ආණ්ඩුව සැමරුමකට විපක්ෂය වර්ජනයකට

  👤  4939 readers have read this article !
2017-01-01

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය සතිය ගත කළේ ආගමික කටයුතුවලට මුල් තැන දෙමින්ය. ඉරිදා පොළොන්නරුවට ගිය ජනපතිවරයා බෞද්ධ හා හින්දු ආගමික කටයුතු රැසකද නිරත විය. දිඹුලාගල සොරිවිල මාරිමුත්තු අම්මාන් කෝවිලට ගොනුන් බැ¼ද ගැල් හතකින් පලතුරු පූජාවක් කිරීමද එහි සුවිශේෂත්වයක් වූයේය. පරාක්‍රම සමුද්‍රයේ සොරොව්ව අබියස භික්ෂුන් වහන්සේ පනස් නමක් විෂයෙහි දක්ෂිණාවක් පූජා කිරීමද ඒ අතර විය. භික්ෂුන් වහන්සේ දානය වළඳන අතරතුර මඳක් දාන ශාලාවෙන් එළියට පැමිණි ජනාධිපතිවරයා එතැන සිටි හිතවතුන් සමඟ අතීත කතාවක් සිහිපත් කළේය. "ඩී. එස්. සේනානායක මැතිතුමාගෙ මේ ප්‍රතිමාව හැදුවෙ එජාප රජය කාලෙ. ඒකට විමධ්‍යගත අරමුදල්වලින් මමත් විපක්ෂ මන්ත්‍රිවරයකු ලෙස ලක්ෂ 5ක් දුන්නා. නමුත් විවෘත කිරීමේ ඵලකයට මගේ නම දැම්ම කියල එදා ආණ්ඩුව නියෝජනය කළ මේ පැත්තෙ ප්‍රබලයො යූ. ජී. ජයසිංහ දිසාපති තුමාට ‍ෙදාස් කියල තිබුණා" ඔහුගේ ස්වරය හැඟුම්බර වී තිබුණේය.

කැබිනට් මණ්ඩල රැස්වීම මෙවර පැවැත්වුණේ නැත. වර්ෂ අවසානය නිසා ඇමැතිවරුන් විදේශ ගතවීම් සිදු කරන නිසා පසුගිය සතියේ අඟහරුවාදා නොපැවැත්විණි. එහෙත් ජනාධිපතිවරයාට මළගෙවල් දෙකකට සහභාගි වීමට සිදුවිය. ඒ ප්‍රකට දානපතිනියක් වූ මිලිනා සුමතිපාල සහ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක ගේත්ය. හිටපු අගමැතිවරයා වෙනුවෙන් ජාතික ශෝක දිනයක්් 30 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණද පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත එය ඉවත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළේය.
"අපි රජයේ අනුග්‍රහයක් ඉල්ලුවෙත් නැහැ. අපේ තාත්තගේ අවමංගල්‍ය කටයුතු කරගන්න කාගෙවත් උදවු අවශ්‍යත් නැහැ. රාජ්‍ය ගෞරව හෝ අනුග්‍රහය ලබාගෙන තාත්තාට මහජනතාවගේ ඇති ගෞරවය කෙලෙසගන්න අවශ්‍යත් නැහැ. ජනතාව වර්ෂ අවසානයේ උත්සව පවත්වන විට එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අපේ කැමැත්තක් නැහැ" විදුර වික්‍රමනායක පවසා තිබිණි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන බ්‍රහස්පතින්දා හොරණට ගොස් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කිරීම සඳහා අවසර ලබා ගැනීමට කළ උත්සාහයද පවුලේ සාමාජිකයන්ගේ අකැමැත්තෙන් ව්‍යර්ථ විය.

බදාදා රාත්‍රි කතරගම ගිය ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත් රැසකටද සහභාගි වූයේය. නව වසරට සෙත් පැතීම හා වැසි ප්‍රාර්ථනය කිරීම එහි අරමුණ වී තිබිණි.

1960 සිට සිරිමාවෝ බණ්ඩාරනායක සෑම වසරකම දෙසැම්බර් 31 වැනිදා කිරිවෙහෙර අබියසදී පිරිත් සජ්¿ධායනයක් සහ ජනවාරි 1 වැනිදා සාංඝික දානයක් පැවැත්වීමේ කටයුතු අඛණ්ඩව සිදු කළාය. එම කටයුතු ඇරැඹුවේ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට සහ පක්ෂයට සෙත් පතමින්ය. එම කටයුතු අඛණ්ඩව සිදු කරන්නට හිටපු ජනපතිනි චන්ද්‍රිකා මූලිකත්වය ගෙන සිටියි.

කිරිවෙහෙර හා අභිනවාරාමයේ විහාරාධිපති හිමිවරුන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන ඊට සහභාගි වන ලෙසත් ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහභාගි කරවන ලෙසත් චන්ද්‍රිකා විසින් ජනපති මෛත්‍රිට දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඉල්ලා තිබිණි. ඒ අනුව ඊට සහභාගි වන ලෙස ජනපතිවරයා ලිපියක් යවමින් ආසන සංවිධායකවරුන්ට සැලකර තිබිණි.
සමාජ වෙබ් අඩිවි සහ ආණ්ඩුවට සිදු කෙරෙන විවේචනවලට පිළිතුරු දීමට ශ්‍රීලනිප සූදානම් වෙයි. මේ සම්බන්ධයෙන් පසුගියදා ජනපතිවරයා කමිටුවක්ද පත් කළේය. මනූෂ, ඩිලාන්, තාරානාත් ඇතුළු පිරිසක් එහි සාමජිකයෝය. ගම් මට්ටමින් තොරතුරු ලබා ගනිමින් ඒවා බෙදා හැරීමද එම කමිටුවට පැවරුණු වගකීමකි.

වැසි ප්‍රාර්ථනා කරමින් විදුලිබල අමාත්‍යාංශය පසුගිය ඉරිදා ශ්‍රී මහ බෝධින් වහන්සේ අබියස පූජාවක් පැවැත්වීය. දිවයින පුරා ජලාශවලින් ලබාගත් පැන්වලින් බෝධින් වහන්සේ නෑවීම සිදු කළේ අමාත්‍ය සියඹලාපිටිය විසින්ය. වැසි ප්‍රාර්ථනා කළ එම පූජාවෙන් පසුව ජලාශ ආශි්‍රත ප්‍රදේශ රැසකට පසුගිය සතියේ වැසි ලැබිණි. එම බාරය ඔප්පු කිරීමට දැන් විදුලිබල අමාත්‍යවරයා කටයුතු කරමින් සිටියි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමක් සිකුරාදා සවස හමුවීමට ජනපතිවරයා තීරණය කළේ ඔවුන්ගේ ඉල්ලීමකට ඇහුම්කන් දෙමින්ය. ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් එජාපයට කරන චෝදනා ගැන මෙන්ම සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැනද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත සම්බන්ධයෙන් ප්‍රධාන ඇමැතිවරුන් දැනුවත් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ දැනුම්දීම අනුව මහ ඇමැතිවරුන් සිකුරාදා අරලියගහ මන්දිරයට පැමිණ සිටියේ 9 දෙනාගෙන් සිවු දෙනකු පමණි.

'මා කෙරෙහි විශ්වාසය තියන්න. අපි මේ කරන්න හදන්නෙ පළාත් සභා සමඟ එකතු වෙලා ජාතික සංවර්ධන සැලැස්මකට අනුව කටයුතු කරන්න' අගමැතිවරයා කීවේය. එමෙන්ම සාකච්ඡාවට එක්වූ මලික් සමරවික්‍රම ඇමැතිවරයා නව පනත මඟින් සැලසෙන වාසි පිළිබඳද අදහස් දැක්වූයේය. එහි සිටි දකුණු පළාත් මහ ඇමැතිවරයා ඒ අදහස්වලට පළමුව ප්‍රතිචාර දක්වන්නට විය. ආර්ථික සංවර්ධනය කියලා අපේ රජයෙනුත් අමාත්‍යාංශයක් හැදුවා. නමුත් මුදල්වලින් හා බලතලවලින් සියයට හැටක් විතර ගියේ ඒ අමාත්‍යාංශයට. මේ පනත අනුව එක එක ආයතන පිහිටුවන්න තියෙනවා. නමුත් එහි බලතල නිර්වචනය කරලා නැහැ' ඔහු කීවේය. 'අපි මේ හැම තැනටම ප්‍රධාන ලේකම් ඇතුළු කරන්නම්. මා විශ්වාස කරන්න' අගමැතිවරයා ඉල්ලා සිටියේය. 'ඔබතුමා ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන බව අපි දන්නවා.

ඔබතුමාටත් ගැටලු එනවා. සමහරවිට වැරැදි කරන අයත් ඔබතුමාගෙ ඇඟේ එල්ලෙනවා. 'ෂාන් කීවේ ඇඟට පතට නොදැනෙන්නටය. එම කතාවට අගමැතිවරයා සිනාසුණා පමණි. කිසිවක් නොකිව්වේය. ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව පළාත් සභා විෂයට අයිති දෙයක් පිළිබඳ තීන්දුවක් ගන්නා අවස්ථාවක මහ ඇමැතිවරයාගේ අනුමැතිය ගන්නා බවට මෙහිදී අගමැතිවරයා පොරොන්දු විය.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මේ වන විට සියලු පළාත් සභාවලින් ප්‍රතික්ෂේප වී අවසන්ය. උතුරු පළාත් සභාව ඊට විරුද්ධව යෝජනාවක්ද සම්මත කොට තිබේ.
අගමැතිවරයා පසුගිය සති අන්තයේ සිට දින කිහිපයක් ගත කළේ නුවරඑළියේය. ඒ බිරිය මෛත්‍රි සමඟ වාර්ෂික නිවාඩුවක් ලෙසින්ය. එම කටයුතු නිමවා ඔහුට බ්‍රහස්පතින්දා යළි කොළඹට පැමිණීමට සිදුවිය. ඒ අවමංගල්‍ය කටයුතු දෙකට සහභාගි වීම සඳහාය.

හිටපු ජනපති මහින්දට විවාහ මංගල්‍යයක සාක්ෂිකරුවකු සේ සහභාගි වන්නට ඇරැයුම් ලැබිණි. ඒ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාගෙන්ය. බන්දුලගේ පුත් සහන් අතිනත ගත්තේ ලක්ෂි සමඟය. සඳුදා පැවැති විවාහ උත්සවයේ මනාලයා වෙනුවෙන් මහින්ද ද මනාලිය වෙනුවෙන් මහාචාර්ය සනත් නන්දසිරි ද අස්සන් කළහ.

විවාහපත් යුවළගේ විශේෂත්වයක් තිබිණි. ඒ එකම රෝහලක, එකම වසරක එකම, දිනක එකම විශේෂඥ වෛද්‍යවරයකුගේ පරීක්ෂාව යටතේ ඔවුන්ගේ උපත සිදුවී තිබීම නිසාය. මනාලයා හෙළිකළේ උත්සව සභාවද සිනහ ගන්වමින්ය. විවාහ උත්සවයට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයෝ රැසක් ද ඊට සහභාගි වී සිටියහ. මහින්ද සිටි මේසයේ අසුන් ගෙන සිටියේ තිස්ස අත්තනායක, පවිත්‍රා, ප්‍රසන්න රණතුංග, ලොකුගේ, ෆවුසි, දයා ගමගේ, ජෝන් සෙනෙවිරත්න යන අයයි. ජෝන් සෙනෙවිරත්න පැමිණ සිටියේ කකුලේ ඇතිවූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටි අතරතුරයි. ඔහුගේ සුව දුක් විමසීමටද ඔවුහු එය අවස්ථාවක් කර ගත්හ. "කෙහෙලිය වගේ ජෝන් ඇමැතිතුමත් කකුල කඩා ගෙනද දන්නෙ නෑ" අයෙක් කී එම කතාව ජෝන් ඇමැතිවරයාට හැර බොහෝ දෙනකුට ඇසිණි. මංගල සාදයට පැමිණ සිටි බොහෝ දෙනෙක් මහින්ද සමඟ කතා බහ කළහ. ඔවුන්ගෙන් ඇතමෙක් ආණ්ඩුව පෙරළන ලෙසද ඉල්ලූහ. එවිට මහින්ද තමන් අසල සිටි ජෝන් සහ දයා ඇමැතිවරුන් පෙන්වමින් සිනාසෙන්නට වූයේය.

විපක්ෂයේ බහුතර පිරිසක් මෙන්ම වමේ නායකයන් රැසක්ද සහභාගි වූ මෙහිදී කෙටි කාලයක් තුළ තීරණාත්මක දේශපාලන කතා බහක්ද ඇති විය. ඒ සන්ධාන මහ ලේකම් අමරවීර සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු අතරය. ශ්‍රී ලනිප ඒකරාශී කරමින් ඊළඟ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම ගැන ඔවුන්ගේ අවධානයට යොමු වූහ. ශ්‍රී ලනිප බෙදුණොත් ඒකෙත් වාසිය යන්නේ එජාපයට බව අවධාරණය කළ ඔවුහු දැනටමත් කොට්ඨාසවල ජනප්‍රිය වී සිටින්නේ එජාප සංවිධායකයන්ට වඩා ශ්‍රී ලනිප සංවිධායකයන් බවද අවධාරණය කොට තිබේ. එමෙන්ම එකිනෙකා විවේචන කර ගැනීමෙන් බැහැර වීමේ අවශ්‍යතාවද ඔවුහු අවධාරණය කොට තිබේ.

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ අභාවය සැලවන විට මහින්ද සිටියේ විජේරාම මාවතේ නිල නිවෙසේය. ආරංචියත් සමඟ ඔහු කඩිනමින් ලංකා හොස්පිට්ල් වෙත ගියේය. හිටපු අගමැතිවරයාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර ද එහි විය. එම ස්ථානයේ බොහෝ වේලාවක් රැඳී සිටි මහින්ද විදුර, දුමින්ද ඇතුළු පිරිසත් සමඟ අවමංගල්‍යය කටයුතු සිදු වන ආකාරය ගැනද සාකච්ඡා කළහ.

අඟහරුවාදා දහවල් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීගමුව බන්ධනාගාරයට ගියේය. ඒ වනවිට බන්ධනාගාර ගත කොට සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකරගේ සුවදුක් විමසීම සඳහාය. උද්ඝෝෂණයක් කිරීම ඔවුන් ඇතුළු පිරිස බන්ධනාගාර ගත කිරීමට හේතුව වී තිබිණි. මහින්ද යන විට ප්‍රසන්න රණතුංග හා ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසක්ද එම ස්ථානයට පැමිණ සිටියහ. බන්ධනාගාරයට ගිය මහින්දට ආනන්ද හරිස්චන්ද්‍ර කීවේ "සර් මමයි ලලන්ත මන්ත්‍රිතුමයි එදා උදේ ඔය උද්ඝෝෂණය ළඟ හිටියා. ඒත් ඊට පස්සෙ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ගියා. උසාවි නියෝග එනවිට අපි එතැන සිටියෙ නැහැ"යනුවෙනි. "ඒක ඇත්ත සර්, උද්ඝෝෂණය තියෙන තැනට ගියත් අපි වරදක් කළේ නැහැ" ලලන්ත කීවේය. ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා "පොලිස්පතිවරයා නීතිය නමන බව මේ සිද්ධියෙන්ද පැහැදිලි වෙනවා, ඔය ඇතුළට දමල තියෙන්නෙ මේ මන්ත්‍රිවරු ඔබතුමා එක්ක ඉන්න නිසා" යැයි කීවේය. "ඒක ඇත්ත, ආණ්ඩුව හදන්නෙ මාත් එක්ක ඉන්න හැමෝගෙන්ම පළිගන්න. බලමුකො මේව කොච්චර දවසක් කරන්න පුළුවන් වෙයිද කියල" මහින්ද අවධාරණය කළේ හැඟුම්බරවය.

මේ අතර දඩ වැඩි කිරීමට එරෙහිව පැවැති උද්ඝෝෂණයකට සහභාගි වීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි රැඳවියන් පිරිසක්ද මහින්දට හමුවිය. මහින්ද දුටු එම රැඳවියෝ දුක කියන්නට වූහ. "සර් මගේ නෝනා නැති වෙලා, දරුවො දෙන්න විතරයි ගෙදර. දැන් ඒ අය බලගන්න කෙනෙක් නැහැ" රැඳවියෙක් හඬා වැටෙන්නට වූයේය. "අනේ සර් අපට අවුරුද්දටවත් ගෙදර යන්න ලැබේද දන්නෙ නැහැ" තවත් රැඳවියෙක් දුක කීවේය. එතැන සිටි ප්‍රසන්න රණතුංගද කතා බහට එක්විය. "සර් මේ මිනිස්සු එදා වේල හම්බ කරගන්නෙ හයර් දුවලා. ඒක රුපියල් විසිපන්දහසක් කරන කොට ඒක දරාගන්න බැරි නිසයි පාරට බැස්සෙ. ආණ්ඩුව හදන්නෙ මේ අය හිර කරල උද්ඝෝෂණ කරන අයට පාඩමක් උගන්වන්න" ඔහු කීවේය. "මගේ කාලෙ අය-වැය හදන කොට රටේ හැම ක්ෂේත්‍රයකින්ම ඇහුවා. ඒ අයට ගැළපෙන විදියටයි මම අය-වැය හැදුවෙ. මේ ගොල්ලො කරන්නෙ ඒකෙ අනෙක්් පැත්ත. සීත කාමරවල ඉඳල රටට ගැළපෙන විදියට අය-වැය හදන්න බැහැ." මහින්ද ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා සවස විජේරාම මාවතේ පිහිටි මහින්දගේ නිල නිවෙසේදී පැවැත්විණි. මේ දිනවල වැඩි අවධානයක් යොමුව තිබෙන හාල් මිල ඉහළයෑම පිළිබඳ එහිදී මුලින්ම අදහස් පළ විය. "අද හාල් කිලෝවක් රුපියල් සියයට කිට්ටුයි. පොල් ගෙඩියක් 60ක්, 70ක් වෙලා. එදා වේලවත් කන්න නැති රටක් බවට මේ රට පත් වෙලා.

හැරිසන් ඇමැතිවරයා තමන්ගෙ හෙංචයියන්ට වී ටික දෙනව කියල ජනාධිපතිතුමාගෙ මල්ලි ඩඩ්ලි සිරිසේන චෝදනා කරනවා. "මේ හාල් මාෆියාව ගැන හොයල බලන්න ඕන" ප්‍රසන්න රණතුංග පැවැසීය. "දැන් ආණ්ඩුවේ ගබඩාවල තිබෙන වී තොග නිකුත් කරන්නෙ ආණ්ඩුවෙ හිතවතුන්ට විතරයි කියල ලොකු චෝදනාවක් තියෙනවා, කෘෂි කර්මාන්තය හිතාමතාම කඩා වට්ටල රටේ ලොකු ප්‍රශ්නයක් හදන්න ආණ්ඩුව කටයුතු කරනවා. එදා තියෙනව කියපු හාල් අතිරික්තයට අද වෙච්ච දෙයක් නැහැ" බන්දුල චෝදනා කළේය. "මේ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කිසිම සැලැස්මක් නැහැ, ආණ්ඩුව කරන්නෙ බොරු කිය කියා අපට මඩ ගහන එක විතරයි. හාල් මිල ඉහළයෑම ගැන ඇත්ත තත්ත්වය රටට හෙළි කිරීමට පියවර ගත යුතුයි." මහින්ද රාජපක්ෂ යෝජනා කළේය. ඒ අනුව සහල් මිල ඉහළයෑම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කටයුත්තක නිරත වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේය.

ලබන ජනවාරි 9, 10, 11 තෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව අනුකමිටු වාර්තා ගැනද මෙහිදී අදහස් පළ විය. "ඉස්සර වෙලා ආණ්ඩුවෙ මතය කියන්න කියල අපි ආණ්ඩුවට කියන්න ඕනෑ" ඒ පිළිබඳ මහින්ද කළ යෝජනාව සියලු දෙනාම අනුමත කළහ.

ආණ්ඩුව ජනවාරි 8 තේමා කර ගනිමින් හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම පිළිබඳවද මෙහිදී කතාබහ කෙරිණි. ඊට විරෝධය පළ කරමින් ජනවාරි 5 වැනිදා හම්බන්තොට වරාය අබියස පවත්වන සත්‍යග්‍රහයක් පිළිබඳ එහිදී අවධානය යොමු වූයේය.

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ආණ්ඩුව වෙතින් කෙරෙන ආරාධනයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ ඉදිරියේදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශ්ව හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීමක් සම්බන්ධයෙනි. "අපිට රෑ වැටුණු වළේ දවල් වැටෙන්න බැහැ. මහ මැතිවරණයේදී ඒ අය ඔය ආසන ටික හෝ ලබා ගත්තේ මහින්ද රාජපක්ෂ නම විකුණල. ඒ වංචාවට තවත් හසුවෙන්න බැහැ. ඉදිරි මැතිවරණවලදී ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කරන්න ඕනෑ" මහාචාර්ය ජී. එල්. පෙන්වා දුන්නේය.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නව වසර වෙනුවෙන් මාධ්‍ය හමුවක් සඳුදා පැවැත්වීමටද කටයුතු කොට ඇත. නව වසරේ ඉදිරි වැඩ කටයුතු ප්‍රකාශ කිරීම එහි මූලික අරමුණ වී තිබේ.

බ්‍රහස්පතින්දා සවස හිටපු ජනපති විදේශ මාධ්‍යවේදීන් පිරිසක් මුණ ගැසුණහ. "රාජ්‍ය නායකයා වෙන්න බැරි වුණත් තමන්ට රට පාලනය කිරීමට හැකියාව තිබෙනවා" යැයි එහිදී මහින්ද අවධාරණය කළේය.

ක්‍රි.ව. 68 චීනයේ අන් අධිරාජ්‍යයාගේ සමයේ බිහි වූ චීන වයිට් හෝස් ටෙම්පල් යනු බෞද්ධ ඉතිහාසයට එක්වන ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙස සැලකෙයි. එම භූමියෙහි ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයක් ස්ථාපිත කිරීම කතානායකවරයාගේ මූලිකත්වයෙන් පසුගිය සති අන්තයේ ආරම්භ කෙරිණි. බුද්ධ ශාසන ඇමැතිවරයා ලෙස 2013දී කරු ජයසූරිය එම ඉල්ලීම කළේ එහි ප්‍රධානි යෙන් ලේ නාහිමියන් බැහැ දුටු අවස්ථාවේය. ඊට එකඟ වූ උන් වහන්සේ එය කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඇරැඹීමට කැමැති බව සඳහන් කළහ. ඒ අනුව ගෙවී ගිය සති අන්තයේ චීනය බලා ගිය කතානායකවරයා එහි කටයුතු ආරම්භ කරමින් එම ඓතිහාසික අවස්ථාව සිහිවනු වස් තමා දිගු කලක් සුරැකිව වන්දනාමාන කළ සර්වඥ ධාතුන් වහන්සේ නමක්ද එහි තැන්පත් කෙළේය.

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සිදු කළ සමාජ සත්කාර රැසක් නොකඩවා මේ වන විට සිදු කරන්නේ උන් වහන්සේගේ සමීපතමයකු ලෙස සිටි කතානායක කරු ජයසූරිය විසිනි. අනුරාධපුර, විලච්චිය, ඇලපත්ගම දුෂ්කර දිවියක් ගත කරන ගම්වාසීන් නඟාසිටුවීමේ කාර්යයද ඉන් එකකි. ඇලපත්ගම වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඇතුළු ඔවුන් නඟාසිටුවීමේ ආර්ථික හා සමාජ සත්කාර්යයන් රැසක් මේ වන විට කතානායකවරයාගේ මූලිකත්වයෙන් දියත් වෙමින් තිබේ. නියඟය නිසා ඇලපත්ගම මේ දිනවල පවතින්නේ දැඩි වියළි සොබාවයකි. සෝභිත හිමියන් ජීවතුන් අතර සිටියා නම් අලුත් පාසල් වාරයට පොත් රැගෙන ඇලපත්ගමට වඩින බව දැන සිටි කතානායකවරයා මෙවර එම යුතුකම ඉටු කළේය. ඩී.එස්.අයි. ආයතනය සහ පර්සි තේනුවර ඇතුළු පවුලේ සාමාජිකයෝ ඒ සඳහා ඉදිරිපත් වූහ. ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් වැඩම කර පුණ්‍යානුමෝදනාවක් සිදුකිරීමෙන් අනතුරුව කතානායකවරයා ඇලපත්ගම දරුවන්ට තෑගි බෝග පිටත් කර යැව්වේය.

කතානායක කරු ජයසූරිය කම්පා කළ සිදුවීම පසුගියදා සිය කනිටු දියණිය පිළිකා රෝගයෙන් මිය යෑමයි. ඇය සිහි කරමින් ඉන්දිරා ජයසූරිය පිළිකා සරණ ඇමැතුම් සේවය ජයසූරිය පවුලේ මූලිකත්වයෙන් මහරගමදී ඇරැඹූයේ අඟහරුවාදාය. ඒ අනුව 0112363211 අංකයට ඇමැතීමෙන් පිළිකා රෝගය සම්බන්ධයෙන් නොමිලේ විස්තර ලබා ගත හැකිය.
රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිවරයාගේ අභාවය පිළිබඳ කතානායකවරයාට සැලවූයේ එම උත්සවයට සහභාගි වී සිටියදීය. තෙවරක් අගමැති ධුරය දැරූ ඔහුගේ දේහය පාර්ලිමේන්තුවට රැගෙන විත් ගෞරව කිරීම සුදුසු බව බොහෝ දෙනකුගේ අදහස වූහ. ඒ පිළිබඳ දැඩිව සැලකිල්ලට ගත් කතානායකවරයා හිටපු අගමැතිවරයාට උපරිම ගෞරවය දැක්වෙන අයුරින් පාර්ලිමේන්තුවේ කටයුතු සංවිධාන කරන්නට නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව බදාදා පෙරවරුවේ වික්‍රමනායක මහතාගේ දේහය පාර්ලිමේන්තුවට රැගෙන ඒම කතානායක, හිටපු ජනපති, විපක්ෂ නායක ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

පසුගිය සිකුරාදා හිල්ටන් හෝටලයේදී පැවැති රෝසි සේනානායකගේ දියණියගේ විවාහ උත්සවයට ගිය නිවාස ඇමැති සජිත්ට මෙරට ප්‍රකට දානපතියන් හා සම්පත්දායකයන් ඇතුළු පිරිසක් සමඟ කතා කිරීමට අවස්ථාව උදා වූයේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සජිත්ගෙන් විමසුවේ නිවාස වැඩපිළිවෙළ ගැනයි. ඒ අනුව මේසයෙන් මේසයට යමින් 2017 උදාගම්මාන 500 වැඩපිළිවෙළ ගැන ඔවුන්ට කරුණු කියන්නට සජිත්ට සිදු වූයේය. "ආ... මෙහේ ඇවිල්ලත් කැම්පේන් එකක් වගේ" එය දුටු රෝසි විමසද්දී "එහෙම තමයි ප්‍රේමදාසලාගෙ වැඩ" යැයි සජිත් පිළිතුරු දුන්නේය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් "උදා ගම්මාන" ඉදිකිරීමට පෞද්ගලික ඉදිකිරීම් සමාගම් සහ දේපළ වෙළෙඳ සමාගම් කිහිපයක් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් ලක්ෂ 1,500ක මුදල "සෙවණ" අරමුදලේ තැන්පත් කෙරිණි. ඒ සමඟම සජිත් අලුත්ම තාලේ අභියෝගයකට අත තැබුවේ සතියේ සඳුදා සිට සිකුරාදා වනවිට නව උදාගම්මාන 20ක වැඩ අරඹමින්ය. ඒ ගැන පුදුමයෙන් මෙන් "ඔයාගෙ නොනිදන අමාත්‍යාංශය කොහොමද මෙච්චර අභියෝගයක් බය නැතිව භාර ගත්තෙ" යැයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ විමසුවේය. "මේවට තමයි ශීඝ්‍රගාමි සංවර්ධන මැජික් කියන්නෙ. සැලසුම් තියෙනව නම් ඉලක්ක තිබෙනව නම් දක්ෂ පක්ෂ හපන්කම් ඇති නිලධාරීන් ඉන්නව නම් දිවා රෑ නොබලා වැඩ කරන්න පුළුවන් නම් මේවා කජ්ජක්ද"යි සජිත් සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ 85 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුව කිංග්ස්බරි හෝටලයේදී පසුගියදා පැවැත්වුණේය. සජිත් ඊට සහභාගි වන විට රාත්‍රි ‍ෙදාළහට ළං වීය. සමකාලීනයන් අතර පැවැති සුහද හමුව ආගිය කතාවලින් රසාලිප්ත වී තිබිණි. සජිත්ගේ සමහර මිතුරන් දැන් පිට රට පදිංචියට ගොසින්ය. මෙහිදී එක් මිතුරෙක් අලුත් අදහසක් රැගෙන ආවේය. "අපේ පිටරට ඉන්න සෙට්එකට බැරිද සජිත්ගෙ ගෙවල් හදන වැඩේට තල්ලුවක් දෙන්න. එක රටක ඉන්න කට්ටිය එකතු වෙලා එක ගම ගාණෙ හැදුවත් වැඩේ ගොඩ" ඔහු යෝජනා කළේය. සජිත් එය කැමැත්තෙන්ම භාර ගත්තේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ගෙන ඇති තීරණයක් අනුව එහි මහ ලේකම් හසන් අලි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යෑමට සූදානමින් සිටින්නේ ජනවාරි 9 වැනිදාය. ඒ වෙනුවෙන් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට දන්වා ඇත්තේ එම්. එච්. එම්. සල්මාන් වෙතයි. එහෙත් මේ දක්වාම

ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇස්වී නොමැති නිසා එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් නව මානයකට පැමිණ තිබේ.

පක්ෂ නායක හකීම් විසින් පක්ෂයේ ලේකම් තනතුරක් ඇති කොට තම හිතවතකු වූ බසීර් සේගුදාව්ද්ට දීම නිසා මේ වියවුල හටගෙන ඇත.

ඊළාම්වාදී දෙමළ ඩයස් පෝරාව වේල්ස්හි මහවිරු ඉස්මාරකයක් ඉදි කිරීමට මේ දිනවල කටයුතු කරමින් ඇත. මියගිය කොටි සාමාජිකයන්ගේ භස්මාවශේෂ එහි තැන්පත් කිරීමටද ඔවුහු අපේක්ෂා කරති. ඒ වෙනුවෙන් හිටපු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ අළු ඉල්ලා ඇතත් ඇඩෙලා බාලසිංහම් ඒවා දීම ප්‍රතික්ෂේප කොට තිබේ.
සංවර්ධන විශේෂ විධිවිධාන පනත මේ වන විට සියලු පළාත් සභා මඟින් පරාජය කොට අවසන්ය. එය මුලින්ම ඉදිරිපත් කෙරුණේ උෟව පළාත් සභාවටයි. ඒ පිළිබඳ කරුණු දැන ගැනීමට උෟව පළාත් සභා ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ට දුරකතන ඇමැතුමක් දුන්නේය.

'පළාත් සභාවේ විශේෂ සභාවාරයක් කැඳවල තියෙනවා විශේෂ සංවර්ධන පනතක් ගැන ඡන්දයක් තියන්න. මේක සංවර්ධන පනතක් විදියට තමයි ගෙනත් තියෙන්නෙ. 'ආණ්ඩුව කොළේ වහලා ගහන්නද කොහෙදයි හදන්නේ' ඔහු කීවේය.

'මේ පනතෙන් සුපිරි ඇමැතිවරයෙක් බිහි කරන්න යනවා. රාජපක්ෂලාගෙ කාලෙ බැසිල් කරපු වැඩේම වෙන විදියකට කරන්න තමයි උත්සාහ කරන්නෙ. ජනාධිපතිගෙ බලතල අඩු කරන්න කියල ආපු ආණ්ඩුව දැන් වෙන විදියකට බලය ඒකරාශී කරගන්න හදනවා' විජිත හේරත් විස්තර කළේය.

'එක පැත්තකින් පළාත් සභා පාවිච්චි කරලා බලය බෙදන්න කියලා මේ ආණ්ඩුව උත්සාහ කරනවා. තව පැත්තකින් බලය ඒකරාශී කරගන්න පනත් ගේනවා. මේ ආණ්ඩුව කොහේද යන්නෙ කියලා ආණ්ඩුවෙ අයවත් දන්නෙ නැහැ' සමන්ත විද්‍යාරත්න කීවේය.

'වෙන මොකුත් නෙවෙයි මේ බලය හදාගන්නෙ ජනතාවට අයිති රටේ සම්පත් ටික විකුණලා දාන්න. විකුණන්න ගියාම එන බාධා වළක්වන්න තමයි මේ පනත ගේන්නේ. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලින් අහන්නෙ නැතිව රනිල්ට ඕන විදියට ඉඩම් ටිකයි, ආයතන ටිකයි විකුණන්න පාරක් කපා ගන්නයි මේ හදන්නෙ' මේ සුපිරි ඇමැතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් බැහැලු. රටේ ජනාධිපතිත් පඹයෙක් ගානට වැටෙනවා. අපි මේ පනත පරාජය කරන්න ඕන' විජිත හේරත් කීවේය. ඒ අනුව ජවිපෙ සියලුම පළාත් සභා නියෝජිතයන්ට පක්ෂයේ ස්ථාවරය දැනුම් දීමට විජිත හේරත් කටයුතු කළේය.

කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව කතානායකවරයාට යැවූ ලිපිය පිළිබඳ සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී ඇත. ලිපිය නිකුත් වී සුළු වේලාවක් තුළ අගමැති කාර්යාලය ද ලිපියක් නිකුත් කිරීම ඊට හේතුවයි.

මේ පිළිබඳ කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් කිහිප දෙනකු අතර පසුගියදා කතාබහක් ඇති විය.

'කතානායකට යැවූ ලිපියට පිළිතුරු දෙන්න අගමැතිවරයා කලබල වුණේ ඇයි?' වෛද්‍ය නලින්ද ජයතිස්ස හඳුන්නත්තිගෙන් විමසුවේය.

'ඒකෙන්ම තේරෙනවා අගමැති මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කොයිතරම් සංවේදීද කියලා. තමන්ගෙ යාළුවා බේරා ගන්න පුදුම කැපවීමකින් වැඩ කරනවා. හදිස්සිවෙලා ලියුම් ගැහුවට ඒකෙ තියෙන දේවල් වැරැදියි' හඳුන්නෙත්ති පැහැදිලි කළේය.

'ඔව්. අගමැති කියලා තිබුණේ කෝප් කමිටුවේ ලේකම් තමයි වාර්තාව නීතිපතිට යැව්වේ කියලා. ඒක වැරැදි කතාවක්. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා ඒක නීතිපතිට යොමු කළා. අවශ්‍ය පියවර ඉදිරියේදී ගනිවි කියලා' බිමල් රත්නායක කීවේය.

'ඇත්තටම සිදු වුණේ අගමැති කාර්යාලයෙන් කෝප් කාර්යාලයේ ලේකම්ගෙන් ඇමුණුම් වගයක් ඉල්ලලා තිබුණා. මේ ඇමුණුම් ටික අගමැතිට ලබා දුන්නා. ඒක තමයි කෝප් කමිටුවේ ලේකම් කළේ. පුහුල් හොරා කරෙන් දැනේ කියලා කතාවක් තියෙන්නෙ නිකම්ම නෙවෙයි' හඳුන්නෙත්ති අවධාරණය කෙළේය.

දෙනගම ධම්මික රණවීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon