ජනවාරි 8 ඇරැඹි සටන ඇඹරෙයිද?

  👤  8281 readers have read this article !
2016-12-22

2001 අවුරුද්දේ පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයගත්තේ 1994 අවුරුද්දේ ලැබූ පරාජයෙන් පසු ප්‍රථම වතාවටය. එජාප ආණ්ඩුවේ අගමැති පුටුව රනිල් වික්‍රමසිංහ භාර ගත්තේය. එහෙත් ජනාධිපති ධුරයේ සිටියේ ශ්‍රී ලනිප නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. 1978 විධායක ජනාධිපති ධුරය ඇතිකිරීමෙන් පසු ජනාධිපති නියෝජනය කරන පක්‍ෂයට අගමැති ප්‍රමුඛ කැබිනෙට්ටුවේ බලය අහිමි වූයේ ප්‍රථම වතාවටය.

එජාප ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වූ තිස්ස අත්තනායක විපක්‍ෂයේ සිටියදී මාධ්‍යයට ලබාදුන් සම්මුඛ සාකච්ඡා එකතුකර පොතක් එළිදැක්වූයේ ආණ්ඩුව බලයට පත්වී මාස කිහිපයක් ඇතුළතය. මහනුවර පැවැති පොත එළිදැක්වීමේ උත්සවයේ මුලසුන දැරූ වි.ජ.මු. ලොකුබණ්ඩාර එහිදී අපූරු කතාවක් කළේය. "එජාපය හා ශ්‍රී ලනිපය 1948 ඉඳල මාරුවෙන් මාරුවට රට පාලනය කළා. බලය ගන්න මේ පක්‍ෂ දෙක අතර තියෙන්නෙ නොනිමි තරගයක්. ඒ වගේ පක්‍ෂ දෙකක නායකයො දෙන්න රටේ ජනාධිපති ධුරයට හා අගමැති ධුරයට පත්ව සිටීම දුර්ලභ අවස්ථාවක්. එය රටේ අභිවෘද්ධියට යොදා ගත යුතුයි. මේ ස්වර්ණමය අවස්ථාව අපතේ හැරිය යුතු නැහැ."

එහෙත් සිදු වූයේ වි.ජ.මු. කියූ දෙය නොව ඇන්.එම්. 1978 ලියූ දේය. '78 ව්‍යවස්ථාවේ භයානක වගන්ති නිසා රට අවුලකට යන බව ඔහු කරුණු සහිතව පෙන්වා දුන්නා. වැඩිකල් ගියේ නැහැ. ජනාධිපති චන්ද්‍රිකා හා අගමැති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව අතර සීතල යුද්ධයක් ඇරැඹුණා. එය අවසන් වුණේ රනිල් ඇමෙරිකාවේ සිටියදී ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ තුනක් චන්ද්‍රිකා තමා යටතට පවරා ගැනීමත් සමඟ. 2004 හදිසි මහ මැතිවරණයකට යෑමට සිදුවූයේ මේ ආරවුල නිසා ආණ්ඩුව බිඳ වැටීම නිසා.

යළි එවැනි අවුලකට රට ඇදී යන බව පෙනෙන්න තිබෙනවා. ඒ ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා එජාප නායක අගමැති රනිල් අතර සීතල යුද්ධයක් ඇරැඹී තිබීම නිසා.

රාජපක්‍ෂ රෙජීමය ගෙදර යැවීම සඳහා පොදු අපේක්‍ෂකයෙක් යෝජනා කළේ සෝභිත හිමි ප්‍රමුඛ සාධාරණ සමාජය සංවිධානය. මහින්ද සමඟ තරගයට රනිල් දැමීමට ඔවුන් එකඟ වුණේ නැහැ. පොදු අපේක්‍ෂක කතාව ආවෙම ඒ නිසා. කරු ජයසූරිය පොදු අපේක්‍ෂකයා කිරීමට කැමැත්තක් සෝභිත හිමි ඇතුළු සිවිල් සංවිධානවලට තිබුණා. එහෙත් 'කරු' විකල්පය 'මෛත්‍රි' ගෙන් කපා දැමීමට රනිල් - චන්ද්‍රිකා කටයුතු කළා. අගමැති පුටුවේ මිස ජනාධිපති පුටුවේ වාඩිවීමට කිසිදිනෙක නොසිතු මෛත්‍රි පොදු අපේක්‍ෂකයා වී තියුණු තරගයකින් ජනාධිපති පුටුව දිනා ගත්තා. කිසිදු හේතුවක් නිසා බිම තැබීමට නොසිතු 'ඔටුන්න' බිම දමා රනිල්ගෙන් ඉල්ලාගත් රජයේ චොපර් එකකින් මැදමුලනට යෑමට මහින්දට සිදුවුණා. පරාජය නළලේ කොටාගෙන සිටි රනිල්ට පෑදුණේ පෙර පිනක්. ඒහිභික්‍ෂු භාවයෙන් වගේ ඔහුට අගමැති ධුරය ලැබුණා. ජනාධිපතිවරණය දවසේ රාත්‍රිය කුරුණෑගල පොල් වත්තක ගතකළ මෛත්‍රි කොළඹ ඇවිත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු රනිල් අගමැති ධුරයේ දිවුරුම් දුන්නා.

හොරු දූෂිතයෝ අපරාධකාරයෝ අල්ලා වැලිකඩ යවා අයාලේ යමින් තිබුණ ආර්ථිකය යළි හරි පාරට දමාගෙන නීතියේ ආධිපත්‍යය පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව ඇති කිරීමට මේ 'ඩබල' ඩබල් එකේ වැඩකරාවි යැයි හංසයාට ඡන්දය දුන්න වුන් සිතුවා. ඡන්දය දුන් ලක්‍ෂ 62කට මඳක් වැඩි පිරිසෙන් සැලකිය යුතු පිරිසක් හිතුවේ ඔළුවෙන් සිටුවා තිබූ රට මෛත්‍රි - රනිල් එකතුවී දෙපයින් සිටුවයි කියලා.

එහෙත් රනිල්ගේ ගජ මිතුරකු වූ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට බැඳුම්කර වංචා චෝදනාව එල්ලවූ විට රනිල් කළේ ඔහුව ආරක්ෂා කිරීමය. මොහු ප්‍රසිද්ධියේ කිව්වේ අර්ජුන් අයින් කරන්න මම රනිල්ට කියූ බවය. එහෙත් රනිල් ඔහු කියන දේ අසා නැත. මෛත්‍රි ශ්‍රී ලනිපකම සභාපති භාර ගැනීම නිසා සිදු වූයේ තවත් අලකලංචියකි. ශ්‍රී ලනිප සභාපති ලෙස මෛත්‍රි ඉකුත් මහ මැතිවරණයේදී මහින්දට බුලත් කොළයෙන් තරග කිරීමට ටිකට් එක දීම නිසා පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් ජනතාව පුදුමයට පත්විය. වෙනසකට ඡන්දය දුන් අයට පෙනුණේ වැඩ කෙරීගෙන යන විදියට ආණ්ඩු දෙකේ වෙනසක් නැති බවය. දිනෙන් දින ඒ මතය ශක්තිමත් වූවා මිස දුර්වල වූයේ නැත. රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමෙන් බහුතර ජනතාව බලාපොරොත්තු වුණේ තවත් පිරිසකට ඇමැති තනතුරු ලබාදීම නොවේ. 1948න් පසු සෑම ආණ්ඩුවක්ම කළේ තනතුරු වරප්‍රසාද බදාගෙන ජනතාවට කොකා පෙන්වීමය.

විශේෂයෙන් 80 දශකයෙන් පසු පාලකයන් කළේ චෞරයන් රැළක් වී ජනතාවගේ ඉලපතට හෙල්ලෙන් ඇනීමය.

මෛත්‍රි - රනිල් ආණ්ඩුවෙන් ප්‍රගතිශීලී ජනතාව අපේක්ෂා කළේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමය. නීතිය ස්ථාපිත කිරීමය. උතුරට දේශපාලන විසඳුමක් දීමය. වංචා දූෂණය අවම කිරීම හා යහපත් ආර්ථික කළමනාකරණයකි. 'ජනවාරි 8' දේශපාලන සටන ඒ සඳහාය. සටන තිබුණේ එතැනය. සතුරා වූයේ රාජපක්ෂ රෙජීමයය.

එහෙත් අද සටන තිබෙන්නේ ශ්‍රී ලනිප - එජාප පක්ෂ දෙක අතරය. ද්‍රෝහියෝ වීරයන් වෙමින් සිටී. මේ වගේ මාධ්‍ය මර්දනයක් කවදාවත් තිබුණේ නැහැ. අපේ හාමුදුරුවනේ යැයි හින්ද පන්සල් ගාණේ ගොස් කියන විට ගෝඨාභය ජපානේ ගොස් කියන්නේ යුද්ධ කාලේදීවත් මට මාධ්‍ය එක්ක ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියාය.

රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළ හම්බන්තොට වරායේ සේවකයන්ව නාවික හමුදාව ලවා මර්දනය කළ බව මහින්ද කියනකොට බොන්න වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල මිනිස්සුන්ට යුද හමුදාව ලවා වෙඩි තබා මරා දැමුවේ කවුද? කියා අහන්න මෛත්‍රිට- රනිල්ට සිහියක් නැත. ඔවුන් සිහින දකින්නේ 2020 දී තනියෙන් ආණ්ඩුවක් හදන එක ගැනය.

මෛත්‍රි පොරොන්දු වූ ආකාරයටම 19 වැනි සංශෝධනයෙන් ජනාධිපති බලතල කප්පාදු කරගත්තේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ ඉන් එහාට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නම් ජනමත විචාරණයකට යෑමට සිදුවන නිසාය. අනෙක බලය බෙදාහරින නව ව්‍යවස්ථාවත් රටට අවශ්‍යය. 1978 අණ්ඩ දැමූ ව්‍යවස්ථාවෙන් රටට වැඩක් නැත. එහෙත් මේ ව්‍යවස්ථාව හදන වැඩේට මහින්දලා අකුල් හෙළයි. වාසුදේව හිටපු සහෝදරයා කියා ඇති පරිදි ඔවුන්ට අවශ්‍ය ව්‍යවස්ථාවක් නොව ආණ්ඩුව පෙරළන්නය. ව්‍යවස්ථාව දඩමීමා කරගෙන ආණ්ඩුව පෙරළීමට ඔවුන් කුරුමානම් අල්ලන්නේ එනිසාය. අමු ජාතිවාදය පට්ටපල් බොරුත් එක්ක කලවම් කර රට පුරා පතුරුවා හැරීම ඔවුන් ඇරැඹුවේ කලකට පෙර සිටය. එහෙත් මෛත්‍රි - රනිල්ට මේ 'අනතුර' පේන්නේ නැත. හේතුව 2020 තනි ආණ්ඩුවක් හැදීමේ සිහිනයේ ඔවුන් නිමග්නව සිටින නිසාය.

2020 වෙනතුරු නොසිට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුකර අගමැති පුටුවේ ඉඳගන්න මහින්දලා සිහින දැකීම පුදුමයක් නැත. පුදුමය වන්නේ ඒ කිසිවක් ගැන වගේ වගක් නැති රනිල් - මෛත්‍රි සහ සගයන් තනි ආණ්ඩුවක් හැදීමට කතා දැමීමය. ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කර නැත්තේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමට ඔවුන් පියවර කිහිපයක් ගෙන ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ පොඩි පොඩි කාරණා අල්ලාගෙන දඟලනවා මිසක ආණ්ඩුව ලොකු ලොකු ප්‍රශ්න ගැන සලකා නොබැලීමය.

එහෙත් මහින්දලා පොඩි ප්‍රශ්න පවා ලොකු කරමින් රටම අවුස්සමින් සිටී. අන්ත ජාතිකවාදීන් හා දේශප්‍රේමී ජාතිවාදීන් සටන අරඹා ඇත. එහෙත් මෛත්‍රි - රනිල් වැඩකරමින් සිටිනේ බේබද්දා යතුර සොයන්නා සේය. යතුර වැටී ඇත්තේ අඳුරේය. ඔවුහු එළිය තිබෙන තැනකට වී යතුර සොයමින් සිටී.

එජාපය - ශ්‍රී ලනිප භේද කර යළි නයි - මුගටි සටන අවුළුවාලීමට පිරිසක් සූක්ෂ්මව කටයුතු කරමින් සිටී. ආණ්ඩුව ඇතුළේද ඔවුන් වැඩය. ඩිව් ගුණසේකර කියන්නාසේ ශ්‍රී ලනිප නායක ගොන් රැළ කරන්නේ මොකක් දැයි දන්නේ නැත.

මේ වැඩෙන් වෙන්නේ මෛත්‍රි - රනිල් හවුල අනතුරේ වැටීමය. ආණ්ඩුව ගෙනියන්නේ රනිල්ය. සියලු ආර්ථික තීරණ ඔහුගේය. මෛත්‍රි කැබිනට් තීරණ පත්තරෙන් දකින්නේ ඒ නිසා විය යුතුය. හොරු ඇල්ලීම, දූෂිතයන්ට දඬුවම් දීම, ආණ්ඩුවේ කට්ටියගේ හොර ඇල්ලීම ඔක්කොම රනිල්ගේ වගකීම්ය. බෝලය අවශ්‍ය වෙලාවට විතරක් මෛත්‍රිට දාන්න බැරිය. ආණ්ඩුවේ උරුමය මෙන්ම කරුමයද රනිල් භාරගත යුත්තේය. ශ්‍රී ලනිප - එජාප නයි - මුගයි එක කොටේ උඩ එකට වාඩි ගනිද්දී බලය කුරුමානම් අල්ලන අවස්ථාවාදීන් සැඩ වතුර යටින් ගින්දර ගෙන යයි. ඔවුන් දියද බොර කරමින් සිටී. මෙහෙම ඔහේ පාවී ගියොත් 'ජනවාරි 8' ජනතා අපේක්ෂාද ඔහේ පාවී යනු ඇත. ඇරැඹූ යහපාලන සටන ලක්ෂ 62ක ජනතාව සමඟ ඇඹරී යෑමට ඉඩ නොදීම රනිල් කෙසේ වෙතත් මෛත්‍රිගේ වගකීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon