හැරිසන්ගෙයි-රිෂාඩ්ගෙයි කඹ ඇදිල්ල අගමැති හෙළි කරයි

  👤  5222 readers have read this article !
2016-12-25

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව සඳුදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ප.ව. 5ට පමණ ආරම්භ වූ එම රැස්වීම පැය දෙකකට අධික කාලයක් පැවැත්විණි.

ඒ සඳහා ශ්‍රී ලනිප, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්‍ෂ නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගි වී සිටියහ. ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

එම පළාත් පාලන මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලාංඡනය වන බුලත් කොළය ලකුණින් තරග කිරීමට එහිදී යෝජනාවක් ඉදිරිපත් විය. විධායක සභාවේදී ඊට එකඟතාවක් ඇතිවිය. ශ්‍රී ලනිප අත ලකුණින් තරග කිරීමට මීට පෙර එහි මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබිණි. එම නිසා එජනිස බුලත් කොළය ලකුණින් තරග කිරීමට ගෙනෙන ලද යෝජනාව ඉදිරියේදී ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දන්වා සිටියේය.
මෙවර ඡන්දය දැනට පවතින නීතිය අනුව කොට්ඨාස ක්‍රමය මූලික කරගෙන පැවැත්වෙන බව එහිදී ජනාධිපතිවරයා දන්වා සිටියේය. පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්දැමීම ආණ්ඩුවටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් බරපතළ පහර ගැසීමක්. එසේම රටටත් ජාත්‍යන්තර වශයෙන් අහිතකර බව එහිදී පක්‍ෂ නියෝජිතයෝ ප්‍රකාශ කළහ. පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර පවත්වන ලෙස එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරිණි.

සකස් කෙරෙමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනද මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයෝ ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ. "මූලික වශයෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම, රටේ ඒකීය බව පිළිගැනීම ආදිය එලෙසම තියාගෙන තමයි අපි ඒක සිදු කරන්නෙ. උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කිරීමට යන කතා අසත්‍යයි. එහෙම තීරණයක් ගෙන නැහැ." ජනපති සිරිසේන කරුණු දැක්වීමක් කළේය. හම්බන්තොට වරාය සහ ඉඩම් චීන සමාගමකට ලබාදීම ගැනද එහිදී සන්ධානයේ පාර්ශ්ව විමසීමක් කළේය. ඉඩම් විකුණන්නේ නොමැති බවත් සිදුකරන කාර්යය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා දීර්ඝ විස්තරයක් කළේය. එජනිස නියෝජිතයන් ජනාධිපතිවරයාගේ කතාවට එකඟ බවක් පළවිය.

සෑම මාසයකට වරක්ම එජනිස විධායක සභාවේ රැස්වීමක් පවත්වන ලෙසද එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරිණි. ඊට ඔහු එකඟතාව පළ කළේය.

තමන් නොමඟ යවන්න හදන පිරිසක් ගැන ජනපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් අඟහරුවාදා පදනම් ආයතනයේදී පැවැත්විණි. දහවල් 12 සිට ප.ව. 2.30 දක්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමේදී පක්‍ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග රැසක් පිළිබඳ අවධානය යොමු කරනු ලැබීය.
දෙසැම්බර් 04 වැනිදා ආරම්භ කළ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධ ප්‍රගති සමාලෝචන වාර්තාවක් මහ ලේකම් දුමින්ද දිසානායක ඉදිරිපත් කළේය.
"ආසන සංවිධායකවරුන් සිදු කරන පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සියයට අනූපහක්ම සාර්ථකයි. ආසන සංවිධායකවරු පත් නොකරන ලද කොට්ඨාසවල ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට තවමත් හැකි වී නැහැ."

"එහෙනම් අපි ඉදිරි සති දෙක තුළ උතුරු නැඟෙනහිර ඇතුළු සියලු ප්‍රදේශවලට ආසන සංවිධායකවරුන් පත් කරල අවසන් කරමු."
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.
පක්‍ෂයේ තරුණ හා කාන්තා සංවිධාන පිහිටුවීමේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේ තරුණ කටයුතු ලේකම් ශාන්ත බණ්ඩාර විසිනි. "තරුණ බලමණ්ඩල 75%ක් සහ කාන්තා බලමණ්ඩල පිහිටුවීම 60%ක් අවසන්" ඔහු කීවේය.

ඒ අනුව ජනවාරි 15 වැනිදා දිවයින පුරා තරුණ බලමණ්ඩලද, 21 වැනිදා කාන්තා බලමණ්ඩලද පිහිටුවීමට යෝජනා කර ගැනිණි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ මෙහිදී සංවිධායකවරු විමසා සිටියහ. ඊට ජනාධිපතිවරයා දීර්ඝ පිළිතුරක් දුන්නේය.
"පළාත් පාලන මැතිවරණය දැන් තිබෙන නීතියට අනිවාර්යයෙන්ම පවත්වනවා. ඇතැම් අය පැරැණි ක්‍රමයට තියන්න කියල මේක කඩාකප්පල් කරන්න, නොමඟ යවන්න උත්සාහ කරනවා. තවත් සති දෙකකින් පළාත් පාලන මැතිවරණය ගැසට් කරනවා. ඒ නිසා අප්‍රේල් හෝ මැයි අග වන විට මැතිවරණයට සූදානම් වෙන්න."
නව කොට්ඨාස බෙදීම් අනුව තමන් අපේක්‍ෂකයන් පත්කරන කොට්ඨාසවල සති දෙකක් තුළ පක්‍ෂයේ ප්‍රචාරක හා ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරන ලෙසද එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මාර්තු 30 වැනිදාට පෙර සියලු ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කළ යුතු බවටත් සෑම ආසන සංවිධායකවරයකුම තම මැතිවරණ කොට්ඨාසයෙන් සාමාජිකයන් 500ක් බඳවා ගත යුතු බවටත් එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ තමන් මැතිවරණ දිනනා හැටි දන්නා බව පවසමින්ය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූයේ දෙසතියකට පමණ පසුවයි. අය - වැය විවාද නිසා සති දෙකක්ම එය පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එහිදී එ.ජා.ප. සහ ශ්‍රී ල.නි.ප. ඇමැතිවරු වෙන වෙනම අදහස් දැක්වූහ. ඒ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත සම්බන්ධයෙනි.
'පසුගිය රජයේ බැසිල් රාජපක්ෂටත් මේ වගේ අත්තනෝමතික බලයක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා දුන්නා. ඒ නිසා බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කළා. ආණ්ඩුව බිඳවැටීමටත් ඒක හේතු වුණා.' දයාසිරි ජයසේකර ඇමැතිවරයා දැඩිව අවධාරණය කළේය. දයාසිරිගේ කතාව සම්බන්ධයෙන් අගමැතිවරයාත්, මලික් සමරවික්‍රම ඇමැතිවරයාත් අදහස් දක්වන්නට වූහ.

'මේකෙන් සුපිරි බලයක් ඇමැතිවරයාට ලැබෙන්නෙ නැහැ. ඒක වැරැදි අදහසක්. සංවර්ධන කටයුතු වේගවත්ව, ක්‍රමවත්ව කරන්න මෙවැනි පනතක් වැදගත් වෙනවා' ඔවුන්ගේ අදහස වූයේය.
එහෙත් ශ්‍රී ල.නි.ප. ඇමැතිවරු අදහස් දැක්වූයේ ඊට විරුද්ධවයි. ජනාධිපතිතුමා බලය අතාරිනවා. මේ අය බලය එකතු කරන්න හදනවා' චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේය.

'මේ සංවාදයට මැදිහත් වීමට ජනාධිපතිවරයාටද සිදුවිය. පළාත් සභාවලට යොමු කරල ඔවුන්ගේ අදහස් විමසන්නත් ඕනෑ. මේ යෝජනා නිසා කිසිම ආයතනයක බලය කප්පාදු වෙන්න බැහැ.' ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව වැඩි වගකීම් පවරන අංශ පිළිබඳ සාකච්ඡා කිරීම ඉදිරි කැබිනට් මණ්ඩලයකදී සාකච්ඡාවට ගැනීමටද නියමිතය. එතෙක් පාර්ලිමේන්තුවේදී විවාදයට නොගත යුතු බව ජනාධිපතිවරයාගේ මෙන්ම ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන්ගේද අදහස විය.

මේ තත්ත්වය අනුව අඩියක් පස්සට ගත් එක්සත් ජාතික පක්ෂය බදාදා මාධ්‍ය හමුවක් කැඳවූයේය. ඊට සහභාගි වූයේ සංවර්ධන උපාය මාර්ග ඇමැති මලික්ය. සුපිරි ඇමැතිලා බිහි නොකරන පනතක් ගේන බවත් එය පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
හම්බන්තොට වරාය චීනයට පැවරීම ගැනද එහිදී අදහස් ඉදිරිපත් විය. 'අපිට මේකට ඇ.ඩො. බිලියන 1.2ක මුදලක් ලැබෙනවා. ණය ගෙවන්න කියල ගත්තත් කොළඹ, කුරුණෑගල හරහා හබරණ දක්වා දුම්රිය මාර්ගයක් හදනවා. ඒත් ඊට වඩා ප්‍රමුඛතාව දිය යුතු වැඩ තිබෙනවා. ඊට මුදල් යොදවන්නෙ ප්‍රාග්ධන වියදමක් විදියට. මේ ගැන තව හිතා බැලුවොත් නරකද? ණය බරින් ගොඩ එන්නෙ කොහොමද කියල' දයාසිරි ප්‍රකාශ කළේය.

'හරි... හරි... අපි ඒක පසුව සලකා බලමු.' අගමැතිවරයා කීවේය. නියඟයක් ඇති විය හැකි බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මතු කළහ. 'හාල් මෝල් හිමියො හිතාමතා මිල වැඩි කරනවා. ඒකට ඉඩ දෙන්න බැහැ. වී තොග වෙළෙඳ පොළට දමන්න, ජීවන වියදම් කමිටුවේ සහායත් ඒකට ලබා ගන්න' ජනාධිපතිවරයා අවධාරණය කළේය. 'ප්‍රධාන මෝල් හිමියො හාල් හංගගෙන ඉන්නවා. ඒකයි මේ ප්‍රශ්නය' එසේ කීවේ හැරිසන්ය. 'ආනයනය කරන හාල් විකුණන්න සතොසට දෙන්න.' රිෂාඩ් යෝජනා කළේය. 'ඒවා නිකං දෙන්න බැහැ' පී. හැරිසන් කීවේය.

'අපි විකුණල සල්ලි දෙන්නං.' රිෂාඩ් හැරිසන් සමඟ වාදයකට පැටළුණේය. 'එහෙම දෙන්න බැහැ. මුදල් දෙන්න' හැරිසන් යළි පැවැසීය. මේ වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දීමට මුදල් ඇමැතිවරයා ඉදිරිපත් විය. සහල් ආනයනය කිරීම පෞද්ගලික අංශයට දෙන බව ප්‍රකාශ වුණද ඉන්දියාවෙන් සහල් ගෙන්වීම සඳහා මිල ගණන් විමසීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පසුවදාම කටයුතු කොට තිබිණි.
රජයේ වී සාමාන්‍ය සහල් ව්‍යාපාරිකයන්ට දෙන බව මීට පෙර රජය ප්‍රකාශ කළේය. එහෙත් ප්‍රධාන සහල් මෝල් හිමියන් දස දෙනකුට පමණක් වී විකුණා ඇති බවට මරඳගහමුල සහල් නිෂ්පාදකයෝ චෝදනා කරති.

කැබිනට් මණ්ඩලය උණුසුම් කළ ඊළඟ මාතෘකාව වූයේ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් නිසාය. පළාත් පාලන ආයතන බල ප්‍රදේශවලට අයත් මාර්ග ඉදිකිරීම සඳහා වූ යෝජනාවක් ඔහු ඉදිරිපත් කළේය. ඊට එරෙහිව මහාමාර්ග විෂය භාර කිරිඇල්ල අදහස් දක්වන්නට වූයේය.
'මහාමාර්ග විෂය භාර මටයි. ඒවට මැදිහත් වෙන්න ඔයා එන්න ඕන නැහැ' ඔහු පැවැසීය. 'මට අය - වැයෙන් මේ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. මම කටයුතු කරන්නේ ඒ අනුවයි.' ෆයිසර් උත්තර දුන්නේය. 'එහෙම වුණොත් මට ඒ මාර්ගත් පවරා ගන්න සිදු වෙනවා.' කිරිඇල්ලගේ එම අදහසත් සමඟ ශ්‍රී ල.නි.ප. ඇමැතිවරු ෆයිසර්ට පක්ෂව අදහස් දක්වන්නට පටන් ගත්හ. එය ගාලගෝට්ටියක් වෙද්දි' 'ඇමැතිතුමා ජාතික මාර්ග පද්ධතිය බලා ගන්න. අනෙක් මාර්ග ෆයිසර් බලා ගනීවි' ශ්‍රී ල.නි.ප. ඇමැතිවරු උස් හ¾ඩින් ප්‍රකාශ කළහ.

මන්ත්‍රිවරුන් 58 දෙනකුට වාහන ලබා දීමේ කටයුතු ඉක්මන් කරන ලෙසද මෙහිදී ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කෙරිණි. 'ඒවා ලීසිං කරල මාසෙක කුලියට ගෙනැල්ලත් අවසානෙ රජයට ලැබෙන්නෙ නැත්නම් ඒක අසාධාරණයි. අවසානෙ වාහනවල අයිතිය රජයට ලැබෙන්න ඕනෑ. නැත්නම් අපි කරන්නෙ පරිභෝජනයක් විතරයි' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය.

ඒ අනුව කුලියට ලබා ගන්නා වාහන අවසානයේදී රජයට ලැබෙන පරිදි කටයුතු කිරීමට එහිදී අනුමැතිය පළවිය.
එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකුගේ දූෂණ කටයුත්තක් පිළිබඳවද එහිදී අනාවරණය කෙරිණි. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී උණුසුම් ලෙස අදහස් හුවමාරුවක් සිදු විය. 'කනවනං ඔක්කොම කමු, නැත්නම් අපට මඩ කන්න වෙනවා.' දුමින්ද දිසානායක එ.ජා.ප. ඇමැතිවරයාට එරෙහිව අදහස් දක්වමින් පැවැසීය.

කාන්තාවන්ට සල්ලි දෙන නියෝජ්‍ය ඇමැති කවුද?

අගමැති රනිල් වික්‍රමසිංහ බදාදා උදේ අරලියගහ මන්දිරයට පැමිණියේය. සවස ඉන්දියාවේ තිරුපති කෝවිලේ පූජාවකට සහභාගි වීමට නියමිතව සිටි නිසා අත්‍යවශ්‍ය රාජකාරි කිහිපයක කටයුතු අවසන් කිරීම ඔහු එසේ උදෑසනින් පැමිණීමට හේතු වී තිබිණි.
ඔහු අරලියගහ මන්දිරයට පැමිණෙන විට මැති ඇමැතිවරු පිරිසක්ද එහි පැමිණ සිටියහ. ඉන්දියාව බලා පිටත් වන තම නායකයාට සුබ පැතීම ද ඔවුන්ගේ අරමුණක් වී තිබිණි. "නියඟය උග්‍ර අතට හැරෙන්නයි යන්නේ, ආණ්ඩුව ඊට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන. කෘෂිකර්ම, විදුලිබල හා ජලාශ ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා." අගමැතිවරයා පැමිණ සිටි එජාප මැති ඇමැතිවරුන් සමඟ සුහද කතාබහක් අරඹමින් පැවසුවේය.

"කුඹුරු අක්කර ලක්ෂ දහයක් දැනටමත් විනාශයි. හාල් මිලත් ඉහළයි. පිටරටින් හාල් ගේන වැඩේ මොකද?" දයා ගමගේ ඇමැතිවරයා විමසුවේය. "හාල් ටිකක් ගේන්න වේවි. ඒත් හැරිසනුයි රිෂාඩුයි අතර ඒකට කඹ ඇදිල්ලක් තියෙනවා" අගමැතිවරයා පැවැසුවේ පී. හැරිසන් ඇමැතිවරයා ලෙස බලමින්ය. හැරිසන් ඇමැතිවරයාටද ඊට දෙන්නට පිළිතුරක් තිබිණි. "ගෙන්වන හාල් සතොසට බෙදා හරින්න දෙන්න වෙන්නෙ මුදල් ලබාගෙන. ඔවුන් ණයට හාල් ඉල්ලනවා. එහෙම කරන්න අමාරුයි" ඔහු කරුණු පැහැදිලි කළේය.

"සතොසට හාල් දෙනවද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. ණයට දෙනවද නැද්ද කියන එක. සතොස හාල් විකුණලා සල්ලි ගන්නවා මිසක් නොමිලේ දෙන්නෙ නැහැනේ" දයා ගමගේ කීවේය. එය සියලු දෙනාම පාහේ අනුමත කරන්නට වූහ. "හාල් මෙටි්‍රක් ටොන් ලක්ෂ පහළොස් දහසක් හාල් බිස්නස් කරන මාෆියාකාරයෝ කිහිප දෙනෙක් ළඟ හිරකරගෙන මිල ඉහළ දමනවා කියලා කතාවක් යනවා"
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තවත් කාරණයක් ඉස්මතු කළේය.

"එච්චර හාල් තියෙන්න බැහැ. ඒත් යම් ප්‍රමාණයක් ඇති. බිස්නස්කාරයන්ට මාෆියා වැඩ කරන්නයි ජනතාව ගසා කන්නයි ඉඩ දෙන්න බැහැ" අගමැතිවරයා දන්වා සිටියේය. ඊන් අනතුරුව ඔවුන්ගේ සාකච්ඡාවට ලක් වූයේ මන්ත්‍රිවරුන් 58 දෙනකුට ලබා දෙන වාහන මෙන්ම සියලු දීමනා සම්බන්ධයෙනි. කතාව ආරම්භ කළේ අගමැතිවරයාය.

"මන්ත්‍රිවරුන්ට ආසනයේ වැඩ කරන්න ලබා දෙන රුපියල් ලක්ෂය රන්ජන් එපා කියන එක ගැන හුඟ දෙනෙක් මට පැමිණිලි කළා. ඔයා ඔච්චර ජනප්‍රිය වෙලත් මේ වගේ දේවල්වලින් පබ්ලිසිටි ගන්නවා කියලයි ඒ අය කියන්නේ" අගමැතිවරයා චෝදනා කළේ සිනාසෙමින්ය. රන්ජන් පිළිතුරු දුන්නේද සිනාසෙමින්ය. "අවුරුදු විසි එකක් මේ රට කාපු එජනිස අයටත්, නැව් තියෙන හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන අයටත් මේ ලක්ෂය ගෙවනවා. මට ගෙවල් නැහැ. පවුලක් නැහැ. දරුවෝ නැහැ. ඒ නිසයි මම ඒක එපා කිව්වේ"

"ඔයා නළුවෙක් නිසා ඔයා කාන්තාවෝ අතර ජනප්‍රිය නිසා එයාලා ඔයාට ඕන තරම් සල්ලි දෙනවා වුණාට අනෙක් මන්ත්‍රිවරුන්ට ඒ චාන්ස් එක නැහැ" කිරිඇල්ලගේ කතාවට සියල්ලෝම සිනාසෙන්නට වූහ. "ඒක මගේ පින" සිනා අතරම රන්ජන් කීවේය. "හැමදාම ආසනයට යන මන්ත්‍රිවරුන්ට ගමේ මඟුල් ගෙවල්, මළ ගෙවල් තියෙනවා. කාර්යාලයට එන අයට තේ දෙන්නත් ලොකු මුදලක් යන නිසා මේ ලක්ෂය වැදගත් බව මන්ත්‍රිවරු හුඟ දෙනෙක් මට කීවා" නවීන් දිසානායක කීවේය.
"රන්ජන්ට ලක්ෂය එපා නම් කතානායකට ලියලා හරියන්නේ නැහැ. පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍යාංශ ලේකම්ටයි ලියන්න ඕන. 2500 එපා නම් පාර්ලිමේන්තු මහ ලේකම්ටයි ලියන්න ඕන" ඇමැති වජිර කී කතාවට රන්ජන් ප්‍රතිචාර දැක්වූයේ "මම ලිව්වා" කියමින්ය. "ජනමාධ්‍ය ලේකම් මන්ත්‍රිවරු 58 දෙනාගේ වාහන ලියවිල්ලට අස්සන් නොකරන එකටත් මන්ත්‍රිවරු ‍ෙදාස් කියනවා. වාහන ආණ්ඩුවට අයිති වෙන්න සකස් කළාට පස්සෙත් අස්සන් නොකරන එක ගැටලුවක් බව මන්ත්‍රිවරු කියනවා. මේක කැබිනට් තීන්දුවක්. ඇමැති කියන දේ කරන්න බැරි නම් අස් වෙන්න ඕන කියලත් මන්ත්‍රිවරු කෑ ගහනවා" නවීන් දිසානායක ඇමැතිවරයා පැවැසීය.

"ඔය ජනමාධ්‍ය ලේකම් සාත්තරකාරයන්ටත් උත්තර දෙනවා. විකාර කතාවක් ඒකෙන් ඩබල් විකාරයක් වුණා. දයා ගමගේ කීවේ සිනාසෙමින්ය. "සංවර්ධනය වේගවත් කරන පනත සුපිරි. ඇමැති ලේබල් ගහලා විරුද්ධත්වයක් ආවා කියලා ප්‍රවෘත්ති පළ වීම පුදුමයි. රටක් ගොඩනඟන්න බලතල ඕන. සිංගප්පූරුව, මැලේසියාව ගොඩ ආවේ එහෙමයි. සමහර ඇමැතිවරු ළිං මැඩියෝ වගේ මයික් එකක් ඇල්ලුවාම නොදන්නකම ප්‍රදර්ශනය කරනවා" වජිර සඳහන් කළේය.
සාකච්ඡාවෙන් පසුව අගමැතිවරයාගේ තිරුපති කෝවිල් ගමනට ඇමැතිවරු සුබ පැතූහ. අගමැතිවරයා දිවයිනෙන් බැහැරව ගියේ සිය බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ සමඟින්ය. මේ ගමනට ඩී. එම්. ස්වාමිනාදන් සහ පලනි දිගම්බරන් ඇමැතිවරුද එක් වී සිටියහ. මෙහිදී මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ තිරුපති කෝවිලට බාරයක් ඔප්පු කරමින් මංජුසාවක්ද පූජා කළාය.

මහින්ද ගිය මෛත්‍රි නොගිය මළ ගෙදර

උතුරු මැද පළාත් සභාවේ සභාපති ආනන්ද රත්නායකගේ අවමංගල්‍ය කටයුතු බ්‍රහස්පතින්දා පොළොන්නරුව සේවාගමදී සිදු කෙරිණි. ඔහු මෛත්‍රිට විරුද්ධව මහින්ද වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ටකරන් බෙදිල්ලකට මාස ගණනක් සිරගත වී සිට ඇප ලැබුවේද මීට මාස කිහිපයකට පෙරදීය.

මළගමට ජනාධිපතිවරයා පැමිණෙන බවට ආරංචි පැතිර ගියද ඔහු පැමිණියේ නැත. ඒ වෙනුවට ශෝක පණිවුඩයක් එවමින් තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රේමසිරි මුණසිංහ ලවා එය ඉදිරිපත් කොට තිබිණි. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මළගමට සහභාගි වී කතාවක්ද කෙළේය. 'මෙතුමා කවදාවත් පක්ෂ ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. වාසිවලට පැන්නෙ නැහැ' හිටපු ජනපති මහින්ද කීවේය. සී.බී., ඩලස්, එස්.බී. ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වී සිටියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සඳුදා සවස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ රැස්වූහ. ඔවුන්ගේ විශේෂ අවධානයට ලක් වූයේ පළාත් පාලන මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරයයි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරිණි. 'සන්ධාන විධායක සභාවේදී මොනවද මෛත්‍රි කියල තියෙන්නේ' මහින්ද විමසීම් කෙළේය.

'සන්ධානය විදියට බුලත් කොළයෙන් ඉල්ලන්න එකඟ වෙලාලු' සන්ධානයේ විධායක සභාව නියෝජනය කළ පක්ෂයක ප්‍රධානියෙක් උත්තර දුන්නේය. ඒත් ඊට මහින්ද කිසිවක් කීවේ නැත. සිනහවක් පළ කළා පමණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතුද මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ අවධානයට ලක් විය. ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිටත්, අගමැතිටත් ඉදිරිපත් කළ ව්‍යවස්ථා යෝජනා 14ට එකඟ නොවන්නේ නම් ඊට සහාය නොදිය යුතු බවද ඔවුහු යළි තීරණය කළහ. එමෙන්ම ජනවාරි මාසයේ සිට ව්‍යවස්ථාව මඟින් රට බෙදීමේ අනතුර සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා පැවැත්වීමටද ඒකාබද්ධ විපක්ෂය තීරණය කළහ.

ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන 'වියත් මඟ' සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ඊට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද එක්ව සිටියහ.
'වියත් මඟ සංවිධානය රටේ ජනතාව අතර බුද්ධිමත් සංවාදයක් ඇති කිරීම ගැන මම සතුටු වෙනවා' එහිදී හිටපු ජනාධිපතිවරයා පැවැසීය. ඉදිරියේදී ගනු ලබන දේශපාලන හා සමාජ තීන්දුවලදී මේ දෙපාර්ශ්වය සහයෝගයෙන් වැඩකිරීමටද එහිදී කතිකා සිදුවිය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ෆේස්බුක් ගිණුමක් බ්‍රහස්පතින්දා විවෘත කෙළේය. ඒ බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි කාර්යාලයේදීය. හිටපු ජනාධිපති මහින්ද ඒ අවස්ථාවට සහභාගි වීමට නියමිතව සිටියද පොළොන්නරුවේ අවමංගල්‍ය කටයුත්තකට සහභාගි වීම නිසා ඊට පැමිණීමට හැකි වූයේ නැත.
මහින්ද නව පක්ෂයේ සාමාජිකයකුවත් නොවේ. එහෙත් ඔහුගේ නම සහ රුව එම අවස්ථාව අලංකාර කිරීමට යොදා ගෙන තිබිණි. ඒ වෙනුවෙන්ම ටී ෂර්ට් ඇඳ සිටි තරුණ පිරිසක්ද එහි වූහ. 'මේ අවස්ථාවට සහභාගි වෙන්නට නොහැකි වුණත් මම සුබ පතනවා' මහින්ද අන්තර්ජාලය ඔස්සේ සුබ පැතුවේ එහෙමයි.

සජිත්ට
කේන්ති
ගිහින්

2016 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සඳුදා පැවැත්වුණේ බී. එම්. අයි. සී. එච්. හිදීය. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් එය සංවිධානය කෙරිණි. ඇමැති සජිත් ප්‍රේමදාස හා නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිළිගෙන විදුලි සෝපානයෙන් උත්සව ශාලාවට ගමන් කළහ.
"සර් අපේ ඇමැතිතුමා හොඳ වැඩකට අත ගහලා. උදා ගම්මාන 14ක් ඉදි කරන්න ඉදිකිරීම් සමාගම් 11ක් අද ලක්ෂ 1050ක් පරිත්‍යාග කරනවා"
නියෝජ්‍ය ඇමැති ඉන්දික විදුලි සෝපානයේදී පැවැසීය.

"එයා දක්ෂයා. තාත්තගෙම පුතා" ජනාධිපතිවරයා ඊට සිනාසෙමින් පිළිතුරු දුන්නේය. "ඔය දෙන්න එකමුතු වෙලා මෙතන කරන වැඩ ගැන මට ආඩම්බරයි" යැයිද ජනාධිපතිවරයා පැවැසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ නිවාසවල ජීවත් වූ සහ රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටි පවුල් 2667කට අදාළ දේපළ සඳහා නීත්‍යනුකූල ඔප්පු, හිමිකම් සහතික හා බදු ඔප්පු පිරිනැමීමේ උත්සවය අඟහරුවාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දක්වමින් "දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කළ නිවාස වැඩපිළිවෙළ අවුරුදු විස්සකට පස්සේ නැවත ක්‍රියාත්මක කරන සජිත් ප්‍රේමදාස මැතිතුමා රට වටේ ගිහින් ග්‍රාමීය නිවාස හදන්නටත් නාගරික ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම සඳහා ඔප්පු ලබා දෙන්නටත් විශාල උත්සාහයක් ගන්නවා. එතුමා කරන එම කටයුතු මම අගය කරනවා" යැයි පැවැසීය. අගමැතිවරයා එසේ කතා කරමින් සිටියදී සභා ගැබේ සවිකර තිබූ ඩිජිටල් තිර දෙකේ දිස්වුණු විවිධ ප්‍රක්ෂේපණ දෝෂ ගැන සජිත්ට එක්වරම කෝපයක් ඇති විය. වහාම නිලධාරියා ගෙන්වා ඊට හේතු සොයා බැලීය. අගමැතිවරයාගේ කථිකාසනය කිසිවකු විසින් නොදන්වා වෙනස් කොට ඇති බව අනාවරණය වීමෙන් පසුව එය කඩිනමින් නිවැරැදි කරවීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කටයුතු කළේය.

දියණිය වෙනුවෙන් කතානායක පියාගේ ධෛර්යය

කතානායක කරු ජයසූරියගේ කනිටු දියණිය ඉන්දිරා මියගියේ මීට සති කිහිපයකට ඉහතදීය. ඇය සිහිපත් කරමින් පිළිකා රෝගීන්ට පිළිසරණ වීමේ අරමුණින් වැඩසටහන් රැසක් ජයසූරිය පවුලේ මූලිකත්වයෙන් ඇරැඹීමට කටයුතු යොදා ඇත. පිළිකාවක් වැලැඳුණු අයකුට ඇති වන ශාරීරික, මානසික තත්ත්වයන් මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳ සහාය වීම අරමුණු කරගත් 'පිළිකා සරණ උපකාරක ඇමැතුම' නමින් වන තාක්ෂණික ඇමැතුම් සේවාවක් ලබන අඟහරුවාදා (27දා) ඇරැඹීමට නියමිතය. එය කතානායක කරු ජයසූරිය ඇතුළු පවුලේ සාමාජිකයන් මෙන්ම පිළිකා සරණ සංගමයද එක්ව දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.

මියගිය දියණිය සිහිපත් කර පිළිකා රෝගීන් වෙනුවෙන් මෙන්ම ගමින් ගමට ගොස් කාන්තාවන්ට ඇති විය හැකි පියයුරු පිළිකා අවදානම කල් ඇතිව පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂණාගාරයක්ද නොබෝ දිනකින් මෙරටට ගෙන ඒමටද කරු ජයසූරිය පවුලේ මූලිකත්වයෙන් කටයුතු යොදා ඇත. එමෙන්ම පිළිකා රෝගයෙන් අසරණ වූ කුඩා දරුවන් වෙනුවෙන් 'ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරය' නම් වූ වැඩසටහන අරඹනුයේ ඉන්දිරා ජයසූරිය සිය දරුවන් වෙනුවෙන් කළ ආත්ම පරිත්‍යාගය සිහි ගන්වමින්ය.

නව මැතිවරණ ක්‍රමයකට ජ.වි.පෙ.න් අලුත් යෝජනා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය බදාදා පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැස් වූයේය. ආණ්ඩුව ජනතා දේපොළ විකුණන බව ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාවක් විය. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳවද සාකච්ඡාවේ දී අවධානයට ලක් වූහ.

'ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න කියල කරන්නෙ රටේ සම්පත් විකුණන එක. විකුණන ලිස්ට් එකෙන් උඩට ඇවිත් තියෙන්නෙ හම්බන්තොට වරාය. ජනවාරි මාසෙ ඒකට ගිවිසුමත් අස්සන් කරනවා.' ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සාකච්ඡාව ආරම්භ කළේය. 'පළාත් පාලන මැතිවරණය ගැන තවමත් ආණ්ඩුව පැහැදිලි දෙයක් කියන්නෙ නැහැ. එක එක ඇමැතිවරු එක එක කතා කියනවා.' සුනිල් හඳුන්නෙත්ති කීවේය.
'අලුත් ක්‍රමයට ගියොත් අර්බුද ගොඩක් එනවා. ඒකට අනුව කොට්ඨාස හාරදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේකට තව සමානුපාතික ක්‍රමයට එන ප්‍රමාණයයි, කාන්තා නියෝජනයයි ගත්තාම මන්ත්‍රිවරු දෙගුණ වෙනවා. එතකොට ඒ අයට අවශ්‍ය දීමනාවලට, පහසුකම්වලට මුදල් කොයින්ද? ඒවට මේ අය - වැයෙන් මුදල් වෙන් කරල නැහැ.' විජිත හේරත් කීවේය.

'පනතේ අඩුපාඩුකම් හදන්න තවත් කාලයක් යනවා. අඩුතරමේ තව මාස දෙක තුනක්වත් යයි' ලාල් කාන්ත කීවේය. 'ඒකයි අපි කිව්වෙ ඒ විදියට කල් යනවා නම් තිබුණු ක්‍රමයට මේ වතාවේ මැතිවරණය පවත්වන්න කියල. අඩුපාඩු හදාගෙන ඊළඟ ඡන්දය තියන්න පුළුවන්.' අනුර කුමාර පැවැසීය.
'මේ මැතිවරණයට ඒ තර්කය හරි. නමුත් දීර්ඝකාලීනවත් පළාත් පාලන සඳහා හදපු මැතිවරණ ක්‍රමයට එකඟ වෙනනත් බැහැ. මොකද දැන් අලුත් ව්‍යවස්ථාවේ අලුත් මැතිවරණ ක්‍රමයක් ගැන කතා කරනවා. ඒක පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණයට පමණක් අදාළ විය යුතු නැහැ. මැතිවරණ තුනටම එකම ක්‍රමයක් හැදීම අපේ ස්ථාවරය විය යුතුයි.' ටිල්වින් සිල්වා පැහැදිලි කළේය.

ආණ්ඩුව වී දුන්නේ කාටද?

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා සවස පක්ෂ නායක විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන අයගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනුණේ සහල් මිල ඉහළ යද්දී සහල් ආනයනයට ආණ්ඩුව කටයුතු කිරීම පිළිබඳවය.
මේ ආණ්ඩුව යටතේ වී ගොවියා අධෛර්යවත් වීමට බලපෑ අනෙක් හේතුව තමයි වීවලට සහතික මිලක් නොතිබීම. 'වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක් ලබා දෙනවා' කියලා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ 'දින 100' ආණ්ඩුවේ 'වැඩ 100' අතර තිබුණා. නමුත් ප්‍රායෝගිකව පසුගිය වසර 2 තුළ වී කිලෝවට සහතික මිලක් ලැබුණේ නැහැ. වී මිලදී ගැනීම නිසි පරිදි ආණ්ඩුව විසින් සිදු කළේ නැහැ. වී ටික විකුණාගන්න ගොවියන්ට දින ගණන් පෝලිම්වල ලගින්න වුණා. ආණ්ඩුව කළ යුතුව තිබුණේ පෞද්ගලික අංශය සමඟ තරගකාරීව වී මිලට ගැනීම. අඩුම තරමින් රටේ සමස්ත වී අස්වැන්නෙන් 5%ක් ඒ විදියට මිලදී අරන් එය සහල් බවට පත් කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබා දුන්නා නම් අද මේ විදියට සහල් මිල ඉහළ යන්නේ නැහැ. නමුත් ජනතාවගේ අවාසනාවට ආණ්ඩුව මිලදී ගත්තු වී ටිකත් දුන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ට. අපි දන්නවා මේ රටේ සහල් ඒකාධිකාරය තිබෙන්නේ ව්‍යාපාරිකයන් 5 දෙනකුට කියලා. ඉන් එක් අයෙක් ජනාධිපතිවරයාගේ සහෝදරයා. ඒ නිසා අද මේ රට මේ ව්‍යාපාරිකයන් 5 දෙනාගේ සහල් ඒකාධිකාරයට සම්පූර්ණයෙන්ම යටවෙලා ඉවරයි' විමල් වීරවංශ දීර්ඝ ලෙස අදහස් දක්වමින් අවධාරණය කර සිටියේය.

තලතාගේ හිත් ගත් හෙයාර් කලර් එක

විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරාල පසුගිය දිනෙක එක්තරා රූපවාහිනි වැඩසටහනකට සහභාගි වීමට ගියාය. එහිදී රූපලාවණ්‍ය ශිල්පියා ඇය හැඩවැඩ කළේය. තලතාගේ හිසකෙස් අතර සුදු පැහැ වූ කෙස්ගස් කිහිපයක්ද වෙයි. රූපලාවණ්‍ය ශිල්පියා එය කළු කළේ ඇයට අඩු වයස් පෙනුමක් ලබාදෙමින්ය.
"මේ හෙයාර් කලර් එක මට දෙන්න බැරිද?"

ඇය රූපලාවණ්‍ය ශිල්පියාගෙන් විමසුවාය. රූපවාහිනි වැඩසටහන අවසන් වීමෙන් පසුව එම හිසකෙස් කළු කරන නිෂ්පාදන බඳුන ඇමැතිවරියට ලබාදීමට ඔහු කටයුතු කර තිබිණි.

විදුලිබල ඇමැති සහ සභාපති ඉන්ජිනේරුවන්ට තළයි

පසුගිය ඉරිදා බැඩ්මින්ටන් තරගයක් වෙළෙඳ සේවා සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. යුගල තරගයක් වූ එහි එක් කණ්ඩායමක් නියෝජනය කළේ විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය සහ සභාපති අනුර විජේපාලයි. අනෙක් පාර්ශ්වය විදුලිබල ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකි. ඔවුහු සිවු දෙනාම රාජකීය විද්‍යාලයේ නමගිය බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ සිවු දෙනෙක් වූහ. එහෙත් තරගය 0/3ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඇමැති සහ සභාපති සමත් වූහ.

චීනයට වරාය පැවරීමේ කටයුත්තට අගමැති අර්ජුන කැඳවයි

හම්බන්තොට වරාය චීන සමාගමකට දීමේ ගිවිසුම් සකස් කිරීම මේ දිනවල ලහි ලහියේ සිදුවෙයි. එය ජනවාරි මුල් සතියේදී අස්සන් කිරීමට නියමිතය. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවකට පසුගියදා අගමැතිවරයා විසින් වරාය ඇමැතිවරයා අරලියගහ මන්දිරයට කැඳවූයේය. එම අවස්ථාවට ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයේත්, සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශයේත් ලේකම්වරු පැමිණ සිටියහ.

වරාය විෂය භාර ඇමැතිවරයා වූ අර්ජුන රණතුංගයන් මෙතෙක් කලක් හම්බන්තොට වරාය පැවරීම සඳහා සහාය නොගත්තේය. ඒ අර්ජුන ශ්‍රී ලංකා වරාය ව්‍යාපාරයට 40%කවත් කොටස් හිමිවිය යුතු ස්ථාවරයේ දිගින් දිගටම සිටි නිසාය. "ගිවිසුම අස්සන් කරන කොට වැඩි වාසි ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතුයි" අර්ජුන යළි මතක් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon