මෛත්‍රිගේ ජනවාරි 8

  👤  7567 readers have read this article !
2017-01-05

'රාජපක්ෂ ආණ්ඩුව තරම් මේ රටේ මහජන මුදල් හා දේපොළ කොල්ලකෑ ආණ්ඩුවක් ඉතිහාසයේම තිබුණේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය දිනා එළැඹෙන දින 100 තුළ පසුගිය අවුරුදු 9 තිස්සේ මේ ආණ්ඩුවේ මහ හොරකම් කරපු මහා හොරු ටික කොමිෂන් සභාවක් පත්කරලා කොටු කරලා දඬුවම් දෙනවා කියන එක මා ඓතිහාසික මහනුවර පුරවරයේදී පැහැදිලිවම කියනවා'

'සමහරු මගෙන් අහනවා රාජපක්ෂලා එක්ක සටන් කරන්න බය නැද්ද කියලා. ඇයි එහෙම අහන්නේ. ලොකු අයියා කතානායක. ඊළඟ එක්කෙනා ජනාධිපති. ඊළඟ කෙනා ආරක්ෂක ලේකම්, ඊළඟ කෙනා ආර්ථික සංවර්ධන ඇමැති. ඊළඟ කෙනා උෟව මහ ඇමැති - කතරගම බස්නායක නිලමේතුමා. නාමල් දරුවා.... අනේ පව්. රාජපක්ෂ පවුලේ අයටත් මේ දූෂණ ආණ්ඩුව රකින අයටත් මම කියනවා අපි බයේ සටනට ඇවිත් නැහැ. නිවටකමින්, බියෙන් ජීවත් වෙනවාට වඩා ජනතාව වෙනුවෙන් සටන් කර මිය යන්න වුණත් ලෑස්තිවෙලයි මම සටනට බැස්සේ.'

2015 දෙසැම්බර් 9 වැනිදා මහනුවර නගරයේ පැවැති පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ මංගල රැලියේදී මෛත්‍රි කිව්වේ එහෙමයි.

මෛත්‍රිගේ මේ කතා අසා මහින්ද විරෝධීන්ගේ ඇඟේ මයිල් කෙළින් විය. හැබැයි මහින්ද පිලේ අයගේ රතු ඉර පැන්නේය.

රාජපක්ෂ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක නම් කිව්වේ "ජනාධිපති රාජපක්ෂව පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාව ඇත්තේ මේ රටේ ජනතාවට නොව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට බවය. රනිල් රටේ නායකකමට ගේන්න මෛත්‍රි බිලි බෝයි කරගෙන චන්ද්‍රිකා එක්ක කුමන්ත්‍රණය කරන බවත් කියමින් මේ රට ලිබියාව - ඉරාකය වගේ අඩියෙන් අඩිය මිනී මැරෙන අමු සොහොන් බවට පත් කරන්න එපා කියල බුද්ධිමත් ජනතාවගෙන් එස්.බී. ඉල්ලා සිටියේය.

ශ්‍රී ලනිපයේ ලේකම් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා කුලියාපිටියේ පැවැති 'රාජපක්ෂ දිනවන' රැලියේදී ප්‍රකාශ කෙළේ 'එජාපයට අපේක්ෂකයෙක් නැති බවත්, මෛත්‍රි රූකඩයක් බවත්, මේ අම්බලන්ගොඩ රූකඩයේ නූල් අදින්නේ රනිල් - චන්ද්‍රිකා දෙදෙනා බවත්ය. මෛත්‍රි මේ වගේ ද්‍රෝහි වැඩක් කරාවි යැයි නොසිතු බවත් යාපා එහිදී කියා සිට තිබුණේය.

අන්තිම මොහොතේ එජාප පුටුවෙන් කැබිනට් ඇමැති ධුරයකට පැනගත්ත තිස්ස අත්තනායක ඒ රැලියේදීම කියා තිබුණේ එජාපය මෛත්‍රිපාල එක්ක කනත්තට යන බවය.
අවිස්සාවේල්ල නගරයේ පැවැති ජනාධිපති වරණ රැලියකදී මෛත්‍රි මේ කතාවලට උත්තර දෙමින් කියා තිබුණේ මෙහෙම කතාවකි.

"රාජපක්ෂ ආණ්ඩුවේ ශ්‍රී ලනිප ප්‍රතිපත්ති හෝ බණ්ඩාරනායක දර්ශනය නැහැ. යුද්ධය දිනුවට පස්සේ මහ රාජානෝ කියලා ප්‍රශස්ති ලියව ගන්න ගමන් වීරෝදාර රණවිරුවකු වූ ෆොන්සේකා හිරේ දාලා උගතුන්ට, බුද්ධිමතුන්ට පක්ෂයේ ජේ‍යෂ්ඨයන්ට ඇහුම් කන් නොදී හොරකමින් මැරකමින් රට පාලනය කරමින් කිසිදු රාජ්‍ය නායකයකු නොකළ ආකාරයට රාජ්‍ය සම්පත්, දේපළ හා ජාතික ධනය කොල්ලකෑවා. ශ්‍රී ලනිපයේ මහ ලේකම් හැටියට තවත් මේ සෙල්ලමට මම ඉඩදෙන්නේ නැහැ."

2014 වසරේ ලොකුම ප්‍රවෘත්තිය වූයේ මෛත්‍රි රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැහැලා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමය. ඒ වෙලාවේ හැටියට මෛත්‍රි ගත්තේ බරපතළ තීරණයකි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ මෛත්‍රි කිව්ව වගේ පැරැදුණා නම් අඩි හයක් පොළොව යටට යන්න ඉඩ තිබුණේය. ජනාධිපතිවරණයදා රාත්‍රියේ මෛත්‍රි පවුලේ අය සමඟ සිටියේ කුරුණෑගල පොල් වත්තකය. ඒ කොළඹ සිටීම ඇඟට ගුණ නැති බව මෛත්‍රි දැන සිටි නිසාය.

පරාජය නියත බව ඉව වැටුණු පසු අන්තිම තුරුම්පුවත් වැරැදී ගිය මහින්ද 9 වැනිදා එළිවෙන්නට කොළඹ සිටි රනිල්ට කතා කර හෙලිකොප්ටරයක් ගෙන්වාගෙන පවුලේ සාමාජිකයන් රැගෙන මැදමූලනට ගියේය. 9 වැනිදා උදේ කොළඹ පැමිණි මෛත්‍රි හවස ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය. අගමැතිකම හිමිවූයේ රනිල්ටය. 2014 දෙසැම්බර් 19දා විහාරමහාදේවි උද්‍යානයේදී මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට මෛත්‍රි අතින් පිරිනැමුණු 'මෛත්‍රි පාලනයක් - ස්ථාවර රටක්' හංස ප්‍රකාශනයේ මෙහෙම ලියල තිබුණා.
"දූෂණ හා වංචා සැමදා සිදුවූ බව සත්‍යයකි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ දූෂණවල පරිමාණය ඉතිහාසයේ කිසිදු දිනෙක අසන්නට ලැබී නැත. රට ගොඩනංවන ඒකාබද්ධ වැඩපිළිවෙළක් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එක්කර ගත හැකි ඓතිහාසික මොහොත දැන් උදා වී ඇත"

මෛත්‍රි පොරොන්දු වුණා වගේම හොරු අල්ලන්න විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටෙව්වේය. ජ්ඛ්ධ්ච්ය නමින් විශේෂ පොලිස් ඒකකයක්ද ඇති කළේය.

19 වැනි සංශෝධනය ගෙනත් ජනාධිපති බලතල අඩුකර ගත්තේය. 18 වැනි සංශෝධනයෙන් මහින්ද බල රහිත කළ කොමිෂන් සභා බලාත්මක කළේය. මර්දනය වෙනුවට මාධ්‍යයට නිදහසේ වැඩ කරන්න ඉඩකඩ ලබා දුන්නේය. අපිත් එක්ක තරහවෙලා හිටිය ලෝකයේ රටවල් යළි මිතුරු කර ගත්තේය. තොරතුරු පනත ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන පියවර කිහිපයක් ගත්තේය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සැලසුම් සකස් කෙළේය.

හැබැයි ජනවාරි 8ට කලින් මෛත්‍රිගේ කතාවල තිබුණු 'සැර' ගතිය 'වැඩ' වල පෙනෙන්නට තිබුණේ නැත.

මහින්ද ළඟ ඉඳලා ජනාධිපතිවරණයේදී මෛත්‍රි ළඟට ගිය මලිත් ජයතිලක 'ජනවාරි 8' කියල ලිව්ව පොතේ තියෙන්නේ නම් ජනතාවට කිව්ව කතාවලට වෙනස් කතන්දරයකි. රාජපක්ෂලාව රකින්න මෛති්‍ර ප්‍රතිඥා දුන් බවක් ඔහු පොතේ ලියා තිබෙනවා. මහනුවර මංගල රැලියේදී ජනතාවට දුන්න ප්‍රතිඥාවට සපුරා වෙනස් ප්‍රතිඥාවක් ඒක. 2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයේදී රාජපක්ෂවරුන් එක්ක එකතු වෙලා රනිල්ලා නැති තනි ශ්‍රී ලනිප ආණ්ඩුවක් හදන්න මෛත්‍රිගේ අනුමැතියෙන් සාකච්ඡා කළ බව මලිත් පොතේ ලියල තියෙන කතාවලින් හැඟී යනවා. එහෙම සාකච්ඡා තිබුණු බව වරින් වර රටට තොරතුරු කාන්දු වුණා.

ජනාධිපතිවරණයෙන් හරියටම දවස් හතකට පස්සේ ඒ කියන්නේ 2015 ජනවාරි 14 වැනිදා මෛත්‍රි - මහින්ද අතර සාකච්ඡාවක් පැවැත්වුණේ ශ්‍රී ලනිප සභාපති ධුරය මෛත්‍රිට දෙන්න.

'ශ්‍රී ලනිප නව සභාපති මෛත්‍රි, තනතුරු සම්බන්ධයෙන් මහින්ද එකඟ වෙයි. දෙදෙනා අතර පැයක පෞද්ගලික සාකච්ඡාවක්'

2015 ජනවාරි 16 වැනි සිකුරාදා ලංකාදීප ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරල තිබුණේ එහෙමය. ශ්‍රී ලනිප සභාපති ධුරය මෛත්‍රි භාරගන්න එක නෙවි ප්‍රශ්නය. ශ්‍රී ලනිප සභාපතිකමයි රටේ ජනාධිපතිකමයි පටලවගන්න එක කියලයි චෝදනා එල්ල වෙන්නෙ.

ගෙවී ගිය අවුරුදු දෙක දිහා ආපසු හැරී බලන කොට මෛත්‍රිට තෝරා ගන්න මාර්ග දෙකක් තිබුණු බව පැහැදිලිය. පළමුවැන්න ශ්‍රී ලනිප නායකයා වෙලා පක්ෂය හැදීම. දෙවැන්න ජනාධිපති වෙලා රට හැදීම. පෙනෙන්නට තිබෙන්නේ නම් මේ දෙකින් එකක්වත් හරියට කරගන්න මෛත්‍රිට මේ අවුරුදු දෙක තුළ නොහැකි වූ බවය. මෛත්‍රි කියන්නෙ ශ්‍රී ලනිපයේ සභාපති ධුරය භාරගත්තෙත්, 'මෛත්‍රි කරපු හිවල් කතාව නායකයකුට ගැළපෙන්නේ නැහැ කියලා' තමන්ට අපහාස කරපු මුතුහෙට්ටිගමලාට ඇමැතිකම් දුන්නෙත්, පරාජය වූ ශ්‍රී ලනිපයේ සමහරුන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළෙත්, 19 වැනි සංශෝධනය සාර්ථකව කර ගන්නය. බැලූ බැල්මට කතාව ඇත්තය. එහෙත් 19 වැනි සංශෝධන යෝජනාවලට සංශෝධන ඉදිරිපත් කර එය හෑල්ලු කළ මහින්දව අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව පාර්ලිමේන්තු සභා ගර්භයේ නිදාගත්ත කට්ටියත් එක්ක ආණ්ඩු කරනවාට වඩා ආණ්ඩුව විසුරුවා හැර එජාපය හා ශ්‍රී ලනිපයේ ප්‍රගතිශීලීන් හංසයා ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයකට ගියා නම් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ඉඩ තිබුණේය.

එහෙම වුණා නම් පාර්ලිමේන්තුව ඇතුළේ ඊනියා ඒකාබද්ධ විපක්ෂයක් අටවගෙන වැඩ අවුල් කරන්න ඉඩ ලැබෙන්නේ නැත. අඩුම ගණනේ මහින්ද පිලේ කට්ටිය දින සියයේ ආණ්ඩුවට අකුල් හෙළන කොට කරන්න තිබුණේ ඒ බව ජනතාවට පැහැදිලි කරලා ආණ්ඩුව විසුරුවා හරින්න. එහෙත් මෛත්‍රි මහ මැතිවරණයට පෙර රූපවාහිනියට ඇවිත් කිව්වෙ එහෙම නොකළේ ශ්‍රී ලනිපය ගැන සිතා බවය. ඒක තමයි මෛත්‍රිගේ පටලැවිල්ල. අන්තිමට මහ මැතිවරණයේදී වුණේ මෛත්‍රි සහාය දුන්න කට්ටියට අලියා ලකුණින් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු යන්න.

බුලත් කොළෙන් පාර්ලිමේන්තු ගියේ තනිකර මහින්ද පිලේ කට්ටිය. මහින්දත් බුලත් කොළෙන් පාර්ලිමේන්තුවට ගියේය. සෝභිත හාමුදුරුවො අන්තයටම කලකිරුණේ මහින්ද ඇතුළු පිරිසට ශ්‍රී ලනිපය නොමිනේෂන් දුන්න නිසා කියලා ළඟකදී හෙළි කරලා තිබුණේ මහාචාර්ය විජේසූරිය මහත්තයා.

පොදු අපේක්ෂකයාට සහාය දුන්න කට්ටිය හංසයාගෙන් පාර්ලිමේන්තු ආවා නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන වැඩේ ලස්සනට කර ගන්න තිබුණා. දැන් වෙලා තියෙන්නේ ජාතිවාදය එක්ක මිශ්‍ර කරලා බොරු පැතිර වීම නිසා ව්‍යවස්ථා බිල්ලෙක් ජනතාව තුළ හොල්මන් කිරීමයි. ව්‍යවස්ථාව දඩමීමා කරගෙන ආණ්ඩුව පෙරළන්න අපිට ඕනෑ කියලා වාසුදේව කියන්නේ ඒකය. ඒ අස්සේ ශ්‍රී ලනිපයේ මෛත්‍රි පිලේ සමහරු හදන්නෙ මහින්ද පිල එකතු කරගෙන තනි ශ්‍රී ලනිප ආණ්ඩුවක් හදන්නය. රනිල්ට ඕනෑ 2020 තනි එජාප ආණ්ඩුවක් හදන්නය. රනිල් කරන්නෙ ශ්‍රී ලනිප බොර දියේ මාළු බාන එක. ඇත්තටම 'ජනවාරි 8' ට අවුරුදු දෙකක් පිරෙද්දී රට ගමන් කරමින් තිබෙන්නේ යහපාලනය දිශාවට නොව අරාජිත දිශාවකටය.

පල්ලෙවත්ත ගමරාලලාගේ, මෛත්‍රිපාල යාපා සිරිසේනගේ 'ජනවාරි 8' විප්ලවය 1956 එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායකගේ '56 විප්ලවය' වගේ 'ගබ්සා' වීමේ අනතුරක් තමයි තිබෙන්නේ. ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ 'ඉරුදින' පත්තරයකට කියලා තිබුණ වගේ අපිට අවුරුදු 2,500ක ඉතිහාසයක් තිබුණට රටට මහා නායකයෝ බිහිවෙලා නැහැ. ඔක්කොම ඉන්නෙ සිල්ලර නායකයෝ. ඔවුන්ට රටක් ගොඩනඟන්න බැහැ.

උතුරේ තිස් අවුරුදු යුද්ධයක් ඇති වුණේ දකුණේ සන්නද්ධ අරගල දෙකක් ඇති වුණේ විජේවීරගේවත්, ප්‍රභාකරන්ගේවත් පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නොව මේ නායකයන්ගේ සිල්ලර දේශපාලනය නිසයි. ‍ෙදාස්තෙව්ස්කි කිව්ව වගේ අඩුගණනේ මේ පාලකයෝ කෙළවා ගැනීමෙන්වත් පාඩමක් ඉගෙන ගන්න ලෑස්ති නැත.
"මෛත්‍රිගේ ජයග්‍රහණය ගැන නිව්යෝර්ක් ටයිම්ස් වගේ පත්තරවල පවා කතුවැකි ලියැවුණේය. අන් කිසිදු ජනාධිපතිවරණයකදී එවැනි ජාත්‍යන්තර අවධානයක් මෙරටට යොමු වූයේ නැත.

බොහෝ දෙනා හිතුවේ මෛත්‍රි දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා වගේ නායකයෙක් වෙයි කියලාය. තාරුණ්‍යය සිරමැදිරියක ගෙවා දැමූ මැන්ඩෙලා සාමකාමී මැතිවරණයකින් ජනාධිපති වූ පසු පරම සතුරන් වූ සුදු ජාතික නායකයන් සමඟ හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. උප ජනාධිපතිකම දුන්නේ සුදු අගමැතිව සිටි ඩී. ක්ලාක්ටය. යුද වැරැදි සෙවීමට සත්‍ය කොමිසමක් පත් කළේය. සිය ධුර කාලය අවසන් වූ වහාම ඉවත්ව ගිය මැන්ඩෙලා සිය පක්ෂයේ නායක ධුරයෙන්ද ඉල්ලා අස්විය. මෛත්‍රිට නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වෙන්න බැරිද?

ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු විදේශ මාධ්‍යවේදියකු එසේ අසා තිබිණි. මෙරට බොහෝ දෙනකු මෛත්‍රිගෙන් එවැනි නායකත්වයක් බලාපොරොත්තු විය.

'ජනවාරි 8' වීරයා වූ මෛත්‍රි ද්‍රෝහියකු වීම තෝරා ගනී යැයි සිතිය නොහැකිය. රට වෙනුවට පක්ෂය කරේ තියාගෙන ගියොත් රට වෙනුවට පවුල කරේ තියාගත් මහින්ද වීරයාට ඇතිවූ ඉරණමම මෛත්‍රිට අත්වනු ඇත. 2017දී පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි වෙනස් කර ආණ්ඩුව පෙරළන බවට මහින්ද පුරසාරම් ‍ෙදාඩා තිබේ. රනිල් නම් ඊට ප්‍රතිචාර දක්වා ඇත. හැකිනම් පෙරළන්නැයි ඔහු මහින්දට අභියෝග කර තිබේ. මෛත්‍රි එජාප මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂවරුන් සමඟ තමන් කිසිම ගනුදෙනුවක් නොකරන බවය. 2017 වසර විජයග්‍රාහී වසරක් වනු ඇති බවද මෛත්‍රි කියා ඇත. කතාව ඇත්ත නම් මෛත්‍රි යළි පීල්ලට වැටී තිබේ.
ජනවාරි 8 මහින්ද පරාජය කිරීම විශිෂ්ට වැඩකි. දුෂ්කර පිම්මකි. එහෙත් 'ජනවාරි 8' උඩ දදා සිටීමෙන් වැඩක් නැත.

අවනීතිය යුක්ති ධර්මයෙන්ද අශීලාචාර බව ආචාරශීලිත්වයෙන්ද මුග්ධ පවුල් කාමය උතුම් ප්‍රඥාවෙන්ද වෛරය - මෛත්‍රියෙන්ද ජය ගන්නා මෛත්‍රි පාලනයක් රනිල් සමඟ එක්ව යථාවක් කර රට යහපාලන මාවතකට යොමු කළ යුතුය. චීනයේ සුන්ට්සු මෙසේ කියා ඇත.

'මා දිනුවේ මගේ දක්ෂකම නිසා කියා සිතා උඩඟු නොවන්න. ඉන් ඔබ අගතියට පත්වන්නේය. ඒ නිසා ඔබ දිනන විටත් සොයන්න මා දිනුවේ කවුරු උදවු කළ නිසාද කියා. කුමන පිටස්තර හේතු මට වාසි වුණ නිසාද කියා.

මේ උපදෙස මෛත්‍රි පමණක් නොව රනිල්ද සිතේ තබාගැනීම දෙදෙනාටම යහපත්ය. ඊටත් වඩා රටට යහපත්ය.

සුරවී

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්