සංචාරක කර්මාන්තය නැංවීම

  👤  4224 readers have read this article !
2017-01-06

හතර වටින් මුහුදින් වටවූ ලංකාව සංචාරක පාරාදීසයක් ලෙස සැලකේ. තිස් අවුරුදු යුද්ධය නිසා සංචාරයට නුසුදුසු රටක් ලෙස නම් කෙරුණද මේ වන විට සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට ලංකාව පත්ව තිබේ.

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් හැරුණු විට වැඩිම විදේශ විනිමය උපයා ගැනීමට ලංකාවට හැකිවී ඇත්තේ සංචාරක කර්මාන්තයෙනි. එනිසා රජයේ වැඩි සැලකිල්ලක් සංචාරක කර්මාන්තයට හිමිවී ඇත.

සංචාරක හෝටල් නියාමනය සඳහාවූ යෝජනා සංචාරක ඇමැති ජෝන් අමරතුංග විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 3 වැනිදාය. කැබිනට් අනුමැතිය ලැබී ඇති මේ යෝජනාවට අනුව සංචාරක හෝටල් තරු 1 සිට තරු 5 දක්වා වර්ගීකරණය කිරීමට අදාළව පැවැතිය යුතු අවම සුදුසුකම් හා පහසුකම් නියම කිරීම, ඊට අදාළ බලපත්‍ර ගාස්තු නියම කිරීම, සංචාරක හෝටල් පවත්වාගෙන යා යුතු විනය විධිවිධාන සැලසීම, සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම සහ ඒ සඳහා බලපත්‍ර ලබාදීම ඇතුළු වැදගත් කාරණා කිහිපයක් ඊට ඇතුළත්ය. 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත යටතේ ඇමැතිවරයා මේ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

දේශීය හා විදේශීය වශයෙන් සංචාරකයන් දෙකොටසකි. ඉන් 2015 වසරේ මෙරටට පැමිණ ඇති විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව 17,98,380කි. උපයාගෙන ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2කි. යුද්ධය අවසන් වූ 2009 වසරේ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 4,47,890ක් පමණි. අනතුරුව වසරින් වසර මෙහි පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.

ආණ්ඩුවේ නව සංවර්ධන සැලැසුම් යටතේ රට සංචාරක කලාපවලට බෙදීමට තීරණය කර ඇත. ඉන් එක් කලාපයක්, ඉරණවිල ඇමෙරිකන් හඬ පිහිටි භූමිය කේන්ද්‍ර කර ගනිමින් පිහිටු වීමට නියමිතය. සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම තුළ ඒ ඒ ප්‍රදේශවල සැලකිය යුතු පිරිසකට ඍජු හා වක්‍ර ප්‍රතිලාභ ලබාගත හැකිවේ. මත්තල ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් සංචාරකයන් සඳහා අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරීමටත් අභ්‍යන්තර මහාමාර්ග පද්ධතියද සංවර්ධනය කිරීමටත් රජය බලාපොරොත්තුවේ.
විදේශ සංචාරකයන් වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම හා ඒ ආශ්‍රිත රැකියා වර්ධනය කිරීමේ ඉලක්කය සඳහා යෝජිත සංචාරක හෝටල් නියාමන වැඩපිළිවෙළ මහෝපකාරී වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්