මහින්දගෙන් හදිසියේ මෛත්‍රිට දුරකතන ඇමැතුමක්

  👤  6446 readers have read this article !
2016-12-18

තෙදින නිල චාරිකාව ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රහස්පතින්දා ප.ව. 2.10ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූයේය. මැලේසියා රජය වෙනුවෙන් මානව සම්පත් සංවර්ධන අමාත්‍ය ච්චබධ ඉපඪ අඪජඩචපඤ අඪධබ ඒදචඬ බ්චඥථ ඇතුළු නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා පිළිගත්තේ් ඉමහත් හරසරින්ය. හමුදා උත්තමාචාරද ඊට ඇතුළත් විය. ජාතික ධජවලින් ගුවන් තොටුපොළ සරසා තිබුණේ දෙරටේ මිතුදම සංකේතවත් කිරීමේ අරමුණින්ය.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තිබෙන ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩි දියුණු කර ගැනීම මෙන්ම නව සබඳතා ගොඩනඟා ගැනීම ජනාධිපතිවරයාගේ නිල චාරිකාවේ අරමුණයි. ශ්‍රී ලංකා - මැලේසියා තානාපති සබඳතා අරඹා වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැති සංවත්සර උත්සවයකටද දෙරටේ ආයෝජකයන් සහභාගි වූ වෙළෙඳ සමුළුවක්ද බ්‍රහස්පතින්දා පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය.
සිය තෙදින නිල චාරිකාවේ දී මැලේසියා රජු වන සුල්තාන් මොහොමඩ් මෙන්ම අග්‍රාමාත්‍ය නජිබ්බින් තුන් අබ්දුල් රසාක් මහතා හමුවීමටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවස්ථාව ලැබිණි. එහිදී දෙරට අතර නව ගිවිසුම් හයකටද අස්සන් තැබීය.
සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැතියත් ඊට ඇමැතිවරුන්ගේ සහභාගිත්වය අඩු වී තිබිණි.
පෙ. ව. 11.30ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කරන විට පැමිණ සිටියේ අගමැතිවරයා ඇතුළුව සාමාජිකයන් පහළොවකට ආසන්න ප්‍රමාණයක් පමණි.

සහල් මිල ඉහළ යෑම නිසා රජයට චෝදනා එල්ල වීම ගැන මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. අමාත්‍යවරු කිහිප දෙනෙක්ම ඒ පිළිබඳව කතා කළහ. "සහල් මිල පාලනය කරන්න නම් ආනයනය කරන්න වෙනවා. ඇතැම් මෝල් හිමියන් මාෆියාව ඇති කරපු නිසා සහල් මිල පාලනය කරන්න බැරි වෙලා"
පී. හැරිසන් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මෙහිදී සහල් ආනයනය කිරීම රජයෙන් සිදු නොකිරීමටත් එය පෞද්ගලික අංශයට දීමටත් තීරණය කෙරිණි.
ඩඩ්ලි සිරිසේන යනු ජනාධිපතිගේ සහෝදරයෙකි. ඔහු ප්‍ර්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙකි. කැබිනට් මණ්ඩලය තීරණය ගනිද්දී ඇතැම් අය තුළ කසුකුසු ඇතිවනු දුටු ජනාධිපතිවරයා මගේ සහෝදරයා ගැන හිත හිතා තීන්දු ගන්න බැහැ යැයි ප්‍රකාශ කළේය. ඊට සෙසු පිරිස සිනාසෙන්නට වූහ.
මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් කළ මාතෘකාව වූයේ ඇමැතිවරුන් 15 දෙනකුගේ අස්සනින් යුතු වාර්තාවකි. මෙම දූෂණ කටයුතු සොයා බලා කඩිනමින් විමර්ශනය කිරීමට වෙනම අධිකරණයක් ඉදිරිපත් කිරීම එහි මූලික හරය විය. රාජිත, පාඨලී, අමුණුගම, අර්ජුන, මද්දුම බණ්ඩාර, තලතා, ෆොන්සේකා ඇතුළු පිරිසක් ඊට අස්සන් තබා තිබුණහ.

ආණ්ඩුව බලයට පත් වූයේ දූෂණ සිදු කළ පුද්ගලයන්ට දඩුවම් දීමේ පොරොන්දුව මත බවත් ඒවා කඩිනමින් කළ යුතු බවත් ඇමැතිවරුන්ගේ අදහස විය. පසුගිය රජයේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ දූෂණ සොයා බලා දඬුවම් කළ යුතු බවද ඔවුහු අවධාරණය කළහ. දූෂණ සොයන්න නිසි යාන්ත්‍රණයක් නොමැති නිසා යුක්තිය ඉටු නොවන තත්ත්වයක් උදා වී ඇති බවත් ඇතැම් නිලධාරීන් විවිධ පුද්ගලයන් මාර්ගයෙන් තම විමර්ශන කටයුතු යටපත් කොට ඇති බවටද එහිදී ප්‍රකාශ කෙරිණි.
මේ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා දූෂණ විමර්ශන කටයුතු කඩිනමින් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අවධාරණය කළේය. දේශපාලන පළිගැනීම් සිදු කරනවා කියන්න ඉඩ නොතබා කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී පාඨලී චම්පික අමාත්‍යවරයා මුදල් ඇමැතිවරයාට චෝදනාවක් නැඟීය. නාගරික සංවර්ධන අධිකාරියට මුදල් නොදෙන බවට චෝදනා කළේය. එසේ තිබියදී නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් ලබා ගැනීමට මුදල් ආමාත්‍යවරයා දරන උත්සාහයටද විරෝධය පළ කළේය. මුදල් ඇමැතිවරයාද මීට එරෙහිව අදහස් දක්වන්නට වූයෙන් කැබිනට් රැස්වීම ගාලගෝට්ටියක් බවට පත් විය.

මේ අතර හම්බන්තොට වරාය චීන සමාගමකට පැවැරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා විමසීය. ඊට පිළිතුරු දුන්නේ වරාය ඇමැතිවරයා නොවේ. අගමැති සහ මලික් සමරවික්‍රම දෙදෙනාය.
චීන සමාගම ඇතැම් කොන්දේසි වෙනස් කරගෙන ඇති බව ඔවුහු කීහ. විශේෂයෙන් කි.මී. 200ක් ඇතුළත පිහිටි වෙනත් වරායන් සංවර්ධනය කළ නොහැකි බවට තිබූ කොන්දේසිද ඔවුහු ඉවත් කරගෙන ඇති බවද පැවැසූහ.

එවැනි වාද විවාද මධ්‍යයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් පත්‍රිකා 20කට පමණ අනුමැතිය පළ කිරීමද සිදු විය.

රාජකාරි වැඩ කිහිපයක්ම යොදා තිබූ නිසා අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා වැඩියෙන් සිටියේ අරලියගහ මන්දිරයේය. ඒ අතර පැමිණ සිටි එ.ජා.ප. මැති ඇමැතිවරු පිරිසක් සමඟ සුහද කතාබහක නිරත වීමට අවකාශ සැලසුණේය.
'හම්බන්තොට වරායේ ස්ට්‍රයික් එක නිල් බළකායෙ එකක් බව තහවුරු වෙලා ඉවරයි. ඔවුන්ට කෑම, බීම, මත්පැන්, සිගරැට් හා සල්ලිත් ඒ පැත්තෙ කුමාරයෙක් බෙදල කියල ආරංචියි' කිරිඇල්ල කීවේය.
'ඔය සේවකයො සමාගමකට අනුයුක්ත කරලා පඩි ගෙවලා දේශපාලන වැඩවලට යොදලා තියෙන්නෙ. සීමා ඉක්මවල ආණ්ඩුවට බලපෑම් කරන්න දෙන්න බැහැ' අගමැතිවරයා පිළිතුරු දුන්නේ දැඩි ස්වරයකිනි.

'මේ අයට රුපියල් පන්දාහෙ කොළත් බෙදලා හම්බන්තොටට නැව් ගේන්න පටන් ගන්නකොටම ඒක කඩාකප්පල් කරන්න හදනවා. මේක භයානක වරායක් ලෙස ප්‍රචාරය කිරීම මොවුන්ගේ උපක්‍රමය වෙලා' දයා ගමගේ කීවේය.
'වරායේ කටයුතු භාර ගන්නා චීන සමාගම මේ සම්පූර්ණ විස්තර චීන රජයටත් දන්වලා කියලා ආරංචියි. මේ කඩාකප්පල්කාරීන් ගැන චීනයත් හිතනවා ඇති. රට සංවර්ධනයේදී බයවෙලා තීන්දු ගන්න බැහැ' අගමැතිවරයා අවධාරණය කළේය.
'වරායේ හිර වූ නැව් මුදා ගන්න නාවික හමුදාව දීපු නියෝගය ඔවුන් ක්‍රියාත්මක කළා. මේ රටේ පුදුම ජනමාධ්‍ය සංස්කෘතියක් තියෙන්නෙ. රටේ ආර්ථිකය ශක්තිමත් කළ ඒ ක්‍රියාන්විතය ගැන කතා නොකර මාධ්‍යකරුවෙක් නාවික හමුදාව ප්‍රකාශයට පත් කළ අධි ආරක්ෂිත කලාපයට බලෙන් ඇතුළු වුණාම තල්ලු කරලා ඔහු ඉවත් කිරීම ගැනයි ජනමාධ්‍ය දැන් කතා කරන්නෙ' වජිර අබේවර්ධන කීවේය.

'යුද්දෙදි නාවික හමුදාව දේශප්‍රේමීන්, වරාය බේර ගන්න කොට ද්‍රෝහීන් වෙලා' අගමැති කීවේය.
සියයට 51ක් හා 49ක අනුපාතයට නැතිව 80යි 20 ක්‍රමයට වරාය චීන රජයේ සමාගමකට බදු දුන්නෙ ඇයිද කියල සමහරු අහනවා' දයා ගමගේ පැනයක් යොමු කළේය.
'එහෙම කළොත් විතරයි චීන ණය කන්දෙන් එගොඩ වෙන්න පුළුවන් වෙන්නෙ. චීනයට මේ වරාය උස්සගෙන යන්න බැහැනෙ. අනෙක මේ සුදු අලියෙක්ගෙ බර තවත් මිනිසුන්ට දෙන්න බැහැ' රවි කරුණානායක පිළිතුරු දුන්නේය.

අනූ නව අවුරුදු වාර දෙකකට වරාය බදු දෙනවාද? ඇමැති නවීන් අගමැතිවරයාගෙන් විමසුවේය.
'ඒක අමූලික බොරුවක්. එහෙම අනූ නව අවුරුදු වාර දෙකකට දෙන ක්‍රමවේදයක් ඇත්තෙ නැහැ. රටට බරක් නොවී වරාය දියුණු කරනවද, අතහැරලා බංකොළොත් වෙන්න ඉඩ හරිනවද කියල විසඳුම් දෙකෙන් රටට ගැළපෙන හොඳම තීන්දුව ගත්තා.' අගමැතිවරයා පිළිතුරු දුන්නේය.
'වරාය භාර දෙන ජනවාරි 7 උත්සවයට මහින්ද රාජපක්ෂටත් විශේෂ ආරාධනාවක් කරන්න ගත්ත තීන්දුව වැදගත්. එතුමාට කතාවක් දුන්නම වරාය බදු දීම ගැන ස්ථාවරයත් කියාවි.' නවීන් දිසානායක කීවේය.

වෙබ් අඩවිවලට අලුත් නීති ගේනවාද? වජිර අගමැතිවරයාට ප්‍රශ්නයක් යොමු කළේය.
'ඔව්. ජාතිවාදය, ආගම්වාදය, රට ගිනි තැබීම වැනි වැරැදි ප්‍රවෘත්ති දෙන වෙබ් අඩවිවලට විරුද්ධව ලබන අවුරුද්දෙ නීති ගේනවා' අගමැතිවරයා පිළිතුරු දුන්නේය.
'දිගට හරහට මත්ද්‍රව්‍ය අල්ලන එක විශාල සහනයක්. රාජපක්ෂ යුගයේ කොච්චර මත්ද්‍රව්‍ය රටට එන්න ඇද්ද' නවීන් කීවේය.
'බ්‍රසීල සීනි එක්කයි මත්ද්‍රව්‍ය එන්නෙ. වෙන රටකින් සීනි ගෙන්වීම ගැන ආණ්ඩුව හිතනවා' අගමැතිවරයා ඊටද පිළිතුරු දුන්නේය.
'අර නත්තල් ගසට රුපියල් දස ලක්ෂ දෙසීයක් රටේ සල්ලි වැය වෙනව කියල කවුද කෙනෙක් අගරදගුරුතුමාට වැරැදි ප්‍රවෘත්ති දීලා. මමයි, රවියි ඒක නිවැරැදි කළා. අගමැතිවරයා තවත් කතාවක් හෙළිදරව් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ඉරිදා ගොඩකවෙල විහාරස්ථානයක පැවැති ආගමික වැඩසටහනකට සහභාගි විය. රන්ජිත් සොයිසා, ජානක වක්කුඹුර, පවිත්‍රා ඇතුළු පිරිසක්ද ඊට එක් වී සිටියහ.
එම උත්සවයට ආණ්ඩුව නියෝජනය කරමින් පැමිණ සිටියේ ජෝන් සෙනෙවිරත්නය.
'ආ... ජෝන් කොහොමද... ඔයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක් නේද. මොකද සද්ද බද්ද නැතිව පැත්තකට වෙලා' මහින්ද විමසීය.
'මොනවා කරන්නද සර්, අපිත් ඔහේ ඉන්නවා.'
ජෝන් දුන්නේ එවැනි පිළිතුරකි.

'ඔහේ නිකං ඉඳලා හරියන්නෙ නැහැ. ආණ්ඩුවෙ ෆුට්බෝඩ් එකේ එල්ලිලා ඉඳලා වැඩක් නැහැ. අපේ පැත්තට එන්න' මහින්දගෙ ආරාධනාව ගැන වචනයක් හෝ ප්‍රකාශ නොකිරීමට තරම් ජෝන් පරෙස්සම් වූයේය. ඒ බව දුටු මහින්ද යළිත් මෙසේ කීවේය.
අපි එන්න කිව්වට හරියන්නෙ නෑනෙ, ලේලිගෙනුත් අහන්න එපායැ. හැබැයි ලේලි නම් අපිට බැහැලම වැඩ' එසේ කියමින් මහින්ද වටපිට බැලුවේය. පවිත්‍රා ද ළඟ පාතක සිටි නිසා ඔහු ඇයට කතා කළේය.

මාම නම් එන්න ලෑස්ති වගේ, එනවට ලේලි කැමැතිද?'
අනපේක්ෂිතව තම නායකයා ඇසූ ප්‍රශ්නයට පවිත්‍රා දුන්නේ මෙවැනි ලිස්සනසුලු පිළිතුරකි.
සර්රුත් විහිළුමනෙ කරන්නෙ'

විහිළු නොවෙයි දැන් මේගොල්ලො ඉන්නෙ දිවුල් ගහේ නැග්ග වගේ. ඒ හින්ද අපි මොනව හරි කරන්න ඕන.'
මහින්ද කීවේ තමන් කරන්නේ විහිළුවක් නොවන බව අවධාරණය කරමින්ය.
උඳුවප්පුර පසළොස්වක පොහෝ දින යෙදුණු අඟහරුවාදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ කාල්ටන් නිවෙසේ පැවැති ධර්ම දේශනා වැඩසටහනට සහභාගි විය. මෙවර පැවැත්වුණේ ධර්ම දේශනා මාලාවේ 157 වැන්නයි. ගාමිණී ලොකුගේ, ඩී. වී. චානක, රංජිත් සොයිසා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
ධර්ම දේශනාව අවසන් වීමෙන් පසුව ඔවුන්ගේ කතාබහට ලක් වූ ප්‍රධාන කරුණක් වූයේ හම්බන්තොට වරායේ සිදුවීමයි.
හම්බන්තොට වරායේ ඉන්නෙ නිල් බළකායෙ අයයි කළුතර අයයි කියල අර්ජුන රණතුංග කිව්වත් එයා දමාපු හැට අටකුත් එතැන ඉන්නවා' යැයි ඩී. වී. චානක මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

'ආණ්ඩුව හදන්නේ මේ සිද්ධියත් ඔබතුමාගෙ පිටට දාන්න' මට නම් ආරංචි විදියට උද්ඝෝෂණය කරන්න කියල තියෙන්නෙත් ඇමැතිතුමාමයි. මොකද එයා වරාය විකුණනවට විරුද්ධ නිසා. හැබැයි සේවකයො වරාය විකුණන්න එපා කියන ගමන් රස්සාවල් ස්ථිර කරන්න කියලත් කියන්න ගත්තා. අර්ජුන ඇමැතිතුමාට කේන්ති ගිහිං තියෙන්නේ ඒකයි.'
ලොකුගේ කීවේය.

'හම්බන්තොට රස්සා දෙනකොට අපි පක්ෂ බේද බැලුවේ නැහැ. අපි ප්‍රමුඛතාව දුන්නෙ ඉඩම් අහිමි වුණු පවුල්වල අයට. හැබැයි මොනවා වුණත් හම්බන්තොට වරාය විකුණන එකට මම නම් විරුද්ධයි. අපේ ආණ්ඩුවක් ආවම අනිවාර්යයෙන්ම හම්බන්තොට වරාය නැවැත පවරා ගන්නවා' මහින්ද කීවේය.
ජාතික බලවේගයේ මාතර දිස්ත්‍රික් රැස්වීම පැවැත්වුණේ අඟහරුවාදා සවසයි. ඩලස්, මහින්ද යාපා, ප්‍රසන්න, කංචන, ජී. එල්. ඊට සහභාගි වූයේ හිටපු ජනපති මහින්ද සමඟය.

රැස්වීම අතරතුර මහින්ද අසලට පැමිණි දකුණේ හිටපු මහ ඇමැති එච්. ජී. සිරිසේන,
'අපි හැමදාම ඔබතුමා එක්ක ඉන්නවා' යැයි ප්‍රකාශ කළේය.
රැස්වීමෙන් අනතුරුව දකුණු පළාත් සභා මන්ත්‍රිවරු කීපදෙනෙක් මහින්ද අසලට පැමිණ දකුණු පළාත් සභාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්නට වූහ. පළාත් සභාවේ වැය ශීර්ෂ කිහිපයක්ම පරාජය කරන්නට හැකිව තිබූ බව ඔවුහු මහින්දට පැහැදිලි කළහ.
'කලබල වෙන්න එපා. ආණ්ඩුවට රතු එළියක් පෙන්නන එක හොඳයි. හැබැයි ඒකෙ වාසිය යූ.ඇන්.පී.යට යන්න දෙන්න හොඳ නැහැ.'
මහින්ද උපදෙස් දුන්නේය.

මේ අතර හම්බන්තොට වරායේ තත්ත්වය පිළිබඳ මෙහිදී කතාබහට ලක් වූයේය.
'ආණ්ඩුව කියන්නෙ හම්බන්තොට වරාය විකුණන එකට ඔබතුමා විරුද්ධ වුණේ නෑ කියලයි' ප්‍රසන්න රණතුංග කීවේය.
මොන පිස්සුද, මම මුලින්ම විරුද්ධ වුණා. පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා, හමුවුණු වෙලාවෙත් මම ඒක කිව්වා.' මහින්ද ප්‍රකාශ කළේය.
මේ වර්ජනය පිටිපස්සෙ රාජපක්ෂවරු ඉන්නව කියලයි ආණ්ඩුව කියන්නෙ. සේවක ප්‍රශ්නයට වගකියන්න ඕනෑත් ඔබතුමා කියලා මේ අය චෝදනා කරනවා' කංචන විජේසේකර කීවේය.

ඔය සේවකයො ගත්ත එක ගැන ආණ්ඩුව මවන්න හදන්නෙ වෙන කතාවක්. හැබැයි මම ඊයේ පෙරේදා සිද්ධියෙන් පස්සෙ ජනාධිපතිතුමාටත් දුරකතනයෙන් කතා කරල වරාය සේවකයො ඉවත් කරන්න එපා කියල ඉල්ලුවා.'

මහින්ද සඳහන් කළේය.
කොහොමටත් මේ ආණ්ඩුවට තියෙන්නෙ මහින්ද ෆෝබියාව. ඒකනේ හැමදේකටම ඔබතුමාවම අල්ලගන්නෙ' ප්‍රසන්න කීවේය.
නාවික හමුදාපතිතුමා මාධ්‍යවේදියාට පහර දුන්නු එක සාධාරණීයකරණය කරන්න ගිහින් ආණ්ඩුව හත්පොළේ ගාගන්නවා' ඩලස් පැවැසීය.
වැඩේ කියන්නෙ ආණ්ඩුවේ උදවිය පහර කෑ මාධ්‍යවේදියා මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනි ලෙස කටයුතු කරලා තියෙනව කියල චෝදනා කරනවා. නාවික හමුදාපතිවරයා ආචාරධර්ම කඩපු එක ගැන කතා නෑ' ඩලස් යළිත් කීවේය.

හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියකුට පහර දීම් ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් දේශපාලන වැඩවලදීත් මාධ්‍ය හමුවලදීත් කළු පටි පලඳින්නට තීරණයක් ගෙන තිබිණි. ඒ අනුව සඳුදා රාත්‍රි පැවැති රූපවාහිනි වැඩසටහනකට සහභාගි වූයේ කළු පටියක්ද සාක්කුවේ දමා ගෙනය. එහෙත් ඔහුට එය පලඳින්නට මතක් වූයේ නැත.

ඊට සහභාගි වී සිටි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා සජීවී වැඩසටහන අතරතුර ප්‍රසන්න රණතුංගට එය මතක් කරන්නට රහසිගත උත්සාහයන් රැසක්ම ගත්තේය. එහෙත් ප්‍රසන්නට එය අවබෝධ නොවීය. ඩලස් කියූ දේ තේරුම් ගන්නා විට වැඩසටහනට බොහෝ වේලාවක් ගත වී තිබුණේය.

කතානායක කරු ජයසූරිය ආරම්භ කළ පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වන හමුවීම් කිහිපයක් පසුගිය දිනවල යෙදී තිබිණි. ශ්‍රී ලංකාවට පැමිණි තජිකිස්තාන් ජනාධිපති ඉමෝමාලි රහ්මාන් හමුවූයේ කොළඹ හිල්ටන් හෝටලයේදීය. මෙහිදී දෙරටේ පාර්ලිමේන්තු ක්‍රියාදාම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සිය රටේ සංචාරයකට පැමිණෙන ලෙස තජිකිස්තාන් ජනාධිපතිවරයා ඇරැයුම් කළේය. එම ඇරැයුම් පිළිගත් කතානායකවරයා පළමුව තජිකිස්තාන්හි පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසකට මෙරට සංචාරයකට එක්වන ලෙස ආරාධනා කළේය. සීෂෙල්හි සිටි පළමු ජනාධිපති ශ්‍රී මත් ජේම්ස් මාන්චම් සමඟ හමුවක්ද කතානායක නිල නිවෙසේදී පැවැත්විණි. එහිදී දෙදෙනා අතර දිගු මිත්‍රශීලී කතාබහක් ඇති වුණේය.

කතානායක කරු ජයසූරියගේ කනිටු දියණිය වූ ඉන්දිරා සිහිපත් කරමින් පියයුරු පිළිකාවෙන් ශ්‍රී ලාංකේය කාන්තාවන් බේරා ගැනීමේ ව්‍යාපෘතියක් ජයසූරිය පවුලේ සාමාජිකයෝ ආරම්භ කළහ. ඉදිරි මාස තුන ඇතුළත වැඩසටහන් තුනක් ඔස්සේ එය ක්‍රියාවට නැංවෙයි. "මගේ දියණියට වූ විපත තවත් දියණියකට සිදු නොවීම තම අරමුණ" බවද කතානායකවරයා ප්‍රකාශ කළේ දැඩි සංවේදී බවකින්ය.

බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට, පොලිසියට හා පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහන පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැත්වූණේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. "බුද්ධික පතිරණ මන්ත්‍රිතුමා වචනාර්ථයෙන්ම හොඳ ජනතා සේවකයෙක්. පැය විසිහතරම වැඩ කරනවා. අද පාර්ලිමේන්තුවේ පසුපසම සිටියත් වැඩිකල් නොගොස් ඉදිරිපස පේළියට එනු ඇතැයි තමා විශ්වාස කරන බවට එහිදී කතානායකවරයා බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාට චරිත සහතිකයක්ද දුන්නේය."
හම්බන්තොට වරායේ සේවක උද්ඝෝෂණය බ්‍රහස්පතින්දා අවසන් වූයේ දින 9ක විරෝධතාවකින් පසුවයි. නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහරදීම පිළිබඳ මාධ්‍යවේදියාටම චෝදනා කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ රංග කලංසූරිය ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය. ඒ පිළිබඳ මාධ්‍ය සංගම්වලින් චෝදනා නැඟෙන විට පහරදීම හෙළා දැකීමට ඔහුට මතක් වූයේ බ්‍රහස්පතින්දාය.

මේ අතර බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේදී නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන හා අග්‍රාමාත්‍යවරයා මුණගැසුණහ. හම්බන්තොට වරායේ තත්ත්වය පාලනය කිරීමට නාවික හමුදාව කටයුතු කළ ආකාරය මෙහිදී අගමැතිවරයාගේ පැසසුමට ලක්වූයේය.
මේ අතර තමන් බලයට පත් වූ පසුව හම්බන්තොට වරායේ සේවකයන් සියලු දෙනා වරාය අධිකාරියට ගන්නා බව නෙලුම් මාවත පිහිටි කාර්යාලයේදී බ්‍රහස්පතින්දා මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනපති මහින්ද කීවේය. ඔහු වරායට සේවකයන් බඳවා ගෙන තියෙන්නේ මෑන් පවර් සේවකයන් ලෙසයි. ඔහුට සේවකයන් ස්ථිර කරන්නට මතක් වී ඇත්තේ බලය නොමැති පසුබිමක් තුළදීය.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් මානව හිමිකම් විද්වත් සංසදය මඟින් සංවිධානය කළ උත්සවයක් කදීර්ගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඉරාන් වික්‍රමරත්න, විජිත හේරත්, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් ඇතුළු ප්‍රධාන ආරාධිතයෝ ඊට සහභාගි වී සිටියහ.
"මානව හිමිකම් දින උත්සවයට හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය සහභාගි වීම සතුටට කරුණක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එතුමියගේ මානව හිමිකම් ගැන කතා කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ" විජිත හේරත් තම දේශනයේදී පැවැසීය.
මෙහි ප්‍රධාන දේශනය සිදු කළේ දිල්රුක්‍ෂි ඩයස් විසිනි. මම තනතුරෙන් ඉවත් වුණාට වංචාවට දූෂණයට එරෙහිව කරන අරගලය මම මැරෙනතුරු අත්හරින්නේ නැහැ" ඇය අවධාරණය කළාය.

උත්සවයෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. ආරාධිතයන් ඇතුළු නීතිඥවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු පිරිසක් ඔවුන් සමඟ සුහද කතා බහක යෙදී සිටියහ. දිල්රුක්‍ෂිට යන්න වුණේ ආණ්ඩුවේ ඇමැතිලාගේ ෆයිල් ඕපන් කරපු නිසා යැයි එහිදී බොහෝ දෙනෙක් ප්‍රකාශ කළහ.
වරාය සේවකයන්ගේ උද්ඝෝෂණයේදී නාවික හමුදාපතිවරයා කටයුතු කළ ආකාරය පිළිබඳ බොහෝ දෙනකුගේ කතාබහට ලක්වී ඇත. ඒ අතර වෛද්‍ය නලින්ද ජයතිස්ස නාවික හමුදාපති ගැන අප්‍රකට කරුණක් සුනිල් හඳුන්නෙත්තිට හෙළි කළේය.

"මේ නාවික හමුදාපතිවරයා යෝෂිත රාජපක්‍ෂට නියමිත සුදුසුකම් නැතිව නාවික හමුදාවේ ඉහළ තනතුරක් ලබාදීම ගැන විමර්ශනය කරන්න කියලා අපි ආරක්‍ෂක ලේකම්ට ලිපියක් දුන්නා. ඒ වෙලාවේ විමර්ශනවලට කැඳවපු ප්‍රධාන නිලධාරියා මේ නාවික හමුදාපතිවරයායි. ඔහු තමයි යෝෂිත රාජපක්‍ෂට සියලු පහසුකම් ලබාදෙමින් ඔහුගේ සුදුසුකම්වලට එහා ගිය නිලතල ලබාදෙන්න කටයුතු කරලා තිබුණේ" නලින්ද ජයතිස්ස කීවේය.
"හමුදාපති විදියට උඩට එන්න ලැබිලා තියෙන්නේ රාජපාක්‍ෂික වුණු නිසා වෙන්න ඇති. එහෙම කරපු කෙනා දැන් මේ ආණ්ඩුවේ අවධානය ගන්න මාධ්‍යවේදීන්ට පහර දෙනවා"
හඳුන්නෙත්ති දුන්නේ එවැනි පිළිතුරකි.

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය දිනෙක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දුරකතන ඇමැතුමක් දෙමින් "මොකද්ද සජිත් මේ හම්බන්තොට ගෝරිය?" යැයි විමසුවේය. වරායෙන් රක්ෂා ලක්ෂයක් දෙන්න පුළුවන් කියලා ඉල්ලුම් පත්‍ර ලක්ෂ ගණනක් අච්චු ගහලා හිටපු ජනාධිපතිතුමාගේ කාලේ පසුගිය මැතිවරණ හතරකදී හම්බන්තොට පැත්තෙ බෙදුවා. අන්තිමට රක්ෂා දුන්නේ 500කට විතරයි. ඒවත් වරාය අධිකාරියෙ නොවෙයි ප්‍රයිවට් කොම්පැනියක. දැන් මිනිස්සු තමන් වරාය අධිකාරියට ගන්න කියලා අපි කන්න හදනවා." සජිත් කීවේය. "අපරාදේ, ඒ මිනිස්සුන්ට ඒ ප්‍රශ්නය ඒ කාලෙම බේරුමක් කර ගන්න බැරි වුණේ ඇයි?" යැයි මද්දුම බණ්ඩාර විමසුවේය. "ඒ කාලේ මේ වගේ ස්ට්‍රයික් කළා නම් නවතින්න වෙන්නේ මිනී පෙට්ටියෙ කියලා ඒ අය දන්නවා"
සජිත් කීවේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් මේ දිනවල ජපානයේ චාරිකාවක නිරත වී සිටිති. එම දූත පිරිස එරට ආයෝජකයන්, දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනකු හමුවී සාකච්ඡා පැවැත්වූහ.
මේ අතර ඔවුහු යසුෂි අකාෂිද හමුවූහ. යසුෂි අකාෂි ශ්‍රී ලංකාවට සාම නියෝජිතයකු ලෙස පැමිණි ජනප්‍රිය පුද්ගලයෙකි.
ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට ජපානයේ රැකියා අවස්ථා සලසන ලෙස ඔවුහු අකාෂිගෙන් ඉල්ලා සිටියහ. පිලිපීනයෙන් හා ඉන්දුනීසියාවෙන් වෘත්තිකයන් ගෙන්වා ගැනීමේ අවස්ථා ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන බව අකාෂි එහිදී පොරොන්දු වූයේය.

පසුගිය නොවැම්බර් මාසයේදී පැවැති ශ්‍රී ල.මු.කො. සමුළුවේදී පක්‍ෂයේ 'මහ ලේකම්' ලෙස හසන් අලි සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රි මන්සූර් කාදර්ව 'ලේකම්' ලෙස පත් කළේය. මේ ප්‍රශ්නය දිග්ගැස්සුණේ පක්‍ෂයේ ලේකම් කවුද යන්න දෙසැම්බර් 15 වන විට මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස ප්‍රකාශ කිරීමත් සමඟින්ය.
මේ පිළිබඳ තීරණයක් ගැනීමට බදාදා කොම්පඤ්ඤවීදිය පිහිටි කාර්යාලයේදී මුස්ලිම් කොංග්‍රසය රැස්වුවද ඊට හසන් අලි නොපැමිණියේය. එම හේතුවෙන් ප්‍රශ්නය විස¼දා ගැනීමට මුස්ලිම් කොංග්‍රසයට නොහැකි විය. ලේකම් හෝ මහලේකම් පිළිබඳ තීරණයක් ගැනීම ජනවාරි 2 වැනිදාට කල් ගියේය. ජනවාරි 7 මහා සම්මේලනයේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

පසුගිය බ්‍රහස්පතින්දා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය එහි ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ පක්‍ෂ නායක විමල් වීරවංශ ඒ වන විට විදෙස්ගතව සිටි බැවිනි.
මෙහිදී ජා.නි.පෙ. දේශපාලන මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වූයේ හම්බන්තොට වරාය විකුණා දැමීම හා බැඳුණු සිදුවීම් පිළිබඳවය.
'මේ දිනවල හම්බන්තොට වරාය හා බැඳුණු සිදුවීම් දාමය ආරම්භ වූයේ එම වරාය චීන සමාගමකට විකුණා දැමීමට වත්මන් ආණ්ඩුව ගත් තීරණයත් සමඟයි. සුළුපටු කාලයකට නොවෙයි, වසර 198කටයි හම්බන්තොට වරාය මෙසේ විකුණා දමන්නේ. ඒක 99 අවුරුදු බදු දෙකක කාලසීමාවක්. සාමාන්‍යයෙන් යම් දේපොළක් 99 අවුරුද්දකට බදු දෙනවා කියන්නේ, සින්නක්කරම විකුණනවා වගේ වැඩක්. ඒ අනුව මෙතැනදී මේ ආණ්ඩුව කරලා තියෙන්නේ හම්බන්තොට වරාය දෙවතාවක් විකුණනවා වගේ වැඩක්. මේ විදියට මේ රටේ ජනතාව සතු වටිනාම සම්පතක් අපේ උපනූපන් පරම්පරා ගණනාවකට අහිමි වෙනවා. මේ වරාය යළි ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතව ඇත්තේ 2215 දීයි. එවිට මෙය චීනයේ භූක්තියට සවිවී නොතිබේවිද?, මහ ලේකම් ජයන්ත සමරවීර කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව සෙනසුරාදා පාර්ලිමේන්තුවට නව යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර නාමික තනතුරක් බවට පත් කළ යුතු බවටය. උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන්ගේ මූලිකත්වයෙන් එය ඉදිරිපත් කොට තිබිණි. සෙසු පළාත් සභාවලට එය අදාළ කර ගත යුතු නැති බවද එහි සඳහන්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon