අලුත් අවුරුදු බලාපොරොත්තු

  👤  4558 readers have read this article !
2017-01-01

2017 අතිශයින්ම අභියෝගාත්මක වසරකි. ලොව බොහෝ කලාප දේශගුණික වෙනස්වීම් අත්දකිමින් සිටී. ශ්‍රී ලංකාවටද මෙම වසර තුළ දරුණු නියඟයකට මුහුණදීමට සිදුවන බව පුරෝකථනය කර තිබේ. රජය ඊට මුහුණ දෙන්නට විශේෂ කාර්ය සාධන බළකායක්ද පිහිටුවා ඇත. කාර්ය සාධන බළකායන් පිහිටු වූ මුත් නිසි ප්‍රතිඵල නොලැබීමේ අත්දැකීම් අපට ඕනෑ තරම් ඇති බැවින් නියඟයේ අහිතකර ප්‍රතිඵල අවම කරගත හැකිවේද යන්න ගැන ජනතාව තවමත් සැකෙන් පසුවෙති.

මේ වනවිට වසර දෙකක් පමණ ප්‍රමාදවී ඇති පළාත් පාලන මැතිවරණ 'බාලගිරි දෝෂයට' හසු වී ඇත. ඡන්දය පවත්වා ගම් මට්ටමේ සංවර්ධන ක්‍රියාවලිය හා සමාජ යහපැවැත්ම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රමාද වෙමින් පවතී.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම 2017 වසරේ සිදු කිරීමට නියමිතව ඇත. ජනතාවගේ අයිතීන් සුරැකෙන, වාර්ගික ගැටලු නිරාකරණයට මඟ පාදන "කවුරුත් එකඟවෙන" නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී ආණ්ඩුව කරන ඇත්තන්ටත්, විපක්‍ෂ ක්‍රියාකාරීන්ටත්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ටත් විශාල වගකීමක් පැවැරී තිබේ. ව්‍යවස්ථා සම්පාදනය අනාගත පරපුර ගැන සිතා කැපකිරීම් තුළින් කළ යුතුව ඇති උත්තම කටයුත්තකි.

මේ සියල්ල මැද ඇති ප්‍රබලතම අභියෝගය රටේ ආර්ථිකය නිවැරැදි දිශාවකට යොමු කිරීමය. අනතුරුදායක තත්ත්වයක් මතුකරමින් ඩොලරයේ රුපියල් අගය 150 ඉක්ම යමින් පවතී. එහි සෘජු සහ වක්‍ර බලපෑම් බොහෝය. භාණ්ඩ ආනයනයේදීත්, ගත් ණය ගෙවන්නට යෑමේදීත් වැඩිපුර ගෙවන්නට වීම බලපාන්නේ ජනතාවටය.
ගත් ණය ගෙවීම පැහැර හැරිය නොහැකි සේම ආර්ථිකය කඩාවැටීම වළක්වා ගැනීමත් පැහැර හැරිය නොහැකි වගකීමකි.

මේ බහු විධ අභියෝග හමුවේ වුවද 2017 වසර ගැන ජනතාව මහත් බලාපොරොත්තු රඳවා සිටිති.

ඒ බලාපොරොත්තු ඉටුකිරීමේ එළැඹුම වන්නේ වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගේ අවංක කැපවීමය.

ඒ කැපවීම ඇති කර ගන්නට ශක්තිය උදාවේවාය යන්න ශ්‍රී ලාංකිකයන්ගේ පැතුමයි.

ඔබ සැමට සුබ නව වසරක් වේවා!

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon