මෛත්‍රිට ගමට යන්න බැරිද?

  👤  7659 readers have read this article !
2016-12-15

'මහින්ද මහත්තයා එක්ක මෛත්‍රි මහත්තයා ගමට ගියොත් අපේ පාක්ෂිකයෝ මහින්ද මහත්තයවත් එළවා ගන්නවා'

මෑතකදී පැවැති රැස්වීමකදී මේ කතාව කියල තිබුණේ මහින්දගෙ මුල් පෙළේ ආධාරකරුවෙක් වන ප්‍රසන්න රණතුංග. ප්‍රසන්න කියන විදියට ශ්‍රී ලනිපයේ පාක්ෂිකයන්ගේ හිත දිනාගන්න මෛත්‍රිට කවදාවත්ම බැහැ. මෛත්‍රි ශ්‍රී ලනිපයේ හතුරෙක් විදියටයි ඔවුන් සලකන්නෙ.

'මේ කතාවේ ඇත්තක් නැහැ කියලා කියන්නත් අමාරුයි.' ප්‍රසන්නගේ කතාව අහන් හිටපු කෙනකුට එහෙම හිතෙන්න පුළුවන්.
ඇත්තටම ඇයි එහෙම හිතෙන්නේ.

දිනන්න මිස පරදින්න හිතාගෙන නෙවෙයි අවුරුදු දෙකක් ඉතිරිව තිබියදී මහින්ද 2015 ජනවාරියේ හදිසි ජනාධිපතිවරණයකට ගියේ. දෙමළ, මුස්ලිම් සුළු ජාතිකයන්ගේ ඡන්ද ටික නැති වුණත් සිංහල ජනතාවගේ ඡන්ද බහුතරයෙන් ගොඩ යන්න තමයි ඔහු ගණන් හැදුවේ. හරියටම 2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරද්දලා මහින්ද නූලෙන් ජාම බේරගත්ත වගේ. ඒ වෙලාවේ මහින්දගේ වාසනා චක්‍රය කැරකුණත් මේ වතාවේ වැඩේ වැරැදුණා.

උතුරේ දෙමළ ඡන්ද ටික බ්ලොක් කරගත්තෙ එල්ටීටීඊයට 'සල්ලි' දීලා කියලනෙ සමහරු කියන්නේ. අනෙක් පැත්තෙන් ජවිපෙ එක්ක එකතු වෙලා රනිල් කොටියා කියලා කරපු ප්‍රචාරය නියමෙට වැඩ කළා.

රනිල් දිනුවොත් කොටියට රටෙන් කෑල්ලක් දෙයි කියලා හිතුව සිංහල විශේෂයෙන්, සිංහල බෞද්ධාගමිකයන් මහින්දට ඡන්දෙ දුන්නා. දකුණේ සිංහල බහුතරයේ ඡන්දෙන් මහින්ද ජනාධිපති පුටුවේ ඉඳගත්තා. රට බෙදල දෙන්න කොටි එක්ක ගිවිසුම් ගැහැව්ව නම් රනිල්ව කොටි පැරැද්දුවේ මොකද කියල හිතන්න තරම් ඕනෑකමක් දකුණේ බොහෝ දෙනකුට තිබුණේ නැහැ.

හරියටම අවුරුදු 10කට පස්සේ මහින්ද ජනාධිපතිවරණයට ආවේ ජයග්‍රහණය නළලේ කොටාගෙන.

එහෙත් මහින්දට වැඩේ වැරැදුණේ කාරණා කිහිපයක් නිසා. තමන්ගෙ පක්ෂයේ මහ ලේකම්, කැබිනට් ඇමැතිවරයකු වුණු මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂයට එකතු වීම එකක්. දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඡන්දවලින් අති බහුතරය ලබාගැනීමට නොහැකි වීම තවත් එකක්. අනෙක් කාරණය ජවිපෙ ඇතුළු පක්ෂ කිහිපයක්, සෝභිත හාමුදුරුවො ප්‍රමුඛ සිවිල් සංවිධාන රැසක් මහින්දට එරෙහිව දරුණු විවේචනයන් එල්ල කිරීම.

සුළු ජාතික ඡන්ද බහුතරය මෛත්‍රිට ලැබුණත් සිංහල ජාතික ඡන්ද බහුතරය ලැබුණ නම් කෙස් ගහෙන් හරි දිනන්නෙ මහින්ද. එහෙත් දකුණේ සබුද්ධික කොටස්වලින් එල්ල වූ විවේචන නිසා සැලකිය යුතු සිංහල ඡන්ද සංඛ්‍යාවක් විශේෂයෙන් තරුණ ඡන්ද මෛත්‍රිට පාවිච්චි වුණා.

8 වැනිදා රෑ අරලියගහ මන්දිරයේ ඉඳලා රජයේ හෙලිකොප්ටරයකින් බෙලිඅත්තට ගිය මහින්ද ගෙදර ජනේලයක එල්ලීගෙන 'මම පැරැදුණේ ඊළමේ ඡන්දවලින්' කියද්දී එතැන රැස්වී සිටි පාක්ෂිකයන් අතුරින් එක් අයෙක් හඬ ගෑවේ 'සර් මරල හරි බලය ගන්න තිබුණා කියාය. හදිස්සියේ ඡන්දයෙන් පරාජය වුණොත් බලය අල්ලාගෙන සිටීමට 'මාලිගා කුමන්ත්‍රණයක්' තිබුණු බවද පසුව කියැවිණි.

විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා ප්‍රමුඛ 'නඩය' අදත් වෙහෙසෙන්නේ ගමේ මහින්ද පාක්ෂිකයන්ගේ ඒ 'මානසිකත්වය' නඩත්තු කරමින් පවත්වාගෙන යන්නය.

'මහින්ද සමඟ නැඟිටින්න ලක්ෂ 58ම කොළඹ එන්න' කියලා නුගේගොඩින් පටන් ගත්ත ගමේ පාක්ෂිකයා මහින්ද ළඟ රඳවගන්න ඔවුන් ගහපු ගැටය හරි ගියා.

මෛත්‍රිට අඬගහලා පක්ෂයේ සභාපති පුටුව දුන්නෙ මහින්ද කියලා මෑතකදී නිමල් සිරිපාල කියලා තිබුණා. ඒත් මහින්ද නම් පස්සෙ කිව්වෙ මෛත්‍රි 'පුටුව' බලෙන් ගත්තා කියලා. අඬගහලා දුන්න හරි බලෙන් ගත්ත හරි ශ්‍රී ලනිප සභාපති පුටුවෙ ඉඳගත්තට පස්සෙ මෛත්‍රි වැඩ කරපු තාලේ නිසා තමයි ප්‍රසන්න කියනව වගේ ගමේ පාක්ෂිකයන් මහින්දගෙන් ගලවා ගන්න බැරි වෙලා තියෙන්නෙ.

නුගේගොඩ රැස්වීමට ගිය ප්‍රසන්න රණතුංග ඇතුළු මුල් පෙළේ ක්‍රියාකාරීන් අතළොස්සටත් අඩු ගණනට දඬුවමක් දුන්නා නම් අනෙක් කට්ටිය බයවෙනවා. සෝභිත හාමුදුරුවො මෛත්‍රි ගැන කලකිරෙන්න එක් හේතුවක් වුණේ නුගේගොඩ රැස්වීමට ගිය ශ්‍රී ලනිපයේ අයට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම කියල කියැවිණි.

මහින්ද පරාදයි කියල දැනගත්තට පස්සේ සුදු රෙද්ද ගලවලා දාලා කලිසමට බැහැලා බිරිය එක්ක ඇමෙරිකාවට පලා ගිය බැසිල් පෙරළා ලංකාවට ඇවිත් ශ්‍රී ලනිපයේ ක්‍රියාකාරීන් පිරිසක් අල්ලගෙන පොහොට්ටු පක්ෂයක් හදාගන්න තරම් 'චණ්ඩියා' වුණේය. පක්ෂයේ නායකයා විදියට මෛත්‍රි අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට නොකළ නිසා මේ සියල්ල වුණේ කියලා තමයි සමහර මහින්ද විරෝධී පාක්ෂිකයෝ කියන්නේ. මෛත්‍රිගේ ප්‍රධාන උපදේශකයෙක් වන මලිත් ජයතිලක 'ජනවාරි 8' කියල ලියපු පොතේ තියෙන විදියට නම් 2015 ජනවාරි 09 වැනිදා ඉඳලම 'කට්ටිය' උත්සාහ කරල තියෙන්නෙ රාජපක්ෂලා එක්ක සමාදානයට ගිහින් තනි ශ්‍රී ලනිප ආණ්ඩුවක් හදන්න. එහෙත් අවසානයේ සිද්ධ වුණේ මෛත්‍රිව බිත්තියට හේත්තු කරලා මහින්ද පක්ෂයෙන් නොමිනේෂන් ගත්ත එක. ඒ විතරක් නෙවි මෛත්‍රිට සහාය දුන්න පක්ෂයේ අපේක්ෂකයන් පරද්දලා තමන්ගේ හිතවත් අපේක්ෂකයෝ ටික පාර්ලිමේන්තුවට යවා ගත්ත. මෛත්‍රිට සිද්ධ වුණේ හිතවත් පරාජිතයන්ව ජාතික ලැයිස්තුවෙන් පත්කර ගන්න. සෝභිත හාමුදුරුවෝ මේ වැඩේ ප්‍රසිද්ධියේම විවේචනය කළේය. මහින්දට අගමැතිකම නොදෙන බව කිව්ව නිසා මහින්දට හිතවත් පාක්ෂිකයන් මෛත්‍රි එක්ක තවත් තරහ වුණා වගේම මහින්දට නොමිනේෂන් දීම නිසාත්, පරාජිතයන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර දීම නිසාත් සද් චේතනාවෙන් පොදු අපේක්ෂකයාට ඡන්දය දුන්න අයත් මෛත්‍රි එක්ක හිත නොහොඳ වුණා.

සත්‍යගරුක, යුක්තිගරුක වඩා යහපත් හෙටක් වෙනුවෙන් අපේක්ෂා දල්ව ගත්ත බොහෝ දෙනකුගේ බලාපොරොත්තු සුළඟේ පාවෙලා ගියේ අගෝස්තු මහ මැතිවරණයෙන් පස්සේ. මේ වෙනකොට නම් කිසිදු බලාපොරොත්තුවක් නැති තරම්. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ නම් කිව්වේ තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න කියලා. ඒත් තාමත් කරන්නෙ පිටි අනන එකය.

මහින්දට බලය තිබුණු කාලේ ශ්‍රී ලනිපය මෙහෙයෙව්වේ මහින්ද චින්තනයට අනුව. බණ්ඩාරනායක ප්‍රතිපත්ති කුණු කූඩෙට දාලා තිබුණෙ. බණ්ඩාරනායක මහත්තයගෙ හෝ මැතිනියගේ පින්තූරයක් වත් අහලකට ගත්තේ නැහැ. බණ්ඩාරනායක සමරු උත්සව තිබුණේද නැත. ඒ වෙනුවට තිබුණේ ඩී.ඒ. රාජපක්ෂ සමරු. ලේක්හවුස් පත්තර එක්ක දුන්නෙ ඩී.ඒ. සමරු කලාප. බණ්ඩාරනායක ගැන ලිපියක් විතරයි පළවුණේ. මේව ගැන ඒ කාලේ කවුරුත් කතා කළේ නැහැ. අඩු ගණනෙ මෛත්‍රිවත් ප්‍රසිද්ධියේ මුකුත් කිව්ව කියල මතකයේ නැහැ. එහෙම කරපු මහින්දයි - ගෝලයො ටිකයි කියනව මෛත්‍රි ශ්‍රී ලනිපය එජාපයට පාවාදීලා කියලා. පොහොට්ටුවේ බැසිල්ලා කියන්නෙත් එහෙමයි. මෛත්‍රිගේ කතාවලදි මහින්දලා, බැසිල්ලා, ගෝඨාභයලා, නාමල්ලා ඒ දවස්වල කරපු කියපු දේවල් කොච්චර කිව්වත් තවමත් ශ්‍රී ලනිප පාක්‍ෂිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඒ කතා ගණන් ගන්නෙ නැහැ. ඔවුන්ට අනුව පක්‍ෂයට ද්‍රෝහි වුණේ මහින්ද නෙවි මෛත්‍රිය. වරද තියෙන්නේ මෛත්‍රි අතේ. සැරින් සැරේ තැන තැන එක එක කතා නොකිය සභාපති පුටුව ගත්ත ගමන් 'ඒ ඊධ ඛ' ඔක්කොම පාක්‍ෂිකයන්ට කිව්ව නම් වැඩේ ගොඩ දාගන්න තිබුණා.

ශ්‍රී ලනිපයේ මෛත්‍රි - මහින්ද පාර්ශ්ව අතර ඇති ආරවුලෙන් රටට ඇති වැඩක් නැහැ. පාක්‍ෂිකයන්ට මිස බහුතර ජනතාවට ඒ කිසිම දෙයක් අදාළ නැහැ. එහෙත් සිද්ධ වෙලා තියෙන්නෙ සභාපති පුටුවේ ඉඳගෙන ශ්‍රී ලනිපය රකින්න යෑම පොදු අපේක්‍ෂකයා ලෙස ජනතාවට දුන්න පොරොන්දුවලට හරස් වීම. මෛත්‍රිට පක්‍ෂයයි - රටයි දෙක එකට පැටලිලා තියෙන්නෙ. හරියට මහින්දට රටයි - පවුලයි පැටලුණා වගේ. වෙනසකට ඡන්දය දෙන්න කිව්වට දැන් පක්‍ෂ දෙකම කතා කරන්නෙ 2020 තනි ආණ්ඩුවක් පිහිටුවන හැටි ගැන. පුංචි ඡන්දෙන් මුල් තැනට එන හැටි ගැනයි කතාව. තනි බලයක් ගන්න 'සිහිනය' මිස මේ කට්ටිය දුන්න බලය පාවිච්චි කරල දුන්න පොරොන්දු ඉටුකරන්න ඕනෑකමක් නැති බවයි පෙනෙන්නේ.

ශ්‍රී ලනිපයේ ලේකම්තුමා මෑතකදී කියල තිබුණ අපි මහින්දට ආදරේ වුණාට මහින්ද අපිට ආදරේ නැහැ කියලා. තවමත් මේ කට්ටියට ඕනෑ මහින්දගේ ආදරේ ලබන්න. මෛත්‍රි - මහින්ද එකතු කරන්න. ශ්‍රී ලනිප ආණ්ඩුවක් හදන්න ඕන නම් තිබුණෙ ජනාධිපතිවරණයේදී මහින්දට උදවු කරල දිනවන එකනෙ. මොකටද එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයාට සපෝට් කළේ. ඇත්තටම ශ්‍රී ලනිපයේ මේ කට්ටිය කියන්නෙ හතර බීරි කතාවක්. හැබැයි ප්‍රසන්නලා, වෙල්ගමලා එදත් අදත් කියන්නෙ එකම කතාව. 'මෛත්‍රි වැඩක් නෑ. මහින්ද නැතුව බැහැ' කියන එක. එහෙත් මේ කතාව බොරු කරන්න බැරිකමක් නැහැ. හැබැයි එක හිතක් තියෙන්න ඕනෑ. මඩේ හිටවපු ඉන්න වගේ වැනෙන්න බැහැ. ගමේ ශ්‍රී ලනිප පාක්‍ෂිකයන් දිනාගෙන යහපාලනය අපේක්‍ෂා කරන ප්‍රගතිශීලී ජනතාව විතරක් නෙවි එජාපයට ඡන්දය දුන්න ප්‍රගතිශීලීන්වත් දිනාගෙන 'ජනවාරි 8' පොරොන්දු ඉෂ්ට කරන එක එහෙම බැලුවොත් මෛත්‍රිට කජ්ජක් නෙවෙයි.

සුරවී

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon