ජනවාරි 8

  👤  6563 readers have read this article !
2017-01-08

2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන විධායක ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට ඡන්දදායක ජනතාවගෙන් බහුතරයක් ගත් තීරණය වෙනසක් සඳහා රටට ලැබුණු අගනා අවස්ථාවක් විය.
වෙනසට දෙවසරක් ගතවී තිබේ.

වෙනසක් වෙනුවෙන් 'ජනවාරි 8' හංසයාට ඡන්දය දුන් ලක්ෂ 62කට අධික සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මැලේ හා ආදිවාසි ජනතාවගේ අපේක්ෂාවන් යථාර්ථයක් කිරීම උදෙසා යහපාලන මාවතට පිවිසීමට ගෙවුණු දෙවසරේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුව සමත් වීද?
'බලගතු ශ්‍රී ලංකාවක්' ලෙස නම් කර ඇති ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළේ දෙවැනි අදියර එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ නව ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමට වසරක කාලයක් ගතවූයේ පැවැති රාජපක්ෂ පාලනය ඇති කළ ණය බර නිසා බවය.
ඉකුත් මහ මැතිවරණයේදී එජාපය ඉදිරිපත් කළේ මාස 60කින් එනම්, අවුරුදු පහකින් අලුත් රටක් හදන 'පංචවිධ' වැඩපිළිවෙළකි. එජාපය 'ජනවාරි 8' ජයග්‍රහණයේ ප්‍රමුඛ කොටස්කරුවෙකි. ඒ අනුව පංචවිධ සැලැස්මට අවුරුදු දෙකක් ගතවී තිබේ යැයි කීම වැරැදි නැත. අගමැතිවරයාට අනුව ආණ්ඩුවේ ආර්ථික සැලසුමේ පළමු අදියර අවසන්ය. 'බලගතු ශ්‍රී ලංකාව' යනු දෙවැනි අදියරය. එනම්, පංචවිධ සැලැසුමේ අන්තිම අවුරුදු තුනය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ වසර 2030දී තිරසාර සංවර්ධන අභිමතාර්ථ 17ක් ළඟා කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් 'තිරසාර යුගයක්' තේමාවෙන් නව සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. රටේ සියලුම වැදගත් ක්‍ෂේත්‍ර සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක කිරීමට මින් අපේක්ෂා කරන බව කියැවේ.

කාරණය අනෙකකි.
ප්‍රතිපත්ති ප්‍රකාශන හා සැලසුම් සකස් කිරීම කවදත් මේ රටේ සිදුවිය. 1970 ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්ම, 1977 එජාප ආණ්ඩුවේ ධර්මිෂ්ට සමාජය, 2004 නිදහස් සන්ධානයේ රට පෙරට, 2005 රාජපක්‍ෂ ආණ්ඩුවේ මහින්ද චින්තනය එවැනි ප්‍රතිපත්ති සැලැසුම්ය. එහෙත් 1948 නිදහසින් පසු දශක හතක් ඇවෑමෙන් රට වැටී ඇත්තේ බරපතළ සමාජ, ආර්ථික, දේශපාලන අගාධයකටය. 'ජනවාරි 8' වෙනසක් ප්‍රගතිශීලී ජනතාව බලාපොරොත්තු වූයේ මේ අගාධයෙන් රට ගොඩගෙන වඩා යහපත් හෙටක් නිර්මාණය කර ගැනීමටය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී 18 වැනි සංශෝධනය බලරහිත කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීම, ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම, තොරතුරු පනත සම්මත කරගැනීම වැනි ක්‍රියාමාර්ග තුළින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළේය. සතුරන් ලෙස සැලැකූ ලෝකයේ බලවත් රටවල් සමඟ යළි මිතුරු සබඳතා ගොඩනඟා ගත්තේය. ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු කළේය. උතුරු හා නැඟෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවට යුද්ධයෙන් අහිමි වූ ගම්බිම් යළි ඔවුන්ට පවරා දීමේ කටයුතු කඩිනම් කළේය.

එහෙත් ගෙවුණු දෙවසරේදී ආණ්ඩුව ගත් ඇතැම් ක්‍රියාමාර්ග නිසා තිබෙන ප්‍රශ්න තවත් අවුල් වූ අතර නැති ප්‍රශ්න ඇති විය. වැට් බදු ඉහළ දැමීම තුළ ඇතිවූ ප්‍රශ්නය ඊට කදිම නිදසුනකි. අධිකරණය දුන් නියෝගයන් නිසා වැට් බදු සංශෝධන පනත යළි සංශෝධනය කිරීමට ආණ්ඩුවට සිදුවිය. රථවාහන දඩ ඉහළ දැමීම, ලොතරැයි මිල ඉහළ දැමීම වැනි සරල පියවරයන් පවා අවුලකින් තොරව කිරීමට ආණ්ඩුව අසමත්ය. සංවර්ධන විධිවිධාන (විශේෂ) පනතට පළාත් සභා සියල්ලම විරුද්ධ වීම නිසා එය සංශෝධනය කිරීමට සිදු වී ඇත. හම්බන්තොට වරාය පිටරට සමාගමකට බදු දීම මහා අවුලක් බවට පත්ව තිබේ. ඒ නිසා අස්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම කල් දැමීමට සිදුව ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අතිශය වැදගත් ක්‍රියාවලිය ප්‍රශ්නකාරී වී තිබේ. ව්‍යවස්ථා අනුකමිටු යෝජනා සම්බන්ධයෙන් මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය කල් දමා ඇත. පරිසරය හා රටේ ආරක්ෂාවට හා ආර්ථිකයට ඉතා අහිතකර කොන්දේසි මත රාජපක්ෂ ආණ්ඩු කාලයේ චීනය විසින් ඉදිකිරීම ආරම්භ කළ පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ ඇත්ත තත්ත්වය රටට හෙළි කිරීමට ආණ්ඩුව අසමත්ය. මහ බැංකුවේ සිදුවී ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණ කෙරුණේ නැත. කෝප් වාර්තාව පවා නිකුත් වූයේ විපක්ෂයේ දැඩි බලපෑම හේතුවෙනි.

2017 වසර තීරණාත්මක වසරකි. බලගතු ශ්‍රී ලංකාවක් හැදීමේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළේ 2 වැනි අදියර ක්‍රියාත්මක වීම මේ වසරේ ඇරැඹේ. 'තිරසාර යුගයක්' වැඩපිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක වේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ 2017 වැදගත් තීරණ රැසක් ගන්නා රටට ජයග්‍රාහී වසරක් වන බවය.
වඩා යහපත් හෙටක් වෙනුවෙන් මීට දෙවසරකට පෙර අද වැනි දිනක ඡන්දය පාවිච්චි කළ ජනතාවට යහපාලනයක් කරා රට ගෙන යන බව පෙනෙන්නට තිබිය යුතුය. ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමටත්, ඔවුන්ගේ අපේක්ෂා සපුරාලීමටත් ජනාධිපති හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ඇප කැපවීම අවශ්‍යය. 'ජනවාරි 8'ට පිටුපාන කිසිවකු සමඟ පෙළගැසීමට සබුද්ධික ජනතාව නම් තවදුරටත් සූදානම් නොවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්