මත්පැන් බලපත්‍ර අවුරුදු තුනකට වරක් අලුත් කරනවා

  👤  8846 readers have read this article !
2016-12-12

මත්පැන් බලපත්‍ර
අවුරුදු තුනකට වරක්
අලුත් කරනවා

දැනට නිකුත් කර ඇති මත්පැන් බලපත්‍ර අවුරුදු තුනකට වරක් අලුත් කිරීමට කටයුතු කරන බව, මුදල් ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී පෙරේදා (10දා) පැවැසීය.
පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ සාකච්ඡා කර මත්පැන් බලපත්‍ර ලබාදීම සීමාකිරීම පිළිබඳ එකඟත්වයට පැමිණිය යුතුව ඇතැයිද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක, රජය මත්පැන් බලපත්‍ර ලබාදීම සීමා කිරීමට කටයුතු නොකරන්නේ මන්දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් මුදල් ඇමැති රවි කරුණානායක එසේ පැවැසීය.

රජයේ ප්‍රතිපත්තිය මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව හැකිතාක් අඩු කිරීම බවත් මත්පැන් බලපත්‍රවලින් රජයට ලැබෙන බදු මුදල වැඩිකර ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

 

හම්බන්තොට වරායේ සේවකයන්ට පහර දීමට එරෙහිව
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු විරෝධය පළ කරති

හම්බන්තොට වරායේ වැඩ වර්ජනයක නිරතව සිටින සේවකයන්ට නාවික හමුදාව විසින් සිදුකරන පහරදීම් වහාම නතර කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පෙරේදා (10දා) පාර්ලිමේන්තුවේදී සිය ආසනවලින් නැඟී සිටිමින් විරෝධය පළ කළහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රීති ප්‍රශ්නයක් මතුකරමින් මේ පිළිබඳ සභාවේ අවධානය යොමු කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු එසේ නැඟී සිටිමින් විරෝධය පළ කළහ.

විමල් වීරවංශ - "හම්බන්තොට වරායේ වර්ජනයක නිරතවෙලා ඉන්න සේවකයන්ට නාවික හමුදාව දාලා පොලුවලින් පහර දෙනවා. වහාම මේක නතර කරන්න කටයුතු කරන්න."

ලක්ෂ්මන් යාපා අබේවර්ධන - "කතානායකතුමාට බැහැ ඒක නතර කරන්න. ඕක මෙතැන කියල වැඩක් නැහැ."

සුජීව සේනසිංහ - "මෙතැන හිනාවෙවී ඉඳල දැන් බොරුවට කෑගහනවා. වීරවංශ මන්ත්‍රිතුමා සභාවට ඇවිල්ල විනාඩි විස්සක් විතර හිනාවෙවි හිටියා. දැන් බොරුවට කෑගහනවා"
මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනා සිය අසුන්වලින් නැඟී සිටිමින් එම පහරදීම වහාම නතර කරන්නැයි ඉල්ලා සිටියහ.
චමල් රාජපක්ෂ - "හම්බන්තොට වරාය පෞද්ගලිකකරණය කරනවද? නැද්ද? කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි වර්ජනයක් කරනව කියල ඒ අහිංසක සේවකයන්ට පහර දෙනව නම් ඒක වහාම නතර කළ යුතුයි."

සුජීව සේනසිංහ - යමක් ප්‍රකාශ කරයි. (සභාවේ ඝෝෂා) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු යළි නැඟීසිට විරෝධය පළ කරයි.

කාරක සභා සභාපති - මෙතැන ආරක්ෂක රාජ්‍ය ඇමැතුමා ඉන්නවා. අපි එතුමාට අවස්ථාවක් දෙමු.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන "නාවික හමුදාව විසින් එවැනි පහරදීමක් කරනව නම් මම දැන්ම කතා කරල ඒක නවත්වන්නම්"

විමල් වීරවංශ - හොයන්න දෙයක් නැහැ. දැන් පහර දෙනවා. ඉස්සරවෙලාම ගැහුවෙ මාධ්‍යවේදීන්ට. පහර දෙන්නෙ නැත්නම් තුවාල වෙන්නෙ කොහොමද?

දැනට අට දෙනෙක් තුවාලවෙලා ඉස්පිරිතාලෙ. අහසටද කොහෙද වෙඩිත් තියනවලු"

කාරක සභා සභාපති - "හරි දැන් ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමා පිළිතුරක් දුන්නා. එතුමා ඒ ගැන සොයා බලා මේ සභාවට දැනුම් දේවි. දැන් සභාවේ වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න."
(ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු අසුන් ගනිති.)

 

වී වලට සාධාරණ මිලක් දෙනවා කීවත් හාල් කිලෝව 90ට නැඟලා

වී සඳහා සාධාරණ මිලක් දෙන බව කීවා. අද හාල් කිලෝව රුපියල් 90ට වැඩි වෙලා යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි බන්දුල ගුණවර්ධන (එ.ජ.නි.ස.) පැවැසීය. ණය අර්බුදය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව හදපු එකක් නොවේ. නිදහසින් පසු ණය ගත්තේ මේ ආණ්ඩුවයි. අද වන විට විදේශ සංචිතය 5.2 දක්වා කඩා වැටිලා. යුද්ධය තිබුණු කාලෙවත් මෙහෙම දෙයක් වුණේ නැහැ. මේ රටේ සිදුවූ ලොකුම හොරකම මහබැංකු හොරකමයි. රුපියල දිගින් දිගටම කඩා වැටුණා. අද පොහොර රුපියල් 3000යි. හාල් කිලෝව රුපියල් 90 දක්වා වැඩිවෙලා. පොලී අනුපාතය සියයට 22 දක්වා වැඩිවෙලා. ලෝකයේ වැඩිම වතුර බිල තියෙන්නෙ ලංකාවේ.

ලෝකයේ වැඩිම විදුලි බිල තියෙන්නෙ ලංකාවේ. කිලෝමීටර් 100ට රුපියල් 350ක් අයකරන අධිවේග පාර තියෙන්නෙ ලංකාවේ.

අපි බදු දීපු සහන මොනවද කියා ජනතාව දන්නවා. එෆ්.සී.අයි.ඩී. එකේ වැඩ නිසා ආයෝජකයෝ ලංකාවට එනවා නොවේ. ආපසු දුවනවා.

 

හම්බන්තොට වරාය වර්ජනයට
දේශපාලනය ගාවා ගත්තොත්
නාවික හමුදාව වැඩට දානවා

හම්බන්තොට වරායේ සේවක වර්ජනය දිගින් දිගටම දේශපාලන මුහුණුවරකින් ක්‍රියාත්මක කළහොත් එහි කටයුතු නාවික හමුදාව ලවා සිදුකරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වැඩ වර්ජනයේ යෙදෙන සේවකයන් දේශපාලන හේතූන් මත උසි ගැන්වීමට විවිධ කණ්ඩායම් උත්සාහ දරන බව ඇමැතිවරයා කීවේය.

රුවන් විජයවර්ධන - මේ ගැන සොයා බැලුවා. උද්ඝෝෂකයන් විසින් නැව් දෙකක් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. පොලුවලින් ගහල නෑ. වෙඩි තියලත් නෑ. එය අමූලික බොරුවක්. දැන් තත්ත්වය සාමකාමී වෙලා. නැව් දෙක බලහත්කාරයෙන් අල්ලගෙන හිටි නිසයි, එය මුහුදු කොල්ල කෑමක් නිසා හමුදාව යොදවන්න වුණේ. නාවික හමුදාවට වෙඩි තියන්නත් පුළුවන්. බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි එක් නෞකාවක් ජපානයේ එකක්. මෙයින් ජාත්‍යන්තර ප්‍රශ්න ඇතිවීමට පුළුවන්. මේකෙ දේශපාලන මුහුණුවරක් තිබෙනවා. මේ විදියට කරනවා නම් අපි නාවික හමුදාව දාලා ඉදිරියට වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.
නාමල් රාජපක්‍ෂ _ හදිසි නීතියක් නැති වෙලාවේ නාවික හමුදාව යෙදෙව්වෙ මොන බලයක් පාවිච්චි කරලද?

 

ශ්‍රී ලංකා පළුව කියනවා ආණ්ඩුව අසූචි වළක කියලා:
එජාප පළුව කියනවා බැරිනම් යන්න කියලා

පැයට කිලෝමීටර් දාහක වේගයෙන් සොරකම් කරන්නේ වැඩිදුර යන්න බැරි බව දන්න නිසා යැයි, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.

ජාතික ආර්ථික සම්පත් විකුණගෙන කෑම මේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වී තිබෙනවා. අද රටේ ආර්ථිකය විදේශීයකරණයට ලක්වෙමින් පවතිනවා. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා පළුව කියනවා මේ ආණ්ඩුව අසූචි වළක් කියලා. ආණ්ඩුවෙ ඉන්න එ.ජා.ප. පළුව කියනවා ඉන්න බැරිනම් යන්න කියලා. හම්බන්තොට වරාය තුළ සිදුවී ඇති දේ පිළිබඳ රජය බොරු කිව්වා. එහි නැව් දෙකක් බලහත්කාරයෙන් අල්ලගෙන නැහැ. නැව්වලට යන්න සංඥා ලබාදීමෙන් වැළකී සිටීමටයි සේවකයෝ කටයුතු කර ඇත්තේ.
ඉඩම් ටික විදේශිකයන්ට පවරන්න පනතක් ගෙනැල්ලා. ඒ වගේම සුපිරි ඇමැතිවරයකු බිහිකිරීමටත් පනතක් ගේන්න යනවා. කවුද මේ ඇමැතිවරයා? ඒ ඇමැතිකමත් අගමැතිවරයාට ලබාදීමටයි මේ උත්සාහ දරන්නේ. මේ පනත යටතේ ජනාධිපතිවරයාටත් නැති බලතල අගමැතිවරයාට ලැබෙනවා. මේ ඇමැතිවරයාගේ අමාත්‍යාංශයේ නිලධාරියකුවත් අධිකරණයට ගෙනයන්න බැහැ. මේක ඒකාධිපති පනතක්.

 

2017 - අය - වැය

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා
මෛත්‍රි - රනිල් යහපාලන රජයේ 2017 වර්ෂය සඳහා වූ අය _ වැය වැඩි ඡන්ද 110කින් ඉකුත් සෙනසුරාදා (10දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අය _ වැයට පක්‍ෂව ඡන්ද 165ක්ද විපක්‍ෂව ඡන්ද 55ක් ද ලැබිණි.
දෙමළ ජාතික සන්ධානයෙ මන්ත්‍රිවරුන් ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රි ආරුමුගම් තොන්ඩමාන් සහ ඊ.පී.ඩී.පී. මන්ත්‍රි ඩග්ලස් දේවානන්ද අය _ වැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රි කණ්ඩායම හා ජනතා විමුක්ති පෙරමුණ විපක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
කාරක සභා අවස්ථාවේ විවාදය පැවැති මුදල් අමාත්‍යාංශයේ වැය ශීිර්ෂය සඳහාද ඡන්ද විමසීමක් පැවැත්විණි.
මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට පක්‍ෂව ඡන්ද 164 ක්ද විපක්‍ෂව ඡන්ද 55ක්ද ලැබිණි. වැඩි ඡන්ද 109කින් වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත විය.
ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට බෙදීමක් අවශ්‍ය බවට කළ ඉල්ලීම අනුව එම ඡන්ද විමසීම සිදු කෙරිණි.
වැය ශීර්ෂයට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රි කණ්ඩායම හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කළහ.
දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. මන්ත්‍රිවරුන් රජය සමඟ මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි චතුර සේනාරත්න මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. එහෙත් හෙතෙම අය _ වැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

 

කඩුවෙල බියර් සමාගමට
බදු සහන දී තිබෙන්නෙ ඇයි?

තමුන්නාන්සේලා කඩුවෙල බියර් සමාගමට බදු සහන ලබාදීලා ගංවතුරෙන් අනාථ වූවන් සඳහා පිටරටින් ඒ ප්‍රදේශයේ පන්සලකට ලබාදුන් කන්ටේනරයට බදු ගැහුවා. තමුන්නාන්සේලා නියෝජනය කරන්නේ බියර් සමාගමද? කඩුවෙල ජනතාවද? යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
රේගු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානම ආදායම් මාර්ගය තමයි. රේගු දෙපාර්තමේන්තුවේ විශාල නිලධාරීන් හිඟයක් තිබෙනවා.
මේ තනතුරු පුරප්පාඩු විධිමත් අන්දමින් පුරවන්නේ නැතිව විශ්‍රාමලත් නිලධාරීන් බඳවා ගන්නේ ඇයි?
අපේ රටේ උපාධිධාරීන් විශාල පිරිසක්, විභාග සමත් විශාල පිරිසක් එළියේ සිටියදී, තමුන්නාන්සේලා විශ්‍රාම ලැබූ නිලධාරීන් පිරිසක් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගන්න යන්නේ ඇයි?
ලයන් බියර් සමාගමට විශේෂ බදු සහනයක් ලබාදී තිබෙනවා. ගංවතුර හේතු කොටගෙන මේ රුපියල් 500 බද්ද අඩු කළා. මෙම සමාගමට විශේෂ බදු සහනයක් ලබාදීම නිසා ආණ්ඩුවට බිලියන 712ක් පාඩු වී තිබෙනවා.

යහපාලන ආණ්ඩුවට අද ධර්ම රාජ්‍යයක් ගොඩනැඟීමට නොහැකි වී තිබෙනවා

"යහපාලන ආණ්ඩුව තුළ අද ධර්ම රාජ්‍ය ගොඩනැඟීමට නොහැකිවී තිබෙනවා" යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත පාර්ලිමේන්තුවේදී පැවැසීය.
සිංහල බෞද්ධයාට වන හානිය ගැන අපේ සමහර නායක හාමුදුරුවරු මුනිවත රකිනවා. කතෝලික පියතුමන්ලා අද බෞද්ධයෝ ගැන කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. අපි ඒකට ආඩම්බර වෙන්න ඕනෑ. ඒකට හේතුව ඔවුන් බෞද්ධයන් ගැන හොඳින් දන්නා නිසයි.
බෞද්ධ ආගම කෙරෙහි දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් රට තුළ අද නිර්මාණය වෙලා තිබෙනවා. බෞද්ධ වෙහෙර විහාර වටේම, කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි ඇතිවනු ඇතැයි අනගාරික ධර්මපාලතුමා එදා ප්‍රකාශ කළා.
යහපාලන රජය අද බෞද්ධ භික්ෂුන් වහන්සේලා හිරේ දානවා. මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිස් අද දැඩි අපහසුවට පත්ව සිටිනවා. සියයට 9ට තිබුණු පොලී අනුපාතය අද සියයට 17ක් වෙලා තිබෙනවා. යහපාලන කාලය තුළ සංචාරක කර්මාන්තයට යමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරනවා.

 

ශබ්ද විකාශන පද්ධතිය නිවැරැදි කරන තුරු
මුදල් නොගෙවීමේ යෝජනාව මුදල් ඇමැති අනුමත කරයි

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ නව ශබ්ද විකාශන පද්ධතිය නිවැරැදි ලෙස සකස් කරන තුරු එහි ගෙවීම් අත්හිටුවන්නැයි ධීවර ඇමැති මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී පෙරේදා (10දා) කළ යෝජනාව මුදල් ඇමැති රවි කරුණානායක අනුමත කළේය.
මන්ත්‍රිවරු අදහස් දක්වන විට හඬ ඇසීමේ දුර්වලතා එම ශබ්ද විකාශන පද්ධතියේ පවතින බව මැති ඇමැතිවරු එදින සභාවේදී පැවැසූහ. මහින්ද අමරවීර,
"අලුතින් සවිකළ එම ශබ්ද විකාශන පද්ධතියේ ගැටලු රාශියක් පවතිනවා. එය නිසිලෙස සකස් කරන තුරු ඊට මුදල්දීම අත්හිටුවිය යුතුයි."
මුදල් ඇමැති රවි කරුණානායක,
එය අනුමත කරනවා. පැරැණි ශබ්ද විකාශන පද්ධතිය මීට වඩා හොඳයි. මෙවැනි ශබ්ද විකාශන පද්ධතියක් සවිකළේ කුමන පුද්ගලයකුද? කතානායකතුමා එය නිවැරැදි ලෙස සකස් කරන්නෙ නැතිනම් නව ශබ්ද විකාශන පද්ධතියක් සවි කරන්න.

 

දූෂණ ගැන නඩු පවරන්න කලින්
බැඳුම්කර සොරකමට නඩු දාන්න

දූෂණ කිරීම ගැන නඩු පවරන්න ඉස්සර වෙලා, බැඳුම්කර සොරකම ගැන නඩු පවරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

මේ රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගන්නේ කවුද? තීරණ ගන්නේ පාස්කරලිංගම් සහ චරිත රත්වත්තෙයි. පස්කියි, රත්තියි තමයි මේ ආණ්ඩුවේ ආර්ථිකය පිළිබඳ තීරණ ගන්නේ.

මිනිසුන්ගෙන් බදු අයකරන්න කියල දඩගහන්න කියල කියන්න පස්කියි, රත්තියි ඕනද? මේගොල්ල ආර්ථික විශේෂඥයොද? මේ ආණ්ඩුවෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරනව මේ රටේ ආර්ථිකය විනාශ කරන්න එපා කියලා. ආර්ථිකය පිළිබඳ තීන්දු ගැනීමේදී මුදල් අමාත්‍යාංශයේ විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගන්න. මේ අය-වැය හොඳට කියවන්න. මේ අය-වැය යෝජනා අතරේ තියෙනවා මුදල් ඇමැතිවරයාට අයත් සමාගම්වලට වාසිවන යෝජනා. මුදල් ඇමැතිතුමා ලොකුම වෙයාර්හවුස් එකක් මුදල් ඇමැතිවරයාගේ කොම්පැනියකට ලබාදී තිබෙනවා. තමන්ගේ ආයතනයේ රැස්වීම්වලට එන සිංගප්පූරු ලොජෙස්ටික් සමාගමේ නියෝජිතයාට මුදල් ගෙවන්නේ මුදල් අමාත්‍යාංශයෙන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon