සහල් සහ බත්

  👤  6720 readers have read this article !
2017-01-05

සහල් ප්‍රශ්නය අර්බුදයක් බවට පත්වී තිබේ. ඊට වගකිව යුතු ආයතන දෙපිල බෙදී එකිනෙකා විවේචනය කරගනිද්දී තවත් පිරිසක් බොර දියේ මාළු බෑමට වෑයම් කරති.

වෙළෙඳපොළේ ඇතිවී තිබෙන සහල් හිඟය සහ මිල ඉහළ යෑමට පිළියමක් ලෙස සහල් පිටරටින් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නද තවමත් පිටරට සහල් තොග මෙරටට ලැබී නැත. ඇතැම් පිරිස් චෝදනා කරන්නේ සහල් මිල වැඩිවීමට ඉඩ දී මහා පරිමාණයෙන් ලාභ ලැබීමේ කූට අරමුණ මේ ප්‍රමාදය පිටුපස තිබෙන බවයි.

ගොවි සංවිධාන වී අලෙවි මණ්ඩලයට චෝදනා කරන්නේ ගබඩාවල ඇති වී තොග මුදාහැරීමේදී වී අලෙවි මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් වංචනිකව කටයුතු කරන බවය. මේ වී තොග නිකුත් කරන්නේ සහල් මෝල් හිමියන්ටය. එහෙත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා ඊයේ දිනපතා 'මව්බිම'ට ප්‍රකාශ කර තිබුණේ මෙලෙස වී තොග නිකුත් කිරීමෙන් සහල් මිලේ අඩුවීමක් සිදුනොවන නිසා මේ ක්‍රියාවලිය වහාම අත්හිටුවිය යුතු බවය.

වී අලෙවි මණ්ඩලය වී තොග නිකුත් කිරීම අරඹා මේවනවිට දින දහයකට වඩා ගතවී තිබේ. රුපියල් 52ක් වූ වී කිලෝව මණ්ඩලය අලෙවි කරන්නේ රුපියල් 43කට බව කියැවේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වී මෙට්රික් ටොන් 40,000ක් සහල් මෝල් හිමියන්ට නිකුත් කර ඇත. ගැටලුව වී ඇත්තේ මේ වී තොග අතරමැදියන් විසින් ලබාගෙන ඉහළ මිලකට අලෙවි කිරීමය.

මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගොවි සංවිධාන, වී මෝල් හිමියන්ගේ සංවිධාන, රජයේ අදාළ ආයතන විවිධ යෝජනා කරති. එහෙත් ප්‍රශ්නය මතුවීමට පෙර මේ බොහෝ දෙනා ප්‍රශ්නය මතුවේ යැයි උපකල්පනය කර විසඳුම් යෝජනා කරන්නේ නැත. උත්සව සමයේ සහල් මිල ඉහළ යෑම මෙවර ප්‍රථම වරට සිදුවූවක් නොවේ. මෙවැනි මිල ඉහළ යෑම් සෑම වසරකම සිදුවේ. විශේෂයෙන් උත්සව සමයට හාල් මිල ඉහළ යෑම සාමාන්‍ය කාරණයකි.

තව මාස කීපයකින් අප්‍රේල් අලුත් අවුරුදු සමය උදාවේ. ඉදිරි මාස කීපයේදී රට නියඟයකට මුහුණ දීමට නියමිතය. කන්නය වගා කිරීම සඳහා ජල හිඟයක් ඉන් ඇති වේ. එයින් වී නිෂ්පාදනයේ අඩුවීමක් සිදුවීම වැළැක්විය නොහැක. ඒ නිසා බලධාරීන් නුදුරේ ඇතිවන බව අහිතකර තත්ත්වයට මුහුණදීමට ලකලැහැස්ති විය යුතුය.

මුහුද හත් ගව්වක් තබා අමුඩ ගැසිය යුතු යැයි අපි නොකියමු. එහෙත් සියල්ලට පෙර සූදානම වැදගත්ය. බොහෝ විට සිදුවන්නේ ප්‍රශ්නය මතුවූ පසු කඩිමුඩියේ විසඳුම් සෙවීමට යෑමය. එනිසා පෙර ලැබූ අත්දැකීම් හා මේ වන විට අත්විඳින දුෂ්කරතා තුළින් ඉදිරි සැලසුම් සකස් කළ යුත්තේ සහල් අර්බුදයක් ඇති නොවීමටය. රට සහලින් ස්වයංපෝෂිත කළ බවට වරින් වර පාලකයන් කියන සුරංගනා කතාවලට බත් කන කිසිවකු නොරැවටුණද ලංකාවේ ප්‍රධාන ආහාරය බත් නිසා 'සහල්' තවදුරටත් ප්‍රශ්නයක් නොවන තැනට රජය වගබලා ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon