය මෙන්ම තීරණාත්මක කමිටු සභාපති ධුරවලින් හරි අඩක් විපක්‍ෂ මන්ත්‍රිවරුන්ට ලැබීම වැදගත් අංග ලෙස හෙතෙම පෙන්වා දුන්නේය. නව ආචාර ධර්ම පද්ධතිය සහ සාම්ප්‍රදායික පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ ඔස්සේ ආදර්ශවත් ගෞරවනීය පාර්ලිමේන්තුවක් කරා සක්‍රිය වැඩසටහන් මේ වසර තුළ ක්‍රියාත්මක කරනු ඇති බවද ඔහු කීවේය.

සජිත් නව වසර ඇරැඹූ හැටි

2017 වසර උදාවත් සමඟ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට ගියේය. මේ හමුවීම් දෙකේදීම නායකයන් දෙපොළ සමඟම විවේකයෙන් කතාබස් කිරීමට අවස්ථාව සජිත්ට ලැබුණේය. සජිත්ගේ ඉකුත් වසර දෙකේ ක්‍රියාකාරකම් පසසමින් කතා කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කීවේ "පසුගිය අවුරුදු දෙකේ ඔයා ඉතා හොඳින් වැඩ කරලා තියෙනවා. අලුත් අවුරුද්දේ ඊටත් වඩා ශක්තිමත්ව වැඩ කරන්න" කියාය. සජිත් ජනාධිපතිවරයා සමඟ වඩාත්ම කතා කළේ 'දුප්පත්කම පිටු දැකීමේ ජාතික වැඩසටහන' ගැනය. එහි වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපතිවරයා කීවේ "ඔයා ඒ වැඩේ හරියට කරන බව මං දන්නවා" යැයි කියාය.

බදාදා පෙරවරුවේ කොළඹ ගලදාරි හෝටලයේ පැවැති බටහිර කොළඹ රොටරි සමාජයේ විශේෂ රැස්වීමකට සජිත් ඇරයුම් ලැබුවේය. මෙහිදී නිවාස සංවර්ධනය වෙනුවෙන් ආධාර උපකාර කිරීම සඳහා ආයතන හා සංවිධාන සතු වගකීම පිළිබඳ සජිත් විග්‍රහයක් කිරීමටද අමතක නොකළේය. සජිත්ගේ විග්‍රහයෙන් පසුව රොටරි සාමාජිකයන් ගණනාවක්ම පැමිණ සුබපතමින් කීවේ "ඔබතුමාට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා" කියාය. ප්‍රධාන වැඩසටහන අවසානයේදී උත්සව ශාලාවේ ඇති පියානෝව වාදනය කරමින් සජිත් "කිමද නාවේ - ඇයි නාවේ මගෙ දයා..." ජනප්‍රිය ගීතය ගායනා කළේ කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතකය.

මෝඩයන් ගේන යෝජනාවලට
අත උස්සන අයට නමක් ජවිපෙ සොයයි

වර්තමානයේ වඩාත් කතාබහට ලක්ව ඇති දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳ පසුගියදා ජවිපෙ මූලස්ථානයේදී එහි නායකයෝ විශේෂ කතාබහක නිරත වී සිටියහ. 'අපි තමයි මුලින්ම යෝජනා කළේ හම්බන්තොට වරායේ ගිවිසුම අත්හිටුවන්න කියලත්, පාර්ලිමේන්තුවට දමන්න කියලත්. ජනාධිපතිට ලියුමක් යැව්වත් ඒ ගැන ප්‍රතිචාරයක් නැහැ' හඳුන්නෙත්ති කීවේය. 'දැන් රටේ ලොකු විරෝධයක් මතු වෙලා තියෙනවා ආණ්ඩුවට එරෙහිව. අපේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග තවත් ශක්තිමත් කරන්න ඕන. රටට අයිති ඉඩම් හිතුමතේ විකුණන්න ආණ්ඩුවට අයිතියක් නැහැ' විජිත හේරත් පෙන්වා දුන්නේය. 'හම්බන්තොට වරාය විකුණන්න ගිවිසුම් හදමින් හිටපු රාජපක්ෂ කල්ලිය දැන් බොරුවට කෑගහනවා. ඒකාබද්ධ කල්ලිය ඒකෙන් ගොඩයන්න හදනවා' ප්‍රධාන ලේකම් ටිල්වින් එසේ කීවේය. 'සුපිරි ඇමැති තනතුරක් හදාගෙන එන්න හදන්නෙ හොඳකට නෙවෙයි. මේක හැදුවෙ මෝඩයෙක් කියල රාජිත කියල තියෙනවා. හැබැයි ඒ ගැසට් එක කැබිනට් එකේ සම්මත කරන්න අත ඉස්සුවෙ ඊට වඩා අන්ත මෝඩයොද දන්නෙ නැහැ' විජිත හේරත් කීවේ සිනාසෙමින්ය.

'ආණ්ඩුව යන්නෙ විනාශකාරී ගමනකට. අවුරුදු දෙක පුරාවට විකුණන්න ඕන කරන පනත් හැදුවා. ගැසට් හැදුවා. කැබිනට් තීරණ ගත්තා. දැන් මේ අවුරුද්දෙ ඒවා ක්‍රියාත්මක කරන්න යනවා. මේ ගමන වැළැක්වීම අපට විතරක් තිබෙන වගකීමක් නෙවේ. අපි භික්ෂුන් වහන්සේ, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාට මේ සඳහා එක්වන ලෙස ආරාධනා කළ යුතුයි' පක්ෂ නායක අනුර කුමාර කීවේය.

මුස්ලිම් කොංග්‍රසය
යළිත් එකඟතාවකට

ශ්‍රී ල.මු.කො. උත්තරීතර මණ්ඩලය සඳුදා දරුස්සලාම් කාර්යාලයේදී රැස් විය. එහිදී මහ ලේකම් හසන් අලි ලබන 9 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීමට එකඟතාවක් ඇති විය. ඒ එම්. එච්. සල්මාන් ඉල්ලා අස්වීමෙන් පසුවය. මෙවැනි එකඟතාවක් මීට පෙරද ඇති වූ නමුත් එය ක්‍රියාත්මක නොවීය. එහෙත් සඳුදා (9දා) ඔහු පාර්ලිමේන්තුවෙන් අස්වීමට යළි එකඟ වී ඇතැයි කියැවේ. ලබන පෙබරවාරි 12 වැනිදා පක්ෂයේ සම්මේලනය පවත්වා නව වසරට තනතුරු පත්කිරීමටද එහිදී දින නියම කර ගැනිණි. 34 දෙනකුගෙන් යුතු උත්තරීතර මණ්ඩලයක් මේ වසර සඳහා පත්කිරීමද එහිදී සිදුවිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්