ආහාර ත්‍රස්තවාදයට එරෙහිව...

  👤  4128 readers have read this article !
2017-01-04

රසමුසු භෝජනවලට වස මුසුවීම පොදු ජනතාවගේ සෞඛ්‍යයට කිසිසේත් හිතකර වන්නේ නැත. අපේ ප්‍රධාන ආහාරය වන බත් ඇතුළු බොහෝ ආහාරවල වස විස මිශ්‍රවී ඇතැයි කියැ වෙන්නේ කලෙක සිටය. මෙරට පැවැති ආහාර සංස්කෘතිය විකෘතිවීමත්; ආහාර නිෂ්පාදකයන් ආහාර කල් තබා ගැනීමට හා රසවත් කිරීමට යොදා ගන්නා රසායනික මිනිස් සිරුරට අහිතකර වීමත් නිසා වසමුසු භෝජන පරිභෝජනය කිරීමට ජනතාවට සිදුව ඇත.

කොළඹ නගරයේ අලෙවි කෙරෙන බත් පැකට් සඳහා නීති රීති හඳුන්වාදීමට කොළඹ මහ නගර සභාව ඉකුත් වසරේ තීරණය කෙළේ වස විස මුසු ආහාරවලින් පාරිභෝගික ජනතාව බේරා ගැනීමේ අරමුණින් විය යුතුය.

කොළඹ නගරයේ විශාල පිරිසක් ජීවත් වන අතර දෛනිකව කොළඹ නගරයට පැමිණෙන්නන් ගණනද අති විශාලය. එනිසා කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ලියාපදිංචි නොවී අදාළ බලප්‍රදේශය තුළ බත් පාර්සල් අලෙවි කිරීම මේ වසරේ සිට සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

ඉකුත් වසරේ මේ නීතිය පැනවුවද ඇතැම් විට ඊට පටහැනිව බත් පැකට් අලෙවි කිරීම සිදු කෙරිණි. නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පවසන්නේ මේ වසරේ නීතිය තදින් ක්‍රියාත්මක කරන බවය.

කොළඹ නගර සභා සීමාවේ පමණක් බත් පැකට් අලෙවි කරන වෙළෙන්දෝ 300ක් පමණ සිටිති. මේ පිරිස අලෙවි කරන බත් පැකට්වල පැහැදිලිව දැකගත හැකි වන පරිදි
නිෂ්පාදකයාගේ නම, ලිපිනය, නිෂ්පාදිත දිනය හා වේලාව මෙන්ම ලියාපදිංචි අංකයද සඳහන් කිරීම අනිවාර්ය වේ.

මෙවැනි නීතියක් පැනවීම අවශ්‍යයෙන්ම කළ යුතුව තිබිණි. කොළඹ මහ නගර සභාව අනුව යමින් සෙසු මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ද මේ නීතිය පනවන්නේ නම් එය පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය සුරක්‍ෂිතතාව සහතික කිරීමකි. ස්වයං රැකියාවක් ලෙස බත් පැකට් අලෙවි කරන්නන්ද සිටින අතර අදාළ නීති ඔවුන්ගේ ආදායම් මාර්ගයට බාධා විය යුතු නැත.

බත් පැකට් අලෙවිකරුවන් හෝ නිෂ්පාදකයන්ට පමණක් නොව ඒ ඒ පළාත් ආයතනවල සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය හෝටල් හා ආපනශාලා ඇතුළු සියලු ආහාර අලෙවිහල්වලට යොමුවිය යුතුය.

හෝටල් සහ ආපනශාලා ඇතුළු දිවයින පුරා පිහිටි ආහාර අලෙවි හා නිෂ්පාදන ස්ථාන සැලකිය යුතු ආකාරයට පසුගිය කාලයේ පරීක්‍ෂා කිරීම් සිදු විය. අදාළ පරීක්‍ෂණ හා වැටලීම් අඛණ්ඩව කළ යුතුය. ඒ අන්කිසිවක් නිසා නොව නීති විරෝධීව වැඩ කිරීමත්, ලාභ රේට්ටුව වැඩිකර ගැනීමටත් සැදී පැහැදී සිටින ආහාර වෙළෙන්දන් ඕනෑ තරම් මෙරට සිටින නිසාය. ආහාර ත්‍රස්තවාදයෙන් පාරිභෝගික ජනතාව මුදා ගැනීම රජයේ වගකීමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්