අධ්‍යාපනය හා අනාගතය

  👤  4151 readers have read this article !
2017-01-02

2017 නව වසරේ අලුත් පාසල් වාරය අදින් ඇරැඹේ. අලුත් පෙළ පොත්, අලුත් නිල ඇඳුම් සිසු දරුවන්ට නොමිලේ ලැබේ. අලුත් ගොඩනැඟිලි අලුත් ගුරුවරු ඇතුළු පහසුකම්ද සහිත හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට ඔවුහු අපේක්ෂා කරති.

එහෙත් සිසු දරුවන්ගේ මේ අපේක්ෂාවන්ට හරස් වන බාධක ඕනෑ තරම්ය. ඉන් පළමුවැන්න වන්නේ ප්‍රමාණවත් මුදල් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් නොවීමය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නායකත්වයෙන් අධ්‍යාපනයට අයවැයෙන් 6%ක් වෙන්කළ යුතු යැයි ඉල්ලීමක් මතු විය. යුද්ධය අවසන් වීමෙන් පසු එවැනි ඉල්ලීමකට එකඟතාව පළ නොකර සිටීමට බලධාරීන්ට හැකි වූයේ නැත. ඉල්ලීම අකමැත්තෙන් වුව පිළිගත්තද මේ වනතුරු කිසිදු අය-වැයකින් 6%ක මුදලක් වෙන් කෙරුණේ නැත. වැදගත්ම කාරණය වන්නේ අධ්‍යාපනයට 6%ක මුදලක් අයවැයෙන් වෙන් කිරීම නොව වෙන් කෙරෙන මුදල ප්‍රතිඵලදායක ලෙස අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරනවාද යන්නය. කාලාන්තරයක් පුරා සිදුව ඇත්තේ අධ්‍යාපනයට වෙන් කළ මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් නාස්ති කිරීම පමණි.
ඉකුත් වසරේ පමණක් අල්ලස් ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් වැඩිපුරම අත්අඩංගුවට ගෙන ඇත්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සම්බන්ධ රාජ්‍ය සේවකයන් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අනාවරණය කර තිබිණි. ඉකුත් වසරේ අල්ලස් ලැයිස්තුවේ පොලිසිය සිටින්නේද දෙවැනි තැනය. කනගාටුවට කරුණ වන්නේ අල්ලස් ලබාගත් අධ්‍යාපන නිලධාරීන් නවදෙනා අතරේ විදුහල්පතිවරුන් සිවුදෙනකු හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනකු සිටීමය.

ගුරු දෙවිවරු ලෙස අතීතයේ සැලැකුම් ලැබූ දරු පරපුරට ආදර්ශවත් මඟපෙන්වීමක් කළ යුතු වූ ගුරුවරුන්ට දූෂණ, වංචා, ලිංගික අපචාර චෝදනා එල්ල වේ නම් එය ඉතා බරපතළය. ජීවිතයේ පැනනඟින ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි සමාජීය ප්‍රශ්නවලට මුහුණදිය හැකි විචාර බුද්ධිය හා තර්ක ඥානය ඇති ප්‍රායෝගික පුරවැසියන් පාසල මඟින් බිහිකළ යුතුය. එහෙත් මෙවැනි පසුබිමක එවැන්නන් පාසලින් බිහිවේ යැයි අපේක්ෂා කළ හැකිද?

එකම ජාතික පාසලක දිගු කාලයක් සේවයේ නිරත වන ගුරුවර ගුරුවරියන්ගේ තරාතිරම නොබලා මාරු කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා නියෝග කර ඇත. මෙහිදී කැපීපෙනෙන්නේ 'තරාතිරම' නොබලා මාරු කරන ලෙස කර ඇති සඳහනය. කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගරවල පිහිටි ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරුන් දෙදහසක් සිටින බවත් ඔවුනට මාසිකව වැටුප් ගෙවීමට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැයවන බවත් අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දී තිබිණි. පසුගිය කාලයේ ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වලට යොමු කළ ගුරුවරු විශාල සංඛ්‍යාවක් දේශපාලන බලපෑම් හරහා නාගරික ප්‍රදේශවල පාසල්වලට යළි පැමිණීමේ ප්‍රවණතාවක් පැවැතියේය.

ජාතික ගුරු තුලන වැඩපිළිවෙළ යටතේ ජාතික හා පළාත් පාසල්වල ගුරු මාරු සිදු කර සෑම පාසලකටම අලුත් ගුරුවරුන් සංඛ්‍යාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. නියමානුකූලව සිදුවන්නේ නම් අගය කළ යුතුය.

ළඟම පාසල හොඳම පාසල කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් දේශපාලන හෝ වෙනත් හේතු පසෙක තබා නිසි තීරණ නිසි වේලාවට ගැනීම අවශ්‍යය. දූෂණ, වංචාවට වැට බැඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින භෞතික ප්‍රශ්න විසඳීම කළ යුතු අතරම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීම අවශ්‍යය.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට තවමත් අපි අසමත්ව සිටිමු. ඇමැති මාරු වන විට ප්‍රතිපත්ති වෙනස් වන අධ්‍යාපන ක්‍රියා පටිපාටියට දැන්වත් තිත තැබිය යුතුය. නිදහස් අධ්‍යාපනයේ ගුණ වැනුවද සියල්ලන්ට සම අධ්‍යාපනයක් ලබාදීමට හැකි වී නැත. සමස්තයක් ලෙස ගත් කල අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිටත් ගැටය, ඇතුළත් ගැටය. මේ ගැට එකින් එක ලෙහා නොගන්නේ නම් අනාගතය ගැන අපේක්ෂා දල්වා ගැනීම පල රහිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon