තිරසර සංවර්ධනය

  👤  4421 readers have read this article !
2017-01-03

2030 වසර ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන ක්‍රියාවලියකට යොමු කිරීමේ ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ සමාරම්භක උළෙල ඊයේ කොළඹදී පැවැත්විණි.

සමාජ, ආර්ථික හා පාරිසරික තිරසර බව ඇති කරවන ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ වගකීම විශේෂඥ විද්වත් මඬුල්ල වෙත භාරදීම මෙහිදී සිදුකෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. නේකවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් මහජනයාගේද අදහස් හා යෝජනා විමසා බලා රට තිරසර සංවර්ධනයක් කරා රැගෙන යන ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කරනු ඇත.

එදා මෙදාතුර මේ රටේ පැවැති බරපතළ දුර්වලකමක් වූයේ කිසිදු ක්ෂේත්‍රයකට ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමැතිගෙන් ඇමැතිට මාරු වන, වෙනස් වන ඊනියා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය නම් ගෙවීගිය දශක හයකට වැඩි කාලයක් පුරා අඩුවක් නැතිව සිදුවිය. මෙවර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සංවර්ධනය උදෙසා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට පියවර ගෙන ඇත්තේ මෙතෙක් පැවැති ගමන්මඟ පසු විපරමකට බඳුන් කර විය යුතුය.

තිරසර සංවර්ධනයේ අරමුණ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරමින්, පෝෂණය කරමින් භෞතික සංවර්ධනය කරා යෑමය. එය අභියෝගයකි. තුන්වැනි ලෝකයට තබා බටහිර දියුණු රටවලටද මේ අභියෝගයට සාර්ථකව මුහුණදීමට හැකිවී ඇතැයි කිව නොහැකිය. එහෙත් ලැබූ අත්දැකීම් තුළින් දියුණු බටහිර ලෝකය තිරසර සංවර්ධනයේ ඇති වටිනාකම මේ වන විට අවබෝධ කරගෙන ඇත.

තිරසර සංවර්ධනයේදී ඉලක්ක සපුරා ගැනීමේදී දිළිඳුකම පිටුදැකීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. මේ වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස රජය ප්‍රකාශයට පත් කළේ මීට මාස හයකට පමණ පෙරය.

පස් අවුරුදු සැලැසුම, ජනසතු ව්‍යාපාරය, ගම්උදාව, ජනසවිය, කඩිනම් මහවැලිය, සමෘද්ධිය, දිවිනැඟුම වැනි වැඩසටහන්වල අවසන් අරමුණ වූයේ දුප්පත්කම පිටුදැකීමය. එහෙත් මේ වැඩසටහන්වලින් අපේක්ෂා කළ පරිදි ප්‍රතිඵල ලැබුණේ නැත. එහෙත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මේ තිරසර සංවර්ධන වැඩසටහන සැලසුම් සහගත අඛණ්ඩ ක්‍රියාවලියකි.

අධ්‍යාපනය නැංවීම, පරිසර සංරක්ෂණය, ස්ථාවර බලශක්තිය, නාගරික සංවර්ධනය තිරසර සංවර්ධනයකට අත්‍යවශ්‍ය සාධකයන් වේ. දුගී භාවයෙන් නිදහස් වීම, ආර්ථික අර්බුදයෙන් මිදීම, භෞතික සම්පත් සංවර්ධනය, දේශීය කර්මාන්ත වර්ධනය, දේශීය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම මේ තිරසර සංවර්ධනය තුළ ඇති අරමුණුය.
සබුද්ධික ජනතාව මේ වැඩපිළිවෙළ සමඟ එක්විය යුත්තේ එය දේශපාලනඥයන්ට පමණක් භාරදීමෙන් සාර්ථක නොවන නිසාය. ඉලක්කයන් කරා යෑමට අරමුණක් තිබිය යුතුය. එහෙත් ඒ සඳහා සැලසුමක්ද තිබීම අත්‍යවශ්‍යය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon