සමාජ මාධ්‍ය කැඩපත

  👤  5094 readers have read this article !
2016-12-29

2017 පෙබරවාරි 4 වැනිදා තොරතුරු දැන ගැනීමේ පනත බලාත්මක කිරීම අරඹන බව ආණ්ඩුව දැනටමත් කියා ඇත්තේය. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ ජයග්‍රහණයකි. ආණ්ඩුවේ ජයග්‍රහණයකටම වඩා එය ඇත්තටම ජයග්‍රහණයක් වන්නේ සබුද්ධික ජනතාවටය. රාජපක්ෂ ආණ්ඩු සමයේ කරු ජයසූරිය මන්ත්‍රිවරයා පෞද්ගලික පනතක් ලෙස තොරතුරු දැනගැනීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ආණ්ඩුව ආඩම්බරයෙන් කියා සිටියේ ඊට වඩා හොඳ පනත් කෙටුම්පතක් සකස් කෙරෙන බැවින් ඔය කෙටුම්පතින් පලක් නැති බවය. 2015 ජනවාරියේ රාජපක්ෂවරු ගෙදර යනතුරුම 'තොරතුරු පනත' පාර්ලිමේන්තුවට නම් ආවේ නැත. විපක්ෂය දෙවරක් ගත් උත්සාහය ලොප් කළ රාජපක්ෂ ආණ්ඩුවේ සිටි සමහරු ඊනියා ඒකාබද්ධ විපක්ෂයක් අටවාගෙන දැන් තොරතුරු පනතේ අඩුපාඩුකම් ගැන බණ කතා වපුරමින් සිටින්නේය. මේ කට්ටිය දැන් කතා කරන්නේ මැරිලා ඉපදුණු ගානටය. සමාජ මාධ්‍යවලින් තමන්ටත්, විනිසුරුවන් වැනි ප්‍රභූන්ටත් 'මඩ' ගසන නිසා ඊට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි ජනාධිපති මෛත්‍රි උත්සවයකදී කළ ප්‍රකාශයක් අල්ලාගෙන ඊනියා ඒකාබද්ධයේ කට්ටිය සමාජ මාධ්‍ය නිදහසට වැට බඳිනෝ කියමින් මරහඬ තළති. ආණ්ඩුව පත්තරවල, රූපවාහිනිවල, රේඩියෝවල 'කට' වහන්න යන බව ඔවුන් කියන්නේ බත් කන මුඛයෙන්ද, නොඑසේ නම් වෙනත් මුඛයකින්දැයි ප්‍රශ්නයකි.

ඊනියා ඒකාබද්ධයේ කිඹුල් කඳුළු පැත්තකින් තැබුවත් සමාජ මාධ්‍ය ගැන මෛත්‍රිගේ අදහස් උදහස් මෙන්ම සෙසු මාධ්‍ය ගැන ආණ්ඩුවේ උදවිය කියන කතා අසන විට හිතෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත ගෙනාපු උදවියද මේ කතා කරන්නේ කියාය.

සමාජ මාධ්‍යවලින් මෛත්‍රිට ඉතා පහත් ආකාරයෙන් අවලාද නඟන බව, මඩ ගසන බව ඇත්තකි. ජනාධිපතිවරණයට පෙර මහින්දටත් මෙවැනිම අවලාද, මඩ ප්‍රචාරවලට මුහුණ දීමට සිදුවුණේය. ඔහුගේ පරාජයට සෑහෙන සේවයක් සමාජ මාධ්‍ය කළේය. දැන් මෛත්‍රි සලකා බැලිය යුත්තේ මහින්දට ගහපු 'මඩ' දැන් මට වදින්නේ මොකද කියලාය. මෛත්‍රි දැන් පොදු අපේක්ෂකයා නොව රටේ ජනාධිපතිය. මුල් පුරවැසියාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාය. මහින්ද නිකම්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ය. පක්ෂයේ නායකකමද නැත. එනිසා මහින්දට වඩා අවධානයක් මෛත්‍රිට සමාජ මාධ්‍ය හරහා යොමු වීම සාධාරණය. මෛත්‍රිට ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්දලා ගහපු මඩවලින් සියයට සියයකම ප්‍රතිඵල ගෙන දුන්නේ නැත. හේතුව ඒවා මඩ බව සබුද්ධිකව ජනතාව තේරුම් ගත් නිසාය. පසුගිය කාලයේ සුදු වෑන් අවශ්‍ය වුණේ, වෙඩි උණ්ඩ අවශ්‍ය වුණේ මහින්දලා ගැන කියපු බොහෝ දේවල් ඇත්ත මිස බොරු නොවූ නිසාය. සමාජ මාධ්‍ය හරහා මෛත්‍රි ගැන කියන්නේ බොරු නම් ඒවා මඩ නම් කලබල විය යුතු නැත. වල් බල්ලන් බිරුවද තවලම යන්නේය. බල්ලෝ බිරුවට කඳු පාත් වන්නේද නැත. එහෙත් කන්ද ඇතුළෙන් නාය ගිහින් නම් බල්ලෝ බිරුවද නැතද කන්ද ඔළුව උඩටම කඩා වැටීමට ඉඩ ඇත්තේය.

පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් ලක්ෂ 62කට වැඩි ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් බලාපොරොත්තු වූයේ අඩුවට සීනි, පරිප්පු, හාල්, කිරිපිටි, නොවන බව මෛත්‍රි - රනිල් හවුලට අමතක වන්නට විදියක් නැත. අගෝස්තු මහ මැතිවරණයේදී අලියාට ඡන්දය දුන් පිරිසෙන් කොටසක්ද කන්න, බොන්න ඡන්දය දුන්නේ නැත. එහෙත් ලබන ජනවාරි 8ට වෙනසට දෙවසරක් පිරෙද්දී කාට කාටත් මුල අමතක වීමේ රෝගය වැලැඳී ඇති බව පෙනේ. සමාජ මාධ්‍ය හරහා නැඟෙන්නේ ඒ විරෝධයය. ඒ වේදනාවය. ඒ අස්සේ මහින්දලාගේ සට්ටැඹියන් මෛත්‍රි - රනිල් හවුලට පහත් ආකාරයෙන් මඩ ගසන්නේ බොර දියේ මාළු බෑමේ පටු චේතනාවෙනි. ඒ බව තේරුම් නොගෙන 'සමාජ මාධ්‍ය'වලට මඩු වලිගයෙන් තැළීමට යෑම නම් නුවණට හුරු නැත.

සමාජ මාධ්‍ය හෙවත් වෙබ් අඩවිවලට පිවිසීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලීමේ තේරුමක් නැත. ගමේ ගොඩේ මිනිස්සු වෙබ් බලන්නේ ද නැත. විශේෂයෙන් තරුණ පරම්පරාවේ තොරතුරු දැන ගැනීමේ මාධ්‍ය සමාජ මාධ්‍යයන්ය. මෛත්‍රිට ජනාධිපතිවරණයේදී තරුණ ඡන්ද වැඩියෙන් ලැබුණේ ඒ නිසාය. ඇත්තටම මාධ්‍ය ක්‍රියාවලියේදී සමාජ මාධ්‍ය අද වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේය. එය ප්‍රයෝජනවත් මාධ්‍යයකි. එහෙත් වඳුරන්ට දැළි පිහිය හසුවුණා සේ මේ මාධ්‍ය ඉතා අඥාන ලෙස පරිහරණය කරන්නන් සිටින්නේය. ප්‍රශ්නය වන්නේ ඊට කළ හැකි දෙයක් නොමැති වීමය. ඇත්තටම දැනට සමාජ මාධ්‍ය පාවිච්චි වෙන්නේ අතිශයින්ම පෞද්ගලික දේවල් හුවා දැක්වීමටය. ඒ බොහෝ කාරණාවලින් ජනතාවට පලක් නැත. පෞද්ගලික කාරණා පළ කළ යුත්තේ ඒවායේ සමාජයීය ප්‍රයෝජනයක් තිබේ නම් පමණි. එවැනි අයහපත් තත්ත්වයක් තිබුණද පුද්ගලයකු සතු වැදගත් අදහස් උදහස් නොපැකිළව නොවලහා නිදහසේ පළ කිරීමට ඇති හොඳම අවකාශය සමාජ මාධ්‍යයය.

පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි වැනි මාධ්‍යවලට මෙන් සම්ප්‍රදායන් සමාජ මාධ්‍යවලට නැත. අරුත්සරු මෙන්ම හරසුන් දේවල් සමාජ මාධ්‍යවල පළ කළ හැකිය. මුද්‍රිත මාධ්‍ය මෙන් කපා කොටා සංස්කරණය කර පළ කිරීමක් එහි නැත. පුවත්පතකට දෙයක් ලිව්වත් හිතාමතාය. එහෙත් සමාජ මාධ්‍යවල පළ වන දේවල් ඇතැම් විට ක්‍ෂණිකව හිතෙන දේවල්ය. එය අමු අමුවේ ආවේග මුදා හැරීමක් විය හැකිය.

සමාජ මාධ්‍යවල පළවන ඇතැම් දේවල උපහාසය මිස අපහාසය නැත. ඇතැම් දේවල් නිර්දය උපහාසය. කෙනකුට ඒවා අපහාස ලෙසද ගත හැකිය. මෛත්‍රි ජනාධිපතිවරයා මේවා ගැන කෙසේ සිතනවා දැයි දන්නේ නැත. එහෙත් වටේ සිටින කඩුව අතින් ගත් ආරක්ෂක වඳුරන් ඒවා ගැන මෛත්‍රිට කුමක් කියනවා දැයි අපි දන්නේද නැත. සමාජ මාධ්‍යවල පළවන දේ එක්කෝ නොසලකා සිටිය යුතුය. නොඑසේනම් ඒවාට පිළිතුරු දිය යුතුය. වඩාත් ප්‍රඥාගෝචර වන්නේ පිළිතුරු දීමට නොයෑමය. එසේ කියා අනවශ්‍ය ප්‍රමාණයට යන්නන්ට එරෙහිව පියවර නොගෙන සිටිය යුතුද නැත. එහෙත් එය කළ යුත්තේ සීරුමාරුවටය. එහෙත් විචාර බුද්ධිය, තර්ක ඥානය අඩු සමාජයක පුද්ගල සාධක මත යැපෙන ආත්මාර්ථය ආගම කර ගත් සමාජයක සමාජ මාධ්‍ය හරහා සබුද්ධිකව හිතන පතන මිනිසුන් පමණක් හමු වේ යැයි සිතිය නොහැකිය. ඒ බව මෛත්‍රි ඇතුළු ආණ්ඩුව තේරුම් ගන්නේ නම් ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ රෙද්ද අස්සේ මහත්වරුන් 'මාධ්‍ය' ගැන කිඹුල් කඳුළු හෙළන්නේ නැත. හෙළුවද පලක් වෙන්නේ නැත. සිද්ධ වී තිබෙන්නේ අපේ ඇතැම් මාධ්‍යයද වැඩ කරන්නේ සමාජ මාධ්‍යවලට ලියන ඇතැමුන් වගේ වීමය.

සමාජ මාධ්‍ය ගැන පමණක් නොව සෙසු මාධ්‍ය ගැනද වැඩි කලබලයක් කර ගත යුතු නැත. මාධ්‍ය ගැන කලබල වීමට පෙර මෛත්‍රි - රනිල් කලබල විය යුත්තේ මේ හරහා කරන කියන දෑ ගැනය. රටට දුන් පොරොන්දු හා දැනට කෙරෙන වැඩවල ඇති පරස්පරය ගැනය. මේ යන්නේ යහපාලන මාවතේද නොඑසේ නම් මහින්ද ගිය මාවතේද යන්න ගැන ඇස් පිසදා බැලිය යුතුය. නිවට කරණවෑමියා දුටු විට එළුවාද රැවුල පාන්නා සේ මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ බකල ගහන ගමන ගැන ඊනියා ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ඇතැම් මාධ්‍යද දැන් දැන් උපහාස අපහාස කරමින් සිටී. ඔවුන් හිටගෙන කරන විට සමාජ මාධ්‍ය දුව දුව කරන බව පෙනේ. එහෙත් කරන්න දෙයක් නැත. සමාජ මාධ්‍ය ගානට නොවැටී ආණ්ඩුව කළ යුත්තේ නිවැරැදි වීමය. 'සමාජ මාධ්‍ය' යනු කැඩපතකි. ඒ කැඩපතින් මුහුණ බැලීම වටින්නේය. මුහුණ ලස්සන නැහැ කියා කැඩපතත් එක්ක තරහ වී පලක් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්